2010-05-27

ජලය වෙළඳ භාණ්ඩයක්ද? | Is water a trade commodity?

(2010 මැයි 27, W3LankaTaboo Subjects, සහන් සහ තවත් අය ජල සම්පත වෙළඳපලකරණය කිරීමේ යුක්තියුක්තභාවය පිළිබඳ අප විසින් මතු කරන ලද අදහස් පිළිබඳ සංවාදයට මැදිහත් වී ඇත. Taboo Subjects විසින් මතු කරන ලද ප්‍රශ්නවලට සමාජ ක්‍රියාධරයන් ලෙස අප දක්වන ප්‍රතිචාර තුළ මෙම සංවාදය පෝෂණය කිරීම හා අදාළ කරුණු අඩංගු වේ.


1. ජලය (පහසුවට වැව් ජලය කියමු.) අයිති කාටද? ජනතාවටද? (ගෙවල් දොරවල් වගේ) නැතිනම් රජයටද? (මහා මාර්ග, පාසල්, රෝහල් වගේ)


ජලය අයිති සොබා දහමට ය. මිනිසා මෙන් ම මිළ දී ගැනීමක් නොදන්නා සතුන්ට ද ගස් වැල්වලට ද ජලය සඳහා හිමිකමක් ඇත. රජය සිටිය යුතු තැන මීට වසර 2000කටත් වඩා ඈත යුග‍යේ දේවානම්පියතිස්ස රජු පෙන්වා දී ඇත. ඔහු කී අන්දමින් රජයට මෙකී සම්පත්වල භාරකරුවකු විය හැකි ය. හිමිකරු විය‍ නොහැක. 


2. ජලය කළමනාකරණය කළ යුත්තේ කවුද? ඒ සඳහා යන වියදම් දැරිය යුත්තේ කවුද?


රජය ජල කළමනාකරණයට මැදිහත් වීමේ වරදක් නැත. එහෙත්, හිමිකරුවා ලෙස නොව භාරකරුවකු ලෙසයි. රජය සියලු වියදම් දරා ගන්නේ මහජනයාගෙන් අය කරන බදු මුදලින් හෝ රාජ්‍ය ව්‍යවසායන්ගෙන් ලබන ලාභයෙනි. මෙහිදී ද එය එසේ ම ය. එහෙත් ජල කළමනාකරණ ක්‍රමවේදයක් සෑදීමේදී තිබෙන තත්වයන් පිළීබඳ හා ජනතා අදහස් පිළිබඳ සංවේදී විය යුතු ය. 


3. ජලය වෙළඳ භාණ්ඩයක්ද? එය විකිණිය හැකිද?


වටිනාකම් එකතු කිරීමක් සිදු වී ඇති ඇතැම් විටෙක ජලය වෙළඳ භාණ්ඩයක් වන අවස්ථා ඇත. ඒ අවස්ථාවලදී එය විකිණීම මිළ දී ගැනීම සිදු වේ. එහෙත්, එය හැම විට ම වෙළඳ භාණ්ඩයක් විය යුතු නැත.  ජලය, වාතය වැනි නිෂ්පාදනය කිරීමක් සිදු නොවන ජීවයේ ප්‍රාථමික අවශ්‍යතා මුළුමනින් ම වෙළඳපොලකරණය කරන්නට යාම සොබාදහම දූෂණය කිරීමකි. 


4. (ඉහත ප්‍රශ්නයට උත්තරය 'නැත' නම් පමණක්) සැපයුමට වඩා වැඩි ඉල්ලුමක් පවතින අවස්ථාවලදී ජලය බෙදා දිය යුත්තේ කෙසේද? ප්‍රමුඛතාව දිය යුත්තේ කාටද? ඒ මොන පදනමක් මතද?


විශේෂඥ උපදෙස් හා ජනතා අදහස් මත පදනම්ව ක්‍රමවේදයක් සකසා ගත යුතු ය.


5. වාරිමාර්ග හා කෘෂිකර්මය ඉතා දියුණුවට පැවතුනාය කියන පෙර රජ දවස ජල කළමනාකරණය කළ අයුරු ගැන ලේඛකයාට අවබෝධයක් ඇත්ද?


ලේඛකයා ජනමාධ්‍යකරුවකු මිස ඉතිහාසඥයකු නොවේ. පෙර රජ දවස පැවති ජල කළමනාකරණයේ විශිෂ්ට ලක්ෂණ තිබේ. එහෙත්, එදා සමාජ තත්වය හා අද තත්වය සැසඳීමට නොහැකි ය. පසුගිය වසර 200ක පමණ කාලයේ ජල කළමනාකරණය සිදු වි ඇති අන්දම හැදෑරීම වඩා ඵලදායී වනු ඇත. 


6. වාණිජ කෘෂිකර්මය ගොවීන් විසින් තනි තනිව කිරීම හා රජය/සමාගමක් විසින් කිරීම අතර වෙනසක් ඇත්ද?


ඇත. ලංකාවේ සුළු ගොවීන්ගෙන් බහුතරය අඩු ආදායම්ලාභීහු වෙති. එසේ ම මෙම පිරිස ලංකාවේ ජනගහණයෙන් ද බහුතරයකි. ඔවුන් ඉවත් කළ විට ලංකාවක් නැත. 


රජය සහ සමාගම් යනු විශාල ප්‍රාග්ධන හිමියන් බැවින් ඔවුන්ට තාක්ෂණය, යෙදවුම් හා වෙළඳපොල ප්‍රවේශය ලබා ගැනීම පහසු ය.  සුළු ගොවීන්ට ඔවුන් සමග තරග කිරීමට නොහැකිය. 


7. ජලය යනු වාණිජ කෘෂිකර්මයට අමු ද්‍රව්‍යයක් නම් එය ලබා ගැනීමට යම් වියදමක් දැරීමට සිදුවෙතොත් එය බදු ගෙවන ජනතාවගේ මුදලින් රජය විසින් දැරිය යුතු ඇයි?


මෙය සෑම විට ම සිදු විය යුතු නැත. එහෙත්, ආහාර නිෂ්පාදනය වෙනත් නිෂ්පාදනයන්ට වඩා ප්‍රමුඛ අවශ්‍යතාවක් බැවින් ඇමරිකා එක්සත් ජනපදය පවා යම් සංදර්භයන් තුළ කෘෂිකර්මාන්තයට සහන ලබා දෙයි. ලංකාවේ කෘෂිකර්මාන්තයට ජලය සැපයීම සම්බන්ධයෙන් ද මේ කරුණ අදාළ ය. නිදසුනක් ලෙස ජලය වෙනුවෙන් ලංකාවේ වී ගොවිතැනේ නියැලී සිටින සුළු ගොවීන්ට මුදල් ගෙවන්නට සිදු වී විට නිෂ්පාදන පිරිවැය වැඩි වී වී මිළ වැඩි වේ. එවිට ලංකාවේ බත් කන මිනිස්සු එක්කෝ ඒ වැඩි මිළ ගෙවති. නැතිනම් ඇමරිකාව වැනි රටවල් ගොවීන්ට සහනාධාර දී වැවූ තිරිඟුවලින් කොටා ලංකාවට එවන පිටි කති.  බත් කන මිනිස්සු පාන් කෑවොත් ලංකාවේ ගොවියෝ හාමතේ මිය යති. 


8. "මෙහි ඇති මූලික ගැටලුවක් වන්නේ දිළින්දන්ගේ නමින් සිදු වන මේ ක්‍රියාවලි පිළිබඳ තීරණය කිරීමේදී දිළින්දන් එයට සම්බන්ධ නොවීමයි." අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සිසුන්ට අදාළ තීරණ ගැනීමේදී එම රැස්වීම් වලට ළමුන් තියා දෙමාපියන් වත් සහභාගි කර ගන්නවාද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැස්වීම් වලට රෝගීන් සහභාගි කර ගන්නවාද? ප්‍රවාහන අමාත්‍යාංශයේ තීරණ වලට බස් මඟීන්ගේ දායකත්වයක් ඇත්ද?


මෙම ක්‍රියාවලිය තීරණය කිරීමේදී අඩු තරමේ ලංකාවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියවත් ලබාගෙන නැත. මෙය හරියට කොටහේන මධ්‍ය මහා විද්‍යාලය හා සම්බන්ධ තීරණයක් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් ගන්නවා වැනි ය. කිසි ම අදාළකමක් නැත. 


තීරණ ගැනීමේ ක්‍රියාවලිවලට එම තීරණ හා සම්බන්ධ අනතුරුධාරකයන් සම්බන්ධ කර ගැනීම දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක මූලිකාංගයකි. එය පිළි නොගන්නේ නම්, රාජපක්ෂ පවුල තමන්ට ඕනෑ හැටියට ලංකාව පාලනය කිරීම ද පිළි ගැනීමට සිදු වේ. 


9. "නිදසුනක් ලෙස, ලංකාව වැනි රටවල දූෂිත රාජ්‍යයන් සමග එක්ව ජනතාවට කොළය වසා සකසන ලද 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැනි සැලසුම්වල යුක්තියුක්තභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න තිබේ." මොනවාද මේ ප්‍රශ්න. තුනක් කියන්න.


ප්‍රශ්න තුනක් නොව නිදසුනක් ලෙස ප්‍රශ්න හතක් ම මෙම ලිපිය අවසානයේ ගෙන හැර දක්වමි. 


10. "ඔබ නිදහසේ දිය බුං ගැසූ වැවට, ඇලට හිටි හැටියේ අයිතිකරුවකු පහළ වීම" ඔබ 'නිදහසේ' ගිය පාසලට, ඔබ 'නිදහසේ' සෙල්ලම් කළ විහාර මහා දේවී උද්‍යානයට, ඔබ නිදහසේ යන බස් වලට, වෙනෙකක් තියා ඔබ නිදහසේ යන පන්සලට/පල්ලියට පවා අයිතිකරුවන් (රජය/පෞද්ගලික අංශය/පුද්ගලයින්) සිටී නම් මෙය විතරක් වෙනස් විය යුත්තේ ඇයි?


පෞද්ගලික දේපල ක්‍රමය යනු ප්‍රශ්නයක් බව ඔබේ ප්‍රශ්නයේ හරයෙන් ම කියැවේ. අඩු තරමේ ප්‍රාථමික ජීවී අවශ්‍යතා වන ජලය, වාතය වැනි දේවත් පොදු දේපල නොවුණහොත් මිනිස් සමාජයේ විනාශය ළඟ ය. 


1. 'යළි පුබුදමු ශ්‍රී ලංකා' ලේඛනය ලංකාව විසින් සකසන ලද්දක් බව ලෝක බැංකුව කියයි. එය සැකසුවේ කවුරුද?


2. එය සැකසූ අය ලංකාව වන්නේ කෙසේද?


3. කිසිදු මැතිවරණයකදී කවුරු හෝ පක්ෂයක් මෙම ලේඛනය ජන වරමක් සඳහා ඉදිරිපත් කර තිබේද? 


4. 2004දී එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට ජවිපෙ, කොටි සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කළේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' පරාජය කිරීමට නොවේද? 


5. මහින්ද චින්තනයේ දේශීය ආර්ථික සංකල්පයක් අවධාරණය කරන්නේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා'ට එරෙහිව නොවේද? 


6. තමන් විසින් ම පරාජය කරන ලද සැලැස්මක් පෙරට ගන්නට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඇති අයිතිය කුමක්ද?


7. 'යළි පුබුදමු ශ්‍රී ලංකා' ගෙන එන්නේ දිළිඳුභාවය පිටු දැකීමේ සැලැස්මක් ලෙසයි. එසේ නම්, දිළින්දන් මෙහි ප්‍රධාන අනතුරුධාරකයන් විය යුතු ය. දිළිඳුභාවය නැති කරන ආකාරය ගැන ඔවුන්ගෙන් නියෝජනයන් ලබා ගත්තේ කවදාද? කෙසේද?


Taboo Subjects කියන පරිදි, මේ සියල්ලක්ම එය පිළියෙළ ආකාරයේ procedural errors ය. මෙයින් අදහස් කෙරෙන්නේ මේ procedural errors නැතිනම් අප එහි හරය පිළිගන්නා බවදැයි ඔහු අසයි. ලියවිල්ල සකස් කළ ආකාරය මුළුමනින් ම අවිද්‍යාත්මක ය. එවිට එය සමාන වන්නෙ ප්‍රබන්ධ සාහිත්‍ය කෘතියකටයි.


පසුගිය කාලයේ ඉන්දියාවේ එක් ශල්‍ය වෛද්‍යවරයෙක් සිය බාල වයස්කාර පුත්‍රයා ලවා සීසේරියන් සැත්කමක් කරවූවේ ය. පුතා සැත්කම හරියට කළ බව ඔහු කියයි. සැත්කම සඳහා අනුගමනය කළ ක්‍රමවේදය විද්‍යාත්මකව හා ආචාර ධාර්මිකව වැරදි ය. ළමයා නිරුපද්‍රිතව ඉපැදුණු පමණින් එය නියම සැත්කමකැයි පිළිගත හැකිද?


දිළිඳුභාවය නැති කිරීම සඳහා යයි කියන 'යළි පුබුදමු ශ්‍රී ලංකා' ලෙස නම් කර ඇති ආර්ථික ව්‍යුහාත්මක ගැලපුම් ආවලිය සකස් කරන ලද ආකාරය ලිබරල් ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන කිසිදු ප්‍රජාතන්ත්‍රීය මූලධර්මයකට හෝ ආචාර ධර්මයකට අනුකූල නැත. එබැවින් එහි අන්තර්ගතය පිළිබඳ කතා කිරීම තේරුමක් නැත. අප එහි හරයක් ඇතැයි නොසිතන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

5 comments:

  1. Water is a public good, it owns no body, no body pays the full cost of its, or no body get thee full benefits s..

    There is a big problem in the affluent countries how to bring the public good in to Market Bases Instrument ( demand - Suuply) specially refering to atmosphere relating to Climate Change. there are arguments about the best tool for above. So in my view this is a attempt of doing an experiment by international agencies that how to bring a public good in to market base instrument..

    on the other hand in future, water will be a most scarce resource in the world. in that scenario developed couturiers will be in a better position to buy water from poor countries..if this mechanism succeed...

    ReplyDelete
  2. W3Lanka, ස්තූතියි. මෙන්න මගේ ප්‍රතිචාර.

    1. ජලය රජයට නොව මිනිසාටද අයිතිය කීමෙන් ලේඛකයා මිනිසුන්ට අවශ්‍ය ලෙස ජලය පරිභෝජනයට (අවශ්‍ය නම් විකිණීමට පවා) ඇති අයිතිය පිළි ගනී. ඒ ගැන මගේ විවාදයක් නැත. (ජලය රජයට අයිතිය කීවේ නම් නො එකඟතාවක් ඇතිවන්නට තිබිණි.)

    2. ඍජු පිළිතුරක් නැත. රජය (තමන්ට අයිති නැති) ජලය කළමණාකරණය කළ යුතු බවත් ඒ සඳහා මහජන මුදල් වැය කළ යුතු බවත් ලේඛකයා කියන්නේය සිතමි. නමුත් අනෙක් අතට රජය තමන්ට අයිති නැති දේවල් පාලනයට අත නොගසා එය (ජලයේ අයිතිකරුවන් වන) මහජනතාවටම පැවරීමද වරදක් නැත. එනිසා නිමල් සිරිපාලට විරුද්ධ වීමේ ප්‍රබල හේතුවක් මේ බ්ලොග්කරුට නැත. ඔහු දෙන්නේ " අනේ අපේ ආණ්ඩුවේ ඇත්තෝ මේවා කළේ නම් හොඳයි" වැනි දියාරු පිළිතුරකි.

    3. වටිනාකමක් එකතු වී ඇති විටෙක (value added) ජලය වෙළඳ භාණ්ඩයක් බැව් බ්ලොග්කරු පිළි ගනී. මේ අනුව bottled water හා නගරයේ පයිප්ප ජලය වෙළඳභාණ්ඩ බව ඔහු පිළිගන්නවා ඇතැයි සිතමි. වැව්, අමුණු, වේලි බඳින්නටද ශ්‍රමය හා මුදල් වැය වී ඇති නිසා එම ජලයටද වටිනාකමක් එකතු වී ඇත. එසේ හෙයින්, වෙළඳ භාණ්ඩයකි. විකිණිය හැකිය. එකඟයි. කැලෑවක් මැද්දේ ඇති පොකුණක ජලය වෙළඳ භාණ්ඩයක් නොවේ. එකඟයි.

    4. වැදගත්ම ප්‍රශ්නකින් ආඳෙකු සේ ලිස්සා ගොස් ඇති නිසා ප්‍රතිචාරයක් නැත. මෙයින් පැහැදිළි වන්නේ මේ බ්ලොග්කරුට කොතැනක හෝ ප්‍රශ්නයක් ඇති බව අවබෝධ වී ඇති මුත් ඔහුට ඊට විසඳුමක් නැති බවය්. ඔහු විසඳුම් බලාපොරොත්තුවන්නේ අනුන්ගෙනි.

    5. පුදුමයි. මෙතැනදී එදා තත්ත්වය හා අද තත්ත්වය සැසඳිය නොහැකි බව කියන බ්ලොග්කරු අංක 1 ප්‍රතිචාරයේදී අපේ දේවානම්පිය තිස්ස යුගයේ සංකල්ප අනුගමනය කළ යුතු බව කියයි. ඇයි මේ වෙනස?

    6. බ්ලොග්කරු මෙහිදී නඟන්නේ සමාගම් හිමියකු පාරේ මලපහ කිරීම වැරදි නමුත් (ඔහුට වැසිකිළියක් හදා ගන්නට මුදල් ඇති නිසා) දුප්පත් ගොවියකු එසේ කිරීම වැරදි නොවේය වැනි තර්කයකි.

    7. දීර්ඝ පිළිතුරක් අවශ්‍යය. වෙනම බ්ලොග් පෝස්ටයකින් පසුව පිළිතුරු දෙමි.

    8. මෙය ගැටළුවට ඍජුව අදාළ නොවන හෙයින් දීර්ඝ ලෙස පිළිතුරු දෙන්නට නොයමි. කොටහේනේ මධ්‍ය මහා විද්‍යාලයේ දැනටමත් කෙරෙන බොහෝ දෙවල් ඔක්ස්ෆර්ඩ් සරසවියේ තීරණ බැව් ඔබ නොදන්නේ නම් නලින් ද සිල්වා බඳු අල්පශ්‍රැතයකුගෙන් වත් අසා දැන ගන්න. ඔබට Blogspot වල බ්ලොග් ලිවීමට අවකාශය ලැබී ඇත්තේද ඔබෙන් විමසා ගත් තීරණයකට අනුව නොවේ.

    9. සාකච්ඡා කොට ඇත.

    10. ප්‍රශ්නයෙන් ආඳෙකු සේ ලිස්සා යයි. මා මෙතෙක් සිතුවේ ප්‍රාථමික මිනිස් අවශ්‍යතා යනු ආහාර, ඇඳුම්, නිවාස, ඖෂධ යනාදියයි. මේ එකක් වත් පොදු දේපළ නොවේ. මුදල් දී මිළට ගත යුතු ඒවාය. අනෙක මෙහි 'ජලය' යනු ප්‍රාථමික ජීවී අවශ්‍යතාවයක් වන පානීය ජලය නොව වාණිජ කෘෂිකර්මය සඳහා මහා පරිමාණයෙන් භාවිතා වන ජලයයි. එය පොදු දේපලක් විය යුතු නම් වාණිජ කෘෂිකර්මය සඳහා අවශ්‍ය හැම අමුද්‍රව්‍යයක්ම පොදු දේපළක් විය යුතුය.

    ReplyDelete
  3. @Yasela Sumanasinghe,
    Water is not a public good.
    In economics, a public good is clearly defined as a good that is non-rivalrous and non-excludable. Water (used for agriculture, not bottled water) meets the second criteria but not the first. Water is a common. It is rivalrous. (consumption by one prevent that of another.) That is why we face all these issues.

    ReplyDelete
  4. Just a couple of comments:

    1. Sometimes back in an economics class, I learnt that the cost of glass of water is decided not by how much a thirsty person is willing to pay for her first glass but how much she pays for her last glass.

    2. Governments should be able to tax water, sunlight as they tax gems and minerals underground (in our own properties).

    Anewasikaya

    ReplyDelete
  5. Yes, probably so it is

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.