2010-08-03

බලවත් රාජ්‍යවල අකටයුතුකම්වලින් දුබල රාජ්‍යවලට ගැලවිය හැක්කේ අකටයුතුකම් කිරීම සඳහා බලවත් රාජ්‍යවලට ඇති නිදහස තමන්ට ද ඉල්ලා සිටීමෙන් නොවේ

(2010 අගෝස්තු 02, W3Lanka) ලංකාවේ ජනමාධ්‍ය විසින් කරනු ලබන අදහස් ගොඩනැංවීමේ ක‍්‍රියාවලිය හේතුවෙන් බොහෝ ලාංකිකයන් වර්තමානයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය දකින්නේ තම රටේ ස්වෛරීත්වයට බාධා පමුණුවන ආක‍්‍රමණියකු ලෙසයි. පවත්නා ධනවාදී ලෝක දේශපාලන රාමුව තුළ දියුණු හා බලවත් රටවල් ආධිපත්‍යය හොබවන බව ඇත්තකි. එහෙත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු වර්තමාන ලෝක පද්ධතිය තුළ අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන ආයතනයකි. විශේෂයෙන් ම ප‍්‍රවාහනයේ හා සන්නිවේදනයේ දියුණුවත් සමග මිනිස් සංචලනය හා අන්තර් ක‍්‍රියාකාරිත්වය වර්ධනය වෙමින් පවතින නුතන යුගයේදී ජාතික රාජ්‍ය සීමා හා ජාත්‍යන්තර සම්බන්ධතා අතර තුලනය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන සම්බන්ධීකරණ ව්‍යූහය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. 


එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වන්නේ මෙම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා වූ දීර්ඝ ක්‍රියාවලියක ප්‍රතිඵලය ලෙසයි. අර්බුද සාමකාමී ලෙස සමථයකට පත් කිරීම, යුද්ධ වැලැක්වීම සහ සංග‍්‍රාම නීති සංග‍්‍රහකරණය සඳහා වන විධික‍්‍රම විස්තර කොට දැක්වීම පිණිස වූ ලොව ප‍්‍රථම අන්තර් ජාතික සාම සමුළුව 1899 දී හේග් නගරයේදී පවත්වන ලදී. එහිදී අන්තර්ජාතික ආරවුල් සාමකාමී ලෙස සමථයකට පත් කිරීම පිළිබඳ සම්මුතිය සම්මත කොට ගත් එය 1902 දී ක‍්‍රියාත්මක වූ ස්ථාවර බේරුම් උසාවිය ස්ථාපනය කළේය.


එක්සත් ජාතීන්ගේ පෙර ගමන්කරු වූයේ ජාතීන්ගේ සංගමයයි. එහෙත් එම සංවිධානය ප‍්‍රථම ලෝක යුද්ධය වළක්වා ලීමට අසමත් වීමත් සමගම ජාතීන්ගේ සංගමයේ ක‍්‍රියාකාරීත්වය ද අවසන් විය. 


එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය සම්පාදනය කරනු ලැබුවේ රටවල් 50 ක නියෝජිතයන් විසින් 1945 දී සැන් ෆ‍්‍රැන්සිස්කෝහි පවත්වන ලද සමුළුවකදී ය. 1945 ජුනි 26 වැනිදා එම රටවල් පනහේ නියෝජිතයෝ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට අත්සන් තැබූහ. සමුළුවට සහභාගී නො වූ පෝලන්තය පසුව ඊට අත්සන් තැබීමෙන් පසු ආරම්භක සාමාජික රාජ්‍යයන් 51කින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇරඹිණි. 


එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ සඳහන් වන අන්දමට එහි අරමුණු මෙසේ ය.


1.ජාත්‍යන්තර වශයෙන් සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ක‍්‍රියාකාරීත්වය සහතික කිරීමේ පියවර ගැනීම හා සාමයට ඇති තර්ජන ඉවත් කිරීම.
2.ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික , සාමාජීය, සංස්කෘතික, මානුෂීය ගැටළු විසඳීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම.
3.පොදු අයිතිවාසිකම් පදනම් කරගෙන ජාතීන් අතර හොඳ හිත වර්ධනය කර ගැනීම.
4.ඉහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සංයෝජනය කර ගැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කිරීම.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලධර්ම මෙසේ විග‍්‍රහ කර ඇත.


1.සියළුම සාමාජික ජාතීන්ගේ ස්වාධිපති අයිතිය මත මේ සංවිධානය බිහි වී ඇත.
2.සාමාජික රටවල් සියල්ල ප‍්‍රඥප්තියෙන් තමා වෙත පැවරී ඇති වගකීම් ඉටු කළ යුතු ය.
3.එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳී නැති රටවල් පවා මෙම සංවිධානයේ මූලධර්මවලට අනුකූලව කටයුතු කරවා ගැනීම.
4.සාමාජික රටවල් අන්‍යෝන්‍ය වශයෙන් තමන් අතර වන ගැටළු සාමකාමීව විසඳාගත යුතු ය.
5.සාමාජික රටවල් තමන්ගේ ජාත්‍යන්තර ක‍්‍රියාවලිය තුළ යම් රටක භෞමික අඛණ්ඩතාවයට එරෙහිව තර්ජනයක්ව කටයුතු කිරීමෙන් වැලකී සිටීම.
6.සියළුම සාමාජිකයින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රඥප්තියට අනුකූලව ගන්නා තීරණවලට සහයෝගය දිය යුතු ය.
7.එක්සත් ජාතීන්ගේ සංවිධානය රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වැලකී සිටීම.


ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත්තේ මෙම අරමුණු හා මූලධර්මවලට එකග වෙමිනි. මෙම අරමුණු හා මූලධර්ම විසින් ජාතික රාජ්‍යයන්ගේ ස්වෛරීත්වය නැවත අර්ථකථනය කර තිබේ. එබැවින් කිසියම් රටකට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී හෝ තව දුරටත් පරම ස්වෛරීත්වයක් අපේක්ෂා කළ නො හැකි ය. 


අන්තර්ජාතික ගිවිසුමක් වන එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මතාවෙන් පටන් ගෙන අන්තර්ජාතික සබඳතාවලදී බලය යෙදවීම තහනම් කිරීම දක්වා විහිදෙන අන්තර්ජාතික සබඳතා පිළිබඳ ප‍්‍රධාන මූලධර්ම සංග‍්‍රහ කරයි.


1955 දෙසැම්බර් 14 වැනිදා එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගැනිමෙන් පසු ලංකාව හා එක්සත් ජාතීන් අතර සබඳතා වර්ධනය විය. දැනට එක්සත් ජාතීන්ට අයත් සංවිධාන 11ක් කාර්යාල සහිතව ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මකව පවතී. එක්සත් ජාතීන්ගේ ආයතන පද්ධතිය ලංකාවට මුල්‍ය හා තාක්ෂණික ආධාර සපයන වැදගත් මුලාශ‍්‍රයකි. ඇතැම් ආයතන ආර්ථික වෘද්ධිය සඳහා ණය සහ ප‍්‍රදාන සපයන අතර සෙසු ආයතන සමගි සන්ධානය, ප‍්‍රතිසම්පාදනය, යළි පදිංචි කිරිම, මානව අයිතිවාසිකම් හා යහ පාලනය, දිළිඳුකම පිටු දැකිම, ළමා සංවර්ධනය, කෘෂිකර්මය, සෞඛ්‍ය, ආපදා ණය, තොරතුරු තාක්ෂණය සහ විශේෂඥ හා තාක්ෂණික දැනුම වැනි සේවා සලසයි.


එක්සත් ජාතීන්ගේ ක‍්‍රමය විසින් සංවර්ධනය වන රටවලට වාර්ෂිකව සැපයෙන ණය හා ප‍්‍රදාන අගය ඩොලර් බිලියන 10 ඉක්මවයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සාමාජික රටවල සහ එක්සත් ජාතීන්ගේ සෙසු ආයතන සමග සහයෝගයෙන් 5000කට වැඩි ව්‍යාපෘතිවලට ආධාර කරයි.


ලංකාව එක්සත් ජාතීන් විසින් සපයනු ලබන මෙම ආධාරවලින් මහත් ඵල ප‍්‍රයෝජන ලබා ගත් රටකි. එවන් පසුබිමක් තුළ එක්සත් ජාතීන් සිය ප‍්‍රඥප්තියට අනුකූලව කරන මැදිහත් වීම් ප‍්‍රතික්ෂේප කිරීමේ සදාචාරමය පදනමක් ලංකාවට නැත. එක්සත් ජාතීන්ගේ අරමුදලට මුදල් ගෙවනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයෝ ය. ඊට වෙනත් ආදායම් මාර්ගයක් නැත. ගෙවන මුදල් ප‍්‍රමාණය සාමාජික රටක ගෙවිමේ හැකියාව, ජාතික ආදායම සහ ජනගහනය මත පදනම්ව ඇත. වැඩිම මුදල් ප‍්‍රමාණයක් ගෙවන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. 


එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු ක‍්‍රමවේද අනුව, ලංකාව 2010-2011 ද්විවාර්ෂික කාලය සඳහා එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී ප‍්‍රාග්ධන අරමුදලට ගෙවිය යුතු මුදල ඩොලර් 28,500ක් පමණි. ඇමරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 33ක් ගෙවයි. බී‍්‍රතාන්‍යය ඩොලර් මිලියන 10ක් පමණ ද ගෙවයි. එක්සත් ජාතින්ගේ ස්ථාවර අරමුදලට ලංකාව මෙම කාලය තුළදී ඩොලර් ලක්ෂ හතරකට මඳක් වැඩියෙන් ගෙවිය යුතු අතර එක්සත් ජනපදය ඩොලර් මිලියන 517කට වැඩි මුදලක් ද බි‍්‍රතාන්‍යය ඩොලර් මිලියන 140ක් පමණ ද ගෙවිය යුතු ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බල ව්‍යූහය හැඩගැසෙන්නේ මෙකී කාරණා ද පදනම් කරගෙන බව වටහා ගත යුතු ය. 


එක්සත් ජාතීන්ගේ සංවිධානය පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බල ව්‍යූහයක් නො වන බව ඉතා පැහැදිලි ය. ලෝක ජනගහණයෙන් 40%ක් තවමත් නාමික වශයෙන් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නො වන ඒකාධිපති පාලනයන් තුළ ජීවත් වන සංදර්භයක් තුළ එක්සත් ජාතීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කතිකාව ද සීමා වේ. 


කෙසේ වෙතත්, සෑම මනුෂ්‍යයකුටම තිබිය යුතු අයිතිවාසිකම් කවරේදැයි සඳහන් 1948 දෙසැම්බර් 10 දින සම්මත කරන ලද විශ්ව මානව හිමිකම් ප‍්‍රකාශනය ලංකාව ද පිළිගෙන තිබේ. එක්සත් ජාතීන් මානව හිමිකම් ප‍්‍රවර්ධනයට ආණ්ඩුවලට බලපැම් කරන්නේ මේ මත පදනම්ව ය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශයේ 60 වන සංවත්සරය වෙනුවෙන් 2008 දෙසැම්බර් 10දා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරන ලද පණිවිඩය ම එහි වැදගත්කම පිළිබඳ සාක්කියකි. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේ ය:


‘‘මීට වසර හැටකට ඉහත දී අද වැනි දිනක එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය අනුමත කර ප‍්‍රකාශයට පත් කරන ලදී. එමගින් ලෝකයේ නිදහස නීතිය හා සාමය සඳහා අඩිතාලම වන්නේ මානව පවුලේ සියළුම සාමාජිකයන්ගේ සමාන හා අහිමි කළ නොහැකි අභිමානය හා සමාන හා අහිමි කළ නොහැකි අයිතිවාසිකම් බව පිළිගනු ලැබීය.


‘‘පසුගිය දශක හය තුලදී අධිරාජ්‍යවාදී යුගයේ අවසානයේ දී එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ව්‍යාප්තවීමත් සමග මෙම ප‍්‍රකාශනය මිනිස් සංහතියේ හෘද සාක්ෂියට එරෙහි වන මිනිස් අයිතිවාසිකම් වලට පිළිකුල දක්වන හා ම්ලේච්ඡ ක‍්‍රියාවලින් ඈත් වන මිනිස් වර්ගයාගේ දියුණුව මනින උරගල විය.


‘‘අද දින මිනිස් සමාජය මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ ඉලක්ක සියල්ල කරා ළඟා වෙත්ම එය ප‍්‍රකාශයට පත් කරන අවස්ථාවේ දී නොදුටු අන්දමින් ලෝකය විශාල තර්ජනයකට මුහුණ පා සිටී. එම තර්ජනය වන්නේ ජනතාව කථා කිරීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ හා බියෙන් සැකෙන් හා අගහිඟකම් වලින් තොර නිදහස බුක්ති විඳින බව තහවුරු කිරීම පිළිබඳවයි.


‘‘බොහෝ රටවල් දැන් ඔවුන්ගේ සමාජ අත්තිවාරම් කෙරෙහි එල්ල වන ප‍්‍රහාර වලට මෙන්ම වසර ගණනක් තිස්සේ පෝෂණය කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන්ට ජනතාව අගය කරන නිදහසට අභියෝගයක් එල්ල වන සහ ස්වෛරී රාජ්‍යයන් පිහිටුවා ඇති මූලධර්ම උල්ලංඝනය කරන තර්ජනයන්ට මුහුණ පාමින් සිටිති.


‘‘පසුගිය දශකයකට වැඩි කාලයක් තිස්සේ දක්නට ලැබුණු සිද්ධීන් අනුව අද සමාජය කෲර ත‍්‍රස්තවාදයේ අභියෝගයට මුහුණ පා සිටී. මෙම ත‍්‍රස්තවාදය විශාල මෙන්ම කුඩා රට වලට ම්ලේච්ඡු ප‍්‍රහාර එල්ල කර ලෝකයේ ප‍්‍රධාන නගර වල මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශ වල මහාමාර්ග වල ගුවනේ සහ මුහුදේ සහ ආගමික හා සංචාරක ස්ථාන හා මිනිස් වර්ගයාගේ ඓතිහාසික නිධාන වල සිදු කරන මිනිස් ඝාතන තුලින් ජනතාව අතර බිය සන්ත‍්‍රාසය හා සැකය පතුරුවා තිබේ.


‘‘අපි මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ හැට වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේ දී ඉතා ප‍්‍රබලතම අවශ්‍යතාව වන්නේ මෙම ප‍්‍රකාශනයේ සඳහන් වටිනාකම් උල්ලංඝනය කරන්නා වූ ත‍්‍රස්තවාද තර්ජනය මුලිනුපුටා දැමීම සඳහා සියළු රටවල් සාමූහික ප‍්‍රයත්නය දැරීමයි. මානව වර්ගයාගේ නිදහස හා අභිමානයට ගරු කරන සමාජයේ පැවැත්මට තර්ජනයක් වී ඇති මෙම පොදු සතුරාගේ සැබෑ මුහුණු සියළු රටවල් විසින් දැකීමට සුදුසු කාලය දැන් එළඹ තිබේ.


‘‘ශ‍්‍රී ලංකාවේ අපි සැවොම ද ශිෂ්ට සමාජයේ පැවැත්මට එල්ල වූ බිහිසුණුම තර්ජනය වන සියලූම වර්ගයේ ත‍්‍රස්තවාදය තුරන් කිරීමට අවශ්‍යතාව ද දක්වන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ ප‍්‍රකාශිත සියළුම වටිනාකම් හා ඉලක්ක සපුරාලීමට ඇප කැප වෙමු.’’


ලංකාව හමුවේ දැන් පවතින අභියෝගය මෙම කැපවීම ප‍්‍රදර්ශනය කිරීමයි. 


1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදය මූලික අයිතිවාසිකම් 
සම්බන්ධයෙන් ය. 


මෙකී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළි ගන්නා හෝ නො ගන්නා හෝ එහෙත් ශ‍්‍රි ලංකා රාජ්‍යයේ බලාධිපත්‍යයට යටත් වන්නා වු සියලූ පුරවැසියන්ගේ මානව හිමිකම් එමගින් තහවුරු කර තිබේ. නිදසුනක් ලෙස එහි වගන්ති කීපයක් මෙසේ ය. 


11වන ව්‍යවස්ථාව
වධහිංසා වලින් නිදහස (කිසිම තැනැත්තකු වධහිංසා වලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය)


12 වන ව්‍යවස්ථාව
(1) සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම (නීතිය පසිදලීම සහ ක‍්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය.)


(2) කිසිම පුරවැසියකු වර්ගය,ආගම,භාෂාව,කුලය,ස්ත‍්‍රී පුරුෂ භේදය,දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය.


13 වන ව්‍යවස්ථාව
අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඩුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම
(1) නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේය.යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මතද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේය.


(2) අත් අඩංගුවෙහි තබා ගනු ලැබූ හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ සෑම තැනැත්තකුම නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටිය අනුව ආසන්නතම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු අතර,නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව ඒ විනිශ්චයකාරවරයා විසින් කරනු ලැබූ ආඥාව/ලැබූ ආඥාව /මත සහ ආඥාව ප‍්‍රකාර මිස, ඒ තැනැත්තා තවදුරටත් අත්අඩංගුවෙහි තබා ගැනීම හෝ රදවා තබා ගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම හෝ නොකළ යුත්තේය.
මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප‍්‍රකාශනයේ පූර්විකාවේ මෙසේ සඳහන් වේ. 


ලෝකයේ පවත්නා නිදහස, යුක්තිය සහ සාමය යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලූ දෙනාගේම සහජ ගරුත්වය හා අන්සතු කළ නොහැකි වූ සම අයිතිවාසිකම් පිළිගැනීම වන හෙයින්ද, මානව අයිතිවාසිකම් නොතැකීමේ හා අවඥාවට ලක්කිරිමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මිනිස් වර්ගයාගේ හෘද සාක්ෂිය සාහසික පීඩනයට භාජනය කෙරෙන මිලේච්ඡ කෲරකම් සිදු වී ඇති හෙයින් ද, 


මිනිස් වර්ගයාට අදහස් ප‍්‍රකාශකිරීමේ හා විශ්වාසය ඇදහිලි දැරීමේ නිදහසත්, බියෙන් හා අගහිඟකමින් තොරවිමේ නිදහසත්, භුක්ති විදීමට හැකි ප‍්‍රජාවක් ඇරඹීම පොදු ජනතාවගේ ශ්‍රේෂ්ඨතම අපේක්ෂාව ලෙස ප‍්‍රකාශයට පත්වී ඇති හෙයින්ද,


දුෂ්ඨ පාලනයන්ට හා පරිපීඩනයන්ට විරුද්ධව අන්තිම ක්‍‍්‍රියාමාර්ගයක් වශයෙන් කැරලි කෝලාහල ඇති කිරීමට මිනිසා පෙළඔවීම වැලැක්වීමට නම් නීති මගින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කරදීම අත්‍යාවශ්‍ය වන හෙයින්ද,


ජාතීන් අතර මිත‍්‍ර සම්බන්ධතා තවදුරටත් වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය වන හෙයින්ද,


මූලික අයිතිවාසිකම් කෙරහිත්, මිනිසාගේ ගරුත්වය හා අගය කෙරෙහිත්, ස්ති‍්‍ර‍්‍ර පුරුෂ දෙපක්ෂයේ සමාන අයිතිවාසිකම් කෙරෙහිත් තම විශ්වාසය හා භක්තිය එක්සත් ජාතීන්ගේ සාමාජික ජාතීන් විසින් ප‍්‍රඥප්තියෙහි ස්ථිර ලෙස නැවත පිළිගෙන ඇති හෙයින්ද සමාජ ප‍්‍රගතිය හා වඩා යහපත් ජීවන තත්වයක් වඩා පුළුල් ලෙස වර්ධනය කිරීමට අධිෂ්ඨාන කර ඇති හෙයින්ද,


මානව අයිතිවාසිකම් හා මූලික ස්වාධීනත්වයන් කෙරෙහි විශ්ව ගරුත්වයත් ඒවා රැකදීමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගීත්වය වර්ධනය කිරීමට සාමාජික රාජ්‍ය ප‍්‍රතිඥ දී ඇති හෙයින්ද,
ඒ ප‍්‍රතිඥව පරිපූර්ණව සාක්ෂාත්කර ගැනීම සදහා මෙම අයිතිවාසිකම් හා ස්වාධීනතා පිළිබදව පොදු අවබෝධය ලබා ගැනීම අතිශයින් වැදගත්වන හෙයින්ද,


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මෙසේ ප‍්‍රකාශකොට සිටියි.


මානව අයිතිවාසිකම් පිළිබද මෙම විශ්ව ප‍්‍රකාශනය, සෑම පුද්ගලයෙකු හා සංවිධානයක් විසින් නිරන්තරයෙන්ම සිහිපත් කෙරෙමින් සකල ජනතාවට හා සියලූ ජාතීන්ට සාක්ෂාත් කරගත යුතු පොදු තත්ත්වයක් වශයෙන් අධ්‍යාපනයෙන් සහ අධ්‍යයනයෙන් මෙම අයිතිවාසිකම් හා ස්වාධීනත්වයන් ගරු කළ යුතු යයිද, ජාතික වූත්, ජාත්‍යන්තරවූත්, ප‍්‍රගතිශීලී විධිවිධාන මගින් මේ හිම්කම් සාමාජික රටවල මෙන්ම ඒවායේ බලයට අවනත සෙසු රටවල ජනතාව අතරද අගය කිරීමට සැලැස්වීමෙන් ලෝකය මුළුල්ලේම ඒ පිළිබද ගරුත්වය හා කි‍්‍රයාකාරීත්වය සැලසිය යුතු යැයිද ප‍්‍රකාශ කර සිටියි.


මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ 10 වන වගන්තිය මෙසේ ය:


තමන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව හෝ තමන්ට විරුද්ධව යම් අපරාධ චෝදනාවක් පිළිබඳව හෝ නිශ්චය කිරීම සඳහා සාධාරණවූත් විවෘතවූත් ස්වාධීන අපක්ෂපාතී නඩු විභාගයකට සෑම තැනැත්තෙකුටම පූර්ණ සමානත්වයෙන් යුක්තව හිමිකම් ලබයි.


වර්තමාන ලෝකයේ සියලූ රාජ්‍ය පාලකයෝ මේ පිළිගැනීම්වලට ගරු කළ යුතු වෙති. එහෙත්, මෙහිදී ද ලොකු මාළු දැල කඩාගෙන යති. බලවත් රාජ්‍යවල අකටයුතුකම්වලින් දුබල රාජ්‍ය නිරතුරුවම පීඩනයට ලක් වේ. දුබල රාජ්‍යයන්ට මේ තත්වය වෙනස් කළ හැකි වන්නේ අකටයුතුකම් කිරීම සඳහා බලවත් රාජ්‍යවලට ඇති නිදහස තමන්ට ද ඉල්ලා සිටීමෙන් නොවේ. බලවත් රාජ්‍යයන්ට ආචාර ධාර්මික වීම සඳහා බල කිරීමට එක්සත් වීමෙනි.


ලෝකයේ දියුණු රාජ්‍යවල රාජ්‍ය නායකයන් කෙසේ වෙතත්, පුරවැසියන් අතර නම් ප්‍රජාතන්ත්‍රවාදයට, මානව හිමිකම්වලට හා නිදහසට ගරුත්වයක් ඇත. දිළිඳු රටවල ජනතාව විසින් කළ යුතුව තිබෙන්නේ සාමය , සාධාරණත්වය අගයන ලෝක ජනතාව සමග සබඳතා ගොඩනඟා ගනිමින් පොදු අරගලයක් දියත් කිරීමයි. නො එසේව, ගෝලීය ධනවාදය සමග දීග කමින් කරන ලද ජන මර්දනයන්වලදී සිදු වූ සීමාව ඉක්මවා යාම් හමුවේ ලෝකාපවාදයට ලක් වි සිටින පාලකයන් සමග එක්ව එක්සත් ජාතීන්ට විරුද්ධව යකුන් නැටවීම නොවේ. 


ලොව මීළඟ සමාජ ක්‍රමය බිහි වන්නේ ජාතිකවාදයේත් ජාතික රාජ්‍යයන්ගේත් මිනී වල අසලිනි. එක්සත් ජාතීන් යනු නුතන යුගයේදී ජාතික රාජ්‍යයන් හා ජාත්‍යන්තර සබඳතා අතර තුලනය පවත්වාගෙන යන අත්‍යවශ්‍ය ව්‍යූහයකි. එහි අසංඛ්‍යයක් සීමාකම් තිබේ. අප අරගල කළ යුත්තේ ඒවා අතික්‍රමණය කිරීම පිණිස මිස එක්සත් ජාතීන් පිටුදැක ජාතික රාජ්‍යයන්ගේ ශරීර ශක්තියට මූලිකත්වය දෙන ලෝකයක් හැදීමට නොවේ. එවන් ලෝකයක ලංකාව වැනි දිළිඳු රටකට අත් වනු ඇත්තේ මුහුදේ හාල්මැස්සන්ට අත් වන ඉරණමයි.  


Bookmark and Share  
You may also like to read our English blog  Lanka Polity

1 comment:

  1. eksath jaathinge adhara walin lankaawatath wadaa W3L walata yahapathak vena bavayi meka kiyewwama mata hithune.

    balavath ratak kalath dubala ratak kalath yudde kiyanne yudde. eka athulata giyata passe kaatath karanna wenne ekama vidihata. Nathnam kelawara wenne thaman padradila.

    lankawe democracy ha HR nati vena eka dan anumatha karanna be. Eth yudee sidu una kaala wala e sambanda siddi inevitable kiyalayi mata hithenne. Ovata americava kiyanne "colateral damage" kiyala. Api ivara kale colateral damage ithama adu yuddayak.

    me lipiya kisiyam yati adahasak matha [UN funds venuven?] liyuu kisima therumak nathi buru kathaavak bavayi mage adahasa.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.