2010-03-04

ආදරණීය පියල්, ඔබට අපේ ආචාරය! ‍| Farewell beloved Piyal Parakrama

(2010 මාර්තු 04-W3Lanka)  පරිසරවේදී පියල් පරාක්‍රම හදිසියේ අභාවප්‍රාප්ත වූයේ ය. තම විෂය පිළිබඳ සියයට සියයක් කැප වී කටයුතු කළ විශිෂ්ඨ බුද්ධිමතකු සහ සමාජ ක්‍රියාධරයකු වූ ඔහු විසින් ලාංකීය දේශපාලන ප්‍රජාව තුළ කලකින් පිරවිය නො හැකි හිස් තැනක් ඉතිරි කර යයි.


පියල්ගේ ගුණ කඳ සිහිපත් කරමින් අපි ඔහු මැතදී ජනලංකා පුවත්පතට ලියූ ලිපියක් අපි නැවත මෙසේ පළ කරමු. පියල්, ඔබට අපේ ආචාරය!


ගෝලීය සංවර්ධනය හා දේශගුණයේ වෙනස්වීම්


සටහන පියල් පරාක‍්‍රම විසිනි


අද වෙමින් පවතින දේශගුණ වෙනස් වීම ස්වාභාවික කි‍්‍රයාවක් නොව, පැහැදිලිවම මිනිසාගේ කි‍්‍රයාකාරකම්වල ප‍්‍රතිඵලයකි. මෙම දේශගූණ වෙනස් විමට මූලික හේතුව මහ පොළවේ උණුසුම ඉහළ යාමයි. ඊට ප‍්‍රධානම හේතුව ලෙස සැලකෙන්නේ වායු ගෝලයට පිටවන CO2 වායුවේ ප‍්‍රමාණය ඉහළ යාමයි. එයට හේතුව වන්නේ පොසිල ඉන්ධන දහනය වේගයෙන් වර්ධනය විම සහ එම වායුව උරා ගෙන, වායු ගෝලයේ සමතුලිතතාව පවත්වා ගෙන ගිය ස්වාභාවික කි‍්‍රයාවලියට මුල් වූ වනාන්තරද එ් හා සමාන ශීඝ‍්‍රතාවයකින් විනාශ කිරීමයි. පොසිල දහනය ඉහළ යාම සහ වන වැස්ම පහළ යාම ලෝක සංවර්ධන විග‍්‍රහයේදි පොදුවේ හඳුන්වන්නේ සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙසය. ඊට හේතුව මේ හානිකර කි‍්‍රයා දෙකේම වර්ධනය සමග ලෝක ආර්ථික වර්ධනයේ මිනුම් දණ්ඩ වන දල ජාතික නිෂ්පාදනයේ අගයද, බටහිර ලෝකයේ ජීවන මට්ටමද එ් හා සමාන වේගයකින් වර්ධනය විමයි. පොසිල ඉන්ධන දහනයේ වර්ධනය බටහිර ලෝකයේ සංවර්ධන කි‍්‍රයාදාමය වූ කාර්මික විප්ලවය වර්ධන සමග සිදු විය. කාර්මික විප්ලවයේ පදනම වූයේ ගල් අඟුරු සහ තෙල් දහනය වර්ධනය වීමය.


අනෙක් අතින් අපේ ආසියාතික රටවල සංවර්ධයේ පදනම වූයේ ගොවිතැනයි. ගොවිතැන ස්වාභාවික සම්පත් මත පවත්වා ගෙන ගිය නිසා, එය කිසි විටකත් එම සම්පත් විනාශකාරි ලෙස යොදා ගැනිම හෝ සූරා කෑම සිදු නොකළේය. එය වසර දහස් ගණනක් පවත්වා ගත් සංවර්ධනයක් විය. එය ලොව පැවැත්ම විනාශයට පත් කළ සංවර්ධන කි‍්‍රයාදාමයක් නොවුණි. ගොවිතැන හැම විටම පරිසරයට හිතකාමි ලෙසම සිදුවිය. අනෙක් අතින් වන විනාශයට හේතු වූයේ නිවර්තන කලාපයට අයත් රටවල සංවර්ධනය සඳහා කළ බව කියන වැවිලි වගාවන්, සුවිශාල ගව පට්ටි, දැව සඳහා විශාල වශයෙන් වනන්තර එලිකිරීම ආදි කි‍්‍රයාවන්ය. පොදුවේ පැවසුවොත් අද මහ පොළෙෙවි උණුසුම ඉහළ යාමට සහ දේශගූණ වෙනස් විමට ප‍්‍රධාන හේතුව වන්නේ බටහිර රටවල ආර්ථික සංවර්ධන වෙනුවෙන් සිදු කළ කි‍්‍රයාදාමයයි. මෙය බටහිර රටවල ආර්ථික සංවර්ධනය සඳහා වූ කි‍්‍රයාදාමය ලෙස හඳුන්වන්නේ, මේ කි‍්‍රයාදාමය පවත්වා ගෙන ගිය යටත්විජිත පාලනය යටතේ අපිට සිදු වුයේ ඊට පෙර සිට පැවති සංවර්ධන තත්වයේ සිට ඌන සංවර්ධිත රටවල් බවට පත් වීම නිසාය.


වස්කෝද ගාමා, කි‍්‍රස්ටෝපර් කොලම්බස්, ජේම්ස් කුක් වැනි මුහුදු කොල්ලාකරුවන් පෙරදිග රටවල් සොයා පැමිණියේ අපේ රටවල පැවති සම්පත් කොල්ලාකෑම සඳහා බව අපේ අධ්‍යාපනය අපට තවමත් උගන්වන්නේ නැත. කෙසේ වෙතත් වස්කෝද ගාමා ඉන්දියාවට පැමිණෙන විට එරට හැඳින්වූයේ රත්තරන් කුරුල්ලා ලෙසය. පෘතුගීසින් පැමිණෙන විට ලංකාව හැඳින්වූයේ පෙරදිග මුතු ඇටය ලෙසය. එසේම ලංකාව එවකට හැඳින් වූයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසටය. එනිසා මෙම බටහිර මංපහරන්නන් පැමිණෙන විට ලොව සංවර්ධිත ජාතීන් අතරට ලංකාවේ අපිද අයත් වූයෙමු. අවසානයේ යටත්විජිත පාලන සමය නාමිකව ඉවත් වනවිට අපි ලොව ඌන සංවර්ධිත රටවල් අතරට එක් වි සිටියෙමු. අපේ සම්පත් කොල්ලා කෑ බටහිර රටවල් අද ලොව සංවර්ධිත රටවල් බවට පත්ව ඇත.


බටහිර රටවලට තම සංවර්ධන මාවත ලෙස ගොවිතැන තෝරා ගැනීමට නොහැකිය. ඊට හේතුව එම රටවල් වසරේ මාස කිපයක්ම හිම පතනයකට ලක්වන නිසා, වසර පුරා ආර්ථික නිෂ්පාදනයක් පවත්වා ගැනිමට නොහැකි වීමය. එ නිසා වසර පුරාම නිෂ්පාදනය පවත්වා ගත හැකි ආර්ථික කි‍්‍රයාදාමය වන්නේ භාණ්ඩ නිෂ්පාදනයයි. එනම් කර්මාන්තයි. එම නිෂ්පාදන භාණ්ඩ අපේ රටවලට විකිණිමයි. එ සඳහා වැඩි වැඩියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමයි. එම භාණ්ඩ අලවිය සඳහා එතෙක් පැවැති පරිසර හිතකාමි, අල්පේච්ඡ ජිවන රටාව වෙනුවට භාණ්ඩ ප‍්‍රමාණය මත ජීවිතයේ උසස් බව දකින මානසිකත්වයක් අපිට ඇති කිරිමයි.


අපට ඇතුල් කළ එම මානසිකත්වයේ ප‍්‍රතිඵලය වූයේ බටහිර ආර්ථිකයේ වර්ධනයයි. වර්ධනය වන ආර්ථික සමග බටහිර ජනතාවගේ ජීවිත නිමක් නැති සුඛෝපභෝගීත්වයක් කරා රැුගෙන යාම සිදුවිය. එනිසා බටහිර ආර්ථික වර්ධනය ලෙස හැඳින් වූයේ,
1. කාර්මික නිෂ්පාදන සමග ඉහළ යන ආර්ථික වර්ධනය
2. එම වර්ධනයේ මිනුම වන දල ජාතික නිෂ්පදන දර්ශකය
3. එම ආර්ථික වර්ධනය සමග පවත්වා ගෙන ගිය භාණ්ඩ භාවිතාවේ දර්ශකය වු සුඛෝපභෝගී ජීවන රටාවය.


එම ආර්ථික ආකෘතිය හිස් මුදුනෙන් පිළිගත් අපේ රටවල්ද බටහිර ආකෘතියේ සංවර්ධනයක් කරා යාම වෙනුවෙන් එම මාවත දිගේම ගමන් කිරිම ආරම්භ කළේය. එහි ප‍්‍රතිඵලය වුයේ,
1. අපේ රටවල් ඌන සංවර්ධත රටවල් බවට පත් වීම
2. අපේ ණය බර වර්ධනය වීම
3. වනාන්තර ඇතුලූව සමස්ථ පරිසරය විනාශ වීම
4. ගෝලීය උණුසුම වර්ධනය විම සහ දේශගූණය වෙනස් විම
සහ අවසානයේ මහ පොළවමත ජීවීන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වීමයි.


මේ සංවර්ධන ආකෘතියට අනුව බටහිර පෙන්වා දුන් හරිත විප්ලවය පිළිගනිමින් අපි අපේ ගොවිතැනද යාන්තී‍්‍රකරණය කළෙමු. එහි සංකේතය වුයේ මී හරකා මස් කර ට‍්‍රැක්ටරය වැළඳ ගැනීමය. එ් අනුව යමින් අපි පොසිල ඉන්ධන දහන නොමැතිව වසර දහස් ගණනක් කළ ගොවිතැන අත්හැර, නවීන ගොවි තාක්ෂණය හරහා මහ පොළොවේ උණුසුම වර්ධනය කිරිමේ කාර්යයට දායක විම ඇරඹුවෙමු. එහි උපරිම ආර්ථික ලාබය ලැබුණේ ට‍්‍රැක්ටරය ඇතුලූ කෘෂිකාර්මික යන්ත‍්‍ර නිපදවූ බටහිර සමාගම්වලටය.


අවසන් ප‍්‍රතිඵලය ලෙස අපි ඌන සංවර්ධිත වෙද්දී බටහිර ලෝකය වැඩි වැඩියෙන් ආර්ථිකව සංවර්ධනය විය. මෙම සංවර්ධන තත්ත්වය මාරු වීම පිළිබඳව ප‍්‍රකට ඇමරිකානු ආර්ථික විශ්ලේෂකයෙකු වන පෝල් බැරල් විසින් පැහැදිලි කිරිමක් සිදු කර ඇත. ඔහුට අනුව 1830 වන විට ලෝකයේ සමස්ථ නිෂ්පාදනයෙන් 60%ක්ම නිපදවනු ලැබුවේ අද ඌන සංවර්ධිත රටවල් බවට පත්ව සිටන අපේ රටවල්ය. එහි පදනම වූයේ කෘෂි නිෂ්පාදනයයි. කාර්මික විප්ලවයේ කර්මාන්ත ඉදිරියට එද්දී, 1860 වනවිට අපේ රටවල නිෂ්පාදන ප‍්‍රමාණය 30% දක්වා පහළ වැටිම සිදු විය. පසුගිය සියවස මැද එනම් 1950 වන විට අපේ රටවල් නිෂ්පාදන ප‍්‍රමාණය ලෝක නිෂ්පාදනයෙන් 0.6% දක්වා පහළ ගියේය. අවසානයේදී බටහිර කාර්මික ආර්ථිකය විසින් අපේ කෘෂි ආර්ථිකය ගිල ගනු ලැබිය. එහි අනෙක් අන්තය වූයේ මහ පොලොවේ උණුසුම ඉහළ යාම සහ අපේ පැවැත්ම තීරණාත්මක තත්ත්වයකට පත් කරමින් සිටින දේශගූණ වෙනස් වීමයි.


අද අපට දෙන ජාත්‍යන්තර උපදෙස් වන්නේ ගොවිතැන අත්හැර කාර්මික රටක් ලෙස සංවර්ධනය වන ලෙසය. එ සඳහා අවශ්‍ය ජල විදුලිය ප‍්‍රමාණවත් නොවන්නේ නම්, බටහිර රටවලින් ඉවත් කරන ගල් අගුරු බලාගාර ගෙනවිත් සවිකර විදුලිය නිපදවීමට උපදෙස් ලැබි ඇත. අපි මේ මෙහොතේද ලෝකයට සිදු වෙමින් තිබෙන අනතුර නොදකින, නොඇසෙන අන්ධ බිහිරන් මෙන් එ උපදෙස් කි‍්‍රයාත්මක කරමින්, CO2 පිට කිරීමේ කාර්යයට වැඩි වැඩියෙන් දායක වීමට සූදානම් වෙමින් සිටිමු. එ ගොවිතැන අත්හැර කාර්මිකරණය වෙමින් සහ පෞද්ගලික ප‍්‍රවාහනයේ වර්ධනයට යටිතල පහසුකම් ලබා දෙමින්ය.


මේ අනුව බටහිර ආර්ථික සහ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් කරන මග පෙන්විම මත අපි ගමන් කරමින් සිටින්නේ සංවර්ධන දිශාවට නොව, මහ පොළොවේ අවසානය දෙසට බව බුද්ධිමත් ලෝකය තේරුම් ගෙන ඇත. එනම් පාර වැරදී ඇති බව තේරුම් ගෙන ඇත. දැන් ආපසු හැරීමට හෝ නිවැරදි මාර්ගයට එළඹීමට කාලය පැමිණ ඇත. ප‍්‍රශ්නය වන්නේ එය කළ යුතු වන්නේ කෙසේද? යන්නයි. එ් සඳහා මුලින්ම අපි බටහිර සංවර්ධනය නැමති මිත්‍යාවට රැුවටුනු බව තේරුම් ගත යුතුය. ඬේවිඞ් කොරිල්ටන් පෙන්වා දුන් ලෙස සංවර්ධනය යනු මුදල නොවන බව තේරුම් ගත යුතුය. එනම්, සොබාදහමේ ප‍්‍රාග්ධනය හෙවත් Naturel Capital මූල්‍ය ප‍්‍රාග්ධනයට වඩා ස්ථාවර බවයි. සංවර්ධනය යනු දල ජාතික නිෂ්පාදනයේ වර්ධනය නොවන බව තේරුම් ගත යුතුය. අවසාන වශයෙන් දේශගුණ වෙනස් වීම යනු බටහිර වැරදි සංවර්ධන කි‍්‍රයාදාමයේ සහ සංවර්ධනය මැණිමේ වැරදි දර්ශකවල ප‍්‍රතිඵලයක් බව තේරුම් ගත යුතුය. එ සඳහා නිවැරදි සංවර්ධන මාවතකට පිවිසීමට විම අවශ්‍ය සංකල්පීයමය වෙනස සහ එම ගමනේ නිවැරදි බව මැණීමේ සැබෑ දර්ශක මොනවාද? යන්න සොයා ගත යුතුය.


එ සඳහා අද බටහිර විද්වත් ප‍්‍රජාව විසින්ම මිනිසාට පමණක් නොව, ලෝකයටම සැබෑ ධරණිය සංවර්ධනයක් කරා පිවිසීමට විකල්ප කීපයක් ඉදිරිපත් කර ඇත. ධරණිය සංවර්ධනය හෙවත් සංවර්ධනයේ සිමාව හඳුනාගෙන කි‍්‍රයාත්මක විම (Limits to Growth) එකකි. තවත් එකක් වන්නේ දල ජාතික නිෂ්පදන මිනුම අත්හැර එ් වෙනුවට පරිසරයට වන බලපෑම මත කි‍්‍රයාකිරිමේ සංකල්පයයි. එය සොබාදහමේ පාද සටහන හෙවත් Ecological footprint ලෙස හැඳින් වෙයි.


ඊටත් වඩා හොඳ සංවර්ධන සංකල්ප වසර දහස් ගණනක් පුරා සංවර්ධිත රටවල් ලෙස පැවති අපට බටහිර ලෝකයට ලබා දීමට හැකියාව ඇත. භාණ්ඩ මත පදනම් වූ සීමාවක් නැති සුඛෝපභෝගී ජිවන රටාව වෙනුවෙට පරිසරය සමග බැඳුනු අල්පේච්ඡු ජීවන රටාව එක් සංකල්පයකි. භාණ්ඩ මත සමාජ තත්ත්වයත් මැණීම සහ දල ජාතික නිෂ්පාදනය ආර්ථිකයේ මිණුම ලෙස යොදා ගැනීම වෙනුවට නිරෝගි බව පරම ලාභය බවත් සතුට පරම ධනය ලෙසත් සැලකිම තවත් එකකි.


එය CO2 වයුගෝලයට මුදා හැරීම අඩු කරනු ඇත. මහ පොළවේ උණුසුම සිසිල් කරනු ඇත. දේශ ගුණය වෙනස්වීම පාලනය කරනු ඇත. මහපොළොව මත හැම ජීවියාගේම ජීවිත තවත් වසර දහස් ගණනකට වඩාත්ම සුරක්ෂිත ස්ථානය බවට පත් කරනු ඇත. සංවර්ධනය යනු එය දැයි සිතා බැලිමට අපට හැකියව ඇත. මෙම යථාර්තය අමතක කර, මහ පොළොවේ දේශගුණ වෙනස පාලන කිරිමට කරන උත්සහයන් සහ සමුළු සියල්ලම අරගලයන්ගේ පිරි, එකඟතාවයන් නොමැති බලාපොරොත්තු කඩ වීම් ලෙස අවසන් වීම ගැන පුදුම විය යුතු නැත. කෝපන්හේගන් හි සිදු වූයේද එයමයි.

1 comment:

  1. පියල් අයියා, ඔබේ සේවය අමරනීයඉ ඔබ අප අතරම අපේ පරිසරයටම නෑවත එන්න...අපේ පරිසරය බේරගන්න අපෙට උදව් කරන්න............

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.