2010-09-16

පශ්චාත්-18 ඒකාධිපති අභියෝගයට ජවිපෙ සූදානම් ද? | Is JVP ready for post-18 dictatorship challenge?

ජවිපෙ වවුනියා කාර්යාලය විවෘත කළ දා
(2010 සැප්තැම්බර් 16, W3Lanka18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත් දිනට පසු දා 'ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් සැබෑ නිදහස් වෙනුවෙන් අඛණ්ඩව අරගල කරමු!' යන මාතෘකාවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය පිළිබඳ මහජන සංවාදයක් ඇති කළ යුතු බව අපි විශ්වාස කරමු. 


එයට හේතු කීපයක් තිබේ. ඉන් පළමුවැන්න වන්නේ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දිනයේ සිට ම පාහේ විපක්ෂ එක්සත් ජාතික පක්ෂය මුහුණ දී සිටින තත්වය විසින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් ආරක්ෂා කර දීමේ ලා ධනේශ්වර පංතියේ පූර්ණ අසමත්කම ප්‍රදර්ශනය කරමින් තිබීමයි. 


එසේ ම වාම, සමාජ ක්‍රියාකාරික හා සිවිල් සමාජ කණ්ඩායම් විසින් සැප්තැම්බර් 08දා කැඳවන ලද අභියෝගාත්මක, එහෙත් අසංවිධිත උද්ඝෝෂණය විසින් ප්‍රදර්ශනය කරනු ලැබුවේ ද මෙම සමාජ ස්ථරය පශ්චාත්-18 ඒකාධිපතිත්වයට මුහුණ දීමෙහිදී සාර්ථක නො වන බවයි. එහි ප්‍රධාන කැඳවුම්කරුවන් වූ ශිරාල් ලක්තිලක, දයාසිරි ජයසේකර හා වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන, මානව හිමිකම් සංවිධාන හා රාජ්‍ය නො වන සංවිධාන නායකයෝ වැනි අය පවා එයට සහභාගි වූයේ නැත. පොදු උද්ඝෝෂණයක් වුව ද, වාම දේශපාලන පක්ෂවල නායකයන් රූපවාහිනී කැමරා ඉදිරියේ හැසිරුණ 'කට්ටිවාදී' ආකාරය පිළිබඳ උද්ඝෝෂණයට සහභාගි වූ ඇතැම් අය ඒ මොහොතේ ම විරෝධය පළ කරනු දක්නට ලැබිණි. (මෙම දර්ශන රූපවාහිනී සේවාවලින් විකාශය වුණාදැයි නො දනිමි. නැතිනම් අහෝ දුකකි!) 


18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආ දිනයට පෙර දිනයේ ජවිපෙ විසින් දියත් කරන ලද උද්ඝෝෂණය පරාජයේ තිත්ත රසය විඳිමින් සිටි ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිශීලී දේශපාලන සමාජයට ධෛර්යයක් හා ආස්වාදයක් සැපයූ එකක් බව අවිවාදිත ය. 


18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත් ආකාරය ජවිපෙ සිය නිවේදනයේ ඉතා නිවැරදිව විග්‍රහ කරයි. ඒ මෙසේ ය: 'ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ඒකාධිපති ගමන තහවුරු කරන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව ඊයේ සම්මත කර ගත්තේය. එය සම්මත කර ගත්තේ අල්ලසින්, පගාවෙන් හා විවිධ වරදානයන්ගෙන් පක්ෂපාතී කරගත් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ආධාරයෙන් ලබා ගත් තුනෙන් දෙකක බහුතරයක් මගිනි. එසේ නැතිව ආණ්ඩුවට ජනතා වරමින් ලැබුණු තුනෙන් දෙකක බහුතරයක් නැත. එපමණක් නොවේ වත්මන් ආණ්ඩුව ජනවරමක් ඉල්ලා සිටියේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට අලූත් ව්‍යවස්ථාවක් හඳුන්වාදීම සඳහාය. එහෙත් ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ එම ජනවරමට පයින් ගසමින්ය. ආණ්ඩුව, ජනමතයට පයින් ගසා, ජනමතය නොසලකා හරිමින් 18 වන සංශෝධනය ගෙන ආවා පමණක් නොව ඒ පිළිබඳව ජනතාව අතර සංවාදයක් ඇතිවීමට ඉඩ දුන්නේද නැත.ඒ ජනමතයට බිය නිසාය. සංශෝධනය සම්බන්ධයෙන් සංවාදයක් ඇති වන විට එක්සත් ජාතික පක්ෂය සමග බොරු සාකච්ඡාවක් ආරම්භ කොට ජනතා අවධානය වෙනත් දෙසකට යොමු කළේය. එමගින් ආණ්ඩුව කළේ දේශපාලන තක්කඩිකමකි. එක්සත් ජාතික පක්ෂ නායකත්වයද ඊට දායක විය. ඒ නිසා ආණ්ඩුව 18 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් ආකාරය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීය. දේශපාලන සදාචාරයට පටහැනිය.'


ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නතර කොට රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සියලූ පුරවැසියන්ගේ වගකීම බව ද, 18 වන සංශෝධනය දැන් සම්මතව ඇති නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරුකරන මෙරට ප‍්‍රගතිශීලි ජනයා බලාපොරොත්තු සුන් කර ගත යුතු හෝ මන්දොත්සාහී විය යුතු නැති බව ද, ගොඩනැගෙන ඒකාධිපති පවුල් පාලනය ඉදිරියේ නිහඬ විය යුතු නැති බව ද අද සිට ගොඩනැගෙන මේ වියරු ඒකාධිපති පාලනය පෙරලා දමා සැබෑ ජනතාවාදී ව්‍යවස්ථාවක් නිර්මාණය කළහැකි ජනතාවාදී පාලනක් වෙනුවෙන් ජනතාව පෙළගැස්විය හැකි ධෛර්ය සම්පන්න නායකත්වය හා එම නායකත්වය සමග ගොඩනැගෙන දැවැන්ත ජනතා බලයක් ගොඩනැගීම සදහා පෙළගැසෙන ලෙස ද, අනාගතය පිළිබඳව විශ්වාසයෙන් යුතුව පෙරට එන ලෙස ද ජවිපෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන, ප‍්‍රගතිශීලි සමාජවාදී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජවිපෙ පවසයි. 


ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සමාජයට නායකත්වයක් අවශ්‍ය වී තිබේ. එජාපය අසමත් වන මෙතැනදී නායකත්වය සැපයීමට ජවිපෙ සමත් වේ ද යන්න මත රටේ අනාගතය තීරණය වනු ඇත. 


එහෙත්, ජවිපෙ යනු නිර්ධන පංති ආඥාදායකත්වයක් අරමුණු කර ගත් සමාජවාදී පක්ෂයකි. ලංකාවේ අරගලය ආඥාදායකත්වයකට එරෙහිව ය. එක් ආඥාදායකත්වයක් තවත් ආඥාදායකත්වයකින් ප්‍රතිෂ්ඨාපනය කරන්නට ද පුළුවන. ධනේශ්වර පංතියේ ආඥාදාකත්වය නිර්ධන පංතියට ආඥාදායකත්වයක් සඳහා ඇති අයිතිය තහවුරු කරන බවට තර්ක කළ හැකි ය. 


එහෙත්, ජවිපෙ සිය නිවේදනයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරයි. නිදසුනක් ලෙස 'ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නතර කොට රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සියලු පුරවැසියන්ගේ වගකීම බව' පවසයි. 


'සියලු පුරවැසියන්' යන ප්‍රවර්ගයට ධනේශ්වර පංතිය ද අයත් වේ. මක් නිසා ද යත්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ධනේශ්වර හා මැද පංතික බලවේග පවා මෙම පවුල් ආඥාදායකත්වය හමුවේ අසරණ වන හෙයිනි.


මෙහිදී පැහැදිලි කර ගත යුතු මූලික කාරණයක් වන්නේ පංතිමය බෙදුම් රේඛා විනිවිද ගිය පොදු අරගලයකට නායකත්වය දීමට ජවිපෙ සූදානම් ද යන්නයි. එහිදී ජවිපෙ බැරෑරුම් හෙවත් සීරියස් ද යන්නයි. 


පක්ෂ අභ්‍යන්තරයේ පසුගිය පක්ෂ ක්‍රියාකාරකම් සාධාරණීකරණය පිණිස භාවිතා කරන ලද 'මෙම පියවර ගේමක්' යන පැහැදිලි කිරීම ම මෙහිදී ද කෙරෙනවාදැයි අපි නො දනිමු. 2005දී ජවිපෙ දැන දැන ම තමන් නො කළ යුතුව තිබුණු කාර්යයකට උර දුන්නේ මෙම ගේම් සංකල්පය මත පිහිටා ය. අනුන්ට ගේම දෙන්නට ගිය ගමන කෙළවර වුණේ තමන්ට පමණක් නො ව රටට ම ගේමක ගොදුරු බවට පත් වන්නට සිදු කරමිනි. 


ජවිපෙ කෙතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදී වීමට සූදානම් ද යන්න අද ලංකාවේ ඉරණම තීන්දු කරන සාධකයකි. මක් නිසා ද යත්, ජවිපෙ වැනි පරිණත, සංවිධිත ව්‍යාපාරයක් මෙම අරගලයේ නායකත්වය නො ගතහොත් මතු වන්නට ඉඩ ඇත්තේ ප්‍රචණ්ඩ, අනර්ථකාරී ත්‍රස්තවාදයක් විය හැකි බැවිනි. විශේෂයෙන් ම දෙමළ, මුස්ලිම් සුළු ජාතික ප්‍රජාවන් අතර මෙම දෙසට නැඹුරුවක් දක්නට තිබේ. 


ඇත්ත ම කීවොත් එවැනි ත්‍රස්තවාදයක හිස එසවීම පවුල් ඒකාධිපතිත්වයට ආශිර්වාදයක් වනු ඇත. එමගින් ආඥාදායකත්වයේ චිරස්ථිතිය සඳහා අවශ්‍ය කෲර මර්දනය සාධාරණීකරණය කර ගැනීමේ අවස්ථාව හිමි වන හෙයිනි. 


අප සිතන පරිදි නම්, ලෝක හා දේශීය දේශපාලන පෙළගැසීම් සහ ලංකාවේ පංතිමය ශක්‍යතා අනුව අවස්ථාව ඇත්තේ සම්ප්‍රදායික සමාජවාදී අරගලයක් සඳහා නො ව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි. 


සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනු ධනවාදී නිෂ්පාදන මාදිලිය වෙනස් නො කර, සමාජ සාධාරණත්වය පිළිබඳ ආචාර ධාර්මික අදහස් ඔස්සේ එය ප්‍රතිසංස්කරණය කිරීමේ යම් ආකාරයක සංශෝධනවාදී දෘෂ්ටිවාදයකි. දෘෂ්ටිවාදය අතිශය වැදගත් ය. අරගලය හැසිරවෙන්නේ ඒ මත පිහිටා ය. අරගලයේ පාර්ශ්වකරුවන් තුළ විශ්වාසයක් ගොඩනැ‍ඟෙන්නේ දෘෂ්ටිවාදීමය පදනම හේතුවෙනි. 


ජවිපෙ මෙම අරගලය සඳහා නායකත්වය දීමට ඇත්තට ම සූදානම් ද? එසේ නම්, මේ පිළිබඳ සංවාදයකට ජවිපෙ දායක විය යුතු ය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2 comments:

  1. ඉදිරි වසර කිහිපය තුල අප කැමති වුවත් නැතත් රාජපක්ෂ රෙජිමය විසින් අසහාය බලයක් ගොඩනගාගන්නවා ඇත.නමුත් එය අභියෝගයට ලක්කරනවා නම් අභියෝගයට ලක්කල හැකි පාර්ශව කිහිපයක් තිබේ.එජාපය මෙහිදී නිෂ්ක්‍රීය අතර ජවිපෙ සහ දෙමල සමාජය මෙහිදී තීරනාත්මක වනු ඇතැයි සිතිය හැක.ආන්ඩුව තුල නොවැලැක්විය හැකි බල ගැටුමක් ඇති වනු ඇතැයි සිතීමට ඉඩ තිබෙන අතර මේ නිසා අභ්‍යන්තරිකව එයද රාජපක්ෂ විසින් පාලනය කර ගත යුතු අභියෝගයකි.ජවිපෙ සහ දෙමල සමාජය අතර නිරෝගී අවබෝධයක් ගොඩනොනැගෙන්නේ නම් නැවත තමාට එරෙහි එවැනි වර්ධනයන් රාජපක්ෂ රෙජිමය විසින් පහසුවෙන් යටපත් කරනු ඇත.

    ReplyDelete
  2. ජ.වි.පෙ. 'නිර්ධන පංති ආඥාාදායකත්වය පදනම් කර ගත් සමාජවාදි පක්ෂයකි' යන්න 'ආඥාදායකත්වය' යන්න ඕනෑම පදනමක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදි නොවන්නක් ලෙස තේරුම් කර ඇති අයුරින් ම මතුපිටින් කියවා ගැනිමක් සහ සත්‍යය විකෘති කිරිමක් පෙන්වයි. එපමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී හා ප්‍රගතිශීලි දේශපාලන සමාජය ට ධෛර්යයක් හා ආශ්වාදයක් සපයන බවක් කියා ඇත්තේ ජ.වි.පෙ. විසින් මේ ඒකාධිපතිත්වය නිතිගත කරන්න ට පෙර දින වීදිය ට ගෙනැවිත් දැක් වු සංදර්ශනය ද ? ජ.වි.පෙ. ට අවශ්‍ය වූයේ සැබැ විරෝධයක් ගොඩ නගන්නටනම් එය පසු දින, මිට වඩා එහාට ගිය ක්‍රියාමාර්ගයක් හරහා කිරීමේ සංඛ්‍යාත්මක හැකියාවක් හොදට ම තිබුණි. එහෙත් ඔවුහු එ.ජා.ප. ය මෙන් ම එය මග හැර ගියහ. පශ්චාත් 18ට මුහුණ දිය හැක්කේ මේ තත්වයන් ගැඹුරින් තේරුම් ගැනීමෙන් ආරම්භ වන තැනකින් පමණි.මර්දනිය පසුගාමි රාජ්‍ය යන්ත්‍රය ශක්තිමත් කිරිම වෙනුවෙන් පෙනි සිටි- කිසිදු හිරිකිතයකින් තොරව අදටත් පෙනී සිටින ජ.වි.පෙ. ට ද එ. ජා.ප. ය ට මෙන් ම, තමන් විසින් පෝෂණය කරමින් සිටින ආඥාදායකත්වය පරාජය කළ හැකියයි මිථ්‍යාවන් මවා තවත් පරපුරක් මර්දනයේ ගිලටීනය ඉදිරියේ බිල්ලට සුදානම් කළ යුතු නැත. වව්නියාවේ නොව කිලිනොච්චියේ පවා කාර්යාල විවාත කළ හැකි නමුදු ප්‍රතිපත්තිමය ස්ථාවරයන් විවෘත නොකරනු තුරු ඒවායේ පැරණි අර්ථයන් ද වෙනස් නොවනු ඇත.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.