2010-06-26

ජනප‍්‍රිය බණ හා දුෂ්කථා ගැන | On popular Bana preachings

(2010 ජුනි 26, W3Lanka අජිත් පැරකුම් ජයසිංහ)
යෝහිකෝචි භික්ඛවේ භික්ඛු ඒවං චින්තො පරේසං ධම්මෝ දේසති. අහෝ වන මේ ධම්මං සුණෙය්‍යුං සුත්ථාච පන ධම්මං පසීදෙය්‍යුං පසන්නාච මේ පසන්නකාරං කරෙය්‍යූං ඒව රූපස්ස භික්ඛවේ භික්ඛුතෝ ධම්ම දේසනා අපරිසුද්ධා හෝති.
මහණෙනි, යම් භික්ෂුවක් මාගේ ධර්මය ඇසුවහොත් හොඳය, අසා පැහැදුණහොත් හොඳය, පැහැදීමෙන් යුතුව සත්කාර උපකාර කළහොත් හොඳය යන අදහසින් කරන ධර්ම දේශනාවක් වෙත්නම් එය අපිරිසුදු දේශනාවකි.
(අංගුත්තර නිකාය, කස්සප සංයුතය)


‘චරථ භික්ඛවෙ චාරිකං - බහුජන හිතාය - බහුජන සුඛාය‘ යි බුදු රජාණන් වහන්සේ ධර්ම ප‍්‍රචාරය සඳහා නික්මෙන සංඝයාට දුන් උපදේශය සර්වකාලීනය. සංවර්ධනයේ මායාවෙන් මුසපත්ව, වියරු රංගනයක යෙදී සිටින වත්මන් ලෝකයට මොහොතකට නැවතී ජීවිතය දෙස ආපසු හැරී බැලීමට, සිත් සනසා ගන්නට, යථාර්ථය පසක් කරගන්නට ධර්ම දේශනාවක් මහෝපකාරී වේ. ලෝකය දියුණු වන්නට, වන්නට පන්සල් කරා ඇදී එන ජනයා වැඩි වන්නේද, ධර්ම දේශනාවලට සවන් දීමට ජනයා වැඩි වැඩියෙන් රැස් වන්නේද ඒ නිසාය.


එහෙයින් ධර්මය දේශනා කරන්නා හට පැවරී තිබෙන කාර්යභාරය සුළුපටු එකක් නොවේ. ඔහු ජීවිත වෙනස් කරන්නෙකි. ලෝකයට අලූත් මංපෙත් විවර කර දෙන්නෙකි.


‘ඔවා දෙනු පර හට
තමා සම්මතෙහි පිහිටා සිට
දුසිරිත දනන් දෙන
ඔවා වැද්දන් දෙසන බණ වැනි‘ යි ලෝකෝපකාරයෙහි කී කියමන අනුව අද බණ දෙසන බොහෝ දෙනෙකු සම වන්නේ වැද්දන්ටය. මෙම කවියෙහි වැද්දන් උපමාවට ගන්නට ඇත්තේ ‘දියුණු‘ සමාජයේ ප‍්‍රමිකීන්ට අනුව ඔවුන්ගේ ජීවිත ප‍්‍රාථමික හා අශිෂ්ඨ නිසා වන්නට ඇත. අද බණ දෙසන්නෝ බොහෝ දෙනෙක්ද අශිෂ්ඨ නොදියුණු මිනිස්සු වෙති. බුදුදහම මත පිහිටා ධර්මය දේශනා කිරීම නම් උතුම් කාර්යය බිස්නස් එකක් කරගන්නෝ ඔවුහුය.


විඩිත‍්‍ර ධර්ම කථිකයකු ලෙස තමන්ව හඳුන්වා ගන්නා ජනප‍්‍රිය ධර්ම දේශකයකු වීම අද දවසේ ඇතැම් භික්ෂූන්ගේ ‘නිවන‘ සලසා ගන්නා මග වී තිබේ. එවැනි හිමිනමකගෙන් බණක් ‘ඇණවුම්‘ කරගැනීමට ඇතැම්විට අත්තිකාරමක් ගෙවිය යුතුය. හරියට සංගීත සංදර්ශනවලට ගායක ගායිකාවන් ගෙන්වා ගන්නා සේය. ඇතැමෙක් මුදල් අය කරන්නේ බණට නොව බණට වඩින සුඛෝපභෝගී වාහනයට හා සමහරවිට දම් දෙසුම මිහිරි කරන ශබ්ද විකාශන කට්ටලය කුලියට දීමට කියාය. බණ කියන්නට එන යතිවරුන් පසුපසින් එන ගෝලයෝ බණ පොත්, පත්තර, බණ තැටි, බණ පටි පමණක් නොව, නළුවන් සේ මේකප් කර, ලයිට් දමා ගන්නා ලද හාමුදුරුවන්ගේ පිංතූරද විකුණති.


ජනප‍්‍රිය ධර්ම කතිකයකු වූ පසු රූපවාහිනී, ගුවන් විදුලි සේවාවලින්ද ආරාධනා ගලා එයි. කැසට් හා සී.ඞී. මුදලාලිලා ‘ඇල්බම්‘ නිකුත් කිරීමට ඉදිරිපත් වෙති. විදේශ රටවල ශ‍්‍රී ලාංකිකයෝ බණට ආරාධනා කරති. මිළ මුදල් යහමින් ඇති, බොහෝවිට අධර්මයෙන් මුදල් රැස් කළ අය සිය කළු සල්ලි සුදු කරගැනීම සඳහා හාමුදුරුවන්ට අනුග‍්‍රහ දක්වන්නට පෙළගැසෙති. ජනප‍්‍රිය භික්ෂූන් ඡන්ද මැෂින් බව දන්නා දේශපාලකයෝද ඔවුන් වෙත ඇදී එති. දේශපාලකයන් හරහා යම් යම් කාර්ය කරගන්නට උවමනා පිංවත්තු හාමුදුරුවන් වටා කැරකෙති. මේ විෂම චක‍්‍රයට හසු වූ ඇතැම් භික්ෂූහු පන්සල් වෙනුවට සුඛෝපභෝගී ‘අසපු‘ ඉදි කර ගනිති. තවත් සමහරු දේශපාලනයට වැඩම කරති. තවත් බොහෝ විපරීත ක‍්‍රියාවලද යෙදෙති.


මේ හාමුදුරුවරු ඍජුව වෙළඳ දැන්වීම්වල පෙනී නොසිටිති. එහෙත්, රූපවාහිනී සහ ගුවන් විදුලි සේවා බණ දෙසුම් හා ධර්ම සාකච්ඡා මුලට, මැදට, අගට දැන්වීම් දමා හාමුදුරුවන්ව අලෙවි කරති.


ජනප‍්‍රිය ධර්ම කථිකයකු වීමට බණ දහම් හොඳින් දැනගැනීම පවා අත්‍යවශ්‍ය නොවේ. සමහරු ජනප‍්‍රිය වන්නේ අසන්නන් ඉදිරියේ තමනුත් හඬා, අනුනුත් හැඩවීමෙනි. තවත් සමහරු හිනා යන බණ කියති. තවත් අයෙක් බණ කියා බැන වදිති. උපහාස, අපහාස බණද තිබේ. එක් භික්ෂුවක් බණ දෙසන අතර හොඳ සපත්තු යුගලක් පැළඳි ළමයකු ඉදිරියට කැඳවා, එය ගලවන්නට අණ කර, වඩුවකු වූ සිය පියාට එවැනි සපත්තු කුට්ටමක් මිළ දී ගෙන දෙන ලෙස කීම ගැන බැණ වැදී, දේශනාව අවසන් වනතුරු ඔහුට සියලූ දෙනා ඉදිරියේ අපහසුවෙන් සිටගෙන ඉන්නට සැලැස්වීය.


බණ මැද ඉන්ද්‍රජාල පෙන්නීම පවා තව ටික කලකින් දැකිය හැකි වනු ඇත. වෙනත් ඕනෑම වෙළඳපොලක මෙන් මෙතැනද තරගකාරිත්වයක් ඇති බැවින් ජනප‍්‍රියත්වයට පත් වීමටත්, එය රැකගැනීමටත් නොයෙක් විප‍්‍රකාර කිරීමට සිදු වී තිබේ. සමහර භික්ෂූන් අඳින්නේ සිවුරු නොව ඉතා වටිනා සළුය. ඒවා මසා ඇති අන්දමද, වර්ණද ඉතා සම්ප‍්‍රදාය විරෝධීය. සමහර ධර්ම කථික හිමිවරු බණට වඩින්නේ සැන් පවුඩර් නාගෙන දෙතොලේ ලාවට ලිප්ස්ටික්ද තවරාගෙනය.


මේ සියල්ලටම වඩා භයානක වන්නේ ජනප‍්‍රිය වීම සඳහා මෙම යතිවරුන් දේශනා කරන බණයි. මේ බණ අසන්නට එන වැඩිදෙනා ස්ත‍්‍රීහු වෙති. එහෙත්, ඇතැම් හිමිවරු වැඩියෙන්ම කරන්නේ ස්ත‍්‍රීන්ට බැනවැදීමයි. කන්තා ඇඳුම් පැළඳුම්, ඇවතුම් පැවතුම් උපමා කොටගෙන ස්ත‍්‍රීන් පහත් කොට සැලකීම හා ඔවුන් උපහාසයට ලක් කිරීම බොහෝ ජනප‍්‍රිය පුරුෂෝත්තම ධර්ම දේශකයන්ගේ පුරුද්දකි. ස්ත‍්‍රිය පහත්ය යන පිළිගැනීමක් සමාජයේ තහවුරුව පවතින බැවින් ඔවුන්ගේ අශිෂ්ඨත්වය උපමා කොට ශිෂ්ඨත්වය දෙසන බවට මුවා වීමට මේ ධර්ම කථිකයන්ට හැකි වී තිබේ. එහෙත්, ඇත්තටම මොවුන් කරන්නේ කුමන්ද? ස්ත‍්‍රී අඟපසඟ, ඇවතුම් පැවතුම් ආදිය ගැන කතා කිරීම පසුපස ඇත්තේ දෙසන්නන්ගේත්, අසන්නන්ගේත් විකෘති කාම චේතනා හා පුරුෂෝත්තමවාදී ආකල්පයි. ඇතැම් සමාජ කණ්ඩායම්වල සිරිත් විරිත්, පුද පූජා හා වෙනත් සංස්කෘතිකාංගවලට ගැරහීම සභාවේ ඔල්වරසන් බලාපොරොත්තුවෙන් කරන දේ වේ. ත‍්‍රිපිටකය නොදත්, එය නොහදාරන ඇතැම් භික්ෂූහු තම නොදන්නාකම වසා ගන්නේ තමන් කියන බණට ‘කාලීන ධර්ම දේශනා‘ ආදී ලේබල් අලවාගැනීමෙනි.


සුදුසු කල්හි ධර්මය ඇසීම හා සාකච්ඡා කිරීම මංගල කරුණක් බව බුදුහු මහා මංගල සූත‍්‍රයේ දේශනා කළහ. එහෙත්, මෙවැනි බණ ඇසීම මංගල කරුණක් වේ යයි සිතිය නොහැක.


සාරජ්ජ සූත‍්‍රයට අනුව, ඇතැම් කථා දුෂ්කථා වශයෙන් සැළකෙන බව දේශනා කරන ශ‍්‍රී සද්ධම්ම වාගීශ්වර නාලන්දේ විමලවංශ හිමියෝ අල්පශ‍්‍රැතයාට බහුශ‍්‍රැත කථාද, දුස්සීලයාට සීල කථාද, මසුරාට ත්‍යාගය පිළිබඳ කථාද, දුෂ්ප‍්‍රාඥයාට ප‍්‍රඥාව පිළිබඳ කථාද දුෂ්කථාවන් වන බව පවසති. ඉහත කී ආකාරයේ බණ කියන්නෝද, ඒවා අසන්නෝද දුෂ්කථාකරුවෝ මිස අන් කවරහුද?


මෙබඳු බණ දෙසුම් ජනප‍්‍රිය වීම හා චොකා බයිලා ජනප‍්‍රිය වීම අතර වෙනසක් නැත. මෙම ධර්ම දේශකයන් තුළ ඇත්තේද බාල කලා නිර්මාන පසුපස ඇති අන්දමේම වානිජ හා පහත් පෙළේ සමාජ අරමුණුය. ඒවා ජනප‍්‍රිය වන්නේ ඒ සඳහා ඉල්ලූමක් සමාජයේ ඇති බැවිනි. බාල දෙයට ඉල්ලූම ඇති වන්නේ හොඳ දේ තෝරාගැනීමට නොදන්නා බැවිනි. හොඳ දේ යනු කුමක්දැයි විග‍්‍රහ කරගැනීම පෞද්ගලික අභිරුචිය මත සිදු විය හැකිය. එහෙත්, සංස්කෘතිය හා විශේෂයෙන්ම ආගම මිනිසුන්ට හොඳ නරක කියා දීමේදී ඉතා වැදගත් වේ. කිසිදු ශාස්තෘවරයෙක් ප‍්‍රචණ්ඩත්වය දේශනා කර නැත. ඔවුන් දෙසා වදාළේ ලෝකය වඩා යහපත් තැනක් කරගන්නා ආකාරයයි. විශේෂයෙන්ම අවිහිංසාව මත පදනම් වූ සැබෑ බුදු දහම හෙවත් බුදුන්ගේ බුදු දහම තුළ හොඳ දේ ජනයාට තෝරාබේරා දීම සඳහා ඉතා පැහැදිලි දැක්මක් තිබේ. අද දවසේ ගැටළුව වන්නේ අප පිළිපදින්නේ බුදුන්ගේ බුදුදහමද යන්නයි.

Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

3 comments:

  1. හමුදුරවෝ නම් මක්කැයි
    අර සූරියප්පෙරුම ගොය්යත් ඊයේ බනක් කිව්වා
    මුන්ගේන් බන අහන්වට වඩිය හොඳයි ආගම මාරු කරලා තලෙයිබාන් වෙන එක

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. @ Editor, I dont agree with you. You said..

    ...සංවර්ධනයේ මායාවෙන් මුසපත්ව, වියරු රංගනයක යෙදී සිටින වත්මන් ලෝකයට මොහොතකට නැවතී ජීවිතය දෙස ආපසු හැරී බැලීමට, සිත් සනසා ගන්නට, යථාර්ථය පසක් කරගන්නට ධර්ම දේශනාවක් මහෝපකාරී වේ. ලෝකය දියුණු වන්නට, වන්නට පන්සල් කරා ඇදී එන ජනයා වැඩි වන්නේද, ධර්ම දේශනාවලට සවන් දීමට ජනයා වැඩි වැඩියෙන් රැස් වන්නේද ඒ නිසාය..

    It is a too casual approach to say so. Actual reason for mass to attract towards religion is something else. I quote here from Gamini Viyangoda (Rawaya, 10.05.23) he nicely explains the cause of it. Of course there are many more reasons with this fact.

    Full article http://boondionline.blogspot.com/2010/05/blog-post_3661.html

    ...මෙය බුද්ධාගම සම්බන්ධයෙන් පමණක් නොව, සෑම ආගමක් සම්බන්ධයෙන්ම දක්නට ඇති යථාර්ථයකි. සත්‍යය නිරීක්ෂණය කිරීම අධ්‍යාත්මික තලයේ දී තරම් ප්‍රායෝගික තලයේ දී අපහසු නැත. එහෙත් ආධ්‍යාත්මික ක්ෂේත්‍රයේ දී තරමටම, ප්‍රායෝගික ක්ෂේත්‍රයේ දී ද, අන්ධ භක්තිකයාව නොමග යැවීමට සෑම ආගමකම පූජ්‍ය පක්ෂය නිරතුරුව කැප වෙයි. මේ ගැන මදක් සැලකිල්ලෙන් කල්පනා කළ විට, සෑම ආගමක්ම පවතින්නේ මිනිස් සත්වයාගේ බිය නැමැති පදනම උඩ පිහිටා බව අපට පෙනේ.

    මේ බිය කුමක් ද? එය වූ කලී, පරම අවසානයක් දැකීමට ඇති බියයි. පටන් ගත් සියල්ල අවසානයක් වීම ස්වභාවය වුවත්, මරණය නැමැති අවසානය ප්‍රශ්න කිරීමකින් තොරව බාර ගැනීමට කිසි මිනිසෙකු සූදානම් නැත. මන්ද යත්, එහි ස්වභාවය විසින්ම යම් පරම ගතියක් හෙවත් ආපසු හැරවිය නොහැකි සදාතන ගතියක් ඊට ආරෝපණය කෙරෙන බැවිනි. ඇත්ත වශයෙන් මිනිසුන් බිය වන්නේ ඒ අවසානයට වඩා ඒ අවසානය තුළ පෙනෙන්ට ඇති අර කී 'පරම' ස්වභාවයටයි. පූජ්‍ය පක්ෂය විසින් මිනිසා ඉදිරියේ ආගම අදාළ කරවන්නේ මෙතැන දීය. එම පරම ස්වභාවය ප්‍රායෝගික තලයේ දී පරාජය කළ නොහැකි මේ මිනිසාට, (මරණය වළක්වා ගත නොහැකි මේ මිනිසාට) අධ්‍යාත්මික ලෝකයක් හරහා එය සාපේක්ෂ ප්‍රපංචයක් බවට පත් කර දීමට ආගම ඉදිරිපත් වෙයි. අර මිනිසාට එය සහනයකි. ඒ අනුව, මරණයෙන් තමා සදහට අවසන් නොවන්නේය යන්න, එනම් මරණයෙන් පසුව පවා තමා නොනැසී පවතින්නේය යන්න තනි තනි පුද්ගලයා කෙරෙහි ඇති කරන්නේ සහනශීලී හැඟීමකි. නූතන මිනිස් සමාජය තුළ මේ මනෝ භාවයෙන් නිදහස් වන්නේ, නිර්-ආගමිකයා හැරුණු කොට, ආගම් කෝව තුළ තවම පුහුණු කර නැති ළදරුවාය. නිර්-ආගමිකයා මරණය පාරභෞතිකයක් බවට පත් නොකරයි. මරණය ඔහුගේ සතුටට හේතුවක් නොවුණ ද, එය සැබෑ නිමාවක් වශයෙන් අවංකව බාර ගැනීමට ඔහු සූදානම් ය. අනිත් අතට, ළදරුවා මරණය නොහඳුනයි. ඒ නිසා ඔවුන් දෙන්නාටම මේ කියන පරම අවසානය ආගමික අරුතකින් අදාළ නැත. ඒ හැරුණු කොට, ආගමික ආභාෂයකට යට වන අනිත් සෑම පුද්ගලයෙකුම මේ හැඟීමට ගොදුරු වෙයි. ජීවිත කාලයක් තුළ වඩාත් ආගමික වන්නේ කුමන වයස් කාණ්ඩයක පිරිසක් දැ යි පිරික්සීමෙන්, මරණය සමග ආගම දක්වන ඒ සමාජයීය සම්බන්ධතාව වටහා ගත හැක. ආගම කුමක් වුවත්, ඕනෑම රටක වඩාත් ආගමික වන්නේ, මහළු උදවිය වීම අහම්බයක් නොවේ.

    මරණයට වඩාත් ළංවන්නේ ඔහු බැවිනි. එසේම, ඕනෑම රටක අඩුවෙන්ම ආගමික වන්නේ තරුණ පිරිස වීම ද මේ අනුව අපට තේරුම් ගත හැක. එහි අදහස වන්නේ, මරණ බිය සෑම ආගමකම මූලික පදනම වන බවයි.

    Dimithry

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.