2010-05-31

ඉන්දියාව අපව කන්න ඉන්න යකෙක්ද? | Is India aiming to eat Sri Lanka?

(2010 මැයි 31, W3Lanka)  ජුනි 03 සිට 05 දක්වා ඉන්දීය ජාත්‍යන්තර සිනමා ආයතනයේ IIFA සිනමා උළෙල ලංකාවේ පැවැත්වේ. මෙය ඉන්දියාව විසින් පශ්චාත් යුද කාලීන ලංකාවේ සාමාන්‍ය තත්වය ඇති වීම ලෝකයට ප්‍රදර්ශනය කිරීම සඳහා ලබා දුන් තෑග්ගක් ලෙස සැලකීම වරදක් නැත.


ලංකාවේ ආර්ථිකයට චීනය කරන මැදිහත්වීම පිළිබඳ ඉන්දියාව ඉන්නේ පරීක්ෂාවෙනි. එහෙයින්, ලංකාවේ රාජ්‍ය නායකයන් සිය බලාධිකාරය තුළ රඳවා ගැනීම පිණිස ඉන්දියාව සියුම් ලෙස කටයුතු කළේ ය. ලංකාවේ බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ලලිත් වීරතුංග වැනි දේශපාලන නායකයන් මෙම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රීඩාව තුළ සියුම් ලෙස කටයුතු කළ අතර මේ වන විට ලංකාවේ හා ඉන්දියාවේ රාජ්‍ය නායකයන් කටයුතු කරන්නේ එකිනෙකාගේ අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයකින් යුතුවයි.


නිදසුනක් ලෙස, ඉන්දියාවට ලංකාවේ දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවශ්‍යව තිබෙන්නේ 1987 ඉන්දු ලංකා ගිවිසුම අනුව ගෙන එන ලද පළාත් සභා ක්‍රමය පූර්ණ අන්දමින් ක්‍රියාත්මක කිරීමටයි. එහෙත් ලංකාවේ පාලකයන් දෙමළ ජනතාව සමග බලය බෙදා ගැනීමට අකැමැති සිංහල ස්වෝත්තමවාදීන් පිරිසක් බව ඉන්දියාව දනියි. එහෙත්, ඔවුන්ට ඕනෑ හැටියට නටන්නට දුන්නොත් තමිල්නාඩුව අස්ථාවර වීමට ලංකාවේ දෙමළ ප්‍රශ්නය බලපානු ඇතිය යන සැකය ඉන්දියාවට තිබේ. එහෙයින් ඔවුහු උපායශීලී ලෙස ලංකාවේ පාලකයන් තම ස්ථාවරය වෙත පොළඹවා ගන්නට උත්සාහ කරමින් සිටිති. 


ආර්ථිකය සම්බන්ධයෙන් ගත් කල ඉන්දියාවට ලංකාව දැනටත් ලාභදායී වෙළඳපොලකි. ‍ලංකාව හා ඉන්දියාව අතර ඇති නිදහස් වෙළඳ ගිවිසුම පුළුල් කරමින් අත්සන් කිරීමට නියමිත විස්තීරණ ආර්ථික සහයෝගිතා ගිවිසුම හෙවත් සීපා ගිවිසුම සම්බන්ධයෙන් ගත් කල ද දෙපාර්ශ්වය ම උත්සාහ කරන්නේ අනෙක් පාර්ශ්වයෙන් කුට්ටියක් කඩා ගැනීමටයි. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් වාසි ලබන අය මෙන් ම පාඩු ලබන අය ද දෙපැත්තේ ම සිටිති. ඉන්දියාව දැවැන්ත ආර්ථිකයක් වන නිසා ලංකාවට බිය වීමට හේතු වන තත්වයක් මෙහි තිබීම පිළි ගත හැක්කකි. එහෙත්, ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ ජාතික ආර්ථික සීමාවන් බොඳ වී යාම වැළැක්විය නොහැකි ය. ලංකාව දක්ෂ වුණොත් වෙනස් සංදර්භයක් නිර්මානය කර ගැනීමට ද බැරි නැත. පටු සංරක්ෂණවාදී විරෝධය වෙනුවට වඩා හොඳ අන්තර් රාජ්‍ය සම්බන්ධයක් හා සංවාදයක් ගොඩනඟා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික දක්ෂභාවයයි.


ගිවිසුම අනුව ලංකාව භාණ්ඩ 32ක බදු ඉවත් කරන අතර ඉන්දියාව භාණ්ඩ 114ක බදු ඉවත් කරයි. සේවා ක්ෂේත්‍රයේ උප අංශ 20ක් ලංකාව විසින් විවාත කරනු ලබන අතර ඉන්දියාව 80ක් විවෘත කරයි. විධායක, කළමනාකාර හා විශේෂඥ රැකියා සඳහා ලාංකිකයන්ට සීමාවකින් තොරව වීසා නිකුත් කිරීමට ද ඉන්දියාව එකඟ වේ. සංඛ්‍යාවලින් පෙන්වන තරම් ම මෙම කරුණු ලංකාවට එක වරම වාසිදායක නොවන්නට පුළුවන. එහෙත්, වෙනස් වන තත්වයන්ට හැඩ ගැසීමට ලංකාවට ඇති ශඛ්‍යතා අව තක්සේරු කර ගත යුතු නැත.  


ඉන්දියාව තමන්ගේ හිස මතට පැටවෙන ආධිපත්‍යයක් නොව කලාපයේ නායක භූමිකාවක් රඟන රාජ්‍යයක් ලෙස පිළිගෙන දෙරට අතර සම්බන්ධය අර්ථකථනය කර ගැනීම ලංකාවට යහපත් ප්‍රතිඵල ලබා දීමට ඉවහල් වනු ඇත.


ආර්ථික කාරණාවලදී ඉන්දීය බලපෑම පිළිබඳ යම් ගැටලු තිබෙනමුත්, සමාජ හා සංස්කෘතික කාරණාවලදී ඉන්දියාව සමග සබඳතා වර්ධනය වීම ලංකාවට යහපත් තත්වයකි.


නිදසුනක් ලෙස ගතහොත්, තලෙයි මන්නාරමේ සිට රාමේශ්වරමට යළි බෝට්ටු සේවා ඇරඹීම ලංකාවේ දූපත් මානසිකත්වය නැති වීම පිණිස මහෝපකාරී වේ. මේ වනාහි අනුරාධපුර යුගයේ පවා දෙරට අතර තිබුණු සාමාන්‍ය සම්බන්ධයක් මිස අලුත් යමක් නොවේ. මේ දෙරට සමාජ, ආර්ථික හා සංස්කෘතික වශයෙන් එකිනෙකාගෙන් අන්‍යෝන්‍ය වශයෙන් පෝෂණය වූ එක් කලාපයක් මිස ලෝක දෙකක් නොවේ.


දැන් මතු වී තිබෙන අලුත් ම තත්වය වන්නේ නැවතත් ඉන්දීය විරෝධයක් මතු කර ගනිමින් තමන් වැටී සිටින දේශපාලන වලවලින් ගොඩ ඒමට ලංකාවේ දේශපාලන ව්‍යාපාර උත්සාහ කිරීමයි. මෙහිදී ප්‍රධාන බලවේගය වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි.


ඉතිහාසයේ යම් යම් යුගවලදී කරන ලද වැරදි ම තමන්ට ඉදිරියට යාමට තිබෙන මාවත් ලෙස නැවත, නැවත තෝරා ගැනීම නිර්මාණාත්මක වශයෙන් බංකොලොත් නූතන ජවිපෙ නායකයන්ගේ සිරිතයි. 1980 දශකයේ අග භාගයේදී මෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට එරෙහිව සටනක් ඇදගෙන වෛද්‍ය ශිෂ්‍යයන් හා වෛද්‍යවරුන් හරහා මධ්‍යම පංතිය තුළ පදනම් ගොඩනඟා ගත හැකි යයි විශ්වාස කළ ජවිපෙ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සටනට යොමු කළමුත් එය සාර්ථක වූයේ නැත. හේතුව ගත වූ විසි වසර තුළ සිදු වූ සමාජ වෙනසයි. අද වන විට ජවිපෙ විසින් උත්කර්ෂයට නංවන ලද මධ්‍යම පංතිය විශ්ව විද්‍යාල පෞද්ගලීකරණයට පක්ෂව විවෘතව ම නැඟී සිටින තත්වයක් ඇති වී තිබේ.


ජවිපෙ ඉන්දීය විරෝධය සම්බන්ධයෙන් ද අපට කීමට ඇත්තේ ජවිපෙ සාර්ථක වනු ඇද්ද යන්න සැක සහිත බවයි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ ජුනියේ කරන ඉන්දීය සංචාරයේදී බලය බෙදීම සම්බන්ධයෙන් දෙරට අතර එකඟතාවක් ඇති වන්නේ නම් එය හොඳ තත්වයකි. ජවිපෙට ඇත්තට ම උවමනාව තිබුණේ කොටි සංවිධානයේ බෙදුම්වාදී අරමුණු පරාජය කිරීමට නම්, දැන් බලය බෙදා ගැනීම හරහා දෙමළ ජනතාව වෙත ළං වීමෙන් කොටි සංවිධානයේ බෙදුම්වාදී ඩයස්පෝරා දේශපාලනයට තිත තැබීමට ම පුළුවන්කම තිබේ.


හම්බන්තොට සහ යාපනයේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල දෙකක් පිහිටවිය යුතු බවට ශ්‍රී ලංකා රජයට බල කිරීමට ඉන්දියාව සූදානමින් සිටින බව කියමින් ලංකා ටෲත් වෙබ් අඩවිය භීතිය අලෙවි කිරීමේ නියැලී සිටියි. අපට ඇසීමට ඇත්තේ එහි ඇති වරද කුමක්ද කියා ය. 


දඹදිව යන්නට වීසා ගන්නට කෙළඹ නොගොස් හම්බන්තොටින් ඒ කාර්යය කර ගැනීමට තණමල්විල කුසුමාවතීට පුළුවන. ජවිපෙ හම්බන්තොට හිටපු මන්ත්‍රී නිහාල් ගලප්පත්තිට ද හම්බන්තොට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් වීසා රැගෙන ඉන්දියාවේ චාරිකාවක් ගොස් පැමිණිය හැකි ය. පක්ෂයට හොරෙන් එරට ප්‍රාන්ත රාජ්‍ය ක්‍රමය ගැන හා පංචායත් සභා ගැන අධ්‍යයනය කර පැමිණිය හැකි ය.


උතුරු පළාතේ සියලු ව්‍යාපෘති සදහා සෘජුව මැදිහත්වීමේ අයිතිය ඉන්දියාවට ලබා දෙන ලෙසද ඉල්ලීමට ඉන්දියාව සූදානමින් සිටින බව ජවිපෙට දැනගන්නට ලැබී ඇත. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය මේ අන්දමින් කටයුතු කරන විට ජවිපෙ සිටියේ කොහිද? ජවිපෙ චීනයේ බලපෑම් පිළිබඳ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින්නේ චිනයෙන් ලැබෙන යම් යම් වාසි නිසා ද?


ඉන්දියාව හා ලංකාව අතර මෙන් ම ලංකාව හා වෙනත් ඕනෑ ම ජාතියක් අතර ද ඇති වන සම්බන්ධතා අහිංසක පෑනේ මිතුරු සබඳකම් නොවේ. ඒවා බල සම්බන්ධතා ය. එමෙන් ම නොවැළැක්විය හැකි ඒවා ය. අනෙකා තමන්ට බොරු වලවල් නො කපන අන්දමින් එකී සබඳතා පවත්වා ගැනීම රාජ්‍ය තාන්ත්‍රිකභාවයයි.


සමාජවාදීන් විසින් ප්‍රවර්ධනය කළ යුත්තේ ජාතීන් අතර යහපත් සම්බන්ධතා වර්ධනය කර ගැනීම මිස උතුරු කොරියානු හුදකලාව නොවේ. සකල ‍දේශ වාසී පීඩිතයන්ට එක් විය හැක්කේ ප්‍රාග්ධනයට සංචලනය වීමට ඇති නිදහස ශ්‍රමයට ද ලැබෙන ලෝකයකයි. අනෙක් දේශය තමන්ගේ පරම සතුරකු ලෙස හැම අයුරින් ම අර්ථකථනය කරන්නට යාම ජාතිවාදයට යට වීමකි. 

14 comments:

  1. //ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ ජාතික ආර්ථික සීමාවන් බොඳ වී යාම වැළැක්විය නොහැකි ය. ලංකාව දක්ෂ වුණොත් වෙනස් සංදර්භයක් නිර්මානය කර ගැනීමට ද බැරි නැත.//

    මේක ලිව්වෙ ඔයාමද W3? O_o

    ReplyDelete
  2. කාලයකට පසු එකඟ විය හැකි යමක් ලියා තිබේ.

    එකම factual error එක චීනය ජවිපෙ පස්සෙන් ඇති බව උපකල්පනය කිරීමය. චීනය ජවිපෙද තවමත් නටවමින් සිටින් එක සත්‍යයක් විය හැකි මුත් ලංකාවේ වර්තමාන ඍජු චීන නියෝජිතයා මහින්ද මාමා මිස අන් කවරෙක් වත් නොවේ. ලොක්කාම රූකඩයක් සේ නටවන්නට පුළුවන් කළ සොක්කන් නටවන තරමට චීන්නු කොණ්ඩේ බැඳලා නැත.

    ReplyDelete
  3. w 3 lanka said on 28teh of December 2009 -
    //ඉන්දියාව කලාපයේ ආධිපත්‍යය තහවුරු කර ගන්නේ අසල්වැසි රටවල තණතිලි මේ අන්දමින් කඩතොලු කිරීමෙනි.
    අසල්වැසි පකිස්තානය, බංග්ලාදේශය හෝ නේපාලය සම්බන්ධයෙන් පවා තත්වය එසේ ම ය//

    http://w3lanka.blogspot.com/2009/12/blog-post_28.html

    http://w3lanka.blogspot.com/2010/02/blog-post_9032.html

    ඔබ විසින්ම ලියූ ඉහත ලිපි සහ ඒවායේ උපුටන සමග මෙම ලිපියේ තිබෙන වෙනස ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?
    ඉන්දියාව අපව කන්න සිටින යකෙක්ද?පැහැදිලිවම නැත.නමුත් ඉන්දියාව යනු කුමක්ද?ඉන්දියාවේ හැසිරීම දේශපාලනික විදිහට තක්සේරු කරන්නෙ කොහොමද?ඉන්දියාවේ ව්‍යාප්තිවාදී හැසිරීම ගැන කතිකාවත ජවිපෙ ජාතිවාදයක් විතරක් ලෙස තේරුම් ගැනිම අවිද්‍යාත්මකයි කියලයි මම යෝජනා කරන්නෙ.උදාහරනයක් විදිහට වික්‍රමබාහු කරුනාරත්න වැනි අයෙක් ඉන්දියාවේ සීඝ්‍ර මැදිහත්වීම ගැන අදහස් දක්වා තිබූ අතර ( ඔහු යොදාගෙන තිබුන වචන වූයේ යැංකි මංකි ආක්‍රමනය යන්නයි ) නේපාලයේ මාඔවාදී කොමියුනිස්ට් පක්ෂය වැනි කලාපය ඇතුලෙ සාර්ථක වාමාංශික දේශපාලනයක් කරන බලවේගවල සංවාද තුල පවා මේ වහර යොදාගැනෙනවා.

    //ඉන්දියාව දැවැන්ත ආර්ථිකයක් වන නිසා ලංකාවට බිය වීමට හේතු වන තත්වයක් මෙහි තිබීම පිළි ගත හැක්කකි. එහෙත්, ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ ජාතික ආර්ථික සීමාවන් බොඳ වී යාම වැළැක්විය නොහැකි ය//
    ජාතික ආර්ථික සීමාවන් බොදවී යාම "යථාර්තයක්" ලෙස පිලිගන්නවා නම් නව ලිබරල්වාදයට වාමාංශිකයන් මෙතරම් විරුද්ධ වන්නෙ ඇයි?ලෝක බැංකුවට,ජලය පුද්ගලිකකරනයට,සමාගම් ආධිපත්‍යයට එරෙහිව අදිරාජ්‍යවාදයක් ගැන වම කතා කරන්නේ ඇයි?

    පටු ඉන්දිය විරෝධී දූපත්වාදී මානසිකත්වයක් හදාගැනීම වැරදි බව ඇත්ත.ඒත් ඉන්දිය රාජ්‍යයේ ධනේශ්වර ස්වභාවයත් ඒකෙ බලපෑමත් ගැන කතාකරන එක නවත්තන සීමාවක් බවට එය පත්කරගත යුතු නැහැ.සාම්පූර්හි අනාථයන් කදවුරු වල සිටියදී ඔවුනගේ භූමිය ඉන්දිය සමාගම් විසින් පවරා ගැනීම ගැන කතාකිරීම "සංරක්ෂනවාදයක්" නෙමෙයි.අමෙරිකානු අධිරාජ්‍යවාදය ගැන කතාකරනවා කියන්නෙ අමෙරිකානු ජනතාව හා එම සංස්කෘතිය ප්‍රතික්ෂේප කරනව කියන එක නෙමෙයි.ඊට විරුද්ධව කතාකරන කැස්ත්‍රෝ වැන්නෙක් දූපත්වාදියෙක් හෝ සංරක්ෂනවාදියෙක්ද?

    ReplyDelete
  4. I think there is another side of this issue. India as a matter of fact supports MR regime, which is closer to them than a Ranil led UNP gvt. and Lalith Weeratunga, in an interview admitted the fact that Sri Lankan Gvt supported the congress party of India, which is the current gvt, to win its last election held in April. usually, states may support each other but Gvts do not support political parties of other countries to win elections. the risk of this is that if the other party, which is not supported by the foreign gvt wins the election, the relationship between the two states may go strained.

    Why India supports MR gvt? becasue, India does not want to see Sri Lanka becoming a strong powerful nation in the region. the harsh truth, which people like w3 usually do not like to accpet is that countries like Sri Lanka or even India can't get a rapid economic development without the west. this is not to say, that countries like Sri Lanka should receive their aids in the process of development. but if we want to earn money through trade, the ideal market for any product is the west. especially with the advanced consumption habits in Europe and the States, luxury items can be sold to those nations to make a big profit. this is why countries like India and China, no matter how anti-American they introduce themselves to be in the regional and domestic politics may be, do not in reality want to sever their connections with the west. Instead, they enter into more and more agreements and new trade relations with Europe and the US. not to get any aid but to get a big market share, which will sure help develop their economy.

    Countries like India and China struggle so hard to become the super powers of 21th century, but to this end a mere economic development may not be sufficient . they needs to exercise their dominance in the particular region, to make them appear as the sole representative of that region.
    therefore these countries try to influence surrounding states, by giving them or not giving, by supporting them or withholding the support, or in another manner they think suitable.
    One good example is the US dominance over the Americas, which makes them the super power of entire world.

    India wants to be the sole representative of the region in the international arena, and they knows that as long as MR regime exists, they can control foreign relations of Sri Lanka. if a person like Ranil comes to power he will try to develop his own connections with Europe and the US, which is really detrimental to the India's objective of becoming the sole representative. But Mahinda is not in a position to make his own connections with the West, because of his anti democratic agendas (such as suppression of media, human rights issues, and constitutional changes which affects the basic norms of democracy) to remain in power. so he will have to depend on other states such as India and China, who will then have to work as the representatives of SL in the international arena. this is a win-win game for both MR and countries like India and China, since they support MR to remain in power while MR is helping them become the super powers of the world.

    ReplyDelete
  5. නියම කොල්ලෙක්නේ... රාවයෙන් දීපූ ගේමට පස්සෙ ලොක්කගේ පෙනීම හොඳවෙල වගේ.. ඔහොම යං .... ඔහො යං... මම මේ ලංකාවේ වම ගැන සරළ ළිපියක් ලියන්න හිටියේ....

    ReplyDelete
  6. ඇමෙරිකාව කියුබාවට තග දාන කොට එක අධිරාජ්‍යවාදය වීමත් ඉන්දියාවම ඒක ලංකාවට කරන කොට ඒක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවක් වෙන්නේ කොහොමද කියන ඒක අපිට තේරෙන්නේ නැත්තේ අපේ දුපත් වාදී මානසිකත්වය නිසා වෙන්න ඇති.

    ReplyDelete
  7. ඇමෙරිකාව කියුබාවට තග දාන කොට එක අධිරාජ්‍යවාදය වීමත් ඉන්දියාවම ඒක ලංකාවට කරන කොට ඒක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවක් වෙන්නේ කොහොමද කියන ඒක අපිට තේරෙන්නේ නැත්තේ අපේ දුපත් වාදී මානසිකත්වය නිසා වෙන්න ඇති.

    ReplyDelete
  8. ඉහත Ramachandraගේ හා Gadflyගේ කමෙන්ටු දුටු කළ කියවමින් සිටින පොතක තිබූවක් මතක් විය. ඒ වචනම නොවෙතත් අදහස මෙසේය.

    Workers have no fatherland කීවේද Workers of the world, Unite! කීවේද කාල් මාක්ස්ය. මාක්ස් දුටු යුරෝපයේ ධනපතියෝ රටවල් අනුව බෙදී සිටියහ. ජර්මානු ධනපතියාට ඉංගිරිසි ධනපතියා සතුරකු විය. ප්‍රංශ ධනපතියාට මේ දෙදෙනාම සතුරෝ වූහ. මේ "දේශීය" ලෙස බෙදුණු,එකිනෙකා හා කුළල් කා ගත් ධනපතියන් ලෙහෙසියෙන්ම පරාජය කොට සකල ලෝකවාසී කම්කරුවන් ඒකරාශී වනු ඇතැයි මාක්ස්ද ඔහුට පසුව ට්‍රොට්ස්කි ඇතුළු බොහෝ දෙනක්ද සිතූහ.

    මාක්ස්ගේ අනාවැකිය බොරු කරමින් "කම්කරු පංතිය" තම දේශීය සීමා බිඳ වෙනත් රටක සමාන කම්කරු පංතියක් හා කවදාවත් එකතු වූයේ නැත. එකතු වූයේ ඔවුන්ගේ ස්වාමිවරුන්ය. අද අප කතා කරන්නේ ගෝලීය ධනපතියන් ගැනය. දේශසීමා බිඳ හැම රටකම ධනපතියෝ එක් වී සිටිති. ඊනියා "ජාතිකත්වය" කර උඩ තියාගෙන යන්නේ (වාමාංශික හා වාමාංශික නොවන) කම්කරුවන්මය.

    මීට හේතුව "කම්කරු පාංතික විඥානය" (class consciousness) සේ මාක්ස් හැඳින්වූ ඉලව්වක් කවදාවත් කම්කරු පංතිය සතු නොවීමය. කම්කරුවෝද සුළු ධනේශ්වරයන් සේම පටු ආත්මාර්ථකාමියෝය. අපට හරියනවා නම් ඉන්දියාවේ ගොවීන්ට හෙණ ගැහුවත් මොකද කියා ලංකාවේ ගොවීන් හිතන්නේ ඒකය.


    දැන් ඉන්දීය "අධිරාජ්‍යවාදියාට" එරෙහිව "ලාංකීය කම්කරු පංතිය" "ලාංකීය ධනපති පංතියේ" පැත්ත ගෙන ඇති බව පෙනේ. වඩ වඩා ඉන්දියන් සමාගම් මෙහි ඒම වඩ වඩා රැකියා අවස්ථා ඇතිවීමකි කියන සරල සත්‍යවත් "ලාංකීය කම්කරු පංතියට" නොවැටහෙන්නේ ඔවුන්ගේ ජාතිකත්වය පාංතික හැඟීම අභිබවා ගොස් ඇති නිසා විය හැකිය.

    ReplyDelete
  9. ලංකාව ඉන්දියාවේ "නංගියෙක්" - මහින්ද රාජපක්ෂ
    http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6736:-q-q-&catid=34:2008-10-13-08-28-51&Itemid=27

    ReplyDelete
  10. @ w 3 lanka

    It's good if you can point out your answer for the comment

    - ramachandra

    ReplyDelete
  11. @taboo
    මෙතන ඇත්තේ කම්කරු පන්ති විඥා නය පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. ඔබගේ තර්කය අනුව අධිරාජ්‍යවාදය ඉතාම ප්‍රගතිශීලිය. එය ජාතික සීමා ඉක්මවා යමින් ලෝකය එක කරන නිසාය. අධිරාජ්‍යවාදයට විරුද්ද වීම ප්‍රතිගාමිය. ( තමන් සතු කුමන ආකාරයේ හෝ සුපිරි බලතල යොදා ගනිමින් තවත් රටක් තමන්ගේ ග්‍රහණයට ගැනීම අධිරාජ්‍යවාදය නොවේනම් වෙන කුමක් දැයි කරුණ කර කියන්න- එය w3lanka කියන අයුරු රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවක්ද? එසේනම් 18 වැනි 19 වැනි සියවස් ලෝකය පිරි තිබුනේ එවැනි රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවන්ගෙන්ද? )

    ReplyDelete
  12. @gadfly,

    'අධිරාජ්‍යවාදය' යනු යුරෝපයේ (හා පසුව ආසියාවේ) 'ධනපති පංතිය' විසින් නිර්මාණය/ප්‍රචාරය කරනු ලදුව, දැන් 'ජාතිකවාදීන්' (හා සමහරවිට වාමාංශිකයින්) ගිරවුන් සේ පුනරුච්චාරණය කරන තේරුමක් නැති වචනයකි. 'ජාතික රාජ්‍ය', 'රටවල්' වැනි සියළු දේ මානව නිර්මාණය. 'අධිරාජ්‍යවාදය' යන වචනය වලංගු මේ ජාතික දේශසීමා පිළිගන්නා තෙක් පමණකි. ආර්ථික විද්‍යාව දේශසීමා ඉක්මවා යන විෂයයකි.

    (1) කොළඹ කාර්ගිල්ස් සමාගම යාපනයේ වෙළඳපළක් සොයා ගැනීමට උත්සාහ දැරීමත් (2) ඉන්දියාවේ ටාටා සමාගම ලංකාවේ වෙළඳපළක් සොයා ගැනීමට උත්සාහ දැරීමත් සමානය. (1) හා (2) අතර කිසිම වෙනසක් නැත. මෙය අධිරාජ්‍යවාදයක් වත් රාජ්‍යතන්ත්‍රික සම්බන්ධතාවයක් වෙන මොන ඉලව්වක් වත් නොවේ. ඕනෑම නිෂ්පාදකයකු තම නිෂ්පාදන සඳහා විශාලතම වෙළඳපළ සොයා ගැනීමට තැත් කරයි. මේ සිදුවන්නේ එයයි. ලංකාවේ දම්රෝ සමාගමද ඉන්දියාවේ ප්ලාස්ටික් පුටු විකුණයි. ඉන්දියානුවෝ එය 'ලාංකීය අධිරාජ්‍යවාදය' සේ නොහඳුන්වති.

    16-19 සියවස් අතර සිදුවූ 'අධිරාජ්‍යවාදය' ලෙසින් නම් කෙරුණු ක්‍රියාවලියත් අද සිදුවන 'නව අධිරාජ්‍යවාදය' ලෙසින් හඳුන්වන ක්‍රියාවලියත් අතර ඇති වෙනස එකල එය තුවක්කුවේ බලයෙන් සිදුවීමත් අද ධනයේ/බුද්ධියේ බලයෙන් සිදු වීමත් පමණකි. පළමුවැන්න ගෝත්‍රික සටනකි. දෙවැන්න ධනවාදයේ විකාශයයි.

    අවසාන වශයෙන්, මොන නමකින් හැඳින්වුවද, ජාතික දේශ සීමා බිඳ ලෝකය එක් කිරීම රටවල් තනි කිරීමට වඩා ප්‍රගතිශීලීය. මෙය සමාජවාදය, ධනවාදය හෝ මාක්ස්වාදය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. වර්තමාන ලෝකයේ තනි රටකට ස්වයංපෝෂිත විය නොහැකිය. අන්තර්ජාතික වෙළදාම රටවල් එක් කළ යුතුය. (සීතල යුද්ධයේ උපරිම අවස්ථාවේදීත් ඇමෙරිකාව හා සෝවියට් දේශය වෙළෙඳ ගනුදෙනු කළහ.) ලෝකයේම කම්කරුවන් එක් කිරීම ට්‍රොට්ස්කිගේ අරමුණ විය. සමස්ත දකුණු ඇමෙරිකාවවම එක් කිරීම චේගේ අරමුණ විය. මේ කිසිවක් නොදැන මෝඩ ලෙස කෑගැසීම අපේ රටේ 'වාමාංශිකයින්' දේශ හිතෛෂී ව්‍යාපාරයේ අතකොළු කරනවාට වැඩි දෙයක් කරන්නේ නැත.

    ReplyDelete
  13. .@ taboo subjects

    1.අධිරාජ්‍යවාදය කියන්නෙ කාගෙවත් හිතේ මැවුන මෝඩ සංකල්පනාවක් නොව මහ පොලොවේ ප්‍රායෝගිකව වෙමින් පවතින දෙයකි.අප්‍රිකාවේ ඛනිජ නිධි වල අයිතියට හිලවු ලෙස අප්‍රිකානුන්ට රැකියා ස්වල්පයක් ලැබෙන අතර මේ ගනුදෙනුවේ අවසන් ප්‍රතිඵලය ලෝකයේ ආදායම් බෙදී ගොස් තිබෙන ආකාරයේ බරපතල විෂමතාවය දෙස බැලීමෙන් තේරුම් ගන්න පුලුවනි.

    2.නූතන තත්වයන් තුල ජාතික රාජ්‍ය සීමා දියවී ගොස් නැත.ජාතික රාජ්‍ය පවතී.යුනිලිවර් නමැති විදේශ සමාගමට එරෙහිව මෙරට කම්කරුවන් ස්ට්‍රයික් කරන විට කැදවන්නේ ජාත්‍යන්තර පොලිසිය නොව මෙරට පෙලිසියයි.අධිරාජ්‍යවාදය තුල වෙන්නෙ මේ සීමා ප්‍රගතශීලිව මකා දැමීමක් නොව රාජ්‍යය පවත්වාගන්නා ගමන් රාජ්‍ය තුල සිටින ශ්‍රමිකයන් සහ සමපත් සූරාකෑමය.

    3.ජාතික දේශ සීමා බිද ලෝකය එකතු වීම හොදය.නමුත් එය විය යුත්තෙ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකට මිස කොල්ලකාරී ආකාරයකට නොවේ.අද මැක්සිකෝව හා එක්සත් ජනපදය "ආර්ථික ලෙස එක්සත් වී ඇති අතර " (නැෆ්ටා - 1995) මැක්සිකානුන් ඒ එක්සත් වීම තුල අමෙරිකානු ප්‍රාග්ධනයේ වහලුන්ය.සැපටිස්ටා කැරැල්ල විදිහට ප්‍රචන්ඩ විදිහට මතුවෙලා තියෙන්නෙ ඒ "ප්‍රගතශීලි එක්සත්කමේ " මහිමයයි.

    4.සීපා යනු නැෆ්ටා පන්නයේම තවත් එකක් බව තේරුම් ගැනීමට දිවැස් අවශ්‍ය නැත.ඇවැසි ව්‍යවහාර ඥානය පමනි.මේ රටේ සුලු ව්‍යාපාරයක් කරමින් දවස ගැටගහගන්න මිනිසුන්ට කෙලවී උන් පාරට වැටෙන තුරු,පාරට වැටි ඉන්දීය සමාගම් වල ශ්‍රමිකයන් ලෙස අඩු පඩියට කැඹිරීමට යන තුරු ( ඉන්දීය ශ්‍රමිකයන්ටත් මෙරට වෙලදපොල විවෘත කරනවා නම් තත්වය තව නරක් වේ.වැටුප් වල මිල තවත් පහල යනු ඇත) ධනවාදය 100% සම්පූර්න වුනාම පස්සෙ තමයි සමාජවාදය වෙනුවෙන් සටන පටන්ගන්න ඕනෙ කියල එතකම් ජාතික දේශසීමා නැතිවෙලා සේරම සුදද වෙනකම් බලාගෙන ඉදීම මාක්ස්වාදය නොව වෙනත් විකෘතියකි.චේ දකුනු අමෙරිකාව එකතු කරන්න කලේ අමෙරිකානු ප්‍රාග්ධනය විසින් දකුනු අමෙරිකාව "එක්සත්" කරන තුරු අත්පොලසන් දෙමින් සිටීම නොවේ.කලේ එහි සම්පූර්න අනිත් පැත්තයි.එනම් කලාපයේ අනිත් අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාර සමග එක්සත්ව ප්‍රජාතන්ත්‍රවාදී කලාපියකරනයක් වෙනුවෙන් අමෙරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් වැදීමයි.ට්‍රොට්ස්කි කම්කරුවන් එකතු කරන එක ගැන අපිට කියන්න ඉස්සෙල්ලා ට්‍රොට්ස්කි ( විශේෂනේ ලෙනින් ) අධිරාජ්‍යවාදය ගැන පෙරදිග ලෝකයේ විමුක්ති ව්‍යාපාර ගැන කීවේ මොනවද කියල කියවල එන්න.ලිබරල් ධනවාදයේ වරුන දකින මහත්වරු අදිරාජ්‍යවාදය සාධාරනිකරනය කරන්න මාක්ස්වාදී වචන පාවිච්චි කරන කොට අපිට හිනා යනවා.

    5.අතිමහත් තෙවන ලොව ජනයා දුගීන් හිගන්නන් වහලුන් හා කාලකන්නින් කරන අධිරාජ්‍යවාදී ගෝලීයකරනයට මාක්ස්වාදීන් විරුද්ධ වෙන්නෙ කෙහෙල්මල් දූපත්වාදයක් නිසා නෙමෙයි.ලෝකය පුරා පැන නැගෙන අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාර වල එක්සත්කම උඩ ප්‍රජාතන්ත්‍රවාදී ගෝලීයකරනයක් වෙනුවෙන් සටන් කිරීමේ ඉලක්කය මත.ලතින් අමෙරිකාවෙ අද ප්‍රජාතන්ත්‍රවාදී කලාපීයකරනයක් වෙනුවෙන් සාපේක්ෂව සාර්ථක අත්හදා බැලීම් කරන්නේ අධිරාජ්‍යවාදය එක්ක සටන් කල වමේ ව්‍යාපාර මිස අමෙරිකානු ප්‍රාග්ධනයෙන් තමන්ට විමුක්තිය උදාවෙන තුරු බලාගෙන සිටි සිහිනදකින්නන් නෙමෙයි.

    පලි - මෙතන තියෙන්නෙ ද්විපාර්ශවික වෙලද ගනුදෙනු වගේ "අහිංසක" ප්‍රශ්නයක් නෙමෙයි.ඒව රුසියාවයි අමෙරිකාවයි කලා.අපිත් ඔය හැමෝ එක්කම ඒව කරන්න ඕනෙ.හැබැයි මොන ගනුදෙනුව කලත් ඒක රටේ මිනිස්සුන්ගේ හිතසුව පිනිස යොදාගන්න මොලේ කියල එකක් සහ සැලසුමක් තියෙන්න ඕනෙ.

    ReplyDelete
  14. මාක්ස් දැක්ක විදියට ලෝකයේ කම්කරුවන් එකතු නොවුණු බව හැබැයි. ඒ වගේම තම taboo දකින විදියට ලෝකයේ ධනපතියනුත් එකතු උනේ නැහැ. එතන තියෙන්නේ තමන්ගේ ප්‍රාග් ධනය යොදාගෙන එකිනෙක ගිල ගන්න කුරිරු යුද්ධයක් විතරයි. ඒ යුද්ධයට කම්කරුවනුත් මැදිහත් වෙන්න ඕන මොකටද?
    අනික, මේව මේ විදියට සිද්ද උනාම ඉන්දියාවේ ගොවීන්ට හරි යනවා කියල taboo කල්පනා කරන බවක් පෙන්න තියෙන්නේ. ලංකාවේ වෙළඳ පලට ඇතුළු වීමට ඉඩ නොදීමෙන් ඉන්දියාවේ ගොවීන්ට අමුතුවෙන් කෙලවෙන්නේ කොහොමද . එකෙන් ලංකාවේ ගොවීන්ට අමුතුවෙන් හරියන්නේ කොහොමද?
    ඉන්දියාවේ සමාගම් මෙහි එම තුලින් වැඩි වැඩියෙන් රැකියා ඇති වෙනවා කියල taboo කියනවා. taboo මෙහෙම කියන්නේ ගිවිසුමේ ඇති කොන්දේසි ගනට්වත් හරියට නොදැන බවක් පේනවා. මේ ගිවිසුමෙන් වෙන්නේ , ඉන්දියාවේ ඉන්න සියලුම ආකාරයේ ශ්‍රමිකයන් මෙටරට ඇදී ඒමත්, ඒ තුලින් ශ්‍රමයට ඇති කේවල් කිරීමේ හැකියාව ගිලිහිලා ගිහින් කම්කරුවන්ගේ ජීවන තත්වය තවත් පහතට වැටීම. ( සහ දැනට තිබෙන රැකියා අවස්ථාත් අහිමි වීම )

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.