2010-04-26

මහ ඡන්දයෙන් පසු දේශපාලනය | Politics following the general election of Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ -


ලංකාවේ ජනයාගෙන් බහුතරය වත්මන් පාලකයන් ප‍්‍රතික්ෂේප කර තිබෙන බවට තර්කයක් ඇත. මෙම තර්කයට පදනම් වන්නේ ඡන්දය දීම සඳහා නොපැමිණි පිරිස හා විරුද්ධ පක්ෂවලට ඡන්දය දුන් පිරිස එක්ව ගත් කල පාලක පක්ෂයට ඡන්දය දුන් පිරිසට වඩා වැඩි හෙයිනි. 


ඡන්දය දීමේ ප‍්‍රතිශතය අඩු වීම පිළිබඳව තර්ක කරමින් ආණ්ඩුවට පක්ෂ දේශපානඥයන් පෙන්වා දෙන්නේ ඇතැම් දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ප‍්‍රකාශ වන සාමාන්‍ය ඡන්ද ප‍්‍රතිශතය මීටත් වඩා අඩු බවයි. එහෙත් දියුණු ධනේශ්වර රටවල ආණ්ඩුව සමග පුරවැසියන්ගේ සම්බන්ධය හා ලංකාව වැනි නොදියුණු රටක ආණ්ඩුව සමග මෙහි වෙසෙන ගැහැනුන් සහ පිරිමින්ගේ සම්බන්ධය එකිනෙකින් සපුරා වෙනස් ය. දියුණු ධනේශ්වර රටවල පුරවැසියන්ගේ ආදායම් උත්පාදනය කර ගැනීමේත්, තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිළ දී ගැනීමේත් ක‍්‍රියාවලියට ආණ්ඩුව ඍජුව ම මැදිහත් වන්නේ නැත. ආණ්ඩුව බදු අය කරනමුත්, එම සමාජයනට එකී බදු ලංකාවේ බදු තරම් පීඩාකාරී වන්නේ නැත. 


ලංකාවේ ආණ්ඩුව වනාහි ආර්ථීක, සමාජ ජීවිතයේ හැම අහුමුල්ලකට ම අඬු විහිදුවන බූවල්ලෙකි. මිනිසුන් ආදායම් උපයා ගන්නා ආකාරය හා භාණ්ඩ හා සේවා මිළ දී ගන්නා ආකාරය පාලනය කිරීමට පමණක් නොව මිනිසුන් මස් කෑම තහනම් කරන්නට හෝ දුම්බීම, මත්පැන් බීම නවත්වන්නට හෝ නිල් චිත‍්‍රපට බැලීම තහනම් කිරීම වැනි ක‍්‍රියාමාර්ග හරහා ලිංගික ආස්වාදය ලබා ගන්නා ආකාරය පාලනය කරන්නට හෝ පවා ආණ්ඩුව ප‍්‍රචණ්ඩ ලෙස මැදිහත් වේ. මර්වින් සිල්වා කැළෑ නීතියෙන් බාර් වැසූ කල ත‍්‍රිරෝද රියදුරන් වැනි දුරාචාරවලට වැඩි නැඹුරුවක් ඇති සමාජ කණ්ඩායම් පවා එය පසසා ජනමාධ්‍යවලට කතා කරති. තමන්ව ආණ්ඩු මට්ටු කිරීමට කෙවිටක් ගත් ආණ්ඩුවක් ඔවුනට අවශ්‍ය ය.


දේශපාලනඥයා නමැති වෘත්තිකයා දියුණු සමාජයන්හිදී ලංකාවේ මෙන් සුපිරි තරුවක් වන්නේ නැත. ලංකාවේ නම් ක‍්‍රිකට් ගසා ලොව ම දිනූ සනත් ජයසූරියටත්, සිනමාවෙන් යම් තරමක විශ්ව කීර්තියකට පත් මාලිනී ෆොන්සේකාටත්, වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය තිස්ස විතාරණටත් තමන් ප‍්‍රවීණත්වය ලබා ගත් ක්ෂේත‍්‍රවලින් ලැබෙන සමාජ තත්වයට වඩා මන්ත‍්‍රී පදවියකින් ලැබෙන තත්වය වැදගත් ය. ලංකාවේදී දේශපාලනය යනු බලයේ, ධනයේ, කීර්තියේ හා ලිංගිකාස්වාදය ලබාගැනීමේ ප‍්‍රබල ම මූලාශ‍්‍රයයි. ඡන්දදායකයන් විෂයෙහි ගත් කල ද රැුකියාවක්, කොන්ත‍්‍රාත්තුවක්, ව්‍යාපාරයට පහසුකම්, ගෙදරට විදුලිය, පාරට තාර, පොලිසියෙන් උදව්, ළමයින්ට පාසල්, මළගෙදරට මල්වඩම් ආදී හැම එකකට ම දේශපාලකයන් අවශ්‍ය වේ.
  
ලංකාවේ මිනිසුන් ඡන්දය දමන්නට නොයන්නේ මෙවැනි සංදර්භයකදී හෙයින්  එය දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයන්හි තත්වය සමග සමාන්තරගත වන්නේ නැත. මෙහි ඇත්තේ පවත්නා දේශපාලන ක‍්‍රමය කෙරෙහි තදබල කලකිරීමක් හා එය වෙනස් කිරීම සඳහා මැදිහත් වීමට අවස්ථාවක් ඡුන්දය දීම හරහා නොලැබිම නිසා ඇති වන ඉච්ඡා භංගත්වයකි. ලංකාවේ පාලකයන් හා සෙසු දේශපාලනඥයන් මෙම තත්වය ගැඹුරින් විග‍්‍රහ කර ගැනීමට සමත් වී නැත. සමස්ත දේශපාලන ක‍්‍රමය ම ජනතාව අතරින් සැලකිය යුතු ප‍්‍රතිශතයකගේ තදබල කලකිරීමට හේතු වී තිබෙන බව දේශපාලනඥයෝ තේරුම් ගත යුතු ය. රාජ්‍ය බලය මුලූ ජවයෙන් ම යෙදවීමෙන් පසුව පවා ජනමතය පූර්ණ ලෙස තමන්ට අවශ්‍ය අන්දමින් හැඩගස්වා ගැනීමට හැකි වී නැති බව පාලකයෝ වටහා ගත යුතු ය.

කෙසේ වෙතත්, පවත්නා ජාතික හා ජාත්‍යන්තර දේශපාලන රාමුව තුළ පිළිගනු ලබන නෛතික තත්වයන් හරහා මෙම තත්වයන් ප‍්‍රශ්න කිරීමට තිබෙන ඉඩකඩ සීමිත බැවින් තමන්ගේ පාලන වරම යුක්තියුක්ත යයි තර්ක කිරීමට හා එය සමාජය වෙත බලෙන් පැටවීමට ආණ්ඩුවට හැකියාව තිබේ. එහෙයින් වත්මන් දේශපාලන ක‍්‍රමය පිළි නොගන්නා බලවේගය මුහුණ දෙන්නේ අර්බුදයකටයි. දැන් ඉතින් ඔවුන් කළ යුත්තේ කුමක්ද?


දැනට පවතින විපක්ෂ, රැඩිකල්වාදී හා ජාතිකවාදී දේශපාලන පක්ෂ සියල්ල ම වර්තමාන ඛෙදය නිර්මානය කිරීමෙහි ලා පංගුකාරයන් වූ, එසේ ම වත්මන් ක‍්‍රමය සමග සම්මුතිගත වීමට කැමති හා විකල්ප සාධනය කිරීමට ඓන්ද්‍රිය වශයෙන් ම අසමත් බලවේගයකි. නිදසුන් ලෙස අද ක‍්‍රියාත්මක වන කොල්ලකාරී රාජ්‍ය ආර්ථීක ක‍්‍රමයට හෝ සිංහල ස්වෝත්තමවාදී රාජ්‍ය ආධිපත්‍යයට, සිංහල-දෙමළ ජාතිවාදී දේශපාලනයට හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට මහජන කැමැත්ත බලය යොදා හැඩගස්වා ගැනීමේ ක‍්‍රමවේදයට හෝ විකල්පයක් ඉදිරිපත් කිරීමට වර්තමාන දේශපාලන පක්ෂ කිසිවක් සමත් වී නැත.

මේ අතර, පීඩිත ජන අරගලයන් ජාතිවාදයෙන් තෙම්පරාදු කරගෙන, ඒ ඔස්සේ සැබෑ අභියෝගය වූ ධනවාදයට මුහුණට මුහුණ ලා සටන් කිරීම මගහැර සිට, අවසානයේ ජාතිවාදයේ ම සලූපිළි ඇඳගෙන ආ ධනේශ්වර මහින්ද රාජපක්ෂගේ ප‍්‍රහාරයෙන් අන්දමන්ද වී ගිය ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ඊලාම් විමුක්ති කොටි යන අතරමැදි පංතික බලවේගයන්ගේ පසුගාමී කොටස් මේ වන විට සිය තුවාල ලෙවකමින් නැවතත් කල් මරමින් සිටින්නේ සිය පැරණි ජාතිවාදී සටන් පාඨ ම යළි එසවිය හැකි අවස්ථාවක් උදා වනතුරුයි. මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී නායකත්වයෙන් ඌරාගේ මාලූ ඌරාගේ ම ඇඟේ තබා කැපීමේ ව්‍යාපෘතියෙන් පසු, ජයග‍්‍රාහී ලාංකික පාලකයන් දෘෂ්ඨිවාදීමය වශයෙන් ද ශක්තිමත් ධනේශ්වර පාලනයක් බවට පත් වීමට අසමත් වන්නේ නම්, පරාජිත කොටින්ගේ හා ජනතා විමුක්ති පෙරමුණේ පසුගාමීන්ට යළි අවස්ථාවක් ලැබෙන්නට ඉඩ තිබේ.

ලාංකීය දේශපාලන ප‍්‍රජාව වත්මන් සිරවීමෙන් ඉදිරියට තල්ලූ කිරීමෙහි ලා විශාල වගකීමක් ධනේශ්වර පංතියට මෙන් ම අතරමැදි පංතික බලවේගවලට ද තිබේ. මෙම දෙපාර්ශ්වය ම දැන් උත්සාහ කළ යුතුව තිබෙන්නේ තමන් මෙතෙක් සිරගත වී සිටි ජාතිවාදී ව්‍යාපෘතිවලින් මිදීමට උත්සාහ කිරීමයි. සිංහල-දෙමළ ජාතිවාදයන්ගේ සීමාවන්ගෙන් ඔබ්බට විහිදුණු ලාංකීය ජාතියක් ගොඩනැ`ගීමේ වගකීම මෙම බලවේග දෙකෙහි ම ප‍්‍රගතිශීලින්ට තිබේ.
  
ජාතිකවාදී යුද්ධය විසින් මාර්ග බාධක පණවා තිබුණු ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා‘ පන්නයේ ‘සංවර්ධනයකට‘ හෙවත් ආර්ථීක වර්ධනයකට යුද්ධයේ අවසානය විසින් දැන් නැවතත් පාරවල් ඇර තිබේ. සිය රාජ්‍ය කළමනාකරණය යම් තරමකට හෝ කාර්යක්ෂම කර ගතහොත් ලංකාවේ පාලකයන්ට මේ ලැබී ඇති අවස්ථාව චිරස්ථායී කර ගැනීම දුෂ්කර වන්නේ නැත. ආර්ථීකය කඩා වැටී සමාජ-දේශපාලන අර්බුදයක් නිර්මානය වනතෙක් බලා සිටීමෙන් ජවිපෙට හා විමුක්ති කොටින්ට ලැබෙනු ඇත්තේ ඔන්න වැටුණා, මෙන්න වැටුණා යයි පෙනෙන එලූවාගේ වාෂණ කෝෂ අහුලාගෙන කන්නට ඌ පසුපසින් ගිය නරියා ලැබූ අත්දැකීම වන්නට ඉඩ තිබේ.


පීඩිත ජන අරගල මෙහෙයවූ මෙම බලවේගවලට තමන්ට පරාජය අත් කර දුන් සතුරන්ගෙන් පළිගැනීමේ චේතනාව නයි බීත්තරයක් සේ රකිමින් කාලය ගත කිරීමට අයිතිය තිබේ. එහෙත්, තමන් ලද පරාජයන්ට හේතු වූයේ සතුරාගේ සාර්ථකත්වයටත් වඩා තමන්ගේ දෘෂ්ඨිවාදීමය හා උපායමාර්ගික වැරැදි බව තේරුම් ගතහොත් ඔවුනට අලූත් ප‍්‍රවේශයන් වෙත එළඹීම පහසු වනු ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම අද ලාංකීය සමාජය හමුවේ තිබෙන ප‍්‍රධාන ම අවශ්‍යතාව ලෙස ජයග‍්‍රාහී ධනේශ්වර බලවේග මෙන් ම පරාජිත පීඩිත පංති බලවේග ද වටහා ගත යුතුව තිබේ. වත්මන් දේශපාලන ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කරන්නෝ ද සිය අරගල නාභිගත කළ යුතුව තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම වෙතයි. 

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.