2010-12-24

රණවිරුවන් මංකොල්ලකරුවන් කිරීමේ මාධ්‍ය මෙහෙයුම් හා යුද්ධයේ අතුරු ඵල | Side effects of war and media operations to dehumanize war heroes

(2010 දෙසැම්බර් 24, W3Lankaහමුදා, පොලිස් සේවාවන්වලට සම්බන්ධ අය විසින් කරනු ලබන අපරාධ පිළිබඳ වාර්තා මේ දිනවල නිතිපතා ම මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබේ. මෙම වාර්තාකරණයත් සමග ම, හමුදා, පොලිස් සේවයෙන් ඉවත් ව සිටින ලක්ෂ ගණනක් පිරිස කෙරෙහි සමාජය සැක මුසු වීමේ ප්‍රවණතාවක් ද ඇති වී තිබේ. 


වාර්තා වන මෙම සිද්ධි ඇත්ත ය. වාර්තාකරණය විසින් ඒවා විශේෂයෙන් මතු කර දක්වනවා යයි ද ඍජුවම චෝදනා කළ නො හැක. එහෙත්, ඒවා වාර්තා කරන අය තත්වය වෙනස් කිරීම සඳහා ඉවහල් වන සුබවාදී අදහස් වෙනුවෙන් පෙනී නො සිටීම නිසා එම වාර්තාකරණයෙන් අගතියක් සිදු වේ. 


මෙසේ මාධ්‍ය විසින් වාර්තා කරනු ලබන අපරාධකරුවන් වන ආරක්ෂක අංශ නිලධාරීන් අතරින් ඇතැමෙක් තවමත් සේවයේ යෙදී සිටින අය වෙති. බොහෝ දෙනෙක් හමුදාවෙන් ඉවත් වූ, පළා ගිය අය හා පොලිස් සේවයෙන් ඉවත් කළ අයයි.


ප්‍රධාන සිද්ධි දෙකක් ගතහොත්, එච්.එස්.බී.සී. බැංකුවේ මුදල් රු. කෝටි හතක් මංකොල්ලකෑම හා සම්බන්ධ පිරිස අතර ද වරකාපොල උගස් ආයතනයකින් ලක්ෂ විස්සක් මංකොල්ල කා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද මරා පොලිසිය විසින් ඝාතනය කර දමන ලද අය අතර ද හමුදා, පොලිස් සේවාවල සිටි අය වෙති.


අද දිවයින පුවත්පතේ ඇති වාර්තාවක් මෙසේ ය:


රාගම හෙදියන් පිරිසකට තර්ජනය කළ
හමුදා සෙබළු තිදෙනෙක්‌ අත්අඩංගුවේ


නෝමන් පලිහවඩන


රාගම රෝහලේ හෙදියන් කීපදෙනකුට සහ රෝහල් පොලිසියේ පොලිස්‌ නිලධාරීන් කීපදෙනකුට කෑ කෝ ගසා තර්ජනය කළ හමුදා සෙබළු තිදෙනෙක්‌ රාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. සිවිල් ඇඳුමින් සැරසී සිටි මෙම හමුදා සෙබළුන් තිදෙනා මෙසේ හැසිරී ඇත්තේ ඔවුන්ගෙන් එක්‌ අයකුගේ තුවාලයකට ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වීම නිසා බවද පොලිසිය කියයි. මෙම හමුදා සෙබළු තිදෙනා කොළඹ සහ උතුරේ හමුදා කඳවුරුවල සේවය කරන අය වෙති.


මේ වාර්තාව අද දිනමිණ පුවත්පතෙනි.


තරුණ යුවළකගෙන් කප්පම් ඉල්ලූ ‘පොලිස් අයියලාගේ’ වැඩ තහනම්


මුන්නේශ්වරම සමූහ ඊ.සී.ප්‍රනාන්දු


හලාවත මුහුදු වෙරළෙහි රැඳී සිටි තරුණ යුවළක බිය ගන්වා ඔවුන්ගෙන් රුපියල් දෙදහසක කප්පම් මුදලක් ලබාගැනීමට තැත් කිරීමේ සිද්ධියේ සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන අයුරින් තහනම් කළ බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.


හලාවත සහකාර පොලිස් අධිකාරී එස්.පී.සන්දානයක මහතාගේ නියෝගයෙන් වැඩ තහනම්කර ඇත්තේ හලාවත පොලිසියට අනුයුක්ත ස්ථිර සේවා පොලිස් කොස්තාපල් වෙදගෙදර ඉන්දික අමල් කුමාර 50370 ආධුනික පොලිස් කොස්තාපල් දිලිප එරංග සිරිසේන 83205 නමැති දෙදෙනායි.


මේ දෙදෙනා හලාවත මුහුදු වෙරළට පැමිණ සැදෑ සුව විඳිමින් සිටි තරුණ යුවළක් අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර බිය ගන්වා රුපියල් දෙදහසක කප්පම් මුදලක් ඉල්ලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබුණි. තරුණ යුවළ විවාහ ගිවිසගත් දෙදෙනෙකි.


සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ජනවාරි මස 4වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජගත් ඒ කහඳගම මහතා පෙරේදා (22 දා) නියෝග කළේය. හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරයි.


යන්තම් වසර එහමාරකට ඔබ්බෙන් අතිශය වීරත්වයට නංවන ලද රණවිරුවන් යයි හැඳින්වුණ පිරිස පිළිබඳ අද මාධ්‍යවල වාර්තා වන්නේ මෙවැනි දේ ය. ඒවා ලියන්නේ ද ඒ දිනවල රණවිරුවන් උත්කර්ෂයට නැඟූ මාධ්‍යකරුවෝ ම ය. 


යුද්ධයට .තම දරුවන් නො යවමින්, දිළිඳු පවුල්වල තරුණයන් යුද්ධ කරන ආකාරය රූපවාහිනී තිරයෙන් බලමින් කකා, බිබී හුරේ දමමින්, මළ මිනී ගණන් කරමින් සිටි මධ්‍යම පංතිකයන්ට දැන් ඒ රණවිරුවා අමතක ය. දැන් රණවිරු උපහාර නැත. තෑගි බෝග නැත. සිංදු නැත. ජාතික රූපවාහිනියේ රණවිරු තරු වැඩසටහන බලන්නේ ද නැත. 


(මෙම තත්වය කොටි සටන්කරුවන් සම්බන්ධයෙන් දෙමළ මධ්‍යම පංතිය තුළ ද දැකිය හැකි ය.)


රණවිරු වසන්තය ඉවර ය. දැන් ඉන්නේ හමුදාකාරයෝ හා පොලිස්කාරයෝ ය. මධ්‍යම පංතිකයන් දැන් මේ අය ගණන් ගන්නේ නැති තත්වයක් ඇති වී තිබේ. දැන් ඉස්සර මෙන් රාජකාරි ගිනි අවිය ලෙළවමින් සංදර්ශන පෙන්වන්නට බැරි බව නොච්චියාගම අපරාධ ස්ථානාධිපතිගේ වැඩ තහනම් වූ සිද්ධියෙන් ඔප්පු වේ. 


මෙම ප්‍රශ්නයේ පැති කීපයක් ඇත. යුද්ධ කාලයේදී හමුදා, පොලිස් නිලධාරීන්ට නිතැතින් ම හිමි වූ ගෞරවය, බිය හා බලය දිගින් දිගට ම ඒ අන්දමින් පවතින්නට යුද්ධයෙන් පසු හැකියාවක් නැත. යුද්ධයෙන් පසු අවශ්‍ය වන්නේ වඩා විනය ගරුක, වෘත්තිකමය ‍පොලිසියක් හා හමුදා ය. යුද්ධ කාලයේ පෝලිමේ බඳවා ගනු ලැබූ බොහෝ දෙනාට නව තත්වයන්ට හැඩගැසීමේ ගැටලු ඇත. ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් අවශ්‍ය ය. 


අනෙක් ප්‍රශ්නය වන්නේ යුද පුහුණුව ලැබ, සේවයෙන් ඉවත් වූ, ඉවත් කරන ලද, පළා ගිය හා එපමණක් නොව තවමත් සේවයේ යෙදී සිටින අපරාධ නැඹුරුවක් ඇති විශාල පිරිසක් සමාජයේ  සිටීමයි. යුද පුහුණුව ලැබ සිටීම ඔවුන් සම්බන්ධයෙන් ඇති විශේෂ ම ප්‍රශ්නයයි. නීතියේ ආධිපත්‍යය වෙනුවට මුදලේ හා බලයේ ආධිපත්‍යය වැදගත් වී ඇති වර්තමාන තත්වය තුළ මෙබඳු පිරිස් බල්ලන් මරා හෝ සල්ලි සොයා ගන්නා මානසිකත්වයකට ලෙහෙසියෙන් තල්ලු විය හැකි ය. වරකාපොළ සිද්ධියේදී මිය ගිය එක් හිටපු හමුදා භටයෙකු යුද්ධය අවසන් වන තුරු ම විශේෂ බලකායේ සිට පසුව පළා ආ අයකු බව මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.


අනෙක් පැත්තෙන් අප ඉහත සඳහන් කළ මධ්‍යම පංතික ආකල්ප හා ඒ මත පදනම්ව කටයුතු කරන මාධ්‍යකරුවන්ගේ ආකල්ප ද මේ  සමාජ තීරය කෙරෙහි අවමන් සහගත තත්වයක් නිර්මානය කිරීමට හේතු වී ඇත. 


රටේ සාමය ස්ථිර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, නීතියේ ආධිපත්‍යය පිහිටුවීම, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම හා ආර්ථික සංවර්ධනය ඇති කිරීම හැර මෙබඳු වූ යුද්ධයේ අතුරු ඵලවලට වෙනත් කෙටි කාලීන විසඳුම් නැත. 


ඒ වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම නො කර, කලක් තමන් විසින් ම රණවිරුවන් ලෙස උත්කර්ෂයට නංවන ලද සමාජ තීරයට අවමන් කිරීම සඳහා දැන් පෑන මෙහෙයවන ලියන අප්පුලා ගැන සමාජය ගැඹුරින් තේරුම් ගත යුතු ය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  
www.w3lanka.com

5 comments:

  1. Post Korean-War, Post VietNam-War USA has had similar issues (as depected in Novels and Movies)

    KK

    ReplyDelete
  2. යුද්ධයකින් පසු, සෙබලුන්ගේ වෙනස් වූ මානසික චර්යාවන් ප්‍රතිස්ථාපනය නොකිර්‍රමේ ආදීනවයන් මෙසේ කරලියට පැමිනෙමින් ඇත. ඉතා ඉක්මනින් මේ ගැන අවධානය යොමු නොවීම (Arresting the soldiers who have ran away from the army is the only solution I have seen so far from the government. I believe every soldier must undergo a psychiatric program. I'm not saying all are in mental disorder. But they may experiencing depression, the initial status of mental disorder. Is there at least one qualified psychiatrist in base camps to get involved on such a person ?) මෙවන් වූ පුවත් සඳහා තව තවත් මූලාශ්‍ර සපයනු ඇත.

    ReplyDelete
  3. මම මේ දන්නෙ නැති නිසායි අහන්නේ පොලිසියේ පගා මරුවොත් රණවිරුවොද?? ඕකුන් යුද්දෙ කාලෙත් කලේ පගා ගන්න එක දැනුත් කරන්නේ ඒකනේ. ලංකාවේ තියන දූෂිතම ආයතනය පොලීසිය වෙන්න ඇති.

    ReplyDelete
  4. Siyaluma de aniththyayayi!

    ReplyDelete
  5. good article. This must be a debate in many who followed the war closely. Same with me. When SF was arrested and imprisoned, I always believed that he should have been set free. Primarily considering the irrelevance of allegations and important role he played in the war. However the increasing amount of crimes all over the country involving military/police personal changes that stance.

    I do not agree that we shold accept/ignore such by any means. Misconduct should be met with highest possible punishments. But my concern is whether we have done enough for them after war. There can be reasons that push them towards crime. I think we as a society [and MoD primarily] shud do the part we have to do in that regard.

    But plain answer to your question is, we do respect warriors, but nobody is almighty. Individually all war heroes are ppl of our society and hence bear weaknesses of teh same. Such should be dealt in the same way how they should be with others.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.