2010-08-15

ලෝකයට මනා ධීවර සම්පත් කළමනාකරණයක් අවශ්‍ය ඇයි

(2010 අගෝස්තු 15, W3Lanka1950දී ලෝකයේ ධීවරයන් ඇල්ලූ මුළු මාළු ප්‍රමාණය ටොන් 18 මිලියනයක්. ඒත් එය 2000 වන විට ටොන් මිලියන 94ක් දක්වා වැඩි වුණා. එතැන් සිට වාර්ෂිකව අල්ලනු ලබන මාළු ප්‍රමාණය වැඩි නොවී එකම මට්ටමක පවතිනවා. සමහරු කියනවා අඩු වෙමින් පවතිනවා කියාත්.


1950 සිට මේ දක්වා කාලය තුළ ලෝකයේ විශාල මාංසභක්ෂක මසුන් සංඛ්‍යාව 90%කින් පහත වැටිලා. ලෝකයේ මත්ස්‍ය බිම්වලින් හතරෙන් පංගුවක් විතර අධික සූරාකෑමට ලක් වෙලා. මෙයට ප්‍රධාන හේතුව තමයි, පතුල් මාදැල් කිරීම (bottom trawling) වැනි විනාශකාරී ධීවර ක්‍රම. ඒවායින් මුහුදු පරිසර පද්ධති එහැම පිටින්ම විනාශ වෙනවා. ඒවා නිසා ලොව සමස්ත ධීවර නිෂ්පාදනයෙන් හතරෙන් පංගුවක් විතර මියැදෙනවා. නැතිනම්, අතුරු අස්වනු විදියට බෝට්ටුවලට පැටවෙනවා.


සාගර සම්පත් මෙසේ අධික සූරාකෑමට ලක් වී විනාශ මුඛයට පත් වී තිබියදීත් ලෝකයේ රජයන් කළේ වානිජ ධීවර කර්මාන්තයට තව තවත් සහනාධාර දීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සූරාකෑම තවත් වැඩි වී කෝටි ගණනක් යැපුම් ධීවරයන්ගේ බඩට පහර වැදුණා. ඒ විතරක් නෙමෙයි, කෝටි 95ක් ලෝක ජනතාවගේ මූලික ප්‍රෝටීන් ප්‍රභවය වන මාළු නිෂ්පාදනයේත් ගැටළු ඇති වුණා.


අද තත්වය වෙනස්. දැන් ලොව විශාලතම පරිසර කණ්ඩායම් පවා සංරක්ෂණ ධීවර කළමනාකරණය ගැන අවධානය යොමු කරලා. වානිජ ධීවර කර්මාන්තයේ තත්වයේ ලොකු වෙනසක් ඇති නොවුණාට, සාගර සම්පත් රැකගන්නත්, කොල්ලකාරී ධීවර ක්‍රම පිටුදකින්නත් අද රජයන්ට විශාල බලපෑමක් තිබෙනවා.


එහෙත්, මෙහිදී ලෝකයේ රජයන් හැසිරෙන ආකාරය කුහකයි. අප්‍රිකානු අලින් රැකගන්න, ඇත්දළ වෙළඳාම තහනම් කරන්න සූදානම් රටවල් පවා අනතුරට ලක් වී සිටින නිල් වරල් බලයා (blue fin tuna) කෙරෙහි එම අනුකම්පාව දක්වන්නේ නැහැ. එයට හේතුව තමයි සාගර ජීවීන්ට මහා පරිමාණයෙන් ගහණය අඩු වීමේ තත්වයන්ට මුහුණ දී, යළි යථා තත්වයට පත් වීමට තිබෙන හැකියාව. ඒත්, කිසියම් සාගර ජීවී විශේෂයක ගහණය, අධික මාළු ඇල්ලීම මගින්, එහි ස්වභාවික ගහණයෙන් 10%ටත් වඩා අවම කිරීම මෙමගින් සාධාරණීකරණය කරන්න බැරි බවයි, පරිසරවේදීන් කියන්නේ.


ලෝකයේ නිල් තල්මසුන්ට අත් වූ ඉරණම මෙහිදී අත්දැකීමට ගත හැකියි. අධික ලෙස දඩයම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නිල් තල්මසාගේ පැවැත්ම යළි ප්‍රකෘතිමත් කළ නොහැකි මට්ටමට අනතුරට ලක් වුණා.


වානිජ මට්ටමේ සත්ව දඩයම අද වන විට මුළු ලෝකයම විසින් පිටු දැක හමාරයි. ඒත් එය සාගරයේදී ජයටම කෙරෙනවා. එය හැඳින්වෙන්නේ වානිජ ධීවර කර්මාන්තය ලෙසයි. එය ධීවර සම්පත් සංරක්ෂණයට බරපතල බාධකයක් වී හමාරයි.


ගොඩබිම දඩයක්කාරයන් වගේ නොවෙයි, වානිජ ධීවර කර්මාන්තය ඉතා ප්‍රබලයි. රජයන්ට හා ජාත්‍යන්තර සංවිධානවලට බලපෑම් කිරීමේ සුවිසල් හැකියාවක් ඔවුන්ට තිබෙනවා.


අපි නොඇල්ලුවත්, වෙන කවුරුන් හෝ මේ මාළුන් අල්ලනවායි කියන ආකල්පය ධීවර කර්මාන්තය තුළ සුලබයි. ඉතින් අපි පිස්සුවෙන් වගේ මාළුන් පසුපස හඹා යනවා. අවසානයේදී වන දේට උදාහරණයක් කැලිෆෝනියා වෙරළෙන් දකින්න ලැබුණා. එක් කාලයකදී අධික බෝට්ටු සංඛ්‍යාවක් විශාල සාඩින් ගහණයක් පසුපස හඹා ගිය එහි මත්ස්‍ය ගහණය අඩු වීමත් සමග අද වන විට ධීවර ජන ජීවිත බිඳ වැටිලා.


අපි ශීඝ්‍රයෙන් ලෝක මත්ස්‍ය ගහණය වඳ කරමින් ඉන්නවා. එහි හරිහමන් කළමනාකරණයක් කරන්න දේශපාලනික උනන්දුවක් ලෝකයට නැහැ.


සාගර ජීවීන්ට යම් සහනයක් දෙනවානම් ඔවුන්ට වේගයෙන් ප්‍රකෘතිමත් වන්න පුළුවන්. ඒත්, මිනිසා ඒ ඉඩ ඔවුනට දෙනවාද යන්න ප්‍රශ්නයක්. ගොඩබිමින් 10%ක් පමණ සංරක්ෂණය කර තිබෙන එක්සත් ජනපදයේ සාගර සීමාවෙන් 1%ක්වත් සංරක්ෂණය කර නැහැ. මුළු ලෝකයේම තත්වය ඒකයි.


එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන පරිදි අපි සාගර සම්පත් නිසි පරිදි කළමනාකරණය කරනවා නම් අවුරුදු පතා අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 10කින් 20කින් ඉහළ නංවන්න පුළුවන්.


ලෝකයේ එවැනි මනා කළමනාකරණයක් සහිත මත්ස්‍ය බිම් තිබෙනවා. උදාහරණයක් ලෙස ඇලස්කාවේ සැමන් මත්ස්‍ය බිම් දැක්විය හැකියි. මහා පරිමාණ වානිජ ධීවර කර්මාන්තයට දෙන සහන වෙනුවට සංරක්ෂණ ධීවර කර්මාන්තයට සහන දිය යුතුයි යන මතයක් ලෝකයේ අද පවතිනවා.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.