2010-05-01

වැටුප් වැඩි කිරීමේ පොරොන්දු සියල්ල කඩ වේ; පඩි පාලක සභා වැටුප් වැඩි කිරීමේ ඇත්ත මෙන්න | The truth behind Wages Board wage increase; all promises gone in the wind

(2010 මැයි 01 - W3Lanka පසුගිය මැතිවරණ සමයේ ‍රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවට රජය දුන් පොරොන්දු සියල්ල කඩ කිරීම මෙවර රජයේ මැයි දින තේමාව වී තිබේ. 


පඩි පාලක සභා මඟින් ආවරණය වන පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප 20% සිට 45% දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව කම්කරු සබඳතා හා ඵලදායිතා ප්‍රවර්ධන නව ඇමැති ගාමිණි ලොකුගේ කරන ප්‍රකාශය ද වංචාකාරී ය. මන්ද, එයින් ද කිසිදු වැටුප් වැඩි වීමක් සිදු නොවන හෙයිනි.


මේ පිළිබඳව නිදහස් වෙළඳ කලාප සේවක සංගමයේ නායක ඇන්ටන් මාකස් මෙසේ පවසයි. "පඩි පාලක සභාවලින් තීරණය කරන්නේ වෘත්තීය ක්ෂේත්‍රයක අවම වැටුප පමණයි. මේ වැඩි කර තිබෙන්නේ ඒ අවම වැටුපයි. ඒත්, ප්‍රායෝගිකව හා සාමාන්‍යයෙන් සේවා කාලය හා වාත්තීය සටන් හේතුවෙන් මෙම සේවකයන්ගේ වැටුප් මේ වන විට අවම මට්ටමට වඩා වැඩියි. ඒ නිසා රජය ප්‍රකාශ කරනවැටුප් වැඩි වීම ඒ අයට ලැබෙන්නේ නැහැ."


පඩි පාලක සභා පිහිටුවා තිබෙන්නේ 1941 අංක 27 දරන පඩි පාලක සභා ආඥා පනත යටතේ ය. පඩි පාලක සභා 27කින් ආවරණය වන සේවක සංඛ්‍යාව ලක්ෂ 25ක් පමණ වන බව ඇන්ටන් මාකස් පවසයි.


එහෙත් ලංකාවේ පෞද්ගලික අංශයේ සේවක සංඛ්‍යාව ලක්ෂ 45කට අධික වන අතර පෞද්ගලික අංශයේ ලක්ෂ 20කට පමණ මෙම වැටුප් වැඩි කිරීම කිසි සේත් අදාළ වන්නේ නැත.


පුද්ගලික අංශයේ ශ්‍රමිකයන් අතරින් 5%ක්වත් වෘත්තීය සමිතිවල සංවිධානගත වී නැති බව ඇන්ටන් මාකස් පෙන්වා දුන්නේ ය. ලංකාවේ සමස්ත ශ්‍රම බලකායෙන් වෘත්තීය සමිති සාමාජිකත්වය ලබාගෙන තිබෙන්නේ 18%ක් පමණි.


පඩි පාලක සභා මගින් ආවරණය වන කම්කරුවන් වෘත්තීය සමිතිවල සංවිධානය වී තිබෙන්නේ අවම මට්ටමිනි.

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.