2010-03-21

ෆෙඩරල්වාදය මේසය උඩ; ෆෙඩරල්වාදියෝ මේසය යට | Federalism on the table in Sri Lanka while federalists gone to hiding

අජිත් පැරකුම් ජයසිංහ - 


'16වන සියවසේදී බටහිර බලවතුන් පැමිණෙන්නට පෙර, ලංකා දිවයිනේ රාජධානි තුනක් තිබිණි. උතුරේ පිහිටා තිබුණු ඉන් එකක් දෙමළ ජනයාට හිමි විය. කන්ද උඩරට රාජධානිය අවසානයට ම 1815දී බ්‍රිතාන්‍යයන් අතට පත් විය. 1833දී බ්‍රිතාන්‍යයන් පරිපාලන පහසුව තකා මෙම දේශයන් තුන එක් කළ අතර එයින් ලංකාව එක් භූමියක් බවට පත් විය. 1848දී යටත් විජිත පාලකයන්ගෙන් නිදහස් ලබා ගනිද්දී යටත් විජිත රජය සාමාන්‍ය බහුතර පාලනයක් සහිත ඒකීය ස්වරූපයේ ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කළේය.' මේ දෙමළ ජාතික සන්ධානය මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ආරම්භ වන ආකාරයයි.


දෙමළ ජාතික සන්ධානයේ සිදු වී තිබෙන බෙදීම දේශපාලනික එකකි. එමෙන් ම එය දෙමළ ජාතික දේශපාලනයේ අර්බුදය ප්‍රකාශ කරන කැඩපතක් ලෙස ද දැකිය හැකි ය. දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීන් ගණනාවකට මහ මැතිවරණය සඳහා නාම යෝජනා අහිමි වී තිබේ. නාම යෝජනා අහිමි වූ මන්ත්‍රීන් අතරින් ඇතැමෙක් ආණ්ඩුවට කඩේ ගිය අය වෙති. එහෙත් ඇතැමෙකුට නාම යෝජනා අහිමි වීම පිටුපස ඇත්තේ දේශපාලනික කාරණයකි. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනික බෙදීම සලකුණු වන්නේ එතැනිනි.


දෙමළ ජාතික සන්ධානයේ නාම යෝජනා අහිමි වඩාත් දේශපාලනික කොටස වනාහි දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය හෙවත් වෙන් වීමේ හිමිකම අවධාරණය කරන දැඩි ජාතිකවාදීහු වෙති. සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක, පනහට පනහ ඉල්ලීමෙන් ප්‍රසිද්ධියට පත් දෙමළ නායක ජී.ජී. පොන්නම්බලම්ගේ මුණුබුරු ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, පොංගු තමිල් නම් දෙමළ සංස්කෘතික ව්‍යාපාර‍යේ නායිකාවක වූ පද්මිනී සිදම්බරනාදන් හා කොටි සංවිධානය හා සම්බන්ධව සිටි අය මෙම පිරිස අතර වෙති. ඔවුන්ගේ දේශපාලනයට දෙමළ විදෙස්ගත ප්‍රජාවේ බලපෑම දැඩිව ම දැනී තිබේ.


කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය වීමත් සමග ලාංකීය භූමියේ දෙමළ දේශපාලනයේ ආධිපත්‍යය එයට අහිමි වූ මුත්, දෙමළ විදෙස්ගත ප්‍රජාව අතර වඩා ප්‍රජාතන්ත්‍රවාදී හා රාජ්‍ය තාන්ත්‍රික ස්වරූපයකින් නැගී සිටිමින් බලය තහවුරු කර ගැනීමට ඔවුහු සමත් වූහ. එහෙත්, මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ බලය හිමි වී තිබෙන්නේ ෆෙඩරල් පක්ෂය, ඊ.පී.ආර්.එල්.එෆ් හා ටෙලෝ යන පක්ෂ නියෝජනය කරන ධනේශ්වර ලිබරල්වාදීන්ටයි. ඔවුහු මේ වන විට ඉන්දීය හා කොළඹ ආණ්ඩු සමග සහයෝගිතා දේශපානයක් හරහා සීමිත බලය බෙදීමක් භාර ගනිමින් ෆෙඩරල් හෝ ඒකීය ලංකාවක රාමුව තුළ ධනේශ්වර දේශපාලනයකට කැමැත්ත දක්වන පිරිසකි.


පශ්චාත් යුද කාලීන ලංකාවේ දෙමළ දේශපාලනය තුළ මතු වී තිබෙන ප්‍රබල ම ගැටුම වන්නේ කොළඹ කේන්ද්‍රීය පාලනය යම් සීමිත සංශෝධන සහිතව භාර ගැනීමට සූදානම් ධනේශ්වර ලිබරල්වාදීන් හා ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් වූ සටන දිගට ම ගෙන යාම තෝරා ගත් දෙමළ ජාතිකවාදීන් අතර ගැටුමයි. ඔවුන් ඉදිරි මහ මැතිවරණයේදී කෙසේ ඡන්ද ලබා ගනු ඇද්ද යන්න නිරීක්ෂණය කිරීම වැදගත් ය.


මේ වන විට ‍දෙමළ ජාතික සන්ධානයේ ආධිපත්‍යය ආර්. සම්බන්ධන් (ඉලංකෛ අරසු කච්චි), සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් (ඊ.පී.ආර්.එල්.එෆ්.) හා සෙල්වම් අඩෛකලනාදන් (ටෙලෝ) වැනි අයගේ නායකත්වයෙන් යුත් බලවේග අතට පත්ව තිබේ. දෙමළ ජනයා මහින්ද රාජපක්ෂට විරුද්ධව ඡන්දය දීමෙන් ඔවුන් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන බව පවසා ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ජනාධිපතිවරණයෙන් පසු පැවසීය. තමන් වෙන ම ජනතාවක් බව හා තමන්ට දේශපාලන විසදුමක් අවශ්‍ය බව මෙම ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව පවසා ඇති බව ද ඔවුන් සමග බලය බෙදා ගැනීම අවශ්‍ය බව ද ප්‍රේමචන්ද්‍රන් කීවේය. දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකින්නේ මෙම සංදර්භය තුළයි.


1951දී ඉලංකෛ තමිල් අරසු කච්චි හෙවත් ෆෙඩරල් පක්ෂය බිහි වූ පදනම වූ දෙමළ ජනයා සිංහලයන්ගෙන් වෙනස් වෙනම ජාතියක් වීම හා ඔවුන්ට ස්වයං නිර්ණ හිමිකම තිබීම යන කරුණු වෙත ආපසු යන දෙමළ ජාතික සන්ධානය එම හිමිකම සඳහා අවශ්‍ය සාධකයක් ලෙස උතුරු නැගෙනහිර ෆෙඩරල් සැකැස්මක් ඉල්ලා සිටි බව පෙන්වා දෙයි. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද පළාත් සභා පිළිබඳව දෙමළ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙසේ ය.


'ඉන්දු-ලංකා ගිවිසුම අනුව 1987දී උතුරු-නැගෙනහිර ඒකාබද්ධ කරන ලද සැකැස්මක් හඳුන්වා දෙන ලදී. ඒ ඔස්සේ අවම බලතල සහිතව පළාත් සභා පිහිටුවීමක් සිදු විය. එහෙත් රාජ්‍යයේ ස්වභාවය තවමත් ඒකීය ලෙස විස්තර කරන ලද අතර බලය ආපසු කේන්ද්‍රය වෙත ලබා ගැනීම සඳහා 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පාවිච්චි කෙරිණී. කෙසේ වෙතත්, මේ ඔස්සේ තේරුමක් ඇති බලය බෙදාගැනීමේ සැකැස්මක් ක්‍රියාත්මක වූයේ නැත.'


දෙමළ ජාතික සන්ධානය විසින් 1994-2000 චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග ආණ්ඩු සමයේ මහාචාර්ය ජී.එල්. පීරිස් ආදීන්ගේ ප්‍රධානත්වයෙන් සම්පාදිත ව්‍යස්ථා කෙටුම්පත ඇගයීමකට ලක් කරන බව පෙනේ. 2000දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත මගින් රජයේ ඒකීය ස්වරූපය වෙනස් කර, පාලන බලතල විෂයෙහි බෙදාහදාගත් ස්වෛරීත්වයක් සඳහා වූ සැකැස්මක් හඳුන්වා දුන් බව එය පෙන්වා දෙයි. දෙමළ ජාතික සන්ධානය 2010 මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කරන්නේ ද බෙදාහදාගත් ස්වෛරීත්වයක් මත පදනම් වූ බලය බෙදාගැනීමේ සැකැස්මක් සඳහා වන ඉල්ලීමකි.


ඒකාබද්ධ කරන ලද උතුරු-නැගෙනහිර ඒකකයක් මත, දෙමළ කතා කරන මුස්ලිම් ජනයාට ද පිළිගත හැකි ආකාරයේ, සංවර්ධනය සඳහා ඍජුව විදේශ ආධාර ලබා ගත හැකි ෆෙඩරල් ව්‍යූහාත්මක බලය බෙදාගැනීමේ සැකැස්මක් දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටියි.


ලාංකීය දිවයිනේ භූමි සීමාව තුළ, බහුතර ජාතිය වන සිංහලයන් සමග දේශපාලනයේ සම අවස්ථා බෙදා හදා ගනිමින් එක්ව විසීමේ අවශ්‍යතාව ලංකාවේ දෙමළ දේශපාලනය තුළ හැම විට ම පාහේ තිබිණි. එහෙත්, එය වනාහි මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණ ද ඇතුළුව සිංහල නායකයන් සිතන අන්දමට, සිංහල මූලික කොළඹ කේන්ද්‍රීය රාජ්‍ය ව්‍යූහයක් තුළට යටත් කර ගාල් කර ගැනීමෙන් පසු එක්ව විසීමේ සාමයක් නොවන බව දැන්වත් වටහා ගත යුතුය. ලාංකීය භූමියේදී දෙමළ ජාතිකවාදී කොටි සංවිධානය යුදමය හා දේශපාලනික වශයෙන් තලා දැමීමෙන් පසු නැවත වතාවක් දෙමළ ෆෙඩරල්වාදයට නිදහස් දේශපාලන අවකාශයක් නිර්මානය වී තිබේ. මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරන ඉල්ලීම වනාහි දෙමළ ඩයස්පෝරාවේ වෙනම රාජ්‍ය ඉල්ලීමෙන් වෙනස් එක්ව විසීමේ කැමැත්ත ප්‍රකාශ කරන සාධනීය යෝජනාවක් ලෙස ගැනීමට හෝ සිංහල සමාජය සූදානම් විය යුතු ය.


එහෙත්, නැවත වතාවක් දැකිය හැකි වන්නේ සුපුරුදු සිංහල අවස්ථාවාදයේ නව ජවනිකාවක් පමණි. පසුගිය සමයේ ෆෙඩරල් අදහස් අලෙවිකරණයේ යෙදුණු මහාචාර්ය ජී.එල්. පීරිස්, ආචාර්ය කුමාර් රූපසිංහ, වික්ටර් අයිවන්, වාසුදේව නානායක්කාර වැනි බුද්ධිමතුන් පවා දැන් ඒකීය හා වැඩවසම් රාජ්‍යවාදී මහින්ද චින්තනයේ අනුගාමිකයන් වී ඇත. පසුගිය කාලයේ පඳුරකට පයින් ගැසූ විට බුරුතු පිටින් දුවන්නට පටන් ගත් අසංඛ්‍යයක් නොරාජ්‍ය සංවිධාන පීස්නික්වරුන්ගේ ලිපිනයක්වත් දැන් සොයා ගැනීමට නැත. මහත්වරුනි, ඔන්න දැන් ඔබේ ප්‍රශ්නය වූ කොටි සංවිධානය තලා පෙළා දමන ලද සංදර්භය තුළ ඔබ දෙසූ ෆෙඩරල්වාදය දෙමළ ජනයා අතරින් ම මේසය මතට පැමිණ තිබේ. ෆෙඩරල්වාදයේ දෙවිවරුනි, ඔබ කොහිද?


සයුරෙන් එතෙර දෙමළ විදෙස්ගත ප්‍රජාව අතර හිඳිමින් දෙමළ දේශපාලනයේ ජාතිකවාදී ලොකු අයියා ලංකාවේ සිදු වන දේ දෙස පරීක්ෂාවෙන් බලා සිටියි. ලංකාවේ දෙමළ නායකයන් සිංහල නායකයන් සමග සම්මුතියකට එළඹීම සඳහා දරන මෙම අභියෝගාත්මක උත්සාහය හමුවේ අහක බලන ඔබේ මිනීමරු නිෂ්ක්‍රීයත්වය විසින් ලංකාවට තවත් ඓතිහාසික අවස්ථාවක් අහිමි කරනු ඇත.

7 comments:

  1. දෙමල "ජාතිකවාදීන්" සහ සිංහල "ජාතිවාදීන්" අතර වෙනස කුමක්ද?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Dark Lord said...
    demala kattiya goleeya karanayata kamathi aya
    ape kattiya lin madiyo
    habayi degolloma salli denawanam ona kenekta kade yanawa

    ReplyDelete
  4. දෙමළ ජාතිකවාදීන්ට රටක් නැහැ. සිංහල ජාතිකවාදීන්ට රටක් තියෙනවා. ඔන්න වෙනස.

    ශාන්

    ReplyDelete
  5. දෙමළ ධනේශ්වරය හැමදාම කැමති වූයේ තමන්ට යම් බලයක් ලැබෙන එහෙත් පූර්ණ නිදහස් නොවූ 'ෆෙඩරල්' විසඳුමකටය. (මේ කතා කරන්නේ ධනපතියන් ගැනම නොවේ. යූ ඇන් පිය තුළ මෙන්ම දෙමළ ධනේශ්වරය තුළද සෑම පන්තියකම ජනතාව වෙති.) වෙනම රාජ්‍යයක් ඉල්ලුවේ ප්‍රභාකරන් වන් ජාතිවාදී මොට්ටයන් විතරය. එවැන්නක් ප්‍රායෝගික නොවේ. ලංකාව ඉඩ දුන්නත් ඉන්දියාව කවදාවත් දෙමළ ස්වයං පාලනයකට ඉඩ දෙන්නේ නැත. දැන් එය සිහිනයක් විතරය. එනිසා දෙමළ දේශපාලනය මස් රාත්තල ඉල්ලීමේ තැනින් මෑත් වී ප්‍රායෝගික විසඳුමක් බලාපොරොත්තු වීම අගය කළ යුතුය.

    කණගාටුදායක කාරණාව මේ දෙමළ ධනේශ්වරය හා අත්වැල් බැඳ ගැනීමට සිංහල ධනේශ්වරයට ඕනෑකමක් හෝ හැකියාවක් නැති වීමය. යූ ඇන් පිය දැන් කඳක් හෝ ඔළුවක් නැති පක්ෂයකි. මේ නිසා සිදුවිය හැකි එකම දෙය රාජපක්ෂ රෙජීමයට විරුද්ධව දෙමළ දේශපාලනය නැවත අන්තවාදය කරා තල්ලු වීම පමණය.

    ReplyDelete
  6. සමාවෙන්න, මං ඇහුවෙ මේ බ්ලොග් එකේ සිංහල අයට "ජාතිවාදීන්" (racist) කියලයි දෙමල අයට කයන්නකුත් එක්ක "ජාතිකවාදීන්" (nationalist) කියලයි කියන්නෙ මොකක් හරි හේතුවක් ඇතුවද කියල. ඉංග්‍රීසි වචන දෙක ගැලපෙන්නෙ නැතුව ඇති, ඒත් ප්‍රශ්නෙ තේරෙනව ඇති නේද?

    ReplyDelete
  7. මෙම ලිපියේ කොතැනකවත් ඔබ කියන අන්දමට සිංහල අයට "ජාතිවාදීන්" (racist) කියලයි දෙමල අයට කයන්නකුත් එක්ක "ජාතිකවාදීන්" (nationalist) කියලයි යොදා නැත. එසේ ම මෙම බ්ලොග් අඩවිය පුරාමත් එසේ භාවිතා කර නැත.

    අප එසේ භාවිතා කරන්නේ යයි සිතීම ඔබේ මනස්ගාතයකි. අප සිංහලයන්ට ජාතිවාදීන් කියා දෙමළ අයට ජාතිකවාදීන් කීමේ ව්‍යාධියකින් පෙළේ යයි මෙම බ්ලොග් අඩවියේ මෙතෙක් පළ වූ ලිපි හරහා ඔප්පු කරන්නැයි අපි අභියෝග කරමු.

    අපේ දේශපාලනික ස්ථාවරය පැහැදිලි එකකි. අපි ජාතිකවාදයට විරුද්ධ නැත. අප කියන්නේ සිංහලයන්ට තම ජාතිකවාදය ප්‍රවර්ධනය කරන්නට තිබෙන අයිතිය දෙමළ අයට ද තිබිය යුතු බවයි. දෙමළ ජනයාට එම හිමිකම නැති යයි යමකු තර්ක කරන්නේ නම් ඔහු හෝ අය පැහැදිලිව ම සිංහල ජාතිවාදියෙකි.

    දෙමළ ජනයා අතර ද ජාතිවාදීහු සිටිති. සිංහලයා සමග කුමන තත්වයක් යටතේ හෝ කිසිදු සම්මුතියක් අනවශ්‍ය බව හා ‍දෙමළ ජනයාට අවශ්‍ය ඊලම ම පමණකැයි කියන්නෝ දෙමළ ජාතිවාදීහු වෙති.

    සිංහල ජාතිවාදීන් ප්‍රමාණාත්මකව සුළුතර වීම නිසා දෙමළ ජාතිකයන් බලයෙන් මර්දනය කරන අන්දමින් ම දෙමළ ජාතිවාදියෝ ද ප්‍රමාණාත්මකව සුළුතර මුස්ලිම් ජාතිකයන් මර්දනය කරති. මුස්ලිම් ජාතිවාදියෝ මෙය ම මැලේ ජනයාට කරති.

    ජාතිකවාදය තුළ ද ජාතිවාදී ප්‍රවණතා තිබේ. ඒවා දුටු තැනදී අපි ජාතිවාදය ලෙස එය හඳුනා ගනිමු. ජාතිවාදියා සිංහල වුණත් දෙමළ වුණත්, ඌට ජාතිවාදියා යයි කියන්නට අපි බය නැත.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.