2010-05-31

ජවිපෙ තම ලේ තැවරුණු දෑත් සෝදා ගත යුත්තේ කෙසේද? | How JVP can wash Tamil blood off their hands

(2010 මැයි 31, W3Lankaපහත පළ වන ඡායාරූපවල උතුරේ දෙමළ වැසියන් හමු වෙමින් සිටින්නේ ජවිපෙ දෙමළ නායකයකු වන රාමලිංගම් චන්ද්‍රසේකරන් ය.


පසුගිය සමයේ ජවිපෙ යුද්ධයට දැඩි ලෙස පක්ෂපාත ස්ථාවරයක සිටියේ ය. අවසන් යුද්ධයේදී පවා ඔවුන්ගේ තර්කය වුණේ ආණ්ඩුව යුද්ධය හරි හැටි නොකරන්නේ ය යන්නයි.


එහෙත්, ආණ්ඩුව යුද්ධය අවසන් කළේ ය. ඒ කෙසේද යන්න කවුරුත් දනිති.


උතුරේ මරා දැමුණු කොටි සටන්කරුවා තමන්ගේ ලේ නෑයකු බව රාමචන්ද්‍රන් ඇතුලු ජාතිවාදී නොවන හදවත්  ඇති ජවිපෙ සාමාජිකයනට දැනිය යුතු ය. ඔහු නෑයකු වන්නේ තමන් මෙන් ම පවත්නා අයුක්ති සහගත ක්‍රමයට එරෙහිව සටන් කළ බැවිනි. සටන සඳහා තෝරා ගත් මාවතේ ගැටලු තිබිණි.


සටන් මාවත වැරදුණේ උතුරේ දෙමළ සටන්කාමියාට පමණක් නොවේ. දකුණේ සිංහල සටන්කාරමියාට ද එය ම සිදු විය.


මේ දෙපිරිසේ ම නායකයෝ මනා අවබෝධයකින් යුතුව එකිනෙකා තමන්ගේ සතුරා ලෙස අර්ථකථනය කරමින් ලංකාවේ ජීවත් වන ජාතීන් දෙකක් අතර යුද්ධයක් නිර්මානය කර ඒ ඔස්සේ ඇති වන අරාජික තත්වය තම කණ්ඩායමට බලය ලබා ගැනීමට පාවිච්චි කිරීමට උත්සාහ කළහ.


මේ දෙපාර්ශ්වයට ම තම ගමන් මග දෙස ආපසු හැරී බලන්නට අවශ්‍ය විවේක බුද්ධිය නොතිබිණි.


මේ මාරාන්තික සෙල්ලම අවසන් වූයේ කොටි සංවිධානය යුදමය වශයෙන් ද ජවිපෙ දේශපාලනිකව ද පරාජය වෙමිනි.


දැන් ඉතින් කළ පව් සමා කිරීමට මේ මවුන්ගේ දෑත් ඇල්ලීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත.


සහෝදරයින් මරා දැමීම යනු අම්මාගේ ආදරය මරා දැමීමයි.


උතුරේ සහෝදරයින්ගේ ලේ ‍තම දැත්වලින් සෝදා හරින්නට අවශ්‍ය නම්, ජවිපෙ දැන්වත් ජාතිවාදයෙන් අත්මිදිය යුතු ය. 







ඉන්දියාව අපව කන්න ඉන්න යකෙක්ද? | Is India aiming to eat Sri Lanka?

(2010 මැයි 31, W3Lanka)  ජුනි 03 සිට 05 දක්වා ඉන්දීය ජාත්‍යන්තර සිනමා ආයතනයේ IIFA සිනමා උළෙල ලංකාවේ පැවැත්වේ. මෙය ඉන්දියාව විසින් පශ්චාත් යුද කාලීන ලංකාවේ සාමාන්‍ය තත්වය ඇති වීම ලෝකයට ප්‍රදර්ශනය කිරීම සඳහා ලබා දුන් තෑග්ගක් ලෙස සැලකීම වරදක් නැත.


ලංකාවේ ආර්ථිකයට චීනය කරන මැදිහත්වීම පිළිබඳ ඉන්දියාව ඉන්නේ පරීක්ෂාවෙනි. එහෙයින්, ලංකාවේ රාජ්‍ය නායකයන් සිය බලාධිකාරය තුළ රඳවා ගැනීම පිණිස ඉන්දියාව සියුම් ලෙස කටයුතු කළේ ය. ලංකාවේ බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ලලිත් වීරතුංග වැනි දේශපාලන නායකයන් මෙම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රීඩාව තුළ සියුම් ලෙස කටයුතු කළ අතර මේ වන විට ලංකාවේ හා ඉන්දියාවේ රාජ්‍ය නායකයන් කටයුතු කරන්නේ එකිනෙකාගේ අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයකින් යුතුවයි.


නිදසුනක් ලෙස, ඉන්දියාවට ලංකාවේ දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවශ්‍යව තිබෙන්නේ 1987 ඉන්දු ලංකා ගිවිසුම අනුව ගෙන එන ලද පළාත් සභා ක්‍රමය පූර්ණ අන්දමින් ක්‍රියාත්මක කිරීමටයි. එහෙත් ලංකාවේ පාලකයන් දෙමළ ජනතාව සමග බලය බෙදා ගැනීමට අකැමැති සිංහල ස්වෝත්තමවාදීන් පිරිසක් බව ඉන්දියාව දනියි. එහෙත්, ඔවුන්ට ඕනෑ හැටියට නටන්නට දුන්නොත් තමිල්නාඩුව අස්ථාවර වීමට ලංකාවේ දෙමළ ප්‍රශ්නය බලපානු ඇතිය යන සැකය ඉන්දියාවට තිබේ. එහෙයින් ඔවුහු උපායශීලී ලෙස ලංකාවේ පාලකයන් තම ස්ථාවරය වෙත පොළඹවා ගන්නට උත්සාහ කරමින් සිටිති. 


ආර්ථිකය සම්බන්ධයෙන් ගත් කල ඉන්දියාවට ලංකාව දැනටත් ලාභදායී වෙළඳපොලකි. ‍ලංකාව හා ඉන්දියාව අතර ඇති නිදහස් වෙළඳ ගිවිසුම පුළුල් කරමින් අත්සන් කිරීමට නියමිත විස්තීරණ ආර්ථික සහයෝගිතා ගිවිසුම හෙවත් සීපා ගිවිසුම සම්බන්ධයෙන් ගත් කල ද දෙපාර්ශ්වය ම උත්සාහ කරන්නේ අනෙක් පාර්ශ්වයෙන් කුට්ටියක් කඩා ගැනීමටයි. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් වාසි ලබන අය මෙන් ම පාඩු ලබන අය ද දෙපැත්තේ ම සිටිති. ඉන්දියාව දැවැන්ත ආර්ථිකයක් වන නිසා ලංකාවට බිය වීමට හේතු වන තත්වයක් මෙහි තිබීම පිළි ගත හැක්කකි. එහෙත්, ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ ජාතික ආර්ථික සීමාවන් බොඳ වී යාම වැළැක්විය නොහැකි ය. ලංකාව දක්ෂ වුණොත් වෙනස් සංදර්භයක් නිර්මානය කර ගැනීමට ද බැරි නැත. පටු සංරක්ෂණවාදී විරෝධය වෙනුවට වඩා හොඳ අන්තර් රාජ්‍ය සම්බන්ධයක් හා සංවාදයක් ගොඩනඟා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික දක්ෂභාවයයි.


ගිවිසුම අනුව ලංකාව භාණ්ඩ 32ක බදු ඉවත් කරන අතර ඉන්දියාව භාණ්ඩ 114ක බදු ඉවත් කරයි. සේවා ක්ෂේත්‍රයේ උප අංශ 20ක් ලංකාව විසින් විවාත කරනු ලබන අතර ඉන්දියාව 80ක් විවෘත කරයි. විධායක, කළමනාකාර හා විශේෂඥ රැකියා සඳහා ලාංකිකයන්ට සීමාවකින් තොරව වීසා නිකුත් කිරීමට ද ඉන්දියාව එකඟ වේ. සංඛ්‍යාවලින් පෙන්වන තරම් ම මෙම කරුණු ලංකාවට එක වරම වාසිදායක නොවන්නට පුළුවන. එහෙත්, වෙනස් වන තත්වයන්ට හැඩ ගැසීමට ලංකාවට ඇති ශඛ්‍යතා අව තක්සේරු කර ගත යුතු නැත.  


ඉන්දියාව තමන්ගේ හිස මතට පැටවෙන ආධිපත්‍යයක් නොව කලාපයේ නායක භූමිකාවක් රඟන රාජ්‍යයක් ලෙස පිළිගෙන දෙරට අතර සම්බන්ධය අර්ථකථනය කර ගැනීම ලංකාවට යහපත් ප්‍රතිඵල ලබා දීමට ඉවහල් වනු ඇත.


ආර්ථික කාරණාවලදී ඉන්දීය බලපෑම පිළිබඳ යම් ගැටලු තිබෙනමුත්, සමාජ හා සංස්කෘතික කාරණාවලදී ඉන්දියාව සමග සබඳතා වර්ධනය වීම ලංකාවට යහපත් තත්වයකි.


නිදසුනක් ලෙස ගතහොත්, තලෙයි මන්නාරමේ සිට රාමේශ්වරමට යළි බෝට්ටු සේවා ඇරඹීම ලංකාවේ දූපත් මානසිකත්වය නැති වීම පිණිස මහෝපකාරී වේ. මේ වනාහි අනුරාධපුර යුගයේ පවා දෙරට අතර තිබුණු සාමාන්‍ය සම්බන්ධයක් මිස අලුත් යමක් නොවේ. මේ දෙරට සමාජ, ආර්ථික හා සංස්කෘතික වශයෙන් එකිනෙකාගෙන් අන්‍යෝන්‍ය වශයෙන් පෝෂණය වූ එක් කලාපයක් මිස ලෝක දෙකක් නොවේ.


දැන් මතු වී තිබෙන අලුත් ම තත්වය වන්නේ නැවතත් ඉන්දීය විරෝධයක් මතු කර ගනිමින් තමන් වැටී සිටින දේශපාලන වලවලින් ගොඩ ඒමට ලංකාවේ දේශපාලන ව්‍යාපාර උත්සාහ කිරීමයි. මෙහිදී ප්‍රධාන බලවේගය වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි.


ඉතිහාසයේ යම් යම් යුගවලදී කරන ලද වැරදි ම තමන්ට ඉදිරියට යාමට තිබෙන මාවත් ලෙස නැවත, නැවත තෝරා ගැනීම නිර්මාණාත්මක වශයෙන් බංකොලොත් නූතන ජවිපෙ නායකයන්ගේ සිරිතයි. 1980 දශකයේ අග භාගයේදී මෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට එරෙහිව සටනක් ඇදගෙන වෛද්‍ය ශිෂ්‍යයන් හා වෛද්‍යවරුන් හරහා මධ්‍යම පංතිය තුළ පදනම් ගොඩනඟා ගත හැකි යයි විශ්වාස කළ ජවිපෙ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සටනට යොමු කළමුත් එය සාර්ථක වූයේ නැත. හේතුව ගත වූ විසි වසර තුළ සිදු වූ සමාජ වෙනසයි. අද වන විට ජවිපෙ විසින් උත්කර්ෂයට නංවන ලද මධ්‍යම පංතිය විශ්ව විද්‍යාල පෞද්ගලීකරණයට පක්ෂව විවෘතව ම නැඟී සිටින තත්වයක් ඇති වී තිබේ.


ජවිපෙ ඉන්දීය විරෝධය සම්බන්ධයෙන් ද අපට කීමට ඇත්තේ ජවිපෙ සාර්ථක වනු ඇද්ද යන්න සැක සහිත බවයි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ ජුනියේ කරන ඉන්දීය සංචාරයේදී බලය බෙදීම සම්බන්ධයෙන් දෙරට අතර එකඟතාවක් ඇති වන්නේ නම් එය හොඳ තත්වයකි. ජවිපෙට ඇත්තට ම උවමනාව තිබුණේ කොටි සංවිධානයේ බෙදුම්වාදී අරමුණු පරාජය කිරීමට නම්, දැන් බලය බෙදා ගැනීම හරහා දෙමළ ජනතාව වෙත ළං වීමෙන් කොටි සංවිධානයේ බෙදුම්වාදී ඩයස්පෝරා දේශපාලනයට තිත තැබීමට ම පුළුවන්කම තිබේ.


හම්බන්තොට සහ යාපනයේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල දෙකක් පිහිටවිය යුතු බවට ශ්‍රී ලංකා රජයට බල කිරීමට ඉන්දියාව සූදානමින් සිටින බව කියමින් ලංකා ටෲත් වෙබ් අඩවිය භීතිය අලෙවි කිරීමේ නියැලී සිටියි. අපට ඇසීමට ඇත්තේ එහි ඇති වරද කුමක්ද කියා ය. 


දඹදිව යන්නට වීසා ගන්නට කෙළඹ නොගොස් හම්බන්තොටින් ඒ කාර්යය කර ගැනීමට තණමල්විල කුසුමාවතීට පුළුවන. ජවිපෙ හම්බන්තොට හිටපු මන්ත්‍රී නිහාල් ගලප්පත්තිට ද හම්බන්තොට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් වීසා රැගෙන ඉන්දියාවේ චාරිකාවක් ගොස් පැමිණිය හැකි ය. පක්ෂයට හොරෙන් එරට ප්‍රාන්ත රාජ්‍ය ක්‍රමය ගැන හා පංචායත් සභා ගැන අධ්‍යයනය කර පැමිණිය හැකි ය.


උතුරු පළාතේ සියලු ව්‍යාපෘති සදහා සෘජුව මැදිහත්වීමේ අයිතිය ඉන්දියාවට ලබා දෙන ලෙසද ඉල්ලීමට ඉන්දියාව සූදානමින් සිටින බව ජවිපෙට දැනගන්නට ලැබී ඇත. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය මේ අන්දමින් කටයුතු කරන විට ජවිපෙ සිටියේ කොහිද? ජවිපෙ චීනයේ බලපෑම් පිළිබඳ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින්නේ චිනයෙන් ලැබෙන යම් යම් වාසි නිසා ද?


ඉන්දියාව හා ලංකාව අතර මෙන් ම ලංකාව හා වෙනත් ඕනෑ ම ජාතියක් අතර ද ඇති වන සම්බන්ධතා අහිංසක පෑනේ මිතුරු සබඳකම් නොවේ. ඒවා බල සම්බන්ධතා ය. එමෙන් ම නොවැළැක්විය හැකි ඒවා ය. අනෙකා තමන්ට බොරු වලවල් නො කපන අන්දමින් එකී සබඳතා පවත්වා ගැනීම රාජ්‍ය තාන්ත්‍රිකභාවයයි.


සමාජවාදීන් විසින් ප්‍රවර්ධනය කළ යුත්තේ ජාතීන් අතර යහපත් සම්බන්ධතා වර්ධනය කර ගැනීම මිස උතුරු කොරියානු හුදකලාව නොවේ. සකල ‍දේශ වාසී පීඩිතයන්ට එක් විය හැක්කේ ප්‍රාග්ධනයට සංචලනය වීමට ඇති නිදහස ශ්‍රමයට ද ලැබෙන ලෝකයකයි. අනෙක් දේශය තමන්ගේ පරම සතුරකු ලෙස හැම අයුරින් ම අර්ථකථනය කරන්නට යාම ජාතිවාදයට යට වීමකි. 

2010-05-30

“යාපා පටුනයි දහම් අමාවයි” ආගමික සහජීවනයයි, භීතිය විකිණීමයි | Vesak in Jaffna and opening space to sell fear

(2010 මැයි 30, W3Lankaවසර තිහකට පසුව උතුරු පළාත ද මෙවර වෙසක් සිරියෙන් ඒකාලෝක වූ බැව් සිංහල පුවත්පත් වාර්තා කරයි. මෙතෙක් කාලයකට කිසිම දිනෙක වෙසක් තොරණ, පහන් කූඩු, වෙසක් සැරසිලි දක්නට නොලැබුණු කිලිනොච්චියේ හා මුලතිව් වැනි ප්‍රදේශවල ජනතාව යුද හමුදාව සමඟ එක්වී මහත් උනන්දුවෙන් වෙසක් උත්සවයට සැමරූ බව සිළුමිණ පුවත්පත කියයි. යාපනයේ වෙසක් උත්සවය නැරඹීමට ලක්‍ෂ ගණනක ජනතාවක් පැමිණි බව ද එම පුවත්පතේ ම සඳහන් විය.


උතුරු නැ‍ඟෙනහිර මේ මොහොතේ ජීවත් වන මිනිසුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හමුදාව බව රහසක් නොවේ. හමුදාවේ 99%ක් ම සිංහල බෞද්ධයන් බැවින් ඔවුන් වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් පහන්, තොරන් ආදිය තැනීම හා රාත්‍රියට ඒවා ආලෝකවත් කිරීම සාමාන්‍ය දෙයකි. එසේ ම සිංහල, දෙමළ භේදයකින් තොරව, උසස් වින්දනයක් නොදත් ලංකාවේ ජනයා බසයක් පෙරළීම, මිනිහෙකු මරා දැමීම, ගංවතුර, මැජික් යතිවරු බුදු රැස් විහිදීම ආදී ඕනෑ කෙහෙල්මලක් බලන්නට වැල නොකැඩී යන නිසා උතුරේ දුක්බර ජීවිත ගත කරන දෙමළ මිනිසුන් ලයිට් දැමූ පාට පාට වෙසක් කූඩු බලන්නට යාම ද අමුතු දෙයක් නොවේ.


දුප්පත් මිනිසුන්ට බඩට යමක් වැටෙන දන්සල් පැවැත්වීම නම් අගය කළ යුතු කටයුත්තකි.


යාපනයේ වෙසක් කලාපය නම් කර ඇත්තේ “යාපා පටුනයි දහම් අමාවයි” යනුවෙනි. යාපා පටුනේ මිලිටරි නොවන සාමාන්‍ය වැසියන් වැඩි දෙනා අදහන දහම හින්දු බව ද දෙවැන්න ක්‍රිස්තියානිය බව ද අමතක කළ යුතු නැත.


හමුදා බලයට යටත් අන්‍යාගමිකයන් බහුතරයක් ජීවත් වන ප්‍රදේශයක අත්තනෝමතික ලෙස තැන තැන බුදු පිළිම තැන්පත් කිරීම, සැරසිලි කිරීම, සංදර්ශන පැවැත්වීම විසින් ප්‍රවර්ධනය කෙරෙන ආගමික සහජීවනය කුමක්ද? ඇත්තෙන් ම සිදු වන්නේ ආගමික ආධිපත්‍යය පෙන්වීමක් නොවේද?


මෙම ක්‍රියාවලින් ඇත්තෙන් ම වාසි අත් වන්නේ කාට ද?


දැන් රහසිගතව ප්‍රතිසංවිධානය වෙමින් සිටින කොටි සංවිධානයට සිංහල ආක්‍රමණයක් පිළිබඳ භීතිය විකුණමින් දෙමළ ජාතිකයන් අතර ප්‍රචලිත වීමට මේවා ආධාරක වන බව සිංහල නායකයෝ දන්නවාද?


දෙමළ ජනයා අතර යළි ත්‍රස්තවාදය ඉස්මතු වීම පිළිබඳ පාලකයන් කැමැත්තක් දක්වනවා විය හැකි ය. මන්ද, ජනතා ප්‍රශ්න විසඳීම සඳහා තමන්ට ඇති නොහැකියාව හා වංචා, දූෂණ ආදිය වසා ගැනීමට ආවරණය වන්නට ත්‍රස්තවාදය හොඳ ය.


ත්‍රස්තවාදයට දැන් දෙමළ අරගලයේදී කරන්නට පුළුවන් රෙද්දක් නැති නිසා එය ‍සේවය කරනු ඇත්තේ ඇත්තෙන් ම සිංහල පාලකයන්ටයි. එහෙත්, එයින් පීඩා විඳින්නට සිදු වනු ඇත්තේ දෙමළ හා සිංහල පීඩිතයන්ට ය.


බුදු හිමියන් අද ජීවත් වූවා නම් ආධිපත්‍යය පැතිරීමේ අරමුණු වෙනුවෙන් සිය ආගම පාවිච්චි කිරීම පිළිබඳ දැඩි විරෝධයක් දක්වනු නිසැක ය. 

යාන් හෑලි: අලියා සහ හැඳුනුම්පත

(2010 මැයි 30, W3Lankaපසුගිය දිනෙක රහස් පොලිසියේ නිලධාරීන් පිරිසක් ගංජා අල්ලන්න තණමල්විල පැත්තෙ ගියාලු.


කලේ මැදින් යනකොට ඔවුන්‍ට මහළු හේන් ගොවියෙකු හමු වුණා. රහස් පොලිසිය හේන පරීක්ෂා කළා ඒකෙ තිබුණේ වට්ටක්කා, කැකිරි, තිබ්බටු, වම්බටු වගේ හේන් භෝග විතරයි.


"ඇත්ත කියනවා, කොහෙද තමුසෙ ගංජා වවන්නෙ?" රහස් පොලිස් කණ්ඩායමේ ලොක්කා ‍කඩා පැන්නා.


"මම නම් ගංජා වවන්නේ නැහැ. සර්ලට ඕනැ නම් ඕනැ තැනක බලන්න. හැබැයි අර පැත්තට නම් යන්න එපා," කියලා ගොවියා එක පැත්තක් පෙන්වමින් කිව්වා.


දැන් පොලිස් නිලධාරීන්ගේ කට කණේ. "හහ්, ඒව කොහෙද? තමුසෙ දන්නවද අපට ඕනැ තැනකට ඇතුල් වෙන්න, පරීක්ෂා කරන්න බලය තියෙනවා." පොලිස් කණ්ඩායමේ ලොක්කා සාක්කුවෙන් හැඳුනුම්පත අරගෙන ආඩම්බරෙන් පෙන්වා තම කණ්ඩායම එක්ක යන්න එපා කියූ පැත්තට ම ගියා.


ටික වෙලාවකින් මර ලතෝනියක් ඇහුණා. ගොවියා ඉක්මණට හේනේ දැවැන්ත පලු ගහක තනා තිබුණු පැලට ගොඩ වුණා.


මෙන්න පොලිස් පිරිස පණ එපා කියමින් කැලේ කඩාගෙන දුවනවා. පස්සෙන් එලවන්නෙ ඊයෙ රෑ හේනේ පැත්තක් පාළු කරපු මිනීමරු නැට්ට කොට තනි අලියා.


"බුදු අම්මෝ! අපිව බේර ගනියෝ!" පොලිස් ලොක්කා කෑ ගැහුවා.


"සර්, සර්, අලියට අර අයිඩෙන්ටි කාඩ් එක පෙන්නන්න." ගොවියා ගහ උඩ ඉඳන් කිව්වා.

2010-05-29

මන්ත්‍රී වාහනවලින් බදු අය කිරීමේ ප්‍රෝඩාව | The false taxation on Sri Lanka MP's vehicle import permit

(2010 මැයි 29, W3Lankaපාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින නවක මන්ත්‍රීවරුන් සහ වසර පහ සම්පූර්ණ කර සිටින මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීමේ බලපත් ලබාදීමේදී 18% ත් 20% ත් අතර බද්දක්‌ අය කළ යුතු බවට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා යෝජනා කර ඇත. මෙම යෝජනාව ප්‍රගතිශීලී එකකැයි බැලූ බැල්මට පෙනෙනමුත් ඇත්තෙන් ම සිදු වන්නේ මන්ත්‍රීන් විසින් මග හරිනු ලබන බදු ප්‍රමාණය වැඩි වීම හා 'ඔන්න අපිත් බදු ගෙවනවා' යි කියමින් ජනතාව මත පටවන බදු බර සාධාරණීකරණය කිරීමට අවස්ථාවක් ‍පාලකයන්ට ලබා දීමයි.


අනෙක් පැත්තෙන්, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂ මන්ත්‍රීන් ද හමදාමත් මේ කුඩු කන නිසා ඔවුන්ට ද අසාධාරණ බදුවලට එරෙහිව කතා කිරීමට 'ගට' නැති වේ.


ටික කලකට ඉහතදී, එල්ලාවල මේධානන්ද හිමි සිය තීරු බදු රහිත ආනයන බලපත්‍රයෙන් ආනයනය කරන ලද වාහනය වෙනත් ‍කෙනෙකු ළඟ තිබීම මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් විය. 


මෙතෙක්‌ මෙම බලපත් වෙනුවෙන් කිසිදු තීරු බද්දක් අය නොකෙරිණි. ඒ යටතේ ඩොලර් 35,000ක උපරිම වටිනාකමකට යටත්ව වාහන ආනයනය කිරීමේ අවස්ථාව මන්ත්‍රීන්ට ලැබිණි. දැන් එය ඩොලර් 45,000 හෙවත් ලක්ෂ පනහකට ආසන්න අගයක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


මෙමගින් මන්ත්‍රීවරයකුට ලංකාවේ වෙළඳපොල වටිනාකම ලක්ෂ 200කට ආසන්න වන වාහනයක් ආනයනය කර ගත හැකි ය. නීතියේ සිදුරුවලින් රිංගා මෙම බලපත්‍ර හොරට විකිණීමෙන් මන්ත්‍රීවරු කෝටි ගණන් මුදල් හම්බ කර ගනිති. මේ හොරකම සියලු දෙනා කරන නිසා කිසිවකු එයට එරෙහිව හඬක් නඟන්නේ නැත. බද්ද වැඩි කළා කියා මෙම අත යට ගනුදෙනුවෙන් මන්ත්‍රීන් ලබන ලාභය අඩු වන්නේ නැත.


ලංකාවේ සාමාන්‍ය ජනයා වාහනයක් මිළ දී ගැනීමේදී 100%කට වඩා බදු රජයට ගෙවන ඇතැම් අවස්ථාවලදී එය 200%ට ආසන්න වේ. ලංකාවේ පොදු ප්‍රවාහන සේවය දියුණු නොවීමට ද වාහන වෙනුවෙන් අය කරන මෙම අධික බදු හේතු වී තිබේ.

2010-05-28

ඉක්වදෝර් රජයේ ජලය පෞද්ගලීකරණය කිරීමේ තැත පරාදයි | Ecuador government's attempt to privatize water defeated

(2010 මැයි 28, W3Lankaජල සම්පත පෞද්ගලීකරණය කිරීමට හේතු වන බවට ස්වදේශික රතු ඉන්දියානු ජනයාගේ චෝදනාවට පාත්‍ර වූ පනතක් ඉක්වදෝර පාර්ලිමේන්තුවේදී පරාජය වී ඇත. 


මෙම පනත සම්මත කර ගැනීම සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය බවට ඉක්වදෝර ව්‍යවස්ථාදායක සභාව තීරණය කර තිබේ. 


ඉක්වදෝරයේ මධ්‍යස්ථ වාමාංශික රජය පවසන්නේ මෙම යෝජනාව ජල සම්පත පෞද්ගලීකරණයට හේතු නොවන බවයි. එහෙත් ස්වදේශික ජනයාගේ හා ගොවීන්ගේ සංවිධාන එයට එරෙහිව වීදි බැස්සේ එමගින් ආකර කර්මාන්තකරුවන්ට හා ජල බෝතල් සමාගම්වලට ජල සම්පත සම්බන්ධයෙන් සුවිශේෂ වරප්‍රසාදිත තත්වයක් ලබා දෙන බව පවසමිනි. 


පනත විසින් ම ජාතික උරුමයක් ලෙස පිළි ගනු ලැබ තිබෙන ගැමියන්ගේ පැරණි ජල කළමනාකරණ ක්‍රමවේදයන් ජාතික ජල ලේකම් කාර්යාලයේ පාලනයට යටත් කිරීම හා ජනාධිපති විසින් පත් කරනු ලබන ප්‍රධානියාට පනතෙන් තීරණාත්මක බලයක් ලැබීම ද ජනතා විරෝධයට තුඩු දුන්නේ ය. 

2010-05-27

ජලය වෙළඳ භාණ්ඩයක්ද? | Is water a trade commodity?

(2010 මැයි 27, W3LankaTaboo Subjects, සහන් සහ තවත් අය ජල සම්පත වෙළඳපලකරණය කිරීමේ යුක්තියුක්තභාවය පිළිබඳ අප විසින් මතු කරන ලද අදහස් පිළිබඳ සංවාදයට මැදිහත් වී ඇත. Taboo Subjects විසින් මතු කරන ලද ප්‍රශ්නවලට සමාජ ක්‍රියාධරයන් ලෙස අප දක්වන ප්‍රතිචාර තුළ මෙම සංවාදය පෝෂණය කිරීම හා අදාළ කරුණු අඩංගු වේ.


1. ජලය (පහසුවට වැව් ජලය කියමු.) අයිති කාටද? ජනතාවටද? (ගෙවල් දොරවල් වගේ) නැතිනම් රජයටද? (මහා මාර්ග, පාසල්, රෝහල් වගේ)


ජලය අයිති සොබා දහමට ය. මිනිසා මෙන් ම මිළ දී ගැනීමක් නොදන්නා සතුන්ට ද ගස් වැල්වලට ද ජලය සඳහා හිමිකමක් ඇත. රජය සිටිය යුතු තැන මීට වසර 2000කටත් වඩා ඈත යුග‍යේ දේවානම්පියතිස්ස රජු පෙන්වා දී ඇත. ඔහු කී අන්දමින් රජයට මෙකී සම්පත්වල භාරකරුවකු විය හැකි ය. හිමිකරු විය‍ නොහැක. 


2. ජලය කළමනාකරණය කළ යුත්තේ කවුද? ඒ සඳහා යන වියදම් දැරිය යුත්තේ කවුද?


රජය ජල කළමනාකරණයට මැදිහත් වීමේ වරදක් නැත. එහෙත්, හිමිකරුවා ලෙස නොව භාරකරුවකු ලෙසයි. රජය සියලු වියදම් දරා ගන්නේ මහජනයාගෙන් අය කරන බදු මුදලින් හෝ රාජ්‍ය ව්‍යවසායන්ගෙන් ලබන ලාභයෙනි. මෙහිදී ද එය එසේ ම ය. එහෙත් ජල කළමනාකරණ ක්‍රමවේදයක් සෑදීමේදී තිබෙන තත්වයන් පිළීබඳ හා ජනතා අදහස් පිළිබඳ සංවේදී විය යුතු ය. 


3. ජලය වෙළඳ භාණ්ඩයක්ද? එය විකිණිය හැකිද?


වටිනාකම් එකතු කිරීමක් සිදු වී ඇති ඇතැම් විටෙක ජලය වෙළඳ භාණ්ඩයක් වන අවස්ථා ඇත. ඒ අවස්ථාවලදී එය විකිණීම මිළ දී ගැනීම සිදු වේ. එහෙත්, එය හැම විට ම වෙළඳ භාණ්ඩයක් විය යුතු නැත.  ජලය, වාතය වැනි නිෂ්පාදනය කිරීමක් සිදු නොවන ජීවයේ ප්‍රාථමික අවශ්‍යතා මුළුමනින් ම වෙළඳපොලකරණය කරන්නට යාම සොබාදහම දූෂණය කිරීමකි. 


4. (ඉහත ප්‍රශ්නයට උත්තරය 'නැත' නම් පමණක්) සැපයුමට වඩා වැඩි ඉල්ලුමක් පවතින අවස්ථාවලදී ජලය බෙදා දිය යුත්තේ කෙසේද? ප්‍රමුඛතාව දිය යුත්තේ කාටද? ඒ මොන පදනමක් මතද?


විශේෂඥ උපදෙස් හා ජනතා අදහස් මත පදනම්ව ක්‍රමවේදයක් සකසා ගත යුතු ය.


5. වාරිමාර්ග හා කෘෂිකර්මය ඉතා දියුණුවට පැවතුනාය කියන පෙර රජ දවස ජල කළමනාකරණය කළ අයුරු ගැන ලේඛකයාට අවබෝධයක් ඇත්ද?


ලේඛකයා ජනමාධ්‍යකරුවකු මිස ඉතිහාසඥයකු නොවේ. පෙර රජ දවස පැවති ජල කළමනාකරණයේ විශිෂ්ට ලක්ෂණ තිබේ. එහෙත්, එදා සමාජ තත්වය හා අද තත්වය සැසඳීමට නොහැකි ය. පසුගිය වසර 200ක පමණ කාලයේ ජල කළමනාකරණය සිදු වි ඇති අන්දම හැදෑරීම වඩා ඵලදායී වනු ඇත. 


6. වාණිජ කෘෂිකර්මය ගොවීන් විසින් තනි තනිව කිරීම හා රජය/සමාගමක් විසින් කිරීම අතර වෙනසක් ඇත්ද?


ඇත. ලංකාවේ සුළු ගොවීන්ගෙන් බහුතරය අඩු ආදායම්ලාභීහු වෙති. එසේ ම මෙම පිරිස ලංකාවේ ජනගහණයෙන් ද බහුතරයකි. ඔවුන් ඉවත් කළ විට ලංකාවක් නැත. 


රජය සහ සමාගම් යනු විශාල ප්‍රාග්ධන හිමියන් බැවින් ඔවුන්ට තාක්ෂණය, යෙදවුම් හා වෙළඳපොල ප්‍රවේශය ලබා ගැනීම පහසු ය.  සුළු ගොවීන්ට ඔවුන් සමග තරග කිරීමට නොහැකිය. 


7. ජලය යනු වාණිජ කෘෂිකර්මයට අමු ද්‍රව්‍යයක් නම් එය ලබා ගැනීමට යම් වියදමක් දැරීමට සිදුවෙතොත් එය බදු ගෙවන ජනතාවගේ මුදලින් රජය විසින් දැරිය යුතු ඇයි?


මෙය සෑම විට ම සිදු විය යුතු නැත. එහෙත්, ආහාර නිෂ්පාදනය වෙනත් නිෂ්පාදනයන්ට වඩා ප්‍රමුඛ අවශ්‍යතාවක් බැවින් ඇමරිකා එක්සත් ජනපදය පවා යම් සංදර්භයන් තුළ කෘෂිකර්මාන්තයට සහන ලබා දෙයි. ලංකාවේ කෘෂිකර්මාන්තයට ජලය සැපයීම සම්බන්ධයෙන් ද මේ කරුණ අදාළ ය. නිදසුනක් ලෙස ජලය වෙනුවෙන් ලංකාවේ වී ගොවිතැනේ නියැලී සිටින සුළු ගොවීන්ට මුදල් ගෙවන්නට සිදු වී විට නිෂ්පාදන පිරිවැය වැඩි වී වී මිළ වැඩි වේ. එවිට ලංකාවේ බත් කන මිනිස්සු එක්කෝ ඒ වැඩි මිළ ගෙවති. නැතිනම් ඇමරිකාව වැනි රටවල් ගොවීන්ට සහනාධාර දී වැවූ තිරිඟුවලින් කොටා ලංකාවට එවන පිටි කති.  බත් කන මිනිස්සු පාන් කෑවොත් ලංකාවේ ගොවියෝ හාමතේ මිය යති. 


8. "මෙහි ඇති මූලික ගැටලුවක් වන්නේ දිළින්දන්ගේ නමින් සිදු වන මේ ක්‍රියාවලි පිළිබඳ තීරණය කිරීමේදී දිළින්දන් එයට සම්බන්ධ නොවීමයි." අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සිසුන්ට අදාළ තීරණ ගැනීමේදී එම රැස්වීම් වලට ළමුන් තියා දෙමාපියන් වත් සහභාගි කර ගන්නවාද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැස්වීම් වලට රෝගීන් සහභාගි කර ගන්නවාද? ප්‍රවාහන අමාත්‍යාංශයේ තීරණ වලට බස් මඟීන්ගේ දායකත්වයක් ඇත්ද?


මෙම ක්‍රියාවලිය තීරණය කිරීමේදී අඩු තරමේ ලංකාවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියවත් ලබාගෙන නැත. මෙය හරියට කොටහේන මධ්‍ය මහා විද්‍යාලය හා සම්බන්ධ තීරණයක් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් ගන්නවා වැනි ය. කිසි ම අදාළකමක් නැත. 


තීරණ ගැනීමේ ක්‍රියාවලිවලට එම තීරණ හා සම්බන්ධ අනතුරුධාරකයන් සම්බන්ධ කර ගැනීම දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක මූලිකාංගයකි. එය පිළි නොගන්නේ නම්, රාජපක්ෂ පවුල තමන්ට ඕනෑ හැටියට ලංකාව පාලනය කිරීම ද පිළි ගැනීමට සිදු වේ. 


9. "නිදසුනක් ලෙස, ලංකාව වැනි රටවල දූෂිත රාජ්‍යයන් සමග එක්ව ජනතාවට කොළය වසා සකසන ලද 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැනි සැලසුම්වල යුක්තියුක්තභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න තිබේ." මොනවාද මේ ප්‍රශ්න. තුනක් කියන්න.


ප්‍රශ්න තුනක් නොව නිදසුනක් ලෙස ප්‍රශ්න හතක් ම මෙම ලිපිය අවසානයේ ගෙන හැර දක්වමි. 


10. "ඔබ නිදහසේ දිය බුං ගැසූ වැවට, ඇලට හිටි හැටියේ අයිතිකරුවකු පහළ වීම" ඔබ 'නිදහසේ' ගිය පාසලට, ඔබ 'නිදහසේ' සෙල්ලම් කළ විහාර මහා දේවී උද්‍යානයට, ඔබ නිදහසේ යන බස් වලට, වෙනෙකක් තියා ඔබ නිදහසේ යන පන්සලට/පල්ලියට පවා අයිතිකරුවන් (රජය/පෞද්ගලික අංශය/පුද්ගලයින්) සිටී නම් මෙය විතරක් වෙනස් විය යුත්තේ ඇයි?


පෞද්ගලික දේපල ක්‍රමය යනු ප්‍රශ්නයක් බව ඔබේ ප්‍රශ්නයේ හරයෙන් ම කියැවේ. අඩු තරමේ ප්‍රාථමික ජීවී අවශ්‍යතා වන ජලය, වාතය වැනි දේවත් පොදු දේපල නොවුණහොත් මිනිස් සමාජයේ විනාශය ළඟ ය. 


1. 'යළි පුබුදමු ශ්‍රී ලංකා' ලේඛනය ලංකාව විසින් සකසන ලද්දක් බව ලෝක බැංකුව කියයි. එය සැකසුවේ කවුරුද?


2. එය සැකසූ අය ලංකාව වන්නේ කෙසේද?


3. කිසිදු මැතිවරණයකදී කවුරු හෝ පක්ෂයක් මෙම ලේඛනය ජන වරමක් සඳහා ඉදිරිපත් කර තිබේද? 


4. 2004දී එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට ජවිපෙ, කොටි සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කළේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' පරාජය කිරීමට නොවේද? 


5. මහින්ද චින්තනයේ දේශීය ආර්ථික සංකල්පයක් අවධාරණය කරන්නේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා'ට එරෙහිව නොවේද? 


6. තමන් විසින් ම පරාජය කරන ලද සැලැස්මක් පෙරට ගන්නට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඇති අයිතිය කුමක්ද?


7. 'යළි පුබුදමු ශ්‍රී ලංකා' ගෙන එන්නේ දිළිඳුභාවය පිටු දැකීමේ සැලැස්මක් ලෙසයි. එසේ නම්, දිළින්දන් මෙහි ප්‍රධාන අනතුරුධාරකයන් විය යුතු ය. දිළිඳුභාවය නැති කරන ආකාරය ගැන ඔවුන්ගෙන් නියෝජනයන් ලබා ගත්තේ කවදාද? කෙසේද?


Taboo Subjects කියන පරිදි, මේ සියල්ලක්ම එය පිළියෙළ ආකාරයේ procedural errors ය. මෙයින් අදහස් කෙරෙන්නේ මේ procedural errors නැතිනම් අප එහි හරය පිළිගන්නා බවදැයි ඔහු අසයි. ලියවිල්ල සකස් කළ ආකාරය මුළුමනින් ම අවිද්‍යාත්මක ය. එවිට එය සමාන වන්නෙ ප්‍රබන්ධ සාහිත්‍ය කෘතියකටයි.


පසුගිය කාලයේ ඉන්දියාවේ එක් ශල්‍ය වෛද්‍යවරයෙක් සිය බාල වයස්කාර පුත්‍රයා ලවා සීසේරියන් සැත්කමක් කරවූවේ ය. පුතා සැත්කම හරියට කළ බව ඔහු කියයි. සැත්කම සඳහා අනුගමනය කළ ක්‍රමවේදය විද්‍යාත්මකව හා ආචාර ධාර්මිකව වැරදි ය. ළමයා නිරුපද්‍රිතව ඉපැදුණු පමණින් එය නියම සැත්කමකැයි පිළිගත හැකිද?


දිළිඳුභාවය නැති කිරීම සඳහා යයි කියන 'යළි පුබුදමු ශ්‍රී ලංකා' ලෙස නම් කර ඇති ආර්ථික ව්‍යුහාත්මක ගැලපුම් ආවලිය සකස් කරන ලද ආකාරය ලිබරල් ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන කිසිදු ප්‍රජාතන්ත්‍රීය මූලධර්මයකට හෝ ආචාර ධර්මයකට අනුකූල නැත. එබැවින් එහි අන්තර්ගතය පිළිබඳ කතා කිරීම තේරුමක් නැත. අප එහි හරයක් ඇතැයි නොසිතන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ෆාජි, ටෝජි, සදීක් හා කිසිවෙකුටත් ගැලවිය නොහැකි ඝාතක සංස්කෘතිය | Sri Lanka's inescapable gun culture

(2010 මැයි 27, W3Lankaමැයි 10 - 16 ලෝක ගිනි අවි විරෝධී සතිය වෙනුවෙන් ‘සාමය හා මානව හිමිකම් සඳහා කි‍්‍රයාකාරිත්වය’ විසින් පළ කරන ලද නිවේදනයක් අප වෙත ලැබිණි. එහෙත්, කාර්යබහුලත්වය මැද සිදු වූ අතපසුවීමක් හේතුවෙන් අපට එය එම වකවානුවේදී පළ කිරීමට නොලැබිණි. එහෙත්, අද වෙසක් පෝ දිනපිළිබඳව යමක් ලිවීමට අදහස් කරමින් සිටියදී හිටිහැටියේ මෙම ලිපිය අප නෙත ගැටිණි. වෙසක් දිනය වෙනුවෙන් අපට ඊට වඩා හොඳ ලිවීමක් කළ නොහැකි යයි හැඟුණ බැවින් අපි එම නිවේදනය සුළු සංස්කරණ සහිතව පළ කරමු. 


ඒ 2009 රාමසාන් උපවාසය අවසන් කෙරෙමින් තිබූ කාලවකවානුවයි.


අගෝස්තු 27දා මධ්‍යම රාත‍්‍රිය ඉකුත් ව පැය කීපයක් ගත වෙද්දී මැද කොළඹ, මාලිගාවත්තේ ජුම්මා මස්ජිද් පාර පරිශ‍්‍රය තුළ ක‍්‍රියාත්මක වෙමින් තිබූ විශේෂ කාර්ය බලකායේ ක්ෂණික මෙහෙයුම අළුයම අවසන් වූයේ තිදෙනෙකුට මරු කැඳවමිනි. 


ඒ අතර එක් අයෙකු වූයේ ෆාජි ය. ෆාජි මාලිගාවත්ත අදාල පරිශ‍්‍රය තුළ  නිල නොලත් සන්නද්ධ කල්ලි පාලකයා ලෙස හඳුනා ගෙන තිබුණි. වඩා වැදගත් ම සාධකය වූයේ 2009 බස්නාහිර පළාත්සභා මැතිවරණ අවස්ථාවේ  දී නිල රාජ්‍ය යන්ත‍්‍රයේ ද ප‍්‍රසිද්ධ ප‍්‍රකාශකයකු ලෙස ඔහු ට ක‍්‍රියා කරන්න ට ලැබීම ය. එනම්, එම අවස්ථාවේ දී පාලක එක්සත් ජනතා නිදහස් සංධානයේ මැද කොළඹ කාර්යාලය ඔහුගේ නිවසේ පිහිටවනු ලැබූ අතර ප‍්‍රදේශවාසීන් ගේ ප‍්‍රකාශ අනූව එහි බලය වෙනුවෙන් නිල නොලත් සන්නද්ධ ක‍්‍රියාකාරකම් රැසක් ද ඔහු විසින් මෙහෙයවන ලදි. මේ අතර විරුද්ධ පාක්ෂිකයන් ට හා හිතවතුන් ට  එරෙහි ව තර්ජනය කිරීම්, පහරදිම්, දේපළ විනාශ කිරීම් විය. එය විටෙක ස්වපාක්ෂිකයන් ට එරෙහි ව පවා පැතිර ගියේ ය. එහෙත් මෙම ක‍්‍රියාකාරීත්වයන් හරහා ඔහු මෙහෙය වූ බලවේගවල ට විශාල පළප‍්‍රයෝජනයක් නොලද අතර මැදකොළඹ ආසනය සුපුරුදු පරිදි විපක්ෂය විසින් ජයග‍්‍රහණය කරන ලදී.  


එසේ වුව ද ෆාජි ගේ සේවය ඉන් අනතුරුව පැවති ඌව පළාත් සභා මැතිවරණය තුළ ද පාලක පක්ෂය විසින් භාවිතයට ගන්නා ලදී. සියල්ල අවසානයේ දී ‘පාතාල නායකයකු’ ලෙස හඳුන්වා රාජ්‍යය සිය ආණ්ඩුවේ නිල ලත් සේනාංක මගින් ෆාජි ඝාතනයට ලක් කරන ලදී. එය අත්අඩංගුවට ගැනිමට යාමේදී සිදු වු ප්‍රහාරයකට එල්ල කරන ලද ප‍්‍රතිප‍්‍රහාරයක ප‍්‍රතිඵලයක් ලෙස ආණ්ඩුවේ පොලිස් ප‍්‍රකාශකයා විසින් නිවේදනය කරන ලදී. 


විප‍්‍රකාරය නම් ආණ්ඩුව මෙහෙයවන්නන් විසින් එහි සියලූ යාන්ත‍්‍රණයන්හි ආශිර්වාදය ඇතිව කලෙක පැවරූ වැඩ සහ ඉන් කිසිසේත්ම වෙනස් නොවු තවත් වැඩ සම්බන්ධයෙන් ඒ ආණ්ඩුවම ඔහුට එරෙහිව චෝදනා ගොනු කොට නඩු විභාගයක්වත් නැතිව ඔහු ඝාතනය කර දැමීම ය. සියල්ල මෙහෙයවු අය තව දුරටත් ඒ සාපරාධී යාන්ත‍්‍රණය ම මෙහෙයවමින් නොසිටින්නේ ද?   


එදින ඝාතනයට ලක් වූ දෙවැන්නා වූයේ තිස් තුන් හැවිරිදි ටෝජි ය.  අපගේ කි‍්‍රයාකාරීන් හමුවෙමින් ඔහු ම විසින් කරන ලද ප‍්‍රකාශයන් තුළ කිසියම් පාපොච්චාරණයක් විය.  ‘‘හිත හොඳ මිනිසෙකු’’ ලෙස මිතුරන් අතර ජනපි‍්‍රය ව සිටි ඔහු යුද හමුදාවේ සාමාජිකයකු ව සිටියදී පාතාල කි‍්‍රයාකාරකම් හරහා සිය මිතුරන් කණ්ඩායමකට සිදු වූ සන්නද්ධ හිරිහැර පිළිබඳව කම්පිතව ඊට මැදිහත් වන්නට තීරණය කළේය.  පොලීසිය ආදී නිල ව්‍යූහයන්ගෙන් මෙම පාතාල කි‍්‍රයාකාරකම් මැඩ පැවැත්වීමට අවස්ථාවක් නොවූවා පමණක් නොව ඒවායේ අනුග‍්‍රාහකයන් ලෙස ද එවැනි ව්‍යූහයන් කි‍්‍රයාත්මක වෙමින් තිබුණි.  මේ තත්වය තුළ එය විසඳා ගැනීමට තිබුණේ එක් මාවතකි.  නිල නොලත් අපරාධ මැඩලීමෙහි ලා රාජ්‍ය නිෂ්කී‍්‍රයත්වය විසින් එවැනි අපරාධ සඳහා වන මාවත වැඩිදුර වර්ධනය කරවා ඇත. මේ අනුව සිය ගිනි අවිය සමඟ නිවසට පැමිණි ටෝජි මිතුරන් වෙනුවෙන් සන්නද්ධව මැදිහත් විය. මෙහිදී පාතාල කල්ලි සාමාජිකයන් කීප දෙනෙකු ඝාතනය කිරීමට ඔහුට සිදු විය.  

මේ සිදුවීමෙන් පසු ටෝජි ද පාතාල කල්ලිවල සෘජු හා අඛණ්ඩ ඉලක්කයක් බවට පත්වන අතර ඔහුට ආරක්ෂාව දීමට හෝ නිවැරදි වීමට නිල රාජ්‍ය යන්ත‍්‍රය තුළ කිසිදු ප‍්‍රස්ථාවක් හමු නොවේ.  මේ තත්වය තුළ තාර්කික ප‍්‍රතිඵලය වූයේ ආරක්ෂාව සඳහා පාතාල කි‍්‍රයාකාරිත්වය තුළ අභ්‍යන්තරික වීම ම පමණි.  මේ ඉරණම විසින් ටෝජි ද ග‍්‍රහණයට ගන්නා නමුත් ඉතාම අවංක ලෙස ම ඔහු එම තත්වයෙන් ගැලවී යාමට උත්සාහ දරමින් සිටියේය.  



රටින් පිටවීම, පොලීසියට භාරවීම, අධිකරණයට භාරවීම ආදී ආදේශක විකල්ප රැසක් ඔහු විසින් සලකා බැලූනි.  එහෙත් ඒ කුමන නිල ව්‍යූහය තුළ වුවද අවසානයේ දී පාතාල ප‍්‍රචණ්ඩ ව්‍යූහයන් මතුවන බව ඔහු අත්දුටුවේය. ඛේදනීය අවසානයක් පිළිබඳ ඒ වන විට ඔහුට පැවැති එකම නොඑකඟතාවය වූයේ සිය කුඩා දරුවන්ට පියෙකු අහිමි වීම පිළිබඳ ඛේදවාචකය සහ මේ රුදුරු ඉරණම් චක‍්‍රය ඔවුන් මත ද කඩා පාත්වීමේ අනතුරය.  (ටෝජි ඝාතනය වන විට දරුවන් හත් හැවිරිදි, තුන් හැවිරිදි හා අටමස් වියැති විය.)  එබැවින් ගැලවීමේ මාර්ගයක් පිළිබඳ අනවරත සොයා බැලීමක සිටි ඔහු ඒ අතරමැදදී රක්ෂාවරණය ලැබිය යුතුව තිබූ රාජ්‍යයේම ප‍්‍රහාරයන්ට ලක්ව ඝාතනය විය.  ටෝජිගේ ඛේදනීය අවසානයක් සහිත ජීවිතය විසින් අපරාධ මර්දනයෙහි ලා රාජ්‍යයේ වගකීම සකී‍්‍රය කරවන ලෙස මෙන්ම එහි ගොදුරු බවට පත් වූවන් සඳහා නිවැරදි, විධිමත් පුනරුත්ථාපන කි‍්‍රයාවලියක් සඳහා වන රාජ්‍ය වගකීම සකී‍්‍රය කරවීමේ අවශ්‍යතාව ද අවධාරණය කරවයි.  


එදින ඝාතනයට ලක් වූ තෙවැන්නා වූයේ විසිපස් වියැති සදීක් ය. පස්වියැති දරුවකුගේ පියෙකු වූ ඔහු ඝාතනය වන විට බිරිඳ සිව් මසක ගැබිණියක් වූවාය. ඔහු පාතාල කි‍්‍රයාකාරකම් සමඟ කිසිදු සම්බන්ධයක් නොවූ අතිශයින්ම සාමාන්‍ය මිනිසෙකි. ආගමික උපවාසය අවසන් කිරීම සඳහා ආහාරයක් ගන්නට යැයි වීදියට පැමිණි ඔහු මෙම වෙඩි තැබීම් තුළ තුවාල ලැබීය.  ඔහුගේ අතකට වෙඩි වැදී තිබුණි.  ඉන්පසු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන මාංචු යොදා 65 - 5420 ජීප් රිය තුළට නංවා ගනු ලැබිණි.  ලද ආරංචියක් අනුව එහි ගිය ඔහුගේ පියා තුවාල ලබා ජීප් රිය තුළ අත්අඩංගුවට ගෙන සිටි සිය පුත‍්‍රයා සමඟ කතා කළේය.  ප‍්‍රදේශවාසී ප‍්‍රකාශ අනුව එම ජීප් රිය මාළිගාවත්ත මංසන්ධිය පසුකොට යද්දීම වෙඩි හඬක් ඇසුණු අතර පසුව සදීක්ගේ පියාට දක්නට ලැබුණේ මෘත ශරීරාගාරය තුළ දමා තිබූ සදීක් ගේ මළ සිරුරය. 


මෙම මරණය පිටුපස සැබෑ හේතුව කුමක්ද?  එය අපි කිසිවෙකුත් නොදනිමු.  එහෙත් සැක කළ හැකි වඩාත් සාධාරණ හේතුව සදීක් මේ නීති විරෝධී ඝාතනයන් පිළිබඳ එක්තරා ආකාරයක ඇසින් දුටු සාක්ෂිකරුවකු වීම ය.  ඔහුගේ තුවාල පිළිබඳ වගකීම ප‍්‍රකාශයට පත් කෙරුණේ ඔහු මරණයට පත් කිරීම තුළිනි.  ඉන්පසු භීෂණය තුළ මළවුන්ගේ සාක්ෂ්‍ය යටපත් කිරීමට උත්සාහ දැරිණ.


නිදසුනක් ලෙස මේ ඝාතන සිද්ධීන්ට පසු වහාම එම පරිශ‍්‍රය ආශි‍්‍රතව අභිරහස් පෙට්ටියක් රැගෙන ගොඩනැඟිලි මුදුනට ගිය විශේෂ කාර්ය බලකා සෙබළුන් ප‍්‍රශ්න කළ එක් නිවැසියෙකු වෙත ප‍්‍රතිචාර ලැබුනේ ‘‘ජනෙල් සහ කට වසා නොගත්තොත් ඇතුලේ තියන ඒවායින් කීපයක් ඔතනටත් දමා ඒ අයද අත්අඩංගුවට ගත හැකිය’’ යන්න සිහිපත් කිරීමෙනි.  (පෙට්ටිය තුළ වූයේ කුප‍්‍රකට ‘නිල ලත් හොර අවි’ විය හැකි යැයි මේ අනුව සැක කළ හැක.)


එබැවින් මේ සිදුවීම් මගින් තහවුරු කරනුයේ කුමක්ද?  රාජ්‍යය පසුබිමේ තබාගනිමින් කි‍්‍රයාත්මක වන මේ හොර ගිනි අවි සංස්කෘතිය තුළ කිසිවෙකුටත් ගැලවීමක් නොවන බවය.  අප සියලූ දෙනාම ඒ තුළ සැකයටත්, හිංසනයටත්, ඝාතනයටත් ඉලක්ක වී ඇත.  එබැවින් ඊට එරෙහිව කි‍්‍රයාත්මක වීම කල්දැමිය නොහැකි, අතහැරිය නොහැකි අප සියලූ දෙනා සතු වගකීමකි.


ඒ උදෙසා අවම ලෙස පහත සඳහන් කි‍්‍රයාමාර්ග සඳහා ජනතාව රජයට බල කළ යුතු ය.

  • සංශෝධිත ගිනි අවි පනත වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු! 
  • අත්අඩංගුවට ගන්නා ගිනි අවි ලියාපදිංචි කිරීම පිළිබඳ ඇති නීති රීති හා කි‍්‍රයාවලිය යාවත්කාලීන හා විධිමත් කරනු !
  • පුනරුත්ථාපනය සඳහා විධිමත් හා විද්‍යාත්මක වැඩපිළිවෙලක් සකසනු!
  • නීති විරෝධී ගිනි අවි පිළිබඳ තොරතුරු සැපයීම සඳහා පහසු කි‍්‍රයාවලියක් හා සුරක්ෂිතභාවය තහවුරු කරනු!

රාවය නියෝජ්‍ය කර්තෘ විසින් මෙසේ පවසන ලදී | A letter of reply by Ravaya Deputy Editor

W3Lanka සංස්කාරක විසින් රාවය පුවත්පත පිළිබඳ කරන ලද විවේචනය සම්බන්ධයෙන් රාවය නියෝජ්‍ය කර්තෘ කේ.ඩබ්. ජනරංජන මහතා විසින් ලියන ලද පිළිතුරක් අප වෙත එවා තිබේ. 


මෙම පිළිතුර සම්බන්ධයෙන් එක් කරුණක් පමණක් සඳහන් කරන්නට කැමැත්තෙමි. අප විසින් රාවයේ පළ කිරීම අපේක්ෂා කරන ලද 

ඩයස්පෝරා අදහස් හා ස්වදේශික අදහස් අතර ගැටුම ලිපියේ වික්ටර් අයිවන් හා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ හිටපු නායකයන් අතර විවාදය පිළිබඳ සඳහනක් ඇතත් එය එකී විවාදයට අදාළ ලිපියක් නොවේ. 



එසේම, එම සංවාදය ආරම්භ කළ රාවය කර්තෘවරයා විසින් එය අවසන් කරන ලද බව නිවේදනය කිරීම ඔහු පෞද්ගලිකව සංවාදයෙන් ඉවත් වීමක් මිස සංවාදය අවසන් වීමක් නොවේ. සමාජ සංවාදයන්හිදී කෙනෙකුට සංවාදයක් ආරම්භ කළ හැකිමුත්, එය අවසන් කරන්නට බැරි ය. යම් සාකච්ඡාවක අවසානය විවෘත නැතිනම් එය සංවාදයක් නොවේ. 


යම් අනවබෝධයක් සිදු වී තිබේ නම් අපි ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. රාවය පුවත්පතට අපේ ඇති ගෞරවය මෙම සිද්ධිය නිසා නැති වී ගොස් නැති බව අපි අපගේ ලිපියෙහි සඳහන් කර ඇත. 


ජනරංජන මහතා විසින් එවන ලද සම්පූර්ණ ලිපිය මෙසේ ය. 



හිතවත් අජිත් පැරකුම් ජයසිංහ මහතාණෙනි,


රාවය පුවත්පතේ ඔබේ ලිපි දෙකක් පළනොවීම සම්බන්ධයෙන් ඔබ ඔබගේ බ්ලොග් අඩවියට එකතු කර ඇති දීර්ඝ ලියවිල්ලේ මාගේ, රාවය ප‍්‍රවෘත්ති කර්තෘ ලසන්ත රුහුණගේ සහ රාවය පුවත්පතේ නම් අන්තර්ගත වී ඇති නිසා මේ ප‍්‍රතිචාරය දක්වමි. 


1. පළමුවෙන්ම කිවයුත්තේ ඔබේ ලියවිල්ල අදාළ කාරණය අරබයා ලියන ලද අතිශයෝක්තීන්ගෙන් හා අසත්‍යයන්ගෙන් ගහණ එකක් බවය.


2. ඔබේ ලිපි රාවය පුවත්පතේ පළකරන්නේ නැති බවට මා ලසන්ත රුහුණගේටවත්, ලසන්ත රුහුණගේ ඔබේ හිතවතාටවත් කිසිම වේලාවක කියා නැත. ඒ එවැනි තීරණයක් ගෙන නැති නිසාය. ඒ ගැන ඔබේ එම හිතවතා වන සමස්ත ලංකා ධීවර වෘත්තීය සමිතියේ එම්. විජේන්ද්‍රගෙන් අසා නිශ්චිතව දැනගන්නා ලෙස දන්වමි.


3. එවැනි තීරණයක් ගෙන තිබේදැ’යි ඔබ පළමුව ඇසිය යුතුව තිබුණේ මාගෙනි. රාවයේ ලිපි සම්බන්ධයෙන් ඔබ ගනුදෙනු කළේ මා සමග බව ඔබ පිළිගන්නවා ඇතැ’යි සිතමි. සෑම සතියකම රාවයට ලිපිය ඊමේල් කර, ලිපිය එවූ බව එස්එම්එස් එකකින් ඔබ දැනුම් දෙන්නේ මට ය කියාද ඔබ පිළිගන්නවා ඇතැ’යි සිතමි. ඊට අමතරව ඔබේ ලිපි වෙනුවෙන් සුළු මුදලක් (රාවයට එය ලොකු මුදලකි.) ගෙවන ලෙස ඔබ දුරකථනයෙන් අමතා කීවේ මටය කියා ඔබ පිළිගන්නවා ඇතැ’යි ද සිතමි. එවැනි ගෙවීම් අඩංගු චෙක්පත් සූදානම් වූ විට පැමිණ ගෙනයන්නටයැ’යි ඔබට දැනුම් දී ඇත්තේද මා විසින්යැ’යි ඔබ පිළිගන්නවා ඇතැ’යි සිතමි.


මේ සියල්ල කීවේ, (ඉහත කරුණුවලට අමතරව, ඔබේ ලිපි පළ නොකරන්නේයැ’යි මා කී බව ඔබ කියා ඇති නිසා ද) ඔබේ ලිපිය පළනොවීමේ ප‍්‍රශ්නය ගැන පළමුවෙන් ඇසිය යුතුව තිබුණේ මාගෙන්ය යන්න කියා සිටීමටය. ඔබ මේ වන තෙක් මගෙන් ඒ බව අසා නැත. ඔබ එසේ ඇසුවේ නම්, මේ තරම් දිග අත්තුක්කංසනයෙන් හා පරවම්භනයෙන් සපිරි, ආවේගශීලී ආත්මාලාපයක් ලියන්නට ඔබට අවස්ථාවක් උදා නොවන්නට ඉඩ තිබිණි.


4. ඔබේ ‘ඩයස්පෝරා අදහස් හා ස්වදේශික අදහස්’ යන මැයෙන් මැයි 12වැනිදා ඊමේල් කරන ලද ලිපිය රාවයේ පළනොකෙරුණු බව ඇත්තය. ඊට හේතුව ඔබ එයින් සහභාගිවන්නට උත්සාහ කළ නිශ්චිත සංවාදය ඒ වනවිටත් රාවය විසින් අවසන් කොට තිබීමයි. ඔබට මතක ඇති නම්, රාවය කර්තෘවරයා ආරම්භ කළ එම සංවාදය, ඔහු විසින් මැයි 2වැනිදා ‘සනත්ගේ විවාදය අවසන් කිරීම’යන මැයෙන් ලියූ ලිපියෙන් අවසන් කරන ලදි. විවාදයේ එක් පාර්ශ්වයක් විවාදය අවසන් කර තිබෙද්දී තවදුරටත් ඊට අදාළ ලිපි පළකිරීමේ තේරුමක් නැති බව ඔබද පිළිගන්නවා ඇතැ’යි සිතමි.


5. ඔබේ ඊළඟ ලිපිය වූ මැයි 19වැනිදා රාවයට ඊමේල් කරන ලද ‘ගංවතුර, සාම්පූර් හා ආපදා ධනවාදය’ නම් ලිපිය පළ නොවූයේ පුවත්පතේ ඉඩකඩ මදිවීම නිසාය.


6. මේ ප‍්‍රශ්නගත ලිපි දෙකට පෙරද ඔබේ ලිපි ( අන් අයගේ ලිපි මෙන්ම) නොයෙක් වර පළවී නැති බව මතක් කරනු කැමැත්තෙමි. ඒ සෑම අවස්ථාවකම පාහේ ඔබ ඊළඟ ලිපිය එවූ බවත්, ඒවා නිතිපතා පළවූ බවත් ඔබට මතක ඇතැ’යි සිතමි.


7. මේ ප‍්‍රශ්නය ගැන ඔබ ප‍්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් මහතාගෙන් විමසා (මට කොපියක්ද සහිතව) යවන ලද ඊමේලයට (මැයි 26වැනිදා) ඔහු දුරකථනයෙන් ප‍්‍රතිචාර දක්වමින් එවැනි තීරණයක් ගෙන නැති බව ඔබට කී බව ඔබේ ලිපියේ සඳහන්කොට ඇත. එසේ තිබියදීත්, ඔබ ඊට පසු ලියන බ්ලොග් ලිපියේ පෙර කී සියලූ අසත්‍යයන් එලෙසම සටහන්කොට තිබෙන්නේ ඇයිදැ’යි නොදනිමි.


8. අන්තර්ජාලයෙන් අප කියවන ප‍්‍රමාණය රාවය පුවත්පත විකිණෙන ප‍්‍රමාණයට වඩා වැඩියැ’යි යන යෙදුම මගින් ඔබ රාවය කෙරෙහි දක්වන සෝපාහාසය මට තේරුම්ගත හැකි නමුත්, ඔබේ ‘මැදිවියේ සහ පෑලවියේ සිටින අන්තර්ජාලය හරිහැටි පරිහරණය කරන්නට නොදන්නා මිතුරන් පිරිස’වත් රාවය කියවීම ගැන මම සතුටට පත්වෙමි.


9. ‘ප‍්‍රකාශනයේ නිදහස පිළිබඳ දේශන පවත්වන, ලියන, පිකට් කරන කර්තෘ මණ්ඩලයකින් සපිරි රාවයෙන් අප වැනි අයට ප‍්‍රකාශනයේ නිදහස අපේක්‍ෂා කළ නොහැකියැ’යි ඔබ කියන නමුත්, රාවය වනාහී බොහෝ දෙනකුට අදහාගන්නටත් බැරි තරමට පුවත්පතේ කර්තෘ මණ්ඩලය තුළත්, එහි වටා සිටින පාඨකයා සමගත්, ප‍්‍රකාශනයේ නිදහස භාවිත කිරීම පිළිබඳ අපූර්ව ආදර්ශයක් අත්හදා බලන පුවත්පතක් බවත් එය ලංකාවේ ඇති එවැනි ගණයේ එකම මුද්‍රිත මාධ්‍යය බවත් මම පැහැදිලිව කියමි. ප‍්‍රකාශනයේ නිදහස පිළිබඳව ප‍්‍රසිද්ධ වේදිකාවල මා කියා ඇති දේ (රාවය කර්තෘ මණ්ඩලයේ සිව්දෙනාගෙන් ඔබ කියන එවැනි දේශන පවත්වා ඇත්තේ මා ය.) රාවය තුළ කර්තෘ මණ්ඩලයේ අපි සියල්ලෝම එක්ව යථාර්ථයක් කරන්නට උත්සාහගනිමින් සිටිමු. රාවය, ඒ උත්සාහයේ ඒහි පස්සික උදාහරණයයි.


10. රාවයට ග‍්‍රහණය නොවන ඔබේ බ්ලොග් අඩවියේ මහත්වූ පාඨක ජනයාට අපගේ මේ ප‍්‍රතිචාරයද දැක්වීමට කාරුණික වනු ඇතැ’යි සිතමි. 


ස්තූතියි.


කේ. ඩබ්ලිව්. ජනරංජන


රාවය නියෝජ්‍ය කර්තෘ


2010. 05. 26

2010-05-26

ජනාධිපතිගෙ යුද සමය ගැන කමිටුවට හපා කන්න දත් තිබේලු | Sri Lanka President's Commission on Lessons Learned and Reconciliation has teeth

(2010 මැයි 26, W3Lankaපසුගිය යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා යුද අපරාධ පිළිබඳව සොයා බලන්නැයි එක්සත් ජාතීන්, බටහිර රටවල්, මානව හිමිකම් සංවිධාන හා දෙමළ විදෙස්ගත ප්‍රජාව වෙතින් එල්ල වන පීඩනය හමුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පසුගියදා පත් කරන ලද 'ඉගෙන ගත් පාඩම් හා එකඟතාව ඇති කර ගැනීම පිළිබඳ කමිටුවට' කලින් පත් කරන ලද කමිටුවලට මෙන් නොව හපා කන්නට දත් ඇති බව ද තනි තනි පුද්ගලයන් පවා වැරදිකරුවන් කිරීමේ බලය එහි වරමෙහි අඩංගු බව ද විදේශ කටයුතු ඇමති ජී.එල්. පීරිස් නිව්යෝක්හිදී ජනමාධ්‍යවලට පවසා තිබේ. 


Peiris dismissed charges that past Sri Lankan commissions of inquiry had achieved little. "Of course it has teeth," he said of the new commission, saying its mandate gave it power to determine whether individuals should be held responsible.


ලංකාවේ මානව හිමිකම් වාර්තාව ප්‍රශ්න කරමින් සිටින බටහිර රටවල් ෂේප් කර ගැනීම සඳහා ඇමති ජී.එල්. පීරිස් මේ දිනවල යුරෝපා, ඇමරිකා සංචාරයක නියැලී සිටියි. ඔහු 2002 කොටි සංවිධානය සමග අත්සන් කරන ලද සාම ගිවිසුමේ ඉංජිනේරුවකු වන අතර, සාම ක්‍රියාවලියක් තුළ කොටි සංවිධානය සිර කර, දිය කර හැර බලය බෙදීම හරහා ජාතික ප්‍රශ්නය විසඳිය යුතු ය යන මතයේ සිටි ෆෙඩරල්වාදියෙකි. දයාන් ජයතිලක වැනි යුදමය විසඳුමක‍ට පසු බලය බෙදිය යුතු ය යන ස්ථාවරයේ සිටි යුදවාදීන් කපා දමා ජී.එල්. පීරිස් විදේශ ඇමති කර ගැනීම විසින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගනිමින් සිටින හැරවුම ඉඟි කරමින් තිබේ. 


රාජපක්ෂ ආණ්ඩුව විශ්වාස කර යුද්ධයට කර ගැසූ පුද්ගලයන්ට මේ කොමිසම කෙසේ බල පානු ඇද්ද යන්න අපි නොදනිමු. 


ආණ්ඩුව යුද්ධය දිනුවේ ය. දැන් තිබෙන්නේ බටහිර දිනා ගන්නට ය. 

ඇමති නිමල් සිරිපාලගේ ගේ පිටුපස ලෝක බැංකුව හොල්මන් කරනවාද? | Is World Bank haunting behind Minister Nimal Siripala?

(2010 මැයි 26, W3Lankaදිවයින පුරා ඇති සියලුම වාරිඇල සහ කෙත් ඇළ මාර්ග සංවර්ධනය, ප්‍රතිසංවර්ධනය, නඩත්තුව සහ ආරක්‍ෂා කිරීමේ වගකීම වාරිමාර්ග නිලධාරීන්ගෙන් මුදා හැර අදාළ ගොවි සංවිධානවලට පවරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.


ඒ අනුව, තමන්ගේ කුඹුරට වතුර ගලා එන ඇල නඩත්තු කර ගැනීම සඳහා රජය සපයන ආධාර කොන්ත්‍රාත්කරුවන් අතට යන්නට නොදී ගොවීන්ට ම එම කර්තව්‍යය කර ගත හැකි ය. බැලූ බැල්මට මෙය ජනතාවාදී තීරණයකි. එහෙත්, පොදු අයිතියට යටත්ව පැවති, නමට හෝ ප්‍රජාතන්ත්‍රවාදීව පත් කර ගනු ලැබූ ආණ්ඩුවක පාලනයට යටත් රජය විසින් නඩත්තු කරන ලද වැව හා ඇල මාර්ග ආදිය අවිධිමත් ලෙස පත් කර ගන්නා ලද සංවිධාන ව්‍යූහයන් විශේෂයක් වන ගොවි සංවිධානයට භාර දුන් විට මතු වන පළමු පැනය වන්නේ ඒවා නඩත්තු කිරීමට ගොවි සංවිධානවලට ඇති ධාරිතාවන් ප්‍රමාණවත් ද යන්නයි. රජය විසින් ප්‍රමාණවත් පරිදි ආධාර නොසපයන විට ඇල මාර්ග නඩත්තුව සඳහා ගොවීන්ගෙන් මුදලක් අය කිරීමට ගොවි සංවිධාන තීරණය කරන්නට ඉඩ තිබේ. ලාභ ඉපැයීම සඳහා වැවේ වතුර ටික වානිජ කෘෂිකර්මයේ යෙදෙන සමාගමකට හෝ කම්හලකට විකුණන්නට වුව ගොවි සංවිධානය තීරණය කරන්නට හැකියාව ඇත. මේවා සරළ කරුණු ලෙස පෙනුනත්, ලංකාවේ මෙතෙක් නොපැවති අලුත් තත්වයන් නිසා ඒවා විසින් සමාජයට ඇති කරන බලපෑම සුවිසල් ය. 


වතුර කොරහේ කිඹුලන් දැකීම විකාරයක් වුවත් අනෙක් සියලු තැන්වල ‍වෙනත් ආකාරයක් ක්‍රියාත්මක වෙද්දී කුඹුරුවලට ජලය සපයන වාරිමාර්ග සම්බන්ධයෙන් පමණක් වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට යන්නේ ඇයිද යන්න විමසා බැලිය යුතු ය.


ජල කළමනාකරණය සම්බන්ධ නියාමක ව්‍යාපෘතියක් සඳහා ලෝක බැංකුව විසින් ලංකාව තෝරාගෙන තිබිණි. ලෝක බැංකුව විසින් දිළිඳුභාවය පිටුදැකීම සඳහා ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීම පිණිස  ප්‍රවර්ධනය කරනු ලබන වෙළඳපොල නිදහස්කරණයේ හොඳ නරක ගැන ලෝකයේ තියුණු විවාදයක් ඇති වී තිබේ. මෙහි ඇති මූලික ගැටලුවක් වන්නේ දිළින්දන්ගේ නමින් සිදු වන මේ ක්‍රියාවලි පිළිබඳ තීරණය කිරීමේදී දිළින්දන් එයට සම්බන්ධ නොවීමයි. 


නිදසුනක් ලෙස, ලංකාව වැනි රටවල දූෂිත රාජ්‍යයන් සමග එක්ව ජනතාවට කොළය වසා සකසන ලද 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැනි සැලසුම්වල යුක්තියුක්තභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න තිබේ.  


ජල සම්පත් වෙළඳපොලකරණය කිරීමේ ලෝක බැංකු හා ලෝක වෙළඳ සංවිධාන සැලසුම් ඉදිරියට ගැනෙන්නේ ජල කළමනාකරණය නමිනි. මෙම සැලසුම්වලට එරෙහිව ලෝකය පුරා ම විරෝධතා මතු විය. ලංකාවේ සිවිල් සමාජ සංවිධාන ද මෙම ප්‍රශ්නය පිළිබඳ සංවේදීව ජාතික සම්පත් හා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය පිහිටුවාගෙන සටන් කළේ ය. මහමාන්කඩවල පියරතන හිමියන්ගේ නායකත්වයෙන් පිහිටුවන ලද එම සංවිධානය 2001 - 2004 සමයේ පැවති එක්සත් ජාත්ක පක්ෂයේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' සැලැස්මට එරෙහිව සටන් කරද්දී එහි ක්‍රියාකාරිකයන් අතර වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ද විය. 


ජලය දුර්ලභ සම්පතක් වෙමින් තිබෙන ලංකාවට ජල කළමනාකරණ ක්‍රමවේදයක් අවශ්‍ය බව රහසක් නොවේ. ප්‍රධාන නගරවල වාහන සෝදන්නේ ද ක්ලෝරීන් දමා පිරිසිදු කර අඩු මිළට දෙන ජලයෙනි. ලාභය පිණිස වී වගා කරමින් වානිජ කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ට පොහොර සහනාධාරය පමණක් නොව කුඹුරට වතුර සැපයීම පිණිස අවශ්‍ය වාරිමාර්ග ද නඩත්තු කිරීමට මෙරට සෙසු පීඩිත ජනයා බදු බරට කර ගැසීමේ  යුක්තියුක්තභාවය විවාදාපන්න ය.


එහෙත්, මූලික අවශ්‍යතාවක් වන ජලය රජය සතු කර ගැනීම හා කළමනාකරණය නමින් එය වෙළඳපොලකරණය කරන්නට යාම සමාජ, සංස්කෘතික හා සදාචාරාත්මක ගැටලු රැසකට මුල් වේ. ලංකාවේ වාරිමාර්ග පද්ධතිය යනු වසර දහස් ගණනක සිට මේ රටේ ශිෂ්ටාචාරයන් විසින් ගොඩනගා ගන්නා ලද දෙයකි. ඒ හා සම්බන්ධ තීරණ ගැනීමට රජයට ඇති අයිතිය පවා මතභේදයට තුඩු දී තිබේ. 


2010 මහ මැතිවරණය ජය ගැනීමෙන් පසු ලංකාවේ දියත් වන බැසිලියානු ආර්ථික සැලසුම් තුළ ලෝක බැංකුව නැවත ලංකාවට හොට දමමින් සිටියි. 1994 සිට ලෝක බැංකුව සමග දිග කා 2004දී හොර ජාතිකවාදයක් වැළඳගෙන සාන්ත දාන්ත තීන්ත කූඩු මෙන් උන් ඇමතිවරුන්ගේ නාඩි දැන් නැවතත් ලෝක බැංකු පදයට වැටෙන්නට පටන් ගෙන තිබේ. 


ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ජල කළමනාකරණ උපාධියක් ආරම්භ කිරීමේ අදහසක් ද ඇමති නිමල් සිරිපාලට තිබේ. 


ඇමති නිමල් සිරිපාලගේ ගේ වටා ලෝක බැංකුව හොල්මන් කරනවාද යන්න පිළිබඳ මේ රටේ ජනතාව සැලකිලිමත් විය යුතු ය. මන්ද, මෙතෙක්  ඔබ නිදහසේ දිය බුං ගැසූ වැවට, ඇලට හිටි හැටියේ අයිතිකරුවකු පහළ වීම, ඔබේ වත්තේ ළි‍ඳෙන් වතුර ටිකක් ගන්නට ආණ්ඩුවෙන් බලපත්‍ර ගන්නට වීම ආදිය ඔබේ ජීවිතයේ මූලික අවශ්‍යතාවකට අදාළව දැවැන්ත විපර්යාසයක් ඇති කරන බැවිනි.    

2010-05-25

ලංකාවෙන් ඉංග්‍රීසි ගුරුවරුන් ආනයනය කරන්නට යන දකුණු කොරියාවට අබ සරණයි

(2010 මැයි 25, W3Lanka)  ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන් 2000කට කොරියාවේ පාසල්වල දෙවසරක් උගන්වා මුදල් උපයා ගැනීමේ අවස්ථාව ලබා දෙන බවට දැවැන්ත ප්‍රචාරයක් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන රජයේ මාධ්‍ය සමග එක්ව ගෙන යයි. 

හිටපු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා ද පසුගිය කාලයේ ලංකාවේ හෙදියන් දහස් ගණනකට විදේශ රටවල රැකියා අවස්ථාව ලබා දෙන බවට දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේ ය. එහෙත්, පෞද්ගලික ක්‍රමවලින් විදේශ රැකියා සොයා ගත් අය හැර සෞඛ්‍ය අමාත්‍යංශය හරහා හෙද රැකියා ලබා ගත් කිසිවෙකු පිළිබඳ අපි නොදනිමු. රට රස්සා හීනයෙන් පිබිදුණු හෙදියන්ට ඉංග්‍රීසි පාඨමාලා පවත්වා මුදල් ගරා ගැනීමේ ජාවාරමක් ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් දියත් විය. 

කොරියාවේ ඉංග්‍රීසි ගුරු රැකියා ලබා ගැනීම සඳහා හෙට අනිද්දා ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරු කොරියානු භාෂා පංති බඩගාමින් අතේ තිබෙන තුට්ටු දෙකට තට්ටු කර ගනු නිසැක ය. 

අනෙක් පැත්තෙන් කොරියාවට ඉංග්‍රීසි ගුරුවරුන් අපනයනය කරන්නට සිටින ලංකාවේ දියුණු ම පළාත වන බස්නාහිර පළාතේ මතුගම අධ්‍යාපන කලාපයේ පමණක් ඉංග්‍රීසි ගුරු හිඟය 50කට අධික ය. ගුරු හිඟය නිසා එක ගුරුවරයා පාසල් දෙක, තුනක උගන්වයි.

ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරු 22,000ක් සිටිනමුත් දුෂ්කර පළාත්වල අධික ඉංග්‍රීසි ගුරු හිඟයක් ඇත. ඇතැම් දුෂ්කර පාසල්වල සිසුන්ට ඉංග්‍රීසි ගුරුවරයකු බෙහෙතකටවත් සොයා ගන්නට නැත.

ඒ කරුණ පැත්තක තිබ්බත්, ලංකාවෙන් ඉංග්‍රීසි ගුරුවරුන් කොරියාවට ගෙන්වා ගැනීමට ඒ රටට හොඳ පිස්සුවක් තිබිය යුතු ය. මන්ද, ලංකාව වනාහි තුනේ පංතියේ සිට දහ තුනේ පංතිය දක්වා වසර දහයක් ඉංග්‍රීසි උගන්වාත් ඉංග්‍රීසි හරි හැටි කතා කරන්නට, කියවන්නට, ලියන්නට නොදත් අය 90%කට වඩා වන සිසු පරපුරක් පාසලෙන් පිට කරන රටකි. ඉංග්‍රීසි නොදන්නාකම නිසා රස්සාවක් සොයා ගන්නට බැරි උපාධිධාරීන් දස දහසක් පමණ වසරකට විශ්ව විද්‍යාලවලින් පිට කරන රටකි.


මේ රටේ 2008 වර්ෂයේ සා.පෙ. 69% ක් ඉංග්‍රීසි අසමත් වූහ. ඒ අනුව එම වර්ෂයේ ඉංග්‍රීසි සමත් ප්‍රතිශතය 31% කි.


ලංකාවෙන් ඉංග්‍රීසි ගුරුවරුන් ආනයනය කරන්නට යන දකුණු කොරියාවට අබ සරණයි.  


අප දේශප්‍රේමීන් වන බැවින් අපි මෙම සටහන ඉංග්‍රීසියෙන් නොලියන්නෙමු. කාව රවට්ටා හෝ ලංකාවේ අය පනම් හතරක් සොයා ගන්තොත් අපටත් හොඳ ය. 

අපේ උපන් දිනයට රාවයෙන් ලැබුණ තෑග්ග | The present Ravaya newspaper sent for our anniversary

(2010 මැයි 25 - අජිත් පැරකුම් ජයසිංහ, W3Lankaමේ මාධ්‍ය ව්‍යායාමයට වසරක් පිරෙමින් තිබියදී රාවයෙන් අපට අපූරු තෑග්ගක් ලැබිණි. ඒ මෙම ලේඛකයාගේ ලිපි රාවයේ පළ නොකරන බවට රාවයේ කේ.ඩබ්. ජනරංජන පැවසූ බව වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් වන රාවයේ ලසන්ත රුහුණගේ අප හිතවතකුට පැවසීමයි. 


කීවාත් වාගේ දෙසතියක් ම මා විසින් යවන ලද ලිපි රාවයේ පළ වී නොතිබිණි. රාවයත් මාත් අතර කිසිදු ගිවිසුමක් නැත. ලිපි ලියන්නැයි රාවය මට ආරාධනා කළේ ද නැත. එහෙත්, වසර ගණනාවක් තිස්සේ මම වතාවතක් සේ බ්‍රහස්පතින්දා පාන්දර හතරට අවදිව රාවයට ලිපියක් ලියා විද්‍යුත් තැපෑලෙන් යැවීමි. මේ ලිපිය නිසා බොහෝ බ්‍රහස්පතින්දා දිනවල මා අත්සන් කළේ රතු ඉරට යටිනි. 


පසුගිය කාලයේ මා රැකියාව අහිමිව සිටියදී තිඹිරියාගම බංඩාර මේ ලිපි වෙනුවෙන් සුළු මුදලක් ගෙවන්නට කටයුතු යෙදුවේය. දැන් මාස හයකින්, හතකින් පමණ මා එම මුදල ලබා ගන්නට රාවයට ගියේ ද නැත.


රාවය විශාල අලෙවියක් ඇති පුවත්පතක් නොවේ. එහෙත් මගේ ලිපි පළ නොකළත් මම හෙටත් රාවයට ආදරය කරමි. එයට හේතුවක් ඇත. උසාවි ගොස් බොහෝ මුදල් හම්බ කළ හැකි නීතිඥයකු වුණත්, පුංචි පඩියකට රාවයේ කාටුන් අඳින ජනරංජන හා ගවේශනාත්මක පුවත්පත් කලාවේ ඇති තම කුසලතා විද්‍යුත් මාධ්‍යයකට වැඩි මිලකට අලෙවි කළ හැකිව තිබියදීත් පුංචි වැටුපකට රාවයේ වැඩ කරන ලසන්ත රුහුණගේ වැනි වෙනස් මිනිසුන් එහි වැඩ කරන නිසාත්, එය මිළ දී ගන්නා පිරිස ද ඒ හා සමාන අය වීම නිසාත් ය. වෙනත් කිසි පුවත්පතක් සමග නැති නෑකමක් වැනි හැඟීමක් රාවය සමග ඇත. 


අන්තර්ජාලයෙන් අප කියවන ප්‍රමාණය රාවය පුවත්පත විකිණෙන ප්‍රමාණයට වැඩි ය. එහෙත් මුද්‍රිත අකුරට ඇති අතීතකාමී ආදරය නිසාත්, ‍සමාජය වෙනස් කරන්නට ජීවිතය කැප කර හෙම්බත් වී සිටින මැදි වියේ හා පෑල වියේ සිටින අපේ මිතුරන් වැඩි දෙනෙකු අන්තර්ජාලය හරිහැටි පරිහරණය කරන්නට නොදන්නා හා එය ඉගෙන ගැනීමෙහි දුර්වල අය නිසාත් රාවයට ලිවීම ඒ මිතුරන් අතරට යන එක් මාධ්‍යයක් විය. (අන්තර්ජාලය ඉගෙන ගන්නට බැරිමුත් අපේ මිතුරෝ විප්ලවය කරන අන්දම නම් ටක්කෙට දනිති.) 


රාවයේ ලිපි පළ නොවීම පිළිබඳ මම රාවය කර්තෘ වික්ටර් අයිවන්ගෙන් විමසා ඊමේල් පණිවුඩයක් යැවීමි. ඊයේ සවස ඔහු මට දුරකථනයෙන් කතා කර මගේ ලිපි පළ නොකිරීමේ ප්‍රතිපත්තිමය තීරණයක් කර්තෘ මණ්ඩලය විසින් ගෙන නැති බව දැනුම් දුන්නේ ය. 


දැන් සිදු විය හැකි දේ අතර එකක් වන්නේ කිසිදු ප්‍රශ්නයකින් තොරව පෙර පරිදි ම මගේ ලිපි පළ වීමයි. නැතිනම්, මගේ ලිපිවල අන්තර්ගතය හා භාෂාව දුර්වල වීම ආදී හේතු මත ලිපි පළ නොවන්නට පුළුවන.  මෙහිදී අදාළ උප කර්තෘවරයාගේ ආධිපත්‍යයට මා යටත් විය යුතු බව මම හොඳින් දනිමි. මාධ්‍ය හා මාධ්‍යකරුවන් ජනතාව මත පවත්වාගෙන යන වාරණය එවැන්නකි. මෙහිදී වම, දකුණ කියා වෙනසක් නැත. දකුණ නම් අඩු ගණනේ වෙළඳපොල පිළිබඳව හෝ සංවේදී ය. රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති මත ප්‍රධාන වශයෙන් යැපෙන නූතන වම මෙකී කාරණයේදී අතිශය කෲර ය. එහෙයින් ප්‍රකාශනයේ නිදහස පිළිබඳ දේශන පවත්වන, ලියන, පිකට් කරන කර්තෘ මණ්ඩලයකින් සපිරි රාවයෙන් අප වැනි අයට ප්‍රකාශනයේ නිදහස අපේක්ෂා කළ නොහැකි ය. 


බ්ලොග් අවකාශයේ සුන්දරත්වය වන්නේ අධිපති මාධ්‍යවල මෙකී වාරණය මෙහිදී පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන්නට බැරි වීමයි. 


‍පවත්නා  සමාජ ක්‍රමයට එරෙහිව එකට සටන් කිරීමේ දිගු කාලීන නෑකමක් ඇති රාවයට මා පිළිකුල් වූයේ රාවයට මා විසින් යවන ලද ඩයස්පෝරා අදහස් හා ස්වදේශික අදහස් අතර ගැටුම නම් ලිපිය නිසා ය. ලංකාවේ පවත්නා මර්දනකාරී තත්වයට මුවා වී එකට සටන් කළ යහළුවන් වලසාට භාර දී බටහිර යුරෝපා ගස්වලට ගොඩ වූ මිතුරන්ගේ දේශපාලනය ගැන විවේචනයක් එහි ඇත. වමේ සුරුවම් දෙක තුනකට ද එයින් පහර වැදී ඇත. 


සුරුවම් බිඳ දැමීමේ වැදගත්කම පිළිබඳ අපට හොඳින් ම ඉගැන්වූයේ ජනරංජනගේ ද දේශපාලන ගුරුවරයා වන දීප්ති කුමාර ගුණරත්නයි. පාදස්තල මතින් බිමට බැස පො‍ළවේ පයා ගසා 'ඉතින් මචං කොහොමද?'යි අසන්නට කැමති නම් අපි අදත් මේ වාමාංශික ඊනියා ශාන්තුවරයින්ට ආදරය කරන්නෙමු. එහෙත්, ඔවුන්ට මල් පහන් පුදන්නට අවශ්‍ය අන්ධ භක්තිය නඩත්තු කර ගන්නට බැරි තරමට වමේ දේශපාලනය විසින් අප තම්බා ඇත. 


1985දී අධ්‍යාපනය අතහැර දමා ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට පිවිසි දින සිට ගත වූ විසි පස් වසර තුළ මම තවත් බොහෝ අය සේ ම වමේ බොහෝ ව්‍යාපෘති වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කඩේ ගියෙමි. කඩේ ගියේ නිකම් පාරවල නොව, මරු කපොලු හරහා ය. සමහරු අප කඩේ පමණක් නොව ග‍ඟේ ද යැවූහ. මේ විසිපස් වසර තුළ එදිනෙදා සහෝදරත්වයෙන් ඇසුරු කළ මිනිසුන් ගණන අති විශාල ය. එහෙත් දීර්ඝ කාලීන මිතුරන් අතේ ඇඟිලි ගණනටවත් හමු වී නැත. ජීවිතය ගැන ගැඹුරු කතිකාවල යෙදී සිටි සහෝදරයෝ හිටි හැටියේ මහ මගදී හමු වූ විට අප නොදන්නා අය සේ හැසිරෙති. නැතිනම්, මුහුණට කෙළ ගසති. හේතුව, ඔවුන් හා එක්ව බෙදා ගත් දේශපාලන දැක්ම විවේචනය කිරීමයි. 


වලසාගෙන් බේරි බේරී අපි බොහෝ කාලයක් ජීවත් වී ඇත්තෙමු. වලසාටත් වඩා බේරීමට අමාරු 'සහෝදරයාගෙන්' ය. ඔහු අප මරා නොදැමුවේ අන් කිසිවක් නිසා නොව ඔහු අත අවි නැති නිසා ය. ඒ නිසා ඔවුහු අප දේශපාලනිකව ඝාතනය කළහ. දන්නා හඳුනන හැම කෙනෙකුට ම 'අරූ ද්‍රෝහියා' ය කියා කීහ. වාම සමාජයේ අප මුළුමනින් ම පරාජය කර දැමූ හ. 


වාසනාවට හෙමිංවේ 'මහල්ලා සහ මුහුද' ලියා තිබිණි. පරාජය කළ හැකි වුවත් විනාශ කළ නොහැකි වූ හෙමිංවේගේ මහල්ලා සේ වෙහෙසින් පීඩිතව අපි ‍සම්ප්‍රදායික මාධ්‍ය ගොඩබිමින් බොහෝ ඈත සයිබර් මුහුදේ මේ පුංචි ඔරුවේ තනි වී සිටිමු. අපේ ඔරුවේ ගැට ගසා ඇති දැවැන්ත මත්ස්‍ය අස්ථි පංජරය දෙස කවදා හෝ ලෝකයා බලනු ඇත. 


මිත්‍රවරුනි, කවුරු තරහා වුවත් අපි මේ සැඟවුණු ඇත්ත ලියන එක නවත්වන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, ආදරය යනු සතුරාට පහර දීමට භාවිතා කළ හැකි ගල් මුගුරු නොවේ. ඒවා ජීවිත භාවිතා විය යුතු ය. ඔබ පාලකයන්ගෙන් ඉල්ලා මොර ගසන ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ඔබ බලවත් අවකාශයෙහිදී ඔබට වඩා දුර්වල අයට දෙන්නට ඔබ අකැමැති නම් ඔබ බොරුකාරයෙකි; වංචනිකයෙකි. 


වමට අලුත් ලොවක් ගැන සිහිනය යථාර්ථයක් බවට පත් කරන්නට බැරි වී ඇත්තේ සමූහයක් ලෙස මේ මිනිස් දුබලකම පරාජය කරන්නට බැරි වූ නිසා ය. එය කරන්නට බැරි වු‍ණොත් වමේ හෙට දවස අදට ද වඩා අඳුරු වනු ඇත. 


අවිද්‍යාවට එරෙහිව සටන් කළ යුත්තේ තවත් මිථ්‍යා ප්‍රබන්ධයක් මත සිට නොවේ. වර්තමාන අසාධාරණ සමාජ ක්‍රමයට එරෙහිව සටන් කරන ගමන් එකී සටනේ යථාර්ථය ද අපි ලියන්නෙමු. එසේ නොකළහොත්, මේ සටන්වලින් කිසි දිනෙක සමාජයට යහපත් ප්‍රතිඵලයක් අත් වන්නේ නැත. කොළඹ දේශපාලන කව සමග ඇති සියලු බැඳීම්වලින් නිදහස්ව හද්දා පිටිසර ගමක සිට අප මෙම කාර්යයට අත ගසන්නේ ‍එය අපට කළ හැකි හොඳ ම දේශපාලනික කාර්යය යයි අප සිතන නිසා ය. මෙයින් ඔබේ දේශපාලන සුරුවම්වලට සිදු වන හානිය පිළිබඳ අපට කණගාටු ය. එහෙත් කරන්නට දෙයක් නැත. 


අප ඔබේ සුරුවම් සතුරාට පාවා දෙන්නේ යයි කියමින් හඬා නොවැළපෙන්න. සුරුවම් පාදස්තල මතින් බිමට බා නාවා ගන්න. 


කරුණාකර කකුල් මාට්ටු දැමීමෙන් වළකින්න. 

2010-05-24

අසිරිමත් ලංකාවේ කොළඹ පොලිසිය රථ වාහන හැසිරවීම | Traffic police in Colombo, the capital of Asia's wonder


මෙම ඡායාරූපය ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? එව්වාට නදීට තුති. 

කොළඹ ඇල මාර්ග 16ක් කිසිම අංශයකින් නඩත්තු කරන්නේ නැතිලු | Sixteen canals in Colombo maintained by no authority

(2010 මැයි 24 - W3Lankaකොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග 16ක් දීර්ඝ කාලයක් තිස්සේ කිසිම ආයතනයකින් නඩත්තු නොකරන බව පසුගියදා හෙළිදරව් වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවකදී බව දිනමිණ පුවත්පත කියයි.


එසේ නම් වැසි ජලය බැස නොයාමේ ගැටලුව ඇත්තේ එතැනයි.


මේ අතර, වැසි ජලය බැස යෑමට සකස්කැර ඇති ඇළ මාර්ග අවහිර කර තිබෙන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර ඇති බව ආපදා කළමනාකරණ ඇමති ඒ.එච්.එම්. ෆවුසි පවසයි.


ඇළ දොළ, ගංඟා හා තෙත් බිම් ආශි‍්‍රත අනවසර පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට අණ කළ බව වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති, නිමල් සිරිපාල ද සිල්වා පවසයි. යම් හෙයකින් මෙම අනවසර පදිංචිකරුවන් එම ස්‌ථානවලින් ඉවත් නොවන්නේ නම් ආරක්‍ෂක හමුදාව යොදාගෙන හෝ ඉදිරි සතිය තුළදී මොවුන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ඇමැතිවරයා "දිවයින"ට පැවැසුවේය.


මේ දෙන්නට යන්නේ ඇත්ත ප්‍රශ්නයට විසඳුමද? නැතිනම්, ගංවතුරට මුවා වී කරන්නට යන්නේ, යන එන මං නැතිව ඇල ඉවුරුවල පදිංචි වී සිටින දිළින්දන් පළවා හැරීමද?


ඉවත් කරන්නේ දිළින්දන් කළ අනවසර ඉදිකිරීම් පමණද?


උන්හිටිතැන්වලින් මුලිනුපුටා දමනු ලැබූ කල ඔවුන්ට සිදු වන්නේ කුමක්ද?