2010-04-03

ඡන්දෙන් වැඩක් නැත්තේ ම නැත | Minimum value of your vote


අජිත් පැරකුම් ජයසිංහ - 

ලංකාවේ අද වන විට නිර්මානය වී තිබෙන සමාජ දේශපාලන පරිසරය ප්‍රගතිශීලී අන්දමින් වෙනස් විය යුතු යයි සිතන සමාජ බලවේග අතර මේ වන විට ඇති වී තිබෙන්නේ තදබල මන්දෝත්සාහීභාවයකි. මැතිවරණ පිළිබඳ විශ්වාසය බිඳ වැටී තිබෙන අතර ඒ ඔස්සේ සාධනීය සමාජ වෙනසක් අපේක්ෂා කළ නොහැකිය යන අදහස සමාජයේ මුල් බැස ගනිමින් ඇත. වැඩිදෙනෙක් තිබෙන තත්වය වෙනස් කිරීමේ අභියෝගයට උර දෙනවා වෙනුවට ඒ හරහා තම ආත්මාර්ථකාමී අභිලාෂයන් සාක්ෂාත් කර ගන්නේ කෙසේදැයි සිතන තත්වයට සමාජය පිරිහී තිබේ.


මහ මැතිවරණය යනු එළිපිට කෙරෙන අදහස් මංකොල්ලයකි. ජනමතය තමන්ට උවමනා අන්දමින් හැඩගස්වා ගැනීම සඳහා දේශපාලකයන් විසින් භාවිතා කරනු ලබමින් තිබෙන්නේ අතිශය ප්‍රචණ්ඩ, දූෂිත ක්‍රමවේදයකි. ඇතැම් අපේක්ෂකයෝ නාම යෝජනා භාර දෙන්නටත් පෙර සිටම වියරුවෙන් මෙන් හැම විදුලි කණුවක්, බෝක්කුවක් ගානේමත්, හැම ජනමාධ්‍යයකිනුත් සිය මනාප අංකය ප්‍රදර්ශනය කර ගැනීම සඳහා වියරුවෙන් මෙන් ප්‍රචාරණයේ යෙදෙති. ඒ වෙනුවෙන් කරනු ලබන වියදම් අසිමිතය. දිළින්දන් දසලක්ෂ ගණනාවක සාගින්දර නැති කරන්නට පාන් පිළිස්සිය හැකි ආනයනික තිරිඟු පිටි ප්‍රමාණයක් තාප්පවල තැවරෙමින් තිබෙන්නේ පිටි ගන්න ණය නොගන්නා බවට පුරසාරම් ද කියන අතරයි. දසලක්ෂ සංඛ්‍යාත සිසු දරුවන්ගේ නැණැස පෑදීමට යොදා ගත හැකි කඩදාසි ප්‍රමාණයක් ද කායික හා මානසික වශයෙන් රෝගී මිනිසුන් පිරිසකගේ මුහුණු මහජනයාට පෙන්වීම සඳහා නාස්ති කෙරෙමින් තිබේ. පරිසරයට මුදා හරිනු ලබන ප්‍රතිචක්‍රීයකරණය දුෂ්කර පොලිතින්, ප්ලාස්ටික් තොගය ටොන් දහස් ගණනකි.


මෙම තත්වය හමුවේ ඡන්දදායකයා මුහුණ දෙන්නේ බරපතල උභතෝකෝට්කයකටයි. තමන් ගසන කතිරයෙන් ප්‍රකාශ වන අදහස කුමක්ද යන්න ඡන්දදායකයාට පැහැදිලිව කිව නොහැකි තත්වයක් නිර්මානය වී තිබේ. දෙමළ කැරැල්ල ලෙයින් යකඩින් මර්දනය කිරීම වෙනුවෙන් සිංහලයා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පළ කරන කෘතඥතාව සිය අනාගතය සොර මුළකට භාර දීමක් ද යන සාධාරණ සැකය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ක්‍රියාකලාපය දෙස බැලූ විට පෙනේ. එවිට මිනිසුන් ඡන්දය දෙන්නට පෙළඹෙන්නේ තනිකරම පටු පරමාර්ථවලිනි. එනම්, රැකියාවක්, කොන්ත්‍රාත්තුවක්, වැරදි කර පොලිසියට ගිය විට ඇප, පාරට තාර, මළ ගෙදරට මන්ත්‍රීතුමා පැමිණීම වැනි සිල්ලර කාරණාවලටයි. අවාසනාව වන්නේ තමන්ට ඡන්දය දුන් මිනිසුන් වෙනුවෙන් ඒ ටිකවත් කිරීමට මෙකී මන්ත්‍රීවරුන් අසමත් වීමයි.


මෙම ක්‍රමය වෙනස් කිරීමේ හැකියාවක් තමන්ට තිබේ යයි ජනතාවට ඒත්තු ගැන්වීමට විපක්ෂය අසමත් වී තිබේ. මෙම අසමත්කමට හේතුව ඇත්තෙන්ම ලෙඩක්, දුකක් නොව බැරිකමයි. මහින්ද රාජපක්ෂ පාලනය විසින් හඳුන්වා දෙන ලද ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට මුළුමනින්ම පටහැනි දේශපාලන ක්‍රමය ලිබරල් ආස්ථානයක සිටිමින් විග්‍රහ කිරීමට හෝ සමත්කමක් විපක්ෂයේ ක්‍රියාධරයන් වැඩිදෙනෙකු අතර නැත. විකල්ප නිර්මානය කිරීමේ හැකියාව පිළීබඳ කතා කිරීම තේරුමක් නැත. විපක්ෂයේ වඩා සටන්කාමී හා වාම නැඹුරුවක් පිළීබිඹු කරන ජනතා විමුක්ති පෙරමුණ පවා විකල්පය ලෙස තෝරා ගත්තේ සරත් ෆොන්සේකා වැනි පැරෂුට් භටයකු සරණ යාම පමණි.


සියල්ල මෙසේ තිබියදී අප්‍රේල් 08දා මහ මැතිවරණයක් පැවැත්වේ. අප කැමති වුවත්, අකැමැති වුවත්, කිසියම් පිරිසක් අප පාලනය කිරීමේ බලය වසර හයක් වැනි දිගු කාලයක් සඳහා අපෙන් පැහැර ගනිති. ඔවුන් කරන කියන දේ දෙස නිර්වින්දනය වූ මිනිසුන් ලෙස ප්‍රතිචාරයක් නොදක්වා සිටීමේ හැකියාවක් සමාජයට නැත. මන්ද, ඔවුන් සිය නඩත්තුව හා උන්නතිය පිණිස දුප්පත් මිනිසුන්ගෙන් සීමාන්තිකව බදු අය කරන බැවිනි. අනාගත පරම්පරා ගණනාවක් උගසට තබා විදේශයන්ගෙන් ණය ලබා ගන්නා බැවිනි. බරපතල සමාජ,‍ දේශපාලනික විපර්යාස කරන බැවිනි.


පාලක පක්ෂයේත්, විපක්ෂ එක්සත් ජාතික පක්ෂයේත් ආර්ථික ප්‍රතිපත්ති මූලික වශයෙන් එක සමාන වේ. දෙපාර්ශ්වය ම සංවර්ධනය විග්‍රහ කරන්නේ එක ම ධනේශ්වර දෘෂ්ඨි කෝණයකිනි. අධික ලෙස බදු අය කිරීම, විදේශයන්ගෙන් ණය ගැනීම, යටිතල පහසුකම් සංවර්ධනය, ආයෝජකයන් හා සංචාරකයන් ආකර්ශනය කර ගැනීම, ශ්‍රම සේවා සැපයීම හා ශ්‍රමය අපනයනය කිරීම ආදිය මෙම දෙපාර්ශ්වයේ ම මූලික ආර්ථික කාර්යයන් වේ. වෙනස්කම් ඇත්තේ බලය ස්ථාපිත කර ගැනීම සඳහා උපයෝගී කර ගනු ලබන දෘෂ්ටිවාදීමය උපකරණ මතයි. පාලක සන්ධානය බටහිර විරෝධය හා ජාතිකවාදය සරණ යද්දී එක්සත් ජාතික පක්ෂය බටහිර වන්දනා කරමින් නව ලිබරල් අදහස්වලට වැදගත්කමක් දෙයි.


සමාජ ප්‍රශ්න කෙරෙහි දෙපාර්ශ්වය දරන ආකල්ප ද සමාන ය. නිදසුනක් ලෙස, දිළිඳුභාවය පිටුදැකීම පිණිස ඔවුන්ගේ දැක්ම වන්නේ ලෝක බැංකුවේ දර්ශනය වන ආර්ථික වෘද්ධිය පහළට කාන්දු වීමයි. දුප්පත්, සුනාමි අවතැන් වූවන් දරුවන් හදා වඩා ගත නොහැකිව ගංගාවලට විසි කරද්දීත්, බත් පතට පවා මිනී මැරුම් සිදු වද්දීත් ඒක පුද්ගල ආදායම වර්ධනය වීම පිළිබඳ ඔවුන් උදම් අනන්නේ ඒ නිසා ය.


ලංකාවේ ජාතීන් අතර ඇති ප්‍රශ්නයට විසඳුම ලෙස ද මේ දෙපාර්ශ්වය ම දකින්නේ ආර්ථික වර්ධන වේගය වැඩි කිරීමයි. රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් ඔස්සේ ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැඟීම සඳහා කටයුතු කිරීමේ සැලැස්මක් ආණ්ඩුවේ මෙන් ම විපක්ෂයේ ප්‍රතිපත්ති අතර ද නැත.


ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවීම පිළිබඳ විපක්ෂය මහ හඬින් කතා කළ ද එය ආරම්භ කළ යුතුව ඇත්තේ තම පක්ෂ තුළින් බව ඔවුහු නොතකා හරිති. යහපාලනය හා දූෂණය දුරලීම පිළිබඳ කතා ද ‍හිස් ප්‍රලාප බව විපක්ෂයේ පක්ෂවල අතීත ක්‍රියාකාරකම් අධයයනය කරන විට පැහැදිලි වේ.


මෙම සංදර්භය තුළ ඡන්දදායකයන් ලෙස අප කළ යුත්තේ කුමක්ද යන්න ඇත්තෙන් ම උභතෝකෝටිකයකි. ඡන්ද පොළක රස්තියාදු වන්නට ගත කරන කාලය තුළ කෙසෙල් පැළයක් ඉන්දීම, ළමයකුට අකුරක් කියා දීම, ශාරීරික ව්‍යායාමයක් කිරීම හෝ නිකම් ම ඉඳීම හෝ පවා වැදගත් යයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් අප දකින පරිදි නම් රට යොමු වී තිබෙන මේ විනාශයේ ගමන මඳකින් හෝ පමා කළ හැකි යමක් මේ ඡන්දය ඔස‍්සේ කළ හැකිය.


පිරිසිදු අපේක්ෂකයකු සොයා ගැනීම කිසිවකු නොමළ ගෙයකින් අබැටක් සෙවීම වැනි නොකළ හැකි දෙයකි. එහෙත් අඩුවෙන් දූෂණයේ යෙදුණ අයකුට අවස්ථාව දීම පල් හොරෙකු පත් කර ගැනීමට වඩා දේශපාලන සෞඛ්‍යයට හිතකර ය.


ඔබ ලබා දුන් ඡන්දයට පසුබිම් වූ ප්‍රතිපත්තිමය කාරණා නිර්ලජ්ජිත ලෙස ඇමතිකමක් හෝ වෙනත් එවැනි වරදානයක් වෙනුවෙන් නින්දිත අන්දමින් පාවා දුන් අය යළි පත් නොකිරීම ප්‍රජාතන්ත්‍රවාදයට කරන අවම සේවයකි.


වෙනසක් පිළිබද සමාජ අපේක්ෂා මංකොල්ල කා සය වසරක් තිසසේ කිසිදු ඵලදායී කාර්යයක් නොකරමින් අහංකාර ලෙස හැසිරුණු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීන්ගේ පස්ස බිම ඇනෙනු බැලීමේ කුහක ආශාවක් බොහෝ අය තුළ ඇතිමුත් එසේ සිදු නොවිය යුතු බව අපේ අදහසයි. ලංකාවේ සිංහල දිළිදු ගැමි තරුණයාගේ අසහනය නියෝජනය හෝ පරාවර්තනය කිරීම සඳහා ජවිපෙ පාර්ලිමේන්තුවේ සිටීම නොසිටීමට වඩා දේශපාලන සෞඛ්‍යයට හිතකර විය හැකිය.


එසේම, පසුගිය පළාත් සභා මැතිවරණ මාලාවක් ඔස්සේ බොහෝ දුරට බැහැර කර හරින ලද කාන්තා, සුළු ජාතික, කුල පීඩිත වැනි ආන්තීකරණයට ලක් වූ සමාජ බලවේගවල නියෝජනයන් අවම වශයෙන් ප්‍රමාණාත්මකව හෝ වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට බුද්ධිමත් ඡන්දදායකයන්ට පුළුවන.


එසේම, පාර්ලිමේන්තු නියෝජනය අහිමි වාම ක්‍රියාධරයන් අඩු තරමේ ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පත් කර ගැනීමට ඡන්දදායකයන් එම පක්ෂවලට දෙන ඡන්දය ඉවහල් වනු ඇත.


ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන උගතුන් හා රස්තියාදුකාරයන් අතර වෙනස එතරම් පැහැදිලි නැතිමුත්, පත් කරන අපේක්ෂකයන් අමු ම අමු රස්තියාදුකාරයන් හා නූගතුන් වීමට වඩා තරමක් උගත්කමක් ඇති අය තෝරා ගැනීම ද නරක නැත.

3 comments:

  1. අධික බදු අය කිරීම හෝ විදේශයන්ගෙන් ණය ගැනීම ධනේශ්වර ක්‍රමයක ලක්ෂණ නොවේ. මේවා ඉතාම දුර්වල ආර්ථික ක්‍රමයකින් යුතු රාජ්‍යයන්හි ලක්ෂණය. මේවා යටිතල පහසුකම් සංවර්ධනය, ආයෝජකයන් හා සංචාරකයන් ආකර්ශනය කර ගැනීම, ශ්‍රම සේවා සැපයීම හා ශ්‍රමය අපනයනය කිරීම සමඟ එක ගණයෙහි ලා සැලකිය නොහැකිය.

    මහින්ද රාජපක්ෂ දන්නා ධනේශ්වර ක්‍රමයක් හෝ ලිබරල්වාදයක් නැත. ඔහු හුදෙක් වැඩවසම් පාලකයෙකි. රනිල් වික්‍රමසිංහ එක් යුගයක ලිබරල්වාදී පියවර කිහිපයක් ගත් මුත් දැන් ඔහුගේ යූ එන් පියද කිසිම දර්ශනයක් නොමැති පක්ෂයක් බවට පත්ව ඇත.

    සත්‍යය නම් ආණ්ඩුව වේවා, යූ එන් පිය වේවා, ජ වි පෙ වේවා කිසිම පක්ෂයක් මෙවර මැතිවරණයේ නිශ්චිත ආර්ථික දර්ශනයක් ඉදිරිපත් නොකිරීමය. ඊට ඔවුන්ට මිස ධනේශ්වර ක්‍රමයටවත් සමාජවාදී ක්‍රමයට වත් වෙන මොන ක්‍රමයට වත් බැණ වැදී ඵලක් නැත.

    ReplyDelete
  2. http://www.youtube.com/watch?v=pRa2oqWkU20

    ReplyDelete
  3. හැබැයි මොනවා වුනත් මේ ඡන්ද දැමිල්ල එපා වෙලා තියනවා කියලා නම් මෙවර මහමැතිවරණයේදී ඡන්දය භාවිතාකළ ප්‍රතිශතය දිහා බැලුවම පේනවා.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.