2010-06-01

W3Lankaත් ඉන්දියාවට දෙනවාද? | Is W3Lanka also giving way to India?

සාම්පූර් අනාථයන්ගේ
වත්මන් ජීවිතය
(2010 ජුනි 01, W3Lanka)  නව සමසමාජ පක්ෂයේ නිල පුවත්පත වන හරය පසුගිය කලාපයේ ප්‍රධාන සිරස්තලය වූයේ 'මහින්ද ඉන්දියාවට දෙයි' යන්නයි. ඉන්දියාව අපව කන්න ඉන්න යකෙක්ද? යන මැයෙන් අප පළ කළ ලිපිය කියැවූ අපේ මිතුරකු අපෙන් ඇසුවේ අපත් ඉන්දියාවට දෙන්න යනවාද කියා ය.


මෙහිදී අපට අවශ්‍ය වූයේ වමේ ගතානුගතිකත්වයට අභියෝග කිරීමටයි. සමාජ ප්‍රගමනය සඳහා කරන අරගලයේදී පැතලි සටන් පාඨවලට වඩා වැදගත් වන්නේ යථාර්ථවාදී දැක්මකි. ගතානුගතික සටන් පාඨවලින් ඔබ්බට චලනය වීමට නොහැකි නම් වමට ද ඉදිරි ගමනක් නැත. අපගේ අදහස් දැක්වීමෙන් ඒ පිළිබඳ සංවාදයක් ඇති වීම පිළිබඳව සතුටු වෙමු.
එහෙයින් හොරට නිදා සිටින වාමාංශික පණ්ඩිතයන් ද සංවාදයට කුමන අයුරකින් හෝ සම්බන්ධ වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.


ඉන්දියාව පිළිබඳ බොහෝ වාමාංශිකයන්ට ඇති ඍන අදහස් සමග ගැටී ඉන්දියාව අපුල්ලා සුදු කිරීමට අපට උවමනාවක් ද හැකියාවක් ද නැත. ඇත්ත! රාමචන්ද්‍ර කියන හැටියට ම සාම්පූර්හි අනාථයන් කදවුරුවල සිටියදී ඔවුනගේ භූමිය ඉන්දීය සමාගම් විසින් පවරා ගැනීම ගැන කතාකිරීම "සංරක්ෂණවාදයක්" නෙමෙයි. ඉන්දියාවේ ව්‍යාප්තිවාදී හැසිරීම ගැන කතිකාවත ජවිපෙ ජාතිවාදයකට ම පමණක් ලඝු කරන්න බැරිය කියන කරුණටත් අපි එකඟයි. හැබැයි ඇටමැස්සා කියනවා වගේ ඉන්දියාව ලංකාවට තග දැමීමක් දැනට නම් මෙතැන නැහැ. දෙරටේ රාජ්‍ය පාලකයන් හරි ෂෝක් අවබෝධයක ඉන්නේ මේ වන විට. ඒ නිසා මේ ගැටුම රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක් තමයි. රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු කියන්නේ බල සම්බන්ධතා මිස මිතුරු ඇසුරක් නො‍වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.


ජාතික ආර්ථික සීමාවන් බොදවී යාම "යථාර්ථයක්" ලෙස පිළි ගන්නවා නම් නව ලිබරල්වාදයට වාමාංශිකයන් මෙතරම් විරුද්ධ වන්නෙ ඇයිදැයි රාමචන්ද්‍ර අසයි. ලෝක බැංකුවට, ජලය පෞද්ගලීකරණයට, සමාගම් ආධිපත්‍යයට එරෙහිව අධිරාජ්‍යවාදයක් ගැන වම කතා කරන්නේ ඇයි ද යන්න ඔහුගේ තවත් ප්‍රශ්නයකි.


ජාතික ආර්ථිකයන් ආරක්ෂා කර ගැනීම ජාතිකවාදීන්ගේ වැඩක් මිස සමාජවාදින්ගේ කාර්යයක් නොවේ. මෙතැන ඇති ප්‍රශ්නය නම් වම ලෙස අප අද හඳුනා ගන්නා දේශපාලනය ඇත්තෙන් ම වාම නැඹුරුවක් සහිත ජාතිකවාදයක් පමණක් වීමයි. කියුබාව වැනි සමාජවාදී රාජ්‍යයන්හිත් තිබෙන්නේ මේ ලක්ෂණයයි. මෙම කරුණ සමීර් අමීන්ගේ ලේඛනවල ද විග්‍රහ කර ඇත. .


ජාත්‍යන්තරවාදී වීම වම හමුවේ අද ඇති ප්‍රබල ම අභියෝගයයි. ගෝලීය ධනවාදයට එරෙහි වීම යනු ජාතිකවාදී අස්සයා පිට නැඟ ජාතික රාජ්‍යය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් සටන් කිරීම නොවේ.


සමාජවාදී සමාජයක් යනු සමාජ සංවර්ධනයේ දියුණු අවධියකි. ජාතිකවාදය, ධනවාදය වැනි ප්‍රපංචයන් සමග අරගල කිරීමේදී සමාජවාදීන් උපාය මාර්ග තෝරා ගත යුත්තේ ප්‍රගතිය අරමුණු කරගෙන මිස මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධ වීම සඳහා කුමක් හෝ පොටක් පාදා ගැනීම වැනි පටු පරමාර්ථ මත පදනම්ව නොවේ.


අප ගෝලීය ධනවාදයට එරෙහිව සටන් කළ යුත්තේ ගෝලීය ධනවාදය විසින් කපා දෙන ලද මාවත් ඔස්සේ ඉදිරියට යමින් ඔවුන්ගේ මර්මස්ථානවලට පහර දෙමින්  මිස පසුගාමී ජාතික රාජ්‍ය වනාන්තරවල කැළෑ සටන්වලට පසුබසිමින් නොවේ.


අපි ලාංකික ජාතියක් ගොඩනැඟීම පිළිබඳව කතා කරන්නේ ජාතිකවාදයෙන් දේශපාලනය අවසන් කිරීමට අදිටන් කරගෙන නොවේ. දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, වැදි ආදී සියලු සුළු ජාතීන්ගේ හා ප්‍රජාවන්ගේ අනන්‍යතාවන්ට ගරු කරන කාටත් පොදු ලාංකික ජාතියක් ගොඩනැඟීම යනු අපේ ජාත්‍යන්තරවාදයේ ආරම්භයයි.


මෙකී නිශ්චිත කාරණයේදී ගත්තත් ලංකාවේ සිංහල ස්වෝත්තමවාදී රාජ්‍යය යම් තරමක හෝ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණයකට හෝ ලක් කිරීමේ විභවය මේ මොහොතේ තිබෙන්නේ ඉන්දු-ලංකා සබඳතා තුළ පමණයි.


ලංකාවේ මතු වෙමින් පවතින ඉන්දීය විරෝධයේ මූලික ලක්ෂණ කීපයක් තිබෙනවා. දේශපාලනික වශයෙන් අනාථ වී සිටින ජවිපෙ බලා ඉන්නේ ඉන්දියාව ලංකාවේ ජාතික ප්‍රශ්නයට යෝජනා කරන විසඳුමකට විරෝධය පළ කරමින් නැවතත් සිංහල ජාතිවාදී පදනමකින් ජනතාව බලමුළුගන්වා ගැනීමටයි. ඉන්දියාව හා ලංකාව අතර විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුමෙන් පාඩු ලබන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අතර පදනම් ගොඩනඟා ගැනීමට ජවිපෙ උත්සාහ කරනවා. ඒ ඔවුන්ගේ සුපුරුදු සුළු ධනේශ්වර වන්දනාවේ හා පැවැත්ම හා සම්බන්ධ ආර්ථික උපායමාර්ගයේ කොටසක් ලෙසයි. එහෙත්, මේ ව්‍යාපාරිකයන් අතරින් දක්ෂ කොටස නව තත්වයට හැඩ ගැසෙනවා මිස ජවිපෙ සමග දිගුකාලීනව දීග කන්න එන්නේ නැහැ. 


පසුගිය සතියේ ඉන්දීය ජනාධිපති ප්‍රතිභා පාටෙල් චිනයේ චාරිකා කළා. මේ දෙරට ම උත්සාහ කරන්නේ දෙරට අතර ගැටුම හැකි තරම් දුරට රාජ්‍ය තාන්ත්‍රිකව කළමනාකරණය කර ගන්නයි. එහෙත්, ඒ අතර ම ඉන්දියාවට විරුද්ධ වන අයට චීන යුආන් සල්ලි ටිකක් අත යටින් ලැබෙන්නත් පුළුවන්. 


කුමන හෝ අන්දමකින් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මාන බලමින් සිටින එක්සත් ජාතික පක්ෂයේ ග්‍රාම්‍ය කොටස් ද, නූතන මහින්දාගමනය හේතුවෙන් දේශපාලනිකව අනාථ වී සිටින ‍නලින් ද සිල්වා හා ගුණදාස අමරසේකර යන ශාස්තෘවරුන්ගේ සිංහල බුද්ධාගමේ බැතිමත්තු ද මෙම ඉන්දීය විරෝධයේ එල්ලීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. 


ඉන්දියානු ආධිපත්‍යවාදයට එරෙහිව සටන් කරන විට ඉහත සඳහන් කරන කාරණාත් සලකා බැලුවේ නැතිනම් සිදු වන්නේ එක්කෝ ජවිපෙට තව පරම්පරාවක් ඉන්දියාවට එරෙහි ව්‍යාජ සටනකට පටලවා විනාශ කිරීමට ඉඩ දීම හෝ කුමක් හෝ මගකින් මහින්ද පන්නා එජාප ආණ්ඩුවක් බලයට පත් කර ගැනීමට බලා සිටින පිරිස්වලට අවස්ථාව උදා කර දීම පමණයි.

2 comments:

  1. go head we will be with you!!

    ReplyDelete
  2. Yes....we should not against just because of name sake. We should appreciate crucial support of INDIA to trash the LTTE. So the ball in MR's court to play defensively.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.