2010-12-13

ශාස්තෲ සහ ඇදහිලි කල්ලි | Shasthru novel and the cults

නිශාන්ත කුලරත්න විසිනි


“ලියන්නට ඇති කතා බොහෝ ය. එහෙයින් ඔබේ අදහස් මට බොහෝ වටී." ශාස්තෘ නවකතාවෙ පෙරවදනේ එහෙම තියනව. ශාස්තෘ නවකතාව ගැන කෙරෙන අදහස් දැක්වීමකට පොත එලිදැක්වීමේ උත්සවේදී පළකෙරුනු අදහස්වලින්ම මුල පිරීම හොඳයි කියල මට හිතුනෙ දේශන මාතෘකාව 'ශ්‍රී ලංකාවේ කැරලි සහ සාහිත්‍යය' වුනාට දේශකයො දෙන්නම කතා කලේ පොතේ තේමාව ගැන නිසයි. 


උදාහරණ ගණනාවකට් යමින් කෙරුනු නිර්මාල්ගෙ කතාවෙ මූලික ලෙස කියවුනේ මේ යුගයේ ලංකාවේ බිහිවන බොහෝ නවකතාවල, මීට දශක කිහිපයකට පෙර කෙරුනු නිර්මාණවල අමතර තේමාවක් ලෙස කියවුනු, "ලෝකය වෙනස් කරන්න හදන කතා නායකයා 'යථාර්තයෙන්' වෙන් වූ ලෝකයකට යාම" නම් තේමාව කේන්ද්‍රය වී ඇතිබවයි. ප්‍රධාන පෙලේ කලා විචාරකයන් මේ තත්වය "අමූලික කෙප්ප " ලෙස සලකනමුත් තමන් අජිත් බැරැරුම් ලෙස සලකන නිසා මේ කාරණාව කතාබහට ලක්විය යුතු බව ඔහු යෝජනා කලා. 


සුනිල් විජේසිරිවර්ධන පළකල අදහස්වල නවකතාවෙ තේමාව ගැන වගේම ඉදිරිපත් කිරීම ගැනත් කතා වුණා. තේමාව ගැන ඔහු ඉදිරිපත් කල අදහස් මූලික ලෙස යොමුවුනේ පොත තුල කියවෙන "සූර්ය ප්‍රජාව" නම් කණ්ඩායම පිලිබඳවයි. පොත තුළ එහි නායකයා ගැන කියවෙනමුත් කණ්ඩායම තුල පවතින සම්බන්ධතා පිළිබඳව විස්තරයක් නොවීම අවධානයට ලක් කල ඔහු, දැනට ලෝකයේ ක්‍රියාත්මක එවන් කණ්ඩායම් ගැන විස්තරයක් කලා. මෙවන් කණ්ඩායම් බිහිවීම වර්තමාන ලෝකයේ සන්සිද්ධියක් (Phenomena) බවත්, ඉන් සමහර ඒවා ඍජුව ඇදහිලි කල්ලි (Cults) ලෙස හඳුනා ගත හැකිවන අතර, ඇදහිලි කල්ලි නොවන ක්‍රම විරෝධී කණ්ඩායම් ගැනත් එහිදී විස්තර කෙරුණා. එසේම කතා නායකයා සියදිවි නසා ගැනීමට ගත් තීරණය පිළිබඳ අපහැදිලිතාවත්, නවකතාව තුළ අතීතය දෙස හැරී බැලීමට අමතරව ඉදිරිය ගැන අනුප්‍රාණයක් (Inspiration) නොවීමත් කතාවට ලක් වුනා. මේ සටහන ලියවෙන්නේ ඊට යමක් එකතු කිරීමට වගේම, කතාබහට ලක් නොවුනු නවකතාවේ තව ප්‍රදේශ කීපයකුත් සංවාදයට ලක් කිරීම අරමුණු කරගනිමින්.


අදහස් දැක්වීම තුළ කියවුන එක් කරුණක් තමයි මෙහි සඳහන් "සූර්ය ප්‍රජාව" කෙබඳුද කියල එතරම් විස්තරයක් නොවීම. මෙහිදී ඇදහිලි කල්ලියක් (cult) එසේ නොවන කණ්ඩායමකින් වෙන් කර ගැනීමේ විදියක් ලෙස සාමාජිකයන්ට තීරණගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඡන්දය භාවිතා කිරීමට හැකිවීම පිළිබඳව සඳහන් කෙරුණා. බොහෝ ඇදහිලි කල්ලිවල (cults) නායකයා කියනදෙයම සාමාජිකයන් අන්ධ ලෙසට අනුමත කිරීම මිස වෙනත් භාවිතයක් නැති නිසා මේකත් එක නිර්නායකයක් විය හැකිවුවත් ප්‍රමාණවත් නිර්ණායකයක් කියල මට හිතෙන්නෙ නැහැ. මොකද ඇදහිලි කල්ලි වල මෙවන් මෙවන් ඡන්දත් නායකකාරකාදීන් විසින් හසුරුවන (manipulate) අවස්ථා බොහෝ ඇති නිසා. ඒ වගේම අන්‍යෝන්‍යාධාර සමිතිවලත් ඇතැම්විට දක්නට ලැබෙන 'මතය පළකිරීම කිහිපදෙනෙක් විසින් හැසිරවීම' වැනි කරුණු නිසාම ඒවා ඇදහිලි කල්ලි ලෙස ගැනීම සුදුසුත් නැහැ.


ඇදහිලි කල්ලි පිලිබඳ පර්යේශිකාවක වන මාග්රට් තේලර් සිංගර්, ඇදහිලි කල්ලියක ලක්ශණ ගැන කතා කිරීමේ දී කරුණු තුනක් කෙරෙහි අවධානය යොමුකරනවා.


1. කණ්ඩායම් ප්‍රභවය සහ නායකයාගේ භූමිකාව
2. නායකයා (හෝ නායකයන්) සහ අනුගාමිකයන් අතර බල ව්‍යූහය හෝ සබඳතාවය
3. සම්බන්ධීකරණය කරන ලද සිතුවිලි ප්‍රතිසැකසුම් ව්‍යාපෘතියක් භාවිත කිරීම (තෙරෙන සිංහලෙන් කියනවනම් බ්රේන් වොශ් කිරීම.)


මීට අමතරව සංවිධානයේ පරම අරමුණ සාමාජිකයන් වැඩිකර ගැනීම, අරමුදල් රැස් කිරීම සහ වෙනත් ආකාරවලින් සාමාජිකයන් සූරා කෑම වී තිබීම වැනි කරුනුත් ඇය ඉදිරිපත් කරනව.


මේවා ආධාරයෙන් නවකතාවේ සඳහන් 'සූර්ය ප්‍රජාව' දෙස බැලුවොත් අපිට කරුනු කීපයක් පේනව.


1. කණ්ඩායමේ බිහිවීම සිදුවෙලා තියෙන්නෙ නායකයා (ක්‍රිෂ්ණ ) සහ නායිකාව (රාධා මතා) අතර වුනු ලිංගික අත්දැකීමක් හරහා ඔවුන්ට දෙවියන් මුණ ගැසීම තුලින්. තමන්ට මිනිසුන් ගලවාගැනීමේ, ඔවුන්ට දෙවියන් මුණගැස්සවීමේ මෙහෙවර පැවරී ඇති බව ඔවුන් විශ්වාස කරනවා. 


2. නායකයා (සහ නායිකාව ) දෙවියන්ගෙ නියෝජිතයා. ඔහු අනුගාමිකයන් සමඟ යහන් ගතවීම හරහා ඔවුනට 'දෙවියන් මුණගස්වනවා.'


3. සිතුවිලි ප්‍රතිසැකසුමක් ගැන පැහැදිලි උදාහරණයක් නවකතාව තුල නැහැ. හැබැයි උත්තර ප්‍රජාවක් නිර්මාණය කිරීමේ අධ්‍යාපනික වැඩපිළිවෙල ගැන කෙරෙන විස්තර තුල ඒ පිලිබඳ ඉඟිකිරීම් කීපයක් තියනවා.


මේ කාරණා මත පදනම්ව 'සූර්ය ප්‍රජාව' ඇදහිලි කල්ලියක් ලෙස දකින්නත් පුළුවන්. හැබැයි මට හිතෙන විදිහට වැදගත් කාරණාව වෙන්නෙ කතා නායකයාව මේ ඇදහිලි කල්ලිය දක්වා තල්ලු කරන ක්‍රියාවලිය. ඔහු සමාජවාදී සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් සටන් කරන 'විප්ලවවාදී පක්ෂයේ' මැද මට්ටමේ සාමාජිකයෙක්. ඉන්පසු පරිසරවාදය තුළින් නවලොවක් ගොඩ නැඟීමට මූලික වන්නෙක්. පක්ෂය මර්දනය කළායින් පසුව නැවතත් නව ආකාරයකට පක්ෂය ගොඩ නැංවීමට මූලික වී ක්‍රියා කරන්නෙක්. නැවතත් පැරණි ව්‍යූහයම ගොඩනැඟෙනු දැක වෙනස් ආකාරයක ප්‍රජා වැඩපිලිවෙලකට මුල් වන්නෙක්. විවිධ ආකාරවලට තම ජීවිතයේ සත්‍යය සොයා යාමට උත්සාහ දැරූවෙක්.


ලංකාව කැරලි ගැන ලියවුනු අනිත් පොත්වලට වඩා මට මේ පොතේ පෙනුනු වෙනස්කමක් තියනව. අනිත් බොහෝ පොත්වලට වඩා මේ පොත තුල, කලින් ව්‍යූහය තුල පැවති සීමාවන් ජය ගැනීමට පක්ෂය දැරූ උත්සාහය සහ එහි අසාර්ථක වීම තරමක් දුරට සාකච්ඡා කෙරෙනව.
"අප කියවිය යුතු, හැදෑරිය යුතු දේ මොනවාද, බැහැර කළ යුතු දේ මොනවාද යන්න පක්ෂය අපට නිර්දේශ කර තිබුණි. අපට ලෙනින්ගේ තෝරාගත් කෘති වෙළුම් දොලහ වැනි නිර්දිශ්ට ග්‍රන්ථ තිබිනි. එම විෂය මාලාවෙන් බැහැර දේ කියවන, සාකච්ඡා කරන මිනිසුන් දෙස පක්ෂය බැලුවේ වපර ඇසිනි." (පිටුව 23)


පක්ෂය යළි ගොඩනැගීමට මුල්වන සේදර, යමක් හරියට නොදැන ප්‍රතික්ෂේප කිරීම වැරදි බව විශ්වාස කරන්නෙක්. ඔහු නව දැනුම පක්ෂය තුලට උකහාගැනීමට උත්සාහ ගන්නව. 


"අපි ගොඩනඟන සමාජවාදය කෙබඳුදැයි අපි ද හරිහැටි නොදන්නෙමු. එය පොදු දේපල ක්‍රමයකි. මන්ද, මේ සියල්ලටම මුල පුද්ගලික දේපලයි."


"මේ ලෝක දැක්ම හිස්තැන්වලින් ගහණ එකකැයි මට සිතේ. පිලිතුරු සෙවීම පිණිස වැඩි වැඩියෙන් මාක්ස්වාදී පොතපත කියවිය යුතුයැයි සේදර සහෝදරයා යෝජනා කරයි. මට ඒවා තිත්ත බෙහෙත් වැනිය."


"එහෙත් මට සේදර ගැන ආදරයක් තිබේ. වනගතව සිටි කුඩා කණ්ඩායම විසිරී සිටි සෙසූ පිරිස් ද සම්බන්ධීකරණය කරගෙන පක්ෂය යලි ගොඩ නැඟීමට ඔහු මහත් අනතුරුදායක වෙහෙසක් දරයි." (පිටුව 63)


"අප හදන්නේ ඒ විනාශ වූ පක්ශයමද?" මම සේදරගෙන් ඇසුවේ සැකමුසුවය.


"නැහැ. මේක පැරණි පක්ෂයේ තිබුනු සීමා අතික්‍රමණය කරපු, නව යුගයක් උදාකරන්න අවශ්‍ය නව ජවය ලබාගන්න සූදානම් පක්ෂයක්."


"ව්යුහවාදය, පශ්චාත් මාක්ස්වාදය, පශ්චාත් යටත්විජිතවාදය ආදී එකී මෙකී නොකී වාදයන්ගෙන් සංවාදය පෝෂණය වෙත්දී පක්ෂය පැරණි ස්වරූපයෙන්ම යලි ගොඩ නැඟෙනු මම උදාසීන ලෙස බලා සිටියෙමි." (පිටුව 75)


මේ විදිහට පැරණි ආකෘතියම නැවත නිර්මාණය වීමට දායකවුනු කාරණා දෙකක් පොත තුළ දකින්න පුලුවන්. එක, තමන්ට පැවරී ඇති සුවිශේශී මෙහෙවර සහ ඒ නිසා තමන්ට අත්‍යවශ්‍ය වන පක්ෂය. දෙක, තමන්ට ඒ තරම්ම අත්‍යවශ්‍ය වුවත් තමන්ව ඒතරම් අවශ්‍ය නැති පක්ෂ ව්‍යූහය විසින් ඔවුන් මත ඇති කරන බලපෑම.


"පක්ෂය නම් ඇත්තෙන්ම විස්මිත ප්‍රපංචයකි. එය අපූරු බලයකි. අපට එම බලය අවශ්‍යය. එය නැති තැන අපට මහා අඩුවක් දැනේ. ඒ අඩුව ජීවිතයේ තුලනය බිඳ දමයි. අපි ඒ මහා බලයට භක්තිමත් වන්නෙමු. අතීත මිනිස්සු ගස්, ගල් හා නූතන ජනයා පිළිම, කුරුස ආදී සංකේත පුදන්නාසේ අපිද මාක්ස්, ලෙනින් හා ඔවුන් ලියූ පොතපතට වඳිමු. නායකයෝ පක්ෂය නොවෙති. සාමාජිකයෝද පක්ෂය නොවෙති. පක්ෂය යනු පක්ෂයමය. පක්ෂය පක්ෂය සඳහාය. කවිය කවිය සඳහා මෙන්ය. සේදර නැතත්, මා නැතත් පක්ෂය පවතී."


"ජනතාව යනු 'ඔබ මාර බුද්ධිමත්ය' කියා ගොනාට අන්දා කෙවිටෙන් අරමුණ වෙත දැක්කිය යුතු ගව පට්ටියකි. වැදගත් වන්නේ දක්කන්නා හා කෙවිටයි. දක්කන්නා පක්ෂයයි. කෙවිට පක්ෂ කේඩරයයි."


"පක්ෂ කේඩරය යනු, ඉතිහාසය විසින් සමාජය වෙනස් කිරීමේ වගකීම උරමත පරවන ලද, ඒ බරින් පීඩාවට පත්, ඒ පීඩාවෙන් සදා වේදනා විඳින මිනිසුන් පිරිසකි. ඒ වේදනාව නිසා ඔවුහු තමන් උත්තර මිනිස් ප්‍රජාවකට අයත් බව දැන ගනිති. ඒ ප්‍රජාව සංවිධානය කරන්නේ පක්ෂයයි." (පිටු 76, 77)


මෙලෙස "ඉතිහාසය විසින් තෝරාගන්නා ලද" භූමිකාව ඔවුන් තුල බලපැවැත්වීම, ඔවුන්ගේ පසුකාලීන වැඩ තුලද විද්‍යාමාන වෙනව. ගමේ බැංකුව අසාර්ථකවීම පිලිබඳව අමා ලවා කතුවරයා දෙන පිලිතුර තුල මේ පිලිබඳ සඳහනක් වෙනවා. මේ ආකාරයට ගත්තහම මට මේ කතාවේ කතානායකයා "සූර්ය ප්‍රජාව" නමින් තමන්ගේම ප්‍රජාවක් නිර්මාණය කරගැනීම ඔහු ඒ දක්වා ගිය ගමනේම ඊළඟ පියවරක් ලෙස මිසක් යථාර්ථයෙන් බැහැර වූ තැනක් ගැන එකතු කිරීමක් (නැත්තම් 'කෙප්පයක්') ලෙස පෙනෙනේ නැහැ. කතාව අවසානයේ දී තමාගේම කොමියුනයක් නිර්මාණය කරගත්තායින් පසුව තවදුරටත් ජීවත් වීමේ ආශාව නැතිවී යනතරමේ තෘප්තියක් ඔහුට ඇතිවුනේ ඒ නිසා විය නොහැකිද?


නවකතාවෙ ආකෘතිය ගැන කතා කරනවනම් ආකෘතිය ආකර්ශණීයයි. විශේශයෙන්ම කතාවෙ අගභාගයේදී කතාව බොහෝ සෙයින් පාඨකයාව ග්‍රහණය කරගන්නා බවක් දැනෙනව. අවසානයේදී ජීවිකාවක් බවටත් පත්වෙන "මැජික් පෑන" ඉන්ද්‍රජාලමය නවකතාවල ඇතැම් කොටස් සිහිපත් කෙරුව.


නවකතාවෙ භාෂාව ටිකක් බරපතල සංස්කෘත වචන සහිත වීම කියවීමට පොඩි බාධාවක්. දැන් නවකතාකරුවන් ගොඩක් දෙනා පාවිච්චි කරන ටිකක් සරල භාෂා විලාසයක් (අර සමහරු කියන "සරල සුගම මටසිලිටි බස් වහර"... ආන්න ඒවැයින් ටිකක්) භාවිතා කිරීම ගැන සැලකිලිමත්වීම වඩා හොඳ වෙයි.


පොතේ භාගයකට වඩා වෙන්වෙලා තියෙන්නෙ "සූර්ය ප්‍රජාව" සම්බන්ධ අත්දැකීම් පිළිබඳ විස්තර වලට. අජිත් කියන ලෙසටම මේක "අසූ නමයෙ පරපුරේ" අත් දැකීම් ගැන කතාවක්. ඒ පරපුරේ "මිනිසුන් සමඟ තුවාල ලෙව කන්නටත්, පය ලුහුටා ගිය තැන් සිතියම් ගත කරන්නටත්, ජීවිතය නැවත කියවන්නටත් අවශ්‍ය ප්‍රබන්ධ සාහිත්‍යයකට" මුල පුරන මේ පොත ඒ අරමුණුවලට තවත් ඉඩක් වෙන් කෙරුවනම් හොඳයි කියල මම යෝජනාවක් කරන්න කැමතියි.


කතානායකයා අවුරුදු දහයක්, මාස දහයක් සහ දින දහයක් රටින් බැහැරව සිටින තත්වය තුල, වර්තමාන පරම්පරාවෙ අත්දැකීම් ගැන දීර්ඝ විස්තරයකට යාමේ ඉඩකඩ මඟ හැරුනද කියලත් හිතෙනව. පොත් හා සඟරා එළිදැක්වීම්, සම්මන්ත්‍රණ, එන්. ජී. ඕ., ඕශෝ, ස්ත්‍රීවාදය, පශ්චාත් නූතනවාදය, සංවිධාන ගොඩනඟන්නේ කෙසේද යන්න ගැන විවාද, කණ්ඩායම් ගොඩ නැංවීම්, බිඳ වැටීම් ආදිය අත්දුටු මේ යුගය, විවිධ කරුණු අරභයා විවිධ අදහස් මතුවුනු කාලයක්. මේ විවිධ දේට සහභාගීවූවන් අදවන විටත් විවිධ වැඩ ආකෘති තම තමන්ගේ වපසරි තුල අත්හදාබැලීම් කරමින් ඉන්නව. (එය සුන්දර රෝගයකි. එහෙත් එය වැළඳුනෝ පහසුවෙන් සුව නොවෙත්!) මේ අය අතර වුණු සංවාදය (එවගේම අසූනමයෙ 'අත්දැකීම' පිලිබඳ සංවාදයත්) සංවාදයක ස්වරූපයෙන් ඉදිරිපත් වුණානම් සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වයට එන අළුත් අයටත් ඒක වැදගත්වේවි. (පොත තුල එවැනි සංවාද කීපයක් තියනව. මට හිතෙන්නෙ ඒවා තවදුරටත් විස්තරාත්මක වුණොත් හොඳයි කියලයි. උදාහරණයක් හැටියට "බල්ලෝ බත් කති" සහ "අටවක පුත්තු" නවකතාවල තියන සමහර සංවාද වගේ.)


ඉහත තත්වය "අසූ නමයෙ පරපුර" වගේම ඉන්පසු පරපුරේ අයත් මුහුණදුන් උභතෝකෝටිකයක් කියන්න පුළුවන්. එක පැත්තකින් සාමූහික අරමුණු ජයගන්න සාමූහික ක්‍රියාකාරකම් අවශ්‍යමයි. අනිත් පැත්තෙන් එවන් සමූහගතවීම්වල සීමිතකම් දකින්නත් ලැබෙනව. මෙලෙස පැරණි ආකෘතිවල සීමාව ගැනත් අවධානය යොමුකරන වර්තමාන පරම්පරාවෙ අය විවිධ ආකෘති සොයමින් ඉන්නව. පොත තුළ අනාගතය ගැන අනුප්‍රාණයක් (inspiration) නොවීම පිළිබඳ කාරණාවට මේ කාරණාවෙ සම්බන්ධයකුත් ඇති. හැබැයි අනාගතය ගැන එබඳු නිශ්චිත, ගල් ගැස්සවූ වැඩ පිළිවෙලක් නැතත් වර්තමාන පරම්පරාවෙ අය විවිධ ආකෘති හරහා තවමත් "සොයා යාම" සිදු කරනව. (මේවා සමහරවිට පැරකුම් පෙරවදනෙ සඳහන් කරන "ලියන්නට ඇති බොහෝ දේවල්" වලට අයත් දේවල් වෙන්න ඇති.)


මේ කාරණා ගැනත් සැලකිලිමත් වෙමින්, විවිධ සාර්ථක හා අසාර්ථක ආකෘති හරහා "සත්‍යයක්" සොයා යන වර්තමාන පරම්පරාවේ අත්දැකීමද ඉදිරියේදී කතාවකට නැඟීමට පැරකුම්ට ඉදිරියේ දී හැකිවෙතැයි මම විශ්වාස කරනව. ඒ වගේම "අසූ නමයෙ පරපුරේ" තවත් පැතිවල අත්දැකීම් සහිත ලාල්, කල්යා, අහිංසක වැනි මිතුරන්ටත් නවකතාවක් ලිවීම සඳහා මේ පොත අනුප්‍රාණයක් (inspiration) වෙයි කියල මම විශ්වාස කරනව.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.