2010-05-19

බාගෙන කෑ හැකි වල ඉහගෙන කන පරිවාරයේ ධනවාදයෙන් බැට කන කෝකිලායි අභය භූමිය | Kokilai sanctuary under pressure of greedy capitalism of the periphery

(2010 මැයි 19 - W3Lankaආණ්ඩුව විසින් පෙරට ගනිමින් තිබෙන වේගවත් ආර්ථික වර්ධනයක් ලබා ගැනීමේ සැලැස්ම හමුවේ මේ රටේ ජන ජීවිතය පමණක් නොව සොබා දහම ද දැවැන්ත පීඩනයකට ලක් වී ඇති බව අපි මීට පෙර ද පැවසුවෙමු. මෙම සංවර්ධන සැලැස්ම කිසි සේත් ම විද්‍යාත්මක හා චිරස්ථායී නොවන, දිගු කාලීන වශයෙන් අහිතකර ප්‍රතිඵල උදා කර දෙන අසාර්ථක සැලැස්මක් බව අපි පුන පුනා කියමු. 


මෙහි ඇත්තේ පරිවාරයේ රටවල සුලබ 'බාගෙන කෑ හැකි වල ඉහගෙන කන' ධනවාදය බව පැහැදිලි ය. එයින් සොබා දහමට සිදු වන හානිය සඳහා විල්පත්තු වනයේ මේ වන විට සිදු වන දැවැන්ත වන විනාශය නිදසුනකි. ලංකාවේ සොබා උරුමයක් වන විල්පත්තුවේ වන ජීවීන් හා වාක්ෂ ලතා සංචාරකයන්ට ප්‍රදර්ශන භූමියක් ලෙස අලෙවි කිරීම සඳහා ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් වැඩපිළිවෙලක් දියත් වේ. 


සියවස් ගණනක් පුරා සීගිරියේ ජීවත් වූ බඹරුන් එළවා දමා සීගිරිය සංචාරකයන්ට විකිණීම පිණිස සිංහ පාදය ළග වැසිකිලි, කැසිකිලි හා ආපන ශාලා ඉදි කිරීම මෙම සංවර්ධන සැලසුම් පරිසරය මෙන් ම සංස්කෘතිය ද සැලකිල්ලට නොගන්නා බව පෙන්වා දීමට නිදසුන් වේ. 


මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මෙම ආක්‍රමණකාරී ඊනියා සංවර්ධන සැලසුම උතුරු නැගෙනහිර දෙමළ ජන ප්‍රදේශ වෙත බලපාන ආකාරය පිළිබඳ නිදසුනක් ලෙස කෝකිලායි අභය භූමිය පෙන්වා දුන්නෙමු.


මේ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කළ ශී‍්‍ර ලංකා සොබා සංසදය වඩාත් පුළුල් අධ්‍යයනයක් කර ඇත. ඔවුන් විසින් නිකුත් කර තිබෙන ලේඛනයකින් උපුටා ගත් කොටස් පහත පළ වේ.


පසුගිය අපේ‍්‍රල් මාස අගභාගයේ සහ මැයි මස මුල් කාලය තුළ අභය භුමියේ නිරිත දිග මායිමේ කඩොලාන ඇතුළු ව වනාන්තර අක්කර 40 කට වැඩි ප‍්‍රමාණයක් ඩෝසර් යන්ත‍්‍ර භාවිතයෙන් එළි පෙහෙළි කර ගිනි තබා අවසන් කර තිබේ. මෙසේ එළිපෙහෙළි කර ඇත්තේ කෝකිලායි කලපුව අභය භූමිය මායිමේ පිහිටි කුච්චවේලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තෙන්නමරන්වාඩිය ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි දෙයියන් කන්ද හෙවත් පුල්ලෙයාර් කන්ද වනාන්තර ප‍්‍රදේශයට අයත් වනාන්තර ඇතුළු ව විශාල කඩොලාන භූමියකි. මෙම සම්පූර්ණ ප‍්‍රදේශය එළි පෙහෙළි කරන තුරු වගකිව යුතු අංශ සියල්ල මුනිවත රැකීම කණගාටුවට කරුණකි.


මෙම ප‍්‍රදේශය ආශ‍්‍රිත ව තවත් ස්ථාන ගණනාවක කඩොලාන හා වනාන්තර පරිසර පද්ධති බොහොමයක් මේ වන විට එළි පෙහෙළි කර ඇත. අලි - ඇතුන් 35 ක ගෙන් පමණ සමන්විත රංචුවක් ජීවත් වන මෙම වනාන්තර ප‍්‍රදේශය ආරක්ෂා කිරීමට අදාළ අංශවලට නොහැකි වීම අනාගතයේ පාරිසරික ප‍්‍රශ්න බොහොමයක් මතු කරන්නකි.


කෝකිලායි කලපුව අභය භූමිය ඉහත්තාවේ සිදු කර ඇති මෙම දැවැන්ත වනාන්තර විනාශය හේතුවෙන් නිරාවරණය වී ඇති පස් වර්ෂා සමයේ දී සේදී ගොස් කලපුවේ බොහෝ ප‍්‍රදේශ ගොඩ කිරීමට සමත් වනු ඇත.


සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1995 පෙබරවාරි 23 දින අංක 859/14 දරණ ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ක‍්‍රියාවලියක් සිඳු කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇඟයීම් තක්සේරුකරන ක‍්‍රියාවලියට යටත්ව කටයුතු කර අදාළ පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතුය. එපමණක් නොව එම පනතටම අදාළ ව ප‍්‍රකාශිත 1993.06.24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 1 කට වැඩි (අක්කර 2.5 ක් පමණ
වන) ඉඩම් ප‍්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ‍්‍රිත නොවන ප‍්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇඟයීම් තක්සේරුකරන ක‍්‍රියාවලියට යටත්ව කටයුතු කර අදාළ පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතුය.


මෙවන් නීති රීති පිළිබඳ ව කිසිඳු තැකීමකින් තොරව තම අභිමතය පරිදි කෝකිලායි අභය භූමිය ආශි‍්‍රත වනාන්තර එළි පෙහෙහෙළි කිරීම සිදු කර ඇත. සංවර්ධනය සඳහා සියළු ම අංශ පියවර ගනිද්දී රක්ෂිත ප‍්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීන් නිසි පරිදි ස්ථානගත නොකිරීම සහ මධ්‍යම පරිසර අධිකාරියේ කලාප කාර්යාලය නිසි පරිදි ස්ථාපිත කර නිලධාරීන් සේවයේ නොයෙදවීම යන සියල්ලේ ම ප‍්‍රතිඵලයක් ලෙස මෙවන් හානි කර තත්ත්වයන්ට රක්ෂිත වනාන්තරවලට මුහුණු දීමට සිදු වේ.


කෝකිලායි කලපුව යනු විශාල ධීවර ප‍්‍රජාවකට මත්ස්‍ය සම්පත ලබා දෙන කලපුවක් පමණක් නොව ලංකාවට පැමිණෙන සංක‍්‍රමණික පක්ෂීන් හා නේවාසික තෙත්බිම් ආශ‍්‍රිත පක්ෂි විශේෂ 176 කට පමණ වාසස්ථාන හා
ගොදුරුබිම් සපයන ප‍්‍රදේශයකි. එපමණක් නොව නේවාසික තෙත්බිම් ආශ‍්‍රිත පක්ෂීන් ගනාවාසීව කැදලි තනන ප‍්‍රදේශයක්ද වෙති. ලංකාවේ ඉතා දුර්ලභ තෙත්බිම් ආශ‍්‍රිත පක්ෂියකු ලෙස හඳුන්වන 2007 රතු දත්ත ලේඛණයට අනුව දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට පාත‍්‍ර වූ සහ අද වන විට රුහුණු ජාතික වනෝද්‍යානයේ හා බුන්දල ජාතික වනෝද්‍යානයේ පමණක් 05කට අඩු ප‍්‍රමාණයක් වාර්තාවන ලංකාවේ විශාල ම පක්ෂියා වන අලි මනාවා මෙම අභය භූමිය තුළ ජීවත් වේ.


කෝකිලායි කලපුව තුළ පිහිටි දූපත් සහ කලපුව වටා පිහිටි විශාල ප‍්‍රදේශයක් කඩොලාන ශාකයන්ගෙන් වැසී පවතී. නැගෙනහිර ප‍්‍රදේශයේ වැඩිම කඩොලාන වැස්මක් සහිත ප‍්‍රදේශ කිහිපයෙන් එකක් ලෙස මෙම
කෝකිලායි කලපුව ආශ‍්‍රිත ප‍්‍රදේශය සැළකේ. මෙම තත්ත්වයන් සියල්ල ම සැළකිල්ලට ගෙන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ 1951 මැයි 18 වන දින මුලතිව් හා ත‍්‍රීකුණාමල දිස්ත‍්‍රීක්ක 02 කට
අයත් කෝකිලායි කලපුව හා ආශ‍්‍රිත ප‍්‍රදේශයේ හෙක්ටයාර් 1995 ක් අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. දැනට වසර 49 කට පමණ පෙර මෙය අභය භූමියක් කළ ද යුධමය වාතාවරණය පැවති සමයේ දී මෙම අභය භූමිය අනාරක්ෂිතව පැවතුනි. නමුත් නැගෙනහිර ප‍්‍රදේශය ත‍්‍රස්ත ග‍්‍රහනයෙන් මුදාගත් පසුව මෙම අභය භූමිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර මෙහි මායිම් සලකුණු කිරීම හෝ නාම පුවරු ස්ථාපිත
කිරීම හෝ ජනතාවට සහ රාජ්‍ය නිලධාරීන්ට මේ පිළිබඳ අවබෝධ කර දීමට හෝ වනජීවී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී නොමැත. එහි අහිතකර ප‍්‍රතිඵලය මෙලෙස අභය භූමියට හා එහි ජෛව ප‍්‍රජාවට අත් විදින්නට සිදු වී ඇත.


කෝකිලායි අභය භූමියට ඇති තර්ජනයන් වනාන්තර එළි පෙහෙළි කිරීමෙන් පමණක් නැවතී නොමැත. කලපුවේ සමහර ප‍්‍රදේශවල ඉවුරු ආශ‍්‍රිතව වැලි වැටි පිහිටා ඇති අතර ඒවා මේ වන විට කැනීම් කර ලබා
ගැනීම සිදු කරති. මීට අමතරව තෙත්බිම් ආශ‍්‍රිත පක්ෂීන් ගනාවාසීව කූඩු තැනීම සිදු කරන අභය භූමි ප‍්‍රදේශවල පක්ෂි දඩයම ඉතා බහුල ලෙස සිදු වේ. ලතුවැකියන්, පස්තුඩුවන්, කලපු කොකුන් හා දියකාවුන්ගේ
කූඩු තුළ සිටින පැටවුන් මස් පිණිස එකතු කිරීම බහුලව සිදු වේ.


මීට අමතරව කලපුවේ හානිකර ධීවර ආම්පන්න භාවිතය ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවට පත් වී ඇත. හානිකර ඉස්සන් ඇල්ලීමේ ක‍්‍රමයක් ලෙස ගැනෙන ”පූට්ටු දැල්” භාවිතය මෙම කලපුව පුරා බහුල ලෙස සිදු වේ. අභය භූමියට අයත් වනාන්තර ප‍්‍රදේශයේ කුඩා සවිමත් අඩි 08 - 09 ක් පමණ දිග ”ඉනි” කපාගෙන ඒවා කලපුව තුළ එක පෙළට සිටුවා එහි පූට්ටු දැල් රැදවීම සිදු කරයි. මෙහි දී සෙ.මී. 01 ක් පමණ වන කුඩා සිදුරු සහිත දැල් ඉස්සන් ඇල්ලීම සඳහා භාවිතා කරයි. මෙම පූට්ටු දැල ජල තලය තුළ ”ඉනි” මගින් රඳවා ඇති විට සිලින්ඩරයක් ලෙස සකස් වන අතර එහි කෙළවරේ ”මණ්ඩියක්” ලෙස ඉස්සන් හිරවන උඟුලක සකස් කර ඇත. මෙසේ පූට්ටු දැල් සම්පූර්ණ කලපුව පුරාම ඉතා විශාල ප‍්‍රමාණයක් රඳවා ඇත. මේවාට ඉස්සන්ට අමතරව ඉතා විශාල වශයෙන් ඉතා කුඩා මත්ස්‍ය පැටවුන් හසු වේ. ඉස්සන් අල්ලා ගැනීමට මෙම දැලේ උඟුල ලෙස ක‍්‍රියාත්මක වන ”මඩිය” ගොඩබිමට ගෙන ගොස් හැලීම සිදු කරන අතර ඉස්සන් එකතු කරගෙන කුඩා මත්ස්‍ය පැටවුන් ගොඩට විසි කිරීම සිදු කරති. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස අද වන විට කෝකිලායි කලපුවේ මත්ස්‍ය සම්පත දැවැන්ත ලෙස අඩු වෙමින් පවතී. මේ නිසා සාම්ප‍්‍රදායික ක‍්‍රම මගින් ධීවර කර්මාන්තයේ නියුතු පුද්ගලයින් විශාල තර්ජනයකට පත් ව සිටී.


එපමණක් නොව පූට්ටු දැල් කලපුවේ සවි කිරීම සඳහා කඩොලාන ශාක ඇතුළුව ශක්තිමත් කඳන් සහිත ශාක විශාල වශයෙන් කැපීම සිදු කරයි. මේ තත්ත්වය කලපුවේ පැවැත්මට අහිතකර ලෙස බලපා තිබේ. එබැවින් මෙම තත්ත්වයන් පිටු දැකීම සඳහා අදාළ අංශවල අවධානය කඩිනමින් යොමු විය යුතුව ඇත. මේ තත්ත්වය පාලනය සඳහා කෝකිලායි අභය භූමිය ආශ‍්‍රිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් පිහිටු
වීම අද වන විට අත්‍යාවශ්‍ය වී ඇත. කලපුවේ සිදුවන හානිකර දැල් ආම්පන්න භාවිතය පාලනය කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් පනතට අනුව ධීවර හා ජලජ සදම්පත් දෙපාර්තමේන්තුවට නීතිමය පියවර ගැනීමේ හැකියාව අත. එබැවින් සියළු අංශ එක් වී කෝකිලායී අභය භූමිය, කලපුව හා ඒ ආශ‍්‍රිත කඩොලාන ඇතුළු වියළි කලාපීය සදාහරිත වනාන්තර පරිසර පද්ධති ආරක්සා කිරීම ඳහා විධිමත් සැළසුමක් සකස් කළ යුතුය.
නැතහොත් එ් තුළ දැනට සිදු වන නීති විරෝධී ක‍්‍රියා පාලනය කිරීමට හැකියාවක් නොමැත. එසේ
නොවුනහොත් කෝකිලායි කලපුව අභය භූමිය මළ කලපුවක් බවට පත් වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

1 comment:

  1. I heard that there are attempts to destroy the environment by two other projects namely - filling of 400 acres in Muthurajawela and a filling of sea near Colombo. These are rejected projects at their conceptual stages few years ago. But it seems now there are no relevant authorities - such as Central Env Authority, Coast conservation Dept, NARA etc and etc. - to prevent these disasters.

    Its clear that the policy of this regime is against the environment and sustainable development. (practicing the policy of friends in new alliance? => China / Iran etc). Ironically, this is the government we have ever seen which consist with full of so called patriotics! (JHU/Nalin/Weerawansa.. you can name many)

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.