2010-01-10

මැතිවරණ සමයේ පෙළපාලි නීති විරෝධීයි - නිදහස් හා සාධාරණ මැතිවරණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් නිරීක්ෂණ මධ්‍යස්ථානය


(2010 ජනවාරි 10 -W3Lanka) දිවයිනේ ප‍්‍රදේශ ගණනාවකින් වාර්තා වී ඇති මැතිවරණ නිතී උල්ලංඝනය කිරිමේ සිද්ධීන් රැසක් පිළිබඳව බලවත් කණස්සල්ල පළ කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ ඔව්න්ගේ ගවේෂණ වලින් සොයාගෙන ඇති පරිදි විරුද්ධවාදී කණ්ඩායම් සහ පක්ෂ එකිනෙකාට චෝදනා එල්ල කිරීම සඳහා බොහෝ සිදුවීම් අතිශයෝක්තියෙන් හුවා දැක්වීම පුරුද්දක් කරගෙන ඇති බවයි .අනෙක් පාර්ශවයට චෝදනා කිරීම සඳහා තමන් විසින්ම ක‍්‍රියාත්මක කරන මැතිවරණ කාර්යාල කඩා බිඳ දැමීම් හා ගිනි තැබීම් සිදු වන බව එම සංවිධානය පවසයි. එම සංවිධානය වැඩිදුරටත් මෙසේ ද පවසයි.



"මැතිවරණ නීති ඉතා විවෘතවම උල්ලංඝනය කරමින් පෙළ පාළි සංවිධාන කිරීම් ගැන අපට වාර්තා වී තිබේ. 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ අංක 69 (0)1 ඡේදය පරිදි නාමයෝජනා පත‍්‍ර බාර දුන් දිනයේ සිට මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් කොට සතියක් ගතවන කාලය අතරතුර දේශපාලන පෙළපාලි පැවැත්වීම හා ඒවාට සහභාගී වීම මහේස්ත‍්‍රාත් උසාවියේ විනිශ්චයට භාජන කළහැකි වරදකි. එබැවින් අප මැතිවරණ කොමසාරිස් තුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණ නීතියට පටහැනිව පෙළපාලි පැවැත්වීම නීත්‍යානුකූල නොවන බව දේශපාලන පක්ෂ වල ලේකම්වරුන්ට දන්වන ලෙසය.

"නීතිය උල්ලංඝනය වන තවත් අවස්ථාවක් වන්නේ පක්ෂ නායකයන් ගේ රූප පුවරු ප‍්‍රදර්ශනය කිරීමය. ජනාධිපතිවරණ පනතේ 74 (0)1 වගන්තිය අනුව සියලූ රූප පුවරු වහාම ඉවත් කරන ලෙස අපි පක්ෂ ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටිමු."

මේ කරුණු සලකා බලා නිදහස් පරීක්ෂණ පවත්වා වරදකරුවන් නීතියේ රැහැනට හසුකරන ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් නිරීක්ෂණ මධ්‍යස්ථානයඉල්ලා සිටියි.




No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.