2010-02-02

ඓතිහාසික දෙමළ මුස්ලිම් සමගියක ආරම්භය සලකුණු වේ

(2010 පෙබරවාරි 02-W3Lankaකොටි සංවිධානයේ හා ඇතැම් මුස්ලිම් නායකයන්ගේ ජාතිවාදී ක්‍රියාමාර්ග හේතුවෙන් දීර්ඝ කාලයක් බෙදී වෙන් වී සිටි ලංකාවේ දෙමළ කතා කරන දෙමළ හා මුස්ලිම් ජනයා අතර ඓතිහාසික දේශපාලන සන්ධානයක් බිහි වෙමින් තිබේ.


එහි එක් පෙරමුණකදී දෙමළ හා මුස්ලිම් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි මහ මැතිවරණය සඳහා එක පෙරමුණකින් උතුරු-නැ‍ඟෙනහිර පළාත් තරග කිරීමට සැරසෙමින් සිටිති.


මැතිවරණ පෙරමුණු ගොඩනැඟීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. මධ්‍යස්ථ මතධාරී දෙමළ, මුස්ලිම් බලවේග එක්ව පොදු අභිලාෂයන් පද්ධතියක් සැකසිය යුතුව තිබේ. මහ මැතිවරණයේදී එයට ජනවරමක් ලබා ගැනීමට හැකි නම් එය ලංකාවේ සුළු ජාතීන්ගේ පැත්තෙන් ජයග්‍රහණයකි.


සුළුතර ප්‍රජාවන් සමග තිරසාර සංහිඳියාවක් සඳහා අඩු උනන්දුවක් දක්වන වත්මන් පාලක බල හවුල සමග සිය ගැටළු පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීමට හා ජාත්‍යන්තර ප්‍රජාව වෙත ‍ඉදිරිපත් කිරීමට මෙම ජනවරම මහෝපකාරී වනු ඇත.


භාෂා පදනමින් මෙම ප්‍රජාවන් දෙක එක් දේශපාලන ප්‍රජාවක් වන මුත් ඔවුන් අතර සංස්කෘතික හා ආගමික විවිධත්වයක් තිබේ. මුල් යුගයේ ලංකාවේ සුළුතර ජනතාවන් දෙමළ කතා කරන ජනයා යන පදනමින් එක්සත්ව ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ඉදිරියට පැමිණි මුත්, දෙපාර්ශ්වයේ ම ජාතික අන්තවාදීන්ගේ ක්‍රියාකලාපයන් හමුවේ මෙම සමගිය සුණු විසුණු වී ගියේ ය.

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.