2010-01-08

කවුරු දිනුවත් ජනතාව පරාදයි; වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන රැසක් එක්ව පවසති

(2010 ජනවාරි 08 -W3Lanka) ඉදිරි ජනාධිපතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළත්, ඉදිරි කාලයේදී ද සැබෑ කම්කරුවන්ට කිසිදු සෙතක් සිදු වේ යයි අපේක්ෂා කළ නො හැකි බව ද, ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවලට විසඳුම් ලබා දීම සඳහා වැඩපිළිවෙලක් කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට නැති බැවින් ද තමන් කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට සහාය පළ නො කරන බව ද වාම ලිබරල් නැඹුරුවකින් යුත් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක එකමුතුවක් විසින් ඊයේ කොළඹදී නිවේදනය කරන ලදී. 

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය, ලංකා ගුරු සංගමය, නිදහස් වෙළඳ කලාප සේවක සංගමය, සුහද වරාය සේවක සංගමය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය, සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය වැනි ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති ද, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනි මාධ්‍ය සවිධාන ද, ප්‍රධාන මැතිවරණ නිරීක්ෂක සවිධාන ද, නොවැම්බර් ව්‍යාපාරය වැනි කලාකරුවන්ගේ සංවිධාන ද, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, පීපල්ස් මාච්, ෆියුචර් පීස්, යහපත් අධ්‍යාපනයක් සඳහා ව්‍යාපාරය වැනි සිවිල් සවිධාන ද රැසක් මෙම නිවේදනය සඳහා අත්සන් කර ඇත. ඔවුන් සිය එකමුතුව නම් කර ඇත්තේ කම්කරු අයිතීන් හා මහජන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සංවිධාන එකමුතුව ලෙසයි. 


මානව හිමිකම් තහවුරු කර යහපාලනය ඇති කිරීම, රාජ්‍ය අංශය විධිමත් කිරීම හා කම්කරු අයිතීන් තහවුරු කිරීම, ජනතාවට ආර්ථික සහන ලබා දීම, මහජන සේවා විධිමත් කිරීම හා ජාතික සංවර්ධනයට අදාළ පියවර ගැනීම යන ඉල්ලීම් මෙම සංවිධාන එකමුතුව විසින් සියලු ජනාධිපති අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කර තිබේ. ජනාධිපති සතු විධායක බලතල පාර්ලිමේන්තුවට පැවරීම, ව්‍යවස්ථාදායක සභාව හා ස්වාධීන කොමිෂන් පිහිටුවීම, බලය බෙදීම මත පදනම් වූ විසඳුමක් ජාතීන්ගේ ප්‍රශ්නයට ලබා දීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා හදිසි නීතිය ඉවත් කිරීම හා රට තුළ අයිතිවාසිකම් උල්ලංඝනයට බඳුන් වන ජනතාවට ජාත්‍යන්තර ආයතන වෙත පැමිණිලි කිරීමේ නීතිමය හිමිකම ලබා දීම ආදී ඉල්ලීම් ද එම මූලික ඉල්ලීම් ප්‍රවර්ගවලට ඇතුළත් වේ.

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.