2010-07-31

සියත නෙළා ගත්තේ තමන් වැපිරූ දෙයෙහි අස්වැන්නයි

(2010 ජුලි 31, W3Lankaසියත මාධ්‍ය ආයතනයට කවුරු හෝ එල්ල කළ ප්‍රහාරයෙන් එක හොඳක් සිදු වී තිබේ. එනම් කවුරුවත් නො බලන තත්වයක තිබුණු මෙම රූපවාහිනී සේවයට යළි විකාශනය ආරම්භ කළ හැකි නම්, අඩු තරමේ මේක මොකක්ද,  මේකට ගැහුවෙ ඇයිදැයි ආදිය දැන ගන්නට හෝ මිනිස්සු මෙම රූපවාහිනී නාලිකාව බලනු ඇත. 


ඩයලොග් ටී.වී. හරහා කෙටි කලක් සියත විකාශනය වෙද්දී මෙම ලේඛකයා වරක් දෙවරක් සියත නරඹා ඇත. වර්තමානයේ පවතින තරගකරී මාධ්‍ය වෙළඳපොල තුළ ප්‍රේක්ෂක අවධානය රඳවා ගත හැකි කිසිදු නිර්මානශීලිත්වයක් එහි දක්නට නො ලැබිණි. අන්තිමේදී ඩයලොග් ආයතනයට ගෙවීමට ඇති මුදල් නො ගෙවීම නිසා සියත ඩයලොග් ටී.වී. වෙතින් ඉවත් කෙරිණි. 


සියත ආයතනය විසින් ඉස්සර පුවත්පතක් ද පවත්වාගෙන යන ලදී. රාවයේ වැඩ කළ මංජුල වෙඩිවර්ධන අති විශාල වැටුපකට සියතට කර්තෘ ලෙස එක් වූ අතර එහි ප්‍රවෘත්ති කර්තෘ ධුරය දැරූ අතුල විතානගේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සිටි තදබල ක්‍රියාකාරිකයෙකි. 


මේ ඩබල සහ වැඩි පඩියට සියතට එක් වූ සෙසු වාමාංශික පිරිස් රජ පවුලට කඩේ ගිය සියතේ උවමනාවට ගැලපෙන පරිදි පුවත්පතේ පිටු රජ මාළිගාවට ගෙන ගොස් අනුමත කර ගන්නා තරමට මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි අතර අන්තිමේදී සිය සුපුරුදු වාමාංශික අලසකම් හා අකාර්යක්ෂමතාව නිසා රැකියාවලින් දොට්ට වැටෙන තත්වයට පත් වූහ. මේ හේතුව මත කළ ඉල්ලා අස් වීම මාධ්‍ය නිදහස සමග ද අපැහැදිලි ලෙස පටලවා ගත් ඔවුන්ගේ එදා පටන් ජීවනෝපාය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ම විය. අද වන විට මේ දෙන්නා ම ජීවිත ආරක්ෂාව පතා රටින් බැහැරව සිටිති. 


නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගැන ලියන්නට ගිය විට මතක් වන්නේ සුගතපාල ද සිල්වාගේ නවකතාවක නමකි. පුළුවන් නම් කියන්න. 


සියත මාධ්‍ය ආයතනය බිහි වූයේ තනිකර ම පාලක පවුලට කඩේ යාමේ හා ඒ හරහා තමනට ආර්ථික වාසි අත්පත් කර ගැනීමේ එහි අයිතිකරුවන්ගේ පටු අභිලාෂයෙනි. 


සියත අයත් නිළි සංගීතා වීරරත්න 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පුසිද්ධියේ වැඩ කළා ය. ඉන් පසු ඔවුන් රජ පවුලේ සමීප හිතවතුන් වූ අතර සංගීතාටත් ඇගේ සැමියා වන රොෂාන්ත කාරියප්පෙරුමටත් සියත මාධ්‍ය ආයතනය ආරම්භ කිරීම සඳහා රූපවාහිනී හා ගුවන් විදුලි සංඛ්‍යාතවල පටන් රජයේ දැන්වීම් දක්වා බොහෝ වාසි ලැබිණි. 


රොෂාන්තගේ සහෝදරයා වන ප්‍රියන්ත කාරියප්පෙරුමට විදුලි සංදේශ නියාමන කොමිෂමේ සභාපති ධුරය හිමි විය. ඉන් පසු ඔවුහු දැහැමෙන් සෙමෙන් බිස්නස් කරගෙන උන්හ. බිස්නස් කීවාට මේ බිස්නස් මෙවැනි ය. සියත පුවත්පත විකුණුනේ පිටපත් දෙදාහක් පමණ ගණනකි. එහෙත් එයට ඕනෑතරම් රජයේ දැන්වීම් ලැබුණු අතර රජයේ බලපෑමෙන් පෞද්ගලික අංශයේ ද දැන්වීම් ලැබිණි. 


මේ අයට වැරදුණේ ඔවුන් 2010 ජනාධිපතිවරණයේදී කෙළි සූදුව නිසා ය. සරත් ෆොන්සේකාට පක්ෂව නැ‍ඟෙමින් තිබූ රැල්ල හමුවේ ඔහුට හවුල් වූ කාරියප්පෙරුම පවුලට දෙපැත්ත කෑම තුලනය කර ගැනීමට බැරිව වැඩේ අතේ පත්තු විය. සාමාන්‍යයෙන් ගොඩක් ළඟින් සිටි අය තරහා වූ විට පරම සතුරන් වීම සුලබ මිනිස් ලක්ෂණයකි. 


මහින්ද රාජපක්ෂ ජය ගත් පසු කපන්න බැරි අත සිඹින්නට රජ මාළිගාවට ගිය ප්‍රියන්ත කාරියප්පෙරුම ආපසු ආවේ රජතුමාගේ සැරපරුෂ මල්ලීගෙන් තිත්ත කතාවෙන් අහගෙන ය. දන්නෝ ඉතා හොඳින් දන්නා බැවින් කාරියප්පෙරුම පවුල ම ටික දවසක් රටින් ද බැහැරව සිටියහ. ආපසු ආවොත් සරත් ෆොන්සේකාත් සමග මහ උළු ගෙදර බත්කන්නට වේ යයි බියෙන් එක් අයෙක් තවමත් පිටරට බව දැන ගන්නට ඇත. 


එහෙත් මාධ්‍ය ව්‍යාපාර කෙසේ වෙතත්, විසිතුරු මසුන් රට පටවන ව්‍යාපාරය හෝ රැක ගත යුතු බැවින් ඔවුහු ආපසු පැමිණියහ. 


රජයේ දැන්වීම් නැති වී යාම නිසා සියත අධික ලෙස පාඩු ලබමින් තිබුණ අතර, සම්පූර්ණයෙන් ම වසා නො දැමුනේ මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යාමෙන් යම් පමණකට හෝ පළි ගැනීමෙන් බේරී සිටීමට හෝ අඩු ගණනේ තර්ජිත මාධ්‍ය ආයතනයක හිමිකරුවකු ලෙස දේශපාලන රැකවරණ හෝ ලබා ගැනීමට ඇති හැකියාව නිසා ය. 


ඔය සූදුවල හැටි ඔහොම තමා ය. සරත් ෆොන්සේකා ඡන්දයෙන් දිනුවා නම් දැන් සියත පන්සියත ය. 


ස්වාභාවිකව මිය යාමට දුන් අවස්ථාව තුළ සියත සිය ව්‍යාපාර මෙහෙයුම් අවසන් කළ යුතුව තිබිණි. එහෙම කළා නම් මෙහෙම වන්නේ නැත. 


අප මේ කතා කරන්නේ සියත අයිතිකාරයන් හා එයට සම්බන්ධ වෙනත් අය විසින් පාලකයන් සමග එක්ව ගොඩනඟන ලද ක්‍රමයේ සිද්ධාන්ත අනුව ය. 


ප්‍රජාතන්ත්‍රවාදයේ සිද්ධාන්ත අනුව කතා කරන අය බොහෝ සිටින බැවින් මෙරට ඇත්තට ක්‍රියාත්මක වන වාදයේ සිද්ධාන්ත අනුව කතා කරන්නෝ ද සිටිය යුතු ය. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-07-30

පොලිතින් ප්‍රශ්නයට මෙන්න විසඳුම්

















Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

නලිනි, මුරුගන්, කේ.පී. සරත් ෆොන්සේකා සම්බන්ධ සිද්ධි තුනක්

(2010 ජුලි 30, W3Lankaඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක්ව සිටින නලිනි, මුරුගන්, සාන්තන් සහ අරිවු නිදහස් කරන්නැයි ඉල්ලමින් ඊ. වේලුසාමි නම් අයෙකු විසින් මදුරාසි මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින් එම අධිකරණය විසින් දෙන ලද තීන්දුව වෙනස් කිරීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.


මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂා කිරීම පිණිස පත් කරන ලද ජයින් කොමිෂම විසින් නම් කරන ලද ප්‍රධාන සැකරුවන් තිදෙනෙකු පිළිබඳ අධිකරණය පරීක්ෂණ පවත්වා නැත යන පදනම මත ඉහත කී පුද්ගලයන්‍ට දෙන ලද තීන්දුව වැරදි බව පෙත්සම්කරුගේ තර්කය විය.


චන්ද්‍රසාමි නම් තන්ත්‍රික්වරයා, ඇමරිකානු සී.අයි.ඒත සංවිධානය හා ඊශ්‍රායල් මොසාඩ් සංවිධානය පිළීබඳවත් තවත් පුද්ගලයන් 21ක් පිළිබඳවත් පරීක්ෂණ පැවැත්විය යුතු බව ජයින් කොමිෂම පවසයි.


මේ අතර, රජීව් ගාන්ධි ඝාතනය පිළිබඳ පරීක්ෂණ සඳහා අවශ්‍ය පුද්ගලයකු  වන කොටි සංවිධානයේ නායකයකු වන කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී ගැන ලංකාවේ ආණ්ඩුවේ ස්ථාවරය මෙසේ ය.


29 වැනිදා පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල පැවසුවේ ඕනෑම අපරාධකරුවකු රජයේ සාක්‍ෂිකරුවකු කර පොදු සමාවක්‌ ලබාදීමට නීතියේ ඉඩකඩ තිබෙන බවත් එය දැනට රජයේ අත්අඩංගුවේ පසුවන කුමරන් පද්මනාදන් හෙවත් කේ. පී. වෙනුවෙන්ද ක්‍රියාත්මක කළ හැකි බවයි.


මේ වන විට විදේශගත දෙමළ ඩයස්‌පෝරාවවෙන් අති බහුතරයක්‌ තමන්ගේම ජනතාවගේ හෙට දවස වඩාත් සංවර්ධිත කලාපයක්‌ බවට පත් කිරීම සඳහා සහයෝගය පළ කරන්න ඉදිරිපත්වී තිබෙන බව කියා සිටි ඇමැතිවරයා කේ.පී. ද එයට සම්බන්ධවී තිබෙන බව ප්‍රකාශ කළේය.


කේ.පී. සමග 'දි අයිලන්ඩ්' පුවත්පත පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවක පළමු කොටස මෙතැනින් කියවන්න.


ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවේ 58 වැනි සේනාංකයේ ආඥාපතිව සිටි බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට දුරකථනයෙන් කථා කර යටත් වීමට උත්සහ දරන කිසිදු එල්. ටී. ටී. ඊ නායකයෙක්ට යටත් වීමට ඉඩ නොදෙන ලෙසත් ඔවුන් සියලු දෙනාම මරා දැමිය යුතු බවත් කියා සිටි බවට 2009 දෙසැම්බර් 8 දා කොළඹ රාජකීය මාවතේදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මියට, මහජනයා බිය වැද්දිය හැකි ව්‍යාජ ප්‍රකාශයක් කෙළේ යැයි ද එම ප්‍රකාශය මගින් ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන ආකාරයේ තොරතුරු ජෑන්ස් මහත්මියට සැපයුවේ යැයි ද එම ප්‍රකාශය මගින් ආණ්ඩුවට විරුද්ධත්වයක් ඇතිවන හැඟීම් ඇවිස්සීමෙන් ආණ්ඩුව කෙරෙහි මහජනයා තුළ විරුද්ධත්වයක් ඇති කිරීමට තැත් කෙළේ යැයි ද අධි චෝදනා කොටි සංවිධානය මර්දනය කිරීමේ යුද්ධයේ මූලිකත්වය ගත් ජනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව ඉදිරිපත් වන්නේ ද මෙම දිනවල ම ය. 


1988 අංක 21 දරණ පනතින් සංශෝධිත 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450 (3) වගන්තිය යටතේ ජූරි සභාවක් නොමැතිව විශේෂ අධිකරණ විභාගයක් පැවැත්වීම සඳහා නීතිපතිවරයා මෙම අධිචෝදනා ඉදිරිපත් කර තිබේ. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-07-29

රජයේ සේවක පීඩක ස්ථරය කරෙන් බස්සවා සැබෑ කම්කරුවන් සොයා යන්නට ජවිපෙන් උත්සාහයක්

(2010 ජුලි 29, W3Lankaවිදෙස්ගත ශ්‍රමිකයන් වනාහි ලංකාවේ සැබෑ ජීවනාලියයි. අර්ධ වහල් කොන්දේසි යටතේ සේවයේ යෙදෙමින් ලංකාවේ ධනවාදය පවත්වාගෙන යාමට අවශ්‍ය විදේශ විනිමය උපයන, බහුතරය කාන්තාවන් වන මෙම කම්කරුවන් කෙරෙහි ඔවුන් නිසා ජීවත් වන ලංකාවේ මධ්‍යම පංතිකයන් තුළ ඇත්තේ කුහක ප්‍රතිපත්තියකි.


මෙම ලිපිය අනිවාර්යයෙන් ම නැවත කියවන්න. රටට රු. කෝටි 35,000ක් ගෙන එන විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් රජය කර ඇත්තේ කුමක්ද?


ලංකාවේ සිංහල දිළින්දන්ගේ සමාජ ව්‍යාපාරය වන ජනතා විමුක්ති පෙරමුණ මෙම ජනතාව දෙස වඩා ප්‍රගතිශීලී ඇසකින් බැලීමට උත්සාහ දැරීම ප්‍රශංසනීය තත්වයකි. එහෙත්, පුවත්පත් නිවේදන ඉක්මවා ගිය ක්‍රියාමාර්ග පිළිබදව අලුතෙන් සිතිය යුතුව තිබේ.


පහත පළ වන්නේ මාක්ස්වාදී යයි කියන ජවිපෙ ලංකාවේ සැබෑ කම්කරුවන් දෙස අවධානය යොමු කරමින් නිකුත් කළ නිවේදනයකි.


සෙසු මධ්‍යම පංතික මාක්ස්වාදීන් ද රජයේ සේවක පීඩක ස්ථරය කරෙන් බස්සවා සැබෑ කම්කරුවන් සොයා යාමට මෙයින් දිරි ගැන්වීමක් ලැබේවායි පතමු.


සෞදි අරාබියේ සිරවී සිටින ශ‍්‍රී ලාංකික කාන්තාවන් 41 දෙනකු සම්බන්ධවයි!


සෞදි අරාබිය බලා ගිය ශ‍්‍රී ලාංකික කාන්තාවන් 41 දෙනකු එරට තුළ අතරමං වී සිටින අතර ඔවුන් පිළිබඳව සෞදි අරාබියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය කිසිදු මැදිහත්වීවමක් සිදු කර නැත. ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි.


ඔවුන් සෞදි අරාබියේ රියාද් නගරයේ ‘අමීරා ෂෙඞ්’ ආසන්නයේ නේවාසිකාගාරයක සිරවී සිටිති.


ඔවුන් පවසන්නේ මරදානේ පිහිටි ‘නිව් ට‍්‍රාන්ස් ගල්ෆ්’ නමැති ඒජන්සියකින් පසුගිය අපේ‍්‍රල් මස පළමු වැනිදා තමන්ව සෞදි අරාබියට යැවූ බවයි. ඔවුන් පිරිසිදු කරන්නියන් ලෙස රැකියාවට බඳවා ගෙන ඇත්තේ ‘රාසික් අල් මුසල්ලා’ නමැති සමාගමකි. දැන් සිටින නේවාසිකාගාරයට ඔවුන් ගෙන ගොස් රඳවා ඇත්තේ එම සමාගම විසිනි.


සෞදි රියාල් 650ක් මාසිකව ගෙවන බවත් ආහාර, නවාතැන්, සෞඛ්‍ය ඇතුළු අනෙකුත් සියලූ පහසුකම් නොමිලේ සපයන බවත් රැකියා ඒජන්සිය ඔවුන්ට පොරොන්දු වී ඇත. එහෙත් ඔවුන් සෞදි අරාබියට ගොස් ගත වී ඇති මාස හතරක කාලය තුළ මේ දක්වා සේවා ස්ථානයේ වැඩ කිරීමට ඉඩ ලැබී නැත. ඒ වෙනුවට ඔවුන්ට පිටතට යාමට හෝ ඉඩ නොදී නේවාසිකාගාරයේ සිර කර තබා ගෙන සිටියි. කුසගිනි නිවා ගැනීම සඳහා පමණක් වරින් වර සුළු මුදලක් ලබා දෙන අතර එය ලබා දෙන්නේද වැටුපෙන් කපා ගන්නා බව පවසමිනි. පසුගිය මාස හතරටම වැටුප් ලෙස කිසිදු මුදලක් ලබා දී නැත.


අවස්ථා කිහිපයකදීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයටත් සෞදි අරාබියේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයටත් පැමිණිලි කර ඇතත් මේ දක්වා ප‍්‍රමාණවත් මැදිහත්වීමක් සිදු කර නැති බවට ඔවුහු චෝදනා කරති.


ශ‍්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන, රටේ ආර්ථිකයෙන් විශාල පංගුවක් නියෝජනය කරන විදේශ රැුකියාවල නියුතු මෙම කාන්තාවන් විදේශ ගත වන්නේ ඉතා අසීරුවෙන් බව ඔබතුමා දනී. ඉහත කී 41 දෙනා අතරද තමන්ගේ ගෙවල් දොරවල්, ඉඩකඩම් උකසට තබා මුදල් සොයා ගත්, පොලියට මුදල් ලබා ගත් බොහෝ දෙනකු සිටිති. ඒ නිසා විදේශ ගතවීමෙන් පසුව රැුකියාවක් අහිමි වීමෙන් ඔවුන්ගේ ජීවිත ඉතා අනතුරුදායක අඩියකට ඇද වැටෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.


මාස හතරකට වැඩි කාලයක් විඳි දැඩි මානසික පීඩාව නිසාම ඔවුන් අතරින් පිරිසක් බරපතළ ලෙස රෝගාතුර වී සිටින අතර අනෙක් අයද රෝගී වෙමින් සිටිති. එහෙත් මේ දක්වා ඒ කිසිවකුටත් වෛද්‍ය ප‍්‍රතිකාර ලැබී නැත. වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔවුන්ට නේවාසිකාගාරයෙන් පිටතට යාමට ඉඩ ලැබෙන්නේද නැත.


මේ අනුව පෙනෙන්නට තිබෙන්නේ ඔවුන් අනුයුක්ත කර ඇති සමාගම, රැකියා ඒජන්සිය, තානාපති කාර්යාලය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම පිරිස අතරමං කර දමා ඇති සෙයකි.


ඔවුන් ඉක්මණින්ම ලංකාවට ගෙන්වා ගැනීමට හෝ සුදුසු සේවා ස්ථානයක රැකියා සඳහා යොමු කිරීමට ඔබතුමාගේ ක්ෂණික අවධානය යොමු වනු ඇතැයි බලාපොරොත්තු වෙමි. මේ සම්බන්ධයෙන් ඔබතුමා ගන්නා පියවර පිළිඳ ඉක්මන් පිළිතුරක්ද අපේක්ෂා කරමි.


-අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ජනතා විමුක්ති පෙරමුණ


මේ ලිපියත් කියවන්න: රජයේ සේවකයා කම්කරුවෙක්ද?


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

කොහොමද දොස්තර මහත්තයෙක් කැලනියේ ඩෙංගු මළ ගෙයක් ඉස්සරහා ගස් බැඳලා ඉන්නකොට

(2010 ජුලි 29, W3Lankaවරක් වැන්දොත් උපන්දා සිට කළ පව් නැති වන බව කියන කැලනියට වර්තමානයේ අධිගෘහිතව සිටින ............ (සුදුසු වචනයක් යොදා හිස්තැන පුරවා ගන්න) විසින් ක්‍රියාත්මක කරනු ලබන සියඹලාණ්ඩුව අලුත් නීතියක් ක්‍රියාත්මක කිරීමට යයි.


මීට පෙර මෙම ප්‍රදේශයේ මත් පැන් අලෙවිය තහනම් කෙරුණ අතර දැන් කැලනියේ ජනතාව බඩේ අමාරුවකටවත් අරක්කු මූඩියෙන් එකක්වත් කටේ තියන්නේ නැත. එදා අරක්කු, කසිප්පු, කුඩු විකුණා ලාභ ඉපැයූ ඇතැමෙක් දැන් හිඟා කන බව කැලනියෙන් වාර්තා වේ. අහෝ දුකකි!


කැලනියේ අලුත් ම යුද්ධය ඩෙංගු මදුරුවාට එරෙහිව ලු.


ප්‍රදේශයේ මින් ඉදිරියට ඩෙංගු රෝගය වැළඳී කවර අයෙකු හෝ මිය ගියහොත් එම මරණය පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරියා, සමෘද්ධි නිලධාරියා, සෞඛ්‍ය නිලධාරියා සහ ප්‍රාදේශීය සභාපති වරයා ඇතුළු නිලධාරීන් මුළුමනින් වගකිව යුතුව ඇතැයි ද එම මරණකරුගේ නිවස ඉදිරිපිටට මොවුන් ගෙන ගොස්‌ ඩෙංගු පිළිබඳව සැලකිලිමත් නොවීම සම්බන්ධව ගස්‌ බඳින බව ද මානව හිමිකම් නීති තමාට අවශ්‍ය නැති බව ද තමාට අවශ්‍ය වී ඇත්තේ ඩෙංගු උවදුරුවලින් මිනිසුන් බේරාගැනීම බව ද මහා මාර්ග නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා මහතා ඊයේ (28 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.


ගස් බැඳිය යුතු බව කියන අයගේ නම් ලැයිස්තුව තව දිගු විය යුතු ය. එහි කෙළවරේ සෞඛ්‍ය ඇමති හා ජනාධිපති ද හිටපු සෞඛ්‍ය ඇමතිට ගරු නම්බු දුන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද සිටිය යුතු ය. 


සාමාන්‍යයෙන් නම් ගස් බඳින්නේ ගොන්නු ය. ඒ අතින් ගත් කල ඇත්තෙන් ම කැලනියේ ඡන්ද දායකයන් ගස් බැඳීම සාධාරණ ය. 


‍මෙහි ගස් බඳින බව කියන සෞඛ්‍ය නිලධාරියා වනාහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ය. කොහොමද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික දොස්තර මහත්තයෙක් ටයි පොල්ලකුත් එල්ලගෙන, කාර් එකෙන් බැහැලා ඇවිත්, වෙද නලාව පස්ස පැත්තේ ගහගෙන මළ ගෙයක් ඉස්සරහා කණුවක එල්ලීගෙන ඉන්නකොට!


අනෙක් රජයේ නිලධාරි නම් ඉතින් සාමාන්‍ය අයනේ. ග්‍රාම සේවකයන්ව නම් මීට කලින් ජනතා විමුක්ති පෙරමුණත් ගස් බැන්දනේ.


රටේ ජනතාව තෝරා ගන්නේ රටට ගැලපෙන පාලකයන්ව. මේ රටේ මිනිස්සු කොහොමත් ඔය මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය වගේ බටහිර සංකල්පවලට විරුද්ධයිනේ. 


ඉතින් ඒවා වෙනුවට තියෙන නැගෙනහිර සංකල්ප තමයි දැන් ඔය කැලනියේ අත්හදා බලන්නේ. ඔය නලින් ද සිල්වාතුමායි, ගුණදාස අම‍රසේකරතුමායි ජාතික චින්තනය කියලා හඳුන්වන්නේ මේවා තමයි මෙයාලා. 


අමසේකරතුමාට ගනඳුරු මැදියම නින්ද නො ගිහින් තිබියදී අරුණළු පෙනුනේත් ජවිපෙ සියඹලාණ්ඩුව මිනිසුන් ගස් බඳින්න සැලසුම් කරමින් සිටි කාලයේයි. 


ටයි දැම්මට වැඩක් නැහැ ලංකාවේ මධ්‍යම පංතික මහත්වරුනි, ශිෂ්ටත්වයට ගරු කරන සමාජයක් හදන්න උර නො දුන්නොත්. ඔන්න දැන් සියඹලාණ්ඩුවේ බූවල්ලාගේ අඬු රජයේ වෛද්‍ය නිලධාරීන් දෙසත් යොමු වෙලා. මොකද කියන්නේ, ඇමතිගේ කතාව ගැන? අපි ආසයි එය දැන ගන්න.


දැන් ඉන්න ටයි දාන ම්ලේච්ඡයන් දුටුවා ම මතක් වෙන්නේ කොලු කාලෙ කියපු විහිළු කවියක්


'ටයි ටයි බොටයි මටයි!'


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-07-28

බස් එකෙන් යන ලංකාවේ ඇමතිවරු

(2010 ජුලි 28, W3Lankaප්‍රවාහන ඇමතිවරු සාමාන්‍යයෙන් මෙවැනි ඡායාරූප ගනිති. ඒවා ඒගොල්ලන්ගේ ඇල්බම්වලට හොඳ ය. තමන් ජනතාව සමග සිටි බව කියන්නට පුළුවන.


ඇමතිවරු එති. යති.ලොකු කතා කියති. 


එහෙත් ජනතාවට නම් පොදු ප්‍රවාහනය එතැන ම ය. ඔවුහු හැමදාමත් මේ පොලුවල වවුලන් සේ එල්ලී යති. 


ඇමතිවරුන්ට කවදාවත් කරන්නට බැරි වුණ, නමුත් හැමදාමත් පොරොන්දු වුණ සාමාන්‍ය දේ කීපයක් මෙසේ ය. 


බස්වල අධික ලෙස සෙනග පැටවීම තහනම් කිරීම.
දුම්රිය ප්‍රමාදය වැළැක්වීම.
සුඛෝපභෝගී යයි කියන බස්වල හිටගෙන මගීන් ගෙන යාම නැවැත්වීම.
බස්වල ටිකට් දීම අනිවාර්ය කිරීම.
කෙටීම හා රේස් යාම නැවැත්වීම.
බස් නැවතුම්පොළවල් කසල ගොඩවල් වීම වැළැක්වීම හෙවත් සරළව කීවොත් අතුගෑම.
කොන්දොස්තරලා නෑවීම (රියදුරන් ද නාන්නේ අඩුවෙනි. එහෙත් ඔවුන් මගීන්ගේ ඇඟවල්වල තැවරි, තැවරී සෙනග අස්සෙන් රිංගා නො යන නිසා ප්‍රශ්නයක නැත.) 


කුමාර් වෙල්ගම ඇමතිට බැරි වූ එක් විශේෂ වැඩක් මෙසේ ය:
තමන්ගේ ගම වන මතුගමට ධාවනය වන තමන්ගේ ද බස් ඇතුළත් මතුගම - කොළඹ බස් සේවයට හරි හමන් බස් නැවතුමක් පිටකොටුවෙන් ලබා දීම. 


එතුමාට පුළුවන් වූ එක් වැඩක්: 
ඩලස් ඇමතිගේ කාලයේ හැදූ බැස්ටියන් මාවතේ බස් නැවතුම හදා නිම වන්නත් පෙර කඩා වැටීම ආරම්භ කිරීම. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-07-27

කවුද මේ බස්සා? කරනු ඔහු දිවි රස්සා

(2010 ජුලි 27, W3Lanka)  බස්සා කවුද? වෙන වැඩ පසෙක තබා පෝස්ටර් අලවමින් මේ ප්‍රශ්නය අසන්නේ මාතර පොලිසිය බව ජවිපෙට සම්බන්ධ ලංකා ටෲත් වෙබ් අඩවිය පවසයි.


අනාදිමත් කාලයක සිට විශේෂයෙන් ම කොල්ලන්ගේ සමාජයේ බාලසූරිය බාලයා ය. සෙනෙවිරත්න සෙනෙවියා ය. ගුණරත්න ගුණයා ය. එසේම මහින්ද මයිනා ය. උපුල් කුකුළා ය. අජිත් අජ්ජා ය. ලලිත් ලල්ලා ය.


 එපමණක් නොව ප්‍රින්සිපල් පිනා ය. වයිස් ප්‍රින්සිපල් වයිටා ය. ලෙක්චරර් ලෙචා ය. ඩොක්ටර් ඩොකා ය. පොලිස් කොස්තාපල් කොස්සා ය.


ලංකාවේ සිටින සියලු බස්නායකලා පාසල් යන කාලයේ බස්සලා ය. මේ බව පාසල් ගිය කාටත් තේරේ. මේ වනාහි එක්තරා උප සංස්කෘතික භාෂා ලක්ෂණයකි.


සරසවි උප සංස්කෘතියේදී නම් සෑම සිසුවකුට ම කාඩ් එක යයි කියන අන්වර්ථ නමක් ද ඇත.


රුහුණු විශ්ව විද්‍යාලයේ බස්නායක නම් තරුණ සිසුවා ද බස්සා වන්නේ ඒ අනුව මිස ඔහු බස්සකුගේ පෙනුම ඇත්තකු හෝ නිශාචරයකු හෝ වෙනත් එවැනි හේතුවක් හෝ නිසා නොවේ. මේ වනාහි තවත් එක් සාමාන්‍ය සරසවි සිසුවෙකු විය හැකි ය. ඔහු වනාහි වසර කීපයකට පෙර කුමක් හෝ පාසලක ‍සිටි දක්ෂ ශිෂ්‍යයෙකි. ඔබේ දරුවෙකි. සහෝදරයෙකි. පක්ෂියෙක් නොවේ. 


වරදක් කළා හෝ නො කළා හෝ අවිධිමත් චෝදනාවක් නිසා මේ සිසුවා අද වන විට මුහුණ දී සිටින අවදානම් තත්වය ගැන වහා සමාජය අවදි විය යුතු ය. පාතාල මැරවරයකු සේ ඔහු මහ මග මරා දමන්නට ඇති ඉඩකඩ ගැන වහා සංවේදී විය යුතු ය.   


පොලිසිය කළ යුතුව තිබෙන්නේ බස්සා සොයා පෝස්ටර් ඇලවීම නොවේ. මිය ගිය සිසුවාට පොලු පහර එල්ල කළ බවට චෝදනා ලැබ සිටින බස්සා පමනක් නොව කොස්සන් ද සෙවීමයි.


බස්සා සොයන අයට වැදගත් බුදු බණක් පහත පළ වේ.


බුද්ධත්වයට එළඹීමෙන් පසු පළමු ඉල් මස පසළොස්වක පෝ දා සිය ප්‍රථම ධර්ම දූත කණ්ඩායම ධර්ම චාරිකාවෙහි යෙද වූ බුදුරජානන් වහන්සේ උරුවෙල් දනව්වේ සේනානි ගම බලා තනිවම වැඩම කළ සේක.


මහ මග දෙපසින් සුන්දර වන ලැහැබකි. එය දුටු බුදුරජාණන් වහන්සේට එහි වැඩම කොට විවේක ගන්නට සිත් විය. උන්වහන්සේ රුක් සෙවනක වැඩ සිටින විට භද්දවග්ගිය කුමරුවෝ තිස් පස් දෙනෙක් එ තැනට පැමිණිය හ. එහිදී බුදුරජාණන් වහන්සේ හා ඔවුනතර ඇති වූයේ මෙබඳු සංවාදය කි.


“ස්වාමිනි , ඔබ වහන්සේ මේ පැත්තෙන් දිව යන ස්ත්‍රියක දුටුවා ද ?”


“කුමරුවනි , ස්ත්‍රියක සෙවීමෙන් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද ? ”


“ස්වාමින් , ඇය හෙරක්. අපගේ ආභරණ රැගෙන ඈ පැන ගියා. ”


“කුමාරවරුනි , මේ ගැන ඔබේ අදහස් මට කියන්න. වඩා වැදගත් අනුන් ගැන සෙවීමද ? නැති නම් තමන් ගැන සෙවීම ද ? ” යි බුදු රජාණන් වහන්සේ දේශනා කළහ. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

මිය ගොස් දස වසරකට පසුවත් උඩු රැවුල්කාර පාලක පිරිමින් බිය වද්දන සිරිමාවෝ

(2010 ජුලි 27, W3Lankaඝාතනයට ලක් වූ හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බංඩාරනායකගේ වැන්දඹූ බිරිය වූ සිරිමා රත්වත්තේ ඩයස් බංඩාරනායක අගමැති පදවියට පත් වූයේ මීට පනස් වසරකට පෙර 1960 ජුලි 21දා ය.


ඇය නූතන ලෝකයේ පළමු රාජ්‍ය නායිකාවයි. සර්ව ජන ඡන්ද බලය ලංකාවට හඳුන්වා දුන් බ්‍රිතාන්‍යයන් එරට ප්‍රථම අගමැතිනිය හා මේ දක්වා සිටි එක ම රාජ්‍ය නායිකාව වූ මාග්‍රට් තැචර් අගමැතිනි ධුරයට පත් කළේ ද මීට බොහෝ කලකට පසුව ය.


අගමැති පදවියට පත් වීමෙන් පසු එවකට 44 වියේ සිටි ප්‍රභූ ගෘහනියක නියක වූ සිරිමාගේ නමේ වෙනසක් සිදු විය. ගෞරවාර්ථයෙන් යුත් වෝ අක්ෂරයක් මුල් නම අගට එක් වී ඕ සිරිමාවෝ නම් වූවා ය. සත්තකින් ම ඇය එකී ගෞරවාන්විත යෙදුමට අරුතක් දුන් දක්ෂ ධනේශ්වර පාලිකාවක වූවා ය.


ඇය 1960 සිට 65 දක්වා සහ 1970 සිට 77 දක්වා විධායක අගමැති ධුරය හෙබවූ අතර විධායක ජනාධිපති ධුරයට පත්ව සිටි සිය දියණිය වූ චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග යටතේ 1994 සිට සිය මරණයට මාස දෙකකට පෙර 2010 අගෝස්තු 10දා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ලබන තෙක් නාමික අගමැති ධුරය ද හෙබවූවා ය. 1965-70 සමයේ සහ 1989-94 සමයේ ඇය විපක්ෂ නායක ධුරය දැරුවා ය.


සිය දෙවන ධුර ආරම්භයේදී ඇති වූ 1971 කැරැල්ල මර්දනය කිරීමේදී ඇය ධනේශ්වර රාජ්‍යයට දුන් කෲර නායකත්වය 1959, 60 වකවානුවේදී විරුද්ධවාදීන් විසින් ඇය හැඳින්වීම සඳහා යොදන ලද වැළපෙන වැන්දඹුව නම් වූ අන්වර්ථ නාමයට ගැලපෙන පෞරුෂයක සිට දශකයකට මඳක් වැඩි කාලයක් තුළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ ආදිය හරහා ඇය කෙතරම් දිගු ගමනක් පැමිණ සිටියේ ද යන්න පෙන්නුම් කරයි.


බටහිර ගැති වෙළඳපොල ධනවාදී ක්‍රමයක සිට සෝවියට් කඳවුරේ ආභාසය ලද රාජ්‍ය ඒකාධිකාරී සුබසාධනවාදී රාජ්‍යයක් දක්වා රාජ්‍යය තුළ කරන ලද පරිවර්තනයට ඇය විසින් දෙන ලද නායකත්වය දෙවෙනි වන යම් පෞරුෂයක් ඇත්නම් ඒ වනාහි 1977න් පසු ආර්ථිකය පූර්ණ ලෙස විවෘත කිරීම සඳහා පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන දුන් නායකත්වය පමණි.


ඇගේ ගමන් මගේ දිගුවක් ලෙස 1994දී ඇගේ දියණිය වූ චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග රටේ පළමු විධායක ජනාධිපතිනිය වූවා ය. ඇය ජවිපෙ විසින් මරා දමන ලද වාම ලිබරල් දේශපාලනඥයකු වූ විජය කුමාරතුංගගේ වැන්දඹු බිරිය වීම ද ඇගේ දේශපාලන උන්නතියට ඉවහල් විය. 1994දී ඇගේ ප්‍රධාන තරගකාරිය වූයේ ද කොටි සංවිධානයේ ප්‍රහාරයක‍ට ගොදුරුව මිය ගිය ගාමිනී දිසානායකගේ වැන්දඹු බිරිය වන ශ්‍රීමා දිසානායකයි.


සිරිමා බංඩාරනායකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හා අගමැතිකම හිමි වූයේ පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් හා ගොවිගම අධිපතිවාදී කුලවාදය නිසා ය.ශ්‍රීලනිපයේ එවකට සිටි ජ්‍යේෂ්ඨතම නායකයා වූ සී.පී. ද සිල්වාට පක්ෂ නායකත්වය හා අගමැතිකම නො ලැබී යන්නේ ඔහු සලාගම කුලයේ කෙනෙකු නිසා ය.


කෙසේ වෙතත්, සිරිමා බංඩාරනායකගේ දේශපාලන පෞරුෂය අති දැවැන්ත එකකි. එහි දැවැන්තභාවය විෂධ කරන එක් කාරණයක් වන්නේ වත්මන් පාලක රාජපක්ෂ පවුලට ඇගේ නාමය යටපත් කිරීමට ඇති වුවමනාවයි. ඇය කාන්තාවක ලෙස ලොව ප්‍රථම වරට විධායක අග්‍රාමාත්‍ය ධුරයට පත් ව පනස් වසරක් සපිරුණු ජුලි 21 දින රජය හෝ ශ්‍රීලනිපය සමරුවක්වත් පැවැත්වූයේ නැත.


එහෙත්, මේ නීච ක්‍රියාව හෙළිදරව් විමත් සමග පාලක පවුල ඇගේ පෞරුෂය හමුවේ කෙතරම් සැලුණේ ද යත්, ලහිලහියේ පමා වූ සමරුවක් සුදානම් කෙරිණි. රජයේ දිනමිණ පුවත්පත මෙම සමරුව පිළිබඳ ජුලි 27දා වාර්තා කළේ මෙසේ ය.


මැතිනිය අගමැතිනි වී වසර 50යි
උපහාර උළෙල හෙට ජනපති ප්‍රධානත්වයෙන්
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය වී වසර 50 ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට (28) පස්වරුවේ උපහාර උත්සවයක් පැවැත්වේ.


සිරිමාවන්ගේ මේ දේශපාලන පෞරුෂයෙන් අංශු මාත්‍රයක්වත් පසුව බලවත් විධායක ජනාධිපති ධුරයට පත් ඇගේ දියණිය වන වික්ටර් අයිවන් විසින් චෞර රැජිනක ලෙස හඳුන්වන ලද චන්ද්‍රිකා බංඩාරනායකට තිබුණු බවක් ඇගේ ධුර කාලයන් දෙක තුළදී නිරීක්ෂණය වූයේ නැත. ඇය විසින් දශකයකට අධික වූ සිය පාලන කාලය තුළ සිදු කරන ලද සාධනීය කාර්යයක් සොයා ගැනීම ද උගහට ය. 


වැන්දඹු දේශපාලනයෙන් කරළියට පැමිණි ආධුනික කාන්තාවක වූ සිරිමා බංඩාරනායක තමන් මතට කඩා වැටුණු නායකත්වයට කළ සාධාරණය හේතුවෙන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දක්වා බොහෝ වැන්දඹුවන්ට දේශපාලන නායකත්වයට අවස්ථාව ලැබිණි. එහෙත්, ඇගේ දියණිය වන චන්ද්‍රිකා බංඩාරනායකගේ අසාර්ථක නායකත්වයෙන් පසු තවත් වැන්දඹුවකට රාජ්‍ය නායකත්වයට පත්වන්නට ලැබේ ද යන්න නම් සැක සහිත ය. 


සිරිමා බංඩාරනායක කෙතරම් දක්ෂ දේශපාලනඥයකු වුවත් ඇය දක්ෂ ස්ත්‍රී නායිකාවක නොවේ. එසේ වූවා නම්, නොබැඳි රාජ්‍යයන්ගේ සමුළුවේ කීර්තිමත් සභාපතිනිය පවා වී සිටි ඇයට ලංකාවේ ස්ත්‍රිය මීට වඩා දේශපාලනිකව බලසතු කිරීමේ අවස්ථාව තිබිණි. එ‍සේ වී නම්, ලංකාවේ ස්ත්‍රී දේශපාලනය වැළපෙන වැන්දඹුවන්ගෙන් ම අවසන් වන්නේ නැත. 


සිරිමා බංඩාරනායක ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වී වසර පනහක් ගත වෙද්දී කාන්තාව රාජ්‍ය දේශපාලනය තුළ මුළුමනින් ම පරාජය වී ඇත. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බංඩාරනායක ශ්‍රීලනිපයේ නායකත්වයෙන් කුණපයක් සේ බැහැර කළ ආකාරය විසින් ලංකාවේ දේශපාලනයේ ස්ත්‍රියගේ තත්වය සංකේතවත් කෙරිණි. 


උඩු රැවුල්කාර මහින්ද රාජපක්ෂගේ මතු වීම හා රජයේ හමුදාව පරාජය කර කිලිනොච්චිය අල්ලා ගන්නට සමත් වූ කාන්තා යුද හමුදාවක් තිබුණු කොටි සංවිධානය පරාජය කරමින් ඔහු බලයේ තහවුරු වීම විසින් ද, පිරිමි සහෝදරයන් හා පුතුන් විසින් පිරිවරන ලද ඔහුගේ ලිබරල් විරෝධී ගැමි ගොවි පවුල් දේශපාලනය විසින් ද ලංකාවේ ස්ත්‍රී ‍දේශපාලනය තීරණාත්මක අන්තයකට ගෙනැවිත් තිබේ. 


පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය 4%කට සීමා වන්නට ද, වත්මන් කැබිනට් මණ්ඩලයේ වනිතා කටයුතු ඇමතිකම පවා පිරිමියකුට සින්න වන්නට ද පසුබිම් වූ තත්වය පිළිබඳ වත්මන් පාලනය තහවුරු කිරීමට දායක වූ, නොවූ කාන්තාවන් විසින් බැරෑරුම්ව සිතිය යුතුව තිබේ. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-07-26

බස්සාගේ පොලු පාර හා කන්න ඕනෑ විට කබරගොයා තලගොයා කර ගැනීම

(2010 ජුලි 26, W3Lankaසටන පාවා දුන් බව කියමින් “බස්සා” යනුවෙන් හැඳින්වූ සිසුවකු මියගිය ප්‍රසන්න අනුර බණ්ඩාර නම් රුහුණු සරසවි සිසුවාගේ හිසට පොලු පහරක් එල්ල කර තිබූ බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය දැනටමත් පියවර ගෙන ඇති බවත් දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත අද දිනමිණට කියා ඇත.


බස්සා කියුවාට මේ වනාහි නිශාචර පක්ෂියකු හෝ වෙනත් අද්භූත සතකු නොව මිය ගිය සරසවි සිසුවා වැනි ම වූ තවත් අයෙකි. පෙර වැරදි කිසිවක් නොමැති නීතිය ඉදිරියේ තවමත් නිර්දෝෂී පුද්ගලයෙකි. කවුරු හෝ මවකගේ දරුවෙකි.


මේ සිසුවා සැකයට භාජනය වන්නේ ඇයි? පසුගිය සෙනසුරාදා දිනමිණට අනුව, තම පුතාට සරසවියේ වෙනත් සිසුවෙකු විසින් පොල්ලකින් පහරදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි මියගිය ශිෂ්‍යයාගේ මව පොලිසියට කට උත්තරයක් ලබාදී තිබෙන බව පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කෙළේය.


එහෙත්, රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් සහෝදර ශිෂ්‍යයාගේ මරණය පිළිබඳ පොලිසියට ඇඟිල්ල දිගු කරමින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබූ බැවින් එදිනම දිනමිණ පුවත්පතට පොලිස්පති මහින්ද බාලසූරිය අවධාරණය කළේ එම මරණය පහර දීමක් නිසා සිදු වූවක් නොවන බවට අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් සනාථ වන බවයි. මොළයේ රුධිර නාලයක අසාමාන්‍යතාවක් නිසා අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් මේ මරණය සිදු වී තිබෙන බවට බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එම්. රාහුල් හක් මහතා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පෙන්වා දෙන බව ද 23දා පස්වරුවේ පොලිස් මූලස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී හෙතෙම පැවසී ය.


බුත්තල, හරිගලගම පදිංචි සුසන්ත අනුර බණ්ඩාර ශිෂ්‍යාගේ මරණය සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ ප්‍රචාරයන් ගෙන යමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ ගන්නා බවත් මෙය සැක සහිත මරණයක් නොවන බවත් පොලිස්පතිවරයා කීවේය.


ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හෝ කම්පනයක් නිසා හෝ ශරීරයේ මතුපිට, අභ්‍යන්තරයේ තුවාලයක් හෝ සිදු වූ මරණයක් නොවන බව පෙන්වා දුන් පොලිස්පත්වරයා, එන්සෙපලයිටීස් රෝගය නිසා මේ මරණය සිදු විය හැකි බව අනුමාන කළ හැකි බවට වෛද්‍ය වාර්තා පෙන්වා දෙන බවද කීය.


එසේ නම් දැන් මේ බස්සකු පසුපස එළවන්නේ ඇයි? තමන්ට බස්සකු කෙටූ බව මේ සිසුවා පොලිසියට කටඋත්තර දී නැත. එවැන්නක් ඔහු තම මවට හෝ කියූ බවක් වාර්තා වන්නේ නැත. බස්සකුගේ කතාව කියන්නේ දරුවාගේ මරණයෙන් ශෝකීව මානසික අවපීඩනයක සිටින මවක විසිනි. ඇය කියන්නේ ද ඇයට ද තවත් කවුදෝ කී දෙයකි. දැන් බස්සාගේ කතාව ගැන පොලිසිය කළ යුතුව තිබෙන්නේ කේලාම් හගිස්සීමකි.


මිය ගිය සරසවි සිසුවාගේ හිසට පොලිසියෙන් හෝ බස්සකුගෙන් පොලු පාරක් එල්ල වන්නේ පසුගිය 17, 18 දිනවල සරසවියේ පැවති ගැටුම්වලදී ය. අනතුරුව දින කිහිපයකට පසුව බුත්තල රෝහලටත්, දියතලාව රෝහලටත් ඉන් අනතුරුව බදුල්ල රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.


සිසුවාගේ මරණය හා පහර දීම අතර සම්බන්ධයක් ඇද්ද යන්න සෙවිය හැක්කේ නිසි අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් පමණි.


බස්සකු හෝ කිසියම් සිසුවකු හෝ අත්අඩංගුවට ගෙන සොයන්නට යන දෙයක් තිබේ නම්, එය සෙවීම සඳහා අදාල දිනයේ පහර දීම් සිදු කළ පොලිස් නිලධාරීන් ද අත්අඩංගුවට ගත යුතු ය. එහෙත්, එවැන්නක් සිදු වන බවක් දක්නට නො ලැබේ.


පොලිසිය කරන්නට සැරසෙන්නේ දේශපාලන කොන්ත්‍රාත්තුවකි. ඒ වනාහි ජවිපෙ සරසවි ශිෂ්‍යයන් පෙරට දමාගෙන ඇති කරන්නට යන ආණ්ඩු විරෝධී සමාජ කැළඹීම මැඬලීම සඳහා ඌරාගේ මාළු උගේ ම ඇඟ පිට තබා කැපීමයි. 


ආවේගශීලී සමාජ කැළඹීම් ඇති කිරීම සඳහා ලේ අවශ්‍ය ය. ලේ හැලීම සඳහා සූදානම් බලවේග මේ රටේ ඕනෑතරම් ඇත.  දැන් කන්න ඕනෑ විට කබරගොයා තලගොයා කර ගැනීමේ දක්ෂ මේ දෙපිරිස අතර යුද්ධය මාධ්‍ය තලයට පැමිණ ඇත. ලංකාවේ මෝඩ ජනයා ගොනාට ඇන්දවීමේ ශූරයන් දෙපාර්ශ්වයක් අතර පැවැත්වෙන මේ ද්වන්ධව සටන නිරීක්ෂණය කිරීම මාරාන්තික ලෙස රසවත් කාරණයකි. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-07-25

දෙබිඩ්ඩන්ට හූ කීම හා දුම් බීම

(2010 ජුලි 25, W3Lankaමේ දිනවල දිවයිනේ බොහොමයක් ප‍්‍රදේශවල ප‍්‍රදර්ශනය වෙමින් පවතින ප‍්‍රසන්න විතානගේ නිර්මාණකරුවාගේ ‘දෙබිඞ්ඩෝ’ වේදිකා නාට්‍යයෙහි ඇතුලත් වූ දුම් පානය කිරීමේ දර්ශනයක් සම්බන්ධයෙන් වු නිශේධනීය මැදිහත්වීම් දෙකක් පිළිබඳව නොවැම්බර් ව්‍යාපාරය වාර්තා කරයි. 


මින් එක් සිදුවීමක් වූයේ කොළඹ පැවති එක් නාට්‍ය දර්ශනයකදී මෙම දුම්බීමේ දර්ශනය නිරූපනය කෙරෙන අවස්ථාවේදී පේ‍්‍රක්ෂකාගාරයේ සිටි කිසියම් පිරිසක් ‘හූ’ කියමින් නාට්‍යයට බාධා කිරීමයි. මෙම සිදුවීමෙන් පසුව කොළඹ පැවති වෙනත් නාට්‍ය දර්ශන වාරයකට පෙර එහි පැමිණි පිරිසක් විසින් මෙම දුම්බීමේ දර්ශනය අදාල කරගනිමින් පත‍්‍රිකාවක් බෙදාහැර ඇත. 


මෙම දුම් පානය කිරීමේ දර්ශනය සම්බන්ධයෙන් පොලීසියට කෙරුණු පැමිණිල්ලකට අනුව පොලීසිය පැමිණ නාට්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ප‍්‍රශ්න කෙරෙන්නේ ඉහත සිදුවීම්වලට පසුවයි.


ලංකාවේ වැඩිදෙනෙකු දන්නා එකම කලා මාධ්‍යය වන රූපවාහිනියේ දුම්බීමේ, මත්පැන් පානය කිරීමේ දර්ශන පෙන්වීම තහනම් ය. එබැවින් ලංකාවේ ටෙලිනාට්‍යවල ඉන්න කළු චරිත පවා ඒ අතින් සාන්ත දාන්ත තීන්ත කූඩු වෙති. රූපවාහිනියෙන් චිත්‍රපට පෙන්වන විට කොටු දමනු ලැබේ. 


එහෙත්, මුදල් ගෙවා සිනමා ශාලාවකට යන පුද්ගලයෙකු චිත්‍රපටයක් බලද්දී සාමාන්‍යයෙන් එවැනි කොටු දැමීමක් සිදු නො වන්නේ එය සියලු දෙනාට නො මිළේ විසුරුවා හරිනු ලබන ජනමාධ්‍යයක් නො වන නිසා ය. නාට්‍යය ද එවැනි ය. 


හොඳ වුවත්, කරත වුවත්, දුම් බීම අනාදිමත් කාලයක සිට මිනිස් සමාජයේ තිබුණ දෙයකි. දුම් බීම මෙන් ම සීනි කෑම ද ශරීර සෞඛ්‍යයට අහිතකර ය. එහෙත් සීනි තහනම් නැත. දුම්කොළ දවන දුම් තහනම් ය. 


අක්‍රිය දුම්පානයට ගොදුරු නොවී සිටින්නට පුද්ගලයෙකුට ඇති අයිතියට සමාජය ගරු කළ යුතු ය. වාහන දුමෙන් ද මිනිස් සිරුරට අහිතකර වායු ආඝ්‍රානය වේ. එය වළක්වන්නේ කෙසේද? 


පසුගිය ඡන්ද කාලයේ පබා වැල නාට්‍යය සුදර්මන් රදලියගොඩගේ කටවුට් ඇති තැන්වල රූපගත කිරීම හෝ භාතිය සන්තුෂ්, ඉරාජ් වීරරත්න වැනි සංගීත මුදලාලිලාගේ ගී වීඩියෝ මැද විවිධ භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම වැනි අමන ආකාරවලින් විවිධ නිර්මාන හරහා ද ලාභ තකා දුම්වැටි ප්‍රවර්ධනය කිරීමට නිර්මානකරුවන් උත්සාහ කරන්නේ නම්  එය හෙළා දැකිය යුතු ය. 


එහෙත්, යම් නිර්මානයක කලාත්මක ප්‍රකාශනය සඳහා මත්පැන් බොන හෝ දුම් බොන දර්ශනයක් අවශ්‍ය වන්නේ නම් එය යොදා ගැනීමට කලාකරුවාට ඇති අයිතියට කිසිවෙක් බාධා නො කළ යුතු ය. කලාව ඒ අන්දමින් වාරණය කරන්නේ දියුණු සමාජවල නොවේ. 


රොබට් නොක්ස්ගේ පොතේ චිත්‍රවල ගඩුගුඩා බොන සිංහලයෝ සිටිති. බංඩාරනායක සහ ඩඩ්ලි පයිප්ප ඉරූහ. ලංකාවේ පහළ වූ විශිෂ්ට කලාකරුවන් වූ මාටින් වික්‍රමසිංහ, සයිමන් නවගත්තේගම, ගාමිනී ෆොන්සේකා ආදීහු ද දුම් පානය කළ හ. බොහෝ සංගීතකරුවෝ නිකම් ම දුම් නොව ගංජා උරති. 


මත්පැන් නො තිබුණා නම් මීමන ප්‍රේමතිලක නම් කවියා ද ප්‍රේමකීර්ති ද අල්විස් නම් ගීත රචකයා ද, ගුණදාස කපුගේ නම් ගායකයා ද ඒ ආකාරයෙන් සමාජයට නො යනු ඇත. 


ප්‍රියා සූරියසේන ගුවන් විදුලි ගායකයකු වූ අලුත ඔහු ප්‍රේමකීර්ති ද අල්විස්ගෙන් ගීයක් ලියවා ගැනීමට ගියේ මත්පැන් බෝතලයක් ද රැගෙන ය. එය සතුටින් භාර ගත් හේ ගී පද දෙකක් ඒ මොහොතේ ම ලියා දුන්නේ ය.


හෙට දවසේ අප දෙදෙනා අද වාගෙ ම හමු විය යුතු වේ
අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ


ජීවිතයේ මිහිර සමග බැඳී පවතින්නේ ඇතැමුන් විසින් හොඳ යයි විග්‍රහ කර තිබෙන දේ පමණක් නොවේ. කලාව විසින් ප්‍රතිනිර්මානය කරන්නේ මේ හොඳ, නරක දෙකින් සැදි ජීවිතයයි. 


මේ යථාර්ථය ග්‍රහණය කර ගන්නට බැරි අය දෙබිඩ්ඩෝ ය. 


උන් ලෝකයට මතට තිත දෙසමින් පදමට බොති. වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපට පෙන්වීම පවා තහනම් කරමින් නිල් චිත්‍රපට බලා ඒවායේ කැමරාවට කරන රංගනයන් සිය බිරියන් ලවා කරන්නට ගොස් පවුල් කඩා ඉහිරුවා ගනිති. ප්‍රසිද්ධ සමලිංගිකයන්ට පොන්නයා කියා බනිමින් හොරෙන් කොල්ලන් සමග සැතපෙති. ලෝකයට අල්පේච්ඡතාව දෙසමින් ඩොලර් අසපු තුළ කාමසුඛල්ලිකානුයෝගයේ ගිලෙති. 


අපේ මෝඩ හරක් උන් පෙන්නූ රෙදි තමන් මිළ දී ගෙන, කපා, මසාගෙන, ගොනාට ඇඳ වළං කඩේට පැන්න ගොනාගේ මෝඩ චරිතය රඟති. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-07-24

නිකම් කසල උඩට මිනිස් කසල ද බැහැර කිරීමේ ධනවාදයේ අර්බුදය

(2010 ජුලි 24, W3Lanka
ලංකාවේ පසුගාමී ධනේශ්වර රාජ්‍යයට කසල වර්ග දෙකක් බරපතල ප්‍රශ්නයක් වී තිබේ. එක් වර්ගයක් මිනිසුන් විසින් බැහැර කරන කසලයි. පළාත් පාලන ආයතන විසින් මෙම කසල බැහැර කළ යුතුව තිබෙන මුත්, එම ආයතන එම කාර්යයවත් කිරීමට අසමත් වී තිබේ. හිටපු පරිසර ඇමති චම්පික රණවක මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳන බව පැවසූ එක් අයෙකි. දැන් ඉන්න පරිසර ඇමති නම් ඔය කරන්න බැරි වැඩ ගැන පම්පෝරි ගසන්නේ නැත. 


ඉවත දමන ජංගම දුරකථන හා බැටරි හේතුවෙන් සිදු වන පරිසර හානි නිසා ඒවා බැහැර කිරීමට යයි කියා ආණ්ඩුව අසංඛ්‍යයක් වෙනත් බදුවලට අමතරව වෙන ම බද්දක් අය කරන මුත් ඒ අය කරන බදු මුදලින් බැටරි කෑල්ල බැහැර කිරීමට හෝ රජය අසමත් ය. 


අද වන විට ලංකාවේ පසුගාමී ධනවාදයට මිනිස් සමාජය විසින් බැහැර කරනු ලබන මිනිස් කසල ද බරපතල ප්‍රශ්නයක් වී තිබේ. මේ සමග ඇති ඡායාරූපයේ සිටින සිඟන්නා මහනුවර ප්‍රදේශයේ කිසියම් තැනක සිටියදී, කිසියම් පිරිසක් විසින් වාහනයකින් ගෙනැවිත් කසල ගොඩකට දමා ගොස් තිබේ. 


මෙවැන්නන් භාර දෙන්නට මේ රටේ තැනක් නැද්ද? ඔහු රෝගියකු නම් භාර දිය යුත්තේ රෝහලකටයි. අයාලේ යාම, සිඟාකෑම වැනි වරදක් කර තිබේ නම් භාර දිය යුතුව තිබෙන්නේ පොලිසියටයි. නැතිනම් සුනීතට, සෝපාකට, රජ්ජුමාලාට පමණක් නොව ආලවකට, අංගුලිමාලට පවා කරුණාවන්ත වූ බුදු හිමියන්ගේ නමින් පවත්වාගෙන යන පන්සලකට, අසපුවකට ඔහු භාර දීමට තිබිණි. 


මෙවැනි මිනිසුන්ට සුබසාධනය සැලසීමට බව කියමින් විශාල මහජන මුදල් සම්භාරයක් ගිල දමන ඇමතිවරු ද සිටිති. ඔවුන්ගෙන් ප්‍රධානියා සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා ය. 


බැහැර කර ගන්නට බැරිව ඇති නිකම් කසල ගොඩවලට මිනිස් කසල ද එකතු වූ විට ආණ්ඩුවට එය කසල අර්බුදයක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. 


දේශප්‍රේමීනි, ආණ්ඩුව බේරා ගැනීමට ඉදිරිපත් වන්න. දැන් සිටින සිඟන්නන්ගේ හා ඉදිරියට සිඟන්නන් වෙන්න සිටින අයගේ ඔලුගෙඩි කළු ගල්වලින් තලන බලකායේ පුරප්පාඩු රැසක් ඇත. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-07-23

හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයමේ යාම හෙවත් ඊශ්‍රායලයටත්, පලස්තීනයටත් දෙකට ම සහාය දීම

(2010 ජුලි 23, W3Lankaමෙරට මානුෂීය දූත මෙහෙවරක යෙදෙමින් සිටි තුර්කි හා පලස්‌තීන පිරිසකට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර එල්ල කර ඝාතනය කිරීම හෙළා දකිමින් අපරාධකරුවන්ට දඬුවම් පමුණුවන ලෙස යෝජනා කරමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ (මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ම) පත් කරන ලද මන්ත්‍රී ඒ. එච්. එම්. අස්‌වර් විසින් සභාව කල් තබන අවස්‌ථාවේ යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේ වැඩි ඈතක නොව පසුගිය ජුනි 10දා ය.


සභාව කල් තබන අවස්‌ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් ඒ. එච්. එම්. අස්‌වර් මෙසේ පැවසීය:


2010.05.31 වැනි දින අලුයම් කාලයේ නැගෙනහිර මධ්‍යධරණී මුහුදේදී මුළු ලොව පුරාම හෙළා දකිනු ලැබීමට පාත්‍රවූ ක්‍රියාවක්‌ වූ ගාසාහි සාගින්නෙන් පීඩා විඳිමින් සිටින මිලියන 1.5 ක පලස්‌තීනුවන් වෙනුවෙන් ටොන් 10,000 ක ඖෂධ, ආහාර, පෙර සකස්‌ කළ නිවාස හා අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යමින් තිබූ නෞකා කණ්‌ඩායමට යුදෙව්වාදී ඊශ්‍රායෙල් කමාන්ඩෝ භටයන් විසින් ප්‍රහාර එල්ල කිරීම සිදුකරන ලදී. මෙය ම්ලේච්ඡ, කෲර, උද්ධච්ච හා නීති ගරුක භාවයෙන් තොර වූ ක්‍රියාවකි.


මෙම මානුෂීය දූත මෙහෙවර සංවිධානය කරන ලද්දේ තුර්කි මානව හිමිකම් කණ්‌ඩායම් හා අනෙකුත් පලස්‌තීන හිතවාදී මිතුරන් විසිනි. මානව දයාව මත දූත මෙහෙවරක යෙදී සිටි මෙම යාත්‍රා ඊශ්‍රායල හමුදා විසින් බලහත්කාරයෙන් නවත්වන ලදුව පෙරමුණේ තිබූ නෞකාව ඊශ්‍රායල කමාන්ඩෝ භටයන් විසින් ආක්‍රමණය කර එහි සිටි 581 ක්‌ දෙනා අතරින් අවම වශයෙන් 19 ක්‌වත් මරා දමන ලද අතර තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු කරන ලදී. මුළු ලොවම මෙයට එරෙහිව හඬ නඟා ඇත.


නොබැඳි රටක්‌ හා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙහි සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව හැම විටම සෑම ආකාරයේම ප්‍රහාරයන් හෙළා දැක ඇත. මෙම අවස්‌ථාවේදී අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමට ලෝකයේ රටවල් එක්‌ව සියලු යෝග්‍ය ක්‍රියා මාර්ග ගත යුතු අතර තවදුරටත් ප්‍රමාද වීමෙන් තොරව යෝජනා අංක 242 හා ඒ හා සම්බන්ධ අනෙකුත් යෝජනා ක්‍රියාත්මක කර ලෝක සාමය උදෙසා එම යෝජනාවලට තදින් අනුකූල වන ලෙස යුදෙව් රාජ්‍යයට බල කළ යුතු යෑයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කර සිටියි.


රත්නපුර දිස්‌ත්‍රික්‌ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හා ජනාධිපතිගේ උපදේශකයකු වන වාසුදේව නානායක්‌කාර යෝජනාව ස්‌ථිර කරමින් මෙසේ කීය:


ඊශ්‍රායලය අද මුළු ලෝක ශිෂ්ටාචාරයටම පයින් ගසමින් හිතුවක්‌කාරි ලෙස කටයුතු කරනවා. ඉතිහාසය දෙස බැලූ විට ඊශ්‍රායලය අධිරාජ්‍යවාදයේ දඩබල්ලා ලෙස ක්‍රියා කර තිබෙනවා. අද ඊශ්‍රායලය අසල්වැසියකු ලෙස මුළු අරාබි ලෝකයටම තර්ජනයක්‌ එල්ල කර තිබෙනවා. ඊශ්‍රායලය පෝෂණය කරන අධිරාජ්‍යවාදය දුබල කරන තරමට තමයි ලෝක සාමය උදාවන්නේ. අපි තානාපතිවරුන්ට පණිවිඩ යෑවිය යුතුයි ඊශ්‍රායලය අටවන උගුල්වලට හසුනොවන ලෙස.


විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන පැවසුවේ මෙම තුච්ඡ ක්‍රියාවට එරෙහිව ශ්‍රී ලාංකීය ජනතාව කම්පනයට පත්ව සිටින බවයි.


එසේ කම්පනයට පත්ව සිටි ලංකාවට යන්තම් මාස එකහමාරක් යන විට සිදු වී ඇත්තේ කුමක්ද?


ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර අරගලයේදී ශී‍්‍ර ලංකාවේ සහාය ඊශ‍්‍රායාලයට ලබා දෙන බව ඊශ‍්‍රායලයේ සිටින ශී‍්‍ර ලංකා තානාපති හිටපු එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඞ් පෙරේරා www.ynetnews.com සමග ඒ මහතා සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප‍්‍රකාශ කර ඇත


කොන්දේසි විරහිතව පලස්තීනය සාකච්ඡාවලට එළඹිය යුතු බව ද පලස්තීනය සාකච්ඡා මග හරින්නේ නම් ඊශ්‍රයලය ගත යුතු ඊළග පියවර වන්නේ සම්පූර්ණ බලය යොදවා යුද මෙහෙයුම් ආරම්භ කිරීම බව ද දිගුකාලීන සන්නද්ධ අරගලයකට ඊශ‍්‍රායලය සිය ජනතාව සූදානම් කළ යුතු බව ද හිටපු එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඞ් පෙරේරා පවසයි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා පලස්තීනයේ මිතුරකු ලෙස හඳුන්වා ගැනීමේ සිරිතක් මෑතක් වනතුරු තිබිණි.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-07-22

මෛත්‍රීගෙන් ස්වයං විවේචනයක්

(2010 ජුලි 22, W3Lankaමෙරට මානසික රෝගවලින් බහුතරයකට හේතුවී ඇත්තේ දේශපාලනඥයන් හා රජයේ නිලධාරීන් බව සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන පවසා ඇත.


ඔහු මෙම ස්වයං විවේචනාත්මක ප්‍රකාශය කර ඇත්තේ පසුගිය දිනෙක අංගොඩ මානසික රෝහල ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය - ශ්‍රී ලංකාව නමින් නැවත නම් කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී ය.


ඇත්ත කීම ගැන සෞඛ්‍ය ඇමතිතුමාට අපෙන් මල් මිටක්!


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-07-21

2010න් පස්සෙ මාරාන්තික උපවාස

වසර 2200දී සිද්ධියක්

You may also like to read our English blog  Lanka Polity

රජයේ සේවකයා කම්කරුවෙක්ද?

(2010 ජුලි 21, W3Lankaපසුගිය දිනෙක අප රජයේ සේවකයන්ගේ රු. 2500 වැටුප් සටන ගැන ලියන ලද 2500 වැටුප් වැඩි වීම, අලුත් බදු, රජයේ සේවක කම්කරුවෝ හා හම්පඩ වෘත්තීය සමිති නම් ලිපිය පිළිබඳ උරණ වූ වෘත්තීය සමිති නායකයකු විසින් අසන ලද ප්‍රශ්නයක් නම් රජයේ සේවකයන් කම්කරුවන් නො වන්නේ ද යන්නයි. 


කම්කරුවා යනු යම් මිළකට ශ්‍රමය විකුණන්නකු ලෙස නිර්වචනය කරන්නේ නම් ලංකාවේ රජයේ සේවකයෝ ද කම්කරුවෝ වෙති. එහෙත්, බොහෝ රජයේ සේවකයන් ශ්‍රමය වගුරුවන්නේ සුළු වශයෙන් වන බැවින් ඔවුන් ශ්‍රමයට ඉහළ මිළක් ලබා ගන්නා කම්කරු පිරිසකි. 

ඔවුන්ට මෙසේ සිය ශ්‍රමයට ඉහළ මිළක් ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබෙන්නේ ඔවුන්ට වැටුප් ගෙවන රජය මහජනයාගෙන් සූරා කන බදු ආදායමින් සැලකිය යුතු පංගුවක් නිර්ලෝභී ලෙස ඔවුන් වෙනුවෙන් විසි කරන නිසා ය. රජය අසාධාරණ අන්දමින් අය කරන බදුවලින් ලබන ආදායමේ කටු ලෙවකන්නන් වන මෙම අතරමැදි පංතික පීඩක සමාජ ස්ථරය ඒ වෙනුවෙන් කටු කන බල්ලන් සේ මේ ධනේශ්වර රාජ්‍යය රැක ගනියි. 


නිදසුනක් ලෙස, පසුගිය මැතිවරණවලදී ඒ වෙනුවෙන් සිය ආණ්ඩුවට නිසි ලෙස කළගුණ සැලකුවේ මේ වෘත්තීය සමිති නායකයන්ට කොකා පෙන්නමිනි. 


අප මිත්‍ර වාමාංශික වෘත්තීය සමිති නායකයා සොයන මාක්ස් විසින් අනාගතය නිර්මානය කරන බලවේගය ලෙස දකින ලද කම්කරුවා යනු මේ රජයේ සේවකයා බඳු අයෙක් නොවේ. 

ඩාස් කැපිටාල් සිංහලට පරිවර්තනය කළ අත්දැකීම් සහිත වාමාංශිකයකු සහ දැන් දක්ෂිණාංශික ඩේලි නිව්ස් පුවත්පතේ කතුවරයා වන ජයතිලක ද සිල්වා කරන මේ විග්‍රහය කම්කරුවා තේරුම් ගැනීමට ඉවහල් කර ගත හැකි ය. 


"ධනපති ක්‍රමයට ගැති ආර්ථික විද්වතුන් කම්කරුවාගේ ශ්‍රම ශක්‌තිය සැලකුවේ, ශ්‍රමයට සමාන කරලයි. ධනපතියා කම්කරුවාට දිනක වැටුප් වශයෙන් ගෙවන්නේ, ඔහුට එදිනට තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පමණයි. ඒත් කම්කරුවා තම දිනක ශ්‍රම කාලයකින් අඩක්‌ ගතවනවිට භාණ්‌ඩය නිපදවා අවසන් වනවා. ඉතිරි ශ්‍රම කාලයෙන් නිපදවන වටිනාකම ධනපතියා සතු කරගන්නවා. මෙය කම්කරුවා විසින් නොදැනුවත්වම ධනපතියාට ලාභය ලබාදීමට ශ්‍රමය වැය කිරීමක්‌. මාක්‌ස්‌ සොයාගත් වැදගත්ම දේ මේකයි. මාක්‌ස්‌ ආර්ථික වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යාය වශයෙන් හැඳින්වූයේ එයයි."


මාක්ස් පැහැදිලිව ම පවසන ආකාරයට පංති වෙනස්කම් ඇති වන්නේ නිෂ්පාදන මාර්ග වලට මිනිසුන් සම්බන්ධ වන ආකාරය අනුවයි. 
ලංකාවේ රජයේ සේවකයා මෙම විග්‍රහයට අඩංගු වන්නේ නැහැ. ඒ ඔහු කම්කරුවකු නොවන නිසා. ඔහු අයත් වන්නේ හමුදා, පොලීසි වැනි සෙසු රාජ්‍ය මර්දන උපකරණවල සාමාජිකයන් අයත් වන සමාජයටයි.  සමාජ වෙනසකදී ඔවුන් ද එයට දායක වනවා. එහෙත් විප්ලවයේ පෙරමුණු බලඇණිය ඔවුන් නොවෙයි. 


ලංකාවේ වාමාංශිකයන් විප්ලව කරන්න බලාගෙන ඉන්නේ මේ රජයේ සේවක ස්ථරය සමගයි. එහෙත් සැබෑ කම්කරුවන්ට නම් මේ රජයේ සේවකයන් කියන්නේ පීඩක පංතියේ ම හස්තයක්. ආණ්ඩුවේ කන්තෝරුවකට, රජයේ රෝහලකට, පාසලකට ගිය විට ඔවුන් වඩාත් පීඩනයකට ලක් කරන මෙම සමාජ ස්ථරය සමග ඔවුන් සිටින්නේ වෛරයකින්. 


මේ සමාජ ස්ථරයට අප මෙතරම් දැඩිව පහර දෙන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොවෙයි. මේ රටේ වාමාංශික දේශපාලන පක්ෂ ඔවුන්ට වන්දනාමාන කරන නිසායි. මේ සමාජ ස්ථරයේ අවශ්‍යතා සහ වාමාංශිකයන්ගේ, මාක්ස්වාදීන්ගේ අරමුණු අතර සුවිසල් වෙනසක් තිබෙනවා. 


ලංකාවේ මේ පංතිය ප්‍රබලයි. ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් නැති නිසා කම්කරු පංතිය විසිරිලා. දුර්වලයි. ලංකාවේ වාමාංශික ව්‍යාපාරය කාලාන්තරයක් තිස්සේ මෙම මධ්‍යම පංතිය මත පදනම් වීමේ ප්‍රතිඵලයක් තමයි, ජාතිකවාදය වැනි සුව කිරීම අපහසු නිදන්ගත රෝගාබාධවලට වම ලක් වීම. 


මේ රටේ වමක් ගොඩනඟන්න නම් මේ පංතිය වන්දනා කරන වත්මන් වාම දේශපාලන භාවිතාව පිටුදැකිය යුතුයි. තරහ වෙන්න එපා, ඒ නිසයි අපි හයියෙන් ගහන්නෙ.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity