2010-04-01

පොහොර සහනාධාරය අමූලික ප්‍රෝඩාවකි | Sri Lanka's fertilizer subsidy is a sham

(2010 අප්‍රේල් 01-W3Lanka ) පොහොර සහනාධාරය ක්‍රියාත්මක වූ දිනයේ සිට (2005 සිට) මේ දක්වා පොහොර සහනාධාරය ලබාදීම සඳහා කුඹුරු අක්කරයක් වෙනුවෙන් රජය රුපියල් විසිහය දහස් හැටපහක පාඩුවක් විඳ ඇති බව කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛත්‍රීපාල සිරිසේන පවසයි.


කුඹුරු අක්කර දෙක හමාරක් ඇති ගොවියකු සඳහා පොහොර සහනාධාරය වෙනුවෙන් පසුගිය කන්න අට සඳහා රජය රුපියල් පන්ලක්ෂ විසි එක්දහස් තුන්සියයක් ද අක්කර තුනක් ඇති ගොවියකු වෙනුවෙන් පසුගිය කන්න අට වෙනුවෙන් රුපියල් හයලක්ෂ විසිපන්දහස් පන්සිය හැටක මුදලක් ද මහ ගොවි ජනපද ව්‍යාපාරවල සිටින අක්කර පහක් ඇති ගොවියකු වෙනුවෙන් ගත වූ කන්න අටේදී රජය රුපියල් දසලක්ෂ හතළිස් දෙදහස් හය සියයක මුදලක් ද වැයකර ඇති බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.


පොහොර සහනාධාරය වෙනුවෙන් රජය වසරකට රු. කෝටි 6500ක් වැය කරන බව ඇමතිවරයා පෙන්වා දෙයි. මෙම මුදල රටේ සමස්ත ජනගහණයෙන් බෙදූ විට රු. 3250ක් වේ. ඒ අනුව මෙරට බාල, මහළු සෑම පුද්ගලයෙක්ම පොහොර සහනාධාරය වෙනුවෙන් මසකට රු. 270ක් පමණ වැය කර තිබේ. ඇමතිවරයා කියන ආකාරයට පොහොර සහනාධාරය ක්‍රියාත්මක වූ දිනයේ සිට කුඹුරු අක්කරයක් සඳහා ගොවියකු වැයකර ඇත්තේ රු.1435ක් පමණි.


මේ වනාහි ඵලදායිතාවකින් තොර සහනාධාර සඳහා කදිම නිදසුනකි. ඇසීමට ඇත්තේ සරළ ප්‍රශ්නයකි. පස් වසරක් තිස්සේ ලබා දුන් මෙම සහනාධාරයෙන් කෘෂිකර්මාන්තය හෝ ගොවියාගේ ජීවිතය හෝ කුමන හෝ අන්දමකින් අන්දමින් නඟා සිටුවා තිබේද?


සහනාධාර ලබන සමාජ කණ්ඩායම්වලට එකී සහනාධාරවලින් තොරව සිය ජීවිකාව සරි කර ගත හැකි වන ආකාරයට ඔවුන් සංවර්ධනය කිරීම ඕනෑම සහනාධාරයක මූලික ලක්ෂණයකි. නිදසුනක් ලෙස ජනසවිය දිළිඳු සහනාධාරවල අරමුණ වූයේ දිළින්දන් ඉක්මණින් ම දිළිඳු සහනාධාර අවශ්‍ය නොවන මට්ටමට නඟා සිටුවීමයි.


ගොවීන් යයි නම් ලැබ සිටින මෙම සමාජ කණ්ඩායමේ බොහෝ අය පූර්ණකාලික ගොවියෝ නොවෙති. ඇතැමෙක් වැඩ අඩු රජයේ රැකියාවල යෙදෙමින් නිවාඩු දමමින් ගොවිතැනේ යෙදෙන අයයි. ඔවුන් නිවාඩු දමන්නේ ද රජයේ වියදමිනි. අනෙක් පැත්තෙන් මොවුහු දිළින්දන් කෘෂී කම්කරුවන් ලෙස සේවයේ යොදවන හාම්පුත්තු ද වෙති.


පෞද්ගලික අංශයේ කම්කරුවකුගේ මාසික වැටුපට වැඩි මුදලක් ගොවීන් නම් වන මෙම පිරිස පොහොර සහනාධාරය හරහා රජයෙන් ලබාගෙන තිබේ. එහෙම තිබියදීත්, මේ රටේ ගොවීන් නොවන පාරිභෝගිකයන්ට සාධාරණ මිළකට සහල් ටිකක් වෙළඳපොලෙන් ලබා ගත නොහැකිය. අස්වනු කැපෙන කාලයට ගොවීන්ට සාධාරණ මිළකට වී ටික විකුණා ගැනීමට ද හැකියාවක් නැත.


පිටරටින් ගෙන්වනු ලබන භාණ්ඩයක් වන පොහොරවල සැබෑ වටිනාකම පිළිබඳ ගොවීනට අවබෝධයක් නැතිකමින් විශාල නාස්තියක් ද සිදු වේ. නිසි කල් යල් නොබලා නිකම් ලැබෙන නිසා දමන්නන් වාලේ පොහොර දැමීම හා පොහොර සහනාධාරය ලබා ගැනීම සඳහා කරන්නන් වාලේ කුඹුරු වැපිරීම ද සුලබව දැකිය හැකිය. ගොවීන් කළු කඩයට විකුණන වී වගාවට සුදුසු පොහොර එලවළු ආදී වෙනත් වගාවන්ට යෙදීමෙන් පොහොර නාස්ති වනවාට අමතරව වගාව හා පස ද නාස්ති වේ.


දේශීය ගොවීන් පස සංරක්ෂණයට හා කාබනික පෙහොර භාවිතයට උනන්දුවක් නොදැක්වීමටත් පිදුරු ටික පවා පුළුස්සා දමන තත්වයට පත් වීමටත් මෙම පොහොර සහනාධාරය ද ඉවහල් වේ. ලංකාවේ ගොවිතැන අධික ලෙස පොහොර, කෘෂි රසායනික හා ඉන්ධන වැනි ආනයනික යෙදවුම් මත රඳා පවතින නමට පමණක් දේශීය කර්මාන්තයකි. මෙම ගොවිතැන ද ‍බොත්තම පවා පිටරටින් ගෙන්වා ශ්‍රමය පමණක් මෙරටින් යොදවා කරනු ලබන ඇඟලුම් කර්මාන්තයට නොදෙවෙනි වන්නකි. 


සමාජයේ එක් තීරුවක් ගොවීන් ලෙස උත්කර්ෂයට නංවා වරප්‍රසාද ලබා දෙන්නේ ඔවුන්ගෙන් ම සහ සමාජයේ සෙසු කොටස්වලින් අධික ලෙස බදු අය කිරීමෙනි. සමාජයේ එක් කොටසක් පමණක් මෙසේ වරප්‍රසාදිත තත්වයකට පත් කිරීමේ ඇති සාධාරණත්වය කුමක් ද?


මාටින් අයියාගෙන් කපාගෙන බංඩයියාට දීමේ මේ ආර්ථික විජ්ජාවෙන් කෘෂිකර්ම අංශයේ හෝ සමාජයේ සංවර්ධනයට තිරසාර යහපතක් ඉටු වන්නේ නැත.


පීටර්ගෙන් කපාගෙන පෝල්ට දෙන ආණ්ඩුවට පෝල්ගේ පිහිටෙන් පැවතිය හැකි බව ජෝර්ජ් බර්නාඩ් ෂෝගේ කියමනකින් පැහැදිලි වේ.


ලංකාවේ සිදු වන්නේ මාටින්ගෙනුත්, බංඩයියාගෙනුත් බදු ගෙන බංඩයියාට පිස්සු කෙළීමට කොටසක් දී ඉතිරි ටික ආණ්ඩුව ගසා කෑමයි.

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.