2010-09-24

ජනාධිපති එක්සත් ජාතීන් අමතා කළ කතාව ගැන කතාවක් | A story on Sri Lanka President's speech to 65th UN general assembly

(2010 සැප්තැම්බර් 24, W3Lankaඑක්සත් ජාතීන්ගේ 65වන සමුළුව අමතමින් ලංකාවේ ජනාධිපතිවරයා කළ කතාවේ මෙම ප්‍රකාශය අඩංගු විය. "අන්තර් ජාතික මානුෂිය නීති නූතන අවශ්‍යතාවන්ට කොතරම් අනුකූලද යන්න අප හැදෑරිය යුතුය. එම නීති සම්පාදනය කළේ ත්‍රස්ත කණ්ඩායම් සමඟ සටන් කළ රාජ්‍යයන් උදෙසා නොව නීත්‍යානුකූලව බිහිවූ රාජ්‍යයන් අතර වූ සටන් පසුබිමක් තුළය."


'අන්තර් ජාතික මානුෂිය නීති' යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ යුද නීති, යුද චාරිත්‍ර හා සන්නද්ධ ගැටුම් සම්බන්ධ නීති ය. ජිනීවා සම්මුති, හේග් සම්මුති හා ඒවා පදනම් කරගෙන බිහි වූ ජාත්‍යන්තර නීති හා ගිවිසුම් ආදිය ද පිළි ගත් යුද සම්ප්‍රදායන් ද අන්තර් ජාතික මානුෂිය නීති ලෙස සැලකිය හැකි ය. එම නීති සකස් කරනු ලැබුවේ දබරකාරී රාජ්‍යයන් හා කණ්ඩායම්වලට මැදි වන ජනතාවගේ ජීවත් වීමේ නිදහස ඇතුළු වෙනත් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටයි. 


මෙම නීති සකසනු ලැබුවේ ත්‍රස්ත කණ්ඩායම් සමඟ සටන් කළ රාජ්‍යයන් උදෙසා නොවේ යයි ජනාධිපතිවරයා පවසයි. එහෙත්, මෙම නීති බිහි වූයේ වනාහි ත්‍රස්තවාදය ලෙස නුතන ලෝකයේ අර්ථ දැක්වෙන ප්‍රපංචයට වඩා බෙහෙවින් කෲර වූ, රාජ්‍ය බලය යොදවා මිනිසුන් ලක්ෂ ගණනින් ගෑස් කාමරවල ගාල් කර සංවිධිත හා විද්‍යාත්මක අන්දමින් ඝාතනය කළ හිට්ලර් වැන්නන්ගේ ආඥාදායකත්වයන් පරාජය කිරීමේ හා නැවත මතු වීමේ ඉඩ පාලනය කිරීමේ අවශ්‍යතාව පසුබිම් කරගෙනයි.


ත්‍රස්තවාදය යනුවෙන් හඳුන්වනු ලබන අන්තවාදී ජාතික හා ආගමික කණ්ඩායම්වල සම්මුති විරහිත ප්‍රචණ්ඩ අරගල මර්දනය කිරීමේදී අන්තර්ජාතික මානුෂීය නීති නො තකා හැරීමට නීත්‍යනුකූල රාජ්‍යයන්ට ඉඩ දිය යුතු බව ජනාධිපතිතුමාගේ ඉල්ලීම ලෙස සැලකිය හැකි ය.


මෙහිදී නීත්‍යානුකූල රාජ්‍යයන් නීත්‍යානුකූල වීම පිළිබඳ ඉතිහාසය නො තකා හැර වර්තමාන තත්වය පමණක් සැලකිල්ලට ගන්නේ නම් ඊශ්‍රායලය කියා රාජ්‍යයක් තිබෙන මුත්, පලස්තීනය කියා රාජ්‍යයක් තිබිය නො හැකි ය.


එහෙත්, ජනාධිපතිවරයාගේ කතාවේ ම තවත් තැනක මෙම ප්‍රකාශයට පරස්පර අදහසක් දක්වයි. "දිගු කලක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්න අතරින් ප්‍රමුඛ වූවකි, පලස්තීන ජනතාවට තමන්ගේම දේශසීමා ලකුණු කළ රාජ්‍යයකට ඇති අයිතිය තවමත් නොපිළිගෙන තිබීම. ශ්‍රී ලංකා ජනතාවගේ දැඩි අපේක්ෂාව නම් මෙවැනි ඛේදජනක තත්ත්වයන්ට වඩා විසඳුම් ගෙන දිය යුතු බවය," යි හේ පවසයි.


මෙතැනදී නීත්‍යානුකූල රාජ්‍යය වන්නේ පලස්තීනයයි. ඊශ්‍රායලයේ දෘෂ්ටි කෝණයෙන් තමන්ගේ සටන ද ත්‍රස්ත කණ්ඩායම් සමග කරන එකකි. පලස්තීනය කියා නීත්‍යානුකූල සැබෑ රාජ්‍යයක් තවමත් බිහි වී නැත. එහෙත් ඊශ්‍රායලය සමග සහජීවනයෙන් යුත් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් බිහි කිරීමේ අවශ්‍යතාව පිළිබඳව හා ඒ හා අදාළ සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මෙම සැසි වාරයේදී ම එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා කරුණු ඉදිරිපත් කළේ ය.


නීත්‍යානුකූල රාජ්‍ය යනු වෙනස් නො වන ස්ථිතික ව්‍යූහයන් නො වේ. ඒවා ද එම රාජ්‍යයන්හි පුරවැසියන්ගේ අවශ්‍යතා අනුව වෙනස් විය යුතු ය. නිදසුනක් ලෙස ලංකාව එහි ජීවත් වන සියලු පුරවැසියන්ගේ හිමිකම් හා සමානාත්මතාවට ගරු කරන පරිදි නැවත හැඩ ගැසීම අත්‍යවශ්‍ය ය.


ලංකාවේ දෙමළ, මුස්ලිම් ආදී සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්නය හුදු ත්‍රස්තවාදයකට ලඝු කරන්නට යාම මහින්ද රාජපක්ෂ ඇතුළු බොහෝ සිංහල නායකයන්ගේ මූලික දේශපාලන ගැටලුවකි. සිංහල ජාතියට ම ජාත්‍යන්තර ප්‍රජාව තුළ සාධාරණ තැනක් දිනා ගැනීමට නො හැකි වී තිබෙන්නේ එය ස්වෝත්තමවාදී ජාතියක් ලෙස අර්ථකථනය වීම නිසා ය. 


රාජපක්ෂ පවුල් පාලනයේ ගැටලුව තවත් තීව්‍ර කිරීමට හේතු වන කරුණක් වන්නේ ආඥාදායකත්වයක් කෙරෙහි ඇති නැඹුරුවයි.


නූතන, ශිෂ්ට ලෝකය ආඥාදායකත්වයන් හෙළා දකින අතර, සුළුතර ප්‍රජාවන් සවිබල ගැන්වීම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේදී අත්‍යවශ්‍ය කාරණයක් ලෙස සලකයි.


ශිෂ්ට ලෝකය ත්‍රස්තවාදය මෙන් ම ආඥාදායකත්වය ද පිටුදකින බව සිංහලයන් වටහා ගත යුතු ය. ලංකාවේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ගරුත්වයක් අපේක්ෂා කිරීම එක කාරණයකි. එහෙත්, ත්‍රස්තවාදය පරාජය කිරීම යන සාධකය සිය සකල විධ අමනකම් වසා ගැනීම සඳහා සදාකාලිකව පාවිච්චි කළ හැකි වේ යයි සිතීම අමනෝඥ ක්‍රියාවකි.


ජනාධිපතිතුමා 'නූතන අවශ්‍යතා' ලෙස හඳුන්වන දේ කුමක්දැයි පැහැදිලි නැත. කෙසේ වෙතත්, ජනාධිපති රාජපක්ෂගේ 'නූතන අවශ්‍යතාව' පෙනෙන පරිදි නම් අන්තර් ජාතික මානුෂිය නීති වෙනස් කිරීම අපේක්ෂා කරන එකකි. ජනාධිපතිවරයා තමන් අපේක්ෂා කරන වෙනස්කම් පැහැදිලිව අර්ථකථනය කළ යුතු ය.


ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී මුළු බලය යෙදීමටත්, එහිදී සටන්කරුවන් නො වන ජනයාට සිදු වන හානි නො තකා සිටීමටත් හැකි වන පරිදි ජාත්‍යන්තර මානුෂීය නීති සංශෝධනය කිරීමට ජනාධිපති රාජපක්ෂ යෝජනා කරන්නේ නම් ඔහු විසින් පළමුව පැහැදිලි කළ යුතුව ඇති කාරණයක් තිබේ.


ත්‍රස්තවාදය යනු කුමක් ද? 


එය ‍රාජ්‍යයන්ගේ හා රාජ්‍යයන්ට පක්ෂපාත පිරිස්වල ප්‍රචණ්ඩත්වයෙන් වෙන් කර දක්වන ආකාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පැහැදිලි කර දිය යුතු ව තිබේ. 


නැතිනම්, ඔහු කරන මෙම ඉල්ලීම භයානක දෙපැත්ත කැපෙන කඩුවක් බවට පත් වනු ඇත. මන්ද, යම් රාජ්‍යයක් ත්‍රස්ත රාජ්‍යයක් ලෙස නම් කළ පමණින් එම රාජ්‍යයට හා ජනතාවට එරෙහිව මුළු බලය යොදා කරන මර්දනයන් සාධාරණීකරණය කළ හැකි පසුබිමක් මෙයින් නිර්මානය වන හෙයිනි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

4 comments:

  1. ඔය ඔක්කොම මගුල් නීති පොතට විතරයි. එකෙක්වත් ඕවා පිළිපදින්නේ නෑ. මොකද ඕවා පිළිපැද්දොත් ත්‍රස්තයන් ඇවිත් පු* ඇරල ගියත් මුකුත්මන් කරන්න බැරි වේවි. ක්‍රියාත්මක කිරීමට නොහැකි හොඳ නීති වලට වඩා ක්‍රියාත්මක කළ හැකි, ප්‍රායෝගික, නරක නීති ඉහළ තැනක තැබිය හැකියි. එහෙම බලද්දී ජනාධිපති නිවැරදියි.

    ReplyDelete
  2. මේක සංකීර්ණ ප්‍රශ්නයක්.

    එක්තරා යුගයක පිළිගත් රාජ්‍ය කියලා ඉලව්වක් තිබුණේ නෑ. කැලෑ නීතිය අනුව බලය ඇති එකා තමන්ගේ අභිමතය පරිදි බලය පාවිච්චි කිරීම සාධාරණීකරණය කෙරුණා. සම්මතයෙන් රජය හිමිවූ කාශ්‍යපට එරෙහිව මුගලන් 'විදේශාධාර ඇතිව' කළ 'රාජ්‍ය විරෝධී' කැරැල්ල මහාවංශකාරයා සාමාන්‍ය දෙයක් හැටියට දුටුවේ එනිසයි.

    දෙවන ලෝකයුද්ධ සමයේ වූයේ අර්ධ පිළිගත් රාජ්‍ය. මේවා එකිනෙකා කුළල් කා ගත්තා. මානුෂික අයිතිවාසිකම් නීති බිහිවූයේ මේ කුළල් කා ගැනීමේදී එකිනෙකාට වන හානිය අවම කර ගැනීම පිණිස. හරියට බළලුන් සටනේදී එකිනෙකාට ගොරවා ගන්නවා වගේ.

    අද ඇති තත්ත්වය වෙනස්. අද 'පිළිගත් රාජ්‍ය' එකිනෙකා සමඟ යුද වදින්නේ නැහැ. (කලාතුරෙකින් හැර.) ඔවුන්ට තර්ජනය එල්ල වන්නේ ඒ ඒ රටවල් තුළ ඇති අවිගත් කුඩා කණ්ඩායම් වලින්. මේ තර්ජනය ප්‍රබලයි. මේ නිසා ප්‍රායෝගිකව 'පිළිගත් රාජ්‍ය' වලට අවි දැරීමේ 100% අයිතියත්, වෙනත් කණ්ඩායම් වලට අවි දැරීමේ 0% අයිතියත් කරා අප ගමන් කරමින් සිටිනවා.

    අප මේ තත්ත්වය පිළිගන්නේ නම් ඒ හා සබැඳි තවත් කාරණා දෙකක්ද පිළිගත යුතු වෙනවා.

    1. අද අප පිළිගන්නා රාජ්‍ය ඒවා තමන්ගේ බලය සිය කැමැත්තෙන්ම අත හැරීමට සූදානම් නම් හැර සදාකාලිකව එසේම පැවතිය යුතුයි.

    2. 'නොපිළිගත් රාජ්‍යයක්', (උදා: පලස්තීනය, කාශ්මීරය ) තවදුරටත් රාජ්‍යයක් නොවේ. ඒවාට අවි දැරීමේ අයිතිය නැත.

    ReplyDelete
  3. පළමු ඇනෝනිමස්ට:
    ඒක නම් ඇත්ත, ඔය හැම නීතියම පොතට විතරයි. ඒකනෙ රාජපක්ෂ ගොයිය හෝ ගාලා ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවම උල්ලංඝනය කරන්නෙ.

    ReplyDelete
  4. එතකොට හොර චන්ද දාල බොරුවට නීත්‍යානුකරගත්ත ආණ්ඩු පිළිගත් නීති රීති උල්ලංඝනය කරන කොට රටේ මිනිස්සු මරන කොට අපි මොකක්ද කළ යුත්තෙ?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.