2010-11-27

මෙතරම් ණය බරකට කර ගැසීමේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මහජනතාව සම්බන්ධ වූ ආකාරය පැහැදිලි කළ හැකි අයෙකු සිටී නම් ඉදිරිපත් වන්න

(2010 නොවැම්බර් 27, W3Lankaකොළඹ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු ලෙස ආණ්‌ඩු පක්‌ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (26 දා) පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛනයක සඳහන් වන පරිදි ශ්‍රී ලංකාව 2011 වසරේ මුල් මාස හත තුළ දේශීය සහ විදේශීය වශයෙන් රුපියල් කෝටි හාරලක්‌ෂ තිස්‌ හතර දහස්‌ හත්සිය පනහක්‌ ණය වශයෙන් ලබාගෙන තිබේ.


මෙය කෙතරම් වැදගත් ප්‍රවෘත්තියක් වන්නේ ද යත් අද උදෑසන දිනමිණ වෙබ් අඩවිය බැලූ විට ඒ පිළිබඳ හාංකවිසියක් හෝ එහි නැත. ඒ වෙනුවට එහි කතුවැකියේ අපූරු රචනාවක් තිබිණි. එහි මාතාකාව 'ඔබට ඩොලර් හාරදහසක් ලැබුණොත්' යනු ය. 


රජයේ නිල ලේඛන අනුව, මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජුලි දක්‌වා ශ්‍රී ලංකාව දේශීය වශයෙන් රුපියල් කෝටි දෙලක්‌ෂ පනස්‌ හතර දහස්‌ හාරසිය විස්‌සක්‌ ද (254,420) විදේශීය වශයෙන් රුපියල් කෝටි එක්‌ලක්‌ෂ අනූදහස්‌ තුන්සිය තිහක්‌ ද (180,330) ණය ලෙස ලබාගෙන තිබේ.


මේ වනාහි රු. 4,347,500,000,000 ඉක්මවන ප්‍රමාණයකි. ලංකාවේ ජනගහණය කෝටි දෙකක් ලෙස සැලකූ කල රටේ ලොකු කුඩා සෑම පුරවැසියකු ම මේ මාස හත තුළ රු. 217, 375ක් ණය වී ඇත. සතරදෙනෙකුගෙන් සැදුම්ලත් රත්තරං පුංචි පවුලක ණය බර රු. 869,500කි.


මීට අමතරව එම මාස හත තුළ ශ්‍රී ලංකාව ආපසු ගෙවූ ණය ප්‍රමාණය රුපියල් කෝටි හතළිස්‌ හත්දහස්‌ දෙසිය පනස්‌ හයක්‌ (47,256) බවද ඊට අයත්වූ පොලී ප්‍රමාණය රුපියල් කෝටි විසි එක්‌දහස්‌ හත්සිය අසූතුනක්‌ (21,783) බවද එම ලේඛනයේ දැක්‌වේ.


අතීතයේත් ලංකාව විශාල වශයෙන් ණය ගත්තේ ය. අද වන විට කලින් ගත් ණය ගෙවීම හා අලුතින් ණය ගැනීම අතර ඇති පරතරය විසින් ම ලංකාව පැටලෙමින් තිබෙන ණය උගුලේ දිග පළල පෙන්නුම් කෙරේ.


මුල් මාස හත සම්බන්ධයෙන් තත්වය මෙබඳු නම් වසර අවසන් වන විට තත්වය කෙසේ වනු ඇද්ද?


රජය සැබැවින් ම මහජන ආයතනයක් නම්, මෙතරම් ණය බරකට මේ රටේ ජනයා ඇද දැමීම පිණිස ජනතාවගෙන් ලබා ගත් අවසරයක් තිබිය යුතු ය. එවැනි අවසරයක් ඉල්ලා සිටියේ රජයේ කුමන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ද? ජනතාව එවැනි අවසරයක් ප්‍රදානය කළේ කුමන මැතිවරණයෙන් ද?


ලංකාවේ රජය යනු මහජනතාව මත බලෙන් පටවන ලද සමාගම් බූවල්ලෙකු බව අප කියන්නේ මෙවැනි හේතු නිසා ය. මේ සමාගම මහජන සමාගමක් නම් ජනතාව එහි කොටස්කරුවන් විය යුතු ය. එහි තීරණ ගැනීමේ ක්‍රියාවලිය හා කොටස්කරුවන් අතර ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයක් තිබිය යුතු ය. මෙවැනි ණය බරකට කර ගැසීම සඳහා වූ බැරූරුම් තීරණ ගැනීමේ ක්‍රියාවලියට මහජනතාව සම්බන්ධ වූ ආකාරය පැහැදිලි කළ හැකි අයෙකු සිටී නම් ඉදිරිපත් වන්න.


ප්‍රජාතන්ත්‍රවාදය නො හඳුනන වංචනිකයන් පිරිසක් රජය සිය ග්‍රහණයට ගෙන පෞද්ගලික සමාගමක් බවට පත් කරගෙන ඇත. එම සමාගම වැරදි ලෙස කළමනාකරණය කරන ඔවුහු ඒ වැරදි කළමනාකරණය වෙනුවෙන් විශාල වේතන හා දීමනා ලබා ගනිති. ඒවා ගණනය කිරීමේ ක්‍රියාවලිය සමග ද මහජනතාවගේ සම්බන්ධයක් නැත.


අවසානයේ පාඩු හා ණය බර මහජනයා පිට පටවති.


රජය නමැති සමාගම් බූවල්ලා ලංකාවේ ජනයා පෙළන ප්‍රධාන සතුරා ය. රජය ජනසතු කළ යුතු ය යන්නෙන් අප අදහස් කරන්නේ රජය කළමනාකරණය කරන මෙම ක්‍රමය වෙනස් කළ යුතු ය යන්නයි. එනම්, ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයක් අවශ්‍ය බවයි.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

5 comments:

  1. පළමු මාස හත පමණක් පිලිබද ගනණය කොතරම් තාර්කිකදැයි මම නොදනිමි. (රවි කරුණානායක මහතා මේ කාලය පිලිබද පමණක් විමසුවේ මෙම මාස හතේ විශාල පරතරය පිලිබද හොදින් දැන ගෙන විය යුතුය. දේශපාලකයන්ගේ හැටි එහෙමය ) නමුත් එම ප්‍රශ්නයට ඉදිරිපත් කළ පිළිතුරේම තිබුණු පරිදි දැනට අප රටේ ඒක පුද්ගල ණය බර ඒක පුද්ගල වාර්ශික අදායමෙන් 82% කි. රනිල්/චන්ද්‍රිකා පාලන කාල වල මෙය 90% ට වැඩි වූ අතර සමහර අවස්ථා වල 100%ද ඉක්මවීය. ඒ අනුව බලන විට සාපේක්ශ ණය බර තරමක් අඩු වී ඇති බව පෙනේ.

    ReplyDelete
  2. I Completely agree with U. Even in a family before We obtain a loan we discuss each other at least parents with the matter. But here nobody knows even the parliament members don't know that how much their government taken loans. Any how I just want to show you that U may had written by mistake as year 2011. It must b rectified.

    ReplyDelete
  3. ප්‍රජාතන්ත්‍රවාදය නො හඳුනන වංචනිකයන් පිරිසක් රජය සිය ග්‍රහණයට ගෙන පෞද්ගලික සමාගමක් බවට පත් කරගෙන ඇත. එම සමාගම වැරදි ලෙස කළමනාකරණය කරන ඔවුහු ඒ වැරදි කළමනාකරණය වෙනුවෙන් විශාල වේතන හා දීමනා ලබා ගනිති. ඒවා ගණනය කිරීමේ ක්‍රියාවලිය සමග ද මහජනතාවගේ සම්බන්ධයක් නැත
    I totally Agree with U Sir.

    ReplyDelete
  4. ණය ගැනීම ගැන විවාදයක් නැත, පොලියත් එලෙසමයි, ප්‍රශ්නය වන්නෙ මෙම ණය අදාල කාර්යයෙහි පූර්ණ ඵලදායී බවක් සහිතව ආයෝජනය නොවීම පිලිබඳවයි. එහිදී අපට විනිවිද භාවයත් වැදගත් වෙනවා. නමුත් සිදු නොවන්නේද මෙයමයි.
    උදාහරණයක් ලෙස ගුවන් පාලම් ඉදිකිරීමේදී ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව හිතු මතයට එම ක්‍රියාවලිය සිදුකිරීම ගතහැක. එහිදී නගන තර්කය වන්නේ ටෙන්ඩර් පටිපාටියෙ එය ක්‍රියාත්මක කිරීමට යන කාලය තුල අපට විශාල නාස්තියක් මාර්ග තදබදයෙන් නැතිවෙන බවයි. මෙහි තත්වය මෙයම නම් අපට ටෙන්ඩර් ක්‍රමය අනෙක් අංශ වලදීද අහෝසි කිරීමට සිදු වෙනවා, එවිට අප මුහුණදෙන තත්වය කෙලෙස වෙයිද. පිලිතුර විය යුත්තේ ඊට නිසි ක්‍රම වේදයක් සැදීම මිස කෙන කෙනාට අවශ්ය ලෙස මූලික නීතීන් උල්ල්ංගනය කිරීම නොවේ
    අනෙක් අතට රාජ්ය අංශය නඩත්තු කිරීමට වැය වන විශාල මුදල් සම්භාරය පිලිබඳවද ප්‍රශ්නකාරී තත්වයක් උද්ගත්ව පවතින බවයි.

    ReplyDelete
  5. ණයට කහින එක රට හදනවට වඩා ලේසියි තමයි. කමන කුතාද කිව්වලු.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.