2010-10-15

යාපනයේ සිංහලයන්ගේ අවතැන් වීම හා වාර්ගික සහජීවනය | Sinhalese displaced from Jaffna and reconciliation

(2010 ඔක්තෝබර් 15, W3Lankaසටන් විරාම කාලයේ යාපනය පසුබිම් කරගෙන දෙමළ - සිංහල සබඳතා හා ජාතීන්ගේ ගැටුම පිළිබඳ සාකච්ඡා කරන ටෙලි නාට්‍යයක් අශෝක හඳගම නිර්මාණය කර ඉදිරිපත් කළේ ය. එහි නම 'මේ පාරෙන් එන්න' නම් විය. පශ්චාත් යුද සමයේ දැන් එම ජවනිකා වෙනත් තලයක සැබැවින් රඟ දැක්වෙමින් ඇත. 


යුද්ධය ආරම්භයට පෙර යාපනයේ පදිංචිව සිට අවතැන් වූ සිංහල පවුල් 150කට පමණ අයත් 300ක පමණ පිරිසක් මේ දිනවල යාපනයට පැමිණ. පිරිසක් යාපනය දුම්රියපොළේ වාඩි ලා ගනිමින්, යළි පදිංචි වීම සඳහා ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් දිස්ත්‍රික් ලේකම් ඇතුළු යළි පදිංචි කිරීම භාර නිලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව පසුගිය දිනවල පුවත්පත්වල වාර්තා විය. යාපනය දුම්රියපොළේ රැඳී සිටි පිරිසට හමුදාව විසින් ආරක්ෂාව සලසා තිබිණි. 


මනා ලෙස සංවිධානය වී සිටි මෙම පිරිස පසුපස ක්‍රියාත්මක වූයේ කවුරුද යන්න එකවර ම හෙළිදරව් වූයේ නැත. එහෙත්, දැන් ත්‍රස්‌තවාදී තර්ජන හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ උතුරු නැගෙනහිර සිංහල ජනතාව නැවත ඔවුන්ගේ මුල් පදිංචි ස්‌ථානයන්හි පදිංචි කරවීම සඳහා රජය කඩිනමින් කටයුතු නොකළහොත් ජාතික හෙළ උරුමය එම සිංහල ජනතාවගේ අයිතිය සුරක්‍ෂිත කිරීම සඳහා ජාති මාමක බලවේග පෙළගස්‌වන බවට ජාතික හෙළ උරුමය රජයට අනතුරු අඟවා තිබේ. 


යාපනය අර්ධද්වීපයේ විසූ සිංහල පවුල් 150 කට අයත් සාමාජික සාමාජිකාවන් 300 ක්‌ නැවත පදිංචිය සඳහා තම හිමිකම් ඔප්පු තිරප්පු රැගෙන යාපනය දුම්රිය පළ හා ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ක්‍රීඩාංගණයට පසුගිය 10 වැනිදා සිට පැමිණ ඇති බවත් මේ පිළිබඳ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ මැදිහත්වීම ඉතාමත් කණගාටුදායක බවත්, මේ පිළිබඳ විමසා ජාතික හෙළ උරුමය පසුගිය 11 වැනිදා නැවත පදිංචි කිරීමේ ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු මහතා වෙත ලිපියක්‌ යොමු කිරීමට පියවර ගත් බවත් ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසී ය. 


ත්‍රස්‌තවාදී ගැටුම් හේතුවෙන් උතුරු නැගෙනහිර දෙපළාතේ සිංහල පවුල් එක්‌ලක්‍ෂ හැටපන්දහස්‌ හාරසිය හතළිස්‌ අටකට උන්හිටිතැන් අහිමිව ඇති බව ද හෙළ උරුමය පවසයි. 


ත්‍රස්‌තවාදය හේතුවෙන් දෙමළ හා මුස්‌ලිම් ජනතාව බහුතරයක්‌ අවතැන් වූ නිසා ඔවුන් වෙනුවෙන් ප්‍රමුඛව කටයුතු කළ යුතු බව ජාතික හෙළ උරුමයද විශ්වාස කළ බවත් එහෙත් යුද්ධය අවසන් වී වසර එකහමාරක්‌ ගතවී ඇතත් අවතැන් සිංහල පවුල් වෙනුවෙන් සිදු වූ කිසිදු සෙතක්‌ නොමැති බවත් සෝභිත හිමි පැවසී ය.


1983ට පෙර යාපනයේ මෙන් ම සෙසු දෙමළ ජන ප්‍රදේශවල ද සිංහල සුළුතර ප්‍රජාවන් පදිංචි වී සිටි බව ප්‍රසිද්ධ කාරණයකි. විශේෂයෙන් ම යාපනයේ සිටි ජනයා සාමාන්‍ය අයුරින් සිදු වන ජන චලනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස යාපනයට පැමිණ එහි ව්‍යාපාර කටයුතු කරගෙන ජීවත් වූ පිරිසකි. 


එසේ ම, යුදමය අරමුණු මත බිහි කරන ලද සිංහල ජනපද ද තිබේ. මුලතිව් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මායිම්වල, තෙන්නමරවාඩි යන පැරණි දෙමළ ගම හා ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම්, සිලෝන් තියටර්ස් ෆාම් වැනි දෙමළ වැසියන් ජීවත් වූ ස්ථානවලින් ඔවුන් පළවා හරිමින් බිහි කර, පසුව මහවැලි එල් කලාපය ලෙස නම් කරන ලද වැලිඔය ජනපදය  නිදසුනකි. මෙම ජනපදවල පදිංචි වූ ඉඩම් හිඟයෙන් බැට කෑ දිළිඳු සිංහල ජනයා දිගින් දිගට ම කොටින්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයන්ට ගොදුරු වෙමින් අවතැන් වෙමින්, යළි පදිංචි වෙමින් සිටි පිරිසකි. 


ජාතික හෙළ උරුමයේ එක්‌ලක්‍ෂ හැටපන්දහස්‌ හාරසිය හතළිස්‌ අට ගණනය වන්නේ මිනිස් පළිහවල් හා අක්‍රමණශීලී මිලිටරි දේශපාලනයේ ඉත්තන් බවට පත් වූ මේ සිංහල ජනයා ද සමගයි. 


මෙම ජනයා‍ ජාතිවාදී දේශපාලන පක්ෂවල හා ආණ්ඩුවේ ආක්‍රමණශීලී උපායමාර්ගවල කොටස්කරුවන් වූ අතර, අප සිතන පරිදි නම්, මීට පෙර රජය ඔවුන්ට සහන සලසා ඇත. සහන ලෙස අප හඳුන්වන්නේ වන්දි, යළි පදිංචියට විකල්ප ඉඩම් හා නිවාස ඉදි කර ගැනීමට ආධාර ආදියයි. එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමතරව, ඔවුන්ගේ ඍජු ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටි ජාතික හෙළ උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ වැනි බලවේග 2004 සිට ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වී සිටිද්දී පවා ඔවුන්ට සහන සලසන්නට ආණ්ඩුව කටයුතු කර නැති නම් එය වෙන ම ප්‍රශ්නයකි. 


දැන් මෙම සිංහල ජනයාගේ ප්‍රශ්නය ද අවතැන් වූවන්ගේ ප්‍රශ්නයක් ලෙස කරුණු ඉදිරිපත් කෙරෙමින් දෙමළ හා මුස්ලිම් අවතැන් වූවන් හා සම තත්වයක් අපේක්ෂා කෙරෙමින් තිබේ. 


ඔවුන්ගේ ප්‍රශ්නය තියුණු ලෙස මතු කරන ලද තැනක් වූයේ යාපනයෙන් අවතැන් වූ සිංහල පවුල් වෙතිනි. ඔවුන් නැවත පදිංචිය සඳහා තම හිමිකම් ඔප්පු තිරප්පු රැගෙන යාපනයට ගොස් ඇති බව ජාතික හෙළ උරුමය කීවත්, යාපනය දිසා ලේකම් ඉමෙල්ඩා සුකුමාර් මාධ්‍යවලට කියා තිබුණේ ඔවුන් යාපනයේ ස්ථිර පදිංචිකරුවන් නො වන බවයි. 


මෙම පිරිස යාපනයෙන් අවතැන් වූ පසු සිය ස්ථිර පදිංචිය වෙනස් කර‍ගෙන තිබෙන්නට පුළුවන. එසේ ම ඔවුනට යාපනයේ යම් දේපල හිමිකමක් තිබිණි නම්, ඇති වූ තත්වය තුළ ඔවුන් ඒවා විකුණා දමන්නට ඇත. ඒ කුමක් වුවත්, ඔවුන් යාපනයෙන් අවතැන් වූ පිරිසක් ය යන්න බොරු නො වේ. 


දැන් තිබෙන ප්‍රශ්නය වන්නේ ඔවුනට සහන සලසන්නේ කෙසේ ද යන්නයි. එහිදී සලකා බැලිය යුතුව තිබෙන කාරණයක් වන්නේ මීට පෙර රජය ඔවුනට සලසා තිබෙන සහන මොනවාද යන්නයි. එසේ ම, සරණාගතයන් ලෙස ජීවත් නො වූ ඔවුන් තමන් යළි පදිංචි වූ ප්‍රදේශවල කෙතරම් සාමාන්‍ය ජීවිතයක් ගත කළේ ද යන්න ද සොයා බැලිය යුතු ය. 


යාපනයේ ඔවුන් සතු දේපල වෙනත් අය බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබේ නම් ඒවා සාමාන්‍ය නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ ආපසු ලබා ගැනීමට ඔවුන්ට පහසුකම් සැලැස්විය යුතු ව තිබේ. 


එහෙත්, දැන් ඔවුන් ඉල්ලා සිටින පරිදි යළි ඔවුන්ට යාපනයේ පදිංචි වීම සඳහා රජය නාගරික ඉඩම් ඔවුන්ට ලබා දියු යුතු ද යන්න සලකා බැලිය යුතු වන්නේ තවත් සාධක ගණනාවක් සමග එකටයි. 


යාපනය ඉඩම් හිඟ, ජනාකීර්ණ ‍ප්‍රදේශයකි. අධි ආරක්ෂක කලාප හේතුවෙන් ඉඩම් අහිමි වූ යාපනයේ වැසියන් විශාල පිරිසකට තවමත් සිය නීත්‍යනුකූල හිමිකම ඇති ඉඩම් ආපසු ලැබී නැත. එවන් තත්වයක් තුළ අවතැන් වූ සිංහල ජනයාට පළමුව ඉඩම් ලබා දීමක් සිදු වේ නම්, එයින් ඇති වන ප්‍රතිඵලය කුමක් විය හැකි ද? එමගින් ජාතීන් අතර ඊර්ෂ්‍යාව හා වෛරය තවත් වැඩි නො වන්නේ ද? එය මේ මොහොත සඳහා අවශ්‍ය සිංහල, දෙමළ සහජීවනය යළි ගොඩනැඟීම සඳහා කෙසේ බලපානු ඇද්ද? 


ජාතීන් අතර ගැටුම් නිසා කලකට පෙර අවතැන් වී, එහෙත් සරණාගත තත්වයෙන් මිදී, රජයේ ආධාර ඇතිව හෝ නැතිව වෙනත් තැන්වල යළි පදිංචි වී සාමාන්‍ය ජන ජීවිත ගෙවන ජනයා සිය මුල් ගම්බිම්වල යළි පදිංචිය සඳහා කරන ඉල්ලීම් සලකා බැලීමේදී නිශ්චිත ප්‍රතිපත්තියක් රජයට තිබිය යුතු ය. එම ප්‍රතිපත්තිය ජනවාර්ගික පදනමින් ජනතාව අසාධාරණයට ලක් කරන්නක් නො විය යුතු ය. 


මෙහිදී මතු වන තවත් ගැටලු රාශියක් තිබේ. 1958 තරම් ඈත කාලයේ පටන් ම සිංහල බහුතරයක් ජීවත් වූ ප්‍රදේශවල සිටි දෙමළ, මුස්ලිම් ජනයා වාර්ගික ගැටුම් හේතුවෙන් අවතැන් වී තිබේ. නිදසුනක් ලෙස අනුරාධපුරය පූජා නගරය බිහි කරන සමයේ පවා එහි පදිංචිව සිටි දෙමළ ජනයා අවතැන් වූහ. 1950 දශකයේ අගභාගයේදී පදවිය ජනපදය බිහි කරද්දී දෙමළ ජනයාට පදිංචි වීම සඳහා වෙන් කරන ලද ඉඩම්වල එම ජනයා පදිංචි වීම සංවිධිත සිංහල කොටස් විසින් බලහත්කා‍රයෙන් වළක්වා පසුව අවිධිමත් ලෙස තෝරා ගන්නා ලද පිරිස් දෙමළ ජනයාට වෙන් කරන ලද ඉඩම්වල පදිංචි කරන ලදී. මේ පිළිබඳ විස්තර 1958 කලබල පිළිබඳ ටාසි විට්ටච්චි විසින් ලියන ලද පොතෙහි සඳහන් වේ. 


සිංහල ජනයා බහුතරයක් ජීවත් වන ප්‍රදේශවල සිට වාර්ගික ගැටුම් නිසා කලින් කල අවතැන් වූ දෙමළ, මුස්ලිම් ජනයා ගණනය කළොත් එය විශාල සංඛ්‍යාවකි. යාපනයේ සිංහලයන්ට සලසන සහනය මත පදනම්ව මෙම ජනයා ද යළි පදිංචිය සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළහොත් ඒ සියල්ලටමත් එක ම අන්දමින් කටයුතු කිරීමේ ප්‍රායෝගික හැකියාවක් තිබේ ද? 


සියල්ලට ම වඩා මේ ඔස්සේ ජාතික සහජීවනය තවත් පළුදු වේද යන්න සිතා බැලිය යුතුව තිබේ. 


තමන් අසල පදිංචියට එන, දීර්ඝ කාලයක් ඈත්ව සිටි හෙයින් හා දේශපාලන ගැටුම් හේතුවෙන් ආගන්තුක යයි හැ‍ඟෙන වෙනත් බසක් කතා කරන ජනතාවක් අසල්වැසියන් ලෙස සුහදව භාර ගැනීමට සිංහල, දෙමළ වැසියන් සූදානම් ද? 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2 comments:

  1. ඔන්නෙ මුන්ගෙ හෙළුව පේන ආකාරය! දෙමළට කොහොම හරි ඉඩම් දෙන්න ඕන. ඒකෙදි දෙමළා ජීවත් වෙච්ච තත්ව ගැන මොකුත් ප්‍රශ්න නෑ. හැබැයි සිංහලයට ඉඩම් දෙන්න වෙච්ච ගමන් පුක විකා ගෙන නහින්න හදනවා. මුන්ට ඔන සිංහලයන්ට හත්වලාමේ තේසවලාමේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරි කරන එක (ඒකට ඉඩම් අයිතිය සිංහලයන්ට තියෙන්න ඕනේ). තොපි වගේ අවජාතකවාදී හැත්තක්!

    ReplyDelete
  2. awajatakaya kiyala
    tamanta ma apahasa karaganne mokada?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.