2010-06-10

1917 ලෙනින් කළා වගේ 2010දී වමට කරන්න බැරි ඇයි? | Why cannot the left act like Lenin did in 2010?

a sculpture by Alexandre Kosolapov
titled “the hero.  the leader.  the god.”  
(2010 ජුනි 10, W3Lanka) සුබසාධන ලක්ෂණ ශේෂ වුන ධනවාදයක ඉඳල ඒ ලක්ෂණ නැති උග්‍ර ධනවාදයකට මාරු වෙන්න උත්සාහ දරන අවස්ථාවක වම කරන්න ඕනෙ මේ ආකෘති වර්ණනා කිරීම නෙමෙයි ‍මේ ආකෘති දෙකටම විරුද්ධ විකල්පයක් වෙනුවෙන් පෙනී සිටීම කියලයි මම හිතන්නෙ.


ඔබ‍ගේ ලෙනින් සම්බන්ධ ස්ථාවරය කුමක්දැයි මම දන්නෙ නැහැ.නමුත් මීටත් වඩා වැඩවසම් ලක්ෂණ පැවති 1917 අප්‍රේල් රුසියාව ඇතුලෙ විප්ලවීය වෙනසකට ලෙනින් යෝජනා කල වැඩපිලිවෙල සලකලා බලන්න.ධනේශ්වර ක්‍රමය විසින් කළ යුතු ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ( උදා - ගොවිජන ප්‍රශ්නය,ජාතික ගැටලුව) විසඳීමේ කර්තව්‍යය සමාජවාදී විප්ලවය විසින් භාරගත යුතුය - මේ තමයි ඒ වැඩපිලිවෙලේ හරය.
-රාමචන්ද්‍ර


1917දී රුසියාවේ තත්වයත් 2010දී ලංකාවේ තත්වයත් සසඳන්න බැරි වෙන්න ප්‍රධාන හේතුව තමයි, ‍ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ අද තත්වය. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් 1917 පෙබරවාරි වන විටත් ලෙනින්ගේ පක්ෂය ඉතා ම පුංචි බලවේගයක් කියලා. එහෙම කියලා ලංකාවේත් වාමාංශිකයන් තමන් ලෙනින් වගේ කියා හැසිරෙන්න පුළුවන්. දැනටමත් එහෙම අය රාශියක් වමේ ව්‍යාපාරයේ ඉන්නවා. 


නිදසුනක් ලෙස කොළඹ ක්ෂුද්‍ර වාම ප්‍රභූ කව දෙස බලන්න. මේ කවවල මේ මොහොතේ සිදු කෙරෙන කාර්යය තමයි කළ යුත්තේ කුමක්ද යන්න සකච්ඡා කිරීම. මේක විවිධ ආකාරවලින් කරනවා. සමහරු හිතනවා 'නොකළ යුත්තේ කුමක්ද?' වගේ මාතෘකා මාර ඉනොවටිව් (නව නිර්මානාත්මකයි) කියලා. 


මේ ප්‍රභූ කවවල ඉන්න සියලු දෙනා ම සෙබළු නැති සෙන්පතියෝ. ඉතින් මේ අය තමන්ගේ විප්ලවීය හමුදාවට අනෙක් අයව බඳව ගන්න සාකච්ඡා කැඳවනවා. ජෝසප් ස්ටාලින් (රුසියාවේ නොවේ, කොළඹ) කැඳවන සාකච්ඡාවට එන අහිංසක පෙරේරා ජෝසප්ගේ හමුදාවට බැ‍ඳෙන්නේ නැහැ. එයා වෙනම සාකච්ඡාවක් කැඳවනවා එයාගේ හමුදාවට ජෝසප් ස්ටාලින්ව බඳවා ගන්න. ඔය විදියට දැන් කොළඹ සාකච්ඡාවලින් පිරිලා. පුංචි කණ්ඩායමක් පූර්ණ කාලීනව මේ සාකච්ඡාවලට යනවා. කොළඹින් පිට ඉන්න නිසා අපට මේ විනෝද සමය බලන්න ලැබෙන අවස්ථා විරලයි. කොහොමත් මේ විප්ලවවාදීන් සමාජවාදය ගොඩනඟන්න ඉන්නෙ කොළඹ විතරයි. ළඟකදී ඉඳලා ජාතික හෙළ උරුමයේ අනුරුද්ධ ප්‍රදීප් එහෙමත් මේවට යනවා කියලා ආරංචියි. හැබැයි, මේ වමේ කට්ටිය කැමති නැහැ අලුත් අය මේ සාකච්ඡාවලට එනවට.


'කළ යුත්තේ කුමක්ද?' යන්න හොඳට ම දන්න තව කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ පක්ෂ. මේ පක්ෂ ඔය පොඩි පොඩි ජාත්‍යන්තරවලට සම්බන්ධයි. මේ ජාත්‍යන්තරවලට සමහර විට තිබෙන ලොකු ම පක්ෂ මේ ලංකාවේ වමේ පක්ෂ. ඒකෙන් ම ඒ ජාත්‍යන්තරයන්ගේ තත්වය හිතා ගන්න පුළුවන් නේ. ඉතින් මේ ජාත්‍යන්තර සංවිධාන මේ පක්ෂවලට ආධාර කරනවා. ඔය රාජ්‍ය නොවන සංවිධානවලට වගේ ලොකු ඩොලර් කුට්ටි නෙමෙයි. පොඩි පොඩි ගණන්. ඉතින් මේ අය බලා ඉන්නේ මොකක් හරි ඡන්දයක් එනකල්, ලංකාවෙන් ම ඡන්ද දාහක් ගන්න පුළුවන් වුණොත් මේ අය උදම් අනන්නේ ලෝකෙ ම අල්ලේ වගේ හිතාගෙන. කොහේ හරි ආසනේක එක පක්ෂෙකට ඡන්ද පහකුත් අනෙක් පක්ෂෙට හයකුත් වැටුණොත් අර ඡන්ද හය වැටිච්ච පක්ෂය හිතන්නේ ඒ ආසනේදී තමන් ට්‍රොට්ස්කිවාදය හරි වෙන මොකක් හරි වාදයක් හරි පැරැද්දුවා කියලයි. 


'කළ යුත්තේ කුමක්ද?' යන්න හොඳට ම දන්න වමේ කට්ටිය දැන් ඉන්නේ පිටරට. කිලිනොච්චිය ලංකාවේ හමුදාවේ ලෙනින්ග්‍රෑඩය වේ ය ආදී වශයෙන් මේ අය ගයපු ප්‍රශස්ති අහලා යුද්ධ කරපු ප්‍රභාකරන්ට වුණ දේ කවුරුත් දන්නවා. රජයේ හමුදා මේ තරම් මානව හිමිකම් කෙරෙහි නොසැලකිලිමත් වන තෙක් ඔවුන්ට දේශපාලන රැකවරණ සපයපු ඔවුන්ගේ බටහිර හාම්පුතුන් බලා ඉන්න එකක් නැති ය කියලා මුළාවක සිටි ඔවුන් දැන් ප්‍රධාන ව්‍යාපෘතිය කරගෙන ඉන්නේ බූන්දියට වෙන නම්වලින් කවි ලිවීම. වෙන නම්වලින් කවි ලියන්නේ අවුට්විෂ්ට්ස්වලින් පස්සෙ කවි නැහැ යයි කවුරුද කවියෙකු කළ කාව්‍යාත්මක ප්‍රකාශයක් මේ අය පසුගිය කාලයේ දේශපාලන න්‍යායක් ලෙස ප්‍රචාරය කරන්න ගිහින් නා ගත්ත නිසයි. 


කොච්චර කොහොම වුණත්, තවමත් ලංකාවේ සමාජ වෙනසක් වෙනුවෙන් අවංකව, ඒත් කපටි නායකයන් පිරිසකට මෝඩ ලෙස රැවටී කැප වී සිටින පිරිස ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේයි. ජවිපෙ කියන්නේ තනි සමස්තයක් ලෙස පෙනී සිටින්න උත්සාහ කළත් එහෙම නොවන බව ප්‍රදර්ශනය වන ජාතිකවාදී වාම ව්‍යාපාරයක්. ජාතිවාදයේ සරණ යාම නිසා තමන් ලාංකීය සමාජයට කළ හානියේ තරම ගැන පශ්චාත්තාපයක් තිබෙන පිරිස් ජවිපෙ ඉන්න බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හා ලංකා පත්තරේ ඇතැමුන්ගේ ක්‍රියාකාරකම්වලින් පෙනෙනවා. ඒත්, මේ ප්‍රගතිශීලීන්ට තිබෙන ලොකු ම ගැටලුව තමයි, පක්ෂයේ බලය අල්ලාගෙන සිටින අවස්ථාවාදීන් පිරිසට එරෙහිව සටන් කරන්න අවශ්‍ය ආත්ම ශක්තිය නැතිකම. හැත්තෑ එකේ ඉඳන් ඉන්න නිසා සිරි අයියාටත්, අසූ නමයේ කැරැල්ල නිසා ජම්පර් ඇන්ද බැවින් සුසිල් අයියාටත් තිබෙන අන්ධ භක්තිය නැති කරගෙන තමනුත් මේ පක්ෂයේ හිමිකරුවන් බව සිතන්න බැරි වුණොත් ඔවුන්ට කිසිවක් කරන්න ලැබෙන්නෙ නැහැ. මොකද මේ නායකයෝ (ප්‍රසිද්ධියේ) සිගරැට් අරක්කු බිව්වේ නැති  නිසා, කාමයෙහි 'වරදවා' හැසිරුණේ නැති නිසා මේ අයට ඉක්මණින් විප්ලවීය ආචාරය පුද කරන්න ලැබෙන්නේ නැහැ. පැරලයිස් වුණත්, කෝමා තත්වයට පත් වුණත් මේ අය පක්ෂය දාලා යන්නේ නැහැ. කොහේ යන්නද? වැඩ බැරි දාසලාට වෙන කොහෙද අම්බලම් තියෙන්නේ?  


බ්ලොග් ලියන අප ගැන තිබෙන චෝදනාව තමයි අප ඉන්නේ මහ පොළවේ නොව සයිබර් අවකාශයේ බව. බ්ලොග් ලියන සමහරුන්ට මේ කාරණය අදාළ වෙන්න පුළුවන්. ‍බ්ලොග් ලිව්ව පළියට සමාජය වෙනස් වෙන්නේ නැති බව අපි දන්නවා. ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කර ලක්ෂ දෙකෙන් කී දෙනා ද සිංහල බ්ලොග් කියවන්නේ? හැබැයි ඉතින්, ඔය දේශපාලන ප්‍රභූන් අතරින් කොටසක් හෝ මේවා කියවන නිසා වැඩක් ම නැහැ කියන්නත් බැහැ. බ්ලොග් ලියන්නේ ලෝකයේ දැනට තිබෙන නිදහස් ම අදහස් අවකාශය තියෙන්නේ එතන නිසායි. අනෙක ඉතින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගේ සංවිධානයක් ගැන නිදහස් අදහසක් පුවත්පතකට ලිව්වොත් ඒ ලියන එකාගේ ප්‍රකාශනයේ නිදහස වාරණය කරන්නේ මාධ්‍ය නිදහසේ නාමයෙන් ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීම හේතුවෙන් ජීවිතය පරිත්‍යාග නො කර සනීප යුරෝපා රටක දේශපාලන රැකවරණ ඉල්ලන අය.  (මේවා ගැන කතා කළොත් බල්ලො බත් කන එකක් නැහැ. ලියන අපටත් එක සීමාවක් පන්නන්න ලැජ්ජයි.) 


ඉතින් ලංකාවේ වම ගැන දන්න හුඟක් දේ නො කියා, සරළව, සහෝදරත්වයෙන්, මතුපිටින් විග්‍රහ කළොත් ඔන්න ඔහොමයි, තත්වය. රාමචන්ද්‍ර සහෝදරයාගේ යෝජනාව ප්‍රායෝගික නො වන බව අප කියන්නේ මේ සංදර්භය තුළයි. විග්‍රහ කර කර ඉන්නවාට වඩා තත්වයන් වෙනස් කරන්න වමට කළ හැකිව තිබෙන දේ ගැන සංයුක්ත අදහසක් මීළඟ ලිපියෙන් යෝජනා කරන්න හිතාගෙන ඉන්නවා. 


(ප.ලි.: වමේ රස කෑලි ලිව්වා ම අපව සමහරුන් පාවා දෙන්නන් කියලා නැවත නැවත හංවඩු ගහනවා. ඒගොල්ලන්ට බලය තියෙන කොළඹ පොඩි පොඩි අවකාශයන්ගෙන් අපව පිටුවහල් කරනවා. ඒ වුණාට අප කියන්නේ අප ඉන්න බව නො දන්නා වගේ හැසිරුණාට කමක් නැහැ. හොරෙන් හොරෙන් මේ ලිපි කියවන්න. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් මූණ බලනවා වගේ දැනෙනවා නම් අපට සතුටුයි.) 

13 comments:

  1. නියම ම විග්‍රහයක්..කදිමයි..
    සංවාදයක් ඇතිවෙනවනම් ගොඩක් හොදයි..
    Dinuka

    ReplyDelete
  2. ඔය ලියල තියෙන්නෙ නියමෙටම. මෑතකදි සයිබර් අවකාශයට පැමිනි කෙනෙක් බැවින් ඔබ නියෝජනය කරන්නේ කුමන කන්ඩායමක්දැයි මා දන්නේ නෑ. මම නම් නිර්පාක්ෂික පුද්ගලයෙක්. එම නිසා හැම පක්ෂයකම ධනාත්මක පැත්තත්, වැරදි දකින්නත්, විවේචනය කරන්නත් නිදහස තියෙනව.

    ඔබ කියූ පරිදිම ලංකාවේ තියෙන ළොකුම ලෙඩක් තමයි පොරමේනීයාව. මේ ලෙඩේටත්. ලංකාවේ ජනගහනයෙන් වැඩි පිරිසක් පෙලෙන රෝගයට වගේ බෙහෙත් නෑ.

    නමුත් එක අනාවැකියක් බය නැතිව කියන්න පුලුවන් තව සුළු කළකින් වම දිය වෙලාම යනව. මෙලෝ රහක් නැති පිස්සු විතාරණ කටවහගෙන සිටියත් නව ව්‍යවස්ථාව පිළිබඳව, රජතුමා ඉදිරියේ නිර්භීතව අදහස් ප්‍රකාෂ කළ ඩීව් ගුනසේකරට, මෙන්න මගෙන් පොපි මල් මාලයක්... (අවශ්‍යනම් ඒකත් විකුනගෙන කන්න.)

    ReplyDelete
  3. මල්ලී මං උඹට කැමතියිග මේ ලිපියට හොඳටම කැමතියි ඒත් උඔගේ සසමහර අදහස් වලට කැමති නෑ...කොහොමත් මම උඹව නොවැරදීම කියවනවා.

    ReplyDelete
  4. 1917දී ලෙනින් යෝජනා කළ දේ ගැන කතා කරන්න කලින් 1917 නොවැම්බර් හා 1919 අතර කාලය තුළ රුසියාවේ මිලියන කීයක් මැරුණද, මැරුවද කියලා රාමචන්ද්‍රම කියනවා නම් හොඳයි.

    (මේ කතා කරන්නේ 'ශුද්ධ වූ ඔක්තෝබර් විප්ලවය' කරන්න 'දිවිපිදූ' අය ගැන වත් ජෝශප් ස්ටාලින් විසින් 1924ට පසුව සයිබීරියාවට පිටිවහල් කර මරා දැමූ අය ගැනවත් නෙවෙයි.)

    ReplyDelete
  5. 1964 ලංකා සමසමාජ පක්ෂය පාවා දුන් නැත්නම් අද ලංකාවේ විතරක් නෙමේ ලෝකයේම ඉරණම වෙනස්. ඔබ ඇතුලු බොහෝ දෙනෙක්ගේ ලියවිලි වල තියෙන්නේ ලංකාවේ හාන්සි පුටු විප්ලවීය අදහස්. මම මේ කතා කරන්නේ මගේ පාසල් ශිෂ්‍ය අවධියේම වාමාංශික ව්‍යාපාරය වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් හැටියට. මිනිසුන් ඉන්නේ අපා දුකෙන් බව මම ඒ අවධියේම තේරුම් ගත්තා. යන්න වතුකරයට, ගිහින් අවිදින්න මිනිස්සු අතරේ. ඔවුන් ඉන්නේ හරක් මඩු වලටත් වඩා අසරණ තත්වයේ "කාමර" වැනි යමක් තුල. ඒත් සමාජවාදය හා එම පක්ෂ ගැන නැති කරපු විශ්වාසය මිනිස්සු අතරෙ නැවත ගොඩ නැගීම අතිශය බැරෑරුම් කටයුත්තක්. නමුත් මම තවමත් විශ්වාස කරන්නේ ඒ දෙය කල යුතුයි. ධනවාදය කිසිම සමාජ ප්‍රශ්ණෙකට විසදුම් දීල නැහැ. ඒක කරන්න පුලුවන් ට්‍රොට්ස්කිවාදී ආකෘතියකට පමණයි. අද දවසේදී අතර මැදි පැලැස්තර විසදුම් නෑ.

    ටැබූ කියන නොමැරුණු විප්ලව හරි ලේ නැති විප්ලව හරි මම අහල නෑ. ඒත් අද දවසෙ විවිධ යුද්ධ හා ඝ්‍රාතන හරහා මිනිස් වර්ගයාගෙන් කී දෙනෙක් අකාලයේ මිය යනවද? පළවන හා දෙවන ලෝක යුද්ධ වලින් කී දෙනෙක් මිය ගියාද? ට්‍රොට්ස්කි කියනව සමාජවාදය ගොඩ නගන්න ඕනනම් වෘත්තීය සමිති ඇතුලු මහජන බලවේග ශක්තිමත්ව තියන්න ඕන කියල. ඒ වගේ තැනකදි විප්ලවවාදී පක්ෂයේ කොටස් නිළධාරී වාදීන් බවට පත්වීම වැලකෙනවා. ඒවා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න ඕනෑ තැන්.

    ජවිපෙ ඇතුලේ විප්ලවවාදීන් කවදාවත් හිටියේ නැහැ. සිංහල ජාතිවාදීන් මිසක්. උන් ඇරඹුමේදීම දෙමළ සුලුතරයට එරෙහිව විවිධ කතා කිව්වා. වාමාංශිකයන්ම කීයක් මරා දැම්මද ඊනියා කැරලි ඇතුලෙදි. උතුරේ යුද්ධය තුලින් දෙමල ජාතිය කුඩුපට්ටම් කරපු දවසෙදි මගේ හිතට ඉතාම වේදනාත්මක හැගීමක් ආවා. සිංහලයෝ කිරිබත් කනවා. ජවිපෙ බල්ලෝ කිරිබත් මුට්ටි පිටින් කනවා. සුලු ජාතියට ගරු නොකරන උන්ගෙන් මිනිස් කමක් බලාපොරොත්තු වෙන්න බෑ.

    ReplyDelete
  6. 'වාමාංශිකයන්'ගේ තවත් ලක්ෂණයක්:

    මේ අය තමන්ගෙ කියල බාරගන්නේ තමන් කියන දේවල් අකුරක් නෑර අනුමත කරන අයව විතරයි. වර්තමාන ලෝකය ගොඩක් විවිධාංගීකරණය වෙලා තියන බව මෙයාලා නොදන්න නිසා හැමදාම එයාලට වෙන්නෙ පුංචි පුංචි කූඩු අටවගෙන පාඩුවෙ ඉන්න ගමන් තමන්වගේ අනිත් අය ගැන විමසනු සදහා ෂර්ලොක් හෝම්ස් වර්ගයේ මෙහෙයුම් දියත් කිරීමයි. මෙයාලට අනුව තමන් කරන වැඩ ඇරෙන්න අනිත් කිසිවක් 'දේශපාලනිකව වැදගත්' වැඩ නෙමෙයි. තමන්ට හොඳටම පාලුයි කියල හිතුනහම කොහෙ හරි තැනක් බුක් කරලා 'පුළුල් කැඳවීමක්' කරනවා. මේ 'පුළුල් කැඳවීමට' එන හැමෝම සෙන්පතියො මිසක් සෙබලු වෙන්න අකමැති නිසා හවස් වුනාම හැමෝම තමන්ගෙ සුපුරුදු කැදැල්ලට ගිහින් අනෙක් අයගෙ වගතුග සෙවීමේ සුපුරුදු ශර්ලොක් හෝම්ස් මෙහෙයුම පටන් ගන්නවා. මේ මෙහෙයුම් වලට අනෙක් අයගෙ කතා බහ, ගමන් බිමන්, පාවිච්චි කරපු ටොයිලට් එක වැනි මෙකී නොකී ඕනෑම දෙයක් ඇතුලත් වෙන්න පුලුවන්. බ්ලොග් අවකාශයෙ ලියන අයගෙ මෙවන් විස්තර හොයා ගන්න බැරිවීම මෙයලා දකින සීමාවක්. මෙයාලා බ්ලොග් අවකාශය 'අදේශපාලනික' විදිහට දැකීමට මේකත් එක හේතුවක් වෙන්න ඇති කියල මට හිතෙනවා.

    අපූර්ව

    ReplyDelete
  7. // සිංහලයෝ කිරිබත් කනවා. ජවිපෙ බල්ලෝ කිරිබත් මුට්ටි පිටින් කනවා. සුලු ජාතියට ගරු නොකරන උන්ගෙන් මිනිස් කමක් බලාපොරොත්තු වෙන්න බෑ.// - 100%

    ReplyDelete
  8. @Anonymous,

    සිංහල තේරුම් ගැනීමේ බැරිකමක් තියෙනව වගේ නේද පෙනෙන්නේ? මා කතා කරන්නේ ඔය 'මහා විප්ලවයට' පෙර නොව ඉන්පසු වූ මරණ/ඝාතන ගැනයි.

    1964 'මහා පාවාදීම' නොකෙරෙන්නට ලංකා සමසමාජ පක්ෂය මිය යන්නේ 1977 නොව 1970 දියි!

    - Taboo

    ReplyDelete
  9. පලමුව මේ වගේ සංවාදයක් හැදීම ගැන සතුටුයි.හැකිතාක් කෙටියෙන් මගේ නිරීක්ෂන ඉදිරිපත් කරන්නම්.

    මේ ලිපියෙන් ලංකාවේ වාමාංශික කන්ඩායම් ගැන ඔබේ තියෙන අපෙක්ෂා භංගත්වය පේනව.ඒක යුක්ති සහගත නැහැ කියල මම කියන්නෙ නැහැ.වාමවාදී කන්ඩායම් කරල තියන වැරදි උපක්‍රමික වරද්දාගැනිම්,ඉහත ට්‍රොට්ස්කිවාදි හිතවතා පෙන්නල දීල තියෙන ආකාරයේ මෝඩකම් සහ එහෙම කියන "ට්‍රොට්ස්කිවාදී" කන්ඩායම් වල ( සසප ) කන්ඩායම්වාදී ආකාශගත දේශපාලනය අවුලක් තමයි.

    වාමාංශිකයා කියන්නෙ විප්ලවකාරි අදහස් දරන කෙනෙක් නම් හේ පවත්නා තත්වය ප්‍රශ්න කරන්නෙක් මිස ඒකට අනුව හැඩගැහෙන්නෙක් නෙමෙයි.රාජපක්ෂ සංවර්ධනය තමයි යථාර්තය කියල හිතාගන්න ඇතැම් "වාමාංශිකයන්" ඒ සදහා විවිද අටුවා ටීකා සපයමින් ආන්ඩුවේ ලොකු පුටු හොබවන ආකාරයත් මේ අතර පේනව.

    එත් මේ ක්‍රමයේ අපිට අවුලක් පේනව.අපිට කවුරුත් නූගන්වපු නමුත් අපි අත පත ගාල ‍ඉගෙන ගත්ත මොනව හරි දෙයක් නිසා මේ අවුල විනිවිද දකින්න අපිට අවස්ථාව ලැබිල තියනව.
    රට පුරා අරක් ගෙන තියන දුප්පත්කම කියන්නෙ අපේ හිතලුවක් නෙමෙයි.කොළඹ ඉදන් දකුනුකරේට දුම්රියෙන් යද්දි දෙපැත්තෙ තියන පැල්පත් විමානය දිහා බලාගෙන මේක නැචුරල් දෙයක් කියල හිතල හිත හදාගන්න අපිට අමාරුයි.සබන් බෝලයක් වගේ පිම්බිල තිබුනට රාජපක්ෂ ආන්ඩුව අභ්‍යන්තරයෙන් කුනු වෙලා තියනව කියන එක පැහැදිලියි.ආර්ථික වශයෙන් ක්‍රමය දරුනු උභතෝකෝටියකට ලක්වෙලා කියන එක පේන්නෙ සංඛ්‍යා දත්ත වලින් නෙමෙයි ඉහල යන බඩු මිල වගේ යථාර්ථයන්ගෙන්.මේව නවත්වගන්න රාජපක්ෂලාට හැකියාව නැහැ කියන එක ඔප්පු වීම කාලය පිලිබද ප්‍රශ්නයක් විතරයි.බැසිලියානු ( ලස්සන යෙදුමක් )නව ලිබරල් ප්‍රතිසංස්කරන හරහා තියෙන සුබසාදන ලක්ෂන ටිකත් හැලිල යනකොට අසමානතාවය තවතවත් නිර්වස්‍ත්‍ර වෙන්න ගන්නව.යුද ජයග්‍රහනවලින් වහල තිබුනට මේව දැන් දැන් මිනිස්සුන්ට දැනෙන්න ගන්නව.ඒව මිනිස්සුන්ට ඉදිරියේදී තව තවත් දැනෙනව.දේශපාලන භාෂාවෙන් කීවොත් වමකට ඕනෙ කරන විෂයමූල තත්වය වර්ධනය වෙමින් තියනව කියන එක ඇත්තක්.

    කලාපයේ දේශපාලනය ගන්න.අවුරුදු කීපයකට උඩදි නේපාලයේ ප්‍රචන්ඩාව කවුද ගනන් ගත්තෙ?ඒත් අද තත්වය කොතරම් dramatic ලෙස වෙනස් වෙලාද?ඉන්දියාවෙ ගම්බදව පැතිරෙන කැරලි ගන්න.දකුනු අමෙරිකාවෙ රැඩිකල් දේශපාලනයේ මෑතකාලීන වර්ධනය ගන්න.මේ සේරම තුන්වෙනි ලෝකයේ වාමාංශික දේශපාලනයේ වර්ධනය ගැන සජීවි උදාහරන.පහුගිය අවුරුදු හය හතට වුන වෙනස්කම්.

    ලංකාවෙ විකල්ප දේශපාලනයක් ගැන විශ්වාස කරන සැලකිය යුතු පිරිසක් ඉන්නව කියන එක සුබවාදීව භාරගන්න ඕනෙ දෙයක්.කාලෙකට ඉහතදි සිංහල බ්ලොග් කියවනයට ඉස්සෙල්ලාම එද්දි වාමංශික මතවාද වල "ව"යන්නවත් මේවයෙ තිබුනෙ කලාතුරකින්.
    නමුත් දැන් තත්වය කොයිතරම් වෙනස් වෙලාද?මාත් එකග වෙන පරිදි අන්තර්ජාලය විවෘත වෙලා තියෙන්නෙ නාගරික සීමිත සමාජයකට .ඒ තුල පවා තියෙන මේ වර්ධනය අපි තේරුම් ගත යුත්තේ කොහොමද?

    ReplyDelete
  10. සංවිධාන වල සීමාසහිතකම් ගැන කලකිරිල ලෙනින් කල දේවල් මෙහෙ කරන්න බැහැ කියන එකට අපි එකග නොවෙන්නෙ ඒ හින්ද.සංවිධානවලට පවා පහලින් එන බලපෑම් වලට අනුව හැඩගැහෙන්න වෙනව.2008 ජූලි වැඩවර්ජනයෙදි ජනමාන්තර වෛරයක් තිබුන ජවිපෙ හා ජවිපෙ නොවන වෘත්තිය සමිතිවලට එක වැඩපිලිවෙලකට එන්න වුන හැටි සලකන්න.යාපන විශ්ව විද්‍යාලයේ දේශපාලනය කරන්න යද්දි අද වෙනකොට තමන්ගෙ ටෝන් එක වෙනස් කරගන්න ජවිපෙට සිදුවෙලා තියන ආකාරය සලකන්න.වර්ධනය වෙන තත්වයන් අනුව සීමාකම් වෙනස් කරනොගතහොත් සංවිධාන ඉතිහාසයේ පැත්තකට වෙනස් වෙනව.එ වෙනුවට අලුත් සංවිධාන හැදෙනව.ඉතිහාසය යන්නෙ ඒ විදිහට.

    1917 ලෙනින්ව යාන්ත්‍රික විදිහට 2010ට ආදේශ කරන්න කියන එක නෙමෙයි අපි කියන්නෙ.17 පෙබරවාරි වලට පස්සෙ බොල්ෂෙවික් පක්ෂයේ බහුතරය ධනේශ්වර සබාග ආන්ඩුව එක්ක යන්න ඕනෙ කියන තැන හිටියෙ.ධනේශ්වර ප්‍රතිසංස්කරන විසින් වැඩවසම්වාදය ඉවර කරන තුරු විප්ලවය ගැන නොහිත ඉමු කියන එකට එරෙහිව ලෙනින් අප්‍රේල් තිසීස ගෙනැවිත් කරන්නෙ පෙරලිකාරි වැඩක්.කෙරෙන්ස්කිගෙ පෙබරවාරි ආන්ඩුවෙ සීමාසහිත කම පෙරදකින ලෙනින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන වල වගකීම තමන් අතට ගන්න ඕනෙ කියල යෝජනා කරනකොට බොල්ෂෙවික් පක්ෂය අතිශය සුලුතරයක්.බහුජනයා හිටියෙ ඔවුන් සමග නෙමෙයි.මේක කෞට්ස්කි වගේ අය දකින්නෙ අති වාමාංශික අතිධාවනකාරී වැඩක් විදිහට.
    නමුත් සියල්ල පොතේ හැටියට වෙලා විප්ලවය ගැන අදහස් ඉදිරිපත් කරන්න හිටිය නම් රුසියන් විප්ලවය යනුවෙන් දෙයක් ඉතිහාසයේ කවදාවත් නොවෙන්න ඉඩ තිබුන.
    17 ලෙනින්ගෙ වැඩපිලිවෙල යාන්ත්‍රිකව ගන්නෙ නැතිව එහි සාරය (essence)සලකන්න කියන එකයි තර්කය.

    ReplyDelete
  11. @ රාමචන්ද්‍ර.

    වමකට ඕනෙකරන විෂය මූල තත්වයන් වර්ධනය වෙනවා වගේ පේනවා තමා. ඒත් පරිස්සමින් බැලුවොත් ඊට වඩා වේගයෙන් ඒවා System එකෙන් suck කරනවා. මොනවා හරි try කරන්න ඕනෙ එතෙන්ට නේද?

    @ මාතලන්.

    ඩිව්/වාසු රජතුමාගෙ පස්ස පැත්ත එක අතකින් වහගෙන අනිත් අතින් පොඩි තැනක් කොනිත්තලා තනියම ආතල් එකක් ගන්නවා. ඒ දැකලා අපිත් චූන් උනොත් ගඟේ තමා. අර මාලෙ ඊළඟ චන්දෙ එනකං තියාගමුද?

    ReplyDelete
  12. 1917 දී ලෙනින් කළ දෙය 2010 දී ලංකාවේ වමට කරන්න බැරි ඇයි?
    මෙම බැරි වීමට බලපාන හේතු ගණනාවක් තිබේ.

    1. ලෙනින් 1917 දී කලේ රුසියානු විප්ලවයයි. රුසියානු විප්ලවය මෙහි කළ නොහැක. හේතුව මෙහි රුසියානුවන් නොමැති වීමය. මෙහි ඉන්නේ සිංහලයන්ය.
    2.මෙහි අදිරාජ්‍යවාදයට ගැතිකම් කරන දෙමළ බෙදුම්වාදීන් සිටින අතර රුසියාවේ දෙමෙල්ලු හිටියේ නැත.
    3.රුසියාවේ වී අයි ලෙනින් ට්‍රොට්ස්කි සහ ජොස්ෆ් ස්ටාලින් යන තිදෙනාම සිටි අතර ලංකාවේ ඉන්නේ ගුරු සංගමයේ ජොසෆ් ස්ටාලින් පමණි. ලෙනින් මොරායස් කෙනෙකු සිටි නමුත් දැනට ආරංචියක් නැත
    4.රුසියානු විප්ලවයේ තේමා පාඨය වූයේ ඉඩම් පාන් සහ සාමයයි. මෙහි සටන්පාඨ දෙමළුන්ගේ ඉඩම්, කිරිබත් සහ යුද්ධයයි.
    5.රුසියාවේ සාර් රජතුමාට සහෝදරයන් නොසිටි අතර මෙහි මහින්ද රජතුමාට සහෝදරයන් සිටී.
    6.රුසියාවේ ජේවීපී එකක් නොතිබූ අතර මෙහි දැන් වසර හතලිස් ගණනක් එවැන්නක් පවතී.
    7.රුසියාවේ විප්ලවීය ගාමක බලවේගය කම්කරුවන් වූ අතර මෙහි එකම බලවේගය සංඝ බලවේගයයි.

    ReplyDelete
  13. 8. ලාංකීය විප්ලවයට ගාමක බලවේගයක් නැත. ලාංකීය විප්ලවයට ඇත්තේ ළාමක බලවේගයකි. නැතහොත් "ගම කන" බලවේගයකි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.