2010-11-04

පන්සීයට විකුණා දාහට ගත් ගෑස් කොම්පැනිය හා රජයේ බිස්නස් | State business: Colombo Gas sold at US $ 37 million bought back for US $ 63 million

(රාජ්‍ය ආයතනයක්‌ වූ මැරයින් සර්විසස්‌ සමාගම සහ එහි දේපළ ජෝන් කීල්ස්‌ සමාගමට අලෙවි කිරීමේදී 
සිදු වූ දූෂණ සම්බන්ධව වැරදිකරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කරන ලද පී.බී. ජයසුන්දර 
ෂෙල් සමාගම මිළ දි ගැනීමේ ගිවිසුමට අත්සන් තබමින් 
(ඡායාරූපය කලම්බු පේජ් වෙබ් අඩවියෙනි.)
(2010 නොවැම්බර් 04, W3Lanka) රජය ෂෙල් ගෑස් කොම්පැනිය මුළුමනින් ම තමන් සතු කර ගත්තේ ය. මීට පෙර ද එහි කොටස් 49%ක් හිමි ව තිබුණේ රජයටයි. එහෙත්, රජයට දෙකෙන් පංගුවකට ආසන්න හිමිකමක් තිබුණු මෙම සමාගමට ද ආණ්ඩුව ගෑස් මිළ ඉහළ යාම පිළිබඳ බනිමින් සිටියේ උඩ බලාගෙන කෙළ ගසන්නා සේ ය.


දැන් කාටවත් බනින්නට හෝ කාගේවත් ගෑස් බලන්නට හෝ ඕනෑ නැත. දැන් ගෑස් අපේ ය. අපේ කිව්වාට රජයේ ය. රජය අපේ යයි කියනු ලැබේ. ඒ නිසා අපේ ගෑස් අපට ගෑස් පෙන්නනු ඇතැයි සිතිය නො හැක.


මුදල් හා ක්‍රම සම්පාදන ඇමැතිවරයා ද වූ ජනාධිපතිවරයා ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන හරහා 2009 නොවැම්බර් 04දා පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලිඛිත පිළිතුරක සඳහන් වන පරිදි, එවකට මිල රුපියල් 1560 ක්‌ පමණ වූ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්‌ත ගෑස්‌ සිලින්ඩරයකින් රජය රුපියල් 426.56 ක බද්දක්‌ අය කරන ලදී.


රේගු බද්ද ලෙස රුපියල් 382.50 ක්‌, සමාජ ආරක්‍ෂණ බද්ද රුපියල් 5.74 ක්‌ සහ වරාය හා ගුවන් තොටුපල බද්ද රුපියල් 38.32 ක්‌ද වශයෙන් ගෑස්‌ සිලින්ඩරයකින් අයකරන බද්ද සකස්‌ වන බව ද පිළිතුරේ සඳහන් විය.


මෙම බදු මුදල්වලින් 2008 වසරේදී රජය රුපියල් කෝටි 12.6ක මුදලක්‌ උපයා ඇතැයිද පිළිතුරේ දැක්‌වේ.


එවකට ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ ඇසූ පැනයකට මෙම පිළිතුර මෙසේ සභාගත කෙරිණි.


ෂෙල් ගෑස්  සමාගම රෝයල් ඩච් ෂෙල් සමාගම අත තිබියදී පවා රජය ගෑස් විකිණීමෙන් විශාල ලාභයක් බදු වශයෙන් ලබා ගත් බව එයින් පෙනේ. 


රජය ෂෙල් ගෑස් ලංකා සමාගමේ 51%ක තොටස් හා හා ෂෙල් ටර්මිනල් ලංකා සමාගම මිළ දී ගත්තේ එක්සත් ජනපද ඩොලර් මිලියන 63කට ය. 


1995දී චන්ද්‍රිකා බංඩාරනායක ආණ්ඩුව එවකට රජයට අයත්ව තිබූ කොළඹ ගෑස් සමාගමේ කොටස් 51%ක් ෂෙල් සමාගමට විකුණුවේ එක්සත් ජනපද ඩොලර් මිලියන 37කට ය.


එම ගනුදෙනුව අනුමත කළ කැබිනට් මණ්ඩලයේ මහින්ද රාජපක්ෂ නම් ඇමතිවරයකු ද සිටියේ ය.


ෂෙල් ගෑස් සමාගම වසර 15ක් මේ රටේ ක්‍රියාත්මක විය. එම සමාගම ගෑස් වෙළඳපල පුළුල් කළේ ය. ආරක්ෂක ප්‍රමිති හඳුන්වා දුන්නේ ය. වෙළඳපොළට නිකුත් කරන ලද අලුත් ගෑස් සිලින්ඩර ගණන ලක්ෂ 12ට වැඩි ය. ගෑස් මෙට්‍රික් ටොන් 8000ක් ගබඩා කළ හැකි ගබඩා හැදුවේ ය. විශාල වශයෙන් ආයෝජන ද කළේ ය. එසේ ම, ලාභ ද ඉපැයී ය. ෂෙල් සමාගමට වසර පහක කාලයක් ලංකාවේ ගෑස් වෙළඳපොළ ඒකාධිකාරයක් හිමි විය. 


තමන්ට දෙකෙන් පංගුවකට ආසන්න හිමිකමක් ඇති ෂෙල් ගෑස් සමාගමේ වෙළදපොළ ආධිපත්‍යයට අභියෝග කිරීම පිණිස ආණ්ඩුව 2003දී ආරියශීල වික්‍රමනායක නම් පුරසාරම් ශූර ව්‍යාපාරිකයාට වාසි වනු පිණිස ඕනෑ කෙනෙකුගේ සිලින්ඩර් ඕනෑ කෙනෙකුට පිරවිය හැකි ක්‍රමයක් හඳුන්වා දුන්නේ ය. ෂෙල් සමාගම ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රමිතීන්ට පටහැණි මෙම පියවරට එරෙහිට එරෙහිව අධිකරණයට ගියේ ය. ආරියශීල වික්‍රමනායකගේ මුන්ඩෝ ගෑස් අසාර්ථක විය. ආරියශීල වික්‍රමනායක නිසි ආරක්ෂක විධිවිධානවලින් හා රක්ෂණ ගාස්තු ගෙවීමෙන් තොරව,නීති විරෝධී ලෙස ගෑස් බත්තලක් ගාලු වරායට ගෙනැවිත් අවුලක් ඇති කර ගෑස් වෙළඳපොළෙන් අතුරුදහන් විය. ඔහුගේ සමාගම විසින් නිකුත් කරන ලද ගෑස් සිලින්ඩර තරගකාරී සමාගම් විසින් මිළ දී ගනු ලැබූ බව වාර්තා වේ. ඒ කාලයේ මේ කූට මෙහෙයුමට උදව් කළ ඇමතිවරු දෙදෙනෙකු වන්නේ රවි කරුණානායක හා රාවුෆ් හකීම් ය. 


වසර 15කට පෙර, නාගරික අතළොස්සකට පමණක් හිමිව තිබුණු වරප්‍රසාදයක් වූ එල්.පී. ගෑස් අද වන විට සාමාන්‍ය ජනයාගේ බලශක්ති මාධ්‍යයක් වී තිබේ. ෂෙල් සමාගම යටතේ ගෑස් මිළ හතරගුණයකින් පමණ වැඩි වී ඇතත්, ගෑස් පෝලිම බොහෝ දුරට අඩු විය.


ආණ්ඩුවේ අලුත් ආර්ථික ප්‍රතිපත්තිය වන රජය ව්‍යාපාරික සමාගමක් ලෙස පුළුල් කිරීම නම් ක්‍රියාමාර්ගය ඔස්සේ දැන් ලිත්‍රෝ නම් ගෑස් සමාගමක් ද රජයට හිමි ය. රජයේ සමාගම්වල ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඒවා පාඩු ලබන්නේ නම් මහජන මුදලින් එම පාඩු පියවීමයි. මේ සඳහා හොඳ ම උදාහරණය මිහින් ලංකා ය. මේ නිසා, බහු ජාතික ෂෙල් ගෑස් කොම්පැනියට වඩා ආණ්ඩුවේ ලිත්‍රෝ කොම්පැනිය මහජනයාට සහනයක් වනු ඇතැයි සිතීමට ඇත්තේ අඩු ඉඩකි. 


පාලක පවුලේ හිතවතුන්ට නම් කළමනාකරණය හෝ අලකරණය හෝ පිණිස තවත් දැවැන්ත සමාගමක් තම අතට ලැබී ඇත. 


විශාල වශයෙන් දේශීය හා විදේශීය වශයෙන් ණය ගනිමින් පවත්වාගෙන යනු ලබන රජයේ අනාගතය රඳා පවතින්නේ විදේශ විනිමය උත්පාදනය මතයි. ගෑස් යනු ඍජුව ම ආයෝජනය කරනු ලබන හෝ තෙල් පිරිපහදු ක්‍රියාවලියේදී වටිනාකම එකතු කළ නිෂ්පාදනයක් වන ආනයන ‍භාණ්ඩයක් නිසා එය ආනයනය කර විකිණීම යනු බයිං ඇන්ඩ් සෙලිං ව්‍යාපාරයක් පමණි. 


රජය මෙවැනි ව්‍යාපාරයක් සඳහා කරනු ලබන ආයෝජනය තෙල් පිරිපහදුවේදී පිට වන අපද්‍රව්‍ය වන සල්ෆර් මගින් සල්ෆියුරික් අම්ලය සැදීමට ද, එය යොදා ගනිමින්, එප්පාවල පොස්පේට් නිධියෙන් අද ලෝක වෙළඳපොලේ ඉහළ මිලකට අළෙවි කළ හැකි සුපර් පොස්පේට් පොහොර නිපදවීම ද සඳහා කළේ නම් එය මහත් ඵලදායී ආයෝජනයක් වනු ඇත.

පිරිපහදුවේ දී අපද්‍රව්‍යයක් ලෙස බැහැර කරන නැප්තා යොදා ගනිමින් යූරියා පොහොර නිපදවිය හැකිමුත්, වර්තමානයේ නැප්තා අපද්‍රව්‍යයක් ලෙස බැහැර කරමින් වසරකට රුපියල් කෝටි 4200 ක් පමණ වියදම් කර යූරියා ආනයනය කරනු ලබන බව ද වාර්තා වේ. එසේ ම, පිරිපහදුවේ බැහැර කරන අපද්‍රව්‍ය මගින් කෘෂි රසායනික, තීන්ත වර්ග, කෘත‍්‍රිම රෙදි, රසායනික ද්‍රව්‍ය ආදිය සෑදීමට හැකියාව තිබියදී ඒ සඳහා ආයෝජනයක් සිදු වන්නේ නැත. 



විදේශ විනිමය රටට ගෙන්වා ගැනීම සඳහා රජයේ ම උපායමාර්ගයක් වන්නේ ඍජු විදේශ ආයෝජන රටට ගෙන්වා ගැනීමයි. එහෙත් ෂෙල් සමාගම මිළ දී ගැනීම හරහා ඩොලර් මිලියන 63ක් රටින් බැහැර වේ. 


එයටත් වඩා ඉහත කී ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමේ උපාය මාර්ගයට බල පාන කරුණක් වන්නේ ලංකාවේ සිටි ප්‍රධාන ම විදේශ ආයෝජකයෙකු රටින් පිට වී යාමයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

1 comment:

  1. කතෘ වරයා වෙතටයි,චන්ද්‍රිකා ලංකා ගැස් එක ෂෙල් සමාගමට විකුණන කාලේ අතිගරු මහින්ද ලංකාවේ දේශපාලනයට ඇවිත් හිටියේ නැනේ.ඔහු ඒ කාලේ මාලදිවයිනේ ග්‍රාමසේවකයෙක් ලෙස සේවය කල වගවත් ඔබ දන්නේ නැද්ද?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.