2010-02-05

ජාතික සමගිය හා ප්‍රජාතන්ත්‍රවාදය මත ඇදවැටුණු ජනාධිපතිවරණ ප්‍රතිඵලය

අජිත් පැරකුම් ජයසිංහ - 


2009 මැයි 18 දින සිංහල බෞද්ධ දේශපාලන ප්‍රජාව මහ මග කිරිබත් පිසිමින් මිනිසුන්ට ඒවා බලෙන් කවමින් වනචාරී ප්‍රීතියක් භුක්ති වින්දහ. ඒ මෑතකාලීන දේශපාලන ඉතිහාසයේ දෙමළ ජනයා අතර පුළුල් ම පිළිගැනීම හොඳින් හා නරකින් ලබාගෙන සිටි ප්‍රචණ්ඩ නායක වේලුපිල්ලෛ ප්‍රභාකරන් හා ඔහුගේ සන්නද්ධ ව්‍යාපාරය විනාශ කර දැමීමේ ප්‍රීතිය නිමිත්තෙනි. 


ප්‍රභාකරන්ගේ විනාශය දෙමළ ජාතිකවාදයේ හෝ ඊලාම් අරගලයේ අවසානය නොවේ. එසේ ම, එය දෙමළ ඊලාම් ජාතික රාජ්‍ය අරගලයට සිදු වූ හානියක් ද ‍නොවේ. පසුබෑමක් සිදු වී තිබෙනමුත්, ප්‍රභාකරන්ගේ ඉවත්ව යාම එකී අරගලයට සාධනීය ප්‍රතිඵල ගෙන ඒමට ද හේතු වනු ඇත. 


ප්‍රභාකරන් විසින් සලකුණු කරන ලද ප්‍රචණ්ඩත්වයේ යුගය එක්කෝ ඔහුගේ ජයග්‍රහණයෙන් හෝ නැතිනම් පරාජයෙන් හෝ අවසන් විය යුතුව ම තිබිණි. කොටි සංවිධානය පසුගිය කාලයේ අරමුදල් රැස් කළේ ඔවුන්ගේ අවසන් ඊලාම් යුද්ධය සඳහා ය. ඔවුහු එය කළහ. පරාජය වූහ. දැන් තව දුරටත් ඒ කොටි සංවිධානය වලංගු නැත. ඉතුරු බිතුරු තිබුණත් ඒ වනාහි වෙනස් සංදර්භයක පවතින වෙනස් සංවිධානයකි. කොටි සංවිධානය හා ප්‍රභාකරන් දෙමළ අරගලය වෙනුවෙන් සිය කාර්යභාරය හමාර කළේ යුදමය පරාජයටත් බොහෝ කලින් ය. වෙල්ලිමුල්ලිවෛක්කාල්හිදී සටහන් වුණේ ප්‍රචණ්ඩ, එහෙත් තාර්කික නික්ම යාමකි.



වර්තමානයේ දෙමළ ඊලාම් අරගලයේ උපායමාර්ග වෙනස් වී ඇත. ආසන්න අනාගතයකදී එය ශක්තිමත් සන්නද්ධ ව්‍යාපාරයක් ලෙස යළි නැඟී සිටින්නේ නැත. දෙමළ අරගලයේ රාමුව නුදුරු අනාගතයේදී ගොඩනැඟෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කරමිනි. දෙමළ විදෙස්ගත ප්‍රජාව අතර වෙනම ඊලාම් රාජ්‍ය ඉල්ලීම නැවත පණ ගැන්වීමේ අරමුණින් පැවැත්වෙමින් තිබෙන ජාතිකවාදී ජනමත විචාරණ මාලාව මේ සඳහා නිදසුන් වේ. ඊලාම් රාජ්‍යයකට එකඟ ද නැද්ද යන පටු ඉල්ලීම ඉදිරිපත් කරන 1982 ලාම්පු කලගෙඩි සෙල්ලම වැනි වූ මෙම ජනමත විචාරණ මාලාව නාමිකව හෝ ප්‍රජාතන්ත්‍රවාදී ය. 


ඉදිරි කාලයේදී සිංහලයන්ට මුහුණ දෙන්නට වන්නේ මෙවැනි වඩා සංකීර්ණ දෙමළ ජාතික අරගලයකටයි. දෙමළ ජනයාගේ ඉල්ලීම ජාත්‍යන්තර දේශපාලනයේදී යුක්ති යුක්ත එකක් ලෙස පිළි ගනු ලබන බව ද සිංහලයන් හැම විට ම මතක තබා ගත යුතුව තිබේ. දෙමළ ජනයාට ලාංකීය රාජ්‍යය තුළ සම තත්වය හිමි වන තාක් කල් එම යුක්ති යුක්තභාවය පවතිනු ඇත. 


අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවේ ගොඩනඟන ලද කොළඹ කේන්ද්‍රීය රාජ්‍යයේ නිදහසින් පසු යුගයේ මූලික ලක්ෂණයක් වන්නේ එහි ආධිපත්‍යය සිංහලයන්ට හිමි වීමයි. දෙමළ ජනයා මෙම ‍සිංහල මූලික රාජ්‍යය අභියෝගයට ලක් කළ ආකාරය තුළ දක්නට ලැබෙන්නේ දැඩි ජාතිකවාදී ස්වරූපයකි. පනහට පනහ ඉල්ලීමේ සිට අවසන් ඊලාම් යුද්ධය දක්වා ම තත්වය එයයි. මෙම දෙමළ ජාතිකවාදය සාධාරණීකරණය වන්නේ එයට සමාන හා ප්‍රතිවිරුද්ධ ලෙස පවතින සිංහල ජාතිකවාදය නිසා ය. ලංකාවේ දේශපාලන ප්‍රජාවන්ට සම්මුතියකට එළඹීමට දුෂ්කර වන්නේ මෙම ජාතිකවාදී ප්‍රවණතාවල පවතින ප්‍රතිවිරුද්ධ බලයන් නිසා ය. එහි ප්‍රතිඵලය ලෙස සමාජයට වැඩදායී මෙහෙයක් කිරීමේ හැකියාව තිබුණු මිනිසුන් ගැහැනුන් විශාල පිරිසකගේ ජීවිත වැනසුණු අතර එයින් වැඩි ම හානිය අත් වුණේ දෙමළ සමාජයටයි. යුද්ධයෙන් පසු අවධියේ පවා මේ දක්වා දක්නට ලැබෙන්නේ සමාජයන් දෙකම තම අභිවෘද්ධිය සඳහා කාලය යොදනු වෙනුවට කාලකන්නිකම නඩත්තු කිරීමට වෙහෙසීමයි. පොදු සමාජයන්ට මෙය කාලකන්නිකමක් වුව ද, එම තත්වය ආශිර්වාදයක් වූ පිරිස් ද සිටිති. ඔවුන් ජීවත් වන්නේ ද, බලවත් වන්නේ ද, ධනවත් වන්නේ ද මේ කාලකන්නිකමේ සාර‍ය උරා බීමෙනි. 


2010 ජනාධිපතිවරණය මේ කාලකන්නිකමේ ප්‍රකාශනයක් වැනි ය. සිංහල සමාජය එක පැත්තකින් දෙමළ විරෝධී යුද විරුවන් දෙදෙනෙකු අතරින් එක් අයෙකු කොළඹ ආණ්ඩුවේ නායකත්වයට තෝරා පත් කර ගැනීමට යත්න දරමින් සිටියදී ජනවාරි 24දා ටැමිල්නෙට් වෙබ් අඩවියේ පළ වූ ලිපියක දෙමළ ජාතිකවාදී මනස නිරූපණය වූයේ මෙසේ ය. 


'Only the war criminals, their international abetters and the geopolitical competitors have to worry about the elections and it is their problem. Tamils have to concentrate in organizing their own polity and in demonstrating it. But if they abstain from voting there are people waiting to stuff the boxes. If Tamils want to register opinion and see neither of the main candidates get 50 percent they should cast the first vote to a third person and of all the candidates the moral obligation of Tamils is to vote for Dr. Vikramabahu Karunaratne. Looking upon the Colombo-centric system is the curse of Tamils for ages and instead of destabilising it, any participatory politics amounts to only submission to the system...'

එහි දළ පරිවර්තනයක් මෙසේ ය. 'ජනාධිපතිවරණය යුද අපරාධකරුවන්ගේ, ඔවුන්ගේ ජාත්‍යන්තර ආධාරකරුවන්ගේ හා භූ දේශපාලනික තරගකරුවන්ගේ ප්‍රශ්නයති. දෙමළ ජනයා අවධානය යොමු කළ යුත්තේ තම ප්‍රජාව සංවිධානය කිරීම හා (එම සංවිධානාත්මකභාවය) ප්‍රදර්ශනය කිරීම කෙරෙහි ය. හොර ඡන්ද දැමීම වැළැක්වීමට හා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ 50%ක් ඡන්දය ගැනීම වැළැක්වීමට අවශ්‍ය නම් පළමු මනාපය තුන්වන පුද්ගලයකුට ලබා දිය යුතු ය. සියලු පුද්ගලයන් අතරින් දෙමළ ජනයාගේ සදාචාරාත්මක බැඳීම ඇත්තේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නට ය. කොළඹ කේන්ද්‍රීය දේශපාලනය යුග ගණනාවක් තිස්සේ දෙමළ ජනයාට ඇති සාපය ලෙස දකිනවා වෙනුවට හා එය අස්ථාවර කරනවා වෙනුවට කිසියම් හෝ ආකාරයක සහභාගිත්ව දේශපාලනයක් මෙම ක්‍රමය පිළිගැනීමක් වේ.'

තමන්ට ඡන්දය දෙන්නැයි ටැමිල්නෙට් වෙබ් අඩවියේ ඉල්ලීමක් පළ වීම වික්‍රමබාහු සහෝදරයාට ප්‍රීතියට කරුණක් වන්නට පුළුවන. එහෙත්, දෙමළ ජාතිකවාදීන්ට ඔහු දේශපාලන නායකයකු නොව සිංහලයන් අතර සිටින එක් හොඳ සිංහල මිනිහෙක් පමණක් බව මෙම ප්‍රකාශයෙන් ඇඟවේ. ටැමිල්නෙට් අනුව දෙමළ ජනයාට ඔහු සමග ඇත්තේ සදාචාරමය බැඳීමක් මිස දේශපාලන සම්බන්ධයක් නොවේ. මේ වනාහි ජාතිවාදය මිස අන් කුමක් ද? සිංහල ජාතිවාදයට පිළිතුර දෙමළ ජාතිවාදය ‍නො වන බව දෙමළ ජනයාට කියා දීමට වික්‍රමබාහු සහෝදරයා ද අසමත් වී ඇත.


වාමාංශිකයන් සටන් කළ යුතුව තිබෙන්නේ සිංහල-දෙමළ ජාතිකවාදයන්ගේ සීමාවන් ඉක්මවා ගිය ‍ලාංකික දේශපාලන ප්‍රජාවක් වෙත අනුකලනය වීමට මෙම දිවයිනේ ජීවත් වන ප්‍රජාවන් යොමු කර ගත හැකි රාජ්‍ය හා සමාජ ප්‍රතිසංස්කරණ සිදු කිරීමටයි. එය කරන්නේ ධනවාදය තුළ ද සමාජවාදයෙන් ද යන්න වෙන ම ප්‍රශ්නයකි. පීඩිතයන්ගේ එකක් වූ පළියට වාමාංශිකයන් දෙමළ ජාතිවාදය වන්දනාමාන කළ යුතු නැත.



අනෙක් පැත්තෙන් 2010 ජනාධිපතිවරණය හුදෙක් 'යුද අපරාධකරුවන්ගේ, ඔවුන්ගේ ජාත්‍යන්තර ආධාරකරුවන්ගේ හා භූ දේශපාලනික තරගකරුවන්ගේ' ප්‍රශ්නයකට ලඝු කළ නො හැකි ය. විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකා ලබා ගත් ඡන්ද අතර නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳ ගැඹූරු අපේක්ෂාවන් ද ගැබ් වී තිබේ. ඡන්දයෙන් දිනුවහොත් සරත් ෆොන්සේකා ඉඩි අමින් කෙනෙකු හෝ හිට්ලර් කෙනෙකු හෝ ඩිගෝල් කෙනෙකු හෝ වෙන කවුරු හෝ වීම හෝ නොවීම හෝ එකී මහජන අපේක්ෂාවන්ගේ ප්‍රශ්නයක් නොවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඔහුගේ ගෝලබාලයන් නො පැවති සම්බන්ධන්-ෆොන්සේකා ගිවිසුමක් ගැන කියමින් සිංහල ජනයා බිය වද්දමින්, දෙමළ ජනයා කෙරෙහි වෙවරය ඇවිලවීම කෙරෙහි ඇති විරෝධය පවා සරත් ෆොන්සේකාට වැටුණ ඡන්ද අතර තිබිණි.  


දූෂිත 2010 ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය වනාහි ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි යථාර්ථවාදී විසඳුම් සෙවීමේ මාර්ගයේ නාය යාමකි. මෙමගින් සිංහල-දෙමළ සමාජයන් අතර අගාධයේ ගැඹුර තවත් වැඩි කර තිබේ. ඉදිරි සය වසරක පාලන බලය ඩැහැ ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ම මෙහි ආදීනවවලට මුහුණ දීමට සිදු වනු නිසැක ය. මර්දනයෙන් හා ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කිරීමට උත්සාහ කිරීමෙන් ලංකාවේ සාමය චිරස්ථායී කළ නො හැකි ය. ජාතික අරගල මර්දනය, කම්කරු සටන් කඩාකප්පල් කිරීම, ඡන්ද මංකොල්ල, විරුද්ධ බලවේග මර්දනය කිරීම ආදී ක්‍රියාමාර්ගවලින් යළි පස සකසා දෙනු ලබන්නේ ත්‍රස්තවාදයටයි. 

කොළඹ දේශපාලනය අස්ථාවර කිරීම මිස සහභාගිත්ව දේශපාලනයක දෙමළ ජනයා නො යෙදිය යුතු බවට ටැමිල්නෙට් ඉදිරිපත් කරන නො ගැඹුරු දෙමළ ජාතිවාදී උපායමාර්ගය සමග දකුණේදී මහින්ද රාජපක්ෂ ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය හා උතුරු නැගෙනහිර ඡන්දයෙන් ඔහු ප්‍රතික්ෂේප වීම කදිමට ගැලපේ. එහෙත්, නූතන දේශපාලන සංදර්භය තුළ මෙවැනි උපායමාර්ග හුදු සටන් පාඨ පමණි. 2005 ඡන්දයේදී කොටි සංවිධානය විසින් අනුගමනය කරන ලද ඡන්ද වර්ජනය මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීමට හා එහි ප්‍රතිඵලයක් ලෙස යුද්ධයක් ඇති කිරීමටත් දහස් ගණන් ජීවිත විනාශ වීමටත් ඉවහල් වූ සහභාගිත්ව දේශපාලනයකි. කොළඹ කේන්ද්‍රීය ශ්‍රී ලංකා ආණ්ඩුව නඩත්තු කිරීම සඳහා විදේශ විනිමය නිෂ්පාදනය කරන බලවේග අතරින් ලංකාවේ ඥාතීන්ට මුදල් එවන දෙමළ විදෙස්ගත ප්‍රජාව ද ප්‍රධාන බලවේගයකි. මෙම සංදර්භය තුළ 'අස්ථාවර කිරීම මිස සහභාගිත්ව දේශපාලනය' නො කිරීම විහිළුවකි. 

දෙමළ දේශපාලන නායකත්වය හැම විටම පාහේ වරද්දා ගත් තැනක් වන්නේ සිංහල දේශපාලන ප්‍රජාව ජාතිවාදී, ආක්‍රමණික තනි බලවේගයක් ලෙස ගැනීමයි. ඔවුන්ට වික්‍රමබාහු දේශපාලන නායකයකු නොවී සදාචාරමය බැඳීමක් ඇති හොඳ මිනිහකු පමණක් වන්නේ ඒ නිසා ය.

අප විසින් ඉදිරිපත් කරනු ලබන මූලික තර්කය වන්නේ සිංහල සමාජය තුළින් මතු වී තිබෙන රාජපක්ෂ විරෝධය තුළ ඔහුගේ කඳවුර විසින් අවුළුවන ලද ජාතිවාදයේ ගින්දර කෙරෙහි ද විරෝධයක් ඇති බවයි. සිංහල සමාජයේ ඇති ප්‍රගතිශීලී විභවයන් අවදි කළ හැක්කේ දෙමළ-මුස්ලිම් සමාජයන් ද ඒ හා එක්ව කරන සහභාගිත්ව දේශපාලනයකිනි. කොළඹ කේන්ර්‍ද්‍රීය රාජ්‍යය කෙරෙහි ඇති විරෝධය සමස්ත සිංහල සමාජය ම වෙත පැටවීම දෙමළ ජාතිවාදයයි. සිංහල මෙන් ම දෙමළ ජාතිවාදයන් විසින් ද කිසිදු සාධනීය ප්‍රතිඵලයක් සමාජයට අත් කර දෙන්නේ නැත.

කොළඹ කේන්ද්‍රීය ආණ්ඩුව පසුගාමී ජාතිවාදයට ගොදුරු වනු බලා කුහක සතුටක් ලබනවා වෙනුවට දෙමළ සමාජය කළ යුතුව ඇත්තේ මේ අඳුරු ගුහාවෙන් පිටතට යා හැකි යයි පෙනෙන මන්දාලෝකයක් හෝ වෙත ජාතිභේදයකින් තොරව යොමු වීමයි.

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.