2010-09-06

සංවර්ධන බුබුළ පසුපස ඇති සැරව පිරි ණය බිබිල | The debt sore in the development bubble of Sri Lanka

(2010 සැප්තැම්බර් 06, W3Lankaහම්බන්තොට, දකුණු කොළඹ මහ වරාය හැදේ. මත්තල හා පලාලි ජාත්‍යන්තර ගුවන් තොට ඉදි කිරීමට නියමිත ය. අධිවේගී මාර්ග හැදේ. ගල් අඟුරු, ජල විදුලි  බලාගාර ඉදි වේ. හැදෙනවාටත් වඩා හදන්නට ඉන්නට දේ ගැන දිනපතා උදේ හවා කියැවේ. ආණ්ඩුව කියන්නේ මෙය සංවර්ධන සංග්‍රාමයක් බවයි. එකී සංග්‍රාමයේ නියමුවාට සංවර්ධනය පෙරට ගෙන යාමට ඒකාධිපති බලතල අවශ්‍ය වී තිබේ.


අප මෙය දකින්නේ සංවර්ධන බුබුළක් ලෙසයි. සාමාන්‍යයෙන් බුබුළු ඇතුළ හිස් ය. එසේ ම ‍ඉක්මණින් පුපුරා යයි. මේ සංවර්ධන බුබුළේ යථාර්ථය මහ බැංකු වාර්තා විසින් ම හෙළි කරනු ලැබේ.


මහ බැංකුවේ ආර්ථික දර්ශක අනුව, පසුගිය මැයි මාසයේ අග සිට ජුනි අග දක්වා මසක කාලය තුළ රජයේ නො පියවූ ණය ප්‍රමාණය රු. බිලියන 54කින් වැඩි වී තිබේ. ණය ගන්නා විට රජය යනු මහ ජනතාව නො වුණත් ණය ගෙවන්නේ මහජනයා බැවින් එක් මාසයක් තුළ පමණක් ලංකාවේ දෙකෝටියක් ජනයාගේ බාල, මහළු සෑමදෙනෙක් ම අලුතින් රු. 2700ක් ණය වී තිබේ. රත්තරං පුංචි පවුලක් ඒ මාසය තුළ පමණක් වී තිබෙන ණය ප්‍රමාණය රු.10,800කි.


ජුනි මස අග වන විට ලංකාවේ ආණ්ඩුවේ නො පියවන ලද මුළු ණය ප්‍රමාණය රු. බිලියන 4347කි. ඒ අනුව, ලංකාවේ හැම මිනිහෙක් ම රජය නිසා රු. 217,350ක් ණය ය.


ජුනි අග වන විට, ලංකාවේ මුළු නො පියවූ ණයවලින් රු. බිලියන 1803කි. එනම්, ලංකාවේ සෑම වැසියෙක් ම ‍රු. 90,150ක් පිටරටට ණය ය.


මේ 'සංවර්ධන' බුබුළ පසුපස ඇති ණය බුබුළේ තරම ලංකාවේ බහුතර ජනයා නො දනිති.


2009 වන විට ලංකා‍වේ රජයට ගත් ණය හා පොලිය ගෙවන්නට දළ දේශීය නිෂ්පාදිතයෙන් 86%ක් වෙන් කරන්නට සිදු විය. ලංකාවේ විදේශ ණය ආපසු ගෙවීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 36.5%ක් වෙන් වේ.


ලංකාවේ මහ බැංකුවේ පණ්ඩිතයන් කරන ප්‍රධාන කාර්යය වන්නේ රටට විදේශයන්ගෙන් ණය ලබා ගත හැකි තත්වයක් නඩත්තු කර ගැනීමයි. මෙය හැමදා ම පවත්වා ගත හැකි යයි සිතිය නො හැකි ය.


හැමදා ම ණය විය හැක්කේ ණය ගෙවා ගැනීමට හැකි නම් පමණි. ලංකාව ණය ගෙවන්නට විදේශ විනිමය සොයා ගන්නේ කෙසේ ද? ප්‍රධාන වශයෙන් ම තිහගොඩ ආරියවතී වැනි දිළිඳු ගැමි ගැහැනුන් සවුදියේ ඇණ ගහන සුල්තාන්ලා ළඟ වහල් සේවයට යැවීමෙනි. පුහුණු ශ්‍රමිකයන් පමණක් රට යවන බවට පසුගිය කාලයේ ගැසූ කයිවාරුවලට කුමක් වී ද? සෞඛ්‍ය අමාත්‍යංශය කියූ පරිදි හෙදියන් කී දෙනෙකු විදේශ සේවයට යැවී ද?


ජී.එස්.පී. ප්ලස් නැති වීමත් සමග ඇඟලුම් වැනි ශ්‍රම සූක්ෂම අපනයන කර්මාන්ත ද අනතුරේ ය. ආයෝජන මණ්ඩල දත්ත අනුව, මෙම ක්ෂේත්‍රය ඍජුව 475,000කට හා වක්‍රව මිලියන තුනකට ජීවනෝපාය සලසයි. පඩි මදිකම නිසා ගැමි ගැහැනුන් ඇඟලුම් කර්මාන්තයට ඇදී නො ඒමේ ප්‍රතිඵලය ලෙස මේ වන විට ඇඟලුම් ක්ෂේත්‍රයේ පිරවිය නො හැකි පුරප්පාඩු 30,000ක් පමණ ඇති බව වෘත්තීය සමිති පවසති.


රජයේ මෙම ණය බුබුළ පුපුරා නො යාමට නම්, ආණ්ඩුවේ ණව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අනුව, සංවර්ධන බුබුළ පසුපසින් දැවැන්ත ආයෝජන නවෝදයක් පැමිණිය යුතු ය.


මේ වන විට සංචාරක කර්මාන්තයේ නම් ශීඝ්‍ර වර්ධනයක් සිදු වී තිබේ. එහෙත් ආණ්ඩුව ගන්නට සැරසෙන ඇතැම් 2010 ජනවාරි සිට ජුලි දක්වා කාලය තුළ ලංකාවට සංචාරකයන් 341,991ක් පැමිණි අතර එය 2009 වසරේ අදාළ කාල සීමාවේ පැමිණි 229,952ට සාපේක්ෂව සැලකූ කල 48.7%ක වර්ධනයකි. එහෙත් රජය කරන්නට යන්නේ රත්තරං බිජු දමන කිකිළිය මැරීම හා සමාන දෙයකැයි සන්ඩේ ටයිම්ස් ආර්ථික කොලම පෙන්වා දුන්නේ ය.


මේ පිළිබඳව අප වාර්තා කළේ මෙසේ ය: 


රටවල් 71ක වැසියන්ට ලංකාවට පැමිණි පසු (on arrival) වීසා ලබා ගැනීම සඳහා දී ඇති පහසුකම අත්හිටුවීමට ලංකාව තීරණය කර තිබේ. හේතුව සිංගප්පූරුව හා මාලදිවයින හැර සෙසු රටවල් ලාංකිකයන්ට එම පහසුකම දෙන්නේ නැති වීමයි. ලංකාවේ මිනිසුන්ට අඩු තරමේ ඉන්දියාවට හෝ කල් තබා වීසා නො ගෙන යන්නට බැරි ය.


මේ තීරණය සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට කලින් තීරණය කර තිබූ මුත් දැන් එය අත්හිටුවා තිබේ.


දේශීය වශයෙන් කොපමණ බදු අය කළත් මෙම ණය බුබුළ පුපුරා යාම වැළැක්වීමට නො හැකි ය. එය වළක්වා ගත හැක්කේ විදේශ විනිමය උත්පාදන මාර්ග විවෘත කර ගැනීමෙන් පමණි. 


සංචාරක කර්මාන්තයෙන් මේ වසරේ අපේක්ෂිත ආදායම ගිය වසරේ මෙන් දෙගුණයකටත් වැඩි ඩොලර් මිලියන 700ක් වේ. 


2009 වසරේ ඍජු විදේශ ආයෝජනවලින් ලැබූ ආදායම ඩොලර් මිලියන 602ක් වූ බව ආයෝජන මණ්ඩලය පවසයි.  ලංකාවේ ආයෝජන ක්ෂේත්‍රයේ පිබිදීමක් සිදු වී නැති බව ආයෝජන මණ්ඩලයේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති බංඩාරනායක පසුගියදා රොයිටර් පුවත් සේවයට කළ ප්‍රකාශයකින් පැහැදිලි වේ. 


ඔහු කී පරිදි ලංකාව ඉලක්ක කළ පරිදි 2010 වසරේ ඍජු විදේශ ආයෝජන ඩොලර් බිලියනය දක්වා වැඩි වන්නේ නැත. ඒ වෙනුවට සිදු වන්නේ ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ගිය වසරේ මට්ටමේ ම පැවතීමයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

1 comment:

  1. මේ ළිපියේ ප්‍රධාන තේමාව කුමක්ද? රටේ යටිතළ පහසුකම් සංවර්ධනය විවේචනයද? නැතිනම් රජයේ ණය ගැනීමද? එසේත් නැතිනම් සංචාරක ව්‍යාපාරයද?
    රටක යටිතළ පහසුකම් සංවර්ධනය එහි ආර්ථික සංවර්ධනයේ අඩිතාලම වේ. ප්‍රශ්නය ඒ සඳහා ණය ගැනීම නොව එම ණය දේශපාඵවන්ගේ මඩි තර කරගැනීම සඳහා යොදාගැනීමයි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.