2010-04-30

බ්ලොග් අවකාශයේ අම්පයර් යයි සිතන taboosubjects‍ගේ බුද්ධිමය චණ්ඩිකම් | Intellectual thuggery of Taboosubjects


(2010 අප්‍රේල් 30 - W3Lanka) සිංහල බ්ලොග් අවකාශයේ අවසන් තීන්දු දෙන 'බුද්ධිමතා' තමා යයි සිතාගෙන හැසිරෙන taboosubjects අප පිළිබඳව ද විනිශ්චයක් නිකුත් කර තිබේ. ඒ අප විසින් ලියන ලද 'ආයුබෝවන් නිරුවත් ධනවාදය! අපි කෲර ඔබ සාදරයෙන් පිළිගනිමු' ලිපියෙහි අදහසක් සටහන් කරමිනි.


මෙසේ පවසයි. 'ඉතාම කනගාටුවෙන් කිවයුත්තේ මේ ලේඛකයාගේ ආර්ථික-දේශපාලන විද්‍යාව පිළිබඳ දැනුම අතිශය දුර්වල බවයි. මම ඔහු නිවැරදි කිරීමට කිහිප වතාවක්ම උත්සාහ ගත්තෙමි. ඒත් සුපුරුදු මෝඩ කතා පුනරුච්චාරණය කිරීමෙන්ම පෙනෙන්නේ ඒ කිසිවකින් ඵලක් නොවූ බවය. මම ඒ වරද නැවත නොකරමි.'


1980 දශකයේ මුල්භාගයේදී ජවිපෙ පූර්ණකාලිකයකු ලෙස ආරම්භ කර අන්තිමට ම හුදකලා වීත් තව ම අවසන් කර නැති මගේ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිත්වය අතරතුරදී මෙවැනි බුද්ධිමය චණ්ඩින් සිය ගණනක් මට හමු වී තිබේ. ධනවාදියකු ලෙස තමන් හඳුන්වා ගත්ත ද taboosubjectsගේ භාවිතාව විසින් අපට සිහිපත් කරන්නේ වමේ චණ්ඩි කණ්ඩායම් නායකයන් හෙවත් ගැං ලීඩර්ස්ලාගේ ලක්ෂණයි.


උගතකු, බුද්ධිමතකු හෝ කොළඹ දේශපාලන කවවල සාමාජිකයකු නොවන, හද්දා පිටිසර ගමක ජීවත් වන, අඩුතරමේ වෘත්තීය ජනමාධ්‍යකරුවකු හෝ නොවන, කාගේවත් අනුගාමිකයකු හෝ කාටවත් නායකයකු නොවන, එහෙත් තනිව හෝ තවමත් දේශපාලන ක්‍රියාකාරිකයකු වන මා හට මෙවැනි බුද්ධිමය චණ්ඩිකම්වලින් කිසිදු බලපෑමක් නැති බව පවසන්නට කැමැත්තෙමි.


මට වැරදි සිදු විය හැකි බව මම ඉතා හොඳින් දනිමි. එහෙත් අද දවසේ කළ යුතු අරගලය වෙනුවෙන් මට ඇති සීමිත දැනුම හා ලිවීමේ හැකියාව  භාවිතා කරමින් මම ඉගෙන ගනිමි. විවේචනය හා සංවාදය ප්‍රිය කරමි. එහෙත් බුද්ධිමය චණ්ඩින්ට බිය නොවෙමි. ප්‍රතිපත්තියක් ලෙස ඔවුන් සමග නොපැටළෙමි.


අප පහත සටහන් කරන්නේ taboosubjectsට තම නිගමනයට ඒම සඳහා ඉවහල් වූ ඔහු හා අප අතර සිදු වූ තවත් අය ද සහභාගි වූ සංවාදයෙන් කොටසකි.


මෙය ඇරඹෙන්නේ 'ඉන්න ඇටමැස්සන් ද? අලුත් ඇටමැස්සන් ද?' යනුවෙන් අප විසින් 2009 ඔක්තෝබරයේ ලියන ලද ලිපියත් සමගයි.


taboosubjects: ලේඛකයා වැරදි ලෙස වටහා ගෙන ඇති අන්දමට මේ කිසිවක් ධනවාදය නිසා ඇති වූ දේවල් නොවේ. දියුණු ධනවාදී සමාජ වල මෙහෙම විකාර සිදුවන්නේ නැත. මේ සියල්ල සිදුව ඇත්තේ අපට තවමත් වැඩවසම් සමාජයෙන් මිදී ධනවාදය කරා ගමන් කරන්නට බැරිවූ නිසාය. ඒ නිසා ධනවාදයට විකල්ප සෙවීමේ කිසිම අවශ්‍යතාවයක් නැත.


අප: ටැබූ සබ්ජක්ට්ස් වෙත,
බටහිර රටවල ධනවාදයේ ප්‍රජාතාන්ත්‍රික පදනම හා යහපාලනය පවත්වාගත හැකි ආර්ථික පදනම ගොඩනැඟෙන්නේ ලංකාව වැනි රටවල් නව යටත් විජිත ස්වරූපයකින් සූරාකෑම හරහාය. එවැනි අවස්ථා අහිමි පරිවාරයේ රටවල ධනවාදය සියලු පසුගාමී ලක්ෂණ කැටි කර ගනිමින් සිය අර්බුදය කළමනාකරණය කර ගනියි. ඒ රටවල ධනවාදය යනු සොරකමක් නම් මේ රටවල ධනවාදය යනු මහ දවල් මංකොල්ලයකි. මේ රටවල පාලකයන්ට ඇතැම් විට කොමිස් ගෙවන්නේ දියුණු ධනවාදී රටවල ව්‍යාපාරිකයන් විසිනි. අපේ හොරුන්ගේ ගිනුම් ඇත්තේ දියුණු ධනවාදී ස්විට්සර්ලන්තයේ බැංකුවලයි. ඔවුන්ගේ දෙව්ලොවෙහි පාදම අපේ අපායයි.


taboosubjects: මේ සම්බන්ධයෙන් කතිකාවක් ගොඩ නඟාගත හැකි නම් අගය කරමි. නමුත් බැණ ගැනීමටවත් මඩ ගසා ගැනීමටවත් නොවේ. මගේ ධනවාදය ගැන ඇති කියැවීම 'සමාජවාදීන්ගේ' කියැවීමට වඩා බොහෝ වෙනස්ය. තමන්ට නොතේරෙන හැම දෙයම ධනවාදය ලෙස අර්ථ ගන්වා බණින්නට මට ඕනෑකමක් නැත. ධනවාදය ලොව මිනිසා විසින් මෙතෙක් බිහිකර ඇති දියුණුම අර්ථ ක්‍රමයයි. (එය සර්ව සම්පූර්ණ යැයි මෙයින් අදහස් නොකෙරේ.) එසේම අර්ථ ක්‍රමයක් ලෙස ධනවාදය ගතිකව දියුණුවේ. මාක්ස් දුටු ධනවාදය නොවේ අද ඇත්තේ, ඊට වඩා දියුණු ධනවාදයකි. මාක්ස් කියූ උත්තර සමාජය බිහි වන්නේ ධනවාදය තුළින්ම මිස එය බිඳවැටී නොවේ.


වැඩිදුර ලිවීම පසුවට තබා එකම ප්‍රශ්නයකට පිළිතුරු දෙමි.


[නිදසුනක් ලෙස රුපියලක් විය කර කෙල්ලට එස්.එම්.එස්. එකක් යවන කොල්ලාගේ සාක්කුවෙන් කතා නැතුව ශත තිස් දෙකක් ගසා කා අර රුපියලෙනුත් තවත් බදු සූරාගෙන මහජන මුදලින් ගත්, මහජන මුදලින් ම තෙල් ගැසූ තඩි සැප වාහනවල නැඟී මහජන මුදලින් පඩි කන රැකවලුන් හා බැලයන් පිරිවරාගෙන ගැහැනුන් සමග යහන් ගත වී ඉතිරි වේලාවේ දේශපාලනය යයි කියා දෙයක් කරමින් සුරසැප විඳීම ධනවාදය නොවේද?]


නැත. නැත. නැත. මේ වැඩවසම් ක්‍රමය යටතේ ගොවියා වී කුරුණි දෙකක් අස්වැන්න නෙළා ඉන් එකක් රජතුමාට දීමේ ක්‍රමයේ වර්තමාන ස්වරූපයයි. ධනවාදය අනුදක්නේ අවම බදු අයකිරීම්ය. අධික බදුබර ධනවාදය දකින්නේ Deadweight loss එකක් ලෙසිනි. (http://en.wikipedia.org/wiki/Dead_weight_loss හා http://en.wikipedia.org/wiki/Excess_burden_of_taxation බලන්න.)


පසුව හමුවෙමු.


අප: ස්තුතියි. ඒත් මට කීමට අවශ්‍යව ඇති කාරණයක් වන්නේ වර්තමාන ගෝලීය ධනේශ්වර පද්ධතිය යනු ලොව සියලු රාජ්‍යවල සාධනීය හා පසුගාමී ලක්ෂණ සියල්ල කැටි කර ගත් එක් පද්ධතියක් බවයි.


ලංකාවේ වර්තමාන සමාජ ක්‍රමය ගැට ගැසී තිබෙන්නේ ධනේශ්වර නිෂ්පාදන බලවේග සමග මිස වැඩවසම්වාදයක් සමග නොවේ. අපේ ප්‍රධාන ආර්ථික කුළුණු දෙක වන ඇඟලුම් කර්මාන්තයේදී හා මැදපෙරදිග රැකියාවලදී රාජ්‍යයක් ලෙස ලංකාව කරන්නේ ධනේශ්වර නිෂ්පාදනයට ඍජුව හෝ වක්‍රව ශ්‍රම සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුවකි. මෙහි කිසිදු වැඩවසම් සම්බන්ධයක් නැත.


වර්තමානයේ පවතින දෙය අතීත වැඩවසම්වාදයක් සමග සම්බන්ධ කර ගත නොහැක. වැඩවසම් ක්‍රමය බිඳ වැටී ධනවාදය බිහි වන්නේ නිෂ්පාදන බලවේගවල සංවර්ධනයක් සමග මිස සංස්කෘතික කාරණා මත නොවේ. ලංකාවට ද නූතන ලෝක පද්ධතිය තුළ මෙම නිෂ්පාදන සබඳතා ධනේශ්වරකරණයෙන් ගැලවී සිටීමට හැකි වූයේ නැත. එහෙත් මෙය සිදු වූ‍යේ බලහත්කාරී යටත් විජිත හා පශ්චාත් යටත් විජිත සංදර්භයක් තුළ නිසා මෙම ක්‍රියාවලිය පසුබිමින් බටහිර සිදු වූ සමාජ සංවර්ධනය මෙහි සිදු වූයේ නැත.


ලංකාවේ ධනවාදය හරියට ප්‍රමාණ දෙකක රෝද දෙකක් සවි කළ කරත්තයක් වැනි ය. ලොකු රෝදය ධනේශ්වර නිෂ්පාදන සබඳතා වන අතර පොඩි රෝදය සමාජ සංවර්ධනයේ පසුගාමිත්වයයි. අප මේ එක තැන කැරකි කැරකී ප්‍රශ්න කරන්නේ මේ කරත්තයේ විකෘති ගමනයි.


taboosubjects: [ස්තුතියි. ඒත් මට කීමට අවශ්‍යව ඇති කාරණයක් වන්නේ වර්තමාන ගෝලීය ධනේශ්වර පද්ධතිය යනු ලොව සියලු රාජ්‍යවල සාධනීය හා පසුගාමී ලක්ෂණ සියල්ල කැටි කර ගත් එක් පද්ධතියක් බවයි.]


නැත. ඔබ කරන්නේ ලෝකයේ පවත්නා සියළු අර්ථ ක්‍රමයන් එකට ගෙන ඊට 'ධනවාදය' යැයි නමක් දී ඊට දොස් කීමය. එය වැරදිය. ධනවාදය යනු එක් සුවිශේෂ අර්ථ ක්‍රමයකි.


ලෝක ආර්ථිකය සඳහා වෙළෙඳ භාණ්ඩ නිපැයුම මහා පරාක්‍රමබාහු කාලයේද සිදුවිය. එසේ කළ පමණින් රටක් ධනවාදී වන්නේ නැත. කොමියුනිස්ට් චීනය තම ඉතිහාසය පුරාම ධනවාදී ලෝකයට නිෂ්පාදන කළේය. එහෙත් 1980 පමණ වනතුරු එහි ධනවාදී අර්ථ ක්‍රමයක් වූයේ නොවේ.


අප: ටැබූගේ 'ලෝකයේ පවත්නා සියළු අර්ථ ක්‍රමයන් එකට ගෙන ඊට 'ධනවාදය' යැයි නමක් දී ඊට දොස් කීමය. එය වැරදිය. ධනවාදය යනු එක් සුවිශේෂ අර්ථ ක්‍රමයකි.' යන මතය අගයමි. එහෙත් ඔබේ ලිවීම් හරහා ලංකාවේ පවතින ක්‍රමය කුමක්දැයි විග්‍රහ කරන්නේ නම් හොඳ ය. එය වැඩවසම්වාදයකැයි කීම අති සරළ ය; අප්‍රමාණවත් ය.


taboosubjects: සුද්දා අප රට අල්ලා විට මෙහි තිබුණේ වැඩවසම් ක්‍රමයකි. යටත් විජිත පාලනය යටතේ එය ධනවාදයට පරිවර්තනය වීමේ මූලික පදනම වැටිණි. එහෙත් මේ පරිවර්තනය සම්පූර්ණ නොවූයේ ඊට පෙර සුද්දා අප දමා ගිය නිසාය.1956 සිට වරින්වර අප ධනවාදයට එරෙහිව රාජ්‍යවාදය (Statism - එනම් ධනය නොව රජය බලය වන ක්‍රමයක්. මෙහිදී තීරණ ගැනෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව නොව රජය හිතන විදිය අනුවය.) පසුපස ගියෙමු. 1970-77 කාලයේදී ඊට කොමියුනිස්ට් අර්ථ ක්‍රමය යම් පමණකට මුසුවිය.


අද ඇත්තේ බලයේ සිටිනා ආණ්ඩුව මත තීරණය වන, ධනවාදය හා රාජ්‍යවාදය අතර දෝලනය වන ක්‍රමයකි. UNP ආණ්ඩු අප ධනවාදය කරා තල්ලු කළ අතර UNP නොවන ආණ්ඩු රාජ්‍යවාදය කරාද වැඩවසම් ක්‍රමය කරාද තල්ලු කළහ. එකම UNP නොවන ධනවාදියා/වාදිනිය වූයේ චන්ද්‍රිකාය. අදනම් ඇත්තේ මතුපිටින් ධනවාදය අලේපනය කරන ලද වැඩවසම් ක්‍රමයකි. ධනවාදී සමාජයක මූලික ලක්ෂණය වන නිදහස් ව්‍යාපාර කිරීමේ හෙවත් ආර්ථික නිදහස අද අපේ රටේ නැත. අද අපේ රටේ ආර්ථිකය විශාල ලෙස පාලනය කරන්නේ තනි රජ පවුලකි. ව්‍යාපාර කිරීමේ නිදහස ඇත්තේ මේ රජ පවුලේ අභිමතය අනුවය. මෙය ප්‍රේමදාස යුගයේ තිබුණු සහචර ධනවාදයටද (Crony Capitalism) වඩා ප්‍රාථමිකය.


Ramachandra: මේකට ඇත්ත උත්තරේ ලංකාවේ තියෙන්නේ වැඩවසම් ලක්ෂන ශේෂ වී තිබෙන ධනවාදයකි යන්නයි.


(වැඩිහිටියෙක් වෙන සමහර අයට ලමා ලක්ෂන ඉතිරිවෙලා තියෙන්න පුලුවන්.-තනියම නිදාගන්න බය වීම,තනියම ඇදුම් මැදගන්න බැරි වීම වගේ-නමුත් රැවුල ඇවිත්,කර දඩු පලල් වෙලා උගුර බැරැන්ඩි වෙලා ස්වයංවින්දනයේ යෙදෙනව වෙනුවට ලිංගික හැසිරීම් වල යෙදෙන තැනට ආවට පස්සෙ ලමා ලක්ෂන කිහිපයක් ඉතිරි වෙලා තිබුන කියල එයා බබෙක් වෙන්නෙ නැහැ.එයාට කියන්නෙ වැඩිහිටියෙක් කියල)


ලංකාව වැඩවසම් සමාජයක ඉදල ධනවාදී එකක් බවට පත්වෙන්න පටන්ගත්තෙ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය සමග.1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරන වලින් රාජකාරි ක්‍රමය අහෝසි කිරීම මෙතනදී තීරනාත්මක පියවරක්.එහෙම පටන් ගත්ත ධනවාදයට සංක්‍රමනය වීමේ ගමන අද බො‍හෝ දුර ඇවිත් තිබෙනවා.


ධනවාදයක් තුල තිබෙන මූලික ලක්ෂන සියල්ල අප රට තුල තිබේ.ඒ වගේම වැඩවසම් ක්‍රමයේ මූලික ලක්ෂන බොහොමයක් අහෝසි වෙලා තියෙනවා.


වැඩවසම් ක්‍රමයක් තුල තිබුනු "ප්‍රධාන" නිෂ්පාදන සම්බන්ධතාවය වුනේ ඉඩම් හිමියා-දාසයා,රදලයා-ගොවියා වර්ගයේ සම්බන්ධතාවයයි.අද ඒ වෙනුවට "ප්‍රධාන"වශයෙන් දකින්න තිබෙන්නෙ ප්‍රාග්ධන හිමියා-වැටුප් ශ්‍රමිකයා කියන සම්බන්ධතාවය.පරන වැඩවසම් සබදතාවය පසෙකට ඇදල දාල ධනවාදි සබදතාවය ප්‍රමුඛ වෙලා තියෙනවා.ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන සංඝටක වන ඇගලුම් කර්මාන්තය,විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් එන මුදල්,විවිද සේවා සපයන ආයතන - මේවායේ තියෙන්නෙ ධනවාදය මිසක් වෙන මොකක්වත් නෙමේ.දියුනු ධනේශ්වර රටවල් සිය ප්‍රාග්ධනය අපනයනය කරල ලංකාව තුල ආයෝජන කරල තියනව.ප්‍රාග්ධන අපනයනය කියන්නෙ වැඩවසම්වාදයට කොහෙත්ම අදාල නොවෙන ධනවාදි ලක්ෂනයක්.කොටින්ම ලංකාවේ ආර්ථිකය වැඩවසම්වාදී කියන එක විෂය නොදැනීමේ ප්‍රතිඵලය මිස වෙනෙකක් නෙමේ.


මේක ප්‍රධාන වශයෙන් ධනවාදි සමාජයක්.හැබැයි පරන සමාජයේ ලක්ෂන තවම ඉතිරි වෙලා තියෙනවා.ඒකට හේතුව ලංකාවට ධනවාදය ගෙනාපු ආකාරය එක්ක කතාකරන්න ඔනෙ.(බටහිර ර‍ටවල වගේ නෙමේ මෙහෙ තියෙන්නේ බ්‍රිතාන්‍ය විසින් උඩින් ආරෝපනය කල ධනවාදයක්.මේක වෙනම මාතෘකාවක්)


කොහොම හරි වැඩේ මේකයි.අවුරුදු 60 ක දේශීය ධනපති ක්‍රමය ලංකාව අවුල් කරල විනාස කරල තියනව මිස ඉදිරියට ගෙනියන්න සමත් වෙලා නැහැ.කොටින්ම අද රට තියෙන්නෙ අවුරුදු 60කට පෙර තිබුන දේශීය අතිරික්තය පවා විනාස කරගත්ත ලෝකයටම නය වුන පරාධීන දුර්වල හා බෙලහීන තැනක.මේක ධනවාදය නෙමෙ වෙන එකක් කියල පෙන්නන්න මොන තරම් ට්‍රයි එක දුන්නත් මේ තමයි ලංකාව වගේ පරිධියේ රටවල මේ යුගයේ ක්‍රියාත්මක වෙන ධනවාදය.ඒ ඇත්ත වහන්න බැහැ.


මේ අන්දමින් ගිය සංවාදය අවසානයේ මා සිය පංතියෙන් එළියට දමා ඇත. taboosubjects විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන අතර ඔහුගේ සටහන් පිළිබඳ අදහස් දක්වන ඇතැම් අය ඔහුට 'සර්' කියති. එහෙත්, අපට 'සර්' වන්නැයි අප ඔහුගෙන් ඉල්ලා නැත. මා විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා නැති අතර විශ්වවිද්‍යාල යයි කියන ලංකාවේ මහා විද්‍යාලවලින් ගුරුහරුකම් ගන්නට තරම් මට මාන්දමක් ද නැත.


මෙවැනි බුද්ධිමය චණ්ඩින්ට එරෙහිව ද අපට අරගලයක් තිබේ. අතීතයේ අපට හමු වූ මෙවැනි චණ්ඩින් ගැන ද අනාගතයේ ලියන්නට අදහස් කරමු. 


කාලිංග ඇතුලත්මුදලි ගැන ඔබ ම ලියූ සටහන නැවත කියවා බලන්නැයි මම taboosubjects ගෙන් ඉල්ලා සිටිමි. 


සංවාදයට රිසි නම්, ඔබ ලියූ රාජ්‍යවාදය ධනවාදයෙන් වෙන් වන බෙදුම් රේඛාව පැහැදිලි කර දෙන ලෙස ඉල්ලමි. මට මෙහිදී අවශ්‍ය වන්නේ 'සමාජවාදී' රාජ්‍ය පද්ධතියේ බලපෑම තිබුණු සමයේ රාජ්‍යවාදය පිළිබඳ දැන ගැනීමට නොව, වර්තමාන රාජපක්ෂ සමාගමේ රාජ්‍යවාදය ධනවාදයෙන් වෙනස් වන ආකාරය පිළිබඳ ඔබේ විග්‍රහය දැනගන්නටයි. 


-අජිත් පැරකුම් ජයසිංහ

ආයුබෝවන් නිරුවත් ධනවාදය! අපි කෲර ඔබ සාදරයෙන් පිළිගනිමු.

අජිත් පැරකුම් ජයසිංහ


මහින්ද රාජපක්ෂ කළ ගුණ සලකන්නැයි පොළවේ හැපෙමින් පළි දරමින් ද , 'ලංකාවේ මේ සිදු වන්නේ කුමක්ද?' මැයෙන් අප පෙබරවාරියේ ලියූ ලිපියක් පිළිබඳ අදහසක් ඒ වකවානුවේ සුමිත් චාමින්ද සහෝදරයා විසින් ලියන ලද විශ්ලේෂණයක ගැබ් විය. අප නූතන තත්වය විග්‍රහ කිරීම සඳහා භාවිතා කරන්නේ යල් පැන ගිය ආවුද බව හා ඒවා මගින් සිදු වෙමින් තිබෙන දෙය තේරුම් ගත නොහැකි බව මට මතක හැටියට ඔහුගේ ලිපියේ වූ එක් අදහසකි. මා ලියූ ලිපියේ එක් තැනක මම මෙසේ සටහන් තැබීමි.


"මහින්ද රාජපක්ෂ කළ ගුණ සලකන්නැයි පොළවේ හැපෙමින් පළි දරමින් ද, අතිශය කෲර ලෙස පහර දෙමින් ද, මේ ඉල්ලා සිටින්නේ පශ්චාත් යුද කාලීන ලංකාවේ පාලනය සඳහා යුක්ති යුක්ත හිමිකමකි. එය ලබා දිය යුතු ය යන ස්ථාවරයේ ඉන්දියාව මෙන් ම එක්සත් ජාතික පක්ෂය ද සිටින බව පැහැදිලි ය. බටහිර ද එය දැඩිව ප්‍රශ්න කරන්නේ නැත. බටහිර ධනවාදයේ ඒජන්තයන් වන එජාපයට 'රට භාරයි නුඹට පුතේ' කියන්නට පෙර මහින්ද ලවා ම සුළු ජාතීන්ගේ අරගල හොඳින් හෝ නරකින් මර්දනය කිරීම, කම්කරු අරගල පාගා දැමීම, ජවිපෙ දිය කර දැමීම, ගැමි ගොවි පංතිය නාගරීකරණයට අභිමුඛ කිරීම, රාජ්‍ය අංශය විනාශයේ දොරටුව අසලට ගෙන ඒම හා පෞද්ගලික අංශය සංවර්ධනයේ එංජිම බවට පත් කිරීම වැනි දුෂ්කර කාර්යයන් සම්පූර්ණ කර ගැනීම බටහිර ධනවාදයේ ඉලක්කයයි. 2005දී අරලියගහමන්දිරයෙන් පිට වී ගිය සාමකාමී ආකාරයට ම මිස්ටර් ක්ලීන් ලෙස යළි එහි පැමිණිය හැකි සුබ අනාගතයක් පිළිබඳ සම්මුතියක් පිළිබඳ රනිල් වික්‍රමසිංහ දකින සිහිනය මේ හා සමපාත වේ."


අප සමග දුරකථනයෙන් කතා කළ තවත් මිතුරෙක් මා පිළිබඳ අනුකම්පා සහගත ස්වරයකින් පැවසුවේ මේ සිදු වන දේ ඒ අන්දමින් ම විග්‍රහ කළ නොහැකි බවයි. යථාර්ථය ඇතැම් විට අපට උවමනා තරම් සංකීර්ණ නොවී සරළ අන්දමින් පෙනී සිටියි.


අලුත් ඇමති මණ්ඩලය වැඩ අල්ලන්නේ කොළඹ නගරයේ පේමන්ට් කඩ හා සිඟමන වැනි දිළින්දන්ගේ පාදඩ රැකියා ප්‍රචණ්ඩ ලෙස අහෝසි කර දමමිනි. මෙය සමස්ත ක්‍රියාවලියක එක් පියවරක් ලෙස දැකීමට අසමත් පයින් යන්නෝ රුපවාහිනි කැමරා ඉදිරියේ සිය සතුට ප්‍රකාශ කළහ. කොළඹ වීදිවල පාදඩ ආධිපත්‍යය වෙනස් කිරීමට ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ අනාගත සැලැස්මට අනුකූලව කොළඹ නගරය දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන්ටත්, ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ටත්, ඔවුන්ට සේවා සපයන වෙනත් ව්‍යාපාර හා ශ්‍රමිකයන්ටත් උචිත අන්දමින් සකස් කිරීමටයි. නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනීමට රජයට උවමනා වන්නේ මෙම ක්‍රියාවලිය වඩාත් මර්දනකාරී ස්වරූපයකින් කිරීමටයි.


දුප්පත් මිනිසුන් විසින් ඔසවා තබන ලද මේ ධනේශ්වර ආණ්ඩුවේ භාවිත ආර්ථික මූලෝපාය වන්නේ කිසියම් ස්ථානයක වෙසෙන මිනිසුන්ගේ ජීවිත සමස්තයක් ලෙස නගා සිටුවන සංවර්ධනයක් අත්පත් කර දීම නොවේ. මෙම ක්‍රමයට සංවර්ධනය යනු ප්‍රාග්ධනය, ඉදිකිරීම්, ගනුදෙනු, ආදායම් හා වියදම් ආදිය වැඩි වීමයි. මේ ආර්ථික වර්ධනය තුළ සාමාන්‍යයෙන් ඇති එකා තවත් ශක්තිමත් වන අතර නැති ම එකාට මිනිස් කසල තත්වය උරුම වේ. ලංකාව හැර වේගවත් ආර්ථික වර්ධනයක් ඉලක්ක කළ තවත් බොහෝ රටවල එය එසේ ම සිදු වී තිබේ.


පිටකොටුවේ ලුම්පන් දිළින්දන්ට දැන් ඉතින් තිබෙන්නේ නැවතත් සොරකම, මංකොල්ලකෑම හා මැර වැඩ වැනි දැන් වෙනත් විධියකින් කරන දන්නා වෘත්තියකට පිවිසීම හා එහි ආදීනව අනුභව කිරීමයි. 'අපරාධ ජාලය' ලෙස හඳුන්වන දේශපාලන නායකත්වයේ ආශිර්වාදය නොලබන අපරාධකරුවන් මර්දනය කිරීමේ විශේෂ මෙහෙයුමක් සඳහා ද ආරක්ෂක ලේකම්වරයා පොලිසියට නියෝග කර ඇති බව කටානේ පොලිස් විද්‍යායතනය විවෘත කිරීමේදී ඔහු හෙළිදරව් කළේය. සුබ අනාගතය යනුවෙන් හඳුන්වන ආර්ථික වෘද්ධියේ නාගරික දිළින්දන්ගේ කොටස එයයි.


පාදඩ පංතිය මර්දනය කිරීමෙන් පාලකයන්ට මධ්‍යම පංතිය අතර ජනප්‍රිය විය හැකි ය. එහෙත්, මීළඟ පොලිස් ක්‍රියාමාර්ග යොමු වනු ඇත්තේ ජීවන වියදම හමුවේ වැඩි පඩි ඉල්ලා සටන මගට පිවිසෙන වැඩ කරන ජනයාට එරෙහිව වීමට බොහෝ දුරට ඉඩ තිබේ. 'මේක ඉතා ම හොඳ වැඩක්' කියා රූපවාහිනීවලට කියන පයින් යන දුප්පත් මිනිසුන්ට ද හෙට ආර්ථික වර්ධනයේ තම කොටස ලැබෙනු ඇත. ඒ මේ වැඩපිළිවෙල මැද කොළඹින් පටන් ගෙන දිවයින පුරා අඬු බඬු විහිදුවද්දී ය. රජයේ සේවකයන් වැනි මධ්‍යම පංතිකයන්ගේ වෘත්තීය සටන්වලට ගුටි බැට ලැබෙන විට රූපවාහිනී කැමරා මේ දිළින්දන් සොයා යනු ඇත. 'මේක ඉතා ම හොඳ වැඩක්' යි එවිට ඔවුන් කියනු ඇත.


මෙවැනි ධනේශ්වර ආර්ථික සංවර්ධන මූලෝපායන් විසින් සමාජ විෂමතා අධික ලෙස ඉහළ නංවනු ලැබේ. ධනවතුන් තවත් ධනවත් වෙද්දී දිළින්දන්ට තව තවත් දිළිඳු වන්නට සිදු වනු ඇත. පැවැත්ම සඳහා මෙම ආර්ථික යන්ත්‍රයේ ඇණයක් මුරිච්චියක් වන්නට කාටත් සිදු වනු ඇත.


ලංකාවේ පාලකයන් විසින් මේ වන විට ඉදිරියට ගනිමින් සිටින කිසිදු සදාචාරයක් නැතිව සියල්ල විකුණාගෙන කන මේ ධනවාදී වැඩසටහන එක්සත් ජාතික පක්ෂයේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' සැලැස්මෙන් වෙනස් වන්නේ වර්තමානයේදී රාජ්‍ය අංශයේ ව්‍යවසාය වැඩි වීම නිසා පමණි. රාජ්‍ය ව්‍යවසාය යනු මහජන දේපල යයි වරදවා වටහා ගත යුතු නැත. ඒ වනාහි, දේශපාලන හා නිලධාරි තන්ත්‍රයේ ඉහළින් ම වැජඹෙන පිරිස්වලට ලාභ ලබා දෙමින් මහජනයාට බරක් වන සමාගම් සමූහයක් මිස අන් යමක් නොවේ.


මෙම ආර්ථික මූලෝපායේ කොල්ලකාරිත්වය නිරූපණය කරන කදිම නිදසුනක් වන්නේ මේ වන විට විල්පත්තු අභය භූමියේ සිදු වෙමින් පවතින මහා වන විනාශයයි. යුද්ධයේ නිමාවත් සමග දැන් විල්පත්තු වනයේ වෘක්ෂලතා හා වන සතුන් මුහුණ දෙන්නේ අලුත් යුද්ධයකටයි. ඒ වනාහි විල්පත්තු වනෝද්‍යානය සංචාරකයන්ට අලෙවි කිරීම සඳහා සූදානම් කිරීමේ දැවැන්ත මෙහෙයුමකි. ඒ අතර මහා දැව ජාවාරමක් ද සිදු වේ.


ලංකාවේ මිනිස් ක්‍රියාකාරකම්වලින් අඩුවෙන් ම හානියට පත් වනාන්තර ප්‍ර‍දේශ පිහිටා තිබෙන වනාන්තරයකි, විල්පත්තුව. ජාතික වෘක්‍ෂලතා පනතට පටහැනි වන අයුරින් පුත්තලම – මන්නාරම මහාමාර්ගය ඉදිකිරීමට එරෙහිව මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. පෙත්සම්කරුවන් කියන පරිදි පැරණි මන්නාරම පාර විල්පත්තු අභය භූමිය හරහා තිබියදී කිලෝමීටර් 35 ක් දිග පුත්තලම - මන්නාරම නව මහාමාර්ගයක් ඉකුත් ජනවාරි මස 26 දින විවෘත කරන ලදී. එසේම වෙරළට මායිම්ව ද මාර්ග දෙකක් ඉදිකර තිබේ. මෙම ඊනියා 'සංවර්ධනය' විසින් විල්පත්තු වනාන්තරයේ ස්වාභාවික පරිසරයට හා වන සතුන්ට ඇති කර තිබෙන කරදරකාරී තත්වය සුළු පටු එකක් නොවේ.


මේ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින පරිසරවේදියකු හා බටහිර විරෝධී චින්තකයකු වන චම්පික රණවක මේ සිදු වන සන්තෑසිය ගැන කිසිවක් නොකියයි. ‍විල්පත්තු වනෝද්‍යානය තුළ මේ මහා 'සංවර්ධනය' සිදු වෙද්දී එම වන අයන භාර ඇමතිවරයා ඔහු වුව ද ඔහුට එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් සැබෑ පාලනයක් නොතිබිණි. ඊනියා බටහිර විරෝධී න්‍යායාචාර්යවරුන්ට පශ්චාත් යුදකාලීන ලංකාවේ අත් වී තිබෙන කණගාටුදායක ඉරණම පිළිබඳ මෙය කදිම නිදසුනකි. මත්පැන්වලට, දුම්වැටිවලට, ඒකොන්ට, කොට ගවුම්වලට, මස් කෑමට හා නිල් චිත්‍රපට ආදියට විරුද්ධ වනවා හැර කරන්නට අන් යමක් සිංහ කොඩිය අතින් ගත් ධනේශ්වර පාලනය විසින් සිංහල ජාතිකවාදී ව්‍යාපාරයට ද ඉතිරි වි නැත. අපට තිබෙන මූලික ප්‍රශ්නය චම්පික රණවක හා තවත් සිංහල ජාතිකවාදී න්‍යයාචාර්යවරයකු වන නලින් ද සිල්වා දැන් ක්‍රියාත්මක වන සංවර්ධන මූලෝපාය පිළී ගන්නවා ද යන්නයි. මෙම සංවර්ධන මූලෝපායත් බටහිර ධනවාදයත් අතර ඔවුන් වෙනසක් දකිනවාද?


එහෙත්, මෙය නොවැළැක්විය හැක්කකි. 2005දී ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයක් එක්ව රනිල් වික්‍රමසිංහ රජය පරාජය කරමින් මෙම ධනේශ්වර ප්‍රහාරයට වැට කඩුලු බැඳීමට අවසන් උත්සාහය දරන ලදී. ධනවාදය මගහැර පසුගාමී සමාජ වෙනස්කම් ඔස්සේ සමාජවාදයට කෙටි මං සෙවූ උතුරේත්, දකුණේත් රැඩිකල් සමාජ ව්‍යාපාර දෙකට වෙල්ලමුල්ලිවයික්කාල්හිදී හා හම්බන්තොටදී සතුරා මුහුණට මුහුණ හමු විය.


අලුත් ශ්‍රී ලංකාවට හිරු පායමින් ඇත. ආයුබෝවන් නිරුවත් ධනවාදය! අපි කෲර ඔබ සාදරයෙන් පිළිගනිමු. සමාජවාදය වෙනුවෙන් සටන් කරන්නට අලුත් පාරක් සොයා ගත යුතුව ඇත.

ජොන්ස්ටන් එජාපයේ සිටියදී සතොස කෑ හැටි | How new Sri Lanka Minister of Food and Cooperatives destroyed CWE

ඒ කාලෙ
(2010 අප්‍රේල් 30 - W3Lanka)  පසුගිය එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදී ඇතැම් ඇමැතිවරු පිටරටින් භාණ්ඩ ආනයනය කළ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන්ට රිසි සේ වෙළෙඳ පොළේ බඩු මිල වැඩි කර පාරිභෝගිකයා ගසා කෑමට ඉඩහැර ස.තො.ස. වසා දමා සේවකයන් 3500කට රැකියා අහිමි කළ බවත් ආහාර හා සමුපකාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.


මේ අපරාධය කළ බව කියන ඇමතිවරු සිටින කැබිනට් මණ්ඩලයේ ජොන්ස්ටන් ද සිටියේය. එවකට ඔහු ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති ය. එසේ ම මීට පෙර ආහාර හා සමුපකාර විෂය භාරව සිටි බන්දුල ගුණවර්ධනත් සිටියේ ය. මේ තීරණ ගන්නා අවස්ථාවලදී ඔවුන් ඒවාට විරෝධය පළ කළ බවට කිසිදු වාර්තාවක් නැත.


මේ කියන අපරාධ කිරීම සඳහා තීරණ ගනු ලැබුවේ මේ දෙන්නා ම සිටි කැබිනට් මණ්ඩලය විසිනි. එම තීරණ ඒ අනුව සාමූහික තීරණ වේ. කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම අනුව මෙම වැරදිවලට මේ දෙන්නා ද වගකිව යුතු ය.

Jokeland News: දෙහිවල ඉස්පංචියා ජාතියේ පොඩි බාප්පාගේ කණ අත ගායි

(2010 අප්‍රේල් 30 - W3Lankaලොකු මල ඇ‍ඳේ පෙරළි පෙරළී කොට්ට කකා නවත්තා ගන්නට බැරිව කඳුළු පනිනතුරු හිනා වුණේ ය. ජාතියේ අම්මා මෙය දැක කලබල වූවා ය. 


"බුදු පුතේ උඹට කවුරු හරි වස දුන්නද?" යි ඈ හම්බන්තොටටත් ඇහෙන සද්දෙට විලාප දුන්නා ය. 


"මොකද හත්වලාමේ මේ කණ් දෙක පොට්ට කරන්න හදන්නෙ?" යි කණ ළග පිපිරූ හෙණයෙන් තක්බීර් වූ ලොකු මල සිනාව නවත්තා ඇසුවේ ය.


"මං බය වුණා ජාතියේ අනාගතය හබක් කියලා," යි කියූ ජාතියේ අම්මා "උඹට මොකවත් අමාරුවක් නැහැ නේද ලොකු පුතේ?" යි හිස අතගාමින් ඇසුවාය. 


"පිස්සුද? මගේ අමාරු හොඳ කර ගන්න බැරි නම් මං මොකටද ජාතියේ පුතා වෙලා." ලොකු මල කීවේ ය.


"ඉතින් ඇයි උඹ හිනා වුණේ? තණමල්විල පැත්තෙවත් ගියාද?"


ලොකු මලට නැවතත් හිකිස් ගා හිනාවක් පැන්නේ ය. "ඒක නෙමෙයි බුදු අම්මෙ, බාප්පට ඉස්පංචියා දීලා ඇදලා මූණ පුරා."


"මොන බාප්පටද?"


"වෙන කාටද? ජාතියෙ පොඩි බාප්පට මිසක්."


"කවුද ගහලා තියෙන්නෙ?"


"ඉස්පංචියා."


"මොකා?"


"ඉස්පංචියා අම්මෙ ඉස්පංචියා. අර දෙහිවල ඉන්න එකා."


මේ සද්දය ඇසී සූරියප්පෙරුමාල් රජගෙදර කුස්සියේ වළං හේදිල්ල නවතා දුව ඇවිත් කාමරයට හොස්ස දැම්මේය. "ඉස්පංචියා නෙමෙයි බේබි, චිම්පන්සියා. මේ චිම්පන්සියා කියන්නෙ අපේ ගමේ වැවෙන් නාලා, කුරහන් කලප කාලා, සීපද කිය කියා හැදිච්ච හරිම පුදුම සතෙක්."


"අනේ පලයං සිම්පංචියො යන්න මේ කොලුවගෙ ඔලුව මඤ්ඤං කරන්නෙ නැතිව," යි කියමින් ජාතියේ අම්මා කඩා පැන්න පැනිල්ලට සූරියප්පෙරුමාල් ලිබ්බොක්කට ම වීසි වුණේ ය. 


"එල, මමී!" යි කියමින් ලොකු මල මව් යානයේ මුහුණ සිප ගත්තේය. "අපේ තාත්තනෙ ඔය මට ගමයි, කුරහනුයි ගැන කියාදෙන්න ඔය ඇන්ටික් එක මෙහේ එව්වෙ. ඌ දන්න ගම! කොළඹ කාක්කා!"


"ඉතින් පුතේ සිම්පන්චියා මොකද ජාතියේ බාප්පගේ කණ අතගාලා තියෙන්නෙ? ගෝරිල්ලෙක් කියලා හිතල බය වෙලාද?"


"පිස්සුද අම්මෙ? ඒ ඉස්පංචියාට හොඳට මොළේ තියෙනවා."


"ඉතින් මොකද ඌ මේ ඉල්ලං කන්න හදන්නෙ? චීනෙට ස්ථාන මාරුවක් ඕනැ වෙලාද?"


"නෑ අම්මෙ, ඉස්පංචියා කිව්වලු උඹ ගාව යැංකි ගඳයි කියලා."


"නෑ!"


"නෑ නෙමෙයි ඔව්!"


"අම්මප ඌට නම් මේ රටේ ජහමනයාට වඩා මොළේ තියෙනවා. ඉතින් උඹ ඉස්පංචි භාෂාව දන්නවයැ."


"මට දන්න එකෙක් කිව්වෙ."


"කවුද? සූරියප්පෙරුමාල්ද? විශ්වාස කරන්න එපා, අංකූරා!"


"ඌ දන්නව ඇති ඕනැ නම් ඔරං ඔටං භාෂාව."


"ඉතින් කවුද උඹට මේක කිව්වෙ?"


"ඇයි අම්මෙ, මේකෙ තව ඉස්පංචියො කීදෙනෙක් ඉන්නවද? බලන්නකො තාත්තා අල්මාරියත් එක්ක ගත්ත ෆොටෝ."


"අල්මාරිය නෙමෙයි ගොනෝ කැබිනට් එක."

2010-04-29

චම්පිකට, නලින්ට එන්න කියාපිය - මේවට උත්තර දෙන්න කියාපිය

(2010 අප්‍රේල් 29 - W3Lankaලංකාවේ පාලකයන් විසින් මේ වන විට ඉදිරියට ගනිමින් සිටින්නේ කිසිදු සදාචාරයක් නැතිව සියල්ල විකුණාගෙන කන ධනවාදයකි. මේ ධනවාදී සැලැස්ම එක්සත් ජාතික පක්ෂයේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' සැලැස්මෙන් වෙනස් වන්නේ වර්තමානයේදී රාජ්‍ය අංශයේ ව්‍යවසාය වැඩි වීම නිසා ය. රාජ්‍ය ව්‍යවසාය යනු මහජන දේපල යයි වරදවා වටහා ගත යුතු නැත. ඒ වනාහි, දේශපාලන හා නිලධාරි තන්ත්‍රයේ ඉහළින් ම වැජඹෙන පිරිස්වලට ලාභ ලබා දෙමින් මහජනයාට බරක් වන සමාගම් මිස අන් යමක් නොවේ.


මෙම කොල්ලකාරිත්වය නිරූපණය කරන කදිම නිදසුනක් වන්නේ මේ වන විට විල්පත්තු අභය භූමියේ සිදු වෙමින් පවතින මහා වන විනාශයයි. යුද්ධයේ නිමාවත් සමග දැන් විල්පත්තු වනයේ වෘක්ෂලතා හා වන සතුන් මුහුණ දෙන්නේ අලුත් යුද්ධයකටයි. ඒ වනාහි විල්පත්තු වනෝද්‍යානය සංචාරකයන්ට අලෙවි කිරීම සඳහා සූදානම් කිරීමේ දැවැන්ත මෙහෙයුමකි. ඒ අතර මහා දැව ජාවාරමක් ද සිදු වේ.


ලංකාවේ මිනිස් ක්‍රියාකාරකම්වලින් අඩුවෙන් ම හානියට පත් වනාන්තර ප්‍ර‍දේශ පිහිටා තිබෙන වනාන්තරයකි, විල්පත්තුව. ජාතික වෘක්‍ෂලතා පනතට පටහැනි වන අයුරින් පුත්තලම – මන්නාරම මහාමාර්ගය ඉදිකිරීමට එරෙහිව මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. පෙත්සම්කරුවන් කියන පරිදි පැරණි මන්නාරම පාර විල්පත්තු අභය භූමිය හරහා තිබියදී කිලෝමීටර් 35 ක් දිග පුත්තලම - මන්නාරම නව මහාමාර්ගයක් ඉකුත් ජනවාරි මස 26 දින විවෘත කරන ලදී. එසේම වෙරළට මායිම්ව ද මාර්ග දෙකක් ඉදිකර තිබේ.


මෙම ඊනියා 'සංවර්ධනය' විසින් විල්පත්තු වනාන්තරයේ ස්වාභාවික පරිසරයට හා වන සතුන්ට ඇති කර තිබෙන කරදරකාරී තත්වය සුළු පටු එකක් නොවේ.


පසුගිය දිනෙක සිදු වූ තවත් සිද්ධියකදී සෝමාවතී වන උයනේ කොටසක්‌ බැකෝ යන්ත්‍ර යොදා විනාශයට පත් කරමින් සිටි වන අපරාධකරුවන් පිරිසක්‌ අත්අඩංගුවට ගත් වනජීවී නිලධාරීන්ට පහර දී එම අපරාධකරුවන් මුදාගෙන යාමට පාලක පක්ෂයට සම්බන්ධ ප්‍රාදේශීය සභාපතිවරයකු කටයුතු කළේය. මෙම ප්‍රාදේශීය සභාපතිවරයා සමග භික්ෂුවක් ද සිටි බව වාර්තා වේ. ජාතික මට්ටමෙන් විල්පත්තුව වනසද්දී ප්‍රාදේශීය දේශපාලනඥයෝ සෝමාවතිය වැනි කැළෑ වනසති. මේ වන විට මෙවැනි සියලු ජාවාරම් සිදු වන්නේ ආණ්ඩු පක්ෂයේ ආශිර්වාදයෙනි. පාලකයින්ගේ දොළ පිදේනි නොදී දැන් මෙවැනි ජාවාරම් කිරීමට බැරි තරම් ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් රටේ ඇති වී තිබේ.


මේ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින පරිසරවේදියකු වන චම්පික රණවක මේ සිදු වන සන්තෑසිය ගැන කිසිවක් නොකියයි. ‍


අපට තිබෙන මූලික ප්‍රශ්නය චම්පික රණවක හා තවත් සිංහල ජාතිකවාදී න්‍යයාචාර්යවරයකු වන නලින් ද සිල්වා දැන් ක්‍රියාත්මක වන සංවර්ධන මූලෝපාය පිළී ගන්නවා ද යන්නයි. මෙම සංවර්ධන මූලෝපායත් බටහිර ධනවාදයත් අතර ඔවුන් වෙනසක් දකිනවාද?


කොටින් ම මේ රටේ සම්පත් තිබෙන්නේ සුද්දන්ට විකුණාගෙන කන්නද?

අනවසර කඩ ඉවත් කිරීම පිටුපස ඇති දේශපාලනය | Politics behind removal of unauthorized structures in Colombo

(2010 අප්‍රේල් 29 - W3Lankaකොළඹ නගරයේ වීදිවල පාදඩ ආධිපත්‍යය වෙනස් කිරීමට ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ අනාගත සැලැස්ම වන්නේ කොළඹ දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන්ටත්, ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ටත්, ඔවුන්ට සේවා සපයන වෙනත් ව්‍යාපාර හා ශ්‍රමිකයන්ටත් උචිත අන්දමින් සකස් කිරීමටයි. 


නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනීමට රජයට උවමනා වන්නේ මෙම ක්‍රියාවලිය වඩාත් මර්දනකාරී ස්වරූපයකින් කිරීමටයි.


සිඟන්නන්ට හා පදික වේදිකාවේ වෙළඳුන්ට සිය රැකියා අහිමි වන්නේ එහෙයිනි. 


කුම්බලා මාළු කෑවා නම් දුක විඳිය යුතු ය. දුප්පත් මිනිසුන් විසින් ඔසවා තබන ලද මේ ධනේශ්වර ආරථික මූලෝපායේ අරමුණ කිසියම් ස්ථානයක වෙසෙන මිනිසුන්ගේ ජීවිත නගා සිටුවා සංවර්ධනයක් අත්පත් කර ගැනීම නොවේ. මෙම ක්‍රමයට සංවර්ධනය යනු ප්‍රාග්ධනය, ඉදිකිරීම්, ගනුදෙනු ආදිය වැඩි වීමයි. 


ඇති එකා තවත් ශක්තිමත් වන අතර නැති ම එකාට මිනිස් කසල තත්වය උරුම වේ. 


පිටකොටුවේ ලුම්පන් දිළින්දන්ට දැන් ඉතින් තිබෙන්නේ නැවතත් සොරකම, මංකොල්ලකෑම හා මැර වැඩ වැනි දැන් වෙනත් විධියකින් කරන දන්නා වෘත්තියකට පිවිසීම හා එහි ආදීනව අනුභව කිරීමයි. 'අපරාධ ජාලය' ලෙස හඳුන්වන ලොක්කන් හා සම්බන්ධ නැති අපරාධකරුවන් මර්දනය කිරීමේ විශේෂ මෙහෙයුමක් ද සූදානම්ව තිබේ. 


සුබ අනාගතය යනුවෙන් හඳුන්වන ආර්ථික වෘද්ධියේ දුප්පතුන්ගේ කොටස එයයි. 


'මේක ඉතා ම හොඳ වැඩක්' කියා රූපවාහිනීවලට කියන පයින් යන දුප්පත් මිනිසුන්ට ද හෙට ආර්ථික වර්ධනයේ තම කොටස ලැබෙනු ඇත. 


රජයේ සේවකයන් වැනි මධ්‍යම පංතිකයන්ගේ වාත්තීය සටන්වලට ගුටි බැට ලැබෙන විට රූපවාහිනී කැමරා මේ දිළින්දන් සොයා යනු ඇත. 'මේක ඉතා ම හොඳ වැඩක්' යි එවිට ඔවුන් කියනු ඇත. 


මෙවැනි ධනේශ්වර ආර්ථික සංවර්ධන මූලෝපායන් විසින් සමාජ විෂමතා අධික ලෙස ඉහළ නංවනු ලැබේ. ධනවතුන් තවත් ධනවත් වෙද්දී දිළින්දන්ට තව තවත් දිළිඳු වන්නට සිදු වනු ඇත. පැවැත්ම සඳහා මෙම ආර්ථික යන්ත්‍රයේ ඇණයක් මුරිච්චියක් වන්නට කාටත් සිදු වනු ඇත. බලාපොරොත්තු වන්න. 


මැද කොළඹින් පටන් ගත් මේ ගමන හම්බන්තොටටත් යනු ඇත. 

ව්‍යවස්ථා සංශෝධනය තුන්වන වරටත් ජනාධිපති වන්නයි | Sri Lanka President's constitutional reform is to hold the post for the third term

(2010 අප්‍රේල් 29 - W3Lankaජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හුදෙක් ම සිය පුත්‍රයා වන නාමල් රාජපක්ෂ රාජ්‍ය නායකත්වය සඳහා යෝග්‍ය තත්වයට ගොඩනැ‍ඟෙන තෙක් සිය ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා කරනු ලබන්නක් බව පෙන්නුම් කරන මාධ්‍ය වාර්තා නිකුත් වෙමින් තිබේ. 


ඩේලි මිරර් හා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත් වාර්තා කරන ආකාරයට ජනාධිපතිවරයා උත්සාහ කරමින් සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට නොව විධායක ජනාධිපති ධුරයේ තුන් වරක් ඉන්නට පුළුවන් ක්‍රමයක් සකස් කර ගන්නටයි. 


දැනට විපක්ෂයේ සිටින මන්ත්‍රීන් කීපදෙනෙකු බාගෙන මෙම සංශෝධනය 2010 නොවැම්බරයේ සිය දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දීමට පෙර කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව වාර්තා වේ. 


අදාළ සංශෝධනය කෙරුණොත් මහින්ද රාජපක්ෂ 2022 දක්වා මේ රටේ ජනාධිපතිවරයා වීමට ඉඩ තිබේ. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 77ක් පමණ වන අතර නාමල් රාජපක්ෂගේ වයස අවුරුදු 36ක් පමණ වනු ඇත. 

2010-04-28

(අයියෝ) සිරිසේන නාන්න පටන් ගනියි - Jokeland News

(2010 අප්‍රේල් 28 - W3Lankaබැ(රි)සිල්ට ජෝක්ලන්තයේ මගඇති වීමට තිබෙන එකම අභියෝගය වන (අයියෝ) සිරිසේනට "ඉඳා නාගනින්" කියා මහ රජු නියම බාල්දියක් දුන්නේ ය. ඒ වනාහි සවුත්තු අමාත්‍යංශයයි.


සවුත්තු අමාත්‍යංශයේ ලේකම්කම භාර දුන්නේ මහ රජ්ජුරුවන්ගේ උගුර පාදන සැත්කම කර දුන් උගුර, කණ, නාසය භාර දොස්තරටයි. දත් දොස්තරට මාළු අමාත්‍යංශය භාර දුන් එකේ උගුර, කණ, නාසය දොස්තරට සවුත්තු අමාත්‍යංශයේ ලේකම්කම දෙන එකේ වරදක් නැත. වරද නම් එතුමා මහ රජ්ජුරුවන්ගේ උගුර පාදා දුන්නාට ග්‍රාමීය රෝහලකවත් පරිපාලනයක් කර නැති වීමයි.


අත්සන් කරන්නේ පෑනෙන් බවවත් නොදන්නා පබා රට පාලනය කරන්නට පාර්ලිමේන්තුවට යවන රටේ උගුරක සැත්කමක් කළ හැකි දොස්තරට සවුත්තු අමාත්‍යංශය පාලනය කරන්නට බැරි නොවන්නත් පුළුවන.


කෙසේ වෙතත්, (අයියෝ) සිරිසේන මේ දුන් බාල්දියත් අරගෙන ළිඳ ළඟට දුවගෙන ගියේ අමුඩයත් අමතකව ය. කොහොමත් අපට විලි ලැජ්ජාවක් තියෙන එකක් යයි කියා සිරිසේන අමුඩය නැතුවම නාන්නට පටන් ගත්තේ ය.


පළවෙනි බාල්දිය නාන විට ඔහුට මාර කල්පනාවක් ආවේ ය. පොළොන්නරුව ඉස්පිරිතාලය මධ්‍යම ආණ්ඩුවට පවරාගෙන මහ රෝහලක් කළේ ය. ඒ රෙද්දේ මහ රෝහලක පහසුකම් තියා මොන මළදානයක්වත් නැති බව සිරිසේනට කල්පනා වූයේ දෙවන බාල්දිය නාන විටයි.


"කමක් නැහැ මම ජනාධිපති වුණා ම හම්බන්තොට සිතියමෙන් මකලා පොළොන්නරුව අගනුවර කරනවා," යි සිතූ සිරිසේන ‍තවත් බාල්දියක් නෑවේ ය.


"මං පොළොන්නරුවේ වරායකුත් හදනවා," සිරිසේන සිතුවේ ය. "ඒකෙ නැව් පාවෙන්නෙ මෙහෙමයි," කියූ සිරිසේන බාල්දිය ළි‍‍ඳේ පා කර ඇර ඇඟ අතුල්ලන්නට වූයේ ය. අඩියේ තඩි හිල් ගොඩක් තිබුණු බැවින් බාල්දිය පටස් ගා ළිං පතුලට ම බැස්සේ ය.


සිරිසේන බාල්දිය ගැනීමට ළිඳට පැන්නේ ය. තමන් පීනන්න නොදන්නා බව මතක් වුණේ තුන්වෙනි පාරට ගිලෙන්නට පෙර කුඹුක් මුලක එල්ලෙද්දී ය.


කකුල් පටලැවෙමින් ගොඩට එන විට පොළොන්නරුවේ මුහුදක් නැති බව සිරිසේනට මතක් වූයේ ය.


වහා සරම ඇඳගත් සිරිසේන අමත්‍යංශයට දුවන්න පටන් ගත්තේ නහය ළගට ම ගිලුණාට පසු කරන්නේ කුමක්දැයි උගුර, කණ, නාසය පිළිබද දොස්තරගෙන් අසා දැන ගන්නට ය.


ඔහු දුවනු දුටු කිසිවෙක් කුඹුක් ගහ පල්ලේ සිට ඔලොක්කු සිනාවක් පෑවේ ය.


"කවුද හු.... පොළොන්නරුවෙ මට හිනා වෙන්නෙ?" සිරිසේන ක්‍රාස් ගා බ්‍රේක් ගසා හැරී ඇසුවේ ය.


බැ(රි)සිල් දා නාන්නට ළිඳට ඇවිදින් ය.

සිගන්නා හා දේශපාලකයා අතර සමානකම් | Similarities between Sri Lankan beggar and politician

(2010 අප්‍රේල් 28 - W3Lankaසිඟාකෑම තහනම් කිරීම පිළිබඳ අප විසින් පළ කරන ලද විවේචනාත්මක අදහස පිළිබඳව කතා කරමින් Dark Lord මෙසේ අසා තිබිණි.


හිඟන මුදලාලිලාට කප්පං නොදී "දුප්පත්" අය හිඟා කාපු කාලෙ ඉවර වෙලා ගොඩක් කල්. හිඟා කෑම පවතින්නෙ මිනිස්සු දුප්පත් නිසා නෙවෙයි, හිඟා කෑමෙන් ලැබෙන ආදායම හොඳ නිසා. ලංකාවෙද ඉන්නෙ?


'පාඨකයා' මෙසේ කීවේ ය: සම්පූර්ණ ඇත්ත. හිඟාකෑම කියන්නෙ ව්‍යාපාරයක්. ඔය මිනිස්සුන්ට මොන තරම් දේවල් දුන්නත්, හිඟාකෑම නවත්තන්න ඒ අය කැමති නෑ.


මෙහිදී අපට කුමාරතුංග මුනිදාසයන් ලියූ කවි දෙපදයක් සිහි වේ.
"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී - සිඟාකෑම බැරි වූ කල ලගී ගයා මර ගී"


ලංකාවේ සිඟන්නන් හා දේශපාලකයන් අතර මූලික සමානකම් රැසක් ම ඇත. පහත පළ වන්නේ ඒවා අතරින් කීපයකි.


සිඟන්නා තමන්ගේ තුවාලය සුව කර නොගෙන එය විකුණා කයි. දේශපාලකයා රටේ තුවාල සුව නොකර ඒවා විකුණාගෙන කයි.


සිඟන්නා බොරු පූච්චානම් කියා ඔබෙන් මුදල් ඩැහැගනියි. දේශපාලකයා බොරු පූච්චානම් කියා ඔබේ ඡන්දය ඩැහැ ගනියි.


සිඟන්නා කටේ තොලේ නොගෑවී බොරු කියමින් නැති දේ මවා පායි. දේශපාලකයා කටේ තොලේ නොගෑවී බොරු කියමින් නැති දේ මවා පායි.


සිඟන්නා රැකියාව කරන විට වැරහැලි ඇඳ සිට දවස අවසානයේ හොඳ ඇඳුම් ඇඳ ගනියි. දේශපාලකයා උත්සවවලට ජාතික ඇඳුම ඇඳ පසුව කලිසම්, ටයි, කෝට් අඳියි.


සිඟන්නා දවස පුරා සිඟා කා සවසට ඔබේ මුදලින් ෂොට් එකක් දමාගෙන ආතල් එකක් ගනියි. දේශපාලකයා දවල් දවසේ හොර බොරු කර රෑට මහජන මුදලින් නයිට් ක්ලබ් ගොස් ආතල් ගනියි.


සිඟන්නා දිළින්දෙකු ලෙස පෙනී සිටිය ද බැංකු ගිනුම්වල මුදල් ඇත. දේශපාලකයා මුදල් නැති බව කීව ද ස්විස් ගිනුම්වල මුදල් ඇත.


සිඟන්නා මොන දේ ලැබුණත් සිඟාකෑම නම් ව්‍යාපාරය අතහරින්නේ නැත. දේශපාලකයා ද මොන දේ ලැබුණත් දේශපාලනය නම් ව්‍යාපාරය අතහරින්නේ නැත.

ඇමති බබාලාට නිලධාරි කොබාලාගෙන් ඇති කරදර ගැන (මාල)දිවයින ළමා පත්තරයේ සරණපාල බබා මෙසේ ලියයි

(2010 අප්‍රේල් 28 - W3Lanka
ඇමැතිවරුන්ගේ නමින් ජාවාරමකට සැරසෙති! (හානේ බලන්නකෝ මේ නිලධාරි කරන වැඩ!)


(අ)සරණපාල පමුණුව (කුක්කු බබා)


අලුතින් පත්වූ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් සඳහා අලුත් අලුත් අමාත්‍යාංශ කාර්යාල ඇති කිරීම සඳහා ඇතැම් අමාත්‍යාංශ නිලධාරීන් විසින් සියුම් ව්‍යාපාරයක්‌ ගෙන යන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කර ඇත. (බලන්න ඇමතිලාට හොරෙන් මුන් කරන කැත වැඩ!) අලුතින් පත්වූ සියලුම අමාත්‍යවරුන් සඳහා අංග සම්පූර්ණ සේවා අමාත්‍යාංශ කාර්යාල තිබියදී ඒවා වෙනුවට අලුතින් රුපියල් ලක්‍ෂ ගණනින් ගෙවා කාර්යාල ගොඩනැඟිලි කුලියට ගැනීමටත් ඒවායින් සැළකිය යුතු මුදලක්‌ සාක්‌කුවලට දමා ගැනීමටත් මෙම ඡාවාරම් පසුපස සිටින අයගේ අරමුණ වී ඇතැයිද කියති. (මේ මුදල් යන්නේ නිලධාරින්ගේ සාක්කුවට විතරමයි.)


රට සංවර්ධන කිරීම කෙසේ වෙතත් නිලධාරී පැළැන්තිය දැන් සිටම තම මඩිය තරකර ගැනීමට අවශ්‍ය පසුබිම සකස්‌ කරමින් ඇතැම් ඇමැතිවරුන් නොමග යෑවීමේ මෙබඳු ක්‍රියාකාරකම් අරඹා ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි. (බලන්නකෝ, මේ චූටි ඇමතිවරුන්ගේ නොදන්නාකමින් මේගොල්ලන් අයුතු ප්‍රයෝජන ගන්න හැටි!)


කෙසේ හෝ යළිත් එබඳු තත්ත්වයක්‌ උදා වුවහොත් අමාත්‍යවරුන්ගේ අභිනව කාර්යාල සකස්‌ කිරීම සඳහා රුපියල් කෝටි ගණනක්‌ වියදම් වියහැකි බවද කාර්යාල කුලියට ගතහොත් ඒවා එකලස්‌කර අලුතින් අමාත්‍යාංශ කාර්යාල බවට පත්කිරීමට කුලිය මෙන්ම කෝටි ගණනක මුදලක්‌ වියදම් වන බවද වැඩි දුරටත් එම ආරංචි මාර්ග හෙළිකර ඇත. (මීට කලින් කවදාවත් ඇමතිවරු කාර්යාල වෙනස් කරලා නැහැනේ! අනේ පව් (අ)සරණපාල! හා, හා, ඔච්චර බය වෙලා කලිසම තෙමා ගන්න එපා.)

2010-04-27

අපරාධ ජාලය වැනසීමේ මහා මෙහෙයුම හා පොලිස් රාජ්‍ය පදනම | Operation to eliminate the crime network and laying foundation for a police state

(2010 අප්‍රේල් 27 - W3Lankaත්‍රස්තවාදය තුළින් රට පුරා මතුවූ අපරාධ ජාලය සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දී ඇති බව අද දිනමිණ වාර්තා කරයි.

පුදපු ගමන් කාපි යකා වගේ මෙවැනි ප්‍රශ්නයක් මතු වේ. මර්දනය කරනු ලබන්නේ ත්‍රස්තවාදය තුළින් රටපුරා මතුවූ අපරාධ ජාලය පමණක්ද? දේශපාලන අනුග්‍රහයෙන් රට පුරා පැතිරුණ අපරාධ ජාලය මෙයට අදාල නැද්ද?

ත්‍රස්තවාදයේ ද අංශ දෙකක් තිබේ. එනම් රාජ්‍ය හා රාජ්‍ය නොවන ලෙසයි. රාජ්‍ය ත්‍රස්තවාදය දේශපාලන අනුග්‍රහය ලත් ත්‍රස්ත ජාලය සමග අතිනත ගෙන සිටින බව රහසක් නොවේ.

කෙසේ වෙතත්, දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරීමට සියලු උපදෙස් ලබාදී ඇතැයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරයි. මේ උපදෙස් වඳුරාට දුන් දැලි පිහිය බවට පත් වී පෞද්ගලික පළිගැනීම් සඳහා ද උපයෝගී කර නොගන්නා බවට වග බලා ගැනීමක් ද පාලකයන් පැත්තෙන් තිබිය යුතු ය. 

'එක රටක්, එක ත්‍රස්තවාදයක් හා එක පාතාලයක්' යන ප්‍රතිපත්තිය ද නරක ම නැත. ත්‍රස්තවාදයන් හා පාතාලයන් රැසකින් බේරෙනවාට වඩා එකකින් මිය යාම පහසු ය.

ත්‍රස්තවාදී උවදුරින් මතුවූ මෙම අපරාධ ජාලය විනාශ කිරීමට නොහැකි වූයේ වසර 30ක් ආරක්ෂක හමුදාවට සහාය වීමට පොලීසියට සිදුවූ නිසා බව ද නොයෙක් අවස්ථාවල අපරාධ ජාලය විනාශ කිරීමට පොලීසිය කටයුතු කළත් සම්පූර්ණයෙන්ම පොලිස් බලය යෙදීමට කාලයක් නොතිබුණ බවද ආරක්ෂක ලෙකම්වරයා පවසයි. ඇතැම් පොලිස් නිලධාරීන් පමණක් නොව අධිකරණය හා සම්බන්ධ පුද්ගලයන් පවා මෙම අපරාධ ජාලය සමග සම්බන්ධ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්, අපරාධ ජාලය විනාශ කිරීමේ මෙහෙයුම් කලින් පාතාලය මර්දනය කිරීමට යොදා ගත් පැන යන්නට තැත් කළ බව කියා මහ මග වෙඩි තබා මරා දැමීමේ අවනීතික ක්‍රියාමාර්ගය බවට පත් වීම පුරවැසි සමාජයකදී නම් අනුමත කළ නොහැකිය.

ලංකාව නීතියේ පාලනය ඇති රටක් බවට පත් නොකර මෙම ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට යාම රෝග නිධානය පසෙක තිබියදී රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම හා සමාන වේ.

පශ්චාත් යුද කාලීන ලංකාවේ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්නත් කලින් පොලිසිය ඉදිරියට ගැනීමට පාලකයන්ට උවමනා වී තිබෙන්නේ ඇයිද යන්න විමසා බැලීම වැදගත් කරුණකි. 

පාදඩ පංතිය මර්දනය කිරීමෙන් පාලකයන්ට මධ්‍යම පංතිය අතර ජනප්‍රිය විය හැකි ය. එහෙත්, මීළඟ පොලිස් ක්‍රියාමාර්ග යොමු වනු ඇත්තේ ජීවන වියදම හමුවේ වැඩි පඩි ඉල්ලා සටන මගට පිවිසෙන වැඩ කරන ජනයාට එරෙහිව වීමට බොහෝ දුරට ඉඩ තිබේ. 

සිඟාකෑම, ගසාකෑම, අනාගෙන කෑම සහ බස් ධාවනය

(2010 අප්‍රේල් 27 - W3Lanka ) පෞද්ගලික බස් රථවලට ගොඩවී සිඟාකෑම හා වෙළඳාම් කිරීම මැයි 1 දා සිට තහනම් කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න තීරණය කර ඇති බව අද පුවත්පත් වාර්තා කරයි.


තහනම් නියෝග නිකුත් කරන ගැමුණු විජේරත්න යනු බස් හිමියන්ගේ සංගමයක සභාපතිවරයකු මිස රාජ්‍ය නිලධාරියකු නොවේ. එහෙත් ඔහුට නීතිමය පදනමක් තිබේ. ජාතික ගමනාගමන කොමිසන් සභාව මඟින් දුරගමන් බස්රථ සඳහා නිකුත් කරන මාර්ග බලපත්‍රවල සිඟාකෑම හා වෙළඳාම තහනම් බවට සඳහන් කර ඇති බවද ඒ මහතා කියයි. සිඟාකෑම සහ වෙළෙඳාම් නතර කිරීමට පොලිසියේ සහායද අවශ්‍ය බව විජේරත්න මහතා කියයි. අප සිතන පරිදි නම් පළමුව අවශ්‍ය වන්නේ බස් සේවකයන්ගේ සහායයි. අනෙක් පැත්තෙන් මාර්ග බලපත්‍රවල තිබෙන අනෙකුත් කොන්දේසි ගැන ගැමුණු විජේරත්නට කියන්නට තිබෙන්නේ කුමක්ද?


පෞද්ගලික බස් සේවයෙහි තිබෙන ප්‍රධාන ගැටලුව සිඟමන් යැදීම හා වෙළඳාම නොවේ. බස් සේවකයන්ට විනයක් නැතිකම, අධික ලෙස සෙනග පැටවීම, අධි වේගයෙන් හෝ අධික සෙමින් ධාවනය, සුඛෝපභෝගී යයි කියා වැඩිපුර මුදල් අය කරන බස්වල කිසි ම සුඛයක් නැති වීම වැනි තමන්ට ඍජුව ම අදාළ ප්‍රශ්න ගැන ගැමුණු විජේරත්න කතා නොකරයි.


සිඟන්නන් මෙන් කිළුටු පෙරාගෙන සිටින, ගඳ ගසන බස් සේවකයන් නෑවීම හා පෙරේතයන් වැනි අය විසින් පවත්වාගෙන යන ආපනශාලා අසල දුර ගමන් බස් නවත්වා මගීන් ගසා කා එයින් කොටසක් බස් සේවකයන් සාක්කුවේ දමාගැනීම වැළැක්වීම වැනි දේ ගැමුණු විජේරත්නට පහසුවෙන් කළ හැකි ය.


ලංකාවේ රාජ්‍ය පාලනයේ දුර්වලකම් විසින් වර්ධනය කර තිබෙන දිළිඳුකම, සමාජ පාදඩකරණය, නිසි සමාජ සුබසාධන ක්‍රම නැතිකම ආදිය  විසින් සිඟමනට ඉඩකඩ සලසා තිබෙන අතර සිඟාකන එක් අයෙකු දිනකට රුපියල් 4000 ක් 5000 ක් අතර මුදලක් සොයා ගන්නා බවට ගැමුණු විජේරත්න කරන ප්‍රකාශය ඇත්ත වීමට ද පුළුවන.


සිඟමනේ හා වෙළඳාමේ යෙදෙන ඇතැම් අය බස් රියදුරන්ට හා කොන්දොස්තරට තර්ජනය කරන අවස්ථා පවා තිබෙන බවද මෙය මඟීන්ට මහත් කරදරයක් බව ද සම්පූර්ණ ඇත්තකි.


සිඟමන නැවැත්වීම මෙමගින් පමණක් කළ හැක්කක් නොවේ. මිනිස් කසල බවට පත් වී තිබෙන මේ ජීවිත බරපතල සමාජ ප්‍රශ්නයකි. මේ මිනිස් කසලවලින් වැඩි කොටසකට ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවියෙකි. මේ ජනතාවගේ ජීවිත නඟා සිටුවීමට හා තව තවත් මිනිසුන් වඩා හොඳ ආදායම් මාර්ගයක් ලෙස සලකා සිඟමනට හා ඒ හා සම්බන්ධ ජීවන රටාවට අනුගත වීම වැළැක්වීමට එටේ ආර්ථිකයේ සංවර්ධනයක් ද සිදු විය යුතු ය. එහෙත් සියල්ලට පළමුවෙන් ලංකාවේ කරන්නට සැරසෙන්නේ දිළින්දන් දැඩි මර්දනයකට ලක් කිරීමයි. අප මෙම ක්‍රියාමාර්ගය විවේචනය කරන්නේ එහෙයිනි. 


ලංකාවේ දැන් සිදු වන්නේ බල්ලාට කළින් පොල්ල ඒමයි.

2010-04-26

මහ ඡන්දයෙන් පසු දේශපාලනය | Politics following the general election of Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ -


ලංකාවේ ජනයාගෙන් බහුතරය වත්මන් පාලකයන් ප‍්‍රතික්ෂේප කර තිබෙන බවට තර්කයක් ඇත. මෙම තර්කයට පදනම් වන්නේ ඡන්දය දීම සඳහා නොපැමිණි පිරිස හා විරුද්ධ පක්ෂවලට ඡන්දය දුන් පිරිස එක්ව ගත් කල පාලක පක්ෂයට ඡන්දය දුන් පිරිසට වඩා වැඩි හෙයිනි. 


ඡන්දය දීමේ ප‍්‍රතිශතය අඩු වීම පිළිබඳව තර්ක කරමින් ආණ්ඩුවට පක්ෂ දේශපානඥයන් පෙන්වා දෙන්නේ ඇතැම් දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ප‍්‍රකාශ වන සාමාන්‍ය ඡන්ද ප‍්‍රතිශතය මීටත් වඩා අඩු බවයි. එහෙත් දියුණු ධනේශ්වර රටවල ආණ්ඩුව සමග පුරවැසියන්ගේ සම්බන්ධය හා ලංකාව වැනි නොදියුණු රටක ආණ්ඩුව සමග මෙහි වෙසෙන ගැහැනුන් සහ පිරිමින්ගේ සම්බන්ධය එකිනෙකින් සපුරා වෙනස් ය. දියුණු ධනේශ්වර රටවල පුරවැසියන්ගේ ආදායම් උත්පාදනය කර ගැනීමේත්, තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිළ දී ගැනීමේත් ක‍්‍රියාවලියට ආණ්ඩුව ඍජුව ම මැදිහත් වන්නේ නැත. ආණ්ඩුව බදු අය කරනමුත්, එම සමාජයනට එකී බදු ලංකාවේ බදු තරම් පීඩාකාරී වන්නේ නැත. 


ලංකාවේ ආණ්ඩුව වනාහි ආර්ථීක, සමාජ ජීවිතයේ හැම අහුමුල්ලකට ම අඬු විහිදුවන බූවල්ලෙකි. මිනිසුන් ආදායම් උපයා ගන්නා ආකාරය හා භාණ්ඩ හා සේවා මිළ දී ගන්නා ආකාරය පාලනය කිරීමට පමණක් නොව මිනිසුන් මස් කෑම තහනම් කරන්නට හෝ දුම්බීම, මත්පැන් බීම නවත්වන්නට හෝ නිල් චිත‍්‍රපට බැලීම තහනම් කිරීම වැනි ක‍්‍රියාමාර්ග හරහා ලිංගික ආස්වාදය ලබා ගන්නා ආකාරය පාලනය කරන්නට හෝ පවා ආණ්ඩුව ප‍්‍රචණ්ඩ ලෙස මැදිහත් වේ. මර්වින් සිල්වා කැළෑ නීතියෙන් බාර් වැසූ කල ත‍්‍රිරෝද රියදුරන් වැනි දුරාචාරවලට වැඩි නැඹුරුවක් ඇති සමාජ කණ්ඩායම් පවා එය පසසා ජනමාධ්‍යවලට කතා කරති. තමන්ව ආණ්ඩු මට්ටු කිරීමට කෙවිටක් ගත් ආණ්ඩුවක් ඔවුනට අවශ්‍ය ය.


දේශපාලනඥයා නමැති වෘත්තිකයා දියුණු සමාජයන්හිදී ලංකාවේ මෙන් සුපිරි තරුවක් වන්නේ නැත. ලංකාවේ නම් ක‍්‍රිකට් ගසා ලොව ම දිනූ සනත් ජයසූරියටත්, සිනමාවෙන් යම් තරමක විශ්ව කීර්තියකට පත් මාලිනී ෆොන්සේකාටත්, වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය තිස්ස විතාරණටත් තමන් ප‍්‍රවීණත්වය ලබා ගත් ක්ෂේත‍්‍රවලින් ලැබෙන සමාජ තත්වයට වඩා මන්ත‍්‍රී පදවියකින් ලැබෙන තත්වය වැදගත් ය. ලංකාවේදී දේශපාලනය යනු බලයේ, ධනයේ, කීර්තියේ හා ලිංගිකාස්වාදය ලබාගැනීමේ ප‍්‍රබල ම මූලාශ‍්‍රයයි. ඡන්දදායකයන් විෂයෙහි ගත් කල ද රැුකියාවක්, කොන්ත‍්‍රාත්තුවක්, ව්‍යාපාරයට පහසුකම්, ගෙදරට විදුලිය, පාරට තාර, පොලිසියෙන් උදව්, ළමයින්ට පාසල්, මළගෙදරට මල්වඩම් ආදී හැම එකකට ම දේශපාලකයන් අවශ්‍ය වේ.
  
ලංකාවේ මිනිසුන් ඡන්දය දමන්නට නොයන්නේ මෙවැනි සංදර්භයකදී හෙයින්  එය දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයන්හි තත්වය සමග සමාන්තරගත වන්නේ නැත. මෙහි ඇත්තේ පවත්නා දේශපාලන ක‍්‍රමය කෙරෙහි තදබල කලකිරීමක් හා එය වෙනස් කිරීම සඳහා මැදිහත් වීමට අවස්ථාවක් ඡුන්දය දීම හරහා නොලැබිම නිසා ඇති වන ඉච්ඡා භංගත්වයකි. ලංකාවේ පාලකයන් හා සෙසු දේශපාලනඥයන් මෙම තත්වය ගැඹුරින් විග‍්‍රහ කර ගැනීමට සමත් වී නැත. සමස්ත දේශපාලන ක‍්‍රමය ම ජනතාව අතරින් සැලකිය යුතු ප‍්‍රතිශතයකගේ තදබල කලකිරීමට හේතු වී තිබෙන බව දේශපාලනඥයෝ තේරුම් ගත යුතු ය. රාජ්‍ය බලය මුලූ ජවයෙන් ම යෙදවීමෙන් පසුව පවා ජනමතය පූර්ණ ලෙස තමන්ට අවශ්‍ය අන්දමින් හැඩගස්වා ගැනීමට හැකි වී නැති බව පාලකයෝ වටහා ගත යුතු ය.

කෙසේ වෙතත්, පවත්නා ජාතික හා ජාත්‍යන්තර දේශපාලන රාමුව තුළ පිළිගනු ලබන නෛතික තත්වයන් හරහා මෙම තත්වයන් ප‍්‍රශ්න කිරීමට තිබෙන ඉඩකඩ සීමිත බැවින් තමන්ගේ පාලන වරම යුක්තියුක්ත යයි තර්ක කිරීමට හා එය සමාජය වෙත බලෙන් පැටවීමට ආණ්ඩුවට හැකියාව තිබේ. එහෙයින් වත්මන් දේශපාලන ක‍්‍රමය පිළි නොගන්නා බලවේගය මුහුණ දෙන්නේ අර්බුදයකටයි. දැන් ඉතින් ඔවුන් කළ යුත්තේ කුමක්ද?


දැනට පවතින විපක්ෂ, රැඩිකල්වාදී හා ජාතිකවාදී දේශපාලන පක්ෂ සියල්ල ම වර්තමාන ඛෙදය නිර්මානය කිරීමෙහි ලා පංගුකාරයන් වූ, එසේ ම වත්මන් ක‍්‍රමය සමග සම්මුතිගත වීමට කැමති හා විකල්ප සාධනය කිරීමට ඓන්ද්‍රිය වශයෙන් ම අසමත් බලවේගයකි. නිදසුන් ලෙස අද ක‍්‍රියාත්මක වන කොල්ලකාරී රාජ්‍ය ආර්ථීක ක‍්‍රමයට හෝ සිංහල ස්වෝත්තමවාදී රාජ්‍ය ආධිපත්‍යයට, සිංහල-දෙමළ ජාතිවාදී දේශපාලනයට හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට මහජන කැමැත්ත බලය යොදා හැඩගස්වා ගැනීමේ ක‍්‍රමවේදයට හෝ විකල්පයක් ඉදිරිපත් කිරීමට වර්තමාන දේශපාලන පක්ෂ කිසිවක් සමත් වී නැත.

මේ අතර, පීඩිත ජන අරගලයන් ජාතිවාදයෙන් තෙම්පරාදු කරගෙන, ඒ ඔස්සේ සැබෑ අභියෝගය වූ ධනවාදයට මුහුණට මුහුණ ලා සටන් කිරීම මගහැර සිට, අවසානයේ ජාතිවාදයේ ම සලූපිළි ඇඳගෙන ආ ධනේශ්වර මහින්ද රාජපක්ෂගේ ප‍්‍රහාරයෙන් අන්දමන්ද වී ගිය ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ඊලාම් විමුක්ති කොටි යන අතරමැදි පංතික බලවේගයන්ගේ පසුගාමී කොටස් මේ වන විට සිය තුවාල ලෙවකමින් නැවතත් කල් මරමින් සිටින්නේ සිය පැරණි ජාතිවාදී සටන් පාඨ ම යළි එසවිය හැකි අවස්ථාවක් උදා වනතුරුයි. මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී නායකත්වයෙන් ඌරාගේ මාලූ ඌරාගේ ම ඇඟේ තබා කැපීමේ ව්‍යාපෘතියෙන් පසු, ජයග‍්‍රාහී ලාංකික පාලකයන් දෘෂ්ඨිවාදීමය වශයෙන් ද ශක්තිමත් ධනේශ්වර පාලනයක් බවට පත් වීමට අසමත් වන්නේ නම්, පරාජිත කොටින්ගේ හා ජනතා විමුක්ති පෙරමුණේ පසුගාමීන්ට යළි අවස්ථාවක් ලැබෙන්නට ඉඩ තිබේ.

ලාංකීය දේශපාලන ප‍්‍රජාව වත්මන් සිරවීමෙන් ඉදිරියට තල්ලූ කිරීමෙහි ලා විශාල වගකීමක් ධනේශ්වර පංතියට මෙන් ම අතරමැදි පංතික බලවේගවලට ද තිබේ. මෙම දෙපාර්ශ්වය ම දැන් උත්සාහ කළ යුතුව තිබෙන්නේ තමන් මෙතෙක් සිරගත වී සිටි ජාතිවාදී ව්‍යාපෘතිවලින් මිදීමට උත්සාහ කිරීමයි. සිංහල-දෙමළ ජාතිවාදයන්ගේ සීමාවන්ගෙන් ඔබ්බට විහිදුණු ලාංකීය ජාතියක් ගොඩනැ`ගීමේ වගකීම මෙම බලවේග දෙකෙහි ම ප‍්‍රගතිශීලින්ට තිබේ.
  
ජාතිකවාදී යුද්ධය විසින් මාර්ග බාධක පණවා තිබුණු ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා‘ පන්නයේ ‘සංවර්ධනයකට‘ හෙවත් ආර්ථීක වර්ධනයකට යුද්ධයේ අවසානය විසින් දැන් නැවතත් පාරවල් ඇර තිබේ. සිය රාජ්‍ය කළමනාකරණය යම් තරමකට හෝ කාර්යක්ෂම කර ගතහොත් ලංකාවේ පාලකයන්ට මේ ලැබී ඇති අවස්ථාව චිරස්ථායී කර ගැනීම දුෂ්කර වන්නේ නැත. ආර්ථීකය කඩා වැටී සමාජ-දේශපාලන අර්බුදයක් නිර්මානය වනතෙක් බලා සිටීමෙන් ජවිපෙට හා විමුක්ති කොටින්ට ලැබෙනු ඇත්තේ ඔන්න වැටුණා, මෙන්න වැටුණා යයි පෙනෙන එලූවාගේ වාෂණ කෝෂ අහුලාගෙන කන්නට ඌ පසුපසින් ගිය නරියා ලැබූ අත්දැකීම වන්නට ඉඩ තිබේ.


පීඩිත ජන අරගල මෙහෙයවූ මෙම බලවේගවලට තමන්ට පරාජය අත් කර දුන් සතුරන්ගෙන් පළිගැනීමේ චේතනාව නයි බීත්තරයක් සේ රකිමින් කාලය ගත කිරීමට අයිතිය තිබේ. එහෙත්, තමන් ලද පරාජයන්ට හේතු වූයේ සතුරාගේ සාර්ථකත්වයටත් වඩා තමන්ගේ දෘෂ්ඨිවාදීමය හා උපායමාර්ගික වැරැදි බව තේරුම් ගතහොත් ඔවුනට අලූත් ප‍්‍රවේශයන් වෙත එළඹීම පහසු වනු ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම අද ලාංකීය සමාජය හමුවේ තිබෙන ප‍්‍රධාන ම අවශ්‍යතාව ලෙස ජයග‍්‍රාහී ධනේශ්වර බලවේග මෙන් ම පරාජිත පීඩිත පංති බලවේග ද වටහා ගත යුතුව තිබේ. වත්මන් දේශපාලන ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කරන්නෝ ද සිය අරගල නාභිගත කළ යුතුව තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම වෙතයි. 

ආසියාවේ ආශ්චර්යය හදන කැබිනට්ටුව සම්බන්ධීකරණයට වෙන ම ඒකකයක් | A unit to coordinate Sri Lanka's Ministries

(2010 අප්‍රේල් 26 - W3Lanka ) අමාත්‍යාංශ අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම සඳහා අමාත්‍යාංශ සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ප්‍රකාශ කරයි.


පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය ඉහළ අගයක් ගෙන තිබූ අතර ඒ නිසාම විවිධ අමාත්‍යාංශවලට සමගාමී විෂයයන් බෙදා වෙන් කිරීමේ ගැටලු පැන නැගී තිබුණු බව ද ඔහු පවසයි.


නව ඇමැතිවරුන්ට අදාළ විෂයය පථ වෙන් කිරීම පිළිබඳ ගැසට් පත්‍රය ලබන සතියේ නිකුත් කෙරේ.


පසුගිය රජයේ ඇමතිවරුන් බොහොමයක් කටයුතු කළේ ඇමතිකම යනු දිවයින කතුවැකියේ කියන ආකාරයට 'බිරිඳට, මස්‌සිනාට, දූ දරුවන් යනාදීන්ට තම පෞද්ගලික කාර්ය මණ්‌ඩලයේ රැකියා සහ රථ වාහන ලබාදීම, රැකියා අවස්‌ථා රුපියල් ලක්‌ෂ 2 බැගින් විකිණීම, කොමිස්‌ ගැසීම, ටෙන්ඩර් පාස්‌ කරදීම යනාදිය' සඳහා අවස්ථාවක් ලෙසයි.


ආසියාවේ ආශ්චර්යය නිර්මානය කිරීම සඳහා පත් කර තිබෙන මෙම ඇමති මණ්ඩලය කාර්යක්ෂම කිරීම සඳහා තව පියවර රැසක් අවශ්‍යව තිබේ.

කැලනියේ බාර් ඇරලා | Liquor shops open in Kelaniya

(2010 අප්‍රේල් 26 - W3Lanka ) අභිනව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලෙස පත් වී සිටින මර්වින් සිල්වා අප්‍රේල් 08 දින පැවති මහ මැතිවරණයෙන් විශාල මනාප ප්‍රමාණයක් ලබාගෙන ජයග්‍රහණය කිරීමෙන් පසු ඔහු නියෝජනය කරන කැලනිය ආසනයේ මත්පැන් අලෙවි කිරීම තහනම් කර ප්‍රදේශයේ සාරධර්ම පිළිබඳ අදහස් රාශියක් දැක්වූයේ ය. 


එම තහනම අතරතුර ද කැලනිය ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් අලෙවිය ගජරාමෙට සිදු විය. බැහැරින් අරක්කු ගෙන ඒමට යන මිනිසුන්ගෙන් ත්‍රිරෝද රියදුරන්ට හයර් වැඩි වී තිබුණු බව ද වාර්තා වේ. ඇතැම් ත්‍රිරෝද රියදුරෝ ජනමාධ්‍යවලට අදහස් දක්වමින් මර්වින් සිල්වා මන්ත්‍රීගේ ක්‍රියාව මහ ඉහළින් අගය කළහ.


දැන් එකී මත්පැන් තහනම ඉවත් කර තිබේ. ඒ අනුව රජයට බදු ගෙවන මත්පැන්හල් මෙන් ම බදු නොගෙවා කැලනිය විහාරය සමීපයේ දේශපාලන බලයෙන් පවත්වාගෙන යන මත්පැන්හල් ද, හොර මත්පැන්හල් ද දැන් විවෘත ය. 


මර්වින් සිල්වා මන්ත්‍රීවරයා කළ කතාවලට කුමක් සිදු වූයේදැයි නොදනිමු. 


දැන් ඉතින් වැඩේ හරි යයි සිතූ බේබදු සැමියාගෙන් ගුට් කන ගැහැනුන්ට හා සැමියා හීනියට අඩියක් ගැසූ දාට ඇති සැප නොලැබීම යාවිදැයි දුක් වූ ගැහැනුන්ට දැන් නැවත සාමාන්‍ය තත්වයට මුහුණ දීමට ලැබෙනු ඇත. 


රජයේ සුරා බදු ආදායම ද සුපුරුදු ලෙස ම ඉහළ යනු ඇත.