2010-10-04

පාසල් නො යන දරුවන් ලක්ෂ දෙකහමාරට අවහ්‍ය ආදරය බෙදා දෙන පාසල්

(2010 ඔක්තෝබර් 04, W3Lankaලංකාවේ පාසල් යන වයසේ සිටින දරුවන් 250,000ක් පාසල් නො යන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයකින් සොයාගෙන තිබේ. යුද ගැටුම් පැවති ප්‍රදේශවල ළමුන් විශාල පිරිසක් ද පාසල් නො යන බව පසුගිය දිනවල වාර්තා විය. 


සත්‍ය සංඛ්‍යාවන් මීටත් වැඩි විය හැකි ය. එයට හේතුවක් වන්නේ ඇතැම් දරුවන් පාසල් යන අය ලෙස ගණන් ගැනුනත් ඔවුන් ඇත්ත වශයෙන් ම පාසල් යන අය නො වීමයි. ස්ථිරව පාසල් නො යන, නිතර පාසල් නො ගොස් සිටින දරුවන් ද සැලකිය යුත්තේ පාසල් නො යන දරුවන් ලෙසයි. 


නො මිළේ අධ්‍යාපනය පමණක් නො ව පෙළ පොත් හා නිල ඇඳුම් පවා දෙද්දී මෙවැනි තත්වයක් ඇති වී තිබෙන්නේ කෙසේ ද? 


පළමු හේතුව, පාසල ආදරය බෙදා දෙන මධ්‍යස්ථානයක් වෙනුවට තරගකාරිත්වයේ, පීඩනයේ හා මර්දනයේ මධ්‍යස්ථානයක් වීමයි. අද වන විට පාසලට ඇතුළත් වන දරුවා පංති භාර, විෂය භාර ගුරුවරුන්ගේ සිට විදුහල්පති, අධ්‍යාපන නිලධාරීන්, පළාත් අධ්‍යාපන ඇමතිවරු හා අධ්‍යාපන ඇමති හරහා ජනාධිපති දක්වා වැඩිහිටියන් පිරිසකගේ උන්නතිකාමයේ ගොදුරක් බවට පත් වී සිටියි. 


එය සිදු වන්නේ සෑම පාසලක ම ඵලදායිතාව ප්‍රධාන තරගකාරී විභාගවල ප්‍රතිඵලවලින් පමණක් මනින ක්‍රමයක් ඇති වී තිබීමයි. 


ලෝකයේ කිසි ම විභාගයක සාමාර්ථ්‍ය ප්‍රතිශතය සියයට සියයක් වන්නේ නැත. සෑම දරුවකු ම ඉගෙනීමෙහිදී සමාන නිපුණතා මට්ටමක සිටී යයි ද අපේක්ෂා කළ නො හැකි ය. ලෝකය විවිධ ය. මිනිස්සු ද විවිධ වෙති. යථාර්ථය එයයි. 


අද වන විට පාසල් පද්ධතිය තුළ ඇත්තේ ජානමය, පවුල් හා පරිසර සාධක නො තකා හැර පාසලේ අධ්‍යාපනය තුළින් පමණක් විශිෂ්ට ප්‍රතිඵල බලාපොරොත්තු වන ක්‍රමයකි. මෙම ක්‍රමය තුළ අපේක්ෂිත නිපුණතා මට්ටමට ළඟා විය නො හැකි සිසුහු නිතැතින් ම ප්‍රතික්ෂේප වෙති. සරළව කිවහොත් පිටුපස පේළිවලට වැටෙති. ගුරුවරුන්ගේ අවධානයෙන් ගිලිහෙති.


ප්‍රතිඵල පෙන්වීම පිණිස පීඩනයට ලක් කර සිටින ගුරුවරු මෙවැනි දරුවන් කෙරෙහි කරුණාවක් නො දක්වති. පාසල්වලදී මෙවැනි දරුවෝ ශාරීරික හා මානසික වධ බන්ධනයට ලක් වෙති. ඔවුන් පාසල්වලින් බැහැර වන්නේ මෙම හේතු නිසා ය. 


පාසල් නො යන ලක්ෂ දෙකහමාර ආපසු පාසල් වෙත ගෙන්වා ගැනීමේ වැඩසටහන් කෙසේ වෙතත් ඇත්ත වශයෙන් ම පාසල්වල සිදු වන්නේ මෙම සිසුන්ට පාසල එපා කරවන තත්වයක් නිර්මානය වීමයි. එය නිර්මානය කරන්නේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් විසිනි. ඔවුන් එම තත්වයට පත් කර තිබෙන්නේ ඔවුන් පීඩනයට පත් කරන අධ්‍යාපන නිලධාරීන් හා දේශපාලකයන් විසිනි. 


‍පාසලෙන් මග හැරී සිටින මෙම දරුවන් සැබැවින් ම යළි පාසලට ගෙන්වා ගැනීම රඳා පවතින්නේ පාසල් පද්ධතියේ ආකල්පමය වෙනසක් තුළ මිස ව්‍යාපෘති මත නො වේ. 


Bookmark, remember easily and come again  www.w3lanka.com

2 comments:

  1. මට මතක් වුනේ taare sameen par චිත්‍රපටය

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.