2010-12-09

අරගලයේ ලක්ෂ්‍යයන් එක් කොට රේඛාවක් අදින්න ට මානව හිමිකම් දිනයේ දි මුල පුරමු.....!

(2010 දෙසැම්බර් 09, ලෝහිත අසපුවලංකාවේ පාලක පංතියේ බංකොලොත්බව ඔවුන්නම් හොදින් ම තේරුම් අර ගෙන තිබෙන බවක් අප ට හැගෙනවා. එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පාලනය සදහා ඉතිහාසය පුරා ම බලපොරයක යෙදෙන්නේ මේ බංකොලොත්බව ම පදනම් කර ගත් වැඩපිළිවෙලක් තුළ විම ඒක ට එක සාධකයක්. ඇත්තෙන් ම මේ කාල වකවානුවේ ධනේෂ්වර ක්‍රමයට ලෝකයේ කිසිදු අර්බුදයක ට විසදුමක් නැති තත්වයක ට ගිහින් තියෙන නිසා වෙමින් තියෙන්නේ පරිවාරයේ රටවල් සූරා කෑමෙන් කේන්ද්‍රයේ ගැටළු කළමනාකරණය කර ගැනිමයි. ඒ තත්වය ඇතුලේ පරිවාරයේ අපේ වගේ රටවල පාලක පංතියේ බංකොලොත්කම ගැන කවර කතාද? හැබැයි මේ අර්බුදය හැම තැන ම එකම විදියක් ගන්නේ නෑ.


ලංකාවේ මට්ටමින් මේ බංකොලොත්කම ට තීරණාත්මක අභියෝගයක් එල්ල කළේ උතුරේ 'විමුක්ති කොටි' ව්‍යාපාරය විසින්. ජාතින් ලෙස බහුතර ජනකොටසක ට මුවා වෙලා, සුළුතරයක් විසින් ගෙන ගිය පාලනය ඔවුන් විසින් අභියෝගයක ට ලක් කළා. ඒ, තමිල් ජාතියේ වාසභූමි ප්‍රදේශවලවත් ඒ ජනතාවගේ ජනවරම ට ඉඩක් නැතිකමේ ප්‍රශ්නය, මේ ගොඩ නගා ගත් රාජ්‍ය මාදිලියේ ප්‍රශ්නයක් හැටියට ම මතු කරමින්. මෙතැන දි ඇත්තෙන් ම අනෙක් ජනකොටස් අතරේ සිදු විය යුතු ව තිබුණේ තම තමන්ගේ භූමි තුළත් සැබෑ බලයක් සදහා නැගි සිටිම යි. ඒ විදියේ නැගි සිටිමකින් විතරයි මේ ලංකාව ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයක් බව ට පත් කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ලංකාව ගැන ආදරයක් ඇති ඕනෑ ම කෙනෙකු ට කරන්න තියෙන දේ තමයි ඒක.ඒත් සිදු වුණේ වෙන දෙයක්. සුළු ජාතින් ලෙස මතු කළ ඒ ප්‍රජාතන්ත්‍රවාදය ගැන පළල් ප්‍රශ්නය - මහ ජාතිය ට විරුද්ධ එකක් හැටියට පටු කරල - අනෙක් පැත්ත මහජාතික බලවේගයක් විදියට පෙළගස්වන්න පාලකයොත්, උන් විසි කරන කටු ලෙව කා පැවැත්ම තහවුරු කරගන්නෝත් සමත් වුණා. ඒ වැඩෙන් මහජාතියේ කදවුර ට ගාල් කරපු නොයෙකුත් පීඩිත කොටස් තමිල් ජනයාගේ අරගලය පොඩි පට්ටම් කර දෑමීමේ සක්‍රිය කොටස්කරුවන් බවට පත් කරගත්ත විතරක් නොවේ, තම තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් සදහා පෙනී සිටීමේ හැකියාවත් අව ම කර දැම්මා. මේ ගැන වගකීමෙන් ලොකු කොටසක් පාලකයන් අත විතරක් නොවේ, දකුණේ ප්‍රගතිශීලි බලවේග අතටත් පැවරෙනවා. ඒකත් උතුරේ අරගලකරුව්න් පිට පටවල ඇග බේරා ගැනිම ලැජ්ජ නැති වැඩක්. මොකද උතුර තමන්ගේ කොටස කළා. දකුණේ පිඩිතයා ට මගපෙන්විම දකුණේ ප්‍රගතිශිලින් ගේ වැඩක්.


කොහොමටත් බංකොලොත් පාලක පාලක පංතිය, මේ ප්‍රශ්න විසදා ගෙන ප්‍රජාතන්ත්‍රවාදය තුළින් එක්සත් ලංකාව් ගොඩනැගීමේ දුෂ්කර අභියෝගය ජය ගන්නවා වෙනුව ට යොමු වුණේ තමන්ගේ බලය පවත්වා ගෙන යාමේ කෙටිකාලින පටු අරමුණ ට. ඒ නිසා මේක බංකොලොත් පාලක පංතියක් බව තව දුරටත් තහවුරු වෙනවා. .


මේ බංකොලොත්බවේ උච්චතම පාලන අවධිය ට අපි දැන් ඇතුල් වෙමින් ඉන්නේ. ඒක පටන් ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ට මුළුමනින් ම පයින් ගහලා, තමිල් ජනතාවගේ ජාතික අභිලාශය මිලිටරි ආධිපත්‍යකින් තලා- පාගා- පොඩි කර දැමිමෙන්. මේ බංකොලොත් පාලනය ඒ 'යුද්ධය' කියන ගලෙන් කුරුල්ලන් දෙන්නේකු එක වර බිම දා ගත්තා යයි කිව්වොත් නිවැරදියි. එක පැත්තකින් 'දේශප්‍රේමය' හා 'රාජ්‍ය ආරක්ෂාව' යන මුකවාඩම් පාවිච්චි කරලා තමන් ට විරුද්ධ සියළු ම බලවේග චප්ප කර දාන්න පුළුවන් ශක්තිමත් පදනමක් දා ගන්න එක. අනිත් අතින් නිෂ්පාදනය මුළුමනින් ම කඩා වැටුණු - පරාධිනත්වයෙන් පරාධිනත්වය කරා ගමන් කරමින් තිබුණ, ආර්ථිකය ට ජාත්‍යන්තර ප්‍රාග්ධනය පොම්ප කර ගන්න පදනමක් හදා ගන්න එක. මතුපිටින් මේ අරමුණු දෙකේ විප්‍රකාරත්වයත් පෙනෙන බව ඇත්තයි; ඒත් මේ විප්‍රකාරය ම 'ඇත්ත' වෙන බවත් ඒ වගේ ම ඇත්තයි! මේ බව කදිම ට පෙන්වන නිදසුනක්; යුද්ධයෙන් 'මුදවා ගත්' උතුරේ සරණාගත කදවුරු වල ඒ මිනිස්සුන් ව ගාල් කරලා ඔවුන්ගේ ඉඩම් දැවැන්ත සමාගම් වලට පැවරීම; මේකම දකුණෙත් එම බලවේගම භාවිතා කරලා මේ වැඩේම කරන එක. එකම කොපම්පැණි; එකම විදියේ මිලිටර් - පොලිස් මර්දනය; එකම විදියේ සරණාගතභාවය !!! වෙනස තියෙන්නේ මෙච්චරයි; 'අපේ රට' කියලා ඒක තමන්ගේම පුරවැසියෝ කට්ටියකගෙන් බේරාගන්න දායක වෙන තව පුරවැසියෝ කට්ටියක් දෙවෙනි වටයේ තමන් විසින් ම පෝෂණය කරපු 'දේශප්‍රේමී' බලවේගවලින් ඒ ප්‍රහාරයට ම ලක් වෙනවා !


උදාහරණයක් හැටියට විතරක් හොදම සිද්ධිය මේකයි. එදා "යුද්ධය හොදට කරපියවු!" කියමින් ගිය ගමනේ දි , තමන්ගේ පක්ෂයෙන් භාගයක් ආණ්ඩුව අස්සට රිංගන එකවත් වළක්වගන්න බැරි තරම් දුරදිග ගිය ජ.වි.පෙ අද ඒ යුද්ධයේ 'හොද හොද' කෙරුවාවල් විසින් අතුරුදන්කරවූවන්ගේ "නම් හෙළි කරනු" ව්‍යාපාර පටන් අරන් උතුරට යනවා: ගිහින් තමන්ම පෝෂණය කරපු 'විරෝධාර' සහ 'දේශප්‍රේමී' බලවේග වලින් ගුටි කනවා! 'දේශප්‍රේමී මහා රණවිරුවා' ජනරාල් සරත් ෆොන්සේකා - මහින්දගේ බල ව්‍යාපෘතිය ම ඉදිරියට දාමින් 'යුද ජයග්‍රනයේ (?) සැබෑ උරුමකරු' බවට පත්වීමට තැත් කිරීමේ ප්‍රතිපලයත් තවත් හොද නිදසුනක් හැටියට ගතෑකි. ඔය කියන දේශප්‍රේමය වගේ ම 'රණවිරු' ආදි නාම විශේෂණත් සිල්ලර ට වගේ ම තොග වශයෙනුත් පාවිච්චි කළේ මේ යටත්විජිත ගැති බංකොලොත් පාලනයේ බලය සදහා ම විතරයි කියන එක තහවුරු කරගන්න තවත් නිදසුන් ඕනෑ ද...........?


දැන් මේ, 'ආසියාවේ ආශ්චර්්‍යය' දෙසට වේගයෙන් හඹා යන 'දේශේප්‍රේමී - ශක්තිමත්' රාජ්‍යයේ ගමන, ජනකොටස් ගණනාවක් අතර පිපුරුම් ලක්ෂ්‍ය නිර්මාණය කර ඇති බවත් නිරීක්ෂණය කරන්න පුළුවන්. තොරතුරු හා අදහස් පාලනය කරන්න මාධ්‍යවේදීන් වෙතට මර්දනය කැදවලා. වැටුප් අරගල දිය කර හැරීමට වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වයන් අඩපන කරමින් තියෙනවා. ශුභසාධක වියදම් කපා දමමින්, බාහිර ආදායම් සොයා ගත හැකි මාධ්‍යයන් බවට රාජ්‍ය ආයතන පත් කරලීමේ ක්‍රියාවලිය ඇතුලේ විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය ව්‍යාපාරයටත් ගැටුම් පාර්ශ්වකරුවකු බවට පත්වෙන්නට බල කෙරිලා. ධීවරබිම් වලින් ධීවරයින්වත්, ගොවිබිම් වලින් ගොවීන්වත් පළවා හරිමින් ඒවා දැවැන්ත සමාගම්වල ට ලාභ උපයන්න පවරමින් තියෙනවා. මේ ඔක්කොමත් එක්ක ලක්ෂ ගණනින් නාගරික දිළින්දනුත් කොළඹ අගනාගරිකය ආශ්‍රිත පෙදෙස්වලින් එලවල දාලා ඒ ජනාවාස ඉඩමුත් අත්පත් කරගන්න(මුදවා ගන්න !) පිඹුරුපත් සකසලා. යටිතල පහසුකම් හැටියට සලකන අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපල, විදුලි බලාගාර වගේ දේවල් වලට කරන අත්පත් කරගැනීම් වලින් බිහිවෙන සරණාගතයන් ලක්ෂ ගණනාවක් හුදු ලාභ ශ්‍රමිකයන් ලෙස වෙළදපොලට එකතු වෙනවා ඇති. මේ ගොඩනගන්න යන 'ආශ්චර්්‍යයමත් ලංකාව' ට ඒ නිසා ම 'සරණාගතයන්' කියන්නේ අනර්ඝ සම්පතක්! මේ ඔක්කොම වටකර ගන්න ඕන කරන දැවැන්ත යුද ආරක්ෂක සැලැස්මක් ඉදිරියට දැමීම මගින් ඒකාධිපති මිලිටරි - පොලිස් රාජ්‍යයක් දිහාට ඇදෙන වේගවත් ගමනක පෙරමං සලකුණු දැනටමත් දක්වන්නට පටන් අරන් තියෙනවා. මේ වෙනකොටත් අගනගරය පාලනය කරන - කොතරම් දූෂිත වුනත් - ජනතා ඡන්දයෙන් පත් කරපු මහ නගර සභාව වෙනුවට 'නාගරික අධිකාරියක්' පිහිටුවලා, ඒක මෙහෙයවීම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කරන්න පිඹුරුපත් සකසලා තියෙන්නේ. මේ හැම දෙයකින් ම නිරුවස්ත්‍ර කරන සදාචාරය වසාගන්න පෞද්ගලික මානුෂීය සබදතා පවා මිලිටරිකරණය කරලා; ලිංගිකත්වය තුච්ඡ දෙයක් බවට පත් කරලා.


මේ හැම එකක්ම අතරේ සම්ප්‍රදායික විපක්ෂයේ ප්‍රධාන බලවේග දෙකම, එකිනෙක පරයමින් වැඩ කරමින් සිටින්නේ, ආණ්ඩුවෙන් උත්කර්ශවයට නංවලා තියෙන බංකොෙලාත්කමේ දනම වන 'දේශප්‍රෙමී - ශක්තිමත්' රාජ්‍යයක් ගැන උපායමාර්ගය වටේමයි. මේකට ප්‍රධාන ප්‍රතිවිරෝධය එල්ල කරපු එල්.ටී.ටී.ඊ ය, මේ හැමෝගෙම ආශිර්වාදය ඇතිව තාවකාලකව හෝ යුදමය වශයෙන් පාගා දමා තිබෙන පසුබිමක දමිළ ජනයාගේ දේශපාලන ප්‍රතිවිරෝධය අන්ත අසරණ තැනකට - වික්ෂිප්ත - වියවුල්භාවයකට තල්ලු කර දමමින් තියෙන්නේ. ලංකාවේ බලපෑම් කණ්ඩායම් හැටියට බලවේග ගතවෙලා තියෙන ප්‍රධාන කණ්ඩායම් දෙක ගත්තත් ප්‍රතිවරෝධි බලවේගයක් නිර්මාණය කරන්නට අසමත් බවයි පෙන්නේ. වෘත්තිය සමිති හා ශිෂ්‍ය ව්‍යාපාර බොහෝ දුරට ඒවා මෙයෙවෙන පටු ඉලක්ක වලින් ඒවායේ සීමාවනුත් සලකුණු කරගෙනයි තියෙන්නේ. රාජ්‍ය නොවන ආයතන පදනම් වෙලා තියෙන්නේ මූලික වශයෙන් ම විදෙස් ප්‍රාග්ධනය මතයි. ඒවාට සම්පත් සපයන මූලාශ්‍ර ආයතන මේ වෙද්දී පවතින ආණ්ඩුවත් එක්ක සහයෝගීව වැඩ කරන්න අසීරු කණ්ඩායම් අතහරිමින් ආණ්ඩුව එක්ක එකට යන්නන්ට ඒ සම්පත් පොම්ප කරමින් ඉන්නේ. මේ විදිහට අද වෙනකොට ඒ සම්පතුත් ආණ්ඩුව ඇතුලේම වන බලවේග වලින් අත්පත් කරගනිමින් ඉන්නවා. අනික් අතින් විරෝධාකල්ප හුදු වානිජ අරමුණු සදහාම භාවිතයට සීමාවෙලා තියෙන මෙවැනි කණ්ඩායම් නිසා විරෝධතා අවකාශය පටු වෙමින් තියෙන්නේ.
වැදගත්ම සහ පොදු ලක්ෂණය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අකුලා දමමින් තිබෙන ' දේශප්‍රේමී - ශක්තිමත් - ආශ්චර්්‍යයමත් රාජ්‍යය' ගැන සටන්පාඨවල සළු-පිළිවලින් වහලා තිබෙන අන්ත බංකොෙලාත් වැඩපිළිවෙලේ ප්‍රතිවිරෝධය නියෝජනය කිරීම හා ගොඩනැගීම වෙනුවට මේවා මගින් කරන්නේ ඒකේ විවිධ පැතිකඩවල් නියෝජනය කිරීම විමයි!


ඒත් මේ මහා වික්ෂිප්තභාවය අතරමැද - නොවැළැක්විය හැකි පරිදි - දුර්ව්ල විදියට, හුදෙකලාව නමුත් ඒ ඒ භූමි වල අරගල පුපුරු ගසමින් එනවා. නාගරික දිළින්දෝ තමන්ගේ වාසභූමි අයිතියටත්, මීගමු කලපු ධීවරයෝ සිය ධීවර බිමේ අයිතියටත්, සරසවි ශිෂ්‍යයෝ සිය අධ්‍යාපනයේ හා නන්විධ නිදහසේ අයිතියටත්, මාධ්‍යවේදීහු මාධ්‍ය නිදහසට හා නන්විධ ප්‍රජාතන්ත්‍රීය හිමිකම් උදෙසාත්, තවත් නොයෙකුත් භූමිවල ඒ ඒ ජනකොටසුත් මේ අරගලයේ පිපිරුම් ලක්ෂ්‍ය බවට පත් වෙමින් තියෙනවා.


අවාසනාවට කාරණය, ඒ පිපිරුම් ලක්ෂ්‍යන් අතර තියෙන හුදෙකලා බව වගේම තවදුරටත් බංකොලොත් වැඩපළිවෙලත් එක්ක සපාක්ෂිකව හෝ විපක්ෂිකව සන්ධානගත වෙලා ඇති ව්‍යාපෘතීන් ඒවා අත්ත් කරගන්න ට දක්වන හැකියාවයි: අභියෝගයත් මේකමයි.


කරන්නට ඇති නිශ්චිතම දෙය නම් මේ අරගල භූමි ඇතුලෙත්, ඒ එකිනෙක අතරත් හැබෑම ප්‍රතිවිරෝධය මතු කරන දෘෂ්ටිවාදය හා වැඩපිළිෙවල ගොඩනගන එකයි. සැබෑ හා ඵලදායි එක්සත්බවක ට තියෙන එකම - ඔව්; එකම එක - මාවත ඒකමයි.


දෙසැම්බර් 10 දාට යෙදෙන ලෝක මානව හිමිකම් දිනය ඒ තාලයේ ඒකාබද්ධතාවයකට මාවත එළිපෙහෙලි කරගන්නා දිනයක් කරගැනීම හොද ඉලක්කයක් යැයි විශ්වාස කරමු. ඒ නිසා මේ හැම බලවේගයකම ක්‍රියාකාරීන් ඒ තැනට ගොනුකර ගන්නා නිශ්චිත ක්‍රියාකාරිත්වයක් ගොඩනගන්නට යෝජනා කරමු. ඊට ඔබේ දායකත්වය ද එකතු කරන්නැයි ඉල්ලා සිටිමු.


සාමය හා මානව හිමිකම් සදහා ක්‍රියාකාරිත්වය
වෙනුවෙන් - දර්ශන කාහිංගල


ලෝහිත අසපුව කියවන්න


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

4 comments:

  1. ලිපිය ටිකක් බර වැඩියි වගේ... හතර වටේටම ගහලා තියෙන හින්දා කවුරුවත් අමනාප වෙන එකක් නෑ... අදහස් වල යම් අර්ථයක් තියෙන බවක් පේනවා... වෙලාව තිබුණොත් තව 3-4 සැරයක් කියවලා තේරුම් ගන්න බලන්නම්....

    ReplyDelete
  2. Jvp tamil minissu gena katha karana eka weradida??
    udde kale eka kala..eka iwara kalama karanna ona tamil minissunge eththa prashna gena hoyana eka..e minissunge hitha dinaganna eka..nethnam thawaduratath koti hamata thalana eka nemei..eken jathi athara krodaya ewilenawa..jvp kiyanne, lankawe hamuda kadauruwala hirakaragena inna ayage nam e ayage demapiyanta denna kiyala..nethuwa e koti nidahas karanna kiyalawath, udde kale merichcha un gena waga kiyannawath kiyala nemei..mama hithanne e widiyata tamil minissu wenuwen peni sitima aulak ne..jathika balawega tamil minissu dina geneema, jathiwadi balawega parajaya kirima wenawa.

    ReplyDelete
  3. Metaphorically ගත්තත් මේක මොන්ගල් කතාවක්. සරළ ගණිතයෙන්ම කිව්වොත් ඕනෑම ලක්ෂ්‍ය සමූහයකට යා කළ හැකි රේඛාවක් පවතිනවා. ඒක ඇඳ ගන්න එක මේ තරම් දඟලන්න කාරියක් නොවේ. කොටින් ම එය ඉබේම ඇඳෙනවා ලක්ෂ්‍ය ගණන වැඩි නම්.

    ප්‍රශ්ණය නම් ඔය රේඛාව නැවුම් දිදී යන මහා නූල් බෝලයක්. ඕකේ තියෙන ගැට ගාණට ඕක ලිහා ගත්ත එකෙක් නෑ. හැබැයි එහෙම හිතන එවුන් නම් ඉන්නවා. උන් නිසාත් ඔය රේඛාව තව ටිකක් නැවෙනවා. ඉස්සරහින් හෝ පසුපසින් යන්න කවුරුත් නෑ කියන පරා නිසාත් ඔය රේඛාව නැමිලා ඇති.

    රේඛාව මත නොසිටින අන් අයට ඕක ගැන ඇතිවෙන්න ප්‍රශ්ණ තියෙනවා. එකෙකුට එකෙක් නැතිව එක එකා විවිධ මත කීම නිසා ඒ ගැන විශ්වාසය දීන් දින ම පහළ බහිනවා. ඒ එක්කම ඔය අරගලය පන්ති සටන සූරා කෑම වගේ 1800 ගනන් වල කතාවල වත්මන් වළංගුභාවයත් මෙයට බලපානවා.

    ඉතින් මට නම් කියන්නෙ තියෙන්නේ, ඔය රේඛාව හදන ලක්ෂ්‍ය ගණන දිගටම අඩුවන බව නිරීක්ෂණය කිරීමත් එය මත ඉන්න හදන ඔබට යහපතක් . ස්වාභාවික ව පහළ වන රේඛාවෙන් එහාට ඔකෙන් කළ හැකි මගුලක් නැති බවයි මගේ හැඟීම.

    ReplyDelete
  4. //ඇත්තෙන් ම මේ කාල වකවානුවේ ධනේෂ්වර ක්‍රමයට ලෝකයේ කිසිදු අර්බුදයක ට විසදුමක් නැති තත්වයක ට ගිහින් තියෙන නිසා වෙමින් තියෙන්නේ පරිවාරයේ රටවල් සූරා කෑමෙන් කේන්ද්‍රයේ ගැටළු කළමනාකරණය කර ගැනිමයි//

    සමාජවාදී ක්‍රමයෙන් ඔය කියන එක අර්බුදයකට හරි විසදුම් හොයා ගත්ත රටක උදාහරණයක්වත් පෙන්නුවනම් තමයි හොද.
    මන්ද "ධනේශ්වර ක්‍රමයේ වැරදි තිබේ" යනුවෙන් කී පමණින්, "සමාජවාදය වඩා හොදයි" යන්න සාධනය නොවන නිසා.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.