2010-05-08

නැවත ආ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' ප්‍රහාරය අපට ඔරොත්තු දෙයිද?

අජිත් පැරකුම් ජයසිංහ - 


2010 මහ මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසු ලංකාව වේගයෙන් ඇදී යමින් තිබෙන්නේ නව ලිබරල්වාදී ආර්ථික උපායමාර්ගයක් වෙත බැව් පැහැදිලි ය. දිළිඳුකම, ජාතික අසමගිය වැනි රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් වේගවත් ආර්ථික වර්ධනයක් හා ඒ ඔස්සේ සිදු වන සමාජ විපර්යාස ඔස්සේ ලබා ගත හැකි ය යන විශ්වාසය මෙහි වේ. ආර්ථික වර්ධනය පහළට කාන්දු වීමෙන් දිළිඳුකම යම් ප්‍රමාණයකට දුරු කළ හැකි ය යන්න හා ආර්ථික වර්ධනය හමුවේ සිදු වන වේගවත් සමාජ විපර්යාසය තුළ පීඩිත ජාතිකවාදී හා වාමාංශික රැඩිකල්වාදී ව්‍යාපාර දිය කර දැමිය හැකිය යන දේශපාලන මතවාදයන් මේ පසුපස තිබේ. 


ආර්ථික සංවර්ධන ඇමති ලෙස පත් කරන ලද ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ‍ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මෙම දැවැන්ත ආර්ථික විපර්යාසයේ ප්‍රධාන කුළුණු දෙකක් බවට පත් වෙමින් සිටිති. පළමුවැන්නා විසින් ආර්ථික ප්‍රතිසංස්කරණය මෙහෙයවනු ලබන අතර දෙවැන්නා ඊට අවශ්‍ය ආරක්ෂක යටිතලය සකසා දෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරනු ලබන තාර්යභාරය වන්නේ මෙම දැවැන්ත විපර්යාසය තුළ ජාතිකවාදය හා මානවවාදය තුලනය කිරීමයි. 


නිදසුනක් ලෙස, කොළඹ පදික වේදිකා වෙළඳාම තහනම් කර දහස් ගණනක් ජනයාගේ ජී‍වනෝපාය අහිමි කර දැමුණු විට ජනාධිපතිවරයා මැදිහත් වී ඔවුන්ගේ වෛරය සමනය කර තාවකාලික පිළියම් ලබා දී තත්වය කළමනාකරණය කරයි. පිටකොටුව ස්වයං රැකියා සංගමය සමඟ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පවත්වන ජනාධිපතිවරයා කොළඹ නගරයේ පදික වෙළෙඳුන්ගේ ගැටලුවලට විසැඳුම් ලෙස සති දෙකක කාලයක් තුළ බෝධි රාජ මාවතේ නව වෙළෙඳ සංකීර්ණයක් ඉදි කරන්න යැයි අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන්නේ මේ අනුවයි. 


ලංකාව ඍජු විදේශ ආයෝජනවලට විවෘත කිරීම සඳහා සූදානම් කිරීම‍ මෙම ආර්ථික මෙහෙයුමේ ප්‍රධාන කර්තව්‍යයකි. ඒ සඳහා වේගවත් යටිතල පහසුකම් සංවර්ධනයක්, නගර සැලසුම් විධිමත් කිරීමක් මෙන් ම විනයගත කම්කරු පිරිසක් බිහි කර ගැනීම ද අවශ්‍ය වේ. 


දෙවනුව, ලංකාව ‍සංචාරක කර්මාන්තයේ වේගවත් වර්ධනයක් ඉලක්ක කරමින් සිටියි. සංචාරක කර්මාන්තය වෙත වැඩි අවධානයක් යොමු කරමින් සිටින්නේ එයින් ප්‍රතිලාභ ලබා ගැනීම වඩා ඉක්මන් නිසා ය. එහෙත්, මෙම අධි වේගය විසින් ලංකාව‍ට අත්පත් කර දෙමින් තිබෙන්නේ දීර්ඝකාලීනව අයහපත් ප්‍රතිඵලයි. පහත පළ වන්නේ නිදසුන් දෙකකි. 


ගාල්ලේ උණවටුන යද්දෙහි මුල්ල මුහුදු තීරය දෙස් විදෙස් පිරිස්වලට දියයට ඇති ස්වභාවික සොඳුරුභාවය හා ප්‍රදේශයේ ගිලී ඇති නැව්වල කොටස් පෙන්වීමේ මුහුදු පතුල නැරඹීමේ සංචාරක වැඩපිළිවෙළක් ඉතා දියුණු මට්ටමකින් පවත්වාගෙන යන ස්ථානයකි. 


මුහුදු පතුලට නොගිය නවක පිරිස්වලට දින තුනක පූර්ව පුහුණු සංචිතයකින් පසුව අඩි 40කට එහා ගැඹුර දක්වාම ගෙන යන කිමිදුම් සංචාරක ව්‍යාපාර එහි තිබේ.


දැන් එහි අලුතෙන් ම ව්‍යාප්ත වෙමින් පවතින විනෝදංශයක් වන්නේ අධිවේගී තුවක්කුවලින් වෙඩි තබා මසුන් දඩයම් කිරීමයි.  සංචාරකයන්ට මෙම විනෝදාංශය සඳහා පහසුකම් සැපයීම වැඩි මුදලක් උපයා ගැනීමේ මාර්ගයක් බවට පත් කරගෙන තිබේ. මේ සඳහා භාවිතා කරන තුවක්කු නීති විරෝධී ගිනි අවි වන අතර ඒවා ලංකාවට ගෙන්වා ඇත්තේ ද නීති විරෝධී ලෙස බව ප්‍රදේශවාසීහු පවසති. 


කලක සිට ම ඩයිනමයිට් භාවිතා කර මසුන් මැරීම සිදු වන මෙම ප්‍රදේශයෙහි කොරල් පර ඇතුළු ස්වාභාවික පරිසරය වේගයෙන් විනාශ වෙමින් පැවතීම නිසා මෙම මුහුදු තීරය ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීම කෙරෙහි දැන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ. 


යුද්ධයෙන් පසු සමයේ සංචාරක කර්මාන්තයේ ප්‍රබෝධයෙන් වේගයෙන් ඵල නෙළා ගැනීම සඳහා මේ වන විට ඇතැම් පුද්ගලයෝ ඊසානදිග වෙරළේ කෝකිලායි කලපුව අද්දර කුරුළු අභය භූමිය විනාශ කරමින් සිටිති. මාසයක් පමණ කාලයක් ඇතුළත මෙම ප්‍රදේශයේ රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්කර 1000ක පමණ කැළෑ කපා ගිනි තබා වනසා තිබේ. 


මෙම ප්‍රදේශය පසුගිය සමයේ ආරක්ෂක හේතූන් මත දැඩි ලෙස ජන ශුන්‍ය වී තිබුණු අතර තවමත් එහි දැඩි ආරක්ෂාවත් යොදා තිබේ. එබැවින් ආරක්ෂක අංශවල අනුග්‍රහයකින් තොරව මෙවැනි දැවැන්ත වන සංහාරයක් කළ නොහැකි ය. 


අක්කර 6000ක් පමණ වන මෙම අභය භූමිය ආවේණික හා සංචාරක පක්ෂීන් සඳහා තෝතැන්නකි. මෙම කලාපය නිවහන කර ගත් අලි ගහණයක් ද ඇත. එහෙත් කැළෑ කපා දමා ගිනි තබා ඇත්තේ පැටවුන්, බිත්තර සහිත වඩු කුරුළු ආදී කුරුළු කූඩු ද දහස් ගණනක් සමගයි. 


මෙම ක්‍රියාව ලංකාවේ පාරිසරික නීති රැසකට පටහැණි එකක් මුත් නිතිය ක්‍රියාත්මක කරන අංශවල අවධානය යොමු වී නැත. 


ඉලෙක්‌ට්‍රොනික්‌ උපකරණ නිෂ්පාදනයේ යෙදී සිටි මහනුවර පල්ලෙකැලේ පිහිටි සී/ස ටැන්ඩොන් ලංකා (පුද්ගලික) සමාගම රුපියල් බිලියනකට ආසන්න මුදලක්‌ මෙරටට ගෙවීමට තිබියදී මෙහෙයුම් කටයුතු අවසන් කොට ඇත.


මෙම සමාගමේ ප්‍රධානීන් මෙරටින් පිටව ගොස්‌ ඇත්තේ සැපයුම්කරුවන් විශාල පිරිසකට හා ප්‍රධාන බැංකු දෙකකට ගෙවීම් කිරීමට තිබියදීය. මෙම සමාගම රජයේ සහ පෞද්ගලික බැංකුවලට පමණක් ගෙවීමට ඇති මුදල ඩොලර් මිලියන 8 කි. සේවකයන්ගේ, සේවක අර්ථ සාධක අරමුදල් සහ සේවා නියුක්‌ති භාරකාර අරමුදල් සඳහා වසර ගණනාවක සිට ගෙවා නැත.


ආරම්භයේදී අටදහසකට පමණ රැකියා දෙන බවට ප්‍රචාරයක් ගෙන ගිය ද මෙහි සේවක සංඛ්‍යාව කිසිවිටකත් තුන්දහස නොඉක්මවූ බව වාර්තා වේ. 


මෙම සමාගමට ආයෝජන මණ්ඩල පනත යටතේ බදු සහන සහ රේගු සහන ද අක්‌කර 7 ක ඉඩමක්‌ ද, මෙරට බැංකුවලින් ණය ගැනීමේ පහසුව ද ලැබී තිබේ. 


පසුගිය අප්‍රේල් 08 වැනිදා පැවැති මහ මැතිවරණයට කලින් පල්ලෙකැලේ පිහිටි ආයෝජන මණ්‌ඩල කාර්යාලය මෙම ප්‍රශ්නය පිළිබඳව අමාත්‍ය සරත් අමුණුගම මහතා සමග සාකච්ඡා කර ඇත. මෙම සමාගම ආපසු මුදල් නොගෙවා තිබියදීත් මෙම ආයතන තවදුරටත් ඔවුන්ට ණය ලබාදීමට තීරණය කිරීම පිළිබඳව ප්‍රශ්නයක්‌ උද්ගත වී ඇත. 


ලංකාව ඍජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා ආයෝජකයන්ට ඕනෑ පහසුකමක් සැපයීමට සූදානමින් සිටියි. ඒ වෙනුවෙන් බදු සහන, සහන ණය, ඉඩම් වැනි නිශ්චල දේපල ආදී බොහෝ දේ සපයා දෙමින් සිටියි. ලංකාවේ ශ්‍රම බලකාය විනයගත කර දීම සඳහා වෘත්තීය සමිති මර්දනය වැනි ක්‍රියාමාර්ග ද, අවිධිමත් රැකියා විනාශ කිරීම ඔස්සේ අඩු මිළට ශ්‍රමය විකිණීමට සූදානම් නාගරික ශ්‍රම බලකාය වැඩි කිරීම ද කරමින් සිටියි. එහෙත්, පසුගිය දිනවල මාධ්‍ය විසින් වාර්තා කරන ලද සිද්ධියක් මේ අන්දමින් ඍජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අයහපත් පැත්ත පෙන්වා දෙයි. 


ලංකාව වැනි රටවලට තිබෙන දැඩි ආර්ථික අහේනි හේතුවෙන් ඍජු විදේශ ආයෝජන ගෙන එන ඕනෑම කූට ව්‍යාපාරිකයෙකුට පහසුකම් සැපයීමට රජය පෙළඹෙයි. නියාමනයක් නොමැතිකම මෙවැනි ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මූලික කොන්දේසියකි. එහෙත්, අවසානයේදී සිදු වන්නේ ලංකාවේ මුදල් ද පිටරටට ඇදී යාම පමණි. මෙවැනි තුන්වන පංතියේ ආයෝජකයන්ගෙන් ලෝකයේ කිසිදු ජාතියකට සෙතක් අත් වී නැත. 


මේ අතර හදිසි නීති රෙගුලාසි ඉවත් කිරීම පසුපස පවා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පදනම් ශක්තිමත් කිරීමේ  උවමනාවක් නොව, සංචාරක කර්මාන්තය වැනි අංශ දියුණු කිරීමට බාධාකාරී වන හදිසි නීති ඉවත් කිරීම බව ආණ්ඩුවේ දේශපාලකයෝ ප්‍රසිද්ධියේ ම කියති. ගෘහ මූලිකයන් විසින් සිය නිවෙස්හි පදිංචිකරුවන්ගේ ලැයිස්තුවක් පොලිසියට හෝ ආරක්ෂක අංශවලට බාරදෙනු ලැබීම සඳහා පනවා තිබූ රෙගුලාසි, නිවාස කුලියට ලබාදීමේදී හෝ යම් පුද්ගලයෙකු නිවසක නතර කර ගනිද්දී හෝ ඔවුන්ගේ තොරතුරු පොලීසිය හෝ ආරක්ෂක අංශවලට හෝ ලබාදිය යුතු බවට පනවා තිබූ රෙගුලාසි හා අනවසරයෙන් නිවාස හා ඉඩම්වලට ඇතුල්වීම සඳහා ආරක්ෂක අංශවලට ලබාදී තිබූ අවසරය ද හදිසි නීති රෙගුලාසිවලින් ඉවත් කිරීම මේ සඳහා නිදසුන් වේ. 


ලංකාවේ පාලකයන් ඉලක්ක කරමින් සිටින වේගවත් ආර්ථික වර්ධනය ලංකාවට ඔරොත්තු දිය නොහැකි ප්‍රහාරයකි. එහෙත්, මේ අනතුර පිළිබඳව සමාජයේ අවධානය යොමු වීම අවම ය. ජාතිකවාදී යුද්ධයේදී සිදු වූ බෙදීම් විසින් අන්දමන්ද වී නිර්වින්දනයට ලක් වී සිටින මේ සමාජයට එල්ල වෙමින් තිබෙන ප්‍රහාරයේ බරපතලකම දැනෙනවිට අස්සයා පැන ගොස් තිබෙන්නට පුළුවන. 

2 comments:

  1. ආර්ථිකය හෝ සංචාරක කර්මාන්තය දියුණු කිරීම නරකක් නොවේ. හොඳකි. එය වේගවත් වන්නේ නම් තවත් හොඳය. ප්‍රශ්නය මතුපිටින් පෙනෙන මේ සළු පිළි අතර සැඟවී රාජපක්ෂාණ්ඩුව ඉතාම දරුණු වැඩවසම්/කොමියුනිස්ට්/රාජ්‍යවාදී පාලන ක්‍රමයකට පිය මැනීමය. (මේ වචන වලට අකමැතිනම් චීනයේ හෝ වෙනසුලාවේ ඇති ක්‍රමය සේ සිතාගන්න.) භීතිය ඇත්තේ එතැන මිස සංවර්ධනයෙහි නොවේ.

    ReplyDelete
  2. I agree with "taboosubject" in this regard.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.