2010-11-13

පාසල්වල ප්‍රධාන ප්‍රශ්නය කොණ්ඩා හා ඇඳුම් ද? | Are the major issues in schools the haircuts and the clothing?

(2010 නොවැම්බර් 13, W3Lanka) පසුගිය 9 වන දින මාතර නගරයේ ජනප්‍රිය බාලිකා විදුහලක 11, 12, 13 ශ්‍රේණිවල ශිෂ්‍යාවන් 18 දෙනකුගේ කොණ්ඩය බලෙන් කැපූ ගුරුවරියන් තිදෙනකු පිළිබඳ මාතර පොලිසිය පරීක්ෂණ පවත්වන බව අද දිනමිණ වාර්තා කර තිබේ.


මේ වන විට ලංකාවේ අධ්‍යාපන පද්ධතියට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ සිසුන්ගේ කොණ්ඩා හා නිල ඇඳුම් ය. අප කියන්නේ බොරුවක් නො වන බව විදුහල්පතිවරුන් හා ගුරුවරුන් කීපදෙනෙකුගෙන් විමසුවොත් දැනගන්නට පුළුවන. 


විමල් අයියා, නාමල් අයියා වැනි අය කොණ්ඩයේ ජෙල් ගා ලස්සනට ඉඳිද්දී පාසල් දරුවෝ ද එය අනුගමනය කරති. එහෙත්, විදුහල්පතිවරු එයට අකැමැති වෙති. කොණ්ඩා දිගට කැපුවත්, කොටට කැපුවත්, ශිරන්ති කට්. අයෝමා කට් කැපුවත් පාසල්වල විදුහල්පතිවරු එය නො රුස්සති.


එසේ ම සිසුන් කමිසය යට කරන ආකාරය, බැගය එල්ලාගෙන එන ආකාරය පිළිබඳ පවා කම්පා වී ගුරුවරු වැඩි දෙනෙක් දියවැඩියා හදා ගනිති. (හෙට ලෝක දියවැඩියා දිනයයි..) 


මෙතැන ඇති ප්‍රශ්නය දිළිඳුකම හා සමාජ පසුගාමිත්වය බව ගුරුවරු නො දනිති. විලාසිතා කිරීමට මුදල් ද, මුදල් තිබුණත් ඇඳ පැළඳගෙන යන්නට තැනක් ද නැති නිසා පාසල් සිසුන් දන්නා විලාසිතාව කරන්නට යන්නේ පාසලට හා ටියුෂන් පංතියටයි. 


ළමයින්ට ඇති දහසක් ප්‍රශ්න මැද මේවා ද ප්‍රශ්න බවට පත් කර, බාබර්ලාගේ, ටේලර්ලාගේ වැඩ කරන්නට හෙවත් බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට ගොස් ගුරුවරු අමාරුවේ වැටෙති. 


මේවා ගුරුවරුන්ට විසඳිය හැකි ප්‍රශ්න නො වේ. මේ වෙනුවෙන් ළමයින්ගේ ජීවන රටාව වෙනස් කළ යුතු ය. ළමයින් විවේකය, විනෝදය ලබන ආකාරය වෙනස් කළ යුතු ය. ඒවා උසස් අන්දමින් කළ හැකි වන පරිදි අවස්ථා විවෘත කර දිය යුතු ය. 


ළමයින්ට ආදර්ශයක් වීමට වැඩිහිටියන් උසස් අන්දමින් විවේකය, විනෝදය ලබා ගන්නා ආකාරය පෙන්වා දිය යුතු ය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

34 comments:

  1. මං මුලින් ලියන්න ගියේ දශක ගණනාවක් ගිහිනුත් මේ දේවල් තාම වෙනවා නේද කියලා.

    පස්සේ මතක් වුණා එදා අපේ පන්තිවල හිටිය ළමයි නේද අද විණය බාර ගුරුවරුන් සහ විදුහල්පති ලා වෙලා ඉන්නේ කියා...!!!

    ReplyDelete
  2. පාසලේ අරමුන ලමයාගේ කොන්ද කඩා පෞර්ෂත්වය නැති කිරීමයී. හරියට හමුදාවේ නවක සොලදාදුවන්ගේ වාගේ. ඒ සදහා කැමතී ඕනෑම නීතියක් "විනය තැකීම" ක්‍රියාත්මක කිරීමේ අයීතිය අපේ ගුරුවරුන්ට තියෙනවා.

    ReplyDelete
  3. ගතානුගතික කුහක හැත්ත. ඕකට ප්‍රධාන හේතුව ඊර්ශ්‍යාවයි, කුහකත්වයයි.

    -Sahan

    ReplyDelete
  4. මම විරුද්ධයි. ඔයගොල්ලෝ කුහක වෙලා අපිට කෑ ගහන්න එපා. මෙකන සමහර වෙලාවට පුද්ගලික හේතු මත කොණ්ඩ කපපු අවස්තා තියෙනම් මං අවංකව දුක් වෙනවා.නමුත් කොන්ඩය කොටට කපා පැත්තට පීරීම, හිස මුදුනින් රොදය බෙදා කරල් දෙකට ගෙතීම ඕනෑම පාසලක පාසල් නිලඇදුමේම කොටසක්.

    ඉස්සරහයින් කොන්ඩය කපා කෑලි මූණට දැමීමත්,ජෙල් ගා මැදින් ඉස්සීම ආදී මෙකී නොකී දහසක් දේ ළමයින් කොච්චර කීවත් කරනවා. ඔයාල අවවාද වලින් හැදෙන අය නෙවේ. පාසලක ඉන්නේ ළමයි දහදෙනෙක් නෙවේ. ඔය ඉන්න අය ඔ‍ක්කොම ඔහොම කරන්න ගත්තම පද්දතියට මොකද වෙන්නේ? විලාසිතා කරන්න ජීවිතේ 18න් පස්සේ තව ගොඩක් කල් තියෙනවා.

    මතක තියා ගන්න අපට ජීවිතේ පිලිවෙල,විනීතකම, ඔය වයසෙදි පුරුදු වෙන්න ඕන.කොකිස් අච්චුවක බැදෙන නිසයි ලස්සට තියෙන්නේ. නිකම්ම පිටි වක්කරලා හැදුවට බෑ.ළමයින්ට එක රාමුවක් ඇතුලේ ඒ ඒ පාසලේ ඉන්න වෙනවා. තමන්ට ඕන විදියට ඉන්න බෑ. අපි හැමෝම පාසල් ගියානේ. ඒ කාලේ අපි හිටපු හැටි පහුකාලේ අපිව ඔසවා තියපු හැටි අමතක මිනිස්සු ඉන්න එකයි පුදුමේ.

    පැරකුම් අපි ඔයා ලියනදේවල් කියවනවා. නමුත් රජයට විරුද්ධ ඔයාගේ මතයට ගාව ගන්න ඕන දේ හා නැති දේ ගැන ඔයා හිතන්නේ නැති එක ගැන අවංකව දුක් වෙනවා.මෙතන ඔය ගුරුවරු පව්.ඒ මිනිස්සුන්ට පුද්ගලිකව ලැබෙන දෙයක් නෑ ළමයින්ගේ විනය කඩ කිරීම් වලට මැදි වෙලා. පාසල් පද්දතියේ ඉන්න ගුරුවරු බහුතරයක් ළමයි මොනා කලත් නොදුක්ක වගේ ඉන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න නිසා තමයි.

    ReplyDelete
  5. පාසල් වල නන් කමක් නෑ කියමුකෝ..මොකද ඒකෙ ඉන්නේ තනිවම තීරනයක් ගන්න අමාරු දරුවන්...ඒ නීති යොදන්නෙ අත්දැකීම් පිරි උගත් ගුරුවරු...ඒත් පොඩ්ඩක් කැම්පස් ගැන බලන්න..අලුතෙන් එන ලමයි දිහා...හිරගෙදර වගේ කොන්ඩෙ කපාගෙන...සෙරෙප්පු දාගෙන...ශර්ට් එක උඩින් දාගෙන්..කෙල්ලො කොන්ඩෙ ගොතල...මූන හොදන්නෙ නැතුව...මේව කරන්න අනුබල දෙන්නේ තමන්ට වඩා ඕන්නන් අවුරුද්දක් වැඩිමහලු අය....ඉතින් ඔය ඉස්කෝලෙ විනය කියන්නෙ සාකච්චා කරන්නවත් දෙයක් නෙමේ..

    ReplyDelete
  6. @අරුණ සර්

    අප කියන්නේ පාසල්වලට විනයක් අවශ්‍ය නැති බව‍ නො වේ. මෙතැන ප්‍රශ්නය පාසල් දරුවන් විනයගත කිරීම ඉක්මවා ගිය කුහකත්වයක් හා මර්දනයක් පාසල්වල ක්‍රියාත්මක වීමයි.

    අපි නිදසුනක් ලෙස ගුරුවරියන්ගේ ඇඳුම සලකා බලමු. සාමාන්‍යයෙන් ම නාරි ලාලිත්‍යය හුවා දක්වන ඇඳුමක්. ඒකට කමක් නැහැ. ඒත්, හැට්ටයේ පහළ දාරයත්, සාරියේ ඉණත් අතර පරතරය ගැන නීති දාන්න යන එක ප්‍රායෝගික නැහැ නේ ද? ඒවා නීතිවලින් නොවෙයි අවබෝධයෙනුයි විය යුත්තේ. ඒත්, එහෙම වෙන්නේ නැහැ නේ ද?

    විශේෂයෙන් ම නව යොවුන් වියේ පාසල් දරුවන් කියන්නේ නුදුරින් ඇති වැඩිහිටි ජීවිතය පිළිබඳ ප්‍රශ්න විසින් අවුල් කරන ලද මනසක් ඇති පිරිසක්. මර්දනය හැර, මේ දරුවන්ගේ මනස සුවපත් කරන්න පාසල්වල තිබෙන විධිමත් වැඩපිලිවෙළ කුමක් ද?

    අනෙක් පැත්තෙන් මේ වයසේ දරුවන්ට ලබා දිය යුතු ආදරය, රැකවරණය, නිදහස, සමාජ අවස්ථා, විනෝදාංශ, ක්‍රීඩා හා අනාගතය පිළිබඳ විශ්වාසය ඇති කරන්න මේ සමාජය හෝ වැඩිහිටියන් හෝ සමත් වී තිබෙනවා ද?

    අප කියන්නේ කන්ද කඩා වැටුණු විට හුඹහට කෙළින් සිටිය නො හැකි බවයි. මේවා වළක්වන්න බාබර්, ටේලර් වැඩ කිරීම හැර ගුරුවරුන්ට වෙන විකල්පයක් නැද්ද? හැරත්, අප ඉහත කී කරුණුවලට වඩා මේ කාරණය වැදගත් ද?

    ReplyDelete
  7. Den kale iskole kollo, kello mara widiyata andagena inne, unge olu bassanna ona,
    discipline is a must, rasthiyadukarayo wage iskole yanna denna ba!

    but this wont apply to minsiters sons, who are born rascals, they come like veddhas!
    noone speak against them,

    these rules are applied to ordinary students

    ReplyDelete
  8. ළමයින් ගේ විනය හදන්නට යන ගුරුවරුන් ට ඇත්තටම ලැබෙන දෙයක් නැත. ඒ ගැන සිතා අපි ද ඇත්තටම කට පියාගෙන සිටීමට පුරුදු වී සිටිමු. ඒ දෙමාපියන් ගෙන් ගුරුවරුන් ට ලැබෙන පශ්චාත් සැලකිලි නිසාය. උදාහරණයක් ලෙස මගේ 11 ශ්‍රේණියේ දරුවෙකුට මම දිනක් "මෙහෙම වැඩ කලොත් විභාගේ ෆේල් වෙනවා" යැයි දොස් කී දිනට පසු දින ඔහුගේ මව පාසලට පැමිණ තමා ඉන්නා තැන ද අමතක කර රණ්ඩු කලාය. හේතුව "ටීච බැන්නම මගේ දරුවා ගේ මානසික තත්වය පහල බහිනවා".

    එදායින් පසු මේ ටීච ළමයින් ගේ වැඩ වලට ඇසක්වත් යොමා නොබලන්නේ ගුරු වෘත්තියේ ගෞරවය රැක ගනීමටයි. ළමයින්ට ඔනේම නෙයියාඩගමක් නටා ගැනීමට ඉඩ දී අපි ඇස් කන් පියා සිටිමු. මානව හිමිකම් හා වෙනත් දහසකුත් නීති හමුවෙ ගුරුවරයා ගේ සීමාව අතිශයින් ම සීම වී ඇත. අසරණ ගුරුවරු වන අපි මින් පසු ළම්යින් ට ඉගැන්වීම හැර වෙනත් දෙයකට අත නොපොවන තාක් ඔලුව ද බේරාගෙන නම්බු පිට ජීවත් වීමට හැකි බව දැන් වටහාගෙන සිටිමු. මක් නිසාද යත් අවසානයේ සියල්ලටම වැරදිකරුවා ලෙස හංවඩු ගැහෙන්නේ ද ගුරුවරයාම පමණක් බැවිනි.

    ReplyDelete
  9. @සංජු:

    [said:සංජු]
    මානව හිමිකම් හා වෙනත් දහසකුත් නීති හමුවෙ ගුරුවරයා ගේ සීමාව අතිශයින් ම සීම වී ඇත.
    [/said]

    ගුරුවරයෙක් වීමට මානව හිමිකම් උල්ලංඝනය කළ යුතු නම්, එහෙව් ගුරුවරුන් නැතුවාටම කම් නැත!

    ReplyDelete
  10. අපේ කාලේ ගුරුවරුන් ගේනපුරුකම් ගැන අමුතුවෙන් කතා මොකටද?

    මෙන්න මගෙන් වෙනත් ආකාරයක ප්‍රශ්ණයක්. ටිකක් පරණ එකක්.

    ගුරුවරියෝ සාරි අඳින්නම ඕනැද? ගවුම් අඳින්න බැරිද? එතකොට පිරිමි ගුරුවරු?

    kathandara.blogspot.com/2009/07/blog-post_21.html

    ReplyDelete
  11. @ බුධාජීව සහ කතන්දර,
    සංජු කොහෙද කියන්නේ මානව හිමිකම් කැඩුවම හොද ගුරුවරයෙක් වෙනවා කියලා???
    හද පෙන්නුවම ඇගිල්ල දැකල කෑ ගහන්න එපා.

    අතීතය එඩිට් කරන්න හදන්න එපා කතන්දර. එදත්, අදත්, ගුරුවරියට ගැලපෙන ඇදුම සාරිය තමයි. මං පිලිගන්නවා පැකුම් කියනවා වගේ ගුරුවරියන් විලාසිතා කරනවා කියලා. හොයලා බලන්න එයාලා කව්ද කියලා. උගන්න්න එන කව්රුත් ගුරුවරියන් හෝ ගුරුවරුන් විලාසිතා කරන්නේ නෑ.එහෙම නැති අය ඉන්නවා. ඒකට කරන කෙනා මොනවා නම් කරන්නද??

    ReplyDelete
  12. /*අප කියන්නේ පාසල්වලට විනයක් අවශ්‍ය නැති බව‍ නො වේ. මෙතැන ප්‍රශ්නය පාසල් දරුවන් විනයගත කිරීම ඉක්මවා ගිය කුහකත්වයක් හා මර්දනයක් පාසල්වල ක්‍රියාත්මක වීමයි./*

    හැම තැනම නෙවේ. නමුත් සමහර තැන්වල එහෙම වෙනවා ඇති. විශේෂයෙන් ගැහැණූ ළමයි හා ගුරුවරියන් අතර සමහර දේවල් මමත් දැකලා තියෙනවා ඊර්ශ්‍යාව මුල් වෙන.

    /*අපි නිදසුනක් ලෙස ගුරුවරියන්ගේ ඇඳුම සලකා බලමු. සාමාන්‍යයෙන් ම නාරි ලාලිත්‍යය හුවා දක්වන ඇඳුමක්. ඒකට කමක් නැහැ. ඒත්, හැට්ටයේ පහළ දාරයත්, සාරියේ ඉණත් අතර පරතරය ගැන නීති දාන්න යන එක ප්‍රායෝගික නැහැ නේ ද? ඒවා නීතිවලින් නොවෙයි අවබෝධයෙනුයි විය යුත්තේ. ඒත්, එහෙම වෙන්නේ නැහැ නේ ද?/*

    එකගයි.එතනදී අපි එකට දකින හීනේ සැබෑ උන දාක ඒ අව්ල ලිහා ගන්න පුළුවන් වෙයි.දැනට අපි දෙන්නටම පුළුවන් දේ තමයි මේ අපි කරන්නේ මගේ හිතේ.

    /*විශේෂයෙන් ම නව යොවුන් වියේ පාසල් දරුවන් කියන්නේ නුදුරින් ඇති වැඩිහිටි ජීවිතය පිළිබඳ ප්‍රශ්න විසින් අවුල් කරන ලද මනසක් ඇති පිරිසක්. මර්දනය හැර, මේ දරුවන්ගේ මනස සුවපත් කරන්න පාසල්වල තිබෙන විධිමත් වැඩපිලිවෙළ කුමක් ද?/*

    ඕනවටත් වඩා තියේ පැරකුම්.ඒත් මේ ළමයි ඉස්කෝලේ ඉන්නේ දවසකට පැය 6යි. ඉතුරු 18ට ගෙදර.අපි ඔලුව හදල ගෙදර යවන ළමයා එන්නේ අපි කලින්දා කිව්ව දේවල් ඌර්ධවපාතනය කරං.ඉතිං අපි මොනාද කරන්නේ.ටීවී,රේඩියෝ,මිනිස්සු,ගෑනු, තව ලිස්ට් එක දිගයි.

    පාසල සමාජයේ උප කුලකයක් විතරයි. සමාජයේ වැරදි පාසලට කාන්දු වෙනවා හරි ඉක්මනට.එතනදි ඔයා අර කිවිව වගේ යොවුන් ළමයි කරදරේ වැටෙනවා. ටැබූ ලිවිවනේ සමහර පාටි ජාතිත් පාසල් ළමයි දාන.ඕක සමාජය විසින් ළමයට කරන බලපෑම.අපි මෛත්‍රී බුදුන් උනත් ළමයි අහන්නේ නෑ.එයාලට ඇහෙන්නේ නෑ.

    /*අනෙක් පැත්තෙන් මේ වයසේ දරුවන්ට ලබා දිය යුතු ආදරය, රැකවරණය, නිදහස, සමාජ අවස්ථා, විනෝදාංශ, ක්‍රීඩා හා අනාගතය පිළිබඳ විශ්වාසය ඇති කරන්න මේ සමාජය හෝ වැඩිහිටියන් හෝ සමත් වී තිබෙනවා ද?/*

    නෑ නෑ නෑ. මේ යන ක්‍රමයට කවදාවත් ලැබෙන්නෙත් නෑ.අපි වෙනස් උනොත් තමයි රටේ වෙනසක් ඇති වෙන්නේ.ආකල්ප වෙනස් වෙන්න ඕන අපේ.අපේ මිනිස්සුන් වෙනස් වෙනවා කාලෙන් කාලෙට දේශපාලනිකව. නමුත් ආකල්ප වලිං අපි තාමත් එක තැන.

    /*අප කියන්නේ කන්ද කඩා වැටුණු විට හුඹහට කෙළින් සිටිය නො හැකි බවයි. මේවා වළක්වන්න බාබර්, ටේලර් වැඩ කිරීම හැර ගුරුවරුන්ට වෙන විකල්පයක් නැද්ද? හැරත්, අප ඉහත කී කරුණුවලට වඩා මේ කාරණය වැදගත් ද?/*

    තියෙනවා විකල්පයක්. දැක්කේ නෑ වගේ ඉන්න එක. අද ගොඩක් තැන්වල වෙන්නෙත් ඒක.වැඩ කරන්නේ නෑ කියලා ගුරුවරු ගෙදර යවලා තියෙනවද??? වැඩ කරන්න ගිහින් තමයි ගොඩක් අය ගෙදර ගිහිං තියෙන්නේ.එකෙක් දෙන්නෙක් තාමත් ඉතුරුයි.ඔය කොන්ඩේ කපලා තියෙන්නේ අන්න එහෙම අය ටිකක්.ඔය කීප දෙනා නැති දාට කතංදර කතන්දරයක් ලියයි කොන්ඩ වවං ඉස්කොලේ එන ළමයි ගැන ගුරුවරු නොබලන එක ගැන.

    ReplyDelete
  13. @අරුණ සර්:
    [said:අරුණ සර්]
    සංජු කොහෙද කියන්නේ මානව හිමිකම් කැඩුවම හොද ගුරුවරයෙක් වෙනවා කියලා???
    [/said]

    මාගේ ප්‍රකාශයට පළමුව "සංජු"ගේ අදාළ ප්‍රකාශය උපුටා දක්වා ඇත.

    ReplyDelete
  14. සියළු ගැටළුවලට මුල "ගුරුවරුන්" තමන් මිනිසුන් බව අමතක කර තමන් සියල්ල දත් බවත් තමන්ටකිසිවක් වැරදිය නොහැකි බවත් උපකල්පනය කරමින් කටයුතු කරන්නට යාමයි.

    ගුරුවරු පමණක් නොව ඕනෑම අයෙකු තමන් ප්‍රශ්න කිරීමකින් තොරව නිවැරදි ලෙස පිළිගනු ලැබීමට ලක් විය යුත්තෙකු ලෙස සිතනවානම්, ඔහු යොමුවන්නේ වැරදි මගටයි.

    ආගමික පූජකයන්, ගුරුවරු, දේශපාලනඥයන් (එහෙව් ජාතියක් ඉන්නවානම්) out-of-the-box නිවැරදි බවත්, කවදාවත් ඔවුන්ට නොවැරදිය හැකි බවත් හිසේ තබාගෙන ඔවුන්ට වන්දනාමාන කරන සමාජයකට යාහැකි දුර අර ඉහළින් කී අයට යා හැකි දුර පමණක් බවත්, දැකිය හැක්කේ ඔවුන් දකින්න පමණක් බවත් දත යුතුයි.

    ReplyDelete
  15. අරුණ සර්,
    මම නිතරම ඔය කොකිස් අච්චු උදාහරනේ යොදා ගන්නවා. හැබැයී ඔය අදහසෙන් නොවෙයී.
    කොකිස් ලස්සන උනාට වැදගත්කමක්, වටිනාකමක් නැහැ. අපි පොඩි කාලෙ රන්ඩු වෙන්නේ කිරිබත් තැටියේ අයීන් කෑලි වලට. රොටී හදලා ඉවර වුනහම ඉතිරුවුනු පිටි ටිකෙන් හැදෙන පොඩි රොටියට. මොකද ඒවා වෙනස්. ඒ නිසාම වටිනාකමක් ලැබෙනවා.
    මිනිස්සු, ලමුන් කියන්නේ කොකිස් අච්චුවලින් හදාපු කොකිස් නොවෙයී. මිනිස්සු, ලමයී කියන්නේ නාම පද නොවෙයී, ක්රියා පදයී. අපේ ජීවිත කොක්ස් අච්චු වලට දාන්න ගියහම අපි ඔක්කොම දුකට පත් වීම පමණයි වෙන්නේ. අපි හැමදේම කරන්නේ මේ කොකිස් අච්චුවල්ට සෙට් වෙන්න නේද? කසාද බැදීම, රැකියා කිරීම, ගෙවල් දොරවල්, ලමුන් හැදීම, පහවසර ශිෂ්යත්වය. මේ කොකිස් අච්චුවල දාපු, වැදගත් කමක් නැති, අනන්යතාවයක් නැති ජීවිත පටන් ගන්නේ පාසලෙන්. ලමුන් / මිනිසුන් පිටියෙන් හැදුනානම් ඔයීට ලස්සනයී. වර්නවත්. ස්බාවිකයී.
    ලමුන් හොද ගති ගුණ ඉගෙන ගත යුත්තේ, ලමුන්ගේ සුබසිද්දිය සදහායී. විනය අවශ්ය වන්නේ පාසල පවත්වාගෙන යාම සදහායී. නිල ඇදුමෙනුත් බලාපොරොත්තු වන්නේ, ලමුන් (හෝ මිනිසුන්) පහසුවෙන් පාලනය කිරීමට රුකුලක් වීමයී. එයීන ලමුන්ට සෘජුවම ලැබෙන ප්රයෝජනයක් නෑ. නමුත්, පාසල නම් වූ ආයතනයට විනය අවශ්යයී. කොන්ඩේ කොටට කැපූ ලමයාට කනට ගැසීම, කොන්ඩේ දිග ලමයාගේ කනට ගැසීමෙන් ලමයාටවත්, පාසලටවත් සිදුවෙන හොදක් නැහැ.

    පාසල් නිල ඇදුමම විලාසිතාවක්. බුදුන්ගේ සිවුරත් විලාසිතාවක්. පහසු, උනුසුම්, සත්ව හම් වෙනුවාවට, ආදී ප්රාථමික මානවයා පවා අපහසුවෙන් රෙදි සදා, සායම් ගැන්වූවේ, විලාසිතාවනට ඇතී (අ)ස්බාවික මානව කැමැත්ත නිසායී. ඒ කැමැත්ත ඇතිවයී අපි ඉපදෙන්නේ. පාසල මගින් ඒ ස්බාවික ආසාවන් මොට කිරීමෙන්, අනෙකුත් නිර්මානාත්මක හැකියාවනුත් මොට කරලා දමනවා. ලමුන්ට ඕනෑ ඕනෑ හැටියට ඕනෑ විච්චූරණයකින් සැරසී පැමිණීමට ඉඩ දිය යුතුයැයී මා කියන්නේ නෑ. (එහෙම උනොත් ආයතනය පවත්වා ගත නොහැකි වෙනවා). නමුත් ඒ සදහා සරල නීතී කිපය තිබුනානම් ඇති. මේ ගැනම මම පිටරටල ඉන්නා යලුවෙකුට කෝල් එකක් දීලා ඇහුවා. ඒ පාසලේ නීතිය, බෙල්ලෙන් පහලට කොන්ඩේ තියෙන්න බැහැ. කොන්ඩේ පාට කරන්න බැහැ. කන් වැහෙන්න බැහැ. ගෑනු ලමුන්ට “පෝනි ටෙල්” එකක් දාන්න අවසර තියෙනවා. සරලයී. ඒ සීමාව ඇතුල තුල ලමයාට කැමති ඕනෑම දෙයක් කරන්න නිදහස තියෙනවා.
    අපේ පාසල් ගොඩ නගා ඇත්තේ වික්ටොරියානු කාර්මික ක්රමයට ගැලපෙන ආකාරයෙන්, වික්ටොරියානු කර්මාන්ත ශාලාවන් (assembly line) ලෙසිනුයී. අපේ පාසල් වල අරමුණත්, මේ කර්මාන්ත ශාලාවට ගැලපෙන විනය ගරුක සේවකයන් බිහිකිරීමයී. නමුත් දැන් ලෝකය වෙනස්. විනයට ගරුක බවට වඩා තැන් ඇත්තේ නීර්මාණාත්මක බාවයටයී. ඉගෙන ගත් දැනුමට වඩා තැන ඇත්තේ නීර්මාණාත්මක බාවයටයී. මෙ පිලිබද් කෙන් රොබින්සන්ගේ අගනා වීඩියෝ කීපයක් යූටූබ් හී තියෙනවා. දැනගැනීමට ආසාවක් ඇති උදවිය කීප පාරයක් බැලුවෝතින් හොදයී.

    ReplyDelete
  16. @අරුණ සර්:
    "මම විරුද්ධයි. ඔයගොල්ලෝ කුහක වෙලා අපිට කෑ ගහන්න එපා."

    ඒ කියන්නේ අදාළ ගුරුවරුන් විසින් මෙම සිසුන් අපයෝජනයට ලක් කිරීමට ඔබ එකඟයි?

    "මෙකන සමහර වෙලාවට පුද්ගලික හේතු මත කොණ්ඩ කපපු අවස්තා තියෙනම් මං අවංකව දුක් වෙනවා."

    පුද්ගලික හේතු මත එහෙම කරන්න ගුරුවරුන්ට බලය ලැබීම වැරදි නැද්ද?

    "නමුත් කොන්ඩය කොටට කපා පැත්තට පීරීම, හිස මුදුනින් රොදය බෙදා කරල් දෙකට ගෙතීම ඕනෑම පාසලක පාසල් නිලඇදුමේම කොටසක්."

    පාසල් නිල ඇඳුමට කොණ්ඩය කැපීය හෝ ගෙතිය යුතු අන්දම ඇතුලත් විය යුතුද නැතිද යන්න වෙනම සාකච්ඡා කළ යුතු කරුණක්. මන්ද පාසල් කාලය අවසන් වීමෙන් පසු වෙනත් කොණ්ඩයකට මාරුවීමේ හැකියාවක් සිසුන්ට නොමැති නිසා.

    "ඉස්සරහයින් කොන්ඩය කපා කෑලි මූණට දැමීමත්,ජෙල් ගා මැදින් ඉස්සීම ආදී මෙකී නොකී දහසක් දේ ළමයින් කොච්චර කීවත් කරනවා."

    එහෙනම් ළමයින්ට කරන්න පුළුවන් විදියේ අවවාද දෙන්න.

    "ඔයාල අවවාද වලින් හැදෙන අය නෙවේ."

    හදන්න වැරැද්දක් නෑ නේ?

    "පාසලක ඉන්නේ ළමයි දහදෙනෙක් නෙවේ. ඔය ඉන්න අය ඔ‍ක්කොම ඔහොම කරන්න ගත්තම පද්දතියට මොකද වෙන්නේ?"

    සිසුන්ට මක්කා උනත් කමක් නෑ පද්ධතිය තියේනං, නැද්ද?

    ReplyDelete
  17. @අරුණ සර්:

    "විලාසිතා කරන්න ජීවිතේ 18න් පස්සේ තව ගොඩක් කල් තියෙනවා."

    18න් ඉස්සෙල්ලා ජීවිතේ ගෙනියන්න ඕනෑ ඔබ තුමාලාට ඕනෑ හැටියටද? නමුත් කල්පනා කරලා බැලුවොත් පෙනෙයි මේ රටේ "වැඩිහිටි" පරම්පරාව හිතං ඉන්නේ "තරුණයන්" ජීවිත කාලෙ පුරාවටම වැඩ කරන්න ඕනේ තමන්ගේ ප්ලෑනට අනුව කියලා. පහුගිය දා ජ'පුරේ සිද්ද වෙච්ච කන්‍යාපටල පරීක්‍ෂාව ඊට මෑතින්ම ලබාදිය හැකි හොඳ උදාහරණයක්!

    "මතක තියා ගන්න අපට ජීවිතේ පිලිවෙල,විනීතකම, ඔය වයසෙදි පුරුදු වෙන්න ඕන."

    හැබෑටම. හිතල බලන්න අපිට පුළුවන් නේ ඔය සංකල්පේ ඉස්කෝලෙං එළියට අරං යන්න? හිතල බලන්න ලංකාවෙ හැම කෙනාම එකම ඇඳුමක් ඇඳලා, එක විදියට කොණ්ඩෙ කපලා, පාර යනකොට එකම වෙලාවට වම-දකුණ=වම අඩිය තියලා යනකොට කොච්චර විනීතද?

    මහත්තයෝ, නිකං පොතේ තියන ප්ලෑනට ළමයින්ට විනීතව වැඩ කරන්න කියල දෙනවට වඩා හොඳ නැද්ද, අවස්ථාවට ගැළපෙන අයුරින් ක්‍රියා කරන්න ඕන විදිය කියල දුන්නා නං? එතකොට ප්ලෑනක් නැති තැනක උනත් කඩා හැලෙන්නේ නැතිව ඉන්න පුළුවන්. නිකං ප්ලෑනට කොටු කරලා සමාජය විනීතව දක්කන්න හැදීම නිසා තමයි ප්ලෑනක් නැති තැනකදී සමාජය ඉහිරිලා යන්නේයි, ප්ලෑනෙන් පීඩනේට ලක් වෙච්ච ඈයෝ ප්ලෑනෙන් පනින ගියාම ප්ලෑනයි ඔබ තුමාගේ පද්ධතියයි දෙකම දෙදරන්නේ.

    "කොකිස් අච්චුවක බැදෙන නිසයි ලස්සට තියෙන්නේ. නිකම්ම පිටි වක්කරලා හැදුවට බෑ."

    ළමයි = කොකිස්? හ්ම්.. ඔබ ගුරුවරයෙක්ද? එසේ නම් ඔබතුමාගේ සේවාලාභීන්ට තමංගේම පිහිටයි!

    මම දවසක් අහගෙන ඔය වගේම "ගුරුවරයෙක්" කියනවා, ළමයි නිකං මැටි ගොඩවල් වගේලු, ඕන ඕන හැටියට අනලා රූප අඹන එක "ගුරුවරුන්ගේ" වැඩේලු. එක අතකට, ඒ ඒ පුද්ගලයාගේ දක්‍ෂතා වලට තැන නොදී - දැං කියන්න එපා "ආනේ එහෙම වෙන්නෙ කෝමද කථික තරඟ, සිංදු තරග තියනවානේ?" කියලා. - පෙර නිමි රැකියාවලට ඔබන්න රූකඩ හදන පාසල් වල සිදු විය යුත්තේ මැටි ඇඹීමේ ඉගැන්වීම් ක්‍රම වේදයම තමා.

    ReplyDelete
  18. @අරුණ සර්:

    "ළමයින්ට එක රාමුවක් ඇතුලේ ඒ ඒ පාසලේ ඉන්න වෙනවා. තමන්ට ඕන විදියට ඉන්න බෑ."

    ඕකම තමයි අපි මෙතන ප්‍රශ්න කිරීමට ලක් කරන්නේ! පාසල කියන්නේ එහි සේවාලාභීන් වන සිසුන්ට සේවය සැපයීමට තිබෙන ආයතනයක්. පාසලේ විදුහල්පතිගේ සිට සනීපාරක්‍ෂක සේවකයා දක්වා සියළුම දෙනා දැනගත යුතුයි තමන් සිසුවන්ගේ සේවකයන් කියා. ඔබලාගේ වැටුපට එක් වන්නේ ඔබ ලබාදෙන සේවය වෙනුවෙන් ඔවුන් කරන ගෙවීම.

    "අපි හැමෝම පාසල් ගියානේ. ඒ කාලේ අපි හිටපු හැටි පහුකාලේ අපිව ඔසවා තියපු හැටි අමතක මිනිස්සු ඉන්න එකයි පුදුමේ."

    අපි හැමෝම ගස්වල අත්තෙං අත්තට පැන පැන ගියානේ. ඒ කාලේ අපි හිටපු හැටි පහුකාලේ අපිව ඔසවා තියපු හැටි අමතක මිනිස්සු ඉන්න එකයි පුදුමේ.

    "මෙතන ඔය ගුරුවරු පව්.ඒ මිනිස්සුන්ට පුද්ගලිකව ලැබෙන දෙයක් නෑ"

    ලැබෙන දෙයක් නෑ? පරපීඩා කාමුකත්වය මගින් ඔවුන් ලබන තෘප්තියයි මේ ක්‍රියාවලින් ඔවුන්ට ලැබෙන්නේ.

    "ළමයින්ගේ විනය කඩ කිරීම් වලට මැදි වෙලා. පාසල් පද්දතියේ ඉන්න ගුරුවරු බහුතරයක් ළමයි මොනා කලත් නොදුක්ක වගේ ඉන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න නිසා තමයි."

    "ළමයින්ගේ විනය" හා "ගුරුවරුන් විනය හදන්න යාම" ගැන මුල සිට සාකච්ඡා කළ යුතුයි!

    ReplyDelete
  19. සමා වන්න..... මානව හිමිකම් කැඩූ විට හොද ගුරුවරයෙකු වන බව මම කොහෙවත් පවසා නැත. නමුත් මගේ වචන භාවිතයේ හා පැහැදිලිව නොලිවීමේ අඩුපාඩු ඇති බැවින් ඔබ වැරදි නිගමනයකට එලඹ ඇති බව පෙනේ. ගුරු ගෝල සම්බන්ධය ඇති වන්නේ ආදරය විශ්වාසය සහ අනෝන්‍ය අවබෝධය මතය. දරුවෙකු යහ මගට හෝ අයහපතට යොමු වීම කෙරෙහි එය එක් තීරනාත්මක සාධකයකි. සැබෑ ගුරුවරය උත්තම ගුණාංග වලින් හෙබි සොදුරු මානව හිතවාදියෙකි.

    ඔබ සැමගේ අදහස් දැක්වීමට ස්තූතියි. නොදන්නා බොහෝ දේ ඔබෙන් මම ඉගෙන ගතිමි. නව ලොව සමග ඉදිරියට යන්නට ඔබේ අදහස් හා අවවාද ඉතා වටිනේය. අදහස් දැක්වූ සැමට පින්.

    ReplyDelete
  20. @සංජු:

    [said:සංජු]
    සමා වන්න..... මානව හිමිකම් කැඩූ විට හොද ගුරුවරයෙකු වන බව මම කොහෙවත් පවසා නැත. නමුත් මගේ වචන භාවිතයේ හා පැහැදිලිව නොලිවීමේ අඩුපාඩු ඇති බැවින් ඔබ වැරදි නිගමනයකට එලඹ ඇති බව පෙනේ.
    [/said]

    මා ප්‍රතිචාර දක්වන්නේ ඔබ ලියා ඇති දේ දෙස බලා මිස, ඔබගේ සිත තුළට එබීමට හැකියාවක් මට නැත. :)

    [said:සංජු]
    ගුරු ගෝල සම්බන්ධය ඇති වන්නේ ආදරය විශ්වාසය සහ අනෝන්‍ය අවබෝධය මතය. දරුවෙකු යහ මගට හෝ අයහපතට යොමු වීම කෙරෙහි එය එක් තීරනාත්මක සාධකයකි. සැබෑ ගුරුවරය උත්තම ගුණාංග වලින් හෙබි සොදුරු මානව හිතවාදියෙකි.
    [/said]

    ඔන්න ඔය ටික ඉගැන්නීම කියන රැකියාව කරන හැම දෙනාම තේරුම් ගන්නවා නම් ලොකු දෙයක්. එතකොට ඔබ - වැරදීමකින් හෝ - කියූ පරිදි මානවහිමිකම් යන්න "ගුරුවරයෙකු" ගේ රැකියාව කළ යුතු අන්දමට බාධාවක් වෙන්නේ නෑ.

    තමන්ගේ කාර්යය සිසුන්ට සේවය සැපයීම බව දන්නවා නම්, දෙපැත්තේම හොඳ හිත රැකෙන පරිදි එය කරනවා නම්, තමන්ට කොහෙන්වත් නැති බලයක් ඇති බව පෙන්වමින් පාසල් වධකාගාර පත් කරමින් ආලවක චරිත රඟන්නේ නැත්නම්, මෙම ලිපියේ ලියුම්කරුවා දක්වා ඇති වැනි අවස්ථාවන් උදා නොවනු ඇති.

    ReplyDelete
  21. /*පාසල් නිල ඇඳුමට කොණ්ඩය කැපීය හෝ ගෙතිය යුතු අන්දම ඇතුලත් විය යුතුද නැතිද යන්න වෙනම සාකච්ඡා කළ යුතු කරුණක්. මන්ද පාසල් කාලය අවසන් වීමෙන් පසු වෙනත් කොණ්ඩයකට මාරුවීමේ හැකියාවක් සිසුන්ට නොමැති නිසා/*

    හද පෙන්නුවම ඇගිල්ල දකින අය ඉන්නවා මං ආපහු කියනවා.

    පාසලෙන් පස්සෙත් ළමයා ළමයාම තමයි. මෙන්න මේව්ව තමයි ළමයි අහන අවවාද.
    උඹල මල්ලී ඉස්කෝලේ ඉන්නකං විතරයිනේ ළමයි. ඊට පස්සේ නිදහස්‍නේ මල්ලි. සර්ලා කොහොමද උඹලට නීති දාන්න.අනික එයාල කව්ද??? මේන්න මේ ඇදපං කොල්ලෝ පාරක්.දුමක් දාගෙන හිතපං පොඩ්ඩක්. ඔන්න අපි පටන් ගත්ත වැඩක්. අර පොස්ටර් ටිකක් තියෙනවා. යමංකෝ මං තව කියලා දෙන්නං උඹලට ලැබිය යුතු නිදහස ගැන.

    ඔබ කිවන තැනට සමාජය ගමන් කරන දිනක් ඇත. නමුත් ඒ දිනය වෙනකං යා යුත්තේ ඉතාමත්ම සෙමින්. ළමා කාලයේදී නීති රීති අවශ්‍යයි ළමයින්ට. ඔතන ඇති උන ගැටලුව ඒ වගේ එකක්. නැතුව ඔබ දැං ඔය මතු කරන එක නෙවේ.

    /*"ළමයින්ගේ විනය" හා "ගුරුවරුන් විනය හදන්න යාම" ගැන මුල සිට සාකච්ඡා කළ යුතුයි!*/

    කොහොමද පාසල් තුල පොලීසි පටන් ගන්න ඕන වගේ අදහසක්. කැම්පස් වලටත් පහසුයිනේ එයාල කැම්පස් ආවම.ගුරුවරුන්ට වඩා රටේ පොලිසිය මේ වැඩේ කරනවනේ හොදට.

    @ග්‍රේ මහතා,
    මටත් කීමට අවශ්‍ය උනේ ළමයින් නීතියක්,විනයක් ඇතුව රාමුවක් තුල හැදිය යුතු බවයි. වෙනස් යමක් අරුත් ගැන්වේ නම් කනගාටුයි. අසීමිත නිදහස ලැබිය යුත්තේ තමන්ට තනිව තීරණ ගතහැකි කාලයකයි.

    ReplyDelete
    Replies
    1. . අසීමිත නිදහස ලැබිය යුත්තේ තමන්ට තනිව තීරණ ගතහැකි කාලයකයි.Weradee. Awurudu 80 unath kenekuta aseemitha nidahasak thibiya uthu nehe. Awurudu 80i kiyala punchi kellekge enga uda negala dooshanaya karanna pirimiyekuta aithiyak nehe. Rataka sadarana neethi pilipadinna one asadarana neethi kese wethath! Mage me comment ekata oba hitha ridawa ganna nam epa oan honde!

      Delete
  22. @අරුණ සර්:
    "හද පෙන්නුවම ඇගිල්ල දකින අය ඉන්නවා මං ආපහු කියනවා."

    හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන කතාවේ මාරම කික් එකක් තිබේ, කියන්නාට මාරම පාණ්ඩිත්‍යයක් ඒකෙන් ආරූඪ වේ. නමුත් හඳ පෙන්වනවා කියා කොහෙවත් නැති හිස් අහසක් පෙන්නනකොට හැබෑටම යොමුවී තිබෙන ඇඟිල්ල එන්නේ කොහි සිටදැයි බැලීමට සිදුවේ.

    මෙන්න හඳ, මෙන්න ලප කියා සැබැවින්ම ඇත්තක් ඔය ඇඟිල්ලෙන් පෙන්නනවානම්, ඇඟිල්ල නැතිව වුවද, හඳද එහි ඇති ලපද දැකිය හැකි වනු ඇත.

    "පාසලෙන් පස්සෙත් ළමයා ළමයාම තමයි."

    පාසලෙන් පස්සේත් ළමයා ළමයකු නම්, පාසලට එන්න ප්‍රථමද, පාසල තුළදීද ඔහු ළමයකුම බව අවබෝධ කරගැනීමේ හැකියාවක් ඔබට තිබිය යුතුය. එසේත් නැතිනම් ඔබ මෙයින් ගම්‍ය කරන්නට උත්සාහ කරන්නේ පාසල තුළදීද ප්ලෑනට දක්කනු ලබන "ළමයා" පාසලින් පිටතදීද තමා විසින්ම "ප්ලෑනට" අනුගතව ක්‍රියා කළ යුතු බවද?

    මෙන්න ලප කියා කෙලින්ම කියනවානම්, පාසලට ඕනෑ ඕනෑ විදියට කොණ්ඩේ කපා ඔවුන් පාසලේම ජීවිතය ගෙවනවානම් අවුලක් නැත, අවුල තියෙන්නේ ඔවුන් එළියටද බැසිය යුතු නිසාය.

    ආචාර පෙළපාලියකදී සියල්ලෝ එකාවන්ව, එක්සිත්ව, එක්සත්ව පෙළට යන එකම "ලස්සන" බව ඇත්තකි, නමුත් දිය ඇල්ලකට ඔහේ ගලාබසින්න නොදී, බටයක් තුළින්, විනීතව, පිළිවෙලකට, ගලන්න සැලැස්සුවොත් එහි නිශ්චිත තැනකිං පටංගෙන නිශ්චිත තැනකින් අවසන් වන හුදු කානුවක් විනා, කිසිදු ලස්සනක් දැකගත හැකි නොවනු ඇත?

    ඔබට අවැසි ප්ලෑනට වැඩ කරන වම-දකුණ-වම කියා යන සුවච කීකරු සිසුන් කණ්ඩායමක්ද, එසේ නැතහොත් ඔබට අභියෝග කරන, ඔබ සියයට සියයක් නිවැරදියයි නොසිතන, ඔබව ප්‍රශ්න කරන සිසුන් කණ්ඩායමක්ද?

    ReplyDelete
  23. "මෙන්න මේව්ව තමයි ළමයි අහන අවවාද.
    උඹල මල්ලී ඉස්කෝලේ ඉන්නකං විතරයිනේ ළමයි. ඊට පස්සේ නිදහස්‍නේ මල්ලි. සර්ලා කොහොමද උඹලට නීති දාන්න.අනික එයාල කව්ද???"

    යම් සිසුවෙකු මෙසේ ප්‍රශ්න නගන්නේ නම් ඔහුට අපි ගෞරව කළ යුතු වෙමු. තමන්ට නීති දාන්නේ කවුද යන්නත්, එසේ නීති දැමීමට ඔවුන්ට ඇති අයිතියත්, එසේ නීති දැමීමට ඇති අවශ්‍යතාවය කුමක්ද යන්නත් සම්බන්ධව ඔවුන් නගන ගැටළු, මතු දිනක "යටත් වැසියන්" නොව "පුරවැසියන්" වීමේ විභවය ඔවුන් වෙත ඇති බව දැක්වෙන සලකුණුය.

    "මේන්න මේ ඇදපං කොල්ලෝ පාරක්.දුමක් දාගෙන හිතපං පොඩ්ඩක්. ඔන්න අපි පටන් ගත්ත වැඩක්. අර පොස්ටර් ටිකක් තියෙනවා. යමංකෝ මං තව කියලා දෙන්නං උඹලට ලැබිය යුතු නිදහස ගැන."

    මෙම කොටස එකතු කරන්නේ මින් ඉහත කොටස "කළු" මදි බැව් ඔබටම වැටහුණු නිසාද? සැබවින්ම පද්ධතිය ප්‍රශ්න කරන්නේ කුඩු කාරයන්, මල් කාරයන්, බඩු කාරයන්, කොලු කාරයන්, කෙලි කාරියන් හා මෙකී නොකී ප්‍රතික්‍ෂේප විය යුතු යැයි ඔබ සිතන අයවළුන් පමණක්ද? පාලකයන් - සැබැවින් අද ගුරුවරුන් සිසුන්ගේ සේවකයන් නොව පාලකයන් වී ඇත! - ප්‍රශ්න කරන්නේ අපරාධ කරුවන් (පමණක්)ද?

    ReplyDelete
  24. "ඔබ කිවන තැනට සමාජය ගමන් කරන දිනක් ඇත. නමුත් ඒ දිනය වෙනකං යා යුත්තේ ඉතාමත්ම සෙමින්."

    ඔබගේ අදහස පැහැදිළි නැහැ. මොකක්ද මේ "හෙමිං"? මොකක්ද ඒකෙ සීමා මායිම්?

    "ළමා කාලයේදී නීති රීති අවශ්‍යයි ළමයින්ට. ඔතන ඇති උන ගැටලුව ඒ වගේ එකක්. නැතුව ඔබ දැං ඔය මතු කරන එක නෙවේ."

    පද්ධතියක් පැවතීමට ළමයින්ට පමණක් නොව යම් පද්ධතියක ඕනෑම සාමාජිකයෙකුට හැසිරීමේදී පිළිගැනීමට සිදුවන නීති රීති ඇත. නමුත් පද්ධතියේ පැවැත්මටද බල නොපාන, එහි සාමාජිකයන්ගේ පොදු හෝ පෞද්ගලික සුබසිද්ධියටද බල නොපාන, අදාළ පද්ධතියේ පාලකයන්ගේ - මෙතැනදී අදාළ සිසුන් අපයෝජනයට පත් කර පරපීඩා කාමුකත්වය සංසිඳවාගත් "ගුරුවරු"න්ගේ - අවැසිතා මත යෙදෙන අනවශ්‍ය නීති-රීති හා පීඩන සාධාරණීකරණය කළ නොහැක.

    "කොහොමද පාසල් තුල පොලීසි පටන් ගන්න ඕන වගේ අදහසක්. කැම්පස් වලටත් පහසුයිනේ එයාල කැම්පස් ආවම.ගුරුවරුන්ට වඩා රටේ පොලිසිය මේ වැඩේ කරනවනේ හොදට."

    එක්කෝ ඔබගේ හාස්‍යෝත්පාදක හැකියාව, නැතහොත් අවබෝධකරගැනීමේ හැකියාව, නැත්නම් මේ දෙකම ඉතාම දුර්වලය. "සිසුන්ගේ විනය ගුරුවරුන් හදන්න යාම" ගැන නැවත සාකච්ඡා කළ යුත්තේ "ගුරුවරුන්ටත් වඩා හොඳ" පොලිසිය මේකට යොදාගැනුමට නොවේ. එක අතකට, පාසල්වලට අමුතුවෙන් පොලිසියෙන් ඕනෑ නැත, පංතිකාමර වධකාගාර කරන "ගුරුවරු" ඕනෑතරම් ඇත.

    ReplyDelete
  25. ඇත්තටම අහන්නේ මට මෙන්න මේ පුශ්නෙට පිලිතුරක් දෙනවද?

    පාසලේ ළමුන් පාසලට පැමිණිය යුතු ක්‍රමයක් ළමයා පාසලට ඇතුලත් කර ගැනීමේ දී දෙමාපියන් හා එක්ව ගිවිසුමතින් පසු සිදුවන්නක්. ළමයින් එයින් පිට යනකොට පාසලේ ගුරුවරු කරන්න අවශ්‍ය කුමක්ද??

    ReplyDelete
  26. @අරුණ සර්:

    "ඇත්තටම අහන්නේ මට මෙන්න මේ පුශ්නෙට පිලිතුරක් දෙනවද?"

    මා හට ඔබ මෙන් ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් වැලකීමේ පුරුද්දක් නැත. ඇතැම්විට ඔබ වෙත මා හා වෙනත් අයවළුන් යොමු කර ඇති ප්‍රශ්න වලට ඔබ පිළිතුරු නොදෙන්නේ, එම ප්‍රශ්න වලට පිළිතුරුදීමේ හැකියාවක් ඔබ තුළ නොමැති නිසා වන්නට පුළුවන. ගුරුවරයෙකු ලෙස ඔබ ඔබගේ සිසුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙනවාද යන්න පවා මා හට සැකයකි. එක්කෝ ඔබ කියනා සියල්ල ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතුය යන අදහසේ ඔබ ඉන්නවා වන්නට පුළුවන.

    "පාසලේ ළමුන් පාසලට පැමිණිය යුතු ක්‍රමයක් ළමයා පාසලට ඇතුලත් කර ගැනීමේ දී දෙමාපියන් හා එක්ව ගිවිසුමතින් පසු සිදුවන්නක්. ළමයින් එයින් පිට යනකොට පාසලේ ගුරුවරු කරන්න අවශ්‍ය කුමක්ද?? "

    සිසුවෙකු සම්බන්ධව යම් ගැටළුවක් මතුවේනම් පළමුව එම සිසුවා හමුවී සාකච්ඡා කළ හැකිය, එමගින් අදාළ ගැටළුව මතුවීමට හේතුව පිළිබඳ අදහසක් ලබාගෙන, එම හේතුවට විසඳුමක් ලබාදිය හැක. එයින් ප්‍රතිඵලයක් නොලැබේ නම් ඔහු සම්බන්ධව භාරකාරීත්වය දරන්නන් හමුවී සාකච්ඡා කළ හැකිය. ළමා වියේ පසුවන සිසුවෙකුගේ භාරකරුවන් විසින් ඔහුව ශාරීරිකව හෝ මානසික අපයෝජනය කිරීමේ අයිතිය ඔබට පැවරුවායැයි සිතා සිටීම වැරදිය, මන්ද එහෙව් අයිතියක් කිසියම්ම පුද්ගලයෙකුට නොමැති බැවිනි.

    ReplyDelete
  27. /*සිසුවෙකු සම්බන්ධව යම් ගැටළුවක් මතුවේනම් පළමුව එම සිසුවා හමුවී සාකච්ඡා කළ හැකිය, එමගින් අදාළ ගැටළුව මතුවීමට හේතුව පිළිබඳ අදහසක් ලබාගෙන, එම හේතුවට විසඳුමක් ලබාදිය හැක.*/

    ඇත්තටම මම පුදුම නොවන්නේ ඔබට බිමි මට්ටම ගැන හිතන්නේ නැතුව ඉදිරියටම තර්කය ගෙනා නිසා.
    8000ක් ළමයි ඉන්න ඉස්කෝලෙක දවසකට කාලජේද හතක් උගන්නන ගුරුවරුන්ට ළමයින් තනිතනිව අරං ඔබකියන ලෙස කටයුතු කලහැකි ප්රා යෝගික තත්වයක් ඔබ දකිනවද??
    ඔබ තනිකරම සංවර්ධිතරටවල පුද්ගලික පාසලක මොඩලයේ විනය ගැටලු විසදීමේ ක්රියයාවලියක් ඉදිරිපත් කරන්නේ අපේ රටේ ඒක අනාගතයේ කරන්න පුළුවන් කියන ගැගීමෙන් නම් එය වටී.නමුත් අද අපි ඉන්න දවස ඊට හාත්පසින්ම වෙනස් වේ.

    /*එයින් ප්රසතිඵලයක් නොලැබේ/* නම් ඔහු සම්බන්ධව භාරකාරීත්වය දරන්නන් හමුවී සාකච්ඡා කළ හැකිය./*

    එයින් ප්රයතිඵලයක් නොලැබේ නම් යැයි ඔබම කියන්නේ නම් අපි වල්බූරු නිදහසක් ළමයින්ට දීම තුල උන් හැදෙනවාට වඩා නරක් වන බව මාගේ අදහසයි.පොලවේ ඔප්පු වී ඇති කරුණු කාරණාද ඒවා යි. වේයංගොඩ පාසලේ ළමුන් කොරේක්ස් ඩී බීව පලවෙනි දවසේම අහුඋනා යයි ඔබ සිතනවාද???තවත් පාසලක ගැහැණු ළමුන් දෙදෙනෙකුත් ඒ වර්ගයේම සිට අහු උනේ තිබ්බ නිදහස උන් ඔබ ඔය කියන අන්දමින් පාවිච්චි කල නිසාද??? දෙමාපියන් ගෙන්වා අවවාද කලද ළමයි දෙමාපියන්ට ඇහුන් කන් දෙන්නේ අතලොස්සයි. අනික එන්න කීවම එන්නේ දෙමාපියෝ කීයෙන් කී දෙනාද??ඉස්කෝලෙක ගුරු දෙගුරු රුස්වීමකට පැමීණීම නැති කොට මෙවාට කොහේ එනවද?? නමුත් ගුරුවරයකුට එහෙම නොවන අවස්ථා මං මගේ ගුරු ජීවිතෙන් ඇති පදං දැකලා ඉන්නේ. පොත්වල හෝ පත්තරෙන් දැකපු තත්ව ගැන නෙවෙයි මං කියන්නේ.

    /*ළමා වියේ පසුවන සිසුවෙකුගේ භාරකරුවන් විසින් ඔහුව ශාරීරිකව හෝ මානසික අපයෝජනය කිරීමේ අයිතිය ඔබට පැවරුවායැයි සිතා සිටීම වැරදිය, මන්ද එහෙව් අයිතියක් කිසියම්ම පුද්ගලයෙකුට නොමැති බැවිනි/*

    එය මා හොදින් දන්නා අතර මම 100% එකග අදහසක්.නමුත් බොහෝ විට ළමුන් අපයෝජනය කරනවා කියන්නේ තරවටු කිරීම හෝ අවවාද කිරීමට නොවේ.ඒ ගනයේ අපරාධසිදුවී ඇති පමණින් වැඩක් කරන්න දැනට පද්දතියේ ඉන්න ගුරුවරු ටිකදෙනාත් අයින් වූදාට අපිටම දොස් තැබීමට සමාජෙම එකතුවෙයි.

    ළගදී යට ඇදුමේ ජංගම දුරකථනයක් සගවාගෙන පාසල් ආ සිසුවියක් අහුවෙලා තිබුනා. මානසික ලෙඩඩට දෙන බෙහෙත් පෙති ළමයි මත්වෙන්න බොනවා රටම දන්නවා.ජෙල් එක කොන්ඩේ නොගා ඇල්වතුරේ දියකරලා බොනවා ළමයි.කැස්සට දෙන බෙහෙත් බොනවා.ඔය පුධාන ධාරාවේ ඒව්වා හැරුනම. කොන්ඩේ කපන්න කියලා කපන්නේ නැත්තං ඉස්කෝලෙදි කපපු එක අඩු තරමේ දෙමාපියන්ගේ ඇස්වත් ඇරවලා තියෙනවා.

    රට දියුණු උනාට පස්සේ ඔබ ඔය කියන හැමදේම අපට කල හැකි වේවි. එදාට නිදහස දුන්නම ළමයි විනාශඋනාම කාලා බීලා ඉන්න තැං රජයෙන්වත් හදලා දෙයි. අද මෙි තියෙන තත්වේ ඇතුලේ ගුරුවරු කරන්නේ මහා දුෂ්කරක්රිැයාවක් දන්න අය දන්නවා ඒක.

    ලගදී තවත් ඉස්කෝලෙක ගරුවරියක් පහවසරේ ළමයෙකුට කොටුවකින් අතට ගහලා පොලිය දක්වාම ගිහින් සිසුවියගේ පියා පොලිසිය හා එක්ව ගුරුවරියට විරැද්ධව ගෙනගිය ක්රි යාදාමයේදී විශේෂඥ වෛද්යේවරයෙක් ගෙන් දරුවාට අසාධ්යිම බවට සහතිකයක් ඉල්ලා තිබුනා. තම සහතිකය නිකුත් කරපු වෛද්යඥ වරයා තම වෛද්යද සිසුන්ට පවසා තිබුනේ මේ රටේ ගුටියක් කාල හැදුන නඩුකාරයොයි,පොලිස්කාරයොයි,දොස්තරලයි නැතිඋනදාට රට ඉවරයි කියලා.
    අවසාන වශයෙන් මං මේ ලිපියට ලියන නිසා මේ ටිකත් ලියලාම යන්නං. වෙබ් අවකාශයේ අපි ආදා පටන් ගොඩක් තප්පුලන අය හිටියා. කතා කිව්වා.අරුණ කියන ගුරුවරයා ඕව ඇහුව නං අද මෙතන නෑ. අපි සමහරු කියන ඒව එදත් ඇහුවා.අදත් හෙටත් අහනවා.නමුත් උත්තරදෙන්නේ දෙන්න ඕනම නං විතරයි.

    ReplyDelete
  28. @අරුණ සර්:

    "ඇත්තටම මම පුදුම නොවන්නේ ඔබට බිමි මට්ටම ගැන හිතන්නේ නැතුව ඉදිරියටම තර්කය ගෙනා නිසා.
    8000ක් ළමයි ඉන්න ඉස්කෝලෙක දවසකට කාලජේද හතක් උගන්නන ගුරුවරුන්ට ළමයින් තනිතනිව අරං ඔබකියන ලෙස කටයුතු කලහැකි ප්රා යෝගික තත්වයක් ඔබ දකිනවද??"

    ප්‍රායෝගික තත්වයන් ගැන කතා කරන්නේ නම්, සිසුවන් 8,000ක් ඉගනුම ලබන පාසලක ඒ සිසුවන් 8,000 සමගම ක්‍රියා කිරීමේ අවස්ථාවක් කිසිදු ගුරුවරයෙකුට උදා නොවන බව ඔබ දන්නවා විය යුතුය. එක් ගුරුවරයෙකුට ලැබෙන්නේ සීමි. ශ්‍රේණි පරාසයක් තුළ සීමිත පන්ති ගණනක් ඇසුරේ කටයුතු කිරීමටයි.

    යම් ගුරුවරයෙකු කාලච්ඡේද 8ම රැකියාවේ නිරත වන්නේයැයිද, එක් පන්තියක සිටින සිසුන් ගණන 40ක් වන්නේ යයිද ගතහොත්, එම ගුරුවරයාට සම්බන්ධ වීමට සිදුවන සිසුන් ගණන 320 කි. අවැසි නම් අප එය 350 ලෙස සලකමු, මන්ද ගුරුවරුන් සිසුන් සමග සම්බන්ධ වීමට සිදුවන්නේ පන්ති තුළ පමණක් නොවන නිසා.

    මෙකී සිසුන් 350දෙනාම සම්බන්ධව එකවර විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනවා නම්, ගුරුවරයා විසින් අදාළ සිද්ධිය විද්‍යාලයීය පරිපාලනය වෙත යොමු කළ හැකියි. මන්ද ඒ ඒ සිසුවාගේ විනය හද හදා ඉන්නවාට වඩා, අධ්‍යයන කටයුතුවල නිරත වීම ගුරුවරයෙකුගෙන් සැපයිය යුතු සේවය වන නිසා.

    "ඔබ තනිකරම සංවර්ධිතරටවල පුද්ගලික පාසලක මොඩලයේ විනය ගැටලු විසදීමේ ක්රියයාවලියක් ඉදිරිපත් කරන්නේ අපේ රටේ ඒක අනාගතයේ කරන්න පුළුවන් කියන ගැගීමෙන් නම් එය වටී.නමුත් අද අපි ඉන්න දවස ඊට හාත්පසින්ම වෙනස් වේ."

    ඔබ "සංවර්ධිත රටවල පුද්ගලික පාසලක මොඩලය" යන්නෙන් කවරක් අදහස් කරයිද යන්න නොවැටහේ. "සංවර්ධිත රටවල පුද්ගලික පාසලක" ඉගනුම ලබන සිසුන්ට වඩා අපේ සිසුන්ගේ කවර හෝ වෙනස් කමක් තිබේද? "අපේ රටේ එවුංට මොන මානව හිමිකම්ද?" කියාද ඔබ ඔය අසන්නේ?

    "එයින් ප්රයතිඵලයක් නොලැබේ නම් යැයි ඔබම කියන්නේ නම්"

    ඕනෑම අදහසක් ඉදිරිපත් කිරීමේදී එය යම් හෙයකින් ක්‍රියා නොකරනු ලැබුවහොත් ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීම සිරිතයි. එයින් කියවෙන්නේ පළමු ක්‍රියාමාර්ගය අනිවාර්යයෙන්ම ක්‍රියා නොකරන බව යෝජනාකරුවා විසින් ප්‍රකාශ කිරීම නොවේ. තමන් කියනා සියල්ල නිවැරදියැයිද, ඒවායේ වැරදීමක් නැති යැයිද සිතන ඔබ වැනි අයවලුන් නොව, අප වැනි සාමාන්‍යයන් විශ්වාස කරන්නේ සමස්ථයට ගෙනෙන යෝජනා වලංගු නොවිය හැකි නියැදීන්ද ඇති බවයි. ඉතින්, එවන් අවස්ථාවක ක්‍රියාකළ යුතු පිළිවෙළද අන්තර්ගත යෝජනාවකි වඩා ප්‍රායෝගික වන්නේ.

    "අපි වල්බූරු නිදහසක් ළමයින්ට දීම තුල උන් හැදෙනවාට වඩා නරක් වන බව මාගේ අදහසයි"

    නිදහස ඔබ විසින් දිය යුත්තක් නොවේ. එය සෑම දෙනෙකුටම හිමිවන්නකි. සිදුව ඇත්තේ අනෙකුන්ගේ නිදහස ඔබලා විසින් යටපත් කර සිටීමට උත්සාහ දැරීමයි.

    "පොලවේ ඔප්පු වී ඇති කරුණු කාරණාද ඒවා යි. වේයංගොඩ පාසලේ ළමුන් කොරේක්ස් ඩී බීව පලවෙනි දවසේම අහුඋනා යයි ඔබ සිතනවාද???තවත් පාසලක ගැහැණු ළමුන් දෙදෙනෙකුත් ඒ වර්ගයේම සිට අහු උනේ තිබ්බ නිදහස උන් ඔබ ඔය කියන අන්දමින් පාවිච්චි කල නිසාද???"

    ඔබේ දර්ශන කෝණයට අනුව "නරක" වූ සියල්ල එසේ වී ඇත්තේ "අසීමිත නිදහස" නිසාද? ඔවුන්ට "අසීමිත නිදහස" තිබූ බව ඔබට හොඳටම විශ්වාසද? "අසීමිත නිදහසක්" තිබුනේ නම් තමන්ට හානිදායක මත්ද්‍රව්‍ය වලට ඔවුන් යොමුවේ යැයි ඔබ සිතනවාද?

    "දෙමාපියන් ගෙන්වා අවවාද කලද ළමයි දෙමාපියන්ට ඇහුන් කන් දෙන්නේ අතලොස්සයි. අනික එන්න කීවම එන්නේ දෙමාපියෝ කීයෙන් කී දෙනාද??"

    ගුරුවරුන්ගෙන් ලැබෙන අවවාද වල තරම ගැන මා හොඳින්ම දනිමි. අවවාද දිය යුත්තේ අවවාද යනු තර්ජන නොවන බව දන්නා අයෙකුයි. අවවාද දීමට ප්‍රථම අදාළ සිසුවා එම තත්වයට පත්වූ හේතුව විමර්ෂණය කර බැලිය යුතුය, එසේ කිරීමට "සිසුන් 8,000ක් සිටින පාසලක ප්‍රායෝගික නැති"නම් නොදන්නා තුවාලෙට බෙහෙත් දැමීමට යනවාට වඩා එසේ නොකර සිටීම හොඳය!

    ReplyDelete
  29. @අරුණ සර්:

    "අනික එන්න කීවම එන්නේ දෙමාපියෝ කීයෙන් කී දෙනාද??ඉස්කෝලෙක ගුරු දෙගුරු රුස්වීමකට පැමීණීම නැති කොට මෙවාට කොහේ එනවද??"

    පාසල් වල ගුරු දෙගුරු රැස්වීම් යනු හුදෙක් සමස්ථයට දේශනා කරනා නිකංම නිකං පච කොම්පැණිය. මාගේ දරුවා සම්බන්ධව විමසීමක් කළ යුතු නම් මා කරන්නේ ඔහුගේ පන්තිභාර ගුරුවරයා කෙලින්ම හමුවී සාකච්ඡා කිරීමයි.

    "නමුත් බොහෝ විට ළමුන් අපයෝජනය කරනවා කියන්නේ තරවටු කිරීම හෝ අවවාද කිරීමට නොවේ."

    අවවාද කිරීම යනු තර්ජනය කිරීම නොවන බව ගුරුවරු බොහෝ දෙනා නොදැනීමයි ගැටළුව.

    "ළගදී යට ඇදුමේ ජංගම දුරකථනයක් සගවාගෙන පාසල් ආ සිසුවියක් අහුවෙලා තිබුනා."

    නිකංම නිකං "පාර වසා ඇත!" කියන්න වගේ "ජංගම දුරකතන පාසල ගෙන ඒම තහනම්!" කීවම ඔහොම වෙනවා. ඒ වෙනුවට, පාසල තුළ ජංගම දුරකතන භාවිතය පිළිබඳ ප්‍රතිපත්ති සමූහයක් හඳුන්වා දී වඩා නිදහස් වටපිටාවකට යන්නේ නම් ඔවැනි සිදුවීම් සිදු නොවනු ඇති.

    රබර් බෝලය වතුර යටට තද කරන්නට තද කරන්නටයි, එය උඩට ඒම සඳහා උත්සාහ කිරීම වැඩි වෙන්නේ!

    "මානසික ලෙඩඩට දෙන බෙහෙත් පෙති ළමයි මත්වෙන්න බොනවා රටම දන්නවා.ජෙල් එක කොන්ඩේ නොගා ඇල්වතුරේ දියකරලා බොනවා ළමයි.කැස්සට දෙන බෙහෙත් බොනවා.ඔය පුධාන ධාරාවේ ඒව්වා හැරුනම."

    ඉතිං නරකද පාසල තුළ වතුර බීම තහනම් කලා නම්?

    ReplyDelete
  30. @අරුණ සර්:

    "කොන්ඩේ කපන්න කියලා කපන්නේ නැත්තං ඉස්කෝලෙදි කපපු එක අඩු තරමේ දෙමාපියන්ගේ ඇස්වත් ඇරවලා තියෙනවා. "

    හැබෑට? තමන්ගේ දරුවාට සිදුවන අසාධාරණයන්ට කට අරින්නේ නැති අසරණ දෙමව්පියන් ඕනෑ තරම් ඉන්නවා මොකද ඒකෙන් ලැබෙන එකම ප්‍රතිඵලය අදාළ අපයෝජන තවත් දරුණු වීම පමණක් නිසා!

    "රට දියුණු උනාට පස්සේ ඔබ ඔය කියන හැමදේම අපට කල හැකි වේවි. එදාට නිදහස දුන්නම ළමයි විනාශඋනාම කාලා බීලා ඉන්න තැං රජයෙන්වත් හදලා දෙයි. අද මෙි තියෙන තත්වේ ඇතුලේ ගුරුවරු කරන්නේ මහා දුෂ්කරක්රිැයාවක් දන්න අය දන්නවා ඒක."

    ආපහු අහන්නට තියෙන්නේ දියුණු රටවල එවුං වගේ නැත්තං අපේ එවුං ඔටුවොද කියන එකයි. අනික දන්නා අය දන්නවා කීමෙන් පළක් නැත, ඔබලා කරන "දුෂ්කරක්‍රියාවේ" අං කොං ඔබට හේතු දක්වා පැහැදිළි කරන්නට නොහැකි නම්, ඔබ කියන කතාවේ කිසිදු පිළිගත හැකි භාවයක් ඇති වන්නේ නැත.

    "ලගදී තවත් ඉස්කෝලෙක ගරුවරියක් පහවසරේ ළමයෙකුට කොටුවකින් අතට ගහලා පොලිය දක්වාම ගිහින් සිසුවියගේ පියා පොලිසිය හා එක්ව ගුරුවරියට විරැද්ධව ගෙනගිය ක්රි යාදාමයේදී විශේෂඥ වෛද්යේවරයෙක් ගෙන් දරුවාට අසාධ්යිම බවට සහතිකයක් ඉල්ලා තිබුනා."

    අදාළ ගුරුවරියට පුළුවන් සාක්‍ෂි කෘත්‍රිමව නිර්මාණය කර ඇති බවට කරුණු දක්වන්න, අදාළ වෛද්‍යවරයා එයට සාක්ෂි සපයනු ඇති.

    "තම සහතිකය නිකුත් කරපු වෛද්යඥ වරයා තම වෛද්යද සිසුන්ට පවසා තිබුනේ මේ රටේ ගුටියක් කාල හැදුන නඩුකාරයොයි,පොලිස්කාරයොයි,දොස්තරලයි නැතිඋනදාට රට ඉවරයි කියලා."

    ඔවු ඒක අනිවාර්යයයි. තමන් කුඩා කාලයේ හා ඉන් පසුව ලැබූ පීඩනයන්, අනුන්ගේ කර මතින් යවා තෘප්තියක් ලබන්නට ඕනෑ කම තියන පරපීඩා කාමුකයින් රටේ නැති වුනු දාට, මේ තියන කාලකණ්නි තත්වේ රටේ නැති වෙයි. රට මිනිහෙක්ට නිදහසේ ඉන්න පුළුවන් තැනක් බවට පත් වෙයි. පාසලකට ගිහිල්ලා අපයෝජනය නොවී තමන්ගේ විෂය කරුණු ටික ඉගනගෙන එන්න සිසුවෙක්ට පුළුවන් වෙයි.

    ReplyDelete
  31. @අරුණ සර්:

    "අවසාන වශයෙන් මං මේ ලිපියට ලියන නිසා මේ ටිකත් ලියලාම යන්නං. වෙබ් අවකාශයේ අපි ආදා පටන් ගොඩක් තප්පුලන අය හිටියා. කතා කිව්වා. අරුණ කියන ගුරුවරයා ඕව ඇහුව නං අද මෙතන නෑ."

    ඔබට කියනු ලැබූ කතා හා තප්පුලෑම් සියල්ල එක ගොඩට දමා, ඒවායේ ගත යුත්තක් තිබේද නැද්ද යන්නවත් නොබලා ඉවත නොදමා, විවෘත ඇසකින් බැලුවා නම් ඔබ අද ඔතන නොඉඳින බව මමද සිතනවා.

    "අපි සමහරු කියන ඒව එදත් ඇහුවා.අදත් හෙටත් අහනවා."

    ඔබ මේ "සමහරු" කියන කුලකය වෙන් කරගන්නේ කෙසේද යන්න අපැහැදිළියි. යම් පිරිසක් තෝරාගෙන ඔවුන් කියනා සියල්ල හරි යැයි පිළිගැනීම ඔබේ සිරිත වගෙයි. ඉතින් ඔබේ සිසුනුත් ඔබ සම්බන්ධව එසේ කළ යුතුයැයි ඔබ සිතා සිටීම පුදුමයක් නැහැ.

    "නමුත් උත්තරදෙන්නේ දෙන්න ඕනම නං විතරයි. "

    ඔවු, ඔබට බල කරන්න අපිට බැහැ. නමුත් පිළිතුරු නොදීම යන්නෙන් කියවෙන්නේ දෙන්නට පිළිතුරක් ඔබ සතු නොවන බවයි.

    මම දන්නා තරමින් "මම උත්තරේ දන්නවා. ඒත් මට කියන්න ඕන නෑ. මම දන්න නිසා ලකුණු දෙන්න." කියුවාට කිසිදු ගුරුවරයෙකු විභාගයකදී සිසුවෙකුට ලකුණු නොදෙනු ඇති. මම හරිද? නැත්නම්, "ආ ඒ ළමයා මම දන්න කෙනෙක්. එයා අනිවාර්යයෙන් හරි උත්තරේ දන්නවා ඇති" එහෙමත් නැත්තම් "ආ මූද? මුගේ උත්තරේ බලන්නවත් ඕන නෑ, මූ කවදාවත් හරි දෙයක් කියල තියේද?" කියා ලකුණු දීම හෝ කැපීම කරනවාද?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.