2010-12-10

රෙජී සහ ඔහුගේ දේශපාලන පරිණාමය

(2010 දෙසැම්බර් 10, නොවැම්බර් ව්‍යාපාරයබුහුමනට ලක් වන විද්යාර්ථියකු වන රෙජී සිරිවර්ධනගේ අභාවයේ සංවත්සරය දෙසැම්බර් 15දාට යෙදී ඇත. මේ ඔහුගේ පුත් අමල් සිරිවර්ධන ඔහු සිහිපත් කරන ආකාරයයි. ඉංග්‍රීසි පුවත්පතක පළ කරන ලදුව නොවැම්බර් ව්‍යාපාරය විසින් ප්‍රකාශිත ‘ඉතිහාස’ සඟරාවේ පරිවර්තනය කර පළ කෙරුණු මෙම ලිපිය එහි දේශපාලනික වැදගත්කම හේතුවෙන් නැවත පළ කරන්නෙමු. 


ඔහුගේ දිවියේ මුල් කාලයේදී රෙජී දැන සිටි බොහෝ දෙනෙක් සිතන්නේ ඔහු හිටපු ට්‍රොස්කිවාදියකු කියා ය. ඇත්තෙන් ම ඔහු කෙරෙහි වූ මූලික දේශපාලන බලපෑම මාක්ස්වාදයයි. 1941 සිට 1946 දක්වා සමසමාජ සාමාජිකයකු වූ ඔහු එහි මධ්‍යම කාරක සභිකයකු දක්වා ඉහළ ගියේය. සිය අසූවන උපන් දිනය දා ඔහු ඔහු පිළිබඳව ම ලියූ කවියක මෙසේ කීවේ ය.


මම මගේ අභාවප‍්‍රාප්ත සොයුරා මෙන් කිසි කලෙක සිංහල ජාතිකවාදී සෙම්ප‍්‍රතිශ්‍යාවට ගොදුරු නො වුණෙමි 
මුල් කාලයේ ගැසූ මාක්ස්වාදී අඩියකින් එය බලා ගන්නට ඇත.


මෙහි සඳහන් වන්නේ මගේ බාප්පා වන සී.ඞී.එස්. සිරිවර්ධන පිළිබඳවයි. ඔහු 1956 බෞද්ධ කොමිෂමේ සාමාජිකයෙකි.


මුල් සමසමාජ අවදියෙන් පසු වෙනස


1960 දශකයේ මුල් අවදියේදී මට ඔහුගේ දේශපාලන දැක්ම හසු වන විට ඔහු සමසමාජ කාලයට වඩා තරමක් වෙනස් වී සිටියේ ය. ඒ වන විට ට්‍රොස්කිවාදය පිළිබඳ කිසිවක් තේරුම් ගැනීමට තරම් මම වයසින් මුහුකුරා ගොස් නො සිටියෙමි. එහෙත් සමාජවාදී රටවල් කෙරෙහි විශාල සානුකම්පාවක් ඔහු තුළ වූ බව මට වැටහිණි. මෙය වනාහි නිකිතා කෲෂෙව් විසින් 1953 දක්වා යකඩ අතකින් සෝවියට් දේශය පාලනය කළ කෲර ඒකාධිපතියකු වූ ජෝසප් ස්ටාලින් හෙළා දකිනු ලැබීමෙන් පසු සාපේක්ෂ සහනයක් ඇති වූ කාලයයි. 1957දී පෝලන්තයේ චාරිකාවක යෙදුණු රෙජී නැගෙනහිර යුරෝපය හරහා හමා යමින් තිබුණු නැවුම් සුළෙ`ග් පහස පෞද්ගලිකව ම විඳගෙන තිබිණි.


මේ කාලය වන විට ඔහු මාක්ස්වාදී ඉතිහාසඥයකු වූ ඉසාක් ඩොයිෂ්ගේ ලිවීම්වල බලපෑම්වලට ද ලක්ව සිටියේ ය. ස්ටාලින්ගේ කෲරත්වයේ තරම මුළුමනින් ම වටහා ගත්ත ද හේ සෝවියට් ආර්ථිකය ගොඩනැඟීමෙහිලා ස්ටාලින්ගේ කාර්යභාරය ද පිළි ගත්තේ ය. ඩොයිෂ් පැවසූ ආකාරයට, ඔහු ලී නගුල් යුගයේ සිටි රුසියාව පරමාණුක අවධිය කරා ගෙන ගියේ ය.


මේ යුගයේදී රෙජී ද ස්වභාවික විද්‍යාවන් කෙරෙහි දැඩි ඇල්මකින් යුක්ත විය. තාරකා විද්‍යාව හා අභ්‍යවකාශ ගමන් ඒ අතරින් සුවිශේෂ විය. 1857දී පළමු ස්පුට්නික් යානාව අභ්‍යවකාශගත කිරීමෙන් අනතුරුව එළඹි වසරවලදී සෝවියට් දේශය අතිශය සාර්ථක විය. වෙනත් බොහෝ වාමාංශිකයන් සේ ම ඔහු ද සෝවියට් ජයග‍්‍රහණ සමාජවාදයේ උත්තරීතරභාවයේ ඔප්පු කිරීම් ලෙස දුටුවේ ය. ජනතාවට ඉවසා දරා ගන්නට සිදු වූ මූලික අවශ්‍යතාවන්ගේ නිරන්තර හි`ග පාඩු, දිගු පෝලිම්, සිත් ඇද නො ගන්නා නිවාස හා නිදන්ගත දූෂණය වැනි රාජ්‍ය ක‍්‍රමයේ අඩුපාඩු ස්පුට්නික් යානාවලින් හා චන්ද්‍ර ජායාරූපවලින් ආවරණය කෙරිණි.


ලෝක දේශපාලනය


අපේ නිවසට පැමිණි අමුත්තන් සමග කතා බහ තුළින් මට යුගයේ ලෝක දේශපාලනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබිණි. 1961දී ඉන්දියාව ගෝව අත්පත් කර ගත් අවස්ථාවේ දේශීය පුවත්පත්වල නේරු ගාන්ධිගේ අහිංසාවාදය පාවා දුන් බව අඟවන කාටුන් පළ විය. ඒ පිළිබඳ රෙජී කීවේ මෙසේ ය. ”මම නම් අහිංසාව පිළි ගන්නේ නැහැ. මට තිබෙන ප‍්‍රශ්නය නේරු මෙතරම් කල් පෘතුගීසීන් ඉවසුවේ ඇයි ද කියන එකයි.” 1962 ඔක්තෝබරයේදී කියුබානු මිසයිල අර්බුදයේදී ද මම ඔහු අනුගමනය කළෙමි. කියුබානු දූපතේ රුසියානුවන් විසින් සවි කර තිබුණු න්‍යෂ්ඨික උණ්ඩ සහිත මිසයිල ඉවත් කර ගැනීම පිණිස බල කරනු පිණිස ඇමරිකා එක්සත් ජනපදය එරටට සම්බාධක පැනවීය . සංස්කෘතික විප්ලවය දක්වා ම රෙජීට චීනය කෙරෙහි ද කරුණාවක් විය. බටහිර විසින් චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පිටුවහල් කර තැබීමෙහි මුග්ධකම පිළිබඳව ද ඔහු කතා කළේ ය. වරෙක සෝවියට් දේශය ද වරෙක චීනය ද එක්සත් ජනපදය අභිබවනු ඇති බව ඔහු පැවසී ය. ඔහුගේ අනාවැකියේ දෙවෙනි කොටස ඇත්ත වෙමින් තිබේ. එහෙත් ඒ ඔහු පැතූ ආකාරයේ චීනයක් නොවේ.


එවැනි දැනුවත් පුද්ගලයන් පවා කොමියුනිස්ට්වාදයේ සත්‍ය මුහුණුවර නො දුටුවේ මන්ද යන්න පිළිබඳව දීර්ඝව කතිකා කිරීමට මම උත්සාහ නො කරමි. බොහෝ හේතු තිබිණි. එසේ ම බටහිර ද මොන ම අයුරකින්වත් අහිංසක නො වූ බව අමතක නො කළ යුතු ය. එම යුගයේ එක්සත් ජනපදය සතුව තුන්වන ලෝකයේ බොහෝ දූෂිත හා කෲර රාජ්‍ය පාලකයෝ වූහ. 1962දී එෆ්.සී. ද සේරම්ගේ නායකත්වයෙන් යුක්තව ක‍්‍රිස්තියානි හමුදා හා පොලිස් නිලධාරීන් පිරිසක් විසින් දරණ ලද කුමන්ත‍්‍රණ උත්සාහයෙන් පසු රෙජී පැවසුවේ කුමන්ත‍්‍රණය සාර්ථක වී නම් බි‍්‍රතාන්‍යය හා ඇමරිකාව එම පාලනය පිළි ගනු ඇති බවයි. ඔහු මාක්ස්වාදයේ දැඩි බලපෑමට ලක් වී සිටි මෙසමයේ පවා ඔහු පටු දෘෂ්ඨිවාදයකු නො වීය. ඔහු සැම විට ම පිළි ගත් කරුණක් වූයේ ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ඇමරිකානු සමාජයේ ගැඹුරු වෙනස්කම් කර ඇති බවයි.


පැරණි වමෙන් බිඳීම


ජවිපෙ සී.අයි.ඒ. ඒජන්තයන් ලෙස හඳුන්වමින් ලංකා සමසමාජ පක්ෂය 1971 කැරැල්ලට ප‍්‍රතිචාර දැක්වූ ආකාරය ඔහුගේ පිළිකුලට හේතු විය. මෙය ඔහු පැරණි වමේ නායකත්වයෙන් අවසන් වශයෙන් බිඳුණු අවස්ථාව විය. 1972 ව්‍යවස්ථාවත්, එහි දුර්වල මූලික මානව හිමිකම් රැකවරණයත්, සිංහල පමණක් ප‍්‍රතිපත්තිය පිළි ගැනීමත් ඔහු දැඩි ලෙස විවේචනය කළේ ය. ඔහු වරක් කී පරිදි 'කොල්වින් ව්‍යවස්ථාව සම්පූර්ණ අවමානයක්’ විය. 1971 ප‍්‍රවණතාවට ප‍්‍රතිචාරාත්මකව ගොඩනඟන ලද සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ලේකම් පදවියට පත් වූයේ ඔහු ය. 


පාර්ලිමේන්තුවේදී එක ම දවසේ ෆීලික්ස් ඩයස් බංඩාරනායක සහ ජේ.ආර්. ජයවර්ධන විසින් නින්දාවට ලක් කිරීමේ ගෞරවය සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයට ලැබිණි. රෙජී සිය Working Underground  පොතෙහිදී මා ඔහු කෙරෙන් බලාපොරොත්තු වූවාට වඩා පැරණි වම කෙරෙහි කාරුණික විය.


ධනවාදය පිළිබඳ දෘෂ්ඨිය


කාලය ගත වී යන විට ඔහු ලෝකය පිළිබඳ ඔහුගේ ඇතැම් සංජානනයන් වෙනස් කර ගන්නට පටන් ගත්තේ ය. ධනේශ්වර ක‍්‍රමය බලාපොරොත්තු වූවාට වඩා ඔරොත්තු දීමේ හැකියාව පෙන්වා ඇති බව ඔහු පිළි ගත්තේ ය. පශ්චාත් වියට්නාම් යුගයේදී ඇමරිකානු උපාය මාර්ගයන්ගේ ඇතැම් වෙනස්කම් ඔහු හඳුනා ගත්තේ ය. මාකෝස් පාලනයේ අවසන් සමයේ අර්බුද අතර ඔහු මගෙන් මෙසේ ඇසී ය. ‘පිලිපීනයේදී ඔවුන් මොනවා කරනු ඇද්දැයි ඔබ සිතනවාද? විය හැකි දෙආකාරයක් තිබෙනවා. එනම් වියට්නාමයේ ඩියෙම්ට එරෙහිව කුමන්ත‍්‍රණයක් සංවිධානය කළා සේ කටයුතු කිරීම හෝ ඉරානයේදී මෙන් නිකම් සිටීම හෝ යන දෙකයි. මේ දෙක ම විනාශකාරී බව ඔප්පු වී තිබෙනවා.‘ එක්සත් ජනපදය කොරසන් අකිනෝට සහාය පළ කරන්නට ඉඩ ඇතැයි ඔහු සිතී ය. සිරිමා බංඩාරනායකගේ සිවිල් අයිතිවාසිකම් අත්හිටවූ අවස්ථාවේදී එවකට ලංකාවේ එක්සත් ජනපදයේ ශ්රීබ ලාංකික තානාපති හොවාර්ඞ් රිගින්ස් ජේ.ආර්. ජයවර්ධන හමු වී එම තීරණය වෙනස් කිරීම සඳහා දීර්ඝ සාකච්ඡාවක් කළ බව ඔහු මට කීවේ ය. 1956 මැතිවරණ සමයේදී පහළ මට්ටමේ තනතුරක් දැරූ මෙම රිගින්ස් ම එහි ප‍්‍රතිඵලය නිවැරදි ලෙස පෙර දුටු බව ද ඔහු කීවේ ය. රෙජීගේ අදහස වූයේ ‘මා සිතන පරිදි අවසානයේදී එක්සත් ජනපදය පවා ශක්තිමත් විකල්ප නායකයකq සිටිනවාට කැමතියි,' යනුවෙනි.


අසූව දශකයේ මුල භාගයේදී ගෝලීය සංවර්ධනයන් පිළිබඳව මම රෙජී සමග පුළුල් පරාසයක සාකච්ඡා පැවැත්වීමි. මේ වන විට ඩෙං ෂියා ඕ පිං චීනයේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය ආරම්භ කර තිබිණි. ඔහු නිදහස්කරණය අනුමත කරන අතර ම මූලික දේශපාලන හා සාමාජික අරමුණුවලට පටහැණි කළමනාකරණ කාර්යක්ෂමතාවක් අවධාරණය කිරීම් ද තේරුම් ගත්තේ ය. අවසානයේදී ඔහු ගැඹුරු ප‍්‍රකාශයක් කළේ ය. ‘මා සිතන පරිදි කෙනෙකුට සමස්ත මාක්ස්වාදී විශ්ලේෂණයෙන් ම ස්වායක්තව සමාජවාදයේ සාධාරණීකරණය කිරීමක් ගොඩනැගිය හැකියි. ධනවාදය සමග ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නය දුප්පත්කම වැඩි වීම වැනි පැරණි ප‍්‍රශ්න නොවේ. ඒවා ප‍්‍රතික්ෂේප කළ හැකියි. මානුෂීය අර්ථයෙන් ගත් කල ලාභය වෙනුවෙන් සංවිධානය කරන ලද ලෝකයක ජීවත් වීම හොඳ දෙයක් නොවේ.’


ගොර්බචෙව් සහ පෙරස්ත්‍රොයිකා


ගොර්බචෙව් සෝවියට් දේශයෙහි බලයට පත් වන විට සමාජ ක‍්‍රමයට දේශපාලනිකව සහ ආර්ථිකව වෙනසක් අවශ්‍යව ඇති බව ඔහු වටහා ගෙන සිටියේ ය. දැඩිව මධ්‍යගතව සැලසුම් කරන ලද ක‍්‍රමය අසාර්ථක වී ඇති බව ඔහු වටහා ගෙන සිටියේ ය. දේශපාලන ක‍්‍රමය පිළිබඳව ඔහු කීවේ මෙසේ ය. ’බටහිර සමාජය විසම්මුතිය ඉවසා සිටිද්දී සෝවියට් ක‍්‍රමය ඕනෑ ම විරුද්ධ මත දරන්නෙකු සම්පූර්ණයෙන් ම විපාක්ෂිකයකු බවට පත් කරයි. එය අදේශපාලනික දේ දක්වා ද දිගු වන අතර භාව චිත‍්‍රශිල්පීන් සිරගත කිරීම නිදසුනකි.‘ 1988දී සෝවියට් දේශයේ චාරිකා කිරීමට ලැබුණු ආරාධනාවක් පිළි ගැනීමේදී ගමන් බිමන් යාමට ඇති අකැමැත්ත ඔහු ඉවත දැමුවේ ය.


පෝලිම් හා හිඟ පාඩු එහෙමම තිබුණත්, ගොර්බචෙව්ගේ ප‍්‍රතිසංස්කරණ සාර්ථක වනු ඇතැයි විශ්වාසයක් ආපසු පැමිණි ඔහු තුළ තිබිණි. ‘එය 1970-77 සමයේ ලංකාව වැනි ය,' යි හේ කීවේ ය. ග්ලාස්නොස්ට් හෙවත් විවෘතභාවය කෙතරම් ආකර්ශනීය වී ද යත් තහනම් පොත් යළි රාක්කවලට පැමිණ තිබිණි. තහනම් කෙතරම් දුරට ඉවත් වී ද යත් මාක්ස්වාදී දේව මණ්ඩලයේ සම්භාවනීය වීරයා වූ ලෙනින් දක්වා ම විවේචනය විහිදිණි. එහෙත් පෙරස්ත්‍රොයිකා හෙවත් ආර්ථිකය ප‍්‍රතිව්‍යූහගත කිරීම ක‍්‍රියාත්මක වෙමින් නො පැවති බව ඉක්මණින් ම පැහැදිලි විය. සත්තකින් ම ගොර්බචෙව්ගේ අධිෂ්ඨාන හීන ප‍්‍රතිසංස්කරණවලින් වූයේ තත්වය තවත් නරක අතට හැරීමයි. අවසාන සමයේදී වෙළඳපොල ආර්ථිකයක් වෙතට ගමන් කිරීමේ අවශ්‍යතාව රෙජී ද පිළි ගත්තේ ය.


බිඳ වැටීමෙන් පසු සොවියට් දේශය බිඳී යාම අනිවාර්යයෙන් විය යුත්තක්ව තිබුණේදැයි මම වරක් ඔහුගෙන් ඇසුවෙමි. ‘කණගාටුදායක වුණත් එය නො වැළැක්විය හැකියි. වෙනස්කම් ඇති වුණේ ප‍්‍රමාද වෙලායි,' යි ඔහු පිළිතුරු දුන්නේ ය.


එහෙත් පසු කලෙක ආර්ථික ප‍්‍රතිසංස්තරණ බලෙන් පටවන ලද ආකාරය ඔහ්ගේ පිළිකුලට හේතු වූ අතර එයට බටහිර වග කිව යුතු බව ඔහුගේ අදහස විය. ‘වසර ගණනාවක් තිස්සේ ජනතාවට ධනවාදය පිළිබඳ අත්දැකීම් නැති තත්වයක් තුළ ඒ අන්දමින් අපරීක්ෂාකාරී ලෙස කඩවැදීම පිස්සුවක් විය. එසමයේ සිටි සම්භාවනීය ධනේශ්වර හා බටහිර ආර්ථික විද්‍යාඥයෝ ද මෙය උවමනාවට වඩා රළු බව පෙන්වා දුන්හ. ප‍්‍රතිඵලය වූයේ මාෆියාවක් විසින් සියල්ල අත්පත් කර ගැනීමයි.‘


ජේ.ආර්. ගැන කී පෙරනිමිති


ආරම්භයේ සිට ම රෙජී ජේ.ආර්. ගැන අනාවැකි කීවේ ය. 1977න් පසු ඔහුට වැදගත් ම කරණය වූයේ ජාතීන්ගේ ප‍්‍රශ්නයයි. 1977 සිට 1983 දක්වා ඔහු නිරන්තරයෙන් යාපනය බලා ගිය අතර සිවිල් සමාජ හා ප‍්‍රජා නායකයන් සමග සාකච්ඡුා කළේ ය. එල්.ටී.ටී.ඊ.ය කුඩා කණ්ඩායමක් වී තිබුණු මෙම කාලය දේශපාලන විසඳුම් පෙරට ගැනීමේ අවස්ථාව අහිමි වූ කාලයක් ද විය. ඉන්දියාවේ සිට සිදු වන අනවසර ඇතුළ්වීම් වැළැක්වීම පිණිස නාවික හමුදාව ගොඩනැ`ගීමෙන් හා යුදමය වශයෙන් කැරැල්ල මෙල්ල කිරීමේ හැකියාව තිබියදීත් යුදමය උපාය මාර්ගය පවා අසාර්ථක විය. ජනතාව අතර විසිරී සිටි කුඩා කණ්ඩායමකට එරෙහිව ගොඩබිම් මෙහෙයුම් දියත් කළ ආකාරයෙන් සිදු වූයේ ප‍්‍රශ්නය තවත් උත්සන්න වීමයි. රාජ්‍ය මර්දනය විසින් දුරස් කරන ලද ජනතාව ගරිල්ලන් සමග එක් වීමේ හා එමගින් රාජ්‍ය මර්දනය තවත් වැඩි වීමේ විෂම චක‍්‍රීය සම්ප‍්‍රදායික ගරිල්ලා උපාය මාර්ගය හේ මට පැහැදිලි කර දුන්නේ ය.


ජනමතවිචාරණය ජේ.ආර්. සම්බන්ධයෙන් තිබූ බිය තහවුරු වීමක් ලෙස ඔහු සැලකුවේ ය. 1983 කලබලවලින් ඔහු තවත් අසහනයට පත් වූයේ ය. මද කලකට පසුව සාකච්ඡුාවකදී ඔහු අපගේ විදේශ ප‍්‍රතිපත්තියේ වෙනස හේතුවෙන් වැඩි වෙමින් පැවති ඉන්දීය මැදිහත්වීම පිළිබඳ පැවසූ කරුණු දැන් පොදු දැනුමක් වී තිබෙන මුත් එවකට එය පිළි ගත්තේ සුළු පිරිසකි. ‘1956 සිට 1977 දක්වා එජාප, ශ‍්‍රීලනිප සියලූ රජයන් යටතේ අපි ඉන්දීය නොබැඳි පිළිවෙතට සමීපව කටයුතු කළෙමු. එවක් පටන් අපි දියාගෝ ගාෂියාව පිළිබඳ වෙනස් ස්ථාවරයක් ගත්තෙමු. ෆෝක්ලන්ත යුද්ධයේදී බි‍්‍රතාන්‍යයට උදව් කළෙමු. ත‍්‍රිකුණාමලයේ ඇමරිකන් මූල කඳවුරක් පිළිබඳ ඕපාදූපයක් ද ඇත…‘ මෙසමයේ කොළඹ මධ්‍යම පංතියේ බොහෝ දෙනෙක් සුබවාදීව සිතුවේ කඳවුර පිහිටුවීමට ඉඩ දීම වෙනුවෙන් රොනල්ඞ් රේගන් රජය ඔවුන්ට ආර්ථික සහනයක් දෙනු ඇතැයි කියා ය.


එසේ පිරිනමනු ලැබුවහොත් රේගන් එය ලබා ගැනීමට ඉඩක් නැද්දැයි මා ඇසූ විට ඔහු වහා ප‍්‍රතිචාර දැක්වූයේ ‘මතක තබා ගන්න රේගන්ට සිදු වෙනවා ගෝලීය මට්ටමෙන් ප‍්‍රතිඵල ගැන සිතන්න. ජේ.ආර්. බේරා ගැනීමෙන් ඉන්දියාව දුරස් කරගෙන එරට තව දුරටත් සෝවියට් කඳවුර වෙත තල්ලූ කිරීම එක්සත් ජනපදයට වාසිදායක වේවිද?‘ දකුණ දේශපාලන විසඳමකට විරෝධය පළ කිරීම දිගට ම කරගෙන ගියහොත් යම් අවස්ථාවකදී ඉන්දීය මැදිහක්වීම වැළැක්විය නො හැකි බව ඔහුගේ අදහස විය. මෙය සැබෑ වූ අනාගත වාක්‍යයක් වූ මුත් මැදිහත්වීමේ ස්වභාවය හෝ එහි කණගාටුදායක ප‍්‍රතිඵල හෝ කල් තබා දකින්නට අපි කිසිවෙකු අසමත් වීමු.


බලාපොරොත්තුව සහ කලකිරීම


ඊළඟ වසර කීපය තුළ ඔහු බලාපොරොත්තුව සහ කලකිරීම අතර දෝලනය වෙමින් සිටින අයුරු මම දුටිමි. සිංහල ජනතාවට අවබෝධ කරවීමේ දුෂ්කරතාව පිළිබඳව ඔහු නිතර කතා කළේ ය. අනතුරුව ඉන්දු-ලංකා ගිවිසුම පැමිණියේ ය. හදිසියේ ම වාම ලිබරල් කඳවුරේ අයට ජේ.ආර්. ජයවර්ධන ද තමන්ගේ ම පැත්තේ සිටිනු දකින්නට ලැබිණි. රෙජීට ගිවිසුමේ තත්වය පිළිබඳ මායාවක් නො තිබිණි. ඔහු මෙසේ කීවේ ය. ‘සත්‍යය නම් එය සිංහල හා දෙමළ සටන්කාමීන් මත බලෙන් පටවා ඇති බවයි.‘ අප‍්‍රසන්න කරුණු කෙරෙහි ද ඔහු දෑස් පියාගෙන සිටියේ නැත.
ඉන්දීය සාම සාධක හමුදාව ත‍්‍රිකුණාමලයේ සිංහලයන්ගේ ගෙවල් ගිනි තැබීමට සම්බන්ධ වීම පිළිබඳ මම ඔහුගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේ ය. ‘ඔව්, එය පිළි නො ගෙන සිටිය නො හැකි තරමට ඇසින් දුටු සාක්ෂි තිබේ.‘ දැන් කාලය ඉක්ම ගොස් ඇති බැවින් අපට මෙ සිදුවීම් දෙස අනුරාගයෙන් තොරව බැලිය හැකි ය. බලය බෙදීම මත පදනම්ව විසඳුමක් වෙනුවෙන් කැප වූ අය බලය බෙදීමේ යෝජනා හේතුවෙන් ගිවිසුමට සහාය දැක්වූ හ. විසඳුම බාහිර බලයක් විසින් බලෙන් පටවන ලද්දක් ය හා විදේශ හමුදාවක් අපේ පොළව මතට පැමිණ සිටින්නේ ය යන කරුණු නො තකා හරින ලදී. මෙම අත්දැකීමෙන් උගත හැකි පාඩම නම් විසඳමට එළඹෙන ආකාරය ද විසඳුම තරම් ම වැදගත් බවයි. අයෝග්‍ය හදිසිය මැද ගිවිසුම අත්සන් කරනු ලැබුවේ බලය බෙදීමේ යෝජනා ගැඹුරින් විශ්ලේෂණය කිරීමටත් පෙරයි. 13වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට සිටි බොහෝ දෙනෙක් පසුව එය වැරදි ලේඛනයක් ලෙස දුටුවහ. අතීත අත්දැකීම්වලින් අපට පෙන්වා දී තිබෙන්නේ හදිසියේ සකසනු ලබන ‘පැකේජ‘ අසාර්ථක වන බැවින් විසඳුමක් කෙරෙහි අපේ ප‍්‍රවේශය කෙරෙහි නැවත සිතිය යුතු බවයි.


රෙජීගේ අවසන් දේශපාලන සාක්ෂිය


‘පුළුල් දේශපාලනයට‘ අදාළව ප‍්‍රකාශ දෙකක් මතක් කිරීමට මම කැමැත්තෙමි. එකක් මා මීට පෙර සඳහන් කළ ‘යමෙකුට සමාජවාදය පිළිබඳ සාධාරණීකරණයක් මාක්ස්වාදයෙන් ස්වායක්තව කළ හැකි ය‘ යන්නයි. එහෙත් මෙහිදී පැරණි රාජ්‍යවාදී මාදිලියට ආපසු යාම මා මෙයින් අදහස් නො කරන බව අවධාරණය කළ යුතු ය. අනෙක, ඔහු සිය Working Underground කෘතියෙහි පළ කරන පහත සඳහන් මතයයි. ‘නිෂ්පාදන බලවේගවල හිමිකාරිත්වය පමණක් සමාජයක ස්වභාවය තීරණය කරන එක ම සාධකය නො වන අතර එය බොහෝ ගණනක් අතරින් එකක් පමණි.‘ මෙම ප‍්‍රකාශ දෙක රෙජීගේ අවසන් දේශපාලන සාක්ෂ්‍ය බව මගේ අදහසයි.


පරිවර්තනය
අජිත් පැරකුම් ජයසිංහ
උපුටා ගත්තේ novembermovement.wordpress.com


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.