2010-06-27

භීතිය විකුණමුද? සහෝදරත්වයට මං පෙත් සොයමුද? | Prospect theory and selling fear

ඩැනියල් කැහ්නමන්
(2010 ජුනි 27, W3Lanka අජිත් පැරකුම් ජයසිංහ) 2002 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමි වූයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිසිදු පාඨමාලාවක් නොහැදෑරූ ඊශ්‍රායල් ජාතික මනෝ විද්‍යාඥයකු වන කැලිෆෝනියාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ගෞරව සහිතව විශ්‍රාම ලත් මහාචාර්ය ඩැනියල් කැහ්නමන්ටයි. ඒ ඔහු ඉදිරිපත් කළ 'ඉදිරි දර්ශන න්‍යාය' (prospect theory) වෙනුවෙනි. 'හැසිරීම පිළිබඳ අර්ථ ශාස්ත්‍රය' නම් නව ශික්ෂාවක මතු වීම ද සලකුණු කරන 1979දී පමණ කැහ්නමන් හා ඇමොස් ත්වර්ස්කි විසින් සංවර්ධනය කරන ලද මෙම නව න්‍යාය 'අපේක්ෂිත උයෝජ්‍යතා න්‍යායට' (expected utility theory) මනෝවිද්‍යාත්මක විකල්පයක් ලෙස සැලකිණි. අනතුරක් සහිත විකල්පයන් අතරින් එකක් පිළිබඳ තීරණයක් ගැනීමට තිබෙන මුල්‍ය තීරණ වැනි අවස්ථාවලදී මිනිසුන් තෝරාගැනීම කරන ආකාරය මෙම න්‍යාය මගින් විස්තර කෙරෙයි. ආනුභූතික සාක්ෂිවලින් පටන් ගෙන මෙම න්‍යාය විසින් පුද්ගලයන් විසින් විය හැකි හානි හා වාසි තක්සේරු කරනු ලබන ආකාරය විස්තර කරයි.


මෙම තීරණගැනීමේ ක්‍රියාවලිය සංස්කරණය හා ඇගයීම යන අදියර දෙකකින් යුක්ත බව න්‍යායෙන් පැවසෙයි. සංස්කරණයේදී තීරණයේ ප්‍රතිඵල ඇණවුම් කරනු ලබන්නේ යම් ආකාරයක අත්දැකීම් පදනම් කර ගත් විවරණයකින් පසුවයි. විශේෂයෙන්ම, මූලිකව වෙන් කර හඳුනාගත හැකි ප්‍රතිඵල තීරණය කරන අතර එය මතක තබාගෙන පහළ ප්‍රතිඵල හානි ලෙසද, ඉහළ ප්‍රතිඵල වාසි ලෙස ද සලකයි. මිනිසුන් හැසිරෙන්නේ අත්වියහැකි ප්‍රතිඵල හා එයින් ලැබිය හැකි දේ පදනම් කරගෙන වටිනාකමක් හෙවත්උපයෝගිතාවක් ගණනය කරන අයුරින් බවද, අනතුරුව ඔවුන් ඉහළ උපයෝගිතාවක් ඇති විකල්පය තෝරන බවද න්‍යායෙන් පැවසෙයි. පිළිගත් ආර්ථික තාර්කිකත්වය ඔස්සේ තේරුම් ගැනීමට බැරි අවස්ථා පැහැදිලි කිරීමට ආර්ථික විද්‍යාවේදී මෙම න්‍යාය උපකාරී වේ. වාසි, අවාසි සූදුවකදී සිදු විය හැකි ආකාරයෙන් පවතින විට, එම සූදුවෙන් වාසියක් විය හැකිද, පාඩුවක් විය හැකිද යන්න හා ඒ හා සම්බන්ධ වන වටිනාකමේ ප්‍රමාණය අනුව මිනිසුන් අනතුරු දරන්නේද ඒවා ප්‍රතික්ෂේප කරන්නේද යන්න තීරණය වන බව න්‍යායෙන් කියැවේ.


ආර්ථික විද්‍යාව, වානිජ්‍යය, කොටස් වෙළඳපළ වැනි කාරණා පිළිබඳ හොඳින් දන්නා අය පවා සක්විතිලා, දඬුවම් මුදලාලිලා හා කොතලාවලලාගේ ගැටවලට හසු වන්නේ ඇයිද වැනි කරුණු පැහැදිලි කරගැනීම සඳහා මෙම න්‍යාය මහෝපකාරී වෙයි.


'ඉදිරි දර්ශන න්‍යාය' පිළිබඳ මෙම සංකීර්ණ කරුණු කීපය ඉදිරිපත් කළේ වත්මන් සමාජයේ දක්නට ලැබෙන වැදගත් සංසිද්ධියක් කෙරෙහි අවධානය යොමු කිරීමටයි. ඒ වනාහි භීතියයි. මිනිසා නිරතුරුවම භීතියෙන් පෙළෙයි. විශේෂයෙන්ම වර්තමාන සමාජයේ බහුතරයක් මිනිස්සු විවිධ භීතිකාවන්ගෙන් පෙළෙති. හමේ පාට කළු වීමට බිය, කෙට්ටු වීමට හෝ තරබාරු වීමට බිය, කොණ්ඩය ඉදෙනවාට බිය, විභාග අසමත් වනවාට බිය, රැකියාවෙන් දොට්ට වැටේ යයි බිය, බස්වල බෝම්බ පිපිරෙතැයි බිය, අනාගතයේදී තම ජාතියට වඩා සෙසු ජාතීන් බලවත් වේ යයි බිය, ප්‍රභාකරන්ට වඩා දරුණු ත්‍රස්ත නායකයකු බිහි වෙතැයි බිය, බටහිර කුමන්ත්‍රණවලට බිය, ඉන්දියාව ලංකාව අල්ලා ගනිතැයි බිය, ලෝක විනාශයක් සිදු වෙතැයි බිය ආදී වශයෙන් මෙබඳු භීතිකාවන්ගේ අසම්පූර්ණ ලැයිස්තුවක් සාදාගත හැකිය. භීතියෙන් පෙළෙන මිනිසාට තාර්කික මිනිසා කරන අයුරින් මැදහත් සිතකින් යුතුව, තමන්ට ලබාගත හැකි සියළුම තොරතුරු භාවිතා කර හොඳ නරක මැනවින් කිරා බලා නිගමන වලට එලඹීමට නොහැකිය. මිනිසා තාර්කික ලෙස හැසිරෙන්නේය යන පදනමින් අර්ථ ශාස්ත්‍රඥයින් ගොඩනැඟූ න්‍යායන් සියල්ලේම පදනම බියෙන් පෙළෙන අතාර්කික මිනිසා ඉදිරියේ බිඳ වැටිණි. හැසිරීම පිළිබඳ අර්ථ ශාස්ත්‍රය පැන නඟින්නේ මෙකී බියෙන් පෙළෙන අතාර්කික මිනිසා තීරණ ගන්නා ආකාරය විග්‍රහ කිරීමටයි.


වෙළෙන්දන්, දේශපාලකයන්, ධර්ම ප්‍රචාරකයන්, වාමාංශිකයන්, සමාජ ක්‍රියාධරයන් වැනි බොහෝ අය මිනිසුන් අතර භීතිකාවන් නිර්මානය කරන අතර, ඒවා තම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා උපයෝගී කර ගනිති. ඒ සමගම ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය වැනි මානසික නිර්වින්දක මිනිසුන් අතර බෙදා දෙති. ඒවායින් තාර්කික මිනිසා නිද්‍රාවට පත් කර, බියපත් ආවේගශීලී මිනිසුන් බලමුළුගැන්වීම සඳහා සංවිධාන ගොඩනඟති. ලංකාවේ සමාජයට භීතිය විකිණූ ප්‍රධානම බලවේග දෙක වන්නේ සිංහල හා දෙමළ ජාතික අන්තවාදීහුය. මේ දෙපැත්තම අනෙක් ප්‍රජාවේ සියල්ලන් තම සතුරන් ලෙස සැලකීමට සමාජය පෙළඹවීය. සිංහලයන් කිසි දිනෙක තම දේශපාලන ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙනු ඇතිය යන කරුණ දෙමළ ජාතිවාදීන් විසින්ද, දෙමළ ජනයාට සුළු හෝ අවස්ථාවක් දුන්නොත් ඔවුන් රටෙන් පංගුවක් වෙන් කර ගනු ඇතැයි යන බිය සිංහල ජාතිවාදීන් විසින් ද අඛණ්ඩව පෝෂණය කරමින් තිබේ. මෙම දේශපාලන අදහස් ප්‍රචාරණ පද්ධති විසින් සමස්ත සමාජයේම අධ්‍යාපන, සන්නිවේදන ආදී ව්‍යූහයන් ගිල ගනු ලැබූ අතර එහි ප්‍රතිඵලය වන්නේ ජාතික අගතීන්ගෙන් තොරව තාර්කිකව සිතිය හැකි සමාජයන් වෙනුවට බියෙන් මුසපත්ව ආවේගශීලීව හැසිරෙන සමාජයන් මේ රට තුළ බිහි වීමයි. මෙම සමාජයන්ගේ ඇතැම් නායකයෝ පවා තමන් හසු වී සිටින විෂම චක්‍රය පිළිබඳ හාංකවිසියක් ‍නොදැන අවංකව ආවේගශීලීව හැසිරෙති. එහෙත් ඇතැමෙක් මේ සියල්ල කරන්නේ හොඳින් දැනුවත්ව, හිතා බලා සැලසුම් සහගතවයි. භීතියෙන් පැවැත්ම සාදාගත් අයට භීතිය නැති වීම දරාගත නොහැකිය. ඔවුහු නිර්මානශීලී අයුරින් භීතිය ප්‍රතිනිර්මානය කර පවත්වාගෙන යති.


මෙම භීති නාටකයේ එක් නූතන ජවනිකාවක් රඟදැක්වෙන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් රට බෙදෙනු ඇතැයිද, ඒ ඔස්සේ ප්‍රභාකරන්ට පණ එනු ඇතැයිද, බටහිර හා ඉන්දියාව ලංකාව ගිලිනු ඇතැයිද වෙව්ල වෙව්ලා කියමින් සමාජය බියවද්දන සිංහල අන්තවාදී බලවේගය විසිනි. අනෙක් ජවනිකාව සඳහා ඔවුන්ගේ සහාය නළුවෝ දැන් එතෙර සිට පරාජාතික ආණ්ඩුවක් නම් වූ වේදිකාවක් හදති. එකම නාට්‍යය විවිධ නළුවන් යොදා පෙන්වූවා දැන් ලංකාවට හොඳටම ඇතිය. අද අපට අවශ්‍ය වන්නේ එකිනෙකා සැක කරන්නැයි, බිය වන්නැයි මොර ගා කියන කටවලින් විසි වෙන කෙළ තැඹී නොව එකිනෙකා අතර සහෝදරත්වය හඳුනාගැනීම සඳහා ඇවැසි කඳුළුය.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2 comments:

  1. ජර්මනියේ ළඟදී පැවති "Angst"[බිය] නව මාධ්‍ය කලා උළෙලද මේ ගැන ගැඹුරින් සාකච්ඡා කෙරුණු තැනකි.......ඔබේ ලිපිය අගයමි...

    ReplyDelete
  2. ඔබ සිතන්නේ ආචාර්ය්‍ය උපාධි සියල්ල සාධාරණ ලබා දෙනවා කියලාද? ​එසේ නම් ලංකාවේ තේ වලට අත්වූ ඉරණම තොරතුරු තාක්ෂණයට ද අත් කර​දෙන මුදලාලි මැතිතුමාට ආචාර්ය්‍ය උපාධි දෙන්නේ කවුද? ඔහුගේ උපාධිය මෙවර ද හොර උපාධි හැට ගණනක් අලෙවි කර ඇත්තේ මේ ලංකාවේ දීමය. පෞද්ගලික විශ්ව විද්‍යාල නැතැයි කියන්නේ කවුද?

    උපාධි

    /*
    ආර්ථික විද්‍යාව, වානිජ්‍යය, කොටස් වෙළඳපළ වැනි කාරණා පිළිබඳ හොඳින් දන්නා අය පවා සක්විතිලා, දඬුවම් මුදලාලිලා හා කොතලාවලලාගේ ගැටවලට හසු වන්නේ ඇයිද වැනි කරුණු පැහැදිලි කරගැනීම සඳහා මෙම න්‍යාය මහෝපකාරී වෙයි.

    */

    ඔබ සිතන්නේ මේ උවදුරු අවසානයි කියා ද? තවමත් අහු​නොවුනු සක්විත්තෙක් (අඩු ගණනේ එකෙක්) යහමින් රගයි. ජිනා මැඩම් ගේ රැගුමද අවු 20ක් පැවති බව අමතක කල නොහැක.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.