2010-02-11

කලාවේ නවාතැන්පළින් සමුගත් තවත් එක් මගියෙක් - එච්.ඒ. පෙරේරා

ප‍්‍රභා මනුරත්න / බුද්ධික බන්ඩාර

කලාව යනු උන්මන්තකභාවය කරා අප යන ගමනේ අවසාන නවාතැන්පල වැනිය. සමහරු මෙතනට දුක් සෝ සුසුම් මැද පැමිණෙති. සමහරු මෙතනට ප‍්‍රීතියෙන් ඔදවැඞී පැමිණෙති. සමහරු මෙතැනට තනි තනිව පැමිණෙති. තවත් සමහරු මෙතැනට ජාතීන් ලෙස පැමිණෙති. රටවල් ලෙස පැමිණෙති. ශිෂ්ටාචාරයන් ලෙස පැමිණෙති. උන්මන්තකභාවයේ ගීලී යාමට මොහොතකට පෙර මොවුහු මෙතැන මඳකට නැවතෙති.


මඳකට මෙතැන නැවතී ගිමන් හරින මොවුහු එතැන දී තම ශෝකය ගීතයකට හරවති. තම හුදෙකලාව සිතුවමකට නගති. තම ආවේගය කවියක් කරති. තම වැරදිකාරත්වය මූර්තියක් බවට පත් කරති.


මෙතැන අපූර්ව දේවල් සිදුවේ. සමහරු තම ගමන අතරමග නවතා මුළු පීවිත කාලයම මෙතැන ගතකරති. තවත් සමහරු ආශ්චර්යමත් ලෙස නැවත ජීවිතය කරා ගමන් අරඹති. එහෙත් තවත් සමහරු එතරම් වාසනාවන්ත නොවෙති.


වින්සන්ට් වැන්ගෝ, කර්ට් කොබේන්, එමිලි බ්‍රොන්ටේ වැනි ආදරණීය මිනිස්සු මෙම නවාතැන්පලේ මදකට නැවතී ගියහ. සුදු වර්ගවාදයේ නිරන්තර පීඩනය දරාගත නොහැකිව මෙතැනට පැමිණි දකුණු අප‍්‍රිකානු කළු මිනිස්සු ආශ්චර්යමත් ලෙස යලි තම අරගලය මෙතැනින් ආරම්භ කලෝය. ජීවිතය අතරමඟ අතුරුදහන් වූ තම අමරණීය පෙම්වතා වෙනුවෙන් පාර්වතී මෙතැන සිට කවි ලිව්වාය. එම කවි කිසිවෙක් දුටුවේත් කියෙව්වේත් නැත. ඒත් ඇය මියෙන තුරු කවි ලිව්වාය. අඳුරු සිර කුටියේ මරණය පෙනෙන මානයේ සිරිපාල ගීයක් ගැයීය. කොහේ ද කොහේද අපේ ලොවක්. මුරකාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම නවාතැනක්.


කලාවේ ආශ්චර්යය මෙයයි. එහි අපූර්වත්වය මෙයයි. එය අප හා ජීවත් වෙයි. එය අපගේ බලාපොරොත්තුව ජීවත් කරවයි. එය අපගේ අරගලයේ අවසාන මායිමයි.


එච් එ් පෙරේරා අපගෙන් සමුගත්තේය. ඔහු නිහඩව අපෙන් වෙන්ව ගියේය. ඔහු යුගයක් නිර්මාණය කලේ නැත. ඔහු ආන්දෝලනාත්මක නිර්මාණයන් කර නැත. ඔහුව පරමාදර්ශයක් ලෙස ගන්නා පරම්පරාවක් නොවීය. ඔහු තරුවක් ද නොවීය. එහෙත් ඔහු මියගිය මොහොත සැළ වූ විගස අපට යමක් අපගෙන් අහිමි වූවා වැනි හැගීමක් ඇති විය.
මාස තුනක කාලයක් ඇතුළත ටුට්සි ජාතිකයින් මිලියනයකට අධික ගණනකගේ ජීවිත බිලිගත් රුවන්ඩාවේ සිදුවූ මිනිස් සංහාරයට සම්බන්ධවූ හුටූ ජාතිකයෙකු එම සංහාරයට වසර ගනනකට පසු එයට ඔහු සම්බන්ධවූයේ මන්ද යන්න පිළිබඳව මෙසේ පැවසීය. “මට කිසිවක් හිතාගන්න බෑ. අපිට යක්ෂයා වැහිල හිටියෙ. යක්ෂයා අපව උන්මත්තකයන් කරල තිබ්බෙ”.


සමාජයක් ලෙස අප ටිකෙන් ටික උන්මන්තකාභාවය වෙත ගමන් කරන මොහොතක කලාවේ නවාතැන්පලෙහි ඔබ නොමැතිවීම අපගේ අවසන් බලාපොරොත්තුව ද සසල කරවයි.


සමාජයක් හෝ පුද්ගලයෙක් අධික පීඩනයකින් හෙම්බත්වූ විට මෙන්ම විශාල ජයග‍්‍රහණයකින් ඔදවැඞී ගිය විටක උන්මන්තකභාවය වෙත තබන පළමු පියවර වන්නේ තමන් සතුව එතෙක් පැවති සාමාන්‍ය ආචාරධර්ම, හා වටිනාකම් අතහැරීමයි. මෙවන් මොහොතවල්වල උත්තරීතර අරමුණු විසින්, තාර්කිකත්වය විසින්, උපායශීලීත්වය විසින්, මෙන්ම වෛරය හා පළිගැනීමේ චේතනාවන් විසින් අපගේ එදිනෙදා සාමාන්‍ය බුද්ධිය යටපත් කරනු ලබයි. මෙවන් මොහොතවල්වල දහසක් මල්, දහසක් න්‍යායයන්, පවතින තත්වය සාධාරණීය කිරීමට මතුවනු ඇත. මිනිසෙකුගේ ජීවිතය විනාශ කිරීම වැරදි බව සරල සත්‍යයක් සේ විශ්වාස කළ සමාජයක ජීවත් වූ අප අද සමාජයක් ලෙස පැමිණ ඇත්තේ කොතැනකට ද?


මෙවන් සමාජයක යලි ජීවිතයේ අගය මිනිසුන් තුළ නිර්මාණය කිරීම වෙනුවෙන් ජන කරළියේ සහෝදර සහෝදරියන් සමඟ ගම් දනවු වල සැරිසැරූ එච්. ඒ. පෙරේරා කලාකරුවාගේ මතකය අපගේ සිත්වල සැමදා රඳා පවතිනු ඇත.

(උපුටා ගැනීම කටු සටහන් බ්ලොග් අඩවියෙනි.)

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.