2010-10-24

බලු බද්දෙන් නො විස‍ඳෙන බලු ප්‍රශ්නය | The dog tax of Sri Lanka that will not solve the dog problem

මේ වසරේ ජුනි මස ජලභිතිකාවෙන් මිය ගිය
ත්‍රිකුණාමලයේ ඊච්චිලන්පත්තුවේ
සත් හැවිරිදි
එස්ග ක්‍රිසාන්දනී
ඡායා:
http://vetsforfuture.org/
(2010 ඔක්තෝබර් 24, W3Lankaකළුතර නගර සභා බල ප්‍රදේශයේ ඇතිකරන සෑම බල්ලකුගෙන්ම රුපියල් පහක ලියාපදිංචි ගාස්‌තුවක්‌ 2011 වර්ෂය සඳහා අය කර ගැනීමේ යෝජනාවක් කළුතර නගර සභාවේදී ඒකමතිකව සම්මත වී තිබේ.  


මේ අනුව, මිනිසාගේ පරිණාමයේ මුල් අවධියේදීම ඔහු සමග මිතුරු වී වරිගෙ අනන්‍යතාව නසා ගත් සුනඛයා ලියාපදිංචි කිරීම පිණිස මිනිස් ස්වාමියකු නැතිනම් නීති විරෝධී සත්වයකු බවට අඩු තරමේ කලුතර නගර සභා බල ප්‍රදේශයේදී හෝ පත් වේ. 


කලුතර දඩාවතේ යන කකුල් හතරේ බල්ලන් මේ බව දන්නවාදැයි නො දනිමු. 


කළුතර නගර සභා සභාපති එම්. එස්‌. එම්. මුබාරක්‌ පවසන පරිදි සුනඛ බද්ද වැඩි කළ යුතු මුත් නගර සභා ආඥාපනත යටතේ එය කළ නො හැකි ය. සමහර විට බල්ලන් අයත් වන්නේ පළාත් සභාවලට හෝ මධ්‍යම ආණ්ඩුවට හෝ විය හැකි ය.


කෙසේ වෙතත් බලු බද්ද වන රුපියල් පහ අය කිරීම සඳහා බිල්පත්, ගිනුම් තැබීම් හා වෙනත් කාර්යයන් වෙනුවෙන් එක බල්ලකුට රු. පහකට වඩා වියදම් වන හෙයින් කලුතර නගර සභාවට බල්ලන් පමණක් නොව බලු බද්ද ද වධයක් වනු ඇත.


ලංකාවේ බල්ලන් විසි ලක්ෂයක් පමණ සිටින බැවින් වසරකට රු. 100 බැගින් බද්දක් අය කරනවා නම් ආණ්ඩුවට වසරකට රු. කෝටි විස්සක පමණ ආදායමක් උපයා ගත හැකි ය. 


එහෙත් ප්‍රශ්නය වන්නේ ස්වේච්ඡාවෙන් ආදායම් බදු නො ගෙවන කකුල් දෙකේ බල්ලන් සිටින රටක කකුල් හතරේ බල්ලන් බදු ගෙවාවි ද යන්නයි.


කලුතර නගර සභාවේ ඇති වූ සංවාදයක් පුවත්පතක වාර්තා වී තිබුණේ මෙසේ ය:


නගර සභික වසන්ත ඩයස්‌ මහතා - කළුතර නගරය පුරාම බල්ලන් හා ගවයන් සිටිනවා. මේ බල්ලන් හා ගවයන් නිසා අනතුරු වැඩිවී තිබෙනවා.


සභාපති එම්. එස්‌. එම්. මුබාරක්‌ මහතා - ගවයන් අල්ලන්න ක්‍රමයක්‌ නැහැ. මෙයට පෙර එක්‌ අයෙක්‌ සිටියා. දැන් ඔහු බැහැ කියනවා.


වසන්ත ඩයස්‌ මහතා - දඩාවතේ යන බල්ලන් විනාශ කරන්න මෙයට පෙර බලුවෑන් එක ඇවිත් බල්ලන් අල්ලන් යනවා. එයට පෙර නගර සභාවෙන් තුවක්‌කුවක්‌ දී අයෙක්‌ පත්කර තිබුණා. දැන් එහෙම බල්ලන් මරන්න තහනම්.


ඔක්තෝබර් 09දා ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියේ පළ වූ වාර්තාවක මාතෘකාව වූයේ "From gassing the dogs to human gassing in Sri Lanka" යන්නයි. කොළඹ සුනඛ ඝාතකයන් තොණ්ඩු දමා සුනඛයන් අල්ලා ගෙන ගොස්, අයිතිකාරයන්ට හිමිකම් කීම සඳහා දින තුනක් නගර සභාවට හිමි තැනක කන්න බොන්න නො දී රඳවා තබාගෙන, ඉන් අනතුරුව ගෑස් කාමරවලට දමා මරා දමන අන්දම ගැන කියන මෙම වෙබ් අඩවිය ලංකාවේ ආරක්ෂක අංශ ද දෙමළ ජනයා සම්බන්ධයෙන් එසේ කටයුතු කරන බව පවසයි. 


අත්අඩංගුවට ගනු ලැබූ දෙමළ මිනිසුන් කීපදෙනෙකු පිළිබඳ තොරතුරු නැති වීම හැර කිසිදු තිරසාර සාක්ෂියක් මිනිසුන්ට ගෑස් ගැසීම පිළිබඳව ඔවුන් ඉදිරිපත් කර නැත. 


මෙම ලිපියට ප්‍රතිචාර දක්වමින් ඩේලි නිව්ස් පුවත්පතට ලියන සත්ව මිත්‍ර සංවිධානයේ සාගරිකා රාජකරුණානායක පෙන්වා දෙන්නේ බල්ලන් මේ අන්දමින් ගෑස් කාමරවල මරා දැමීම 2003 සිට නතර කර ඇති බවයි. එසේ ම ජනාධිපති උපදෙසක් ඔස්සේ 2006 සිට බල්ලන් අල්ලා මැරීම නවතා ඇති බව ද ඒ වෙනුවට ජලභීතිකාව පාලනය කිරීම සඳහා වඩා මානුෂීය අන්දමින් බලු ගහණය පාලනය කිරීමේ වන්ධ්‍යාකරණය පාවිච්චි කරන බව ද ඇය පෙන්වා දෙයි. 


බලු වන්ධ්‍යාකරණය සඳහා ජනාධිපතිතුමා විශාල මුදලක් වෙන් කර ඇති බව ද සත්ව මිත්‍ර සංවිධානයේ සාගරිකා රාජකරුණානායක පවසයි. 


සුනඛ වන්ධ්‍යාකරණය ඔබගේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඔබේ අදහස කුමක් ද? අපේ නිරීක්ෂණය මෙසේ ය:


අද වන විට, කොළඹින් පිට පළාත්වල නම් කිසිදු විධිමත් සුනඛ ගහණ පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවක් දක්නට නැත. අද වන විට රෝහල්, පාසල්, පන්සල් හා වීදි ආදී පොදු ස්ථාන සුනඛ ගහණයේ වැඩි වීම හේතුවෙන් මතු වන ප්‍රශ්න රැසකට මුහුණ දී සිටියි. 


පසුගිය පොසොන් පොහොය නිමිත්තෙන් ගාල්ලේ ප්‍රසිද්ධ ජාතික ක පාසලක පැවති භක්ති ගීත සංදර්ශනයක වීඩියෝවක් පසුගිය දිනෙක දක්නට ලැබුණු අතර භක්ති ගීත ගයන ළමුන් අතර දඩාවතේ යන බල්ලෝ ද නිදහසේ සැරිසැරූ හ. බොහෝ පාසල්වල මෙය සුලබ තත්වයකි. ලංකාවේ පාසල් සිසුන් සිටින්නේ ජලභීතිකා අනතුරු මැද බව අධ්‍යාපන බලධාරීහු පවා නො දනිති. 


සුනඛ වන්ධ්‍යාකරණය භාරගෙන ඇත්තේ රාජ්‍ය නො වන සංවිධාන විසින් බව දැන ගන්නට තිබේ. ඒ සඳහා ජනාධිපතිතුමා විසින් වෙන් කර දෙන ලද අති විශාල ධනස්කන්ධයට සිදු වන දේ දන්නවා ඇත්තේ ඔවුහු ය.

Association of Veterinarians for Humane Management of Animal Population සංවිධානයේ වෙබ් අඩවියේ දැක්වෙන පරිදි "ජලභීතිකා රෝගය ශ්‍රී ලංකාව තුළින් තුරන් කිරීම සඳහා සුනඛයන් වන්ධ්‍යාකරණයට ලක් කරමින් සුනඛ ගහණය පාලනය කිරීම නිසා දීර්ඝ කාලීනව මෙම ගැටළුවට ස්ථිරසාර පිළිතුරක් ලැබේ. නමුත් මෙම ප්‍රතිඵලය අපට දැකීමට තවත් වසර තුනක හෝ හතරක කාලයක් ගත වේ. මෙයට හේතු වන්නේ දැනට වන්ධ්‍යාකරණයට ලක් කරන සතුන් මිය යන තුරු සුනඛයන්ගේ අඩුවීමක් අපට දක්නට නොලැබීමයි. නමුත් මේ වනවිටත් සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සාර්ථකව සිදු කළ දිස්ත්‍රික්ක වල සුනඛ පැටවුන්ගේ ශීඝ්‍ර අඩුවීමක් ඔබට පෙනෙන්නට ඇතැයි සිතමු."

මේ අතර, Joint Association of Veterinarians to Eradicate Rabies සංවිධානය මේ මස මුලදී පැවසුවේ දිවයින පුරා ජලභීතිකා එන්නත් හිඟයක් ඇති බවයි.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය හා සත්ව සේවා අධ්‍යක්ෂ පී.ඒ.එල්. හරිශ්චන්ද්‍ර නිව්ස් ෆස්‍ට් වෙත පැවසුවේ මේ වසර මුල සිට ජලභිතිකා එන්නත් ලක්ෂ අටක් දිවයින පුරා බෙදා හැර තිබුණු බව හා එයින් ලක්ෂ පහක් ඔක්තෝබර් මුල වන විට එන්නත් කර තිබුණු බවයි.

ජලභීතිකා උවදුරේ තරම එයින් මොනවට පැහැදිලි වේ.

බලු ප්‍රශ්නය සරළ ප්‍රශ්නයක් නො වේ. බලු ගහණය පාලනය කිරීම සඳහා ඇති ක්‍රම විධිමත් කිරීමෙන් ජලභීතිකාව පාලනය කළ හැකි ය. මිනිස් ජීවිත බොහෝ ගණනක් බේරා ගැනීමට ද පුළුවන. මුදල් ගැන ම කල්පනා කරන්නේ නම් ජලභීතිකා එන්නත් සඳහා වැය වන මුදල් ඉතිරි කර ගත හැකි ය. එවිට බලු බදු අවශ්‍ය නො වනු ඇත.  



Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2 comments:

  1. at least LITTLE useful article from you after a long time...

    ReplyDelete
  2. ow me tax eken umba wage ballo elawanna be

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.