2010-09-02

"පියවරක් පස්සට-තව දෙකක් ආපස්සට"- 18 වැනි සංශෝධනය ගැන සාමය හා මානව හිමිකම් සදහා ක්‍රියාකාරිත්වයේ ප්‍රතිචාර දැක්වීමක්.

(2010 සැප්තැම්බර් 02, W3Lankaමේ වන විට ලංකාවේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කිරිම ට යන 18 වැනි සංශෝධනය ගැන යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබ ශ්‍රේෂ්ඨාධිකරණය ට යොමු කරනු ලදු ව ජනමත විමසුමකින් තොර ව පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියෙන් සම්මත කරගැනිමේ නිත්‍යානුකූලභාවය තහවුරු කොට පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කිරිම ට සූදානම් ව තිබේ. මේ මස 8-9 දිනවල දි මෙය සාකච්ඡාව ට බදුන් කොට සම්මත කර ගැනීම ආණ්ඩුවේ සැලසුම වි තිබේ.


මෙම සංශෝධන යෝජනාව මගින් අපේක්ෂා කරන්නේ මොනවාද ? කැබිනට් පත්‍රිකාව අනූව ඒවා මෙසේ වනු ඇත;


(!) එක ම පුද්ගලයකු ට ජනාධිපති ධූරය සදහා පත් විම ගැන පනවා තිබූ දෙවතාවේ සීමාව සහිත 31(2) ඉවත් කෙරේ.


(2) ජනාධිපතිවරයා මාස තුනක ට වරක් පාර්ලිමේන්තුව ට සහභාගි විමේ අවශ්‍යතාවය නිතිගත කෙරේ.


(3) 17වන සංශෝධනය මගින් පිහිටුවන ලද 'ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව' අගමැති, කතානායක, විපක්ෂනායක හා ඔවුන් නියෝජනය කරන ජාතින් ට අයත් නොවන, අගමැති හා විපක්ෂ නායක විසින් පත් කරනු ලබන තව දෙදෙනෙකු දක්වා සංයුතියෙන් අඩු කෙරෙන අතර සියළුම කොමිෂන් සභා සහ අනෙකුත් නිලයන් පත් කිරිමේ බලය ජනාධිපතිවරයා සතු වේ; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විමසිම පමණක් ප්‍රමාණවත් වේ.


(4) පොලිසිය ද ඇතුළත් රාජ්‍ය සේවය සම්බන්ධ සියළුම බලතල අමාත්‍ය මණ්ඩලය සතු වේ.


මෙම සංශෝධනයන් ජනතා පරමාධිපත්‍යය සහ රටේ ස්ථාවරත්වය තහවුරු කිරිම සදහා ගෙනෙනු ලබන බව ආණ්ඩුව සහ ඊට පක්ෂපාතී බලවේගවල තර්කය වි තිබේ.


රාජ්‍යයක් සතු ව අතිවිශාල බලයක් ඇති අතර දේශපාලන විද්‍යාවේ දී අපි එය 'ස්වාධිපත්‍යය' ලෙස හදුන්වමු. මේ යටතේ පුරවැසියකුගේ ජිවිතය අවසන් කිරිම සදහා වුව ද ප්‍රශ්න කළ නොහැකි ආකාරයේ බලයක් රාජ්‍යය සතු ව ඇතැයි ද, ආණ්ඩුව විසින් එම බලය ක්‍රියාත්මක කරනු ලබන්නේ යයි ද එකගතාවයක් පවතී. දැන් ප්‍රශ්නය මේ 'එකගතාවය' කා අතර ද? එය අහසින් එන්නක් නොවේ; පොෙලා් ගැබ තුළින් එන්නක් ද නොවේ; ලිබරල්වාදයේ ආදිකර්තෘන් විසින් අවධාරණය කරන ලද ආකාරය ට එය ජනතාව අතර ඇති වු සම්මුතියකින් එන්නකි. ජනතාව විසින් මේ සා බලයක් රාජ්‍යය ට හිමි කර දි ඇත්තේ මන්ද? තමන් එකිනෙකා අතර- සමාජය තුළ ඇති වන ගැටළු පොදු සම්මුතියක් මත විසදා ගැනිම සදහා ය. එනම් මේ බලයේ මූලික උල්පත ජනතාවය. ලංකාව කොතරම් දුර ට ලිබරල් රාජ්‍යයක් ද යන්න මේ වන විට තියුණු ප්‍රශ්නාර්ථයක් මතු කරන කරුණක් වුව ද වර්තමානයේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පවා ජනතාව සතු මෙම බලය සටහන් කොට පිළි ගෙන තිබේ. එහි 3 වැනි ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි අත් හළ නොහැකි 'ජනතා පරමාධිපත්‍යය' ට පාලන බලතල, මුලික අයිතිවාසිකම් හා ඡන්ද බලය අයත් වේ. 4 වැනි ව්‍යවස්ථාව අනුව ඒවා ක්‍රියාව ට නැංවිම ආණ්ඩුවක වගකිම වේ. ආණ්ඩුව විසින් ක්‍රියාව ට නැංවිය යුත්තේ ජනතාවගේ එකගතාවය බව මෙහි පැහැදිලිව ම සටහන් කර තිබේ. මේ අනුව කවරකු හෝ ආණ්ඩුව විසින් ක්‍රියාව ට නංවනු ලබන රාජ්‍යය සතු ස්වාධිපත්‍ය බලයත්, මේ දක්වා ඇති පරමාධිපත්‍ය බලයත් යන දෙක අතුරෙන් වඩා ප්‍රධාන හා මුලික දේ කුමක්දැයි ප්‍රශ්න කළහොත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ම පිළිතුර වනු ඇත්තේ ජනතාව සතු පරමාධිපත්‍ය බලය බව ය.


ජනතාව; එහෙමත් නැත්නම් ජනමතය යන්න තේරුම් කරගන්නේ කෙසේද? සාමාන්‍යකරණය කරන ලද ජනතාවගේ අදහස් 'ජනමතය' ලෙස සළකන බව පිලි ගත් පොදු නිර්වචනයකින් කියවේ. මෙසේ 'සාමාන්‍යකරණය' යනුවෙන් හදුන්වනු ලබන ක්‍රියාවලියේ දි අංක ගණිත ක්‍රමයක් අනුව ගණන් හදා බලා බහුතරය දක්වන අදහස 'මහජන මතය' ලෙස ගෙන හැර පැම නිවැරදි ක්‍රමයක් ලෙස කිසිසේත් ම සැලකිය නොහැක. මන්ද යත් එවැන්නක් මගින් සුලුතරය ලෙස එක් ජනකොටසක් බැහැර කෙරෙන බැවිනි. එවිට ඒ අය විසින් පිළි නොගන්නා සම්මුතියක් ඒ අය මත ක්‍රියාත්මක කරන්නට වන බැවිනි. එවැන්නක් පිඩනයටත්, නොසන්සුන්භාවයටත් හේතු වේ. අවසානයේ එය ප්‍රචණ්ඩ ගැටුම් දක්වා ම වර්ධනය විය හැක.


ලංකාවෙ අපි, මේ තත්වය අත්දැක්කෙමු; අත්දකිමින් සිටින්නෙමු.


2009 මැයි 18 වන විට මිලිටරිමය වශයෙන් පාගා පොඩි කරන ලද ලාංකිය දමිළ ජනයාගේ අරගලය මෙවැනි බැහැර කිරිමක අසාර්ථකබව පෙන්නුම් කරන ප්‍රබල නිදසුනකි. මෙසේ පොඩි කර දැමිමෙන් පසුත් ඒ විසින් මතු කරන ලද ප්‍රශ්නය අවසන් නැති බව දනිමු. පවතින ලංකා රාජ්‍යය එහි වසන සියළුම ජනකොටස් හි සම්මුතියක ප්‍රකාශනයක් බව ට පත් කර ගැනිම කළ යුතු ව තිබුණි. එසේ නොහැකිනම් මිලගට ඇති ශිලාචාර විසදුම වනුයේ පවතින රාජ්‍යය ට එහි පුරවැසි සාමාජිකයන් ලෙස සමාන ගරුත්වයකින් යුතුව ඇතුළත් කර ගැනිම ට නොහැකි ජනකොටස් සදහා තමන්ගේ සම්මුතින් ක්‍රියාත්මක කළ හැකි වෙනම ම රාජ්‍යයන් පිහිටුවා ගැනිම ට ඇති අයිතිය පිළිගැනිම ය. ස්වයංනිර්ණ අයිතිය යනු මෙයයි. එවැනි ප්‍රජාතන්ත්‍රවාදි සම්මුතියක් ඇති කරගනු වෙනුවට අප ගමන් කර ඇත්තේ ම්ලේච්ඡත්වයේ සහ අශිෂ්ඨත්වයේ ධජය කිසි හිරිකිතයකින් තොර ව ඉහළින් ම ඔසවා ගත් ගමන් මගක ය ; විසදුම් විරහිත- අර්බුද උග්‍ර කරවන ගමන් මගක ය.


පවතින ව්‍යවස්ථාව විසින් මේ ප්‍රශ්න විසදන්න ට අසමත් විම නිසා ඇත්ත වශයෙන් ම අලුත් ව්‍යවස්ථාවක් අප ට අවශ්‍ය ව තිබේ. අවම වශයෙන් අන්තර්කාලින පියවරක් ලෙස ව්‍යවස්ථා සංශෝධනයක්වත් අවශ්‍ය ව තිබේ. එහෙත් යෝජිත 18 වැනි සංශෝධනය ඒ අසලින්වත් යන බවක් නොපෙනේ.


මෙම සංශෝධනය ට පක්ෂ ව අදහස් දක්වන්නන් (හෝ එසේ පෙනි සිටිම ට 'දෛවයෙන්' බල කෙරී ඇත්තන්) කියන පරිදි ඒ මගින් ජනතා පරමාධිපත්‍යය සුරැකෙන්නේ අපුර්ව ක්‍රමයකට ය. දැන ට දෙවරක් බලය ට පත් වු ජනාධිපතිට ම 'ජනතාව' ආයෙමත් කැමතිනම් ජනාධිපති පුටුවේ තවත් අවුරුදු දුසිම් බාගයක ට වාඩි කර විම ට ජනතාව ට ' අවස්ථාවක්' දිමෙනි ! මෙය ජනතා පරමාධිපත්‍යය පිළිබද පවතින ව්‍යවස්ථාවේ පවා දක්වා ඇති පුළුල් අර්ථය 'පැස්බර ශෛලියෙන්' යට ගැසිමකි.


'රටේ ස්ථාවරත්වය' ද කදිම ලෙස තොරොම්බල් කර දමන, එහි අර්ථය ට විරුද්ධව ම නිතර දෙවේලේ භාවිතා වන අලංකාර පදයකි ! රටක් ස්ථාවර වන්නේ ඒ රට වසන ජනතාව සහ ඒ ආණ්ඩුව අතර ශක්තිමත් සම්මුතියක් පැවතීම ප්‍රමුඛ සාධකයක් ලෙස සාර්ථක විම මගිනි. සම්මුතිය ශක්තිමත් වන්නේ සියළු ම ජනකොටස් සදහා පිළි ගත හැකි පදනම මතිනි. ඉතින් මේ සදහා කළ යුුතු වන්නේ ජනසහභාගි ප්‍රජාතන්ත්‍ර ක්‍රම ඉහළින් ම තහවුරු කිරීම ය. 18 වැනි සංශෝධනය ඒ කරා තබා ඒ අසලින්වත් ගමන් කරන බවක් නොපෙනෙයි. ඒ වෙනුවට ඒ සදහා ද අනුගමනය කර ඇත්තේ විධායක ඒකාධිපතිත්වය තව තවත් ශක්තිමත් කරමින් 'ආණ්ඩුව ශක්තිමත් කිරිමේ' උපායමාර්ගයකි. ්ත්‍රස්තය' පදනම් කොට පාලනය ගෙන යනු ලබන ම්ලේච්ඡ ගෝත්‍රික පාලනයන් වැනි තැන්වල දි 'මර්දනයේ පොල්ල' ශක්තිමත් කර ගැනිම ස්ථාවරත්වය සදහා වන එක ම ක්‍රමය බව ට පත්වෙයි. දැන් දැන් මේ රටේ ද තහවුරු වෙමින් පවත්නේ ද, මර්වින් සිල්වා වැන්නන්ගේ සිට මහින්ද රාජපක්ෂ වැන්නන් දක්වා ආචාර්ය පදවි දරණ 'විද්වතුන්' ගේ චින්තනය වැඩ කරන්නේ එවැනි ප්‍රවණතාවයකින් බව ද මේ වැනි සංශෝධනයකින් රටේ ස්ථාවරත්වය තහවුරු ව්න්නේයයි කියා සිටිමෙන් ම පෙනි යයි.


1978දි වර්තමාන ව්‍යවස්ථාව ගෙන එන විට එහි ආදිකර්තෘන් ද අපේක්ෂා කළේ මේ 'ස්ථාවරත්වය' මය. එහිදි ද උපක්‍රමය වුයේ ආණ්ඩුව ශක්තිමත් කිරිම තුළ ස්ථාවර සමාජයක් හා රටක් බිහි කිරිම ය.එහෙත්, දශක තුනකටත් අධික කාලයකට පසුත් - අද වන විට සිදු වි නැත්තේත් එය ම නොවේද?
ඒ තුල බිහි කරන ලද විධායක ජනාධිපති ක්‍රමය මගින් අපේක්ෂා කරන ලද්දේ බලපෑම් කළ නොහැකි බරපතල ආකාරයේ ස්වායක්ත බලයක් ඇති කිරිමෙන් ඉතා ඉක්මන් තින්දු ගත හැකි හා ක්‍රියාත්මක කළ හැකි යාන්ත්‍රණයක් ඇති කිරිම ය. මුළුමහත් විධායකය නිර්මාණය කරගැනීම සදහා ජනාධිපති ධුරය ට පත් වන පුද්ගලයා ට හැකියාව එමගින් ලබා දුනි. මේ වර සංශෝධන මගින් යළිත් වරක් රාජ්‍ය සේවය මුළුමනින් ම ඇමති මණ්ඩලයේ පාලනය ට නතු කිරිම ට අපේක්ෂා කෙරේ. ඇමති මණ්ඩලය යනුවෙන් ස්වායක්ත බලයක් සැබැ වශයෙන් නොපවතින අතර එයින් ද නැවතත් අදහස් කරනුයේ ජනාධිපතිවරයා ගේ පණිවුඩ හුවමාරුකරන්නන් හෝ ඊටත් පහළ පිරිසක් බැවින් එහි සැබැ අදහස ජනාධිපතිවරයාට ම එම බලය සින්න වන බවම ය! තව අතකින් මුළු ඇමති මණ්ඩලය ම වෙනත් පක්ෂයකින් පත් වුවද තමන් කැමති අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරගැනිම හා විශේෂ කොමිෂන් සභා යොදා ගැනිම මගින් රට පාලනය කිරිමේ සම්පූර්ණ බලය ම සියත ට ගැනිම ට මේ ජනාධිපතිවරයා ට හැක. මේ අනුව මේ තනතුර ව්‍යුහගත කර ඇති ආකාරය අනුව, වියරු ඒකාධිපතිත්වයක් බිහි වීමේ පූර්ණ සම්භාවිතාවයක් පවතී. මෙවැන්නක් පාලනය කිරිම සදහා වෙනත් මෙවැනි ව්‍යුහයක් පවත්නා රටවල යොදා ඇති විධිවිධාන කිසිවක් මෙරට නැත. ඒ වෙනුවට කර ඇත්තේ නාමික විධායකයන් ට සාමාන්‍යයෙන් පිරිනමනු ලබන අධිකරණ මුක්තියේ බලය ද මෙරට පුර්ණ විධායක බලය සහිත ජනාධිපතිවරයා ට පිරිනමා තිබිම ය. ඒ අනුව මේ තනතුරේ වියරු ඒකාධිපත්ත්වයක් මතු වුවහොත් එය පාලනය කිරිමේ හැකියාවක් පවතින්නේ පාර්ලිමේන්තුව ට පමණි. එහෙත් එය ද නාමමාත්‍රික ස්වරූපයක් දරන්නේ යයි කිම එතරම් අතිශයෝක්තියක් නොවේ. මේ වන විට වර්ධනය වි ඇති තත්වය වන්නේ තම ඍජු අනසක යටතේ වන ඇමති මණ්ඩලය තුළ පාර්ලිමේන්තුවේ විවිධ කල්ලි-කණ්ඩායම් මෙහෙයවිම සදහා වරදාන දෙන තැනක් බව ට පත් කර ගැනිමත්, ඒ මගින් පාර්ලිමේන්තුව ද හසුරුවා ගැනිමත් ය. මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් මුල්‍ය පාලනය ද ජනාධිපතිවරයාගේ ග්‍රහණය ට ගැනිම ට සමත් වි ඇත. මේ වැනි 'සංවර්ධනය' කර ගන්නා ලද තත්වයන් ට අතිරේක ව නිල වශයෙන් ම පාර්ලිමේන්තුව හැසිරවිය හැකි අතිවිශාල බලයක් ජනාධිපතිවරයා සතු වේ. මේ තත්වයේ බියකරුබව විසින් ම 17 වැනි සංශෝධනය සදහා බල කෙරුනි. ඒ මගින් කිසියම් ආකාරයක පුළුල් නියෝජනයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් මගින් උසස් නිලතල හා ස්වාධින කොමිෂන් සභා පිහිටු විම ට කටයුතු යෙදිමෙන් ජනාධිපතිවරයාගේ අත්තනෝමතිකත්වය ට ඇති ඉඩකඩ පාලනය කිරිම ට උත්සාහ ගැනුනි. එහෙත් පසු ගිය කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම කොටස අකර්මන්‍ය විම ට ඉඩ හැරිමෙන් දුර්වල කරන ලද ව්‍යුහ පද්ධතිය මුළුමනින් ම අවසන් ගමන් යැවිමක් යෝජිත 18 වැනි සංශෝධනය මගින් සිදු කර තිබේ. ඒ තුළ පත් කිරිම ට නියමිත සභාව සංයුතියෙන් ද අතිශය දුර්වල, ඕනැනම් ප්‍රතික්ෂේප විමට ද ඉඩ ඇති අදහසක් ජනාධිපතිවරයා විසින් විමසිමෙන් පසුව පමණක් ප්‍රකාශය කිරිම ට ඉඩ ඇති සභාවකි. එය 17 වැනි සංශෝධනය මුළුමනින් ම ආපස්ස ට හැරවිමකි.


අනෙක් අතින් ජනාධිපතිවරයා තුන් මසකට වරක් පාර්ලිමේන්තුව හමුවේ පෙනි සිටිම ව්‍යවස්ථාපිත කිරීමේ අරුත කුමක්ද? පාර්ලිමේනුතුව ට වග නොකියන මේ ආකාරයේ ධූරන්ධරයකු ත්‍රෛමාසික ව නොව දිනපතා ම පාර්ලිමේන්තුව හමුවේ පෙනි සිටිය ද ඉන් ඇති ඵලක් නැත. මෙය ' ව්‍යවස්ථා ආභරණයක්' ලෙස හෝ සුදුසු වන්නක් නොවේ.


මේ තත්වයන් මත මේ ගෙන එන්න ට යන ව්‍යවස්ථා සංශෝධනය සාපේක්ෂ ඉදිරි වර්ධනයක් සලකුණු කළ 17 වැනි සංශෝධනයෙන් ද ආපස්ස ට අප ගෙන යන බැවින් පසු පස ට තැබු පියවරකි; විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතිකත්වයේ වර්ධනය වැඩවසම් අවධියේ රජෙකුගේ අත්තනෝමතිකත්වයක ට ආසන්න තැනක ට ගෙන යාමක් නිසා යටත්විජිත අවධිය තුළ ලද යම් වර්ධනයන් ද අහිමි කරන්නකි. එබැවින් තවත් පියවර දෙකක් ආපස්ස ට ගමන් කිරිමකි. එනයින් මෙය අතිශයින් ම පසුගාමි උත්සාහයක් ලෙස හෙලා දකින්න ට අප ට සිදු වේ.


එහෙත්, හෙලා දැකිමෙන් පමණක් කිසිවක් වෙනස් නොවනු ඇති බව අපි දනිමු. මේ අවස්ථාව වන විට මෙය ට කුමන හේතු මත හෝ විරෝධය පළ කිරිම ට ඉදිරිපත් ව ඇති බලවේග අපේක්ෂා තබා ඇත්තේ කෙසේ හෝ ජනමත විමසුමක් ලබා ගැනිම සදහා ය. අද ට වඩා දේශපාලන සක්‍රියබවක් පැවති 80 දශකයේ දි ලංකාවේ පැවති ජනමත විමසුමේ දි දශකයක ට මැතිවරණ එපා යැයි පාලකයා පුනරුච්ඡාරණය කරන්න ට අපේ ඡන්දදායක ජනතාව සමත් වුහ ! මී ලගට පසු ගිය කාලේ පෝලිම ට පැවති මැතිවරණ සිදු වු ආකාරය ජුගුප්සාජනක සහ ප්‍රසිද්ධ රහසක් ලෙස බොහෝ දෙනා දනිිත. මේ තත්වයන් තුළ මේ විපාක්ෂික බලවේගවල ට හැකි වන්නේ යල් පිනු උසාවි ක්‍රියා මාර්ග, ජනමත විමසුම් වැනි උපක්‍රම ඔසවා ගෙන යාම හරහා ආණ්ඩුව ට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදි මුහුණුවර ශක්තිමත් කර දිම පමණකි.


ලංකාව පිළිබදව මේ මොහොත තක්සේරු කර ගැනිම ට සිදුවන්නේ ධනවාදයේ ලෝක පරිමාන අර්බුදයත්, වැඩවසම් සබදතා නොඉක්ම වු අපේ සමාජයේ නොදුයුණුබවත් යන සාධක දෙක ම එක විට අවධානය ට ගනිමිනි. ලංකාවේ තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් යමක් නොපවතින බව පවතින තත්වය ට එරෙහිවන්නන් විසින් සිය බරපතල අවධානය ට ගැනිම අත්‍යවශ්‍ය වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගත යුත්තකි. එය බරපතල සමාජ ප්‍රතිසංස්කරණයක් ද ඉලක්ක කර ගත යුත්තකි. ඒ සදහා වන වඩාත් නිර්මාණශීලි ජන ව්‍යාපාරයක් හා ක්‍රියාකාරකම් දස දහසක් සදහා සැප්තැම්බර් 9 දිනය තුළ සම්මත කර ගැනිම ට නියමිත 18 වැනි සංශෝධනය තුළ මතු වන නිරුවත් ආඥාදායකත්වය තුළ අප ට බල කෙරේ.


ඔබ ට එය ඇසෙනවාද..........................................?


(සාමය හා මානව හිමිකම් සදහා වන ක්‍රියාකාරීත්වය වෙනුවෙන් දර්ශන කාහිංගල)


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

1 comment:

  1. Sri Lanka is a fitting example for a "pseudo democracy". From 1972 to 1978 the constitution makers trusted on Autocracy not Democracy. Finally it helped the criminals and thugs not just to control over the lives of ordinary civilized people but to use a large chunk of public wealth for their and their kith and kins' living. They used these public money to bribe them in elections and buy the public positions and seats in elections. All theses things are already produced by the so called "constitution" created by JR and company (UNP) which is now secretly supporting the present regime. What the MR is doing is with these so called amendments are adding further danger elements into the system. Politicians are having a good living using the collective political power which has become property form now in the constitution. Are we waiting for the collapse of the system one day drifting to chaos?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.