2010-03-13

මුරුගසන් වරුසාවට තෙමුණ පාර්ලිමේන්තුව | The swan song of Sri Lanka's parliamentary system

අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ දේශපාලනයේ මේ මොහොතේ සිදු වෙමින් පවතින පරිණාමය භයානක විහිළුවක ස්වරූපය ගෙන තිබේ. කල්පාන්ත මේඝයෙන් මුරුගසං වරුසාව වසින්නට වූ පසු මිනිසුන්ට මෘග සංඥාව පහළ වී තිරිසනුන් ලෙස හැසිරෙනු ඇතැයි මිථ්‍යා සාහිත්‍යයේ සඳහන් වේ. ලංකාවේ දැන් සිදු වී ඇත්තේ ද එවැන්නකි. ලංකාවේ ද නිමාව දකිමින් තිබෙන්නේ එක්තරා අභද්‍ර දේශපාලන කල්පයකි. මෙය ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ අවසානය නම් මෙතැනින් එහාට ඇත්තේ මියන්මාර් පන්නයේ පසුගාමිත්වයක් වනු ඇත. එහෙත්, ලංකාව මෙහිදී ලෝකයට අලුත්ම අත්දැකීමක් වනු ඇත. මක් නිසාද යත් මේ සියල්ල සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හැඩගන්වන ලද රාමුවක් තුළ නිසා වීමයි. එනම්, හැඩගස්වා ගන්නා ලද බහුතර මහජන කැමැත්තක අනුමැතියට යටත්වයි.  


පසුගිය මාර්තු 09දා පැවැත්වුණ පාර්ලිමේන්තු රැස්වීම ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ හා රාජ්‍ය පාලනයේ වත්මන් තත්වය නිරූපණය කරන කදිම හරස්කඩකි. ඒ පසුබිමේ ඇති සිදුවීම් විසින් ඇඟ ලොමු ඩැහැගන්වන, එහෙත් ඉල ඇදෙන හාස්‍යයක් ඇති කරයි. මේ භයානක යථාර්ථය හමුවේ සිනාසෙනවාද අඬනවාද යන්න යන්න තෝරාගැනීමේ ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හෝ තවම ඉතිරි වී තිබේ නම් වාසනාවකි. එහෙත්, අනුපිළිවෙලකින් තොරව අප පහත පෙළගස්වන ප්‍රතිවිරෝධතා සිදුවීම් පෙළ අතිශය නාට්‍යමය ඒවා වේ. 


අංක 1: ජොන්ස්ටන්ට හා ඉන්දිකට මන්ත්‍රී පදවි අහිමි වීම


ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීමට හෙවත් තමන්ට ඇමතිකම් ගැනීමට මෑතදී ආණ්ඩුවට කරනම් ගැසූ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඉන්දික බංඩාරනායක යන එජාප මන්ත්‍රීන් දෙදෙනාට මන්ත්‍රී පදවි අහිමි වීම නිසා ඔවුන්ට මාර්තු 09 ඓතිහාසික පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට නොලැබිණි. ඔවුන්ට තනතුරු අහිමි වුණේ එක්සත් ජාතික පක්ෂය විසින් ඔවුන් සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද නිසා ය. 2004දී එජාපයෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීන් 40ක් පමණ ආණ්ඩුවට එක් වී ඇමතිකම් ලබා ගත් අතර ඔවුන් නෙරපා හැරීමට එජාපය කටයුතු කළේය. එහෙත් ඔවුන් කළේ අධිකරණයට ගොස් වාරණ නියෝග ලබා ගැනීමයි. ඒ පිහිටෙන් ඔවුන් චූන් එකේ ඇමති පුටු රත් කළහ. ජොන්ස්ටන් හා ඉන්දික ද මෙම පියවර ගෙන තිබිණි. එහෙත්, පෙබරවාරි 08දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නීතිඥයන්ට සල්ලි විසි කිරීම තේරුමක් නැති බැවින් ඔවුහු නඩුව ඉල්ලා අස් කර ගත්හ. විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවනු ඇතැයි සිතන්නේ මොන මෝඩයාද? 


අංක 2: පාර්ලිමේන්තුව යළි කැඳවීම


ලංකාවේ සිදු වන්නේ 'එන එන හැටියට ගහ උළුවස්සා' යයි ගැමි වහරේ ඇති ආකාරයේ දේශපාලනයකි. හදිසි නීතිය දීර්ඝ නොකළොත් දැනට රටේ තිබෙන සාමාන්‍ය නීතිය වන එය වෙනස් වී සිවිල් නීතිය සාමාන්‍ය නිතිය බවට පත් වී තේරුම් ගන්නට බැරි මළ විකාරයකට ජනතාවටත්, විශේෂයෙන් ම පාලකයන්ටත් මුහුණ දීමට සිදු වන නිසා ජනාධිපති උතුමාණෝ සිය විධායක බලතල පාවිච්චි කරමින් හදිසි නීතිය මසකින් දීර්ඝ කළේය. එහෙත් පාර්ලිමේන්තුව විසින් එම පියවර අනුමත කළ යුතුව ඇත. එහෙයින් පාර්ලිමේන්තුව ද යළි කැඳවන ලදී. 


අංක 3: හදිසි නීතිය පවත්වාගෙන යාම සඳහා කැප වූ පාර්ලිමේන්තුව


2010 වසරේ ජනවාරි, පෙබරවාරි, මාර්තු යන මාස තුනේදී ම පාර්ලිමේන්තුව රැස් වුණේ එක් දිනය බැගිනි. ඒ හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම සඳහා ය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය තහවුරු කිරීම සඳහා ඉවහල් වන නීති සම්පාදනය කිරීම සඳහා වූ මහජන නියෝජිතයන්ගෙන් සැදුම් ලත් ව්‍යවස්ථාදායකයයි. එහෙත්, ලංකාවේ ව්‍යවස්ථාදායකය රැස් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වළලා දමන හදිසි නීති රෙගුලාසි පවත්වාගෙන යාම සඳහා පමණි. රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ තරම එයින් ම ප්‍රකාශ වේ. 


අංක 4: වැටුප් නොගැනීම


"අද විතරයි පාර්ලිමේන්තුව රැස්‌වන්නේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ගමන්මග ශක්‌තිමත් කළ යුතුයි. මන්ත්‍රීවරයකු විදිහට එක දවසක්‌ විතරක්‌ පාර්ලිමේන්තුවට ඇවිත් වාඩිවෙලා පඩි ගන්න පුළුවන්ද? මට නම් බැහැ. ඒ නිසා මම මේ මාසයේ මන්ත්‍රී වැටුප ගන්නේ නැහැ. අනෙක්‌ මන්ත්‍රීවරුන්ටත් කියනවා මේ මාසයේ වැටුප ගන්න එපා කියලා. ඒක ගන්න එක වැරදියි. එහෙම කළොත් අපත් විකෘති පෙරමුණේ තත්වයට වැටෙනවා," යි කම්කරු ඇමති ආචාර්ය මර්වින් සිල්වා මාර්තු 09දා පාර්ලිමේන්තුවේදී පැවසීය. 


එක රැස්වීමකට පමණක් සහභාගි වී මාසයක වැටුප් ගැනීම හොඳ නැතිනම්, ඇත්තෙන් ම ජනවාරි හා පෙබරවාරි මාසවල වැටුප ද නොගෙන සිටිය යුතු ය. මන්ද ඒ මාස දෙකේ ද පාර්ලිමේන්තුව රැස් වී ඇත්තේ එක් වතාවක් බැගින් පමණක් හෙයිනි. 


"නොවැම්බර් මාසයේ නියමිත දින අටෙන් සභාව රැස්‌වුණේ දින තුනයි. ජනාධිපති පදවි ප්‍රාප්තියත්, එතුමාගේ උපන් දිනයත් නිසා රැස්‌වෙන්න බෑ කිව්වා. දෙසැම්බර් මාසෙත් දවස්‌ අටෙන් රැස්‌ වුණේ එක දිනයයි. ජනවාරි මාසෙත් එක දවසයි. පෙබරවාරිත් එහෙමයි," යි ජනවාරි මාසයේ පාර්ලිමේන්තු රැස්වීමේදී පෙන්වා දීමට සිදු වූයේ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායකටයි. 


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුප රුපියල් 54,285 ක් වන අතර තවත් රු. 50,000ක පමණ ඉන්ධන, දුරකථන, විනෝදාස්‌වාද ආදී තවත් දීමනා ද මහජන මුදලින් ලබා ගැනීමට මන්ත්‍රීන්ට අවස්ථාව තිබේ. 


අංක 5: ආරක්ෂාව


ප්‍රභූ ආරක්ෂාව යනු මහින්ද රාජපක්ෂ පාලනය විසින් හැම විටම දේශපාලන අවියක් ලෙස භාවිතා කරනු ලබන්නකි. තමන්ට පක්ෂපාතී ප්‍රභූන්ට දැවැන්ත ආරක්ෂාවක් ලබා දෙන අතර යමකු අහිතවත් වූ හිටියේ ආරක්ෂාව කප්පාදු කර අදාළ ප්‍රභූවරයාගේ ජීවිතය සතුරන්ට නිරාවරණය කරනු ලැබේ. ආරක්ෂකයන් පිරිවරාගෙන මහජනයා අතර ගැවසීම දේශපාලකයන්ගේ හීනමානයේ ප්‍රකාශනයක් ද, විලාසිතාවක් ද වී තිබේ. එහෙයින් එය හුදු ආරක්ෂක කාර්යයක් පමණක් නොවේ. 


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග ම විපක්ෂ මන්ත්‍රීන්ගේ ආරක්ෂාව වහා ඉවත් කරනු ලැබුවේ පළි ගැනීම පිණිස බව රහසක් නොවේ. එහෙත් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවීමත් මග විපක්ෂයෙන් පළි ගැනීම සඳහා ඉවත් කරන ලද මන්ත්‍රී ආරක්ෂාව ද යළි ලබා දෙන්නට සිදු වී තිබේ. 


අංක 6: අලුත් මන්ත්‍රීවරු


හදිසි නීතිය දීර්ඝ කිරීම පිණිස අප්‍රේල් 06දා යළි පාර්ලිමේන්තුව රැස් වූ විට අලුත් මන්ත්‍රීන් දෙදෙනෙකු දිවුරුම් දෙනු ඇත. මෙම මන්ත්‍රීවරු දෙදෙනා වනු ඇත්තේ අනුර ගොපල්ලව හා ඩී.එම්. බංඩාරනායකයි. අප්‍රේල් 08දා මහ මැතිවරණය පැවැත්වෙන අතර, එයින් තේරී පත් වන මන්ත්‍රීවරු අප්‍රේල් 22දා පළමු රැස්වීමට සහභාගි වෙති. මේ අලුත් මන්ත්‍රීන් දෙදෙනා සහභාගි වන්නේ එක් පාර්ලිමේන්තු රැස්වීමකට පමණක් විය හැකි ය. එහෙත් ඔවුන්ට  දෙයියනේ කියා මාසෙ අන්තිමට මහජන මුදලින් රු. 50,000කට වැඩි පඩියක් ද තවත් රු. 50,000කට ආසන්න දීමනා ද සාක්කුවේ දමාගෙන නිකම් ඉන්න එකේ අහල ගියත් මොකදැයි කියා ගෙදර යා හැකි ය.  මේ මන්ත්‍රීවරුන් දැන් මොන පක්ෂයේ ඉන්නවාදැයි අපි නොදනිමු. එහෙත් ඔවුන් පාර්ලිමේන්තු යනවා නම් යන්නේ එක්සත් ජාතික පක්ෂයෙනි. ඔවුන්ට මේ පොට්ට චාන්ස් එක වැදුනේ මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට හෙවත් තමන්ට ඇමතිකම් ගැනීමට මෑතදී ආණ්ඩුවට කරනම් ගැසූ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඉන්දික බංඩාරනායක යන එජාප මන්ත්‍රීන් දෙදෙනාට පදවි අහිමි වී යාම නිසා ය. 


ගැටුම අංක 7: මෑත ඉතිහාසයේ පළමු වතාවට ජවිපෙ හදිසි නීතියට එරෙහිව ඡන්දය දුන්නේ මාර්තු 09දා ය. ජවිපෙට හදිසි නිතියට එරෙහි විය යුතු බව සිහිපත් වන්නේ හදිසි නීතිය සාධාරණීකරණය පිණිස ඔවුන්ට ඉවහල් වූ ගජමිතුරා වන ප්‍රභාකරන්ගේ මරණයෙන් ද දස මසකට ඉක්බිතිව ය. ඒ වනාහි 2004 සිට පැවති ජවිපෙ පාර්ලිමේන්තු රන් යුගය නිමා වී පාර්ලිමේන්තුව විසුරුවා හැරියාටත් පසුවයි. ඒ වන විට හදිසි නීතියට විරුද්ධව ජවිපෙ නඟන හඬ අතිශය දුබල ය. එයට ප්‍රධාන හේතුව වන්නේ ජවිපෙ නායකයන් සමග එක පතේ  කෑ මිතුරන් පිරිසක් දැන් පාර්ලිමේන්තුවේදී ම ගෝනි බිල්ලන් බවට පත් වී ඇති හෙයිනි. 1989 කැරලි සමයේදී සිදු වූ පරිද්දෙන් දැන් ඔවුහු සිය පැරණි සගයන් පාවා දෙති. කන්න දුන් අය පමණක් නොව කෑ පත ද සතුරන්ට අල්ලා දෙති. 2010 අප්‍රේල් 22 රැස් වන පාර්ලිමේන්තුවේ මේ හඬ මීටත් වඩා දුබල විය හැකි ය. 


හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන අණ පනත් මෙරට සාමාන්‍ය නීතිය බවට පත් කරමින්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධීපති උන්මත්තකයන් ඔසවා තැබීම සඳහා ජවිපෙ විශාල කාර්යභාරයක් කළේ ය. ලාංකීය සමාජය මන්ද බුද්ධික තත්වයට පත් කිරීම සඳහා ජවිපෙ විසින් කරන ලද වැඩ කොටස සමාව දිය හැකි එකක් නොවේ. 


අංක 7: රැඳවුම් කඳවුරු


අලුතෙන් රැඳවුම් කඳවුරු අටක් පිහිටුවීමට රජය ගත් පියවර පිළිබඳ ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මාර්තු 09දා පාර්ලිමේන්තු රැස්වීමේදී ප්‍රශ්න කළේය. කොටි සංවිධානය මර්දනය කරන ලදී. ජවිපෙ පාර්ලිමේන්තුවෙන් පැන්නීමට ආණ්ඩුවත්, එජාපයත් දෙක ම උත්සාහ කරති. ජවිපෙ විසින් ඔසවා තොරොම්බල් කරන ලද සමාජ බලවේගය අපේක්ෂා භංගත්වයට ගොදුරු වෙමින් සිටියි. ලාංකීය සමාජයේ විශාල කොටසක් දේශපාලන ක්‍රමයෙන් බැහැර කර තිබේ. සමාජ, ආර්ථික ප්‍රශ්න ද ඔඩු දුවමින් ඇත. අසහනය ප්‍රචණ්ඩත්වයට ද, ප්‍රචණ්ඩත්වය රැඳවුම් කඳවුරුවලට ද දොර අරිනු ඇත.   

1 comment:

  1. හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන අණ පනත් මෙරට සාමාන්‍ය නීතිය බවට පත් කරමින්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධීපති උන්මත්තකයන් ඔසවා තැබීම සඳහා ජවිපෙ විශාල කාර්යභාරයක් කළේ ය. ලාංකීය සමාජය මන්ද බුද්ධික තත්වයට පත් කිරීම සඳහා ජවිපෙ විසින් කරන ලද වැඩ කොටස සමාව දිය හැකි එකක් නොවේ.
    JVP witharak neme SF tah samawa diya haki nowe. mun okkoma lankawen athu gawila yana tharamata hondai

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.