2010-02-28

ලංකාවට තවත් පළමු ස්ථානයක්! අන්ත්‍රාවයි! කරන්ට් වදියි! | Sri Lanka one of the most expensive places for electricity

(2010 මාර්තු 01-W3Lanka)  ලංකාව ලෝකයේ විදුලි මිළ ඉහළම ස්ථාන අතරින් එකක් බව අධ්‍යයනයකින් හෙළි වේ. 


ලංකාවේ කිලෝ වොට් පැය එකක විදුලි ඒකකයක් සඳහා ඉහළ මට්ටමින් විදුලිය වැය කරන ගෘහස්ථ පාරිභෝගිකයෝ ඩොලර් ශත 30ක් පමණ ගෙවති. එහෙත් එක්සත් ජනපදයේ ගෘහස්ථ පාරිභෝගිකයකු සාමාන්‍යයෙන් එවැනි ඒකකයකට ගෙවන්නේ ඩොලර් ශත 11.76කි. (2009 ඔක්තෝබර්) 


2009දී බ්‍රිතාන්‍යයේ මෙම විදුලි මිළ ඩොලර් ශත 18.59ක් විය. 


අසල්වැසි ඉන්දියාවේ මෙය ඩොලර් ශත අටක් පමණකි. 


රට රටවල විදුලි මිළ මෙතැනින් බලන්න: 
http://en.wikipedia.org/wiki/Electricity_tariff

ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ | The hidden tensions of Sri Lanka's ethnic crisis

අජිත් පැරකුම් ජයසිංහ


ලංකාවේ දෙමළ ජනයාට වර්තමානයේදී සන්නද්ධ අරගලයක් වෙත ආපසු යාමට ඇත්තේ අඩු අභිරුචියක් බව ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම නම් ගැටුම් විශ්ලේෂක විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ ආසියානු වැඩසටහන් අධ්‍යක්ෂ රොබට් ටෙම්ප්ලර් පවසයි. එහෙත්, දෙමළ ජනයාගේ සාමූහික අපේක්ෂාවන්ට ප්‍රතිචාර දැක්වීමට රජය දිගින් දිගට ම අසමත් වන්නේ නම්, ඔවුන්ගෙන් ඇතැමෙක් අවසානයේදී ප්‍රචණ්ඩත්වය හරහා විසඳුමක් සෙවීමට නැඹුරු විය හැකි බව ද ඒ සඳහා දෙමළ විදේස්ගත ප්‍රජාවේ ඇතැමුන් උදව් කරනු ඇති බව ද ඔහු පවසයි.


ලංකාවේ දෙමළ ප්‍රශ්නය පිළිබඳ ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ අලුත් ම වාර්තාවේ මෙසේ ද සඳහන් වේ. "ලංකාවේ සිටින දෙමළ ජනයා සහ විදෙස්ගත දෙමළ ප්‍රජාව අතර පරතරය පළල් වී ඇත. රටේ සිටින බොහෝ දෙනා දශක ගණනක් තිස්සේ දිග්ගැසුණු යුද්ධයෙන් විඩාපත්ව සිටිති. ස්වාධීන රාජ්‍යයක් වෙනුවෙන් සටන් කිරීම වෙනුවට ඔවුන්ට උවමනා දුෂ්කර තත්වයන් මැද ජීවිත ගොඩනඟා ගැනීමටයි. පොදු දේශපාලන අදහසක් බලාත්මක කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය නොමැති සංදර්භය තුළ ලංකාවේ දෙමළ නායකයෝ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ප්‍රාමාණික ප්‍රතිසංස්කරණ යෝජනා කරමින් සිටිති. ප්‍රචණ්ඩකාරී නොවන අන්දමින් ‍බෙදුම්වාදය පැතිරවීමට දෙමළ ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙනමුත් දෙමළ ඊලමට රට තුළින් හා ජාත්‍යන්තරව සහයෝගයක් නැත. වෙන ම රාජ්‍යයක් සඳහා දෙමළ විදෙස්ගත ප්‍රජාවේ අඛන්ඩ ඉල්ලීම් විසින් විදෙස්ගත ප්‍රජාවේ දෙමළ ජනයා ප්‍රචණ්ඩත්වයට කැප වී සිටින්නේ යයි සලකන රාජපක්ෂ රජයේ බිය නඩත්තු කරමින් විනාශකාරී ත්‍රස්ත මර්දන නීති හා හදිසි නීතිය පවත්වාගෙන යාම සඳහා අවසර සපයයි."


බොහෝ දෙමළ ජනයා මුහුණ දී සිටින දේශපාලනිකව කොණ් කරනු ලැබීම සහ අනාරක්ෂිතභාවය නම් වන අර්බුදයේ මූලයන් හේතුවෙන් මතු වන යුක්ති යුක්ත ඉල්ලීම්වලට ලංකාවේ රජය අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම පෙන්වා දෙයි. ජාත්‍යන්තර ප්‍රජාව වඩා බලවත් ලෙස දේශපාලන හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ලංකාවේ රජයට බල කළ යුතු බව ද ප්‍රතිසංවර්ධනය සඳහා ලබා දෙන ආධාර සමග සමාජය මිලිටරිහරණය කිරීමේ හා ප්‍රජාතන්ත්‍රීයකරණයේ කොන්දේසි බැඳී තිබිය යුතු බව ද කණ්ඩායම වැඩි දුරටත් පෙන්වා දෙයි. දෙමළ හා මුස්ලිම් ජනයා බහුතරය ලෙස ජිවත් වන ප්‍රදේශවල අනාගතය තීරණය කිරීමේ තේරුමක් ඇති භූමිකාවක් ඔවුන්ට ලබා දීම ද මෙයට ඇතුළත් විය යුතුය. යුද්ධයේ අවසන් මාසවලදී මිය ගිය දහස් ගණනක් දෙමළ සිවිල් වැසියන් පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය බල කළ යුතු යැයි ද ඔවුහු පවසති.


මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ ඇති වී තිබෙන අර්බුදය දෙමළ ජාතිකවාදී දේශපාලනයේ ගැටුම ප්‍රකාශ කරන කැඩපතක් ලෙස දැකිය හැකි ය. මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීන් ගණනාවකට මහ මැතිවරණය සඳහා නාම යෝජනා අහිමි වී තිබේ. නාම යෝජනා අහිමි වූ මන්ත්‍රීන් අතරින් ඇතැමෙක් ආණ්ඩුවට කඩේ ගිය අය වෙති. එහෙත් ඇතැමෙකුට නාම යෝජනා අහිමි වීම පිටුපස ඇත්තේ දේශපාලනික කාරණයකි. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනික බෙදීම සලකුණු වන්නේ එතැනිනි.


දෙමළ ජාතික සන්ධානයේ නාම යෝජනා අහිමි වූ වඩාත් දේශපාලනික කොටස වනාහි දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය අවධාරණය කරන දැඩි ජාතිකවාදීහු වෙති. එහෙත්, මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ බලය හිමි වී තිබෙන්නේ ෆෙඩරල් පක්ෂය, ඊ.පී.ආර්.එල්.එෆ් හා ටෙලෝ යන පක්ෂ නියෝජනය කරන ලිබරල්වාදීන් පිරිසකටයි. ඔවුහු මේ වන විට ඉන්දීය හා කොළඹ ආණ්ඩු සමග එක්ව සීමිත බලය බෙදීමක් භාර ගනිමින් ඒකීය ලංකාවක රාමුව තුළ ධනේශ්වර දේශපාලනයකට කැමැත්ත දක්වන පිරිසකි.


පශ්චාත් යුද කාලීන ලංකාවේ දෙමළ දේශපාලනය තුළ මතු වී තිබෙන ප්‍රබල ම ගැටුම ඇත්තේ කොළඹ කේන්ද්‍රීය පාලනය යම් සීමිත සංශෝධන සහිතව භාර ගැනීමට සූදානම් ධනේශ්වර ලිබරල්වාදීන් හා ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් වූ සටන අතහැර දැමීමට අකැමැති දෙමළ ජාතිකවාදීන් අතර ගැටුමයි. මෙය අලුත් තත්වයක් නොව කලක පටන් දෙමළ දේශපාලනය තුළ දක්නට ලැබුණු තත්වයකි. එහෙත්, දෙමළ දේශපාලනයේ ප්‍රචණ්ඩත්වය ඉහළ යාමත් සමග ලිබරල් ධාරාව යටපත් වී ජාතිකවාදී ධාරාව පෙරමුණට පැමිණියේය.


දෙමළ විදෙස්ගත ප්‍රජාවේ දේශපාලනය තවමත් දැඩි ලෙස ම ජාතිකවාදී නැඹුරුවකින් යුක්ත වේ. දෙමළ වෙනම රාජ්‍ය ඉල්ලීම වෙනුවෙන් නැවත ජනවරමක් ලබා ගැනීම සඳහා වූ ජනමත විචාරණ මාලාව දෙමළ ඊලාම් අරගලයේ වර්තමාන ප්‍රජාතාන්ත්‍රික අවධියේ වැදගත් ක්‍රියාමාර්ගයකි. දෙමළ විදෙස්ගත ප්‍රජාවේ දේශපාලනයේ කැපී පෙනෙන රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට දෙමළ ඊලාම්වාදීහු පසුගියදා සමත් වූහ.


ලංකාවේ භාණ්ඩ වර්ජනය කරන ලෙස හා ලංකාවේ පාලකයන් විසින් සිදු කරන ලද යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා සිටින සංවිධානයක් වන ලෝක දෙමළ සංසදය හෙවත් Global Tamil Forum විසින් පෙබරවාරි 24දා පවත්වනු ලැබූ ජාත්‍යන්තර සමුළුවක ආරම්භක දේශනය පැවැත්වූයේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබැන්ඩ් විසිනි. තහනම් කරන ලද කොටි සංවිධානයට හිතවත්ව සිටි පිරිස් ඇතුළු ලොව පුරා දෙමළ ක්‍රියාකාරිකයන් සහභාගි වූ මෙම සමුළුව පැවැත්වුණේ Houses of Parliamentහිදීය.


බ්‍රිතාන්‍ය විරුද්ධ පක්ෂයේ සෙවණැලි විදේශ ලේකම් හෙවත් බොහෝ විට මීළග ආණ්ඩුවක විදේශ ලේකම් විය හැකි පුද්ගලයකු වන විලියම් හේග් ‍මෙම සමුළුවේ අවසන් කතාව පැවැත්වූ අතර පක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරුන් කීපදෙනෙක් ම මෙයට සහභාගි වූහ. ලංකාවේ තිරසාර සාමයක් ඇති කළ හැක්කේ අව්‍යාජ ජාතික සංහිඳියාවකින් නිසා බ්‍රිතාන්‍යය එම අරමුණ වෙනුවෙන් පෙනී සිටින ලාංකික ප්‍රජාවේ සියලු සාමාජිකයන් සමග තමන් කටයුතු කරන බව කියමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය මිලිබෑන්ඩ්ගේ පියවර අනුමත කර තිබේ. කොටි සංවිධානයේ පරාජයත් සමග දෙමළ ඊලාම් දේශපාලනය වඩාත් සංකීර්ණ තලයක් කරා සංක්‍රමණය වෙමින් ඇති බවට මෙම සමුළුව දෙස් දෙයි.


කොළඹ ආණ්ඩු කේන්ද්‍රීය සිංහල ජාතිකවාදී දේශපාලනය තවමත් දෙමළ ජාතික සන්ධානයේ ලිබරල් ධාරාව සමග හෝ වැඩ කිරීමට සූදානම් තත්වයට වර්ධනය වී නොතිබීම විසින් අර්බුදය තවත් ගැඹුරු කරයි. දෙමළ ලිබරල් දේශපාලනික ධාරාවේ නැඟී ඒම සාධනීය ප්‍රතිඵලයක් ඇති කර ගැනීම සඳහා කළමනාකරණය කර ගත හැකි වනු ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ බලයට පැමිණියහොත් පමණි. එහෙත්, බොහෝ විට සිදු විය හැක්කේ දෙමළ ජාතික සන්ධානය උතුරු-නැගෙනහිර බහුතරයක් ආසන දිනා ගන්නා අතරතුර දකුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බලවත් වීමයි. ජතිවාදය ඇතුළු පසුගාමී අගතීන්ගෙන් මිදී දෙමළ ජනයා සමග සම්මුතියකට එළඹීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය අසමත් වුවහොත් එයින් වඩාත්ම අර්බුදයට පත් වන්නේ දෙමළ ලිබරල් දේශපාලනයි. තම ජනතාවගේ දේශපාලනික ඉල්ලීම් වෙනුවෙන් අවම බලය බෙදීමක්වත් ලබා දීමට කොළඹ ආණ්ඩුව පොළඹවා ගැනීමට අසමත් වුවහොත් දෙමළ ජාතික සන්ධානයේ ලිබරල් ධාරාව යටපත් කරගෙන නැඟී සිටීමට ජාතිකවාදීන්ට යළි අවස්ථාව ලැබේ. දෙමළ දේශපාලන ඉතිහාසය පුරාම මෙවැනි බලවේග නිරන්තර පාවාදීම්වලට ලක්ව අසරණ වී තිබේ. දෙමළ ජාතික සන්ධානය වර්තමානයේදී ඉන්දියාව කෙරෙහි තබා ඇති වශ්වාසය ගැන ද කීමට තිබෙන්නේ එම කරුණමය.


මේ අතර දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ දේශපාලනය අවසන් වී නැති බවට ඉඟියක් ආණ්ඩුව විසින් ම ලබා දෙන ලදී. ඉදිරියේදී උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ එයින් ජන අවධානය වෙනතකට යොමු කර ගැනීම සඳහා ඇතැම්විට ආණ්ඩුවට සරත් ෆොන්සේකාට වඩා ප්‍රබල සතුරෙකු අවශ්‍යව තිබෙනවා විය හැකිය. කෙසේ හෝ වේවා, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් කොළඹ සැරිසරන බවට රහස් ඔත්තු අංශ විසින් වාර්තා කර ඇති බව ද, ඔවුන් කවුරුද යන්න හා ඔවුන් ගැවසෙන තැන් නොදන්නා බව ද, ඔවුන් අත්අඩංගුවට ගන්නා තෙක් ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බව ද අගමැති රත්නසිරි වික්‍රමනායක ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර තිබේ. රටින් පිට සිටින ‍ලාංකික දෙමළ ජාතිකයන් ආධාර රැස් කිරීම් කරන බව රහස් ඔත්තු අංශ වාර්තා කර ඇති බව පවසන හේ ඒ කුමක් සඳහාදැයි නොදන්නා බව ද පවසයි.




කොටි සංවිධානයේ යුදමය පරාජයෙන් පසු එම සංවිධානයේ දෙස් විදෙස් ඉතිරි කොටස් සම්පූර්ණයෙන් ම යට ගොස් සිටිති. ඔවුන්ගේ වත්මන් ක්‍රියාකාරකම් පිළිබඳ රහස් ඔත්තු සේවා සතුව ඇත්තේ අවම තොරතුරු ප්‍රමාණයක් බව අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් හෙළි වේ. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කර දැමුව ද, ත්‍රස්තවාදයට සරු පසක් සපයන සමාජ අර්බුද විසඳීම සඳහා පියවර ගැනීමට ලංකාවේ රජය භයානක අන්දමින් අසමත් වී තිබේ. ලංකාවේ මේ මොහොතේ යුද්ධයක් නැති මුත් සාමය තිරසාර කර ගැනීම සඳහා ක්‍රියාමාර්ගවලට එළඹීමක් ද දක්නට නැත. මෙම තත්වය හමුවේ අනාගතය අප සිතන තරම් සුබ එකක් නොවන්නට ඉඩ තිබේ. ප්‍රමාදය පසුතැවිල්ලට මුල විය හැකි බව ලාංකික දේශපාලන ප්‍රජාව සිහියේ තබා ගත යුතුය.

තේ අපනයනයේ පළමු තැන කෙන්යාව ලංකාවෙන් පැහැර ගනියි | Kenya defeats Sr Lanka by tea exportation

(2010 පෙබරවාරි 28-W3Lanka)  ලොව ප්‍රමුඛතම තේ අපනයනකරුවා ලෙස ලංකාවට තිබූ තැන අහිමි වී ගොසිනි. ලංකාව තේ අපනයනයෙන් කෙන්යාවට පරාජය වී ඇත.


2009 වසරේ කෙන්යාව තේ කිලෝ මිලියන 342ක් අපනයනය කළ බව එරට තේ මණ්ඩලය පවසයි. ලංකාව අපනයනය කර ඇත්තේ කිලෝ මිලියන 280කි. එය කලින් අවුරුද්දට වඩා කිලෝ මිලියන 29ක අඩු වීමකි.


කෙන්යාව හෙක්ටෙයාර් 150,000ක භූමියක තේ වර්ග 50ක් පමණ වගා කරයි. කෙන්යාව ලොව පුරා වෙළඳපොළ 47කට ‍තේ අපනයනය කරමින් ලෝක තේ නිෂ්පාදනයෙන් 22%කට හිමිකම් කියයි.


වසර සියයක‍ට අධික කාලයක් තිස්සේ තේ අපනයනයේ යෙදෙන ලංකාව තවමත් වැඩිපුර ම තේ අපනයනය කරන්නේ වටිනාකම් එකතු කිරීමකින් තොරව අමුද්‍රව්‍යයක් ලෙසයි. කසල තේ ජාවාරම් හේතුවෙන් මේ වන විට ලංකාවේ තේ පිළිබඳ කීර්තිනාමයට හානි සිදු වී තිබේ.


තේ කර්මාන්තය නිසි ප්‍රතිපත්තියක් ඔස්සේ මෙහෙයවීමට ලංකාවේ රජය කටයුතු නොකිරීම ලංකාවේ තේ කර්මාන්තයේ පිරිහීමට හේතුවක් වී තිබේ. තේ කර්මාන්තය නඟා සිටුවීමට යයි කියමින් රජය අපනයන තේවලින් සෙස් බද්දක් පවා අය කරයි.

2010-02-27

කන්න ඕනෑ විට කබරගොයා තලගොයා වීම හෙවත් කනගරත්නම් සන්ධානයෙන් ඡන්දෙ ඉල්ලීම | S. Kanagaratnam, the father of an LTTE air raid suspect, ruling party candidate now

(2010 පෙබරවාරි 27-W3Lanka)  දෙමළ ජාතික සන්ධාන හිටපු මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් යනු 2004 මහ මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික් ලැයිස්තුවට කොටි සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ කොටි හිතවාදිකු යයි ආණ්ඩුව විසින් ම හඳුන්වා දෙන ලද පුද්ගලයෙකි.


යුද සමයේ වසරක පමණ කාලයක් තමන් නියෝජනය කළ කොටි පාලන ප්‍රදේශයේ රැඳී සිට යුද්ධයේ අවසානයත් සමග රජයේ පාලන ප්‍රදේශයට පැමිණ අවතැන් කඳවුරක සිටියදී අත්අඩංගුවට ගෙන මාස අටකට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ රඳවාගෙන සිටි මෙම මන්ත්‍රීවරයා පසුව කිසිදු චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව නිදහස් කරන ලදී.


මෙම මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ද කොටි සංවිධානය විසින් කොළඹට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලට උදව් කළේ ය යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත.


සතාසිවම් කනගරත්නම් දැන් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ලෙස වන්නි දිස්ත්‍රික්කයට තරග කරයි.


කන්න ඕනෑ වූ විට කබර‍ගොයා තලගොයා කර ගන්නා හැටි ගැන සිංහලයන්ට කියා දිය යුතු නැත.


නොකා ඉන්න‍ට උවමනා වූ විට තලගොයා කබරගොයා වෙයි. ෆොන්සේකා හිරේ ඉන්නේ ඒ නිසා ය. 


මේව දැකල අපට නම් පණ පලයං පෙරේදා ය. 

රාජ්‍ය ආයතනවලට පැමිණිලි යොමු කළ හැකි වෙබ් අඩවිය සම්බන්ධ පැමිණිල්ලක් | A complain regarding the website through which people can lodge complains against state institutes

(2010 පෙබරවාරි 27-W3Lanka)  රාජ්‍ය ආයතනවලට එරෙහිව පැමිණිලි කිරීමට වෙබ් අඩවියක් ඇති බවට පුවතක් අද දිනමිණේ පළ විය.


දිනමිණේ පළ වන හැම පුවතක් ම පච යයි සැකයක් ජනතාව අතර ඇත. මෙම පුවත ද එම කරුණ ඔප්පු කරන්නකි. පුවතට අදාළ සබඳතා පුරුක මත ක්ලික් කර බැලූ විට එය ඔප්පු වනු ඇත.


රජයේ තොරතුරු තාක්ෂණ කටයුතු දෙස බලන විට පෙනී යන කරුණක් වන්නේ බොහෝ විට තොරතුරු තාක්ෂණය භාවිතා කරන්නේ බොරු සෝබනය සඳහා මිස සැබෑ මහජන සේවාවක් සැලසීම සඳහා නොවන බවයි. මේ වන විට රජය විසින් දහස් ගණනක් වෙබ් අඩවි පවත්වාගෙන යනු ලැබේ. එහෙත් මේ අතරින් 99%ක් ම කලට වේලාවට යාවත්කාලීන වන්නේ නැත. එය වෙන ම කතා කළ යුතු ප්‍රශ්නයකි. 



රාජ්‍ය ආයතන වලට එරෙහිව පැමිණිලි කිරීමට වෙබ් අඩවියක්

ජීවනී පතිරණ
රාජ්‍ය ආයතනයකින් සේවාවක් ලබා ගැනීමට යාමේදී යම් දුෂ්කරතාවකට ලක් වුවහොත් ඒ පිළිබඳ රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට පැමිණිලි කිරීමට දැන් හැකියාව ලැබී තිබේ.
අන්තර්ජාලය ඔස්සේ www.gie.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙසේ පැමිණිලි කිරීමට හැකි වේ. අන්තර්ජාල පහසුකම් නොමැති අයකුට තම ප්‍රදේශයේ නැණසල මධ්‍යස්ථානයකට ගොස් මේ පහසුකම් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සඳහන් කරයි.
සාමාන්‍යයෙන් ලිපි ඔස්සේ මෙවැනි කටයුතු කිරීමෙන් සිදුවන ප්‍රමාදයන් මග හරවා ගැනීමට මේ නව ක්‍රමවේදය නිසා හැකි වන බව ද නියෝජිතායතනය වැඩිදුරටත් සඳහන් කරයි. ජනතාව යොමු කරන පැමිණිලි වලට දින තුනක් ඇතුළත අදාළ අංශ මගින් පිළිතුරු ලැබීම ද මේ ක්‍රමවේදයේ විශේෂත්වයකි.

පුවතෙහි නිරවද්‍යභාවය පරීක්ෂා කිරීමට අදාළ ලේඛකයා හෝ උප කර්තෘ හෝ වෙනත් බලධාරියෙක් උත්සාහ කර නැත. දිනමිණෙහි වෙබ් මාස්ටර් පවා එම සබඳතා පුරුක පරීක්ෂා කර නැත.

දිනමිණෙහි සඳහන් වෙබ් අඩවියේ නම www.gic.gov.lk ලෙස නිවැරදි විය යුතුය.  එම වෙබ් අඩවිය හරහා ඔබට ඔබගේ පැමිණිල්ල යොමු කළ හැකිය. එහි යම් යම් තාක්ෂණික සංකීර්ණතා නිසා මේ සඳහා ඔබ පුහුණු පරිගණක හසුරුවන්නෙක් විය යුතුය.

අප මෙම වරද පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත පැමිණිල්ලක් යොමු කළෙමු. ඒ මෙසේය: "දිනමිණ පුවත්පතෙහි http://www.dinamina.lk/2010/02/27/_art.asp?fn=r1002273 යටත් පළ වී ඇති ලිපියෙහි සඳහන් වෙබ් අඩවියේ නම හා දිනමිණ වෙබ් අඩවියෙහි ඒ සඳහා දී තිබෙන සබඳතාව වැරදිය. "

පහත සඳහන් පිළිතුර ලැබිණි.


පැමිණිල්ලක් එවීම පිළිබඳ අපගේ ස්තුථිය. පැමිණිල්ලේ අංකය විද්‍යුත්තැපෑල හරහා ඔබට ලැබෙනු ඇත.ඔබගේ පැමිණිල්ලේ අනු අංකය 36401267223332

අදාළ විද්‍යුත් තැපැල් ලිපිනයට ද පහත සඳහන් පණිවුඩය ලැබී තිබිණි.


මෙම අංකය අවශ්‍ය අවස්ථාවලදි පැමිණිල්ලේ අනු අංකය ලෙස භාවිතා කරන්න 36401267223332

ඉතින් ඊට පස්සෙ...........

බිබිලේ දොඩමට හානි කරන්නේ කවුරුද? | Who attacks Bibile orange?

(2010 පෙබරවාරි 27-W3Lanka)  ‘වැලන්සියා ලේම්’ නැමැති දොඩම් ප්‍රභේදය ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා ගෙන බිබිල ගොවිපළේ රෝපණය කිරීමෙන් අනතුරුව දොඩම් වගාව ඉතා සරුවට තිබූ බිබිල ප්‍රදේශයෙහි විවිධ රෝග පැතිරෙන්නට පටන් ගත් බව දොඩම් වගා කරුවෝ කියති.


1950 දශකයේදී ‘ට්‍රිස්ටියා’ නම් වෛරස් රෝගයක් නිසා දොඩම් වගාව විනාශවී යාමට පටන්ගෙන තිබේ. ඊට අමතරව දිලීර බැක්ටීරියා , වැනි රෝග ද එම වගාව ආක්‍රමණය කරමින් දොඩම් ඵලදාවට හානි කරන්නට විය. අතීතයේදී අක්කර 4000ක පමණ ව්‍යාප්ත වී තිබූ පැණි දොඩම් වගාව මෑත අවධිය වන විට අක්කර 600 දක්වා පහත වැටී තිබිණි.


1956 වර්ෂයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් බිබිල ඊතණවත්ත ප්‍රදේශයෙන් දොඩම් ප්‍රභේදයක් හඳුනාගෙන ඇති අතර එය බිබිල ස්වීට් නමින් අද හඳුන්වනු ලැබේ. 1970 න් පසුව නැවත දොඩම් වගාව ව්‍යාප්ත කිරීම සඳහා පියවර රැසක් ගනු ලැබිණි. දේශීය දොඩම් සඳහා හොඳ ඉල්ලුමක් ලැබෙන්නට පටන් ගැනීමත් සමග දොඩම් වගාව නැවත ව්‍යාප්ත වෙන්නට පටන් ගැනුණි.



2010-02-26

ලෝක දෙමළ සමුළුවට බ්‍රිතාන්‍ය අගමැතිගේ සහාය | British Prime Minister expresses support to Global Tamil Forum

(2010 පෙබරවාරි 26-W3Lanka)  ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා සම්මුතියකට එළැඹීමට මැලිකමක් දක්වන මහින්ද රාජපක්ෂ රජයේ නරක නිලයක් අල්ලමින් බ්‍රිතාන්‍ය අගමැති ගෝඩන් බ්‍රව්න් ඊයේ ලෝක දෙමළ සංසදයේ නියෝජිතයන් හමු වී සාකච්ඡා කළේය.


බදාදා පැවැත්වුණු ලෝක දෙමළ සංසදයේ ආරම්භක දේශනය පැවැත්වූයේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් විසිනි. මෙය ලංකාවේ රජයේ දැඩි විරෝධයට තුඩු දුන්නේය.


බලය බෙදා ගැනීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරන ලෙස මෙම කතාවේදී මිලිබෑන්ඩ් ලංකාවේ රජයෙන් ඉල්ලා සිටියේය. 


මේ අතර, මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන ජාතික ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙම සමුළුවට සහභාගි වීම සදාචාර විරෝධී බව පවසයි.

ඉදිරි මහ මැතිවරණයේදී රටේ සියලූම පීඩිත ජනතාව ඒකරාශී කිරීමේ දළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් | A draft manifesto to unite all Sri Lankan downtrodden masses at the general election

සරත් ප්‍රනාන්දු විසිනි (සංවාදයට විවෘතයි)


නිදහස ලැබී වසර 62 ක් ගත වී ඇත. ඒ කාලය තුළ මැතිවරණ ගණනාවක් පැවැත් වු අතර රටේ ප‍්‍රශ්න නිරාකරණය කිරීමේ අපේක්‍ෂාවෙන් වරින් වර පක්‍ෂ මාරු කරමින් නියෝජිතයින් පත් කර පාර්ලිමේන්තුවට යවන ලදී. එහෙත් රටේ ප‍්‍රශ්න අවම කරනවා වෙනුවට සිදුව ඇත්තේ ඒවා උග‍්‍ර වීමයි. මේ මොහොතේ අප සිටිනුයේ තවත් මහ මැතිවරණයකට සූදානම් වෙමිනි. නැවත වතාවක් සියල්ල පැත්තකට තබා තම තමන් කැමති පක්‍ෂය හා පුද්ගලයා දිනවීම සඳහා කටයුතු කිරීමට මහජනයා අතරින් බොහෝදෙනෙක් වෙහෙස වනු ඇත. මෙකී තමන්ගේ න්‍යාය පත‍්‍රයන් වෙනුවට පොදු න්‍යාය පත‍්‍රයකට අවධානය දීම අත්‍යවශ්‍ය වන්නේ ඒවා මෙතෙක් ඉටු නොවී ඇති බැවිනි. මෙහි ඇත්තේ සියලූ පිඩිත ජන කොටස්වල එකාබද්ධ ප‍්‍රකාශනයක් සදහා දළ කෙටුම්පතකි.


1. සියලූ ජනතාවට සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍යදායික ප‍්‍රමාණවත් ආහාර වේලක් සහ ජලය ලැබිමේ අයිතිය සහතික විය යුතුයි


කම්කරුවන්ට යහපත් ජීවන මට්ටමක් ළඟා කර ගැනීමට හැකි හා ආත්ම ගරුත්වය ආරක්ෂා වන පරිදි යහපත් වැටුප් මට්ටම්, සේවා තත්වයන් හා රැකියාවේ සුරක්ෂිතභාවය ආරක්ෂා වන කම්කරු නීති අනුමත කිරීම හා ක‍්‍රියාවේ යෙදවීම. වෘත්තීය සමිති ක‍්‍රියාකාරිත්වයන් තුළින් තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට කම්කරුවන්ට ඇති අයිතිය තහවුරු කිරීම.


2. ආහාර ස්වෛරීභාවය මත පදනම් වූ පරිසර හිතකාමී තිරසාර කෘෂිකාර්මික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවේ යෙදවීම හා එහි මූලිකයින් වන කුඩා ගොවීන්ට තමන්ගේ භූමියේ, ජලයේ, බීජවල හා වෙළෙඳපොළ අයිතිය තහවුරු කිරීම. මෙවැනි ප‍්‍රවේශයක් තුළ මූලිකත්වය සෞඛ්‍ය හිතකර, ස්වාභාවික ආහාර දේශීයව නිෂ්පාදනය හා පරිභෝජනය සඳහා ලබා දිය යුතුය.


4. කුඩා පරිමාණ ධීවරයින්ගේ ජීවනෝපායන්ගේ පදනම වන මුහුද, වෙරළ හා අභ්‍යන්තර ජලාශවලට ඇති හිමිකමත්, තම නිෂ්පාදනයන්ට ඇති වෙළෙඳපොළ ප‍්‍රවේශයක් තහවුරු කෙරෙන තිරසාර ධීවර කර්මාන්තයක් සඳහා වන ප‍්‍රතිපත්ති ක‍්‍රියාවේ යෙදවීම. 


5. වතු කම්කරු ජනතාවට ගෞරවාන්විත ජීවන මට්ටමක් ළඟා කර ගත හැකි සාධාරණ වැටුපක් මෙන්ම නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි  පහසුකම් ලබා දීම. කඳුකර ප‍්‍රදේශවල තිරසාර, සංරක්ෂිත කෘෂිකර්මයක් ව්‍යාප්ත කිරීම සඳහා තමන් ජිවත් වන භූමියේ අයිතිය එම ජනතාවට ලබා දීම.


6. සමාජය තුල ස්ත‍්‍රීන්ට  සමාජයීය දේශපාලන හා ආර්ථීක ජිවිතයේ සමනතාවය තහවුරු විය යුතුය. ඒ සඳහා දැනට සමාජය, දේශපාලනය, ආර්ථිකය හා පවුල් ජිවිතය තුළ පවතින අඩු සැලකිලි හා වෙනස් කම් ඉවත් විය යුතු. ස්ත‍්‍රීන් හුදු ලාභ  සදහා,  යටහත් ශ‍්‍රමිකයින් ලෙස සැලකීම (විශේෂයෙන් , විදෙස් රැකියා, ඇඟලූම්, විවිධ සේවා , වතුකරය හා කෘෂිකර්මය තුල වෙනුවට රටේ තිරසාර සංවර්ධනයක් සඳහා නිර්මාණාත්මකව දායක වීමට ස්ත‍්‍රීන් සතුව ඇති චිරස්ථ සංවර්ධනය සැලසුම්කරනය උපයෝගි කර ගන්නා සැලසුම් ක‍්‍රියාවේ යෙදවිමේ ඇති හැකියාවට ඉඩ සැලසිය යුතුය.


7. විරැකියාව හා නාගරික සංක‍්‍රමණයට ගොදුරු වී සිටින අති විශාල තරුණ පිරිසකට ගෞරවණිය වෘත්තියක් සහ තෘප්තිමත් ජීවිතයක් උදා කිරීමේ අති විශාල හැකියාවක් සොබාදහමේ ප‍්‍රතිඋත්පාදන ශක්තිය නැවත ගොඩ නංවන සංවර්ධන ප‍්‍රවේශය් සතුව පවතී. ඒ සඳහා අවශ්‍ය දැනුම හා හැකියාවන් ගොඩ නැගෙන පරිදි ක‍්‍රියාකල යුතුය. ඒ සඳහා අධ්‍යාපන ත‍්‍රමය සංශෝධනයට ලක් විය යුතුය. දේශපාලන බල පෑම් වලින් තොරවු , සුදුසුකම් මත, ගෞරවණීය ලෙස රැකියා අවස්ථා ලබා ගැනීමට ක‍්‍රම තිබිය යුතුය. 


8. දෙමළ, මුස්ලිම් ඇතුළු අනිකුත් ජන කොටස්වලට ද තමන්ගේ සංස්කෘතිය, භාෂාව භාවිතා කිරීමේ නිදහස හා නිසි දේශපාලනයට සක‍්‍රීයව සහභාගීවීම ලබා දිය යුතුය. රටේ අනික් ප‍්‍රදේශවල ජනතාවට මෙන්ම උතුරු නැගෙනහිර ජනතාවටත් තම භූමි ප‍්‍රදේශවල අයිතිය හා එම භූමිය හා ස්වාභාවික සම්පත් ප‍්‍රතිඋත්පාදනය කරා යොමු කිරීමේ මඟ පෙන්වීම හා සහාය ලබා දිය යුතුය. 


9. දුප්පත් පොහොසත් බේදයකින් තොරව රටේ සෑම දෙනාටම යහපත් සෞඛ්‍ය සේවාවක් භුක්ති විඳීමට ඉඩ ලැබෙන පරිදි සෞඛ්‍ය ප‍්‍රතිපත්ති හා සේවාවන් වැඩි දියුණු විය යුතුය. ප‍්‍රජා සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීම හා ආහාර හා පෝෂණය, රෝග වළක්වාගත හැකි පාරිසරික කෘෂිකර්ම ප‍්‍රතිපත්ති හා නිරෝගීභාවය පිළිබඳ දේශීය / ස්වාභාවික ක‍්‍රමවේදයන් ද උපයෝගි කොට ගන්නා ඒකාබද්ධ සෞඛ්‍ය ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවේ යෙද විය යුතුය..


10. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ජනතාවට තමන් ජිවත්වන ආකාරය සැලසුම් කිරීමට ඇති අයිතියයි. මේ අයිතිය තහවුරු කිරිම සඳහා වන සුදුසු ක‍්‍රියාවලීන් ග‍්‍රාමීය, ප‍්‍රාදේශීය, පළාත් හා ජාතික මට්ටම්වල දී ක‍්‍රියාවේ යෙදවිය යුතුය. මේවා ක‍්‍රියාවේ යෙදවීම තහවුර කිරීමට හා එ්වා අධීක්ෂණය සඳහා ජනතාවට ඉඩ ලැබෙන යාන්ත‍්‍රණයන් සකස් විය යුතුය.


11. ගොඩබිම හා මුහුදු මාර්ග භාවිත කරමින් ක‍්‍රමවත් හා කාර්යක්‍ෂම මගී හා භාණ්ඩ ප‍්‍රවාහන ක‍්‍රමයක් ඇති කළ යුතුය. ඒ සමග නිෂ්පාදනයන් රට තුළ බෙදාහැරීමේ ක‍්‍රමයක් සකස් කළ යුතු සේම ඒ ස`දහා භාවිතා කළ හැකි නිෂ්පාදකයින් හා පාරිභොගීකයින් හැකි තරම් සෘජු ලෙස සම්බන්ධකරන  සමූපකාර ක‍්‍රමය් හා රාජ්‍ය මැදිහත් වීම් වඩාත් දියුණු කළ යුතුය.


12. මහජනයා සඳහා මහජන මුදලින් නඩත්තු වන දේශපාලන හා රාජ්‍ය සේවය දූෂණ වංචා වලින් තොර කාර්යක්‍ෂම එකක් බවට පත් කළ යුතුය.


13. අදහස් ප‍්‍රකාශ කිරීමේ හා තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කළ යුතුය. රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන වල බලවතුන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ අදහස් වෙනුවට සාමාන්‍ය ජනතාවගේ අදහස් ප‍්‍රකාශ කළ හැකි මාධ්‍ය සදාචාරයක් හා භාවිතයක් ගොඩනැගිය යුතුය. වෙළඳ ප‍්‍රචාරය මඟින් කරන අසීමිත අහිතකර බලපෑම් පාලනය කල යුතුය.


පහත සඳහන් ක්ෂේත‍්‍ර පිළිබඳ යෝජනා ද ඇතුලත් විය යුතුය


x මාධ්‍ය හා අදහස් ප‍්‍රකාශ කිරිමේ නිදහස
x සොබාදහම හා පරිසරය
x කලාව හා සංස්කෘතිය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය පමා කරයි | IMF delays the loan for Sri Lanka

(2010 පෙබරවාරි 26-W3Lankaජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලංකාවේ විදේශ සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා ලබා දෙන ලද ඩොලර් බිලියන 2.6 ණය මුදලේ තුන්වන කොටස ලබා දීම ප්‍රමාද කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර තිබේ. 


එම ණය සඳහා කොන්දේසියක් වූ අයවැය පරිතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 7%ක මට්ටමකට 2009දී ගෙන ඒම සාක්ෂාත් කර ගැනීමට ලංකාව අසමත් වී තිබේ. 2009 වසරේදී රජය අයවැයක් ඉදිරිපත් කළේ නැත. එම වසර සඳහා මහ බැංකු වාර්තාව ද තවම නිකුත් වී නැත. කෙසේ වෙතත්, අයවැය පරතරය දළ දේශීය නිස්පාදිතයෙන් 9%ක මට්ටමක ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 


මෙතෙක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට ලබා දී තිබෙන ණය කොටස් දෙකෙහි වටිනාකම ඩොලර් මිලියන 650ක් පමණ වේ. 


ඩොලර් මිලියන 300ක් වන තෙවන කොටස මාර්තුවේදී ලැබීමට නියමිත විය. එහෙත් ඊට පෙර අරමුදල විසින් ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳ අධ්‍යයනයක් කරයි.


මෙම ණය කොන්දේසි අනුව ලංකාව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක මට්ටමට ගෙනැවිත් ලබන වසරේදී එය 5%ක මට්ටමේ තබා ගත යුතුය. 


ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන පහකි. 2009 මැයි වන විට එය ඩොලර් බිලියනයක මට්ටමට පහත වැටී තිබිණි. 

ධර්ම භාණ්ඩාගාර ආයුධ ගබඩා වීම | Treasuries of Buddhist doctrine turning into armories

(2010 පෙබරවාරි 26-W3Lankaකොළඹ මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරස්‌ථානයේ තිබී අවි ආයුධ සහ බෝම්බ රැසක් සොයා ගනු ලැබුවේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ය. සොයා ගනු ලැබූ අවි ආයුධ අතර ටී-56 ගිනි අවි දෙකක් හා බෝම්බ 50ක් තිබුණු බව කියනු ලැබේ. අවි ගබඩා භාරකරුවන් ලෙස සැක පිට ඌවතැන්නේ සුමණ හිමි ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් මේ පිළිබඳ සැක පිට අත්අඩංගුවට ගන්නා ලදි. වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙමින් ඇති බව පොලිසිය පවසයි.


අත් අඩංගුවට ගනු ලැබූ භික්ෂුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භික්ෂූ සංවිධානයේ ලේකම් ලෙස සිට පසුව ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාට සහාය දැක්වූවෙකි.


අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක්‌ මත මිරිහාන පොලිසිය ඊයේ (25 වැනිදා) නුගේගොඩ නාලන්දාරාම විහාරස්‌ථානය පීරමින් අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය සොයා හිස් අතින් ආපසු ගියේය. මේ පන්සලේ ද ගිනි අවි හා පුපුරන ද්‍රව්‍ය ඇති බවට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබූ තිබෙන බව පොලිසිය පැවසූ බව ද මෙලෙස නිර්නාමික දුරකථන පණිවුඩ ලැබෙන සෑම ආගමික මධ්‍යස්‌ථානයක්‌ හෝ නිවසක්‌ පරීක්‍ෂාවට ලක්‌ කිරීම සඳහා පොලිසිය අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නවාදැයි විහාරාධිපති හිමි ප්‍රශ්නකර ඇතත් ඊට කිසිදු පිළිතුරක්‌ පොලිසිය ලබා දී නැති බව ද වාර්තා වේ.


නුගේගොඩ නාලන්දාරාම විහාරාධිපති තිනියාවල පාලිත හිමි එක්සත් ජාතික පක්ෂයට සමීප පුද්ගලයෙකි. ආගමික සිද්ධස්ථානවල විදුලි බිල අඩු කරන ලෙස අධිකරණය හමුවේ නඩු පවරා එම සහනය දිනා ගත්තේ එම භික්ෂුවයි.


ඉස්සර නම් පන්සල් ධර්ම භාණ්ඩාගාර විය. එහෙත් ඒ ඉස්සර නොවැ.

2010-02-25

දෙමළ ජාතික සන්ධානයේ අර්බුදය දේශපාලනිකව කියවමු | Let us read the Tamil National Alliance problem politically

(2010 පෙබරවාරි 25-W3Lanka)  මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ ඇති වී තිබෙන අර්බුදය දෙමළ ජාතික දේශපාලනයේ අර්බුදය ප්‍රකාශ කරන කැඩපතක් ලෙස දැකිය හැකි ය.


මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීන් ගණනාවකට මහ මැතිවරණය සඳහා නාම යෝජනා අහිමි වී තිබේ. නාම යෝජනා අහිමි වූ මන්ත්‍රීන් අතරින් ඇතැමෙක් ආණ්ඩුවට කඩේ ගිය අය වෙති. එහෙත් ඇතැමෙකුට නාම යෝජනා අහිමි වීම පිටුපස ඇත්තේ දේශපාලනික කාරණයකි. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනික බෙදීම සලකුණු වන්නේ එතැනිනි.


දෙමළ ජාතික සන්ධානයේ නාම යෝජනා අහිමි වඩාත් දේශපාලනික කොටස වනාහි දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය අවධාරණය කරන දැඩි ජාතිකවාදීහු වෙති. එහෙත්, මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ බලය හිමි වී තිබෙන්නේ ෆෙඩරල් පක්ෂය, ඊ.පී.ආර්.එල්.එෆ් හා ටෙලෝ යන පක්ෂ නියෝජනය කරන ලිබරල්වාදීන්ටයි. ඔවුහු මේ වන විට ඉන්දීය හා කොළඹ ආණ්ඩු සමග එක්ව සීමිත බලය බෙදීමක් භාර ගනිමින් ඒකීය ලංකාවක රාමුව තුළ ධනේශ්වර දේශපාලනයකට කැමැත්ත දක්වන පිරිසකි.


ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ප්‍රමුඛ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය හා කොටි සංවිධානයට හිතවත්ව සිටි පිරිස් දෙමළ ජාතිකවාදී සටන් පාඨ අතහැර දැමීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයට දෝෂාරෝපණය කරති. 


පශ්චාත් යුද කාලීන ලංකාවේ දෙමළ දේශපාලනය තුළ මතු වී තිබෙන ප්‍රබල ම ගැටුම වන්නේ කොළඹ කේන්ද්‍රීය පාලනය යම් සීමිත සංශෝධන සහිතව භාර ගැනීමට සූදානම් ධනේශ්වර ලිබරල්වාදීන් හා ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් වූ සටන අතහැර දැමීමට අකැමැති දෙමළ ජාතිකවාදීන් අතර ගැටුමයි.

යළි පදිංචි කරන ලද ළමයි දහස් ගණනක් පාසල් නොයති | Thousands of resettled children out of schools

(2010 පෙබරවාරි 25-W3Lanka)  අවතැන් කඳවුරුවල සිටි පාසල් වියේ දරුවන් අතරින් තවත් දහස් ගණනක් තවමත් පාසල් නොයන බව යුනිසෙෆ් වාර්තා පෙන්වා දෙයි. 


මේ වන විට කලින් කඳවුරුවල සිටි පාසල් වියේ දරුවන් 48,000ක් යළි පදිංචි කරනු ලැබ තිබේ. ඔවුන් අතරින් වයස අවුරුදු 5 සහ 18 අතර සිසුන් 43,469ක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව යුනිසෙෆ් වාර්තා පෙන්වා දෙයි. 


වවුනියා, මන්නාරම, කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවලට අයත් වන්නි ප්‍රදේශයේ මේ වන විට පාසල් 94ක් ආරම්භ වි තිබේ. අවතැන් වූවන් යළි පදිංචි කරන ලද යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල ද පාසල් 14ක් විවෘත කර තිබේ. 


මෙම ප්‍රදේශවල කලින් පාසල් සිය ගණනක් පැවැත්විණි. ඒවා බොහොමයක් යුද්ධය හේතුවෙන් විනාශ වී තිබේ. 


මෙම ප්‍රදේශයේ අධ්‍යාපනයට ඇති ප්‍රධාන බාධාවක් වන්නේ ගුරු හිඟය බව යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙයි. 


වන්නි ප්‍රදේශයේ පාසල්වල ඉගැන්වීමේ කටයුතු කරන ගුරුවරුන්ට ගමන් වියදම් දීමනාවක් ලෙස රු.2000ක් ලබා දීමට ලංකා ගුරු සංගමය හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත අතර පැවැත්වුණු සාකච්ඡාවකදී රජය එකඟ විය. 


තවත් පාසල් වියේ දරු දැරියන් 25,000කට අධික ප්‍රමාණයක් මැනික් ෆාම් අවතැන් කඳවුරේ පමණක් සිටින බව යුනිසෙෆ් වාර්තා පවසයි. 

ලාංකික රිෆ්කා බාරිගේ ඇමරිකාවේ මාධ්‍ය සංදර්ශනය | Sri Lankan born Rifqa Bary's media show in Us

(2010 පෙබරවාරි 25-W3Lanka)  මෙම ඡායාරූපයේ සිටින 17 හැවිරිදි ලාංකික දැරියගේ නම රිෆ්කා බාරි ය. ඇය දැන් ජීවත් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහිය. 


කලින් ඔහියෝහි මව්පියන් සමග ජීවත් වූ උපතින් ඉස්ලාම් ආගම ඇදහූ අයෙකු වූ ඇය පසුව ක්‍රිස්තියානියට හැරී, ඒ හේතුවෙන් තම පවුලේ අය තමන් මරනු ඇතැයි බිය බව පවසමින් නිවසින් පැන ගොස් එක්සත් ජනපද ජනමාධ්‍යයන්හි කතාවක් නිර්මානය කළාය. 


ඇය පිළිබඳ පැවැත්වෙන අධිකරණ කටයුතුවලදී ඇගේ නීතිඥයන් පෙන්වා දුන්නේ ලංකාවට පැමිණීයහොත් ඇය මරා දමනු ඇති බවයි. 


සිය සිහින දේශයන් වන ඇමරිකාවේ හෝ බටහිර යුරෝපයේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ලංකාවේ මිනිස්සු ඉතා නිර්මානශීලී ලෙස කටයුතු කරන බවට මෙම සිද්ධිය උදාහරණයක් විය හැකිය. 

ගොඩනැඟිලි හැදුවාට නොහැදෙන යාපනය පුස්තකාලය | Jaffna library that cannot be restored with buildings and equipment

(2010 පෙබරවාරි 25-W3Lanka)  කලක් ලාංකීය දෙමළ සංස්කෘතියේ කැඩපතක් වී තිබුණු යාපනය පුස්තකාලය දැන් පරිහරණය කරන පිරිස දිනකට 150 නොඉක්මවන බව ප්‍රධාන පුස්තකාලයාධිපති එස්. තනබාලසිංහම් පවසයි.


1981දී රාජ්‍ය අනුග්‍රහය ලද මැර පිරිසක් විසින් යාපනය පුස්තකාලය ගිනි තැබීම ‍ලෝකයේ පිළිකුල් ම සංස්කෘතික සම්පත් විනාශ කිරීම් අතරින් එකක් ලෙස සැලකේ. එහි තිබී ගිනි බත් කරන ලද බුද්ධිමය සම්පත් අතර වටිනා පොත් ලක්ෂයක් පමණ ද ඉතා පැරණි දෙමළ පුස් කොළ පොත් ද තිබිණි.


2003දී  රජය විසින් යාපනය පුස්තකාලය ප්‍රතිසංස්කරණය කර විවෘත කරන ලදමුත්, යාපනය ජනතාව එය 1934 සිට එහි පැවති තම නූතන සංස්කෘතියේ තිරසාර අංගයක් වූ පුස්තකාලය ලෙස පිළි ගැනීමට මැළිකමක් දක්වන බව යාපනයේ විද්වත්හු පවසති. 


"යාපනය පුස්තකාලය ගිනි තියලා විනාශ කරලා ඉවරයි. ඒක ප්‍රතිසංස්කරණය කරන්න බැහැ. එයින් ඇති කරන ලද සංස්කෘතික තුවාලය ගැඹුරු එකක්. ඔබට ගොඩනැඟිලි හදන්න, එය පුටු, මේස, රාක්කවලින් පුරවන්න පුළුවන්. ඒත් ඒ යාපනය පුස්තකාලය නොවෙයි. යාපනය පුස්තකාලය නැවත ගොඩනැඟීම ඉදිකිරීම් සම්බන්ධ කාර්යයක් නොවෙයි. එය සංස්කෘතික කාර්යයක්," යි නම සඳහන් කිරීමට අකැමැති එක් විද්වතෙක් අප සමග පැවසීය. 

2010-02-24

ජී.එස්.පී ප්ලස් අහිමි වීමෙන් ලංකාවේ බයිසිකල් කර්මාන්තයත් අනතුරේ | Sri Lanka bicycle industry too is at peril with the loss of GSP Plus

(2010 පෙබරවාරි 24-W3Lanka)  යුරෝපා සංගමය විසින් සපයනු ලබන ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි වීම නිසා සිදු වන හානි අතරින් වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙන්නේ ඇගලුම් කර්මාන්තයටයි. බොත්තම දක්වා ඇඟලුම් කර්මාන්තයේ සියලු යෙදවුම් ආනයනය කරනමුත් දෙලක්ෂයක් පමණ ජනයා ශ්‍රමිකයන් ලෙස ඍජුව ම සම්බන්ධ වන කර්මාන්තයක් බැවින් එයින් සිදු වන හානිය කෙරෙහි වැඩි අවධානයක් යොමු වීම සාධාරණය. 


ඇඟලුම් හැර තවත් භාණ්ඩ වර්ග 6500කට අධික ප්‍රමාණයකට මෙම බදු සහනය හේතුවෙන් යුරෝපා සංගමය තුළ  හොඳ වෙළඳපලක් ලබා ගැනීමට හැකි  වී තිබේ. එම භාණ්ඩ ආශ්‍රිත කර්මානතවලට ද ජී.එස්.පී ප්ලස් අහිමි වීම නිසා දැඩි වෙළඳ තරගකාරිත්වයකට මුහුණ දීමට සිදු වේ. 


සියයට සියයක් ම දේශීය අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කෙරෙන පෝසිලේන් කර්මාන්තය මෙහි විශේෂ අංශයකි. 


තවත් කර්මාන්තයක් වන්නේ බයිසිකල් හා බයිසිකල් කොටස් නිෂ්පාදන කර්මාන්තයයි. 2008 වසරේදී යුරෝපා සංගමයේ බයිසිකල් සැපයුම්කරුවන් අතරින් සිව්වන ස්ථානයේ සිටි ලංකාව බයිසිකල් 700,000ක් එරටට යැවූ බව බයිසිකල් වෘත්තිකයන්ගේ වෙබ් අඩවියක් වන බයික් යුරොප් පවසයි. එසේම ප්‍රධාන වශයෙන් බයිසිකල් ටයර් ඇතුළු බයිසිකල් උපාංග රාශියක් ලංකාව යුරෝපයට යවයි. 


යුරෝපා සංගමයේ තීරණය අනුව ලංකාවෙන් යුරෝපා සංගමයට යවන බයිසිකල් සඳහා 2010 අගෝස්තු 15 සිට 14%ක බද්දක් ද බයිසිකල් උපාංග සඳහා 4.7%ක බද්දක් ද අය කෙරේ. 


ලංකාව යුරෝපා සංගමයට කරන අපනයනවලින් 2008දී යුරෝ බිලියන 1.24ක ආදායමක් ලැබූ අතර කර්මාන්ත සංවර්ධනය සඳහා ජි.එස්.පී. ප්ලස් බදු සහනය මහත් ආශිර්වාදයක් විය.

කොළඹ නැවතත් කොටි බෝම්බ | LTTE suicide bombers in Colombo

(2010 පෙබරවාරි 24-W3Lanka)  එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් කොළඹ සැරිසරන බවට රහස් ඔත්තු අංශ විසින් වාර්තා කර ඇති බව ද, ඔවුන් කවුරුද යන්න හා ඔවුන් ගැවසෙන තැන් නොදන්නා බව ද, ඔවුන් අත්අඩංගුවට ගන්නා තෙක් ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බව ද අගමැති රත්නසිරි වික්‍රමනායක ඩේලි මිරර්ට ප්‍රකාශ කර තිබේ. 


රටින් පිට සිටින ‍ලාංකික දෙමළ ජාතිකයන් ආධාර රැස් කිරීම් කරන බව රහස් ඔත්තු අංශ වාර්තා කර ඇති බව පවසන හේ ඒ කුමක් සඳහාදැයි නොදන්නා බව ද පවසයි. 


කොටි සංවිධානයේ යුදමය පරාජයෙන් පසු එම සංවිධානයේ දෙස් විදෙස් ඉතිරි කොටස් සම්පූර්ණයෙන් ම යට ගොස් සිටිති. ඔවුන්ගේ වත්මන් ක්‍රියාකාරකම් පිළිබඳ රහස් ඔත්තු සේවා සතුව ඇත්තේ අවම තොරතුරු ප්‍රමාණයක් බව අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් හෙළි වේ. 


කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කර දැමුව ද, ත්‍රස්තවාදයට සරු පසක් සපයන සමාජ අර්බුද විසඳීම සඳහා පියවර ගැනීමට ලංකාවේ රජය භයානක අන්දමින් අසමත් වී තිබේ. 


ලංකාවේ මේ මොහොතේ යුද්ධයක් නැති මුත් සාමයක් හෝ තිරසාර සාමයක් ඇති කිරීම සඳහා ක්‍රියාමාර්ගවලට එළඹීමක් හෝ දක්නට නැත. 

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලෝක දෙමළ සමුළුව අමතයි | British Foreign Secretary to address Global Tamil Forum

(2010 පෙබරවාරි 24-W3Lankaලංකාවේ භාණ්ඩ වර්ජනය කරන ලෙස හා ලංකාවේ පාලකයන් විසින් සිදු කරන ලද යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා සිටින සංවිධානයක් වන ලෝක දෙමළ සංසදය හෙවත් Global Tamil Forum විසින් අද දින පවත්වනු ලබන ජාත්‍යන්තර සමුළුවක ආරම්භක දේශනය පැවැත්වීමට නියමිතව ඇත්තේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබැන්ඩ් විසිනි.


තහනම් කරන ලද කොටි සංවිධානයට හිතවත්ව සිටි පිරිස් ඇතුළු ලොව පුරා දෙමළ ක්‍රියාකාරිකයන් සහභාගි වන මෙම සමුළුව පැවැත්වෙන්නේ Houses of Parliamentහිදීය.


බ්‍රිතාන්‍ය විරුද්ධ පක්ෂයේ සෙවණැලි විදේශ ලේකම් හෙවත් බොහෝ විට මීළග ආණ්ඩුවක විදේශ ලේකම් විය හැකි පුද්ගලයකු වන විලියම් හේග් ‍මෙම සමුළුවේ අවසන් කතාව පවත්වන අතර පක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරුන් කීපදෙනෙක් ම මෙයට සහඵාගි වීමට නියමිතය.


ලංකාවේ තිරසාර සාමයක් ඇති කළ හැක්කේ අව්‍යාජ ජාතික සංහිඳියාවකින් නිසා බ්‍රිතාන්‍යය එම අරමුණ වෙනුවෙන් පෙනී සිටින ලාංකික ප්‍රජාවේ සියලු සාමාජිකයන් සමග තමන් කටයුතු කරන බව කියමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය මිලිබෑන්ඩ්ගේ පියවර අනුමත කර තිබේ.

දෙමළ ප්‍රශ්නය ගැන ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ අදහස් | International Crisis Group on Sri Lankan Tamil issue

(2010 පෙබරවාරි 24-W3Lanka)  ලංකාවේ දෙමළ ජනයාට වර්තමානයේදී සන්නද්ධ අරගලයක් වෙත ආපසු යාමට ඇත්තේ අඩු අභිරුචියක් බව ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම නම් ගැටුම් විශ්ලේෂක විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ ආසියානු වැඩසටහන් අධ්‍යක්ෂ රොබට් ටෙම්ප්ලර් පවසයි. එහෙත්, දෙමළ ජනයාගේ සාමූහික අපේක්ෂාවන්ට ප්‍රතිචාර දැක්වීමට රජය දිගින් දිගට ම අසමත් වන්නේ නම්, ඔවුන්ගෙන් ඇතැමෙක් අවසානයේදී ප්‍රචණ්ඩත්වය හරහා විසඳුමක් සෙවීමට නැඹුරු විය හැකි බව ද ඒ සඳහා දෙමළ විදේස්ගත ප්‍රජාවේ ඇතැමුන් උදව් කරනු ඇති බව ද ඔහු පවසයි.


ලංකාවේ දෙමළ ප්‍රශ්නය පිළිබඳ ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ අලුත් ම වාර්තාවේ මෙසේ ද සඳහන් වේ. "ලංකාවේ සිටින දෙමළ ජනයා සහ විදෙස්ගත දෙමළ ප්‍රජාව අතර පරතරය පළල් වී ඇත. රටේ සිටින බොහෝ දෙනා දශක ගණනක් තිස්සේ දිග්ගැසුණු යුද්ධයෙන් විඩාපත්ව සිටිති. ස්වාධීන රාජ්‍යයක් වෙනුවෙන් සටන් කිරීම වෙනුවට ඔවුන්ට උවමනා දුෂ්කර තත්වයන් මැද ජීවිත ගොඩනඟා ගැනීමටයි. පොදු දේශපාලන අදහසක් බලාත්මක කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය නොමැති සංදර්භය තුළ ලංකාවේ දෙමළ නායකයෝ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ප්‍රාමාණික ප්‍රතිසංස්කරණ යෝජනා කරමින් සිටිති. ප්‍රචණ්ඩකාරී නොවන අන්දමින් ‍බෙදුම්වාදය පැතිරවීමට දෙමළ ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙනමුත් දෙමළ ඊලමට රට තුළින් හා ජාත්‍යන්තරව සහයෝගයක් නැත. වෙන ම රාජ්‍යයක් සඳහා දෙමළ විදෙස්ගත ප්‍රජාවේ අඛන්ඩ ඉල්ලීම් විසින් විදෙස්ගත ප්‍රජාවේ දෙමළ ජනයා ප්‍රචණ්ඩත්වයට කැප වී සිටින්නේ යයි සලකන රාජපක්ෂ රජයේ බිය නඩත්තු කරමින් විනාශකාරී ත්‍රස්ත මර්දන නීති හා හදිසි නීතිය පවත්වාගෙන යාම සඳහා අවසර සපයයි.


බොහෝ දෙමළ ජනයා මුහුණ දී සිටින දේශපාලනිකව කොණ් කරනු ලැබීම සහ අනාරක්ෂිතභාවය නම් වන අර්බුදයේ මූලයන් හේතුවෙන් මතු වන යුක්ති යුක්ත ඉල්ලීම්වලට ලංකාවේ රජය අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම පෙන්වා දෙයි. ජාත්‍යන්තර ප්‍රජාව වඩා බලවත් ලෙස දේශපාලන හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ලංකාවේ රජයට බල කළ යුතු බව ද ප්‍රතිසංවර්ධනය සඳහා ලබා දෙන ආධාර සමග සමාජය මිලිටරිහරණය කිරීමේ හා ප්‍රජාතන්ත්‍රීයකරණයේ කොන්දේසි බැඳී තිබිය යුතු බව ද කණ්ඩායම වැඩි දුරටත් පෙන්වා දෙයි. දෙමළ හා මුස්ලිම් ජනයා බහුතරය ලෙස ජිවත් වන ප්‍රදේශවල අනාගතය තීරණය කිරීමේ තේරුමක් ඇති භූමිකාවක් ඔවුන්ට ලබා දීම ද මෙයට ඇතුළත් විය යුතුය. යුද්ධයේ අවසන් මාසවලදී මිය ගිය දහස් ගණනක් දෙමළ සිවිල් වැසියන් පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය බල කළ යුතුය.

“Tamils in Sri Lanka currently have little appetite for a return to armed struggle”, says Robert Templer. “But should the Sri Lankan state continue to fail to respond to their collective aspirations, some may eventually seek a solution through violence and could find willing partners in the diaspora”.

The gap between the diaspora and Tamils in Sri Lanka has widened. Most in the country are exhausted by decades of war and are more concerned with rebuilding their lives under difficult circumstances than in continuing the fight for an independent state. Without the LTTE to enforce a common political line, Tamil leaders in Sri Lanka are proposing substantial reforms within a united Sri Lanka. While Tamils have the democratic right to espouse separatism non-violently, Tamil Eelam has virtually no domestic or international backing. With the Sri Lankan government assuming Tamils abroad remain committed to violent means, the diaspora’s continued calls for a separate state feed the fears of the Rajapaksa administration and provid e excuses for maintaining destructive anti-terrorism and emergency laws.

The Sri Lankan government must address the legitimate grievances at the root of the conflict: the political marginalisation and physical insecurity of most Tamils in Sri Lanka. The international community needs to press Colombo much more strongly for political and constitutional reforms. Donors should insist that money given to redevelop the north and east is tied closely to the demilitarisation and democratisation of the region. This should include giving Tamils and Muslims a meaningful role in determining the future of the areas where they have long been the majority. Donor governments and the United Nations must also insist on an independent investigation into the thousands of Tamil civilians killed in the final months of 20fighting in 2009.

2010-02-23

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන හැටි ආණ්ඩුව කිව යුතුයි

(2010 පෙබරවාරි 23-W3Lanka)  ඉදිරි මහ මැතිවරණය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු මාස හයක්‌ ඇතුළත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීමට රජය කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම ඊයේ (22 වැනිදා) මහවැලි කේන්ද්‍රයේ පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය.


මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම හොඳ දෙයකි. ඒ සඳහා අවශ්‍ය නම් ජනතාවගේ තුනෙන් දෙකක් නොව තුනම වුව ඉල්ලා සිටීම නරක නැත. මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට කළ නොහැක්කේ ගැහැනියක පිරිමියකු කිරීම හා පිරිමියකු ගැහැනියක කිරීම පමණකැයි 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන පැවසීය. ඒ අනුව ගත් කල ජනතාවට තුනෙන් එකකින්වත් ඇති වැඩක් නැත. තුන ම ජනාධිපතිට දී දැම්මා ම අහවරය.


එහෙත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ කෙසේද යන්න ආණ්ඩුව පැහැදිලිව පැවසිය යුතුය. පසුගිය ජනාධීපතිවරණ සමයේ විපක්ෂය පමණක් නොව ආණ්ඩුව පවා කීවේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවයි. එය කරන්නේ කෙසේද?


විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම පමණක් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැත. ලංකාවේ ප්‍රශ්න අතරින් මූලික ම ප්‍රශ්නයක් වන්නේ ජාතීන්ගේ ප්‍රශ්නයයි. එය විසඳීම සඳහා ආණ්ඩුව මෙම ව්‍යවස්ථා සංශෝධනය හරහා ගන්නට බලාපොරොත්තු වන පියවර මොනවාද?


මේවා පැහැදිලිව කියා ඒ සඳහා ජනවරම ලබා ගත යුතුය. එවිට කාටවත් පසුව මේවාට විරුද්ධ වීමට හේතුවක් නැත.

ඉඟිනියාගල පොලිස් ප්‍රචණ්ඩත්වය මැද එක් අයෙක් මරුට

(2010 පෙබරවාරි 23-W3Lanka)  අම්පාර දිස්ත්‍රික්කයේ ඉඟිනියාගල, මොරගහපල්ලම ප්‍රදේශවාසීහු ඊයේ මාර්ගය අවහිර කරමින් ටයර් පුළුස්සා විරෝධය දැක්වීමක් කළහ. හේතුව පොලිසිය සමග ප්‍රශ්නයක් තිබූ මොරගහපල්ලම පදිංචි ඊ. ඒ. සමන් තිලකසිරි නමැති 37 හැවිරිදි පුද්ගලයකු පොලිසිය විසින් මරා දමන ලද බවට ඇති සැකයයි.


පොලිස් නිලධාරීන් විසින් ‍22දා අත්අඩංගුවට ගෙන රැගෙන යමින් සිටි මෙම පුද්ගලයාගේ මළ සිරුර 23දා උදේ සේනානායක සමුද්‍රයේ දකුණු ඇළේ තිබී ගම්වාසීන්ට හමු වී තිබේ.


මළසිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා අම්පාර මහ රෝහලට යොමු කර තිබේ.


පොලිස් ප්‍රචණ්ඩත්වය සහ එය නැති කිරීම සඳහා නිසි පියවර නොගැනීම ලංකාවට යුරෝපා සංගමය විසින් ලබා දෙන ජී.එස්.පී. ප්ලස් සහනාධාර අහිමි වීමට පවා හේතුවක් විය.


පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දිනෙක දෙනෝදාහක් බලා සිටියදී සහ වීඩියෝ කැමරා ඉදිරියේ බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් විසින් මානසික රෝගියකුට පොලු පහර දී දියේ ගිල්වා මරා දමන ලදී.

ඒක පුද්ගල ආදායම වැඩි වුණා කියා ආඩම්බර විය හැකිද?

(2010 පෙබරවාරි 23-W3Lanka)  2008 වන විට ඩොලර් 2200ක් වී තිබුණු ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම 2009 වන විට ඩොලර් 2300ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජය පවසයි.


ඒ අනුව ගත් කල ලංකාවේ බාල මහළු සෑම පුරවැසියකුගේ ම වාර්ෂික ආදායම රු. 240,000ක් පමණ විය යුතුය. එනම්, මාසික ආදායම රු. 20,000ක් පමණ විය යුතුය.


පස්දෙනෙකු ජීවත් වන පවුලක මාසික ආදායම රු. ලක්ෂයක්වත් විය යුතුය.


එසේ සිදු වන්නේ විෂමතාවකින් සම්පූර්ණයෙන් තොරව ආදායම් සර්ව සාධාරණ ලෙසින් බෙදී යන්නේ නම් පමණි.


ඒක පුද්ගල දළ ජාතික ආදායම වැඩි වීම පමණක් නොව ආදායම් විෂමතාව අවම වීම ද සංවර්ධනයේ ලක්ෂණයකි. නොඑසේ නම් සිදු වන්නේ ඉහළ යන ජාතික ආදායම ධනවතුන් සීමිත පිරිසක් විසින් සූරාකෑම නිසා ඔවුන් ධනවත් වද්දී සමාජයේ බහුතර පිරිසක් වැඩි වැඩියෙන් දුප්පත් වීමයි.


කිසිදු ආදායමක් ඉපැයිය නො හැකිය යන පදනමින් ලබා දෙන සමාජ ආරක්ෂණ දීමනාව හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින අන්දමට නම් පිං පඩි ලබන 350,000ක් දෙනා රට පුරා විසිරී සිටින බව සමාජ ආරක්ෂණ හා සමාජ සුබසාධන අමාත්‍යංශ දත්ත පෙන්වා දෙයි.


මෙම පිරිස දිවයින පුරා විසිර සිටිති. ඔවුන්ගේ මාසික දීමනාව රු. 1000 දක්වා වැඩි කිරීමට රජය අයවැයෙන් යෝජනා කරන බව ඇමති ලයනල් ප්‍රේමසිරි පවසයි. දිනකට රු. 30ක පමණ ආදායමක් උපයන මොවුන් ජීවත් වන්නේ දරිද්‍රතා රේඛාවෙන් බොහෝ පහත ජීවන මට්ටමකයි.


2008දී 1,672,159ක් හෙවත් ලක්ෂ දාසය හමාරකට වැඩි සමෘද්ධිලාභීන් පිරිසක් ලංකාවේ සිටි බව රාජ්‍ය ආදායම් හා මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා 2009 මැයි 05දා පාර්ලිමේන්තුවේදී පැවසීය. 2006/2007 වර්ෂවල ආදායම රු.6283/-ට වඩා අඩු පවුල් සංඛ්‍යාව 452,000ක් වූ බව ද සියඹලාපිටිය මහතා පැවසීය

2010-02-22

පිට්ටනි තියෙන්නේ ක්‍රිකට් ගැසීමට පමණක් නොවේ

(2010 පෙබරවාරි 22-W3Lanka)  අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේ කළුතර විද්‍යාලය සහ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලය අතර වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගය දෙවන දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයට සංචාරක ඇමති ෆයිසර් මුස්තාපාගේ හෙලිකොප්ටරය ඊයේ පාත් වීම නිසා ක්‍රිකට් තරගය අවලංගු කිරීමට සිදු වීම ඇතැමුන්ගේ විවේචනයට ලක් වී තිබේ.


ඇත්ත වශයෙන් ම ලංකාවේ ක්‍රිකට්වලට වඩා වැදගත් වන්නේ දේශපාලනයයි. එසේ නොවේ නම්, සනත් ජයසූරිය ක්‍රිකට් ගසන එකට දෙවන තැන දී දේශපාලනයට එන්නේ නැත. අර්ජුන රණතුංග නම් දේශපාලනයට ආවේ ක්‍රිකට් ගැසීම නැවැත්වූ පසු ය.


ලෝකයේ ක්‍රිකට් ගසන රටවල් ඇත්තේ දහයක් දොළහක් පමණි. ඒ අතරිනුත් ලංකාවට පළමු තැනට එන්නට ලැබුණේ එක ම එක වතාවක් පමණි. එහෙත්, දේශපාලනය ඒ වගේද?


ලෝකයේ ලොකු ම ඇමති මණ්ඩලය අතින් ලංකාව පළමු ස්ථානයට තේරුණේ ක්‍රිකට් නිසා ද? නැත. දේශපාලනය නිසා ය.


ලෝකයේ රටවල් 200ක් පමණ ඇත. ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 175ක් අතරින් 162වන ස්ථානය හෙවත් මාධ්‍ය නිදහස නැති රටවල් අතරින් 13වන ස්ථානය ලංකාවට හිමි වුණේ දේශපාලනය නිසා මිස ක්‍රිකට් නිසා නොවේ.


මෙවැනි උදාහරණ තව බොහෝ තිබේ.


පිට්ටනිය යනු ක්‍රීඩා පිට්ටනියට පමණක් කියන්නක් නොවේ. සොහොන් පිට්ටනිය යනු මළ මිනී ආදාහනය කරන තැනයි. අස්ගිරිය පිට්ටනිය පවා සමහර අවස්ථාවල සොහොන් පිට්ටනියක් ලෙස භාවිතා කර තිබේ. ඒ අනුව අද කාලයේ හැටියට රට පුරා හෙලිකොප්ටර් පිට්ටනි ද අවශ්‍ය ය. නැතුව ඇමතිවරුන් මහජනතාව හමු වන්නට යන්නේ කෙසේද?


ඇමතිවරුන්ට කලින් කිය කියා පිට්ටනි සෙවිය නොහැක. ඇමතිවරුන්ට බර වූ විට ළඟ ම පිට්ටනියට පාත් වන බව මහජනතාව දැන ගත යුතු ය. අනෙක 19න් පහළ කොලු කුරුට්ටෝ ජනතාව නොවේ.

රනිල් මෙදා පාරත් ලොස්!

අවස්ථාවේ හැටිය‍ට කේලමා කෝලමා විය යුතුය
(2010 පෙබරවාරි 22-W3Lanka)  කල් තබා ම පරාජය පිළි ගෙන, මහ මැතිවරණයට තනියෙන් තරග කර ජාමෙ බේරා ගැනීමේ අදිටනින් සිටි එක්සත් ජාතික පක්ෂය එන පොට හොඳ නැති බැවින් බියට පත් වී ඇති බව වාර්තා වේ. 


ජනාධිපතිවරණයේ පරාජයත් සමග එජාපය සරත් ෆොන්සේකා තනි කළේය. ජනාධිපතිවරණයේ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ජනතාව කැඳවීමට කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත. 


සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම පසුපස එජාපය හා ආණ්ඩුව අතර අවබෝධයක් පැවති බව ද නිරීක්ෂණවලින් පෙනේ. 


සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා නොබියව සටන් වැදුණේ ජනතා විමුක්ති පෙරමුණයි. 


ෆොන්සේකා ජවිපෙ සමග සන්ධානගතව කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන්නට යන බව වාර්තා වීමත් සමග කොළඹින් මනාප ගොඩක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින රනිල් වික්‍රමසිංහට දාඩිය දමා ඇති බව ද දැන ගන්නට තිබේ. 


එජාප මෙන් ම ජවිපෙ නායකත්වයට ද මෙම සන්ධානය හැදීමේ ඇත්ත උවමනාවක් තිබුණේ නැත. එහෙත් ජවිපෙ උපායශීලීව කටයුතු කළේය. ජවිපෙ පොදු ලකුණක අවශ්‍යතාව අවධාරණය කරද්දී එජාපය අලියා අවධාරණය කරමින් සිටියේය. 


එජාපය අලියා අවධාරණය කරන්නට එක් හේතුවක් වූයේ කොහේවත් යන අවටියල් පක්ෂයක නමින් විපක්ෂ සන්ධානය තරග කළ විට කොහේවත් නොසිටි කබ්බෙකු ෆෝම් වී එම සන්ධානයේ ලේකම් ලෙස බලවත් පුද්ගලයකු වීමයි. එය හරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේනට වඩා සුසිල් ප්‍රේමජයන්ත ලොක්කකු වීමටත් වඩා නරක තත්වයකි. 


ජවිපෙට ද මෙම ප්‍රශ්නය තිබේ. 1994දී ආරිය බුලේගොඩගේ නායකත්වයෙන් මල් පෝච්චිය ලකුණ යටතේ තරග කර හම්බන්තොටින් එක් ආසනයක් දිනා ගත් ජවිපෙට අවසානයේදී එම මන්ත්‍රී පදවිය බුලේගොඩගෙන් බේරා ගැනීම පිණිස නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයා හොර ලෙඩ ගන්වා රෝහල්ගත කිරීමට පවා සිදු විය. 


එහෙත්, අදාළ සන්ධානයේ ලේකම් ධුරය සඳහා දෙපාර්ශ්වයට ම පිළි ගත හැකි පුද්ගලයකු පත් කර ගැනීමෙන් මෙම අර්බුදය විසඳා ගත හැකිව තිබිණි. එජාපයට ඒ සඳහා උවමනාවක් නොතිබිණි. 


ජවිපෙට අලියා ලකුණ අසාත්මික වීම තේරුම් ගත හැකි කරුණක් වී තිබිණි. ජවිපෙ වැටී සිටි අසීරු තත්වය හමුවේ අඩු තරමේ ජවිපෙ කඩේ යවා ගත යුතු ය යන පදනමින් හෝ උපායශීලීව කටයුතු කිරීමට එජාප නායකත්වය අසමත් විය. 


අපට කීමට ඇත්තේ එක දෙයකි. එජාපය අම්බානකට ලොස් ය. මෙවැනි ලොසාලා සමග මේ නැගී එන නව නාසිවාදයට එරෙහිව සටන් කළ නොහැකිය. 

දෙමළ බළල්ලු තිදෙනෙක් ආණ්ඩුවට එක් වෙති

බළලා යනු කොටියාගේ මලයා ය.
(2010 පෙබරවාරි 22-W3Lanka)  තංගේෂ්වරී කදිරගාමන්, එස්. කනගරත්නම් සහ ශිවනාදන් කිෂෝර් යන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.


තංගේෂ්වරී මන්ත්‍රීවරිය 2004 මහ මැතිවරණයේදී කොටි සංවිධානය විසින් මඩකලපු දිස්ත්‍රික් ලැයිස්තුවට එක් කරන ලද කරුණා ගැති කාන්තාවකි. සිවනාදන් කිෂෝර් පසුගිය සමයේ දිගින් දිගට ම ආණ්ඩුව සමග එක්ව කටයුතු කළ පුද්ගලයෙකි. ඉහත පළ වූ ඡායාරූපය අරලියගහ මන්දිරයේදී ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිප වැළඳ ගනිද්දී ගනු ලැබූවකි.


එස්. කනගරත්නම් මන්ත්‍රීවරයා වසරක පමණ කාලයක් තමන් නියෝජනය කළ කොටි පාලන ප්‍රදේශයේ රැඳී සිට යුද්ධයේ අවසානයත් සමග රජයේ පාලන ප්‍රදේශයට පැමිණ අවතැන් කඳවුරක සිටියදී අත්අඩංගුවට ගෙන මාස අටකට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ රඳවාගෙන සිට කිසිදු චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව නිදහස් කරන ලද පුද්ගලයෙකි.


මෙම මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ද කොටි සංවිධානය විසින් කොළඹට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලට උදව් කළේ ය යන චෝදනාව මත රඳවා තබාගෙන සිටින අතර ඔහු නිදහස් කර ගැනීම සඳහා උදව් කරන බවට ද ආණ්ඩුව එහුට පොරොන්දු වී ඇති බව වාර්තා වේ.




එසේම යුද්ධයේ අවසන් දිනවලදී ඔහු දුටු කිසිවක් ප්‍රකාශ නො කරන ලෙස ද ඔහුට උපදෙස් දී ඇති බව දැනගන්නට ඇත.




මෙම මන්ත්‍රීවරයාට වවුනියාවේ මන්නාරම් පාරේ අලුතින් ඉදි කරන ලද රජයේ සංචාරක බංගලාවක් ද, රජයේ වාහනයක් සහ පොලිස් ආරක්ෂාව ද සපයා ඇති බව පසුගිය සමයේ මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.


කලක සිට ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන මෙම මන්ත්‍රීන් තිදෙනා මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමේ අදහසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිබේ ද යන්න තවම ප්‍රකාශ වී නැත. කොටි සංවිධානයේ පිහිටෙන් බලයට ආ බළලුන් තිදෙනෙකු වන මොවුන්ට දෙමළ ජාතික සන්ධානයෙන් තොරව ජන පදනමක් නොමැති බව දෙමළ ආරංචි මාර්ග පවසති.

2010-02-20

දෙමළ ජාතික සන්ධානය බිඳවැටෙයිද?

(2010 පෙබරවාරි 20-W3Lanka)  දෙමළ ජාතික සන්ධානය මේ වන විට දැඩි ලෙස ධනේශ්වර හා ඉන්දීය ගැති බලවේගවල ග්‍රහණයට ලක් වෙමින් ඇති බව ද, එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ගණනාවකට ම නාම යෝජනා නො ලැබෙනු ඇති බව ද වාර්තා වේ. 


පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීනව තරග කළ එම්.කේ. සිවාජිලිංගම්, එන්.ශ්‍රීකාන්තා, කේ. තංගේෂ්වරී, එස්. ගජේන්ද්‍රන්, පද්මිණී සිදම්බරනාදන්, සිවනන්ද කිෂෝර්, එස්. කනගරත්නම්, ටී. කනගසබෛ, සී.චන්ද්‍රනේරු ආදී මන්ත්‍රීවරු රැසක් නාම යෝජනා නො ලැබෙන පිරිස අතර වෙති. 


මේ වන විට ‍දෙමළ ජාතික සන්ධානයේ ආධිපත්‍යය ආර්. සම්බන්ධන් (ඉලංකෛ අරසු කච්චි), සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් (ඊ.පී.ආර්.එල්.එෆ්.) හා සෙල්වම් අඩෛකලනාදන් (ටෙලෝ) වැනි පිරිසක් අතට පත්ව තිබේ. කොටි සංවිධානය බලවත්ව සිටි සමයේ එහි බලපෑමෙන් නාම යෝජනා ලැයිස්තුවලට ඇතුළත් වූ පක්ෂවලට අයත් නො වන මන්ත්‍රීන් හා ඉහත කී පිරිස අතර මේ වන විට ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව වාර්තා වේ.  


කෙසේ වෙතත්, දෙමළ ජාතිය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ සමගිය ආරක්ෂා කර ගන්නැයි දෙමළ ජනයා වෙතින් ඇති බලපෑමට සවන් දීමට දෙමළ ජාතික සන්ධාන නායකත්වයට බල කෙරෙමින් ඇති බව ද දැන ගන්නට තිබේ. 

තිස්ස විතාරණයි ඩිව් ගුණසේකරයි මේ පාරත් ගොඩ

(2010 පෙබරවාරි 20-W3Lankaලංකා සමසමාජ පක්ෂයේ තිස්ස විතාරණ හා කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර මෙවරත් නොමිළේ ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තල්ලු වීමට සැලසුම සකස් කරගෙන ඇත. 


කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන බව කියන චන්ද්‍රසිරි ගජධීර ඇමති හැර සමසමාජ කොමියුනිස්ට් පක්ෂවලින් ඉදිරිපත් කරන සෙසු අපේක්ෂකයන් කිසිවෙකුට පාර්ලිමේන්තුවට තේරී පත් වීමට පුංචි හෝ අවස්ථාවක් නැති මුත් කෙසේ හෝ ඔවුන් ටික කඩේ යවා එලොවටත්, මෙලොවටත් වැඩක් නැති සිය ඇමති තනතුරු දෙක රැක ගැනීමට මේ පතෝල කොමියුනිස්ට්කාරයන් දෙදෙනා සමත් වීම මෙවර මහ මැතිවරණයේ අපූරු ම සංසිද්ධියකි. 


තිස්ත විතාරණ විසින් පසුගිය කාලයේ කරන ලද වැදගත් කාර්යයක් වූයේ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපති පදවිය දැරීමයි. ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා තමන් කටයුතු කරමින් සිටින බව පෙන්වමින් දෙමළ ජනයාගේ අරගලය මර්දනය කිරීමේදී ජාත්‍යන්තර පීඩනය වළක්වා ගැනීම සඳහා විතාරණගේ කමිටුව හොඳ පළිහක් වූ අතර ඒ කමිටුව විසින් ජනාධිතිවරයා වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවට සිදු වූ දේ තිස්ස විතාරණවත් දන්නවා ද යන්න සැක සහිත ය. 


ඇමති ඩිව් ගුණසේකර විසින් නම් කරන ලද කිසිදු වැදගත් වැඩක් පිළිබඳව සොයා ගැනීමට නො හැකි වූ බව කණගාටුවෙන් දැනුම් දෙමි.


මේ ඇමති දෙපළට ජාතික ලැයිස්තුවේ හා ප්‍රතිපත්තියක් නැතිකමේ පිහිටෙන් චිරාත් කාලයක් පාර්ලිමේන්තුවේ පුටු රත් කරමින් බුදියා ගැනීමටත්, ඇමති වරප්‍රසාද භුක්ති විඳීමටත් ලැබේවා යි සකල දේශවාසී නිර්ධනයන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. 


සාදුකින් පෙළෙනවුන් ‍
දැන් ඉතින් නැගිටියව්!
අන්තිම සටනට සැරසියව්!

බාප්පලා එනවා! ජවිපෙ සූදානම් ද?

(2010 පෙබරවාරි 20-W3Lanka)  ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල කාර්යාලයට බාප්පලා ඇවිත් ගොස් ඇති බව වාර්තා වේ. 


බාප්පලා, මහප්පලා සමග කරට අත දාගෙන සිටි යුගය අවසන් වී ඇත. දැන් ඉතින් බාප්පලා එන්නේ නෑකමට නොව එක, එක ඕනෑකම්වලටය. 


මේ බාප්පලා ජවිපෙ ගැන සියලු කරුණු දනිති. බාප්පලාට ඒවා කියන්නේ බිල්ලෝ ය. අසූ නමයේදී බිල්ලන් හිටියේ ගෝනිවලින් මුහුණ වසාගෙනයි. දැන් බිල්ලන් ආවරණය සලසා ගන්නේ කළු වීදුරු සහිත සැප රියවලින් හා පාර්ලිමේන්තු, ඇමති වරප්‍රසාදවලිනි. දැන් ඉතින් දේශපාලන මණ්ඩලයේ සැඟවුණු අමුත්තන්ට ඒ සෙල්ලම නවත්වන්නට සිදු වේ. 


2003 වන විට රනිල් වික්‍රමසිංහ හරහා නැඟී එමින් තිබුණු නව ලිබරල් ධනවාදී ප්‍රවණතාව පරාජය කිරීම සඳහා ජාතිවාදය පෙරමුණට ගත් ජවිපෙ 2005දී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරවූයේ ඔහු දුර්වල පාලකයකු වනු ඇතැයි සිතමිනි. දෙමළ දිළිඳු ගැමි තරුණයන්ගේ දේශපාලන ව්‍යාපාරක් වූ කොටි සංවිධානය ද මේ පදනමින් ම මැතිවරණ වර්ජන ව්‍යාපාරයක් ඔස්සේ මහින්ද රාජපක්ෂ දිනවීමට ක්‍රියා කළේය. 


ධනවාදය සමග අභිමුඛ වීම වෙනුවට පසුගාමිත්වයන්ට  මුවා වීමට යාමේ වන්දිය කොටි සංවිධානය විසින් මේ වන විට ගෙවා තිබේ. 


ජවිපෙ සූදානම් ද? 


ජවිපෙ සහෝදරවරුනි, ඔබ පසුපස එන මර්දනය වනාහි ඔබ විසින් ම හැඩගස්වන ලද පාලනයක අවයවයකි. එහි මූලික තර්ක කීපයක් අපි මෙසේ දක්වමු. 



  • මානව හිමිකම් යනු බටහිර කුමන්ත්‍රණයකි.
  • බටහිර යනු මේ රට ගිල ගැනීමට බලා සිටින යකෙකි.
  • පාලනයට එරෙහි වන සියල්ලෝ ම බටහිරින් ලැබෙන ඩොලර්වලට විකිණුන දේශද්‍රෝහියෝ ය. 
  • බටහිර උවමනාවන් මෙරට තුළ ඉටු කරන්නෝ කොටි ය.
  • ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, මානව හිමිකම් ආදිය ගැන ප්‍රශ්න මතු කරන්නේ කොටින්ට කඩේ යන අයයි. 



පසුගිය සමයේ ඔබේ මුවින් මේ තර්ක කී වරක් පිට වුණාදැයි සිහිපත් කර ගන්න. ඔබගේ ආශිර්වාදය ලත් මේ පාලනයේ ගිලටීනයට හසුව වැනසුණ වටිනා ජීවිත කීයක් ගැන ඔබ නිහඬව සිටියාදැයි සිහිපත් කර ගන්න. 


මාටින් නිමොලර්ගේ කවියේ අන්තිම පේළිය ළඟට ඔබ දැන් පැමිණ ඇත. 


එළඹ සිටි සිහියෙන් තත්වයට මුහුණ දෙන්න. 


ඊයේ ඔබ කළ වැරදි හෙට හෝ නො කර සිටීමට අදිටන් කර ගන්න. 


අන්ධ භක්තිකයන් නොව විප්ලවවාදීන් තනන්න. අන්ධ භක්තිකයෝ ලෙහෙසියෙන් ම බිල්ලෝ වෙති. 


බාප්පලා සමග බිල්ලෝ ද එති.  


ඔබට ශක්තිය හා ධෛර්යය!

2010-02-19

Why are you outstanding? Come and understand the umbrella

(2010 පෙබරවාරි 19-W3Lankaදෙමළ ජාතික සන්ධානයෙන් බිඳුණු මන්ත්‍රීන් කීපදෙනෙක් සහ ආචාර්ය වික්‍රමබාහු කරණාරත්න එක්ව ඉදිරි මහ මැතිවරණයේදී වාමාංශික විමුක්ති පෙරමුණ ලෙස කුඩය ලකුණින් තරග කිරීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.


දෙමළ ජනතාවගේ සිවයං නිර්ණ හිමිකම පිළි ගත් එක්සත් ශ්‍රී ලංකාවක් යන පදනමින් තරග වදින මෙම කණ්ඩායමට දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ කණ්ඩායමේ මන්ත්‍රීන් වන එම්.කේ. සිවජිලිංගම් සහ එන්. ශ්‍රීකාන්ත දැනටමත් එක් වී සිටිති. හිටපු ඇමතිවරයකු වන අබූ යුසුෆ් ද ‍මෙම සන්ධානයට එක් වී සිටින අතර දෙමළ ජාතික සන්ධානයේ සිටි රැඩිකල් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන පද්මිනී සිදම්බරනාදන් හා එස්. ගජේන්ද්‍රන් ද ඉදිරියේදී එයට එක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


වාමාංශික විමුකිති පෙරමුණ සියලු දිස්ත්‍රික්කවලට නාම යෝජනා ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටියි.


පසුගිය ජනාධිපතිවරණයේදී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඡන්ද 7055ක් ලබා ගත් අතර ඔහු සමග එක්ව ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදුණ එම්.කේ. සිවාජිලිංගම් ඡන්ද 9662ක් ලබා ගත්තේය.


සිරිතුංග ජයසූරියගේ නායකත්වයෙන් යුත් එක්සත් සමාජවාදී පක්ෂය ජනාධිපතිවරණයේදී ඡන්ද 8,352ක් ලබා ගත් අතර විජේ ඩයස්ගේ නායකත්වයෙන් යුත් සමාජවාදී සමානතා පක්ෂය ඡන්ද 4,195ක් ලබා ගත්තේය. මෙම පක්ෂ දෙක ද වෙන වෙන ම මහ මැතිවරණය තරග කිරීමට සූදානම් වෙමින් සිටිති.


මහ මැතිවරණයේදී ද සුපුරුදු ලෙස ම වාමාංශික පක්ෂ අතර එක්සත්කමක් නිර්මානය නොවන බව දැනගන්නට තිබේ.

මැලේරියා මර්දනය ගැන සම්මාන දිය යුත්තේ නිමල් සිරිපාලටද? මැලේරියා මදුරුවාටද?

(2010 පෙබරවාරි 19-W3Lanka1999දී 269,000ක් වූ මැලේරියා රෝගීන් සංඛ්‍යාව 2009 වන විට 486 දක්වා අඩු කිරීම පිළීබඳව සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමක් ලැබී ඇති බව ඔහු පවසයි. ඒ නිසා අප ද ඔහුට ස්තුති කළ යුතු බව හා බදුලු ජනතාව ඔහු පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව ද ඔහු අදහස් කරනවා ඇත. එසේම ජනාධිපතිවරයාට ඊළග පාර්ලිමේන්තුවෙන් ද ඔහු ම සෞඛ්‍ය ඇමති ලෙස පත් කිරීමට පිළිබඳ සිත් පහළ විය යුතු යයි ද ඔහු සිතනවා විය හැකි ය. 


එහෙත් ඇත්ත වශයෙන් ම මේ සම්මානය හිමි විය යුතුව තිබෙන්නේ මැලේරියා මදුරුවාට බව අපේ අදහසයි. මක් නිසා ද යත්, නිමල් සිරිපාල ඇමතිවරයා ගැසූ මදුරු තෙල් ඩෙංගි මදුරුවා සත පහකට ගණන් නොගනිද්දී ඒවා ඇ‍‍ඟේ ගාගෙන මළේ ඌ නිසා ය. 


නිමල් සිරිපාලගේ මදුරු තෙල් ගැසීම හොඳ නම් 2009දී ඩෙංගි රෝගීන් ලක්ෂ තුනකට වඩා හමු වන්නේ නැත. 


අපට පෙනෙන අන්දමට නම් මෙතැන ඇත්තේ මැලේරියා මදුරුවාගේ මනුස්සකමක් හෝ දුර්වලකමක් හෝ විය යුතුය. (කොහොමත් මනුස්සකම යනු දුර්වලකමක් තමා ය.) 


එහෙයින් මැලේරියා මදුරුවා වහා සම්මානයක් දිය යුතුය. 

සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමෙන් සන්ධානයට මැතිවරණයේදී අවාසියි - ජාතික හෙළ උරුමය

කලකදි රහලු - කලකදි වහලු
(2010 පෙබරවාරි 19-W3Lanka)  සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂාවන්ට අහිතකර අන්දමින් බලපානු ඇති බව ඉදිරි මැතිවරණයේදී ඔප්පු වන බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසූ බව අද 'දි අයිලන්ඩ්' පුවත්පත වාර්තා කළේය. 


එහෙත්, ඒ බව නොතකා ෆොන්සේකාට එරෙහිව පියවර ගැනීම හැර අන් විසඳුමක් රජය‍ට නොතිබුණු බව ඔහු පෙන්වා දෙයි. 


සරත් ෆොන්සේකාට එරෙහිව මෙතෙක් කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නැත. එහෙත්, සේනාධිනායක මහනිද රාජපක්ෂට එරෙහිව කුමන්ත්‍රණය කිරීම, දේශපාලනය කිරීම හා අවි මිළ දී ගැනීම්වලදී වංචා සිදු කිරීම වැනි චෝදනා මත ඔහුට විරුද්ධව නඩු පවරනු ඇති බව රජයේ හා හමුදාවේ ප්‍රකාශකයෝ පවසති. 


හමුදාවේ සිටිද්දී සරත් ෆොන්සේකා දේශපාලනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල කරනමුත් ඔහු කිසිදු මැතිවරණයකට තරග කළ හෝ කිසිදු අපේක්ෂකයකුට සහයෝගය දැක්වූ හෝ බවට වාර්තා නැත. ඔහු විසින් සම්බන්ධකම් පවත්වන ලද දේශපාලකයන් අතර ජාතික හෙළ උරුමයේ අය ද සිටිති. 


එම පක්ෂයේ නායක චම්පික රණවක යුද්ධ නොකළමුත් යුද්ධ කරන හැටි ගැන යුද්ධයෙන් පසු පොතක් පළ කළේය. එම පොතේ දොරට වැඩුමේ ප්‍රධාන දේශකයා වූයේ යුද්ධයට නායකත්වය දුන් පුද්ගලයා යයි එවකට සැලකුණු ජනරාල් සරත් ෆොන්සේකායි. 

චම්පිකගෙන් මහින්දට අභියෝගයක්

එකට කෑවත් බොක්ක වෙනස්
(2010 පෙබරවාරි 19-W3Lanka)  "එක පෝස්‌ටරයකට අවම තරමින් රුපියල් 20 ක්‌ වත් වැය වෙනවා. එක්‌ අපේක්‌ෂකයකු පෝස්‌ටර් සඳහා මිලියන 3 1/2 ක පමණ මුදලක්‌ වැය කරනවා. පී. වී. සී. කටවුට්‌ ගහනවා. පොලිතින් සැරසිලි සිදුකරනවා. මෙයින් සිදුවන විනාශය අතිවිශාලයි. මේ අප ගෙවා දමමින් සිටින වසර හය ඉතාමත් තීරණාත්මක කාලයක්‌. මේ දශකයේදී ලෝකය පාරිසරික විනාශයෙන් ගොඩගත නොහැකි වුවහොත්, ඒ වරද අපට නැවත හදන්නට බැහැ. ලෝකයේ විනාශයට එය හේතුවක්‌ වෙනවා. එනිසා මම සියලු පක්‌ෂවල අපේක්‌ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ පොලිතින් ප්ලාස්‌ටික්‌ වැනි දූෂක මගින් අනාගත දරුවන්ගේ අයිතිය උදුරා නොගන්නා ලෙසයි."


ජාත්‍යන්තර ජෛව විවිධත්ව වසර වෙනුවෙන් පැවති උත්සවයකදී මෙම කාලීන ප්‍රකාශය කළේ පරිසර හා ස්වභාවික සම්පත් ඇමති හා ජාතික හෙළ උරුමයේ සැබෑ නායක චම්පික රණවකයි. දැයේ දරුවන්ගේ අනාගතය විනාශකරමින් ජනතාවගේ ඇසට, කනට, හිතට, මනසට, පරිසරයට පොලිතින් ප්ලාස්‌ටික්‌ දූෂණය සිදුකරන්නාවූ කවර හෝ තරාතිරමක අපේක්‌ෂකයකු මැති සබයට පත්නොකරන්නැයිද ඇමැතිවරයා ඉල්ලා සිටියේය.


ඇමති චම්පික රණවකගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පරිසර හිතකාමී, ධාර්මික මෙන් ම වායු, ජල හා ශබ්ද දූෂණයෙන් පමණක්‌ නොව මත්ද්‍රව්‍ය යනාදියෙන්ද තොර මැතිවරණ ව්‍යාපාරයක්‌ බවට පත්කරන බව ඔහු පවසයි. ජාතික හෙළ උරුමයේ සෙසු අපේක්ෂකයෝ ද තමන් පෝස්ටර්, කටවුට් නොගසන බව කියති. 


ඇමති රණවක අත ගසා ඇත්තේ සැලකිය යුතු අභියෝගාත්මක කාර්යයකටයි. එය සුවිශේෂ අභියෝගයක් වන්නේ නොබෝදා අවසන් වූ ජනාධිපතිවරණයේදී රණවකගේ ස්වාමියා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ අනුගමනය කළේ මෙයට සම්පූර්ණයෙන් ම වෙනස් ප්‍රතිපත්තියක් හෙයිනි. හැකි හැම තැනක ම තම රූපය රැගත් පී.වී.සී. කටවුට් ඉදි කළ රාජපක්ෂ පෝස්ටර්වලින් බිත්ති කැත කිරීම සඳහා රු. කෝටි ගණනක් වැය කළේය.


මේ මහ මැතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ගෝලබාලයන් ඔහු අනුගමනය කරමින් සිටියි. පරිසරවේදියකු වන චම්පික රණවක මේ අභියෝග කරන්නේ පරිසර දූෂක පාලක පැළැන්තියකට ම එරෙහිවයි. අපි ඔහුට සුබ පතමු!