2010-05-25

අපේ උපන් දිනයට රාවයෙන් ලැබුණ තෑග්ග | The present Ravaya newspaper sent for our anniversary

(2010 මැයි 25 - අජිත් පැරකුම් ජයසිංහ, W3Lankaමේ මාධ්‍ය ව්‍යායාමයට වසරක් පිරෙමින් තිබියදී රාවයෙන් අපට අපූරු තෑග්ගක් ලැබිණි. ඒ මෙම ලේඛකයාගේ ලිපි රාවයේ පළ නොකරන බවට රාවයේ කේ.ඩබ්. ජනරංජන පැවසූ බව වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් වන රාවයේ ලසන්ත රුහුණගේ අප හිතවතකුට පැවසීමයි. 


කීවාත් වාගේ දෙසතියක් ම මා විසින් යවන ලද ලිපි රාවයේ පළ වී නොතිබිණි. රාවයත් මාත් අතර කිසිදු ගිවිසුමක් නැත. ලිපි ලියන්නැයි රාවය මට ආරාධනා කළේ ද නැත. එහෙත්, වසර ගණනාවක් තිස්සේ මම වතාවතක් සේ බ්‍රහස්පතින්දා පාන්දර හතරට අවදිව රාවයට ලිපියක් ලියා විද්‍යුත් තැපෑලෙන් යැවීමි. මේ ලිපිය නිසා බොහෝ බ්‍රහස්පතින්දා දිනවල මා අත්සන් කළේ රතු ඉරට යටිනි. 


පසුගිය කාලයේ මා රැකියාව අහිමිව සිටියදී තිඹිරියාගම බංඩාර මේ ලිපි වෙනුවෙන් සුළු මුදලක් ගෙවන්නට කටයුතු යෙදුවේය. දැන් මාස හයකින්, හතකින් පමණ මා එම මුදල ලබා ගන්නට රාවයට ගියේ ද නැත.


රාවය විශාල අලෙවියක් ඇති පුවත්පතක් නොවේ. එහෙත් මගේ ලිපි පළ නොකළත් මම හෙටත් රාවයට ආදරය කරමි. එයට හේතුවක් ඇත. උසාවි ගොස් බොහෝ මුදල් හම්බ කළ හැකි නීතිඥයකු වුණත්, පුංචි පඩියකට රාවයේ කාටුන් අඳින ජනරංජන හා ගවේශනාත්මක පුවත්පත් කලාවේ ඇති තම කුසලතා විද්‍යුත් මාධ්‍යයකට වැඩි මිලකට අලෙවි කළ හැකිව තිබියදීත් පුංචි වැටුපකට රාවයේ වැඩ කරන ලසන්ත රුහුණගේ වැනි වෙනස් මිනිසුන් එහි වැඩ කරන නිසාත්, එය මිළ දී ගන්නා පිරිස ද ඒ හා සමාන අය වීම නිසාත් ය. වෙනත් කිසි පුවත්පතක් සමග නැති නෑකමක් වැනි හැඟීමක් රාවය සමග ඇත. 


අන්තර්ජාලයෙන් අප කියවන ප්‍රමාණය රාවය පුවත්පත විකිණෙන ප්‍රමාණයට වැඩි ය. එහෙත් මුද්‍රිත අකුරට ඇති අතීතකාමී ආදරය නිසාත්, ‍සමාජය වෙනස් කරන්නට ජීවිතය කැප කර හෙම්බත් වී සිටින මැදි වියේ හා පෑල වියේ සිටින අපේ මිතුරන් වැඩි දෙනෙකු අන්තර්ජාලය හරිහැටි පරිහරණය කරන්නට නොදන්නා හා එය ඉගෙන ගැනීමෙහි දුර්වල අය නිසාත් රාවයට ලිවීම ඒ මිතුරන් අතරට යන එක් මාධ්‍යයක් විය. (අන්තර්ජාලය ඉගෙන ගන්නට බැරිමුත් අපේ මිතුරෝ විප්ලවය කරන අන්දම නම් ටක්කෙට දනිති.) 


රාවයේ ලිපි පළ නොවීම පිළිබඳ මම රාවය කර්තෘ වික්ටර් අයිවන්ගෙන් විමසා ඊමේල් පණිවුඩයක් යැවීමි. ඊයේ සවස ඔහු මට දුරකථනයෙන් කතා කර මගේ ලිපි පළ නොකිරීමේ ප්‍රතිපත්තිමය තීරණයක් කර්තෘ මණ්ඩලය විසින් ගෙන නැති බව දැනුම් දුන්නේ ය. 


දැන් සිදු විය හැකි දේ අතර එකක් වන්නේ කිසිදු ප්‍රශ්නයකින් තොරව පෙර පරිදි ම මගේ ලිපි පළ වීමයි. නැතිනම්, මගේ ලිපිවල අන්තර්ගතය හා භාෂාව දුර්වල වීම ආදී හේතු මත ලිපි පළ නොවන්නට පුළුවන.  මෙහිදී අදාළ උප කර්තෘවරයාගේ ආධිපත්‍යයට මා යටත් විය යුතු බව මම හොඳින් දනිමි. මාධ්‍ය හා මාධ්‍යකරුවන් ජනතාව මත පවත්වාගෙන යන වාරණය එවැන්නකි. මෙහිදී වම, දකුණ කියා වෙනසක් නැත. දකුණ නම් අඩු ගණනේ වෙළඳපොල පිළිබඳව හෝ සංවේදී ය. රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති මත ප්‍රධාන වශයෙන් යැපෙන නූතන වම මෙකී කාරණයේදී අතිශය කෲර ය. එහෙයින් ප්‍රකාශනයේ නිදහස පිළිබඳ දේශන පවත්වන, ලියන, පිකට් කරන කර්තෘ මණ්ඩලයකින් සපිරි රාවයෙන් අප වැනි අයට ප්‍රකාශනයේ නිදහස අපේක්ෂා කළ නොහැකි ය. 


බ්ලොග් අවකාශයේ සුන්දරත්වය වන්නේ අධිපති මාධ්‍යවල මෙකී වාරණය මෙහිදී පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන්නට බැරි වීමයි. 


‍පවත්නා  සමාජ ක්‍රමයට එරෙහිව එකට සටන් කිරීමේ දිගු කාලීන නෑකමක් ඇති රාවයට මා පිළිකුල් වූයේ රාවයට මා විසින් යවන ලද ඩයස්පෝරා අදහස් හා ස්වදේශික අදහස් අතර ගැටුම නම් ලිපිය නිසා ය. ලංකාවේ පවත්නා මර්දනකාරී තත්වයට මුවා වී එකට සටන් කළ යහළුවන් වලසාට භාර දී බටහිර යුරෝපා ගස්වලට ගොඩ වූ මිතුරන්ගේ දේශපාලනය ගැන විවේචනයක් එහි ඇත. වමේ සුරුවම් දෙක තුනකට ද එයින් පහර වැදී ඇත. 


සුරුවම් බිඳ දැමීමේ වැදගත්කම පිළිබඳ අපට හොඳින් ම ඉගැන්වූයේ ජනරංජනගේ ද දේශපාලන ගුරුවරයා වන දීප්ති කුමාර ගුණරත්නයි. පාදස්තල මතින් බිමට බැස පො‍ළවේ පයා ගසා 'ඉතින් මචං කොහොමද?'යි අසන්නට කැමති නම් අපි අදත් මේ වාමාංශික ඊනියා ශාන්තුවරයින්ට ආදරය කරන්නෙමු. එහෙත්, ඔවුන්ට මල් පහන් පුදන්නට අවශ්‍ය අන්ධ භක්තිය නඩත්තු කර ගන්නට බැරි තරමට වමේ දේශපාලනය විසින් අප තම්බා ඇත. 


1985දී අධ්‍යාපනය අතහැර දමා ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට පිවිසි දින සිට ගත වූ විසි පස් වසර තුළ මම තවත් බොහෝ අය සේ ම වමේ බොහෝ ව්‍යාපෘති වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කඩේ ගියෙමි. කඩේ ගියේ නිකම් පාරවල නොව, මරු කපොලු හරහා ය. සමහරු අප කඩේ පමණක් නොව ග‍ඟේ ද යැවූහ. මේ විසිපස් වසර තුළ එදිනෙදා සහෝදරත්වයෙන් ඇසුරු කළ මිනිසුන් ගණන අති විශාල ය. එහෙත් දීර්ඝ කාලීන මිතුරන් අතේ ඇඟිලි ගණනටවත් හමු වී නැත. ජීවිතය ගැන ගැඹුරු කතිකාවල යෙදී සිටි සහෝදරයෝ හිටි හැටියේ මහ මගදී හමු වූ විට අප නොදන්නා අය සේ හැසිරෙති. නැතිනම්, මුහුණට කෙළ ගසති. හේතුව, ඔවුන් හා එක්ව බෙදා ගත් දේශපාලන දැක්ම විවේචනය කිරීමයි. 


වලසාගෙන් බේරි බේරී අපි බොහෝ කාලයක් ජීවත් වී ඇත්තෙමු. වලසාටත් වඩා බේරීමට අමාරු 'සහෝදරයාගෙන්' ය. ඔහු අප මරා නොදැමුවේ අන් කිසිවක් නිසා නොව ඔහු අත අවි නැති නිසා ය. ඒ නිසා ඔවුහු අප දේශපාලනිකව ඝාතනය කළහ. දන්නා හඳුනන හැම කෙනෙකුට ම 'අරූ ද්‍රෝහියා' ය කියා කීහ. වාම සමාජයේ අප මුළුමනින් ම පරාජය කර දැමූ හ. 


වාසනාවට හෙමිංවේ 'මහල්ලා සහ මුහුද' ලියා තිබිණි. පරාජය කළ හැකි වුවත් විනාශ කළ නොහැකි වූ හෙමිංවේගේ මහල්ලා සේ වෙහෙසින් පීඩිතව අපි ‍සම්ප්‍රදායික මාධ්‍ය ගොඩබිමින් බොහෝ ඈත සයිබර් මුහුදේ මේ පුංචි ඔරුවේ තනි වී සිටිමු. අපේ ඔරුවේ ගැට ගසා ඇති දැවැන්ත මත්ස්‍ය අස්ථි පංජරය දෙස කවදා හෝ ලෝකයා බලනු ඇත. 


මිත්‍රවරුනි, කවුරු තරහා වුවත් අපි මේ සැඟවුණු ඇත්ත ලියන එක නවත්වන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, ආදරය යනු සතුරාට පහර දීමට භාවිතා කළ හැකි ගල් මුගුරු නොවේ. ඒවා ජීවිත භාවිතා විය යුතු ය. ඔබ පාලකයන්ගෙන් ඉල්ලා මොර ගසන ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ඔබ බලවත් අවකාශයෙහිදී ඔබට වඩා දුර්වල අයට දෙන්නට ඔබ අකැමැති නම් ඔබ බොරුකාරයෙකි; වංචනිකයෙකි. 


වමට අලුත් ලොවක් ගැන සිහිනය යථාර්ථයක් බවට පත් කරන්නට බැරි වී ඇත්තේ සමූහයක් ලෙස මේ මිනිස් දුබලකම පරාජය කරන්නට බැරි වූ නිසා ය. එය කරන්නට බැරි වු‍ණොත් වමේ හෙට දවස අදට ද වඩා අඳුරු වනු ඇත. 


අවිද්‍යාවට එරෙහිව සටන් කළ යුත්තේ තවත් මිථ්‍යා ප්‍රබන්ධයක් මත සිට නොවේ. වර්තමාන අසාධාරණ සමාජ ක්‍රමයට එරෙහිව සටන් කරන ගමන් එකී සටනේ යථාර්ථය ද අපි ලියන්නෙමු. එසේ නොකළහොත්, මේ සටන්වලින් කිසි දිනෙක සමාජයට යහපත් ප්‍රතිඵලයක් අත් වන්නේ නැත. කොළඹ දේශපාලන කව සමග ඇති සියලු බැඳීම්වලින් නිදහස්ව හද්දා පිටිසර ගමක සිට අප මෙම කාර්යයට අත ගසන්නේ ‍එය අපට කළ හැකි හොඳ ම දේශපාලනික කාර්යය යයි අප සිතන නිසා ය. මෙයින් ඔබේ දේශපාලන සුරුවම්වලට සිදු වන හානිය පිළිබඳ අපට කණගාටු ය. එහෙත් කරන්නට දෙයක් නැත. 


අප ඔබේ සුරුවම් සතුරාට පාවා දෙන්නේ යයි කියමින් හඬා නොවැළපෙන්න. සුරුවම් පාදස්තල මතින් බිමට බා නාවා ගන්න. 


කරුණාකර කකුල් මාට්ටු දැමීමෙන් වළකින්න. 

15 comments:

  1. දවසට සීමිත හිට්ස් ගණනක් එන බ්ලොග් එකකට නොලියා වැඩි පාඨක පිරිසක් ආමන්ත්‍රණය කළ හැකි පුවත්පතකට නොලියන්නේ ඇයි? කීයක් හරි හොයා ගන්නත් පුළුවන් නේද?

    මේ මගෙන් පාඨකයින් කිහිප දෙනකුම ඇසූ ප්‍රශ්නයකි. මීට එක එල්ලේම දෙන්නට පිළිතුරක් මට නැතත් පැහැදිළි කිරීමක් කරන්නට උත්සාහ දරමි.

    බ්ලොග් එක මගේය. එහි ඕනෑ නාඩගමක් නටන්නට මට ඉඩ ඇත. කාගේවත් ඇජෙන්ඩා වලට යටත් වන්නට ඕනෑකමක්ද නැත. උප කතුවරයකුගේ ගෑස් බලන්නටද ඕනැ නැත. මට ඕනෑ නම්, ඕනෑ දෙයක් ලියමි. කැමති භාශාවක් භාවිතා කරමි. න ණ ල ළ රකින්නේ ඒ මට පහසු නිසා මිස වෙන කාරණයකට නොවේ. ඒ නිදහස මම අගය කරමි. "මල්ලි, ඔයාගෙ භාෂාව ඉම්පෲ වෙන්න ඕනැ", "මිනිස්සුන්ව විවේචනය කරන්න එපා, ප්‍රතිපත්ති විවේචනය කරන්න", "මෙහෙම ලියල නම් ඔයාට හොඳ ලේඛකයෙක් වෙන්න ගොඩාක් කල් යයි" වැනි බයිලා කී කතුවරුන්ට උපකතුවරුන්ට හිනැහෙමින් හිට්ස් රැස් කරමි. මගේ ලිපි පළ කිරීම ප්‍රතික්ෂේප කළ පත්තරකාරයෝද දැන් බ්ලොග් එකෙන් උපුටා ගෙන (ලිවුයේ කවුදැයි නොදැන) සමහර දේ පළ කරති. මම උන්ට සිනාසෙමි.

    W3Lanka ද මෙසේ සිතන්නේ නම් මෙය එතරම් ගැටළුවක් නොවේ.

    - Taboo Subjects

    ReplyDelete
  2. Most of us loved tabloids like Ravaya and Yukthiya during the 'Premadasa regime' era. But I don't think Ravaya still reaches the masses in the country and that's what the recent election results show.

    ReplyDelete
  3. //රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති මත ප්‍රධාන වශයෙන් යැපෙන නූතන වම//

    මෙහි අර්ථය වැඩිදුරටත් තේරුම් කල හැකිද?වම යනු රාජ්‍ය නොවන සංවිධානයක හුදු ප්‍රජෙක්ට් එකක් නම් එය "වමක්" විය හැකිද?
    90 දශකයෙන් පසු මහා පරිමානයෙන් කරලියට එන එන් ජී ඕ සංවිධාන මට අනුව neo liberal phenomenon එකකි.දේශපාලනික අර්ථයකින් සංයුක්තව විරෝධාකල්ප සංවිධානය කරනවා වෙනුවට සමාජ ප්‍රශ්න වියුක්ත "ව්‍යාපෘති" කරන එක මේවයින් සිද්ද වුනා.ස්ත්‍රී අයිතිවාසිකම් වේවා,වෙනත් යමක් වේවා මේ "ව්‍යාපෘති" දේශපාලනයේ තියෙන ව්‍යාජත්වය හා වමේ දේශපාලනයේ තඹ සතයක වැටුපක් නොලැබ කඹුරන "මුකුත් නොදන්න" කාඩර්වරයාගේ අව්‍යාජත්වය අතර ලොකු වෙනසක් මම පුද්ගලිකවම අත්දැකල තියෙනවා.ඇතැමුන්ට මෙන් රාජ්‍ය නොවන සංවිධාන අසාත්මිකතාවයක් මට නැතත් මේ සංවිධාන වල ව්‍යාපෘති මත "වමක්" "යැපීම" නොගැලපෙන සුලු සංරචක දෙකක් ලෙසයි හැගී යන්නේ.

    ReplyDelete
  4. මම වරක් රාවයට ලිපියක් ලියා යැව්වෙමි. එය පළ නොවූ නිසා දුරකථන ඇමතුමක් දී සොයා බැලුවෙමි. එම ලිපිය නියමිත පුද්ගලයා අතට පත් වී ඇති බව දැන ගතිමි. නමුත් එය පළ නොවුණි. අවසානයේ දී එය මගේ බ්ලොග් අඩවියේ පළ කළෙමි.

    යැවූ ලිපිය රාවය විසින් පළ නොකළත් මගේ බ්ලොග් අඩවියෙන් එය උපුටාගෙන උපුටා ගත් බව වත් සදහන් නොකර පළ කළේ අශික්කිත ලෙසිනි. උපුටා ගත් බව පළ කරන ලෙස දන්වා ඊ මේල් පණිවුඩයක් යැව්ව ද මට සාධාරණය ඉ‍ටු නොවුණි.

    ලංකාවේ පුවත් පත් කලාවේ ජ්ඩ බව මෙතෙකින් ඉවර නොවේ. වරක් මා ලියූ ලිපියක් ලක්බිම ඉරිදා පත්‍රය ප්‍රතික්ශේප කළේ භාෂාව හොද නැතයි කියමිනි. එහි හිටපු නියෝජ්‍ය කතුවරයා එම ලිපිය මා හට දී නැවත ලියන්නැයි කීය. සති දෙක තුනකට පසුව එම ලිපියම කිසිම ඉස්පිල්ලක් පා පිල්ලක් වෙනස් නොකර නැවත් ලියා ඔහු වෙත ලබාදුනිමි. එවිට ඔහු එය පළ කලේ පුදුම ලෙස මා අගයමිනි.

    වෙන කිසිම ‍රැකියාවක් කිරීමට නොහැකි පිරිස් අකුරු දෙකක් ගැට ගැසීමට පුරුදු වී පුවත් පත් කලාවට ආ විට මෙවැනි දේ සිදුවේ. එනිසා අප කම්පාවට පත් විය යුතු නැත. බ්ලොග් අවකාශය මොහුන්ගේ බෝතල් පත්තර කලාවට එල්ල කර ඇත්තේ දැඩි තර්ජනයකි.

    එබැවින් පරා සහෝදරයාට මම මෙසේ කියමි. රන් මල්ලක් අත තබා ගෙන නැති වූ බුලත් විට මල්ලකට නහයෙන් නොහඩන්න.

    ශාන් - බුමුතුරුණු

    ReplyDelete
  5. මේකෙ ඉඳල හිටල හොඳ ලිපි ගියා. දැං නම් මේ ලියන මනුස්සයගෙ බහුබූත විකාර වැඩියෙන් යන්නෙ. පොර ටෝක් දිදී නාහෙන් ඇඬීම හීන මානයේ රෝග ලක්ෂණ නේද.

    සලීල

    ReplyDelete
  6. රාවය මෑතක් වන තුරුම මා අගය කළ පුවත් පතකි. රාවය ගෙදර ගේනවාට අකමැති කාළ්යක් තිබිනි. එහෙත් අප රාවය අමතක කලේ නැත.

    එහි ඉතා අගය කළ යුතු ගුණංගයක් විය එනම් කතුවරයා පවා විවේච්නය කරණා පුවත් සංස්කරණයකින් හෝ පළකරන පුවත් පතක් වීමයි. රාවයට ආදරය කල වුන් රාවය අත්හැර යද්දී පවා අපට එසේ කල නොහැකි විය.

    එහෙත් රාවයට ආදරය කරනා සුළු පිරිස පවා රඳවා ගැනීමට අවශ්‍ය නොවන බව පැහැදිලිව පෙනේ. මිනිසකු මුහුකුරා යනවිට ඥානවන්තයෙක් වනවාද, නැතිනම් සමාජය තුල තමා බලාපොරොත්තු වූ ලෝකය බිහි කිරිමට නොහැකි වූ බැවින්, සියලු ප්‍රතිපත්තීන් පසෙක තබා, නොම්බර එකේ කපටියකු වනවාද, යන පැනය මා හට ඇත.

    ගංවතුර ගැන සති අන්ත පුවත් පත්වල පලවූ ලිපිවලින් ගවේශනාත්මක එකම එක ලිපිය පලවූයේ රාවයේයි. ලසන්ත රුහුනුගේ, මංජුල වෙඩිවර්ධන ජනරංජන නැතීවූ කළ රාවයත් පුවත් පත් ඉතිහාසයේ කුණුබක්කියටම යනු ඇත.

    රාවය කතුවරයාගේ දැස් වලට වැලඳි ඇති රෝගය සුවවී, නැවතත් පැහැදිලි පෙනීම ලැබ, ජනතාව සමඟ තවත් බොහෝ දුර යාමට ශක්තිය හා ධෛර්යය ලැබේවා යන්න එකම ප්‍රාර්ථනයයි.

    ReplyDelete
  7. මා රාවය කියවූයේ එය සඟරාවක් ලෙස පලවූ කාලයේ සිටයි. කාලයක් පුස්තකාලවලින් බැලීමි. ඉන්පසුව මහත් භක්තියෙන් රාවය ද යුක්තිය ද සෑම සතියකම මිලට ගෙන කියෙව්වෙමි.

    පසුකලෙක මට භූගෝලීය කරුණු මත රාවයෙන් ද යුක්තියෙන් ද ඈත් වන්නට සිදුවිය.

    පසුව විමසා බලන කළ අන්තදක්‍ෂිණාංසික අදහස් දරණ මගේ අංකල් කෙනෙක් රාවයේ හොඳම පාඨකයෙක් වී ඇති බව පෙණුනි.

    මට එයින්ම රාවය එපාවිය.

    රසික

    ReplyDelete
  8. සලීල, මෙහි ඇති දේ පොර ටෝක්, නාහෙන් ඇඬීම් හෝ හීනමාන කතා ලෙස නොගෙන ලංකාවේ වමේ දේශපාලනයේ අර්බුදයේ ප්‍රකාශන ලෙස අධ්‍යයනය කරන්න.

    ඇතැමුන් ඔය වැනි වචනවලින් වසා දමන්නට උත්සාහ කරන්නේ තමන්ගේ කැත නිරුවත පෙනෙන යථාර්ථයයි.

    වමේ අර්බුදය පිළිබඳ අප ලියන ලිපි ද අනෙක් ඒවා මෙන් සම්මත රාමුවේ නොමැත.

    ReplyDelete
  9. ඔබේ 'ඩයස්පොරා අදහස්' ලිපිය මෙන්ම මෙම ලිපියද සංවාදයට ලක්විය යුත්තක් බව මගේ අදහසයි. බොහොදෙනා කතා කරන 'සැබෑ විකල්පයක්' ගොඩනැගිය හැක්කේ ලංකාවේ ඊනියා විකල්ප ධාරාව පිළිබද විවෙචනාත්මක සංවාදයකින් පසුවයි. සමාජවාදී කදවුර තුලත්, පරණ වමතුලත් තිබුණු "අරමුණ හොද නිසා" කරන ක්‍රියා සාඩාරණීකරණය කරන පිලිවෙත දිගටම ගියොත් වෙන්නේ වෙනසක් වෙනුවෙන් මිනිස්සුන්ගෙ තියන 'සිහිනය' සදහටම 'වමනයක්' බවට පත්වීම පමණ‍යි. අලුතින් බිහිවූ මේ සයිබර් අවකාශය අළුත් වෙනසක් සදහා අළුත් සංවාද බිමක් කරගමු.

    අපූර්ව

    ReplyDelete
  10. පොර ටෝක්, නාහෙන් ඇඬීම් හෝ හීනමාන කතා ලංකාවේ වමේ දේශපාලනයේ අර්බුදයේ කොටසක්. ඔබට ඇති ලිවීමේ හැකියාව පිළිගන්නා මුත් ඒ පිටුපසින් ඉන්නා තමන්ගේ පිලිමය තම දෑතින්ම තනා ගැනීමේ උවමනාවෙන් පෙලීමේ රෝගියා වසන් කිරීමට දාහක් තර්ක ගෙනාවත් නොහැක. වමේ යැයි හිතන් ඉන්නා ඔබ වැන්නවුන්ට විප්ලවයට වඩා බොල්ග් කිරීම යුනිකෝඩ් වලින් ටයිප් නිරීම පුළුවන් වීම සමාජ වෙනසක් ප්‍රාර්ථනා කරන එවුන්ගේ වාසනාවකි. අතීතය එතරම් රුදුරුයි.

    සලීල

    ReplyDelete
  11. සලිල,
    තමන්ගේ පිලිමය තම දෑතින්ම තනා ගැනීමේ උවමනාවෙන් පෙලීමේ රෝගය තමන්ගේ පිළිමය අනුන්ගේ ලෙයින් තනා ගැනීමේ රෝගයට වඩා අහිංසක බව තේරුම් ගන්න.

    බ්ලොග් කිරීමෙන් විප්ලවය සිදු වන්නේ නැති බව අපි දනිමු. එසේ ම අප බ්ලොග් නොකර සිටියත් විප්ලවය සිදු වන්නේ නැත. එහෙයින් අප‍ යුනිකෝඩ් ටයිප් කිරීම කාගේ හෝ වාසනාවක් හෝ අවාසනාවක් නොවේ.

    අතීතය, වර්තමානය හෝ අනාගතය හෝ රුදුරු යයි සිතීම ද අර්ථ ශුන්‍ය ය. ඉතිහාසය සිදුවීම්වලට වඩා විශාල ය.

    ReplyDelete
  12. තමන්ගේ පිළිමය අනුන්ගේ ලෙයින් තනා ගත්තේත් ඔබමය
    තමන්ගේ පිලිමය තම දෑතින්ම තනා ගන්නේත් ඔබමය

    ඇත්ත! ඉතිහාසය සිදුවීම්වලට වඩා විශාලය. මක්නිසාද යත් ඔවුන් වන්දි ගෙව්වේ ජීවිත වලින් බැවිනි.

    සලීල

    ReplyDelete
  13. @ Editor
    "සලිල,
    තමන්ගේ පිලිමය තම දෑතින්ම තනා ගැනීමේ උවමනාවෙන් පෙලීමේ රෝගය තමන්ගේ පිළිමය අනුන්ගේ ලෙයින් තනා ගැනීමේ රෝගයට වඩා අහිංසක බව තේරුම් ගන්න..."
    ඔබගේ "පිලිම විරෝධය" මතුවනුයේ ඔබගේම දෑතින් ඔබ හදාවඩා ගන්නා පිලිමය ස්ථානගත කිරීමට ඇති අවකාශය සෙසු පිලිම විසින් අත්පත් කරගෙන ඇතැයි යන සාංකාව නිසාය. පිලිම නිර්මාණය යනු බලය අභ්‍යාස කිරීමේ විධික්‍රමයකි. එය තමන්ගේ දෑතින් සිදු කළද අනුන්ගේ රුධිරයෙන් සිදු කළද අරමුණ එකමය.කවර ලෙසකින් සිදු කළද ස්වයං පිලිම නිර්මාණයේ යෙදෙන්නවුන් අහිංසකයන් නොවේ.

    ReplyDelete
  14. වාමාංශිකයන්ට අප කැත වීම අලුත් දෙයක් නොවේ. ඔවුන්ගේ දෑස් හමුවේ ලස්සන වෙන්නට අපි උත්සාහ කරන්නේ ද නැත.

    අපි වැරැදි වීම වමේ ව්‍යාපාරයට ප්‍රශ්නයක් නොවෙයි. මන්ද අපි කාටවත් නායකත්වය දෙන අය නොවෙයිනේ. අපි වැරදි පාරක ගියොත් යන්නේ තනියම. අන්ධ විධියට අප පසුපස එන්න කියා අප කාටවත් කවදාවත් කියා නැහැ.

    දැන් අපට බැනීමට කාලය වැය නොකර එම ලිපි නැවත කියවා අප විසින් වමේ දේශපාලනය සහ ජනමාධ්‍ය භාවිතාව පිළිබඳ මතු කරන ලද දේශපාලන විවේචන පිළිබඳ කතා කරමු.

    අපට බැනීම එම සාකච්ඡාව මග හැර යාමේ කලාවක් නොවන බව පෙන්වන්න

    ReplyDelete
  15. තේ.ඩබි.ජනරංජව වනාහි මගේ අභීධර්ම ගුරුවරයාය.ඒ ඔහු උපන් කළුබෝවිල ශ්‍රී සම්බන්ධ ජයන්ති දහම් පාසැලේදිය.එදා ඔහු හරී අපුර්වට අපට දුක දුකට හේතුව දුක නැති කිරිමේ මාර්ගය කියා දුන්නා මට තවමත් මතකය.මේ ජනරංජන එදා ඉගෙන ගත්තේ ඔහුගේ තාත්තාගේ ජනරංජන තේ පැන් සැලේ ලද සොචිචම් අදායමෙනි.ඒ අදායමෙන් උගත් ජනරංජන අපේ දහම් පැසැල අයත් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දක්ෂතම කථකයාය සිසුවාය.ඒ තරමට ජනරංජන විශිෂ්ඨයෙකු විය.මෙදා නීතිඥ ජනරංජන NGO කාරයෙකි.අද ඔහුට ඒ නිසා යහමින් සල්ලි භාගේ ඇත.ඔහු රාවයට පෙම් බදින්නේ මේ NGO නඩය නඩත්තුවටය.එනයින් ඒ නඩයට පිටු පාන අජිත් පැරකුම්ලා වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නට ඔහුට වගවිමක් නැත.දුක නැති කිරිමේ මාර්ගය වනාහි මෙම සත්‍ය අවබෝධ කර ගැනිමය.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.