2010-08-31

ආගමේ නාමයෙන් කෙරෙන සියලු හිංසනයන් පිටුදැකිය යුතු ය | Cruelty covered to religion should be banned

(2010 අගෝස්තු 31, W3Lankaමුන්නේශ්වරමේ සත්ව බිලි පූජාව ආගමේ නාමයෙන් සිදු වු කෲර හිංසනයක් බවට කිසිදු විවාදයක් නැත. 


මිනිසුන් මස් ආහාරයට ගැනීම පිළිබඳ අපගේ විරෝධයක් නැති මුත්, ශිෂ්ටත්වයෙන් අංශු මාත්‍රයක් හෝ තිබෙන සමාජයකට නො හොබිනා වූ, ප්‍රදර්ශනාත්මකව පැවැත්වෙන මෙවැනි කෲර සත්ව හිංසනයන් අනිවාර්යයෙන් ම තහනම් කළ යුතු ය. 


එහෙත්, ඒ සමගම සිතිය යුතු තවත් කාරණා තිබේ. ආගමේ නාමයෙන් කටු ගසාගෙන, කොකුවලින් එල්ලීගෙන වීදිවල ප්‍රදර්ශනය වෙමින්, සෙසු මිනිසුන් තුළ පිළිකුල හා සංත්‍රාසය ඇති කරන මිනිස් ස්වයං හිංසනයන් පිළිබඳව ද අප සිතා බැලිය යුතුව තිබේ. 


එසේ ම, සාමාන්‍ය ජිවිතයේදී දිනකට සැතපුම් පනහකටත් වඩා සැරිසැරීමේ ජෛවී අවශ්‍යතා ඇති අලි ඇතුන් අල්ලා, මුළු ජීවිත කාලය පුරා ම යදමින් බැඳ තබා උමතු තත්වයට පත් කර, කකුල් හතර හරි හැටි සොලවන්නටත් බැරි ලෙස යදමින් බැඳ, නුහුරු ඇඳුම් අන්දා සාදු, සාදු කියමින් පෙරහරවල ගෙන යමින් කරන සත්ව හිංසනයට බුදුන්ගේ බුදු දහම අදහන බෞද්ධයන්ට නම් එකඟ විය නො හැකි ය. 


බුදුන්ගේ බුදු දහමට අදාළ නො වන ආගමික, සංස්කෘතික, සම්ප්‍රදායික, ව්‍යාපාරමය, සංචාරක, රාජ්‍ය ආදී එකී මෙකී කාරණා මැද අඩු තරමේ මේ සතුන්ට පෙරහර නැති කාලයට හෝ යම් සහනයකින් ජීවත් වීමට පහසුකම් සැලසීමේ වගකීමක් බලධාරීන්ට තිබේ. 


ජේසු බිළිඳුන්ගේ උපත සමරන්නට ඇතැමුන් ඌරන් මරන්නේ කලින් දවසේ ඌට පොලුවලින් පහර දී මස හොඳින් තැලීමෙන් පසුව බව අප අසා ඇත. 


ආගමේ නාමයෙන් දෙමස් වියැති දරුවකුට කිරි පොවන බාල වයස්කාර මවකට පිරිමි සියයක් පමණ එක් වී පොල් පිතිවලින් තැලූ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව හෝ තවමත් නීතිය ක්‍රියාත්මක වී නැත. 


සමාජය ශිෂ්ට කිරීමට නම් පළමුකොට ආගමික ආයතන නූතන තත්වයන්ට ඔබින අන්දමින් ශිෂ්ට විය යුතු ව තිබේ. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-08-30

රැකියා අවස්ථාවට කම්කරුවන් කුළල් කා ගන්නා අලුත් ජාතිවාදයක පෙරනිමිති

(2010 අගෝස්තු 30, W3Lankaලංකාව එක් සේසත් කිරීමෙන් පසු දැන් අලුත් ප්‍රශ්න මතු වෙමින් තිබේ. පහත පළ වන්නේ එකකි. 


යළි පදිංචි කරන ලද අවතැන් වුවන් වනාහි ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නො වන (කොටි) පාලක පිරිස් විසින් කාලකන්නි කරන ලද මිනිස් ප්‍රජාවකි. ඔවුන් අද මුහුණ දී සිටින දරිද්‍රතා මට්ටම හේතුවෙන් උතුර ලාභ ශ්‍රමයේ තෝතැන්නක් වී තිබේ.


ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වීමත් සමග පණ අදිමින් සිටින ඇඟලුම් කර්මාන්තය හුස්ම ඇල්ලීම සඳහා උත්සාහ දරමින් තිබෙන්නේ මේ ලාභ ශ්‍රමයේ පිහිටෙනි. දැන් ඇඟලුම් කම්හල් හිමියෝ මහා පරිමාණෙන් උතුරේ දෙමළ ගැහැනු ළමයින් ඇඟලුම් කම්හල් සේවය සඳහා බඳවා ගනිමින් සිටිති. ගෙන යන තැනක් නො දන්වා බස් පිටින් රැගෙන එන මෙම ස්ත්‍රීන් රැඳවුම් කඳවුරු වැනි ස්ථානවල තබාගෙන අඩු පඩියට වැඩ ගනිති. 


දෙමළ ජාතික විමුක්ති අරගලයට පිං සිද්ධ වෙන්නට මේ කාන්තාවෝ කම්කරු හිමිකම් තබා සාමාන්‍ය මානව හිමිකම් පිළිබඳ හෝ අන්දෝ සංසාරයක් නො දනිති. මරණයේ පාරාදීසයක සිට පැමිණි ඔවුන්ට ඒවා වැදගත් ද නැත. ජීවත් වන්නට, පවුල් නඩත්තු කරන්නට, පිටරටකට පැන ගන්නට ආදායමක් උපයා ගන්නට ඔවුන්ට කුමක් හෝ වැඩක් උවමනා වී තිබේ. 


මෙම තත්වය කිසියම් ආකාරයකට සමාන වන්නේ බ්‍රිතාන්‍යයන් විසින් වතු වගා කිරීමට ඉන්දීය කම්කරුවන් ගෙන ඒමේ ඉතිහාසයටයි. වතු වගාව නිසා ඉඩම් අහිමි වූ සිංහල ගැමි දිළින්දන් සහ වතු කම්කරුවන් අතර පවතින නිදන්ගත වෛරයට හේතු වූ තත්වයන්ට සමාන තත්වයන් අද යළි ඇති වෙමින් තිබේ. එදා මෙන් ම අදත් සිංහල කම්කරුවන් අඩු පඩි හේතුවෙන් ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියාවලින් ඉවත්ව යාම හේතුවෙන් අද වන විට ඇඟලුම් කම්කරුවන් දහස් ගණනක් සඳහා පුරප්පාඩු තිබේ. 


ලාභ හා වඩා විනයගත හෙවත් අයිතිවාසිකම් නො ඉල්ලන ශ්‍රමිකයන් සොයාගෙන ආයෝජකයන් කම්හල් ද රැගෙන උතුරට ඇදෙන යුගයක් ඉදිරියේදී නිර්මානය විය හැකි ය. එසේ ම, ලාභ ශ්‍රමිකයන් උතුරෙන් දකුණට සංක්‍රමණය වී දකුණේ සිංහලයන්ගේ රැකියා අවස්ථාවට තට්ටු කරන්නත් ඉඩ තිබේ. මෙය කිසියම් ප්‍රමාණයකට අස්වනු නෙළන සමයේදී පොළොන්නරුව වැනි ප්‍රදේශවල දැනටත් සිදු වේ. 


බල්ලාට ගැහුවා නම් අසූචිත් ඇදපිය කියා කියමනක් සිංහල ජන වහරේ තිබේ. ධනපති පංතියට රට එක් සේසත් කර දුන් පීඩිතයන්ට දැන් එක මවකගේ දරුවන් යයි කියන සුළුතර ප්‍රජාවන් සමග කාලකන්නිකම බෙදා ගන්නට පොර අල්ලන්නට සිදු වී තිබේ. 


උතුරේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවලදී මෙම ජනතාවට ශ්‍රම අවස්ථා ලබා දිය හැකිව තිබියදී ලංකාවේ හා ඉන්දියාවේ ආණ්ඩු කරන්නේ බැහැරින් ශ්‍රමිකයන් එහි ගෙන යාමයි. නිදසුනක් ලෙස, ඉන්දීය ආණ්ඩුව විසින් අවතැන් වූවන් සඳහා ඉදි කිරීමට යන නිවාස 50,000 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සමාගම ඒ සඳහා කම්කරුවන් 20,000ක් ඉන්දියාවෙන් ලංකාවට ගෙන ඒමට සැලසුම් කර තිබේ. උතුරේ ජනතාවගේ ජීවිත සැබැවින් ම ගොඩනඟන්නට අවමනා නම් එම ශ්‍රම අවස්ථා ඒ ප්‍රදේශවල ජනතාවට දීමට බැරිකමක් නැත. 


මේ පිළිබඳ තදබල විරෝධයක් උතුරේ දෙමළ ජනයා අතර ඇති බව දකුණේ සිංහලයන් දන්නේ නැත. දෙමළ ජාතිකවාදී බලවේග මෙම කාරණය මුල් කරගෙන ජාතිවාදය අවුළුවන්නේ දකුණෙන් උතුරේ වැඩට යන සිංහල කම්කරුවන් ආක්‍රමණික පිරිසක් ලෙස හුවා දක්වමින් ය.


අප අනාගත වාක්‍ය කියන්නට නො දන්නා මුත්, මෙම තත්වය විසින් නුදුරු අනාගතයේදී රැකියා අවස්ථා සඳහා ජාතිවාදී පදනමින් කම්කරුවන් කුළල් කා ගන්නා අලුත් ආකාරයක ජාතිවාදයක් ඇති ‍විය හැකි බව අපි කොළඹ වැඩ වාසය කරන අසංඛ්‍යයක් වූ කම්කරු පංතියේ ගැලවුම්කාර ඉසිවරුන්ට අනතුරු අඟවමු. 


'සකල දේශවාසී කම්කරුවනි එක් වව්!' (කාල් මාක්ස් - කොමියුනිස්ට් ප්‍රකාශනය)


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-08-29

කොමිස් කාක්කන්ගේ හතර බීරි කතා: බී.ටී.අයි. අද නොවෙයි හෙට!

(2010 අගෝස්තු 29, W3Lankaකොමිස් කාක්කන්ට මිනිස් ජීවිත වැදගත් නැත. ඒ අතින් ඩෙංගු මදුරුවාට වඩා කොමිස් කාක්කා භයානක ය.


මදුරු උවදුර මර්දනය කිරීම සඳහා යෙදීමට යෝජිත බී.ටී.අයි. බැක්ටීරියාව තවමත් 'අද නොවෙයි හෙට ය.' ඇයි ඒ? ‍


මෙන්න බළලා සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති මහින්දානන්ද අමරවීරගේ මල්ලෙන් එළියට පැන ඇත.


ඔහු අද 'ද නේෂන්' පුවත්පතට කියන පරිදි දේශීයව නිපදවන ලද බී.ටී.අයි. බැක්ටීරියා ලීටරයක මිළ රු. 2750ක් වන අතර කියුබානු බැක්ටීරියාව ඊට වඩා මිළ වැඩි ය.


'ද නේෂන්' පුවත්පතේ සඳහන් වන පරිදි කියුබාවෙන් බී.ටී.අයි. බැක්ටීරියා ලීටර 30,000ක් ඇණවුම් කර තිබෙන අතර ඒ සඳහා පිරිවැය රුත මිලියන 35කි. ඒ අනුව බැලුවොත් නම් කියුබානු බැක්ටීරියාවේ මිළ රු. 1167ක් පමණි. එක්කෝ 'ද නේෂන්' ගණන් දන්නේ නැත. නැතිනම් මහින්දානන්ද අමරවීර ගණන් දන්නේ නැත. නැතිනම් මේවා කියවන ජනතාව ගණන් දන්නේ නැත. එහෙමත් නැතිනම් මේ ලියන අපට පිස්සු ය.


කොහොමින් කොහොම හෝ දේශීය බැක්ටීරියාව මිළ අඩු නම් එය මිළ දී නො ගෙන කියුබාව දෙස බලාගෙන සැප්තැම්බර් මැද භාගය වනතුරු සමෘද්ධි නිලධාරීන් ගස් බැඳ බැඳ ආණ්ඩුව බලා ඉන්නේ ඇයි?


අමරවීර කියන පරිදි එසේ කර තිබෙන්නේ ඩෙංගු මර්දනය සඳහා බැක්ටීරියාව ඉක්මණින් භාවිතා කරන්නට ය. (He said that they initially sought to purchase both versions of the BTI since they needed to speed up the process.) හොඳ ඉක්මන!


බැක්ටීරියාව එන්නේ සැප්තැම්බර් මැද ලු. ඒ ආවාමත් කාර්මික තාක්ෂණ ආයතනය එය පරීක්ෂා කරන්න ඕනැ ලු. සල්ලි දීලා ගන්නෙ පරීක්ෂා නො කර ද?


දේශීය බැක්ටීරියාව නිපදවීම සඳහා කාර්මික තාක්ෂණ ආයතනය බයෝ පවර් ලංකා නම් ආයතනයකට පවරා තිබෙනවා. කාර්මික තාක්ෂණ ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ නිලධාරි රාධිකා සමරසේකර සති කීපයකට පෙර වෛද්‍ය සංගම් රැස්වීමකදී කී පරිදි ඒ වන විටත් දේශියව නිපදවූ බී.ටී.අයි. බැක්ටීරියා ලීටර 10,000ක් නිකුත් කරන්න සූදානමින් තිබුණි.


නො ගෙන තෙපර බාන්නේ ඇයි?


අමරවීර කියන පරිදි අමාත්‍යංශය දේශීය බැක්ටීරියාව මිළ දී ගන්නට යන්නේ සතියකට ලීටර් 400 බැගින් ය. කියුබාවෙනුත් ගෙන්වන්නේ මදි වන නිසා ලු. (“We purchased both products as we feared that if we purchased the BTI from a single manufacturer it will not be enough to cope with the demand,” Amaraweera said.)


හතර බීරි කතා කියන්නේ මේවාට ය.


ඩෙංගු හැදී මේ වසරේ මේ වන තෙක් මිය ගිය ගණන 200ට අධික ය. බැක්ටීරියාව ගැන කතා කර කර සිටිද්දී ද මිනිස්සු සිය ගණනක් මිය ගිය හ.


සීය මොකක්ද, ඈ?


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

වෙන රටවලින් ලාංකිකයන්ට on arrival වීසා ඉල්ලන්න පෙර කළ යුතු ගෙදර වැඩ

(2010 අගෝස්තු 29, W3Lankaරටවල් 71ක වැසියන්ට ලංකාවට පැමිණි පසු (on arrival) වීසා ලබා ගැනීම සඳහා දී ඇති පහසුකම අත්හිටුවීමට ලංකාව තීරණය කර තිබේ. හේතුව සිංගප්පූරුව හා මාලදිවයින හැර සෙසු රටවල් ලාංකිකයන්ට එම පහසුකම දෙන්නේ නැති වීමයි. ලංකාවේ මිනිසුන්ට අඩු තරමේ ඉන්දියාවට හෝ කල් තබා වීසා නො ගෙන යන්නට බැරි ය. 


මේ තීරණය සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට කලින් තීරණය කර තිබූ මුත් දැන් එය අත්හිටුවා තිබේ. 


ලංකාවේ මිනිසුන්ට ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ඉතාලිය, ජපානය වැනි දියුණු ධනේශ්වර රටවලට ගිහින් වීසා ලබා ගන්නට හැකියාව තිබුණොත් නම් මරේ මරු ය. ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවක් පමණ එහි ගොස් ‍මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කරදර ඇති බව කියා දේශපාලන රැකවරණ ඉල්ලනවා ඇත. ඒකට කමක් නැත. දැන් ඔය පිටරට ඉන්න පට්ට දේශප්‍රේමීන් වැඩිදෙනෙකු ඒ රටවලට ගියේ ද මේ රට හොඳ නැති බව කියලා ය. 


ලංකාවට පැමිණෙන පිටරැටියනට අප on arrival වීසා දෙන අන්දමින් ම අපටත් ඒ රටවලින් on arrival වීසා ලබා දිය යුතු බව ඉල්ලා සිටීම නරක දෙයක් නො වේ. දැන් කොටි සංවිධානය නැති බැවින් ලංකාව තව දුරටත් ත්‍රස්තවාදීන් අපනයනය කරන රටක් ලෙස සැලකීම වැරදි ය. 


එහෙත්, මෙහි ගැටලු රාශියක් තිබේ. ලංකාව පළමුකොට ම මත්ද්‍රව්‍ය ජාවාරමේ හා මිනිසුන් නිති විරෝධීව එහෙ මෙහෙ ගෙන යාමේ මධ්‍යස්ථානයක් ලෙස ඇති නම පිරිසිදු කර ගත යුතු ව තිබේ. අනෙක් පැත්තෙන් ලංකාවේ මිනිස්සු සුද්දන්ගේ වළං පිඟන් සේදීමට ආසාවෙන් සිටින ජාතියක් නො වී සැබැවින් ම රටට ආදරය කරන පිරිසක් බවට පත් වන රටක් නිර්මානය කිරීමට පාලකයන් උත්සාහ කළ යුතු ය. එවිට ඉරාකය වැනි රටකට හෝ පැන එහි වීසා නැතිව රැකියා කරන්නට පෙළඹෙන ලාංකිකයන් වෙනුවට ගෞරවනීය පුරවැසියන් සිටින රටක් ලෙස ලංකාවට ලෝකයේ පිළිගැනීමක් ලැබෙනු ඇත. 


නැතිනම් වන්නේ දැන් සුද්දන්ට විකිණීම සඳහා ලහි ලහියේ සූදානම් කෙරෙමින් තිබෙන ලංකාවේ පරිසරය බැලීමට එන්නට සිටින සුද්දාත් පස්ස ගසා ලංකාවට ලැබෙන්නට තිබෙන විදේශ විනිමය නැති වීම පමණි. විදේශ අමාත්‍යංශයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට ලංකාවේ තානාපති කාර්යාල පිහිටුවා තිබෙන්නේ රටවල් 50කටත් අඩු ගණනකයි. ලංකාවට එන්න වීසා ගන්නට තවත් රටකට යන්නට සංචාරකයන් කැමැති වනු ඇතැයි සිතිය නො හැකි ය.  


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-08-28

මුන්නේශ්වරම් වාර්ෂික බිලි පූජාව හා දෙමටගොඩ දෛනික බිලි පූජාව

ඡායාරූපය නේපාලයෙනි.
(2010 අගෝස්තු 28, W3Lanka) හලාවත-මුන්නේශ්වරම් කාලි අම්මා කෝවිලේ අගෝස්තු 25 දා පැවැත්වූ සත්ව බිලි පූජාව පිළිබඳ රට තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ. 


මෙම මහා බිලි පූජාව සිදු වන්නේ සත්ව හිංසනය පිටු දැකීම සඳහා සත්ව පනත, ගව ඝාතන ආඥා පනත හා සත්ව හිංසා වැළැක්වීමේ පනත ආදී අණ පනත් ඇති රටකයි. මානව හිමිකම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පවා තිබියදී මිනිසුන්ට සිදු වන දේ දෙස බැලූ කල සතුන්ට නීතියෙන් පිළිසරණක් නො ලැබීම පහසුවෙන් තේරුම් ගත හැකි ය. 


මෙම හින්දු බිලි පූජාවට විරෝධය පළ කරන ජාතික සංඝ සම්මේලනය මිනිස් බිලි පූජා ගැන සාමාන්‍යයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද අවධානයට ලක් විය යුතු ය. 


කෙසේ වෙතත්, අප පහත සඳහන් කාරණා ටික ද දැන ගත යුතු ය. පසුගිය දිනෙක කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකදී 1867දී පිහිටුවන ලද 'ඓතිහාසික' දෙමටගොඩ ගව ඝාතනාගාරය වෙනත් තැනකට ගෙන යාම පිළිබඳව මතු වු විට හෙළිදරව් වූ පරිදි කොළඹ නගරයේ මස් කන මිනිසුන්ගේ පරිභෝජනය සඳහා දිනකට ගව මස් කිලෝ 18,000ක් අවශ්‍ය අතර ඒ සඳහා දිනපතා හරකුන් 180ක් බැගින් දිවි දෙති. 


එළු මස් කිලෝ 12,000ක් වෙනුවෙන් එළුවන් ද එතරම් ම ප්‍රමාණයක් මරා දමනු ලැබේ. කොළඹ හාදයෝ හා කොළඹට එන යන හාදයෝ දිනකට ඌරු මස් ද කිලෝ 9000ක් ගිලිති. 


හක්කෙන් බුදු රැස් විහිදෙන බොහෝ කොළඹියානුවන්ගේ බොක්කේ ඇත්තේ මොනවා ද? 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-08-27

වී ප්‍රශ්නයක් වී ඇත්තේ ඇයි? | How paddy became a problem to Sri Lanka

(2010 අගෝස්තු 27, W3Lanka) වී විකුණා ගැනීම නැවතත් ගොවීන්ට වහ බොන්නට හේතු වන ප්‍රශ්නයක් බවට පත් වී ඇති බව පෙනේ.


දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කියන අන්දමට හේතුව එක්සත් ජාතික පක්ෂ රජය විසින් වී අලෙවි මණ්ඩලය වසා දමා දිවයින පුරා තිබුණු වී ගබඩා 378ක් අතරින් 61ක් පෞද්ගලික අංශයට විකුණා දැමීම නිසා වී ගබඩා කර තබන්නට ස්ථාන නැති වීම රජයේ වි මිළ දී ගැනීමේ වැඩසටහනට ගැටලුවක් වී ඇති බවයි. රසවත් කාරණයක් මෙම ගොඩනැගිලි මිළ දී ගත් අය අතර සිටින වත්මන් රජයේ ඇමතිවරු ද එජාප ආණ්ඩුවට බැන වැදීමයි.


එහෙත්, ඇත්ත වශයෙන් ම වී අලෙවි මණ්ඩලය වසා දැමුණේ 1996දී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ද කැබිනට් සාමාජිකයකු වූ පොදු පෙරමුණු ආණ්ඩුව විසිනි. එසේ කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ උපදෙස් මතයි.


2000 වසරේදී වී අලෙවි මණ්‌ඩලය ඈවර කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෘෂිකර්ම ඇමතිවරයා නම් වත්මන් අග්‍රාමාත්‍ය වන දි.මු. ජයරත්නයි. මහින්ද රාජපක්ෂ යනු එම පනත සැකසූ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වන අතර පනතට පක්ෂව ඡන්දය දුන් කෙනෙකි.


වී අලෙවි මණ්ඩලය පැවති සමයේ කළේ ගොවීන්ගේ වී නිෂ්පාදනයෙන් 10-15% අතර ප්‍රමාණයක් මිළ දී ගැනීම හා ඒවා වේගයෙන් වෙළඳපොලට නිකුත් කරීම හරහා ගොවීන්ගෙන් වී මිළ දී ගන්නා මිළ හා වෙළඳපොලේ සහල් මිළ ස්ථාවර කිරීම බව හිටපු ගොවි ජන සේවා කොමසාරිස්වරයකු වන අයි. කේ. වීරවරධන පවසයි. එය සිදු කර තිබෙන්නේ ලියාපදිංචි මෝල්කරුවන් හරහා වී කොටවා පාලනයක් සහිතව වෙළඳලට නිකුත් කිරීමෙනි.


එහෙත් දැන් මෙවැනි විධිමත් ක්‍රියාවලියක් නැත. රජය මහජන මුදල් වැය කර මිළ දි ගත් බොහෝ වී තොග වෙළඳපොලට එන්නේ රසයෙන් හා පෝෂණ ගුණයෙන් හීන පරණ, බාල හාල් ලෙසයි.


ආණ්‌ඩුව මැතිවරණවලට මුහුණ දී පටු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් පසුගිය ජනවාරි සිට මැයි අතර කාලය තුළ සහල් මෙට්‍රික්‌ ටොන් 122,331ක්‌ මෙරටට ගෙන්වා ඇති බව අනුරාධපුර දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ ය. ඉවක්‌ බවක්‌ නොමැතිව ගෙන්වන ලද සහල් තොගවලින් මෙට්‍රික් ටොන් 30,000 ක්‌ පමණ තවමත් ගබඩාවල තිබෙන බව හෙතෙම අනාවරණය කළේය.


වත්මන් වී ප්‍රශ්නයේ මුල ඇත්තේ එතැනයි.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

කේ.පී.ට සමාව දෙන එක වැරදි ද? | Is pardoning KP wrong?

(2010 අගෝස්තු 27, W3Lanka) ආණ්ඩුව කේ.පී.ට දී ඇති බව පෙනෙන සමාව ගැන සමාජයේ කතිකාවක් ඇති වී තිබේ. කලක් කොටි සංවිධානය සමග සම්මුතිය හා බලය බෙදා ගැනීම අවධාරණය කළ අය පවා දැන් කේ.පී.ට දුන් සමාව විවේචනය කරති. යුද්ධය ඇති නොවී සාම ක්‍රියාවලිය ඉදිරියට ගියේ නම් කේ.පී.ට පමණක් නොව ප්‍රභාකරන්ට ද නීතියෙන් මුක්තිය ලබා දීමට සිදු වේ. නේපාලයේ වඩාත් ම අවශ්‍යව සිටි කැරැලි නායකයා වන මාඕවාදී ව්‍යාපාරයේ නායක ප්‍රචණ්ඩා සාම ක්‍රියාවලිය ඔස්සේ පසු කලෙක එරට අගමැති වීම නිදසුනකි. ඇත්තෙන් ම කීවොත් බොහෝ දේශපාලන වීරයන් හා ත්‍රස්ත නායකයන් අතර වෙනසක් නැත. දිනන එකා වීරයා වී කිරුළු පළඳින අතර පරදින එකා ත්‍රස්තවාදියා වී සොහොන් බිමකට ද අහිමිව මිය යයි. 


කේ.පී.ට සමාව දීම හා සමාන්තරව සරත් ෆොන්සේකාගේ තරු ගැලවීම ද සිදු විය. එහෙත්, මෙම ලිවීමේදී අපි එය කේ.පී.ට සමාව දීම හා සම්බන්ධ කර ගන්නේ නැත. මෙම සිද්ධි දෙක තුලනය කර ගැනීමේ අවුල ලිහා ගැනීම රාජපක්ෂ පාලනය විසින් කළ යුතුව ඇති දෙයකි.


ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාවේ අභියෝගයට මුහුණ දීම පිණිස කේ.පී. උපයෝගී කර ගැනීම දීර්ඝකාලීනව කෙතරම් දුරට සාර්ථක වේ ද යන්න කාලය විසින් තීරණය කරනු ඇත. කෙසේ වෙතත්, කේ.පී. මෙහෙයුම විසින් මේ වන විට දෙමළ ඩයස්පෝරාවේ කැළඹීමක් ඇති කර තිබෙන බව ඊලාම් පාරජාතික පාලනය පිහිටුවීමෙන් පසු ඩයස්පෝරා ක්‍රියාකාරිත්වයේ දක්නට ලැබෙන සාපේක්ෂ පසුබෑමෙන් පැහැදිලි වේ.


දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විනාශ වුව ද, දශක තුනක දෙමළ කැරැල්ලට හේතු පාදක වූ සමාජ තත්වයන් වෙනස් වී නැති සංදර්භය තුළ ලංකාවේ ඇති වී තිබෙන යුද රහිත තත්වය චිරස්ථායී සාමයක් බවට පරිවර්තනය වී නැත.


ආණ්ඩුව පැත්තෙන් ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම ලෙස ක්‍රියාත්මක කරමින් ඇත්තේ අලුත් දෙයක් නොව, සටන් විරාමය ඔස්සේ ගෝලීය ධනවාදයේ උපකාර ඇතිව එක්සත් ජාතික පක්ෂය විසින් ද ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළ දේ ම ය. එනම් ප්‍රාග්ධනය දෙමළ ප්‍රදේශවලට කඩා වදින්නට සැලැස්වීම හා ඒ ඔස්සේ ඇති වන 'සංවර්ධනය' පහළට කාන්දු වීමට සැලැස්වීම හරහා ශීඝ්‍ර සමාජ, දේශපාලනික හා සංස්කෘතික විපර්යාසයකට දෙමළ සමාජය ලක් කිරීමෙන් සමාජය පරමාණුකරණයට හෙවත් බිඳී විසිරී යාමට සලස්වා අරගල විභවයන් මුළුමනින් ම බිඳ දැමීමයි.


රාජපක්ෂ ආණ්ඩුවේ උපාය මාර්ගයෙහි ඇති වෙනස වන්නේ එය ක්‍රියාත්මක වන්නේ දෙමළ කැරැලි කණ්ඩායම සමූලඝාතනය කිරීමෙන් පසු වීමයි. සටන් විරාම හා සාකච්ඡා ක්‍රියාමාර්ගය තුළ සමූලඝාතනයක් තිබුණේ නැත. 


කේ.පී. අත්අඩංගුවට පත් වීමේ නාටකය තවමත් පැහැදිලි නැති අඳුරු කලාපයකි. ඔහුට ආණ්ඩුවේ කරුණාව හිමි වීම ද අද්භූත සිද්ධියකි. ඒ පිටුපස කේ.පී. විසින් හසුරුවන ලද ආර්ථික ජාලයේ හයිය තිබෙන්නට පුළුවන. කේ.පී.ත් ආණ්ඩුවත් අතර මුල සිට ම අවබෝධයක් තිබෙන්නට ද ඇත. 


එසේ නොමැති නම් කේ.පී. සම්මුඛ සාකච්ඡාවලදී පවසන ලද ආකාරයට ඔහු  අහිසංක කුකුළු පැටවකු සේ අත්අඩංගුවට පත් වී ගුවන් යානයෙන් එන විට ඔහු සමග පැමිණි නිලධාරියා සමග කළ සාකච්ඡාවේදී ඔහු ආණ්ඩුවට සහාය දක්වන්නට එකඟ වීම හා ඉන් පසු ආරක්ෂක ලේකම්වරයා සමග කතා කිරීමෙන් ඔහු හා ආණ්ඩුව අතර විශ්වාසය තහවුරු වීම වුව සිදු වන්නට බැරි දෙයක් නො වේ. 


මෙවැනි දේ සම්බන්ධයෙන් උදාහරණ ජවිපෙට සම්බන්ධ 1989 කැරැල්ලෙන් ඕනෑ තරම් සපයා ගත හැකි ය. පෝස්ටර් ගැසූ අහිංසකයන් කුරිරු අන්දමින් මරා දමද්දී, ජවිපෙ මැද පෙළේ නායකයන්ගේ ජීවිත ඔවුන් සහ ඇතැම් නිලධාරීන් අතර ඇති වූ සාකච්ඡා හේතුවෙන් බේරිණි. 


1989 කැරැල්ල අවසාන සමයේදී ආණ්ඩුවට ජවිපෙ මර්දනය කිරීම සඳහා පූර්ණ සහයෝගය දැක්වූ දේශපාලන මණ්ඩල සභිකයකු වන ගාමිනී විජේගුණසේකර නිදසුනකි. ඔහු විසින් අල්ලා දෙන ලද බොහෝ දෙනෙකුට ඔහු පහදා දුන් අන්දමින් ම සෙසු අය අල්ලා ගැනීමට උදව් කර ජීවිතය බේරා ගැනීමට ලැබිණි. තමන්ට රජය විසින් අභය දෙනු ඇති බවට විශ්වාසයක් ගාමිනී විජේගුණසේකර තුළ වූ බව ඔහු හමු වූ අය පවසති. අඩු තරමේ එම තත්වය දිනා ගැනීම සඳහා ඔහු තදබල උත්සාහයක යෙදී සිටියේ ය. ඇතැම් විට ඔහු කොහේ හෝ රටක පණ බේරාගෙන ඉන්නවා වන්නට පුළුවන. නැතිනම් ඔහුට වූ පොරොන්දු ආණ්ඩුව කඩ කළා වන්නට ද පුළුවන.


අද කේ.පී.ට දුන් සමාව පිළිබඳ ප්‍රශ්න කරන ජවිපෙට සෝමවංශ අමරසිංහ දේශපාලනය කරන්නේ ද එවන් සමාවක් මත බව අමතක වී ඇත. 1989දී සෝමවංශට රටින් පළා යාමට උදව් කළ අය පවා පසුව නීතියෙන් දඬුවම් ලැබූ හ. කැරැල්ලෙහි වගකීම් සම්බන්ධයෙන් ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ සෝමවංශ අමරසිංහට එරෙහිව නඩු පැවරීමට ආණ්ඩුවට පුළුවන්කම තිබුණු නමුත් ආණ්ඩුව ඔහුට සමාව දුන්නේ ය. 


1971 කැරැල්ලේ දී ද මෙවැනි සිදුවීම් සිදු විය. කැරැල්ලේ නායකයන් වූ ලොකු අතුල හෙවත් නිමලසිරි ජයසිංහ, මහින්ද විජේසේකර වැනි අය රජයේ සාක්ෂිකරුවන් බවට පත් කර නිදහස් කරන ලදී. පමා වී හෝ ජවිපෙ නායකයන් වූ රෝහණ විජේවීර සහ තවත් අය නිදහස් වූයේ ද පොදු සමාවක් යටතේ ය. 


කොටි සංවිධානය සමග එක්ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මරන්නට කුමන්ත්‍රණය කර රු. ලක්ෂ දහයක් ද ලබා ගත් බව රහස් පොලිසිය විසින් අධිකරණයට වාර්තා කරන ලද ජොන්ස්ටන් ප්‍රනාන්දුට සමාවක් පමණක් නොව කැබිනට් ඇමතිකමක් ද හිමි වී තිබේ. 


මෙසේ විමසා බැලූ කල කේ.පී.ට සමාව දීම කිසි සේත් ම අස්වාභාවික සිද්ධියක් නො වේ. 


පීඩිතයන්ට තමන් කළ වරදකට කිසිදු සමාවක් හිමි නො වීම පංති ප්‍රශ්නයකි. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-08-25

වෙල්ලස්සේ කැරැල්ල නැවත කියවීමක් | Reading Wellassa rebellion in post-LTTE context


(2010 අගෝස්තු 25, W3Lanka - අජිත් පැරකුම් ජයසිංහ)
ගිය අවුරුද්දේ ජුනි මස අප විසින් ලියන ලද මෙම ලිපියෙන් අප අරමුණු කළේ කුමක්ද යන්න අප ඒ වන විට පැවති වාතාවරණය තුළ නො ලියුවෙමු. එහෙත්, අ‍පගේ අරමුණ වූයේ 1818 වෙල්ලස්ස කැරැල්ල, කැරැලි මර්දනය හා දෙමළ කැරැල්ල හා 2009දී කැරැලි මර්දනයත්, මර්දනයෙන් පසු තත්වයනුත් අතර සමානකම් හුවා දැක්වීමයි. 


සමස්ත උඩරට රාජධානිය පුරාම 1817-1818 සමයේදී ව්‍යාප්ත වූ වෙල්ලස්සේ කැරැල්ල හේතුවෙන් යටත් විජිත පාලනය බිඳ වැටෙන්නට ඔන්න මෙන්න තත්වයකට පත් විය. මුලදී ස්වදේශික ප්‍රශ්න මත පැනනැඟුණු එය පසුව බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි කැරැල්ලක් බවට පත් විය. නායක්කර් වංශික රජ පෙළපතින් පැවත එන බව කී දොරේසාමි නමැත්තෙක් ඔටුන්නට හිමිකම් කීවේය. වෙල්ලස්සේ ජනතාව ඔහු රජු ලෙස පිළිගත් අතර, කිවුලේගෙදර මෙහොට්ටාල වැනි වැදි නායකයන්ගේ ආරක්ෂාව සහ සහාය ඔහුට ලැබිණි. කතරගම දෙවියන් විසින් තමන් රජකමට පත් කර ඇති බව 1817 ජුලියේදී දී ප්‍රකාශයට පත් කළ දොරේසාමි 'කුමාරයා' සපිරිවර සමඟ කතරගම සිට බුත්තලටද, එතැනින් වැදි ජනයාගේ පූජනීය කඳුවැටියක් වූ පදියතලාවේ කොකාගලට පැමිණියේය. මහ බදුලුගම ර‍ටේ රාළ වැනි ප්‍රාදේශීය නායකයෝ රැසක් ඔහුට සහාය පළ කළහ.


එකල බදුල්ලේ සිටි ඉංග්‍රීසි පාලකයා වූ විල්සන් මෙම 'කුමාරයා' හමු වීමට යවන ලද පිරිසට වැදි ජනයා අතර සැඟවී සිටි දොරේසාමි සොයාගැනීම දුෂ්කර විය. බකිනිගහ ගම්මානයේදී බූටෑවේ රටේ රාළ විසින් මෙම පිරිස අල්ලාලෙන කොකගල සිටි රජු වෙත පිටත් කරන ලදී. 'රජු' ඔවුන්ගේ නායකයාට මරණ දඬුවම පැනවීය. 1817 දෙසැම්බරයේදී විල්සන් මැලේ හා කාපිරි සොල්දාදුවන් 20ක් සමඟ බූටෑවේ අල්ලාගැනීම සඳහා පිටත් වූවද ඒ වන විට බූටෑවේ රටේ රාළ කැළෑ පැන තිබිණි. ආපසු එමින් සිටින අතර ඉතනවත්ත පත්තිනි දේවාලය අසලදී සැඟවී සිටි කැරළිකරුවන්ගේ ඊතලයකින් විල්සන් මරුමුවට පත් විය. පෝල් ඊ. පීරිස්ට අනුව, විල්සන් මියගොස් සතියකින් දෙරේසාමි වීරවික්‍රම ශ්‍රී කීර්ති නාමයෙන් රාජත්වය ප්‍රකාශයට පත් කරමින් රාජ සභාවක්ද පත් කළේය.


කන්ද උඩරට පාලකයා වූ ජෝන් ඩොයිලිගේ දෙවැන්නා වූ සයිමන් සෝවර්ස් බදුල්ලේ කටයුතු සඳහා පත් කර එවන ලද අතර කැප්පෙටිපොළ නිලමේ ද ඩොයිලි විසින් කැරැල්ල මර්දනය කිරීම සඳහා එහි එවන ලදී. ප්‍රදේශය හුදකලා කිරීම බ්‍රිතාන්‍යයන්ගේ යුද උපාය වූ අතර, මෙම කාර්යය සම්පූර්ණ කරනු ලැබුවේ මේජර් මැක්ඩොනල්ඩ් විසිනි. මහනුවර, බදුල්ල හා බින්තැන්න යන තැන්වලින් අනුඛන්ඩ හතරක් ලෙස 1817 ඔක්තෝබර් 27දා පිටත් වූ ඔවුහු මඟ දිගට හමු වන ගම් බිම්, කෙත් වතු ගිනි තබා සහමුලින්ම වනසා දමමින්, ජනයා මරා දමමින් 31දා විල්සන් මරණයට පත් වූ ස්ථානය ආසන්නයේදී එකට එකතු වූහ. යුද සමයේදී පවා කෙත්වතු ගිනි තැබීම අපරාධයක් ලෙස සැලකූ උඩරට වැසියන්ට බ්‍රිතාන්‍යයන්ගේ මෙම මහපොළව දවා හළු කිරීමේ පිළිවෙත දරාගැනීමට නොහැකි වූ බව පෝල් ඊ. පීරිස් පවසයි. කැප්පෙටිපොළ ඇතුළු බොහෝ උඩරට ප්‍රභූන් කැරැළිකරුවන්ගේ පාර්ශ්වය ගැනීමට මෙම තත්වය හේතු වූ බව කියැවේ. කැප්පෙටිපොළ කැරැල්ලේ නායකත්වයට පත් වීමත් සමඟම කැරැල්ල යටත් විජිත විරෝධී ජාතික ව්‍යාපාරයක් බවට පත් විය.


කැරැල්ල මර්දනය කරනු ලැබුවේ සමස්ත වෙල්ලස්සම ගිනි තබා විනාශ කරමින්, එහි පදිංචි වැසියන් පළවා හරිමින් හා නායකයන් අත්අඩංගුවට ගෙන මරණ දඬුවම පනවමින් හා තවත් අය මුරුසියේ සිරගත කරමිනි. වෙල්ලස්සේ ජනයා බ්‍රිතාන්‍යයන්ගේ මර්දනයෙන් බේරීමට කඳු මුඳුන්වලට හා ගිනිකොණදිග වෙරළට පළා ගියහ. ඇතැම් අය බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය පරදි බලහත්කාරයෙන් යළි පදිංචි කරන ලදී. වෙල් ලක්ෂයක් නිසා වෙල්ලස්සය වූ මෙම සරුසාර කලාපයේ සමහර පාළු වූ කුඹුරු කිසිදිනෙක යළි අස්වැද්දුණේ නැත. අදත් වෙල්ලස්ස ප්‍රදේශය දිවයිනේ දරිද්‍රම කලාප අතරින් එකකි. පොළව දවා හළු කිරීමේ ප්‍රතිපත්තියට ප්‍රජාවක් සහමුලින්ම විනාශ කළ හැකි තරමේ ගැඹුර පෙන්වන ‍නිදසුනකි, වෙල්ලස්ස.


සයිමන් සෝවර්ස් ඩොයිලිට ලිපියක් ලියමින් පවසන්නේ "වලපනේ සහ වියලුවේ ප්‍රධාන නායකයන්ද වෙල්ලස්සේ නායකයන් මෙන් අතුගා දමන තෙක් එහිද ආරක්ෂාවක් නැත. කිවුලේගෙදර, හාපතගම, අඳවැල්ල, බොරගොල්ල සහ යාලේගම පවුල්වල සෑම පුද්ගලයකුම පිටිසර ප්‍රදේශවලින් ඉවත් කළ යුතු යයි මා නිර්දේශ කරන්නේ මෙම පදනමෙහි පිහිටා සිටිමිනි."


අසූ වසරකට පසු බ්‍රිතාන්‍ය විනිශ්චයකාරවරයෙකු වූ ආචිබෝල්ඩ් ලෝරි වෙල්ලස්සේ කැරැල්ල මර්දනය කළ ආකාරය පිළිබඳ පවසන්නේ මෙසේයි. "1817, 1818 සමයේ බ්‍රිතාන්‍යයන්ගේ උඩරට පාලනයේ කතාව ලජ්ජාවකින් තොරව සිහිපත් කළ නොහැක. 1819 වන විට, ජනතාවගේ නායකයන් සහ ප්‍රධාන පවුල්වල කිසිදු සාමාජිකයෙක් ඉතිරි නොවූ තරම්ය. තුවක්කුවෙන් හා කඩුවෙන් බේරුණු අය කොළරාවට හා වසූරියට ගොදුරු වූ අතර අගහිඟකම් නිසා සිය ගණන් මිය ගියහ."


යටත් විජිත රාජ්‍යයන් හැමෙකකම ප්‍රතිපත්තිය වූ පරිදි පසු කාලීන සංවර්ධනයන් ගොඩනැඟුනේ මෙම බියකරු පදනම මත බව මහාචාර්ය ගනනාථ ඔබේසේකර පවසයි. කැරැල්ලෙන් පසු අවුරුදුවලදී විශේෂයෙන්ම ඌවේ විශාල භූමිභාගයන් කෝපි සහ පසුකාලීනව තේ වගාවන්ට පවරා දෙන ලද අතර, මෙම ඉඩම් ජනශුන්‍ය ඒවා බවට පතුරුවා ඇති අදහස සත්‍ය නොවන බවද මහාචාර්ය ඔබේසේකර පවසයි. ඇතැම්විට මෙම ඉඩම්වල අයිතිය තහවුරු කරන්නට ඉංග්‍රීසීන් අපේක්ෂා කළ ලියකියවිලි ඉතිරි වූ වැසියන් සතුව නොතිබෙන්නට ඇත.


ඌව වෙල්ලස්ස ප්‍රදේශවල ඉඩම් නැවත වරක් බහුජාතික සමාගම්වලට විකිණීමට නූතන පාලකයන් දරන උත්සාහය පිළිබඳව මහාචාර්ය ගනනාථ ඔබේසේකර පවසන්නේ මෙසේයි: "සමකාලීන ධනේශ්වර සංවර්ධනයේ මුවාවෙන් ආපසු එමින් ඇත්තේ ලංකාවේ පාලකයන් වෙතින් මතු වන, ඔවුන්ගේ අඳුරු හෝ ආවරණය වූ කලාපයන්හි තිබෙන මෙම යටත් විජිත පුද්ගලභාවයයි. එමඟින් වෙල්ලස්සේ දෙවන දූෂණය සිදු විය හැකිය."


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-08-24

‛ගිනිගත් සමය‛ සහ ලංකාවේ ස්ත්‍රී බලය | 'Burning Times' and the power of Sri Lankan woman

(2010 අගෝස්තු 24, W3Lanka - අජිත් පැරකුම් ජයසිංහඩැනා රීඩ්ගේ Burning Times යනු මධ්‍යතන යුගයේදී යුරෝපය, ඇමරිකාව සහ අප්‍රිකාව පුරා පැතිර ගිය මායාකාරියන් ඝාතනය කිරීමේ (witch hunting) ක්‍රියාවලිය පිළිබඳ නිර්මානය වූ අපූරු වාර්තා චිත්‍රපටයකි.


පුරාතන යුගයත්, පුනරුද යුගයත් අතර අඳුරු යුගයට අයත් 12, 13, 14 සියවස්වලදී වසර 300ක කාලය තුළදී ස්ත්‍රීන් මිලියන නවයක් හෙවත් ලක්ෂ 90ක් මායාකාරියන් ලෙස හඳුනාගෙන ඝාතනය කරන ලදී.


මෙය වනාහි ලෝකයේ ස්ත්‍රී වර්ගයා මත පනවන ලද ඓතිහාසික සමූහ හිංසනයකි. සංහාරයකි. එහෙත්, පුරුෂ මූලිකත්වය තහවුරු වූ නූතන සමාජයේ අද එම සංහාරය පිළිබඳව සාකච්ඡා කෙරෙනුයේ ඉතා මඳ වශයෙනි. චිත්‍රපටයෙහි ම තැනක සඳහන් වන ආකාරයට ‛ඉතිහාසය ලියනු ලබන්නේ ජයග්‍රාහකයන් විසිනි.‛


කෲර වධ බන්ධනයට ලක් කර, පණ පිටින් පුළුස්සා හෝ දියේ ගිල්වා ඝාතනය කරන ලද මේ ස්ත්‍රීහු කවරහු ද?


නවීන විද්‍යාව හා සමාජ පරිණාමය විසින් මායාකාරිය පිළිබඳ පැරණි අර්ථකථනය වෙනස් කර, ඇය හුදු සාහිත්‍යමය ප්‍රබන්ධ චරිතයක් බවට පත් කර තිබෙනමුත්, මධ්‍යතන යුගයේදී මායාකාරිය යනු සමාජයේ ජීවත් වූ යම් බලයක් සහිත ස්ත්‍රියකි.


මේ යුගයේදී ලොව පුරා පැතිර ගිය වසංගත හේතුවෙන් විශාල ජනගහණයක් මිය ගිය අතර, යම් ජෛව විද්‍යාත්මක ඔරොත්තු දීමේ හැකියාවක් හේතුවෙන් ස්ත්‍රී ගහණය පුරුෂ ගහණයට වඩා වැඩි වන තත්වයක් දක්නට ලැබුණු බව චිත්‍රපටය පවසයි. යුද ගැටුම් හේතුවෙන් පිරිමින් වැඩිපුර මිය යාම ද මෙයට එකතු වූ තවත් තත්වයකි. අවිවාහක, ස්වාධීන ගැහැණුන් සුලබ වීම මෙම යුගයෙහිදී දක්නට ලැබෙන සුවිශේෂ තත්වයකි.


නවීන වෛද්‍ය විද්‍යාව දියුණුවට පත් ව නොතිබුණු, සොබා දහමේ අභියෝග හමුවේ මිනිස් අසරණකම වඩා ඉස්මතු ව පෙනුණු මෙම යුගයෙහිදී සම්ප්‍රදායික ඖෂධ පිළිබඳ දැනුම, සුව කිරීමේ හැකියාව, වින්නඹු ශිල්ප ඥානය ආදී බලයන් සහිත වූ කාන්තාවන්ට සමාජයේ බිය මුසු ගෞරවයක් තිබිණි.


පීතෘමූලිකත්වයේ ආධිපත්‍යය තහවුරු කිරීමේ ලා ක්‍රිස්තියානි පල්ලියේ ප්‍රයත්නයන් හමුවේ මායාකාරිය පිළිබඳූ අර්ථකථනය තුළට මෙම ‛බලවත්‛ ගැහැණුන් ඇතුළත් කරන ලදී. ක්‍රිස්තියානි පල්ලියේ ආධිපත්‍යයට එරෙහිව කැරලි ගැසූ, බුද්ධිමත්, අභියෝගාත්මක ගැහැණු ද මේ වර්ගයට අයත් වූහ. ඇතැම් විටෙක සාක්ෂරතාව පවා යක්ෂයාගෙන් ලද ලක්ෂණයක් ලෙස සැලකිනි.


මායාකාරියන් හඳුනාගැනීම සඳහා inquisition හෙවත් පරීක්ෂක සභාව නම් වූ ක්‍රමවේදයක් භාවිතා කරන ලදී. පිරිමින් විසින් කෲර වධ බන්ධනයට ලක් කරමින් ගැහැණුන් ප්‍රශ්න කරන ලද අතර එම කෘරත්වය හමුවේ බොහෝ ගැහැණු පාපොච්චාරණ කළහ. ලිඛිත සාධක අනුව මෙම පාපොච්චාරණ බොහොමයක් එක හා සමාන ය. යුරෝපා ක්‍රිස්තියානිත්වය තහවුරු කිරීමේ ක්‍රියාවලිය තුළ සංහාරයට ලක් වූ මිලියන ගණනාවක් ජනයා අතරින් 85%ක් පමණ ස්ත්‍රීන් බව කියැවේ.


‛මායාකාරිය‛ යනු අඳුර සමග සම්බන්ධ වූ ස්ත්‍රී බලයකි. ස්ත්‍රී බලයට එරෙහි වසර 5000ක මත ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ මායා ශිල්ප (witchcraft) අපරාධ ලෙස නම් කර ඒවා හා සම්බන්ධ ගැහැණුන් අපරිමිත වධ බන්ධනයට ලක් කර ඝාතනය කිරීමේ හැකියාව තිබිණි. එම වධයට පැමිණවීම් සහ ඝාතන එදා සාමූහික වින්දන මාර්ගයක් වී තිබුණු බවක් ද පෙනේ.


මායාකාරියන් සංහාරය ස්ත්‍රී බලයට පුරුෂ මූලික සමාජයේ ඇති බිය සංකේතවත් කරයි.


මෙම ලිපියෙහි අරමුණ බටහිර ඉතිහාසයේ ඓතිහාසික කළු පැල්ලමක් වන මෙම මායාකාරියන් විනාශ කිරීම හෙවත් ස්ත්‍රී බලය පිටුදැකීම සිංහල සමාජයේ තත්වයන් සමග සන්සන්දනය කිරීමයි.


පැරණි සිංහල සමාජයේදී සම්ප්‍රදායික ඖෂධ දැනුම, වින්නඹු ශිල්පය හා යකැදුරුකම් වැනි විශේෂ හැකියාවන් සහිත වූ ගැහැණුන් පිටු දකිනු ලැබූ බවට ඓතිහාසික සාධක දක්නට නොමැත. ඒ වෙනුවට ඔවුනට සමාජයේ ගෞරව සම්ප්‍රයුක්ත, සුවිශේෂ ස්ථානයක් ලබා දී තිබුණ බව දැකිය හැකි ය.


මායාකාරියන් පිළිබඳව පැරණි සිංහල සාහිත්‍යයෙහි මඳ වශයෙන් සඳහන් වේ. මහාවංශයෙහි එන කුවේණි චරිතය එවැන්නකි. යක්ෂ ගැහැණියක වන ඇය තම්බපණ්ණි වැල්ලට ගොඩබට විජය කුමරු හමුවට බැල්ලක එවීම සහ බැල්ල පසුපස ගිය කුමාරවරුන් සත්සියයක් පොකුණක සඟවා තැබීම වැනි මායාවන් කළ බව දැක්වේ.


‛මායාකාරිය‛ නම් වූ බටහිර භාෂාත්මක ගොඩනැගීම පැරණි සිංහල සාහිත්‍යයෙහි වර නැගෙන්නේ ‛යක්ෂණිය‛ නම් වූ වෙනස් ස්වරූපයකිනි. ඇයට බටහිර සමාජයේ මායාකාරියට තරම් ‛මිනිස්භාවයක්‛ නොමැති අතර ඇය වඩා ප්‍රබන්ධාත්මක, පරිකල්පනීය චරිතයක ලක්ෂණ පෙන්නුම් කරයි. පැරණි සාහිත්‍යයෙහි යක්ෂණියන් ගැන සඳහන් වන්නේ යක්ෂයන්ට වඩා අඩුවෙන් ය.


සිංහල සමාජයේ යක්ෂ සංකල්පය බටහිර යක්ෂ සංකල්පයෙන් හාත්පසින් ම වෙනස් එකක් වන බැවින් සිංහල යක්ෂණිය බටහිර යක්ෂයා සහ මායාකාරිය පිළිබඳ ප්‍රවාදයන් සමග සන්සන්දනය කිරීම පදනම් විරහිත ක්‍රියාවකි.


එහෙත්, බාහිර සංස්කෘතීන්ගේ බලපෑමට වැඩිපුර ලක් වූ ජන සාහිත්‍යයෙහි එන මායාකාරිය සහ මන්තරකාරිය ආදී චරිත නම් සෑහෙන දුරට බටහිර සංකල්පවල බලපෑමට ලක් වී ඇති බව පෙනේ. නූතන සිංහල සාහිත්‍යය තුළ මායාකාරිය පිළිබඳ සංකල්පය ප්‍රචලිත වීමට බටහිර සාහිත්‍ය පරිවර්තන සහ විශේෂයෙන් ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්. ඒ. දිසානායක විසින් නිර්මානය කරන ලද බටකොළ ආච්ච් චරිතය පදනම් වූ බව පෙනේ.


බටකොළ ආච්චි නම් චිත්‍ර කතා චරිතය 1960 දශකයේ මුල් වකවානුවේ සිට අද දක්වාම ‛මිහිර‛ ළමා පුවත්පත හරහා ළමයින් අතර ජනප්‍රිය වී තිබේ. මිට අග ගිනි දළුවක් ඇති ඉදලක නැගී අහසින් ගමන් බිමන් යන, බූසි කෙස්සක් සහිත, දළ සළු ඇඳි, මහළු ගැහැණියක වන බටකොළ ආච්චි චරිතය ඉතා පැහැදිලිව ම බටහිර සුරංගනා කතා ආභාසයෙන් නිර්මානය කරන ලද්දකි.


බටහිර ආභාසයෙන් සිංහල සමාජයෙහි ප්‍රචලිත වූ මායාකාරිය පිළිබඳ ප්‍රබන්ධාර්ථය ඉක්මවා යමින් භෞතික සමාජයේ මායාකාරී ස්ත්‍රීන් පිළිබඳ සාකච්ඡා කරන සාහිත්‍යමය ප්‍රවේශයක් අපට මුලින්ම හමු වන්නේ දේශීය සාහිත්‍යය තුළ නොව යටත් විජිත ප්‍රබන්ධ සාහිත්‍ය ප්‍රවර්ගයෙහි ලා සැලකිය හැකි ලෙනාඩ් වුල්ෆ්ගේ Village in the Jungle තුළයි. පසු කලෙක මෙය ඒ. පී. ගුනරත්න විසින් ‛බැද්දේගම‛ නමින් පරිවර්තනය කරන ලදුව සිංහල සාහිත්‍යයට එක් වේ.


වුල්ෆ්ගේ නවකතාවෙහි බැද්දේගම ගම්වැසියන් හින්නිහාමි නම් ස්ත්‍රිය මායාකාරියක ලෙස සලකා ගල් ගසා මැරීමේ සිද්ධිය සිංහල සමාජ ඉතිහාසයෙහි ස්ථානගත කරන්නේ කෙසේ ද යන්න මතභේදයට තුඩු දුන් කාරණාවකි.


එවන් තත්වයක් ඇත්තටම සිංහල සමාජයෙහි තිබුණා ද, නැතිනම් බටහිර චින්තන රාමුවෙහි හිඳ ලාංකීය සමාජය දෙස කුරුළු ඇසකින් උඩින් බැලූ යටත් විජිත සිවිල් නිලධාරියකු වන ලෙනාඩ් වුල්ෆ් මෙම සාහිත්‍යමය ගොඩනැගීම හරහා වෙනත් අරමුණක් සාක්ෂාත් කර ගැනීමට යත්න දැරුවේ ද යන්න තව දුරටත් සංවාදයට ලක් විය යුතු ය. වුල්ෆ් යුරෝපා සමාජයේ පුරාතන සහ මධ්‍යතන යුගවල යථාර්ථයන් බැද්දේගම නම් වූ ආසියාතික ප්‍රාථමික ගම්මානයක පසුබිමෙහි තබා ප්‍රතිනිර්මානය කිරීමට උත්සාහ කළේ ද යන්න මෙහිදී අවධානයට යොමු විය යුතු ය.


මායාකාරියන් පිළිබඳ ඉතිහාසය කෙසේ වෙතත්, ලංකාව බටහිරකරණයට වැඩිපුර ගොදුරු වූ මෑත සමයෙහිදී ස්ත්‍රී බලයට බිය වීම යන කාරණය පිළිබඳව නම් අපගේ අවධානය මීට වඩ යොමු විය යුතුව ඇති බව පෙනේ.


මේ සඳහා සලකා බැලිය හැකි නිදසුන් දෙකක් ගෙනහැර පාමින් මෙම සටහන සමාප්ත කරමි. නිදහසින් පසු යුගයේ ලංකාවේ රාජ්‍ය නායකත්වය හෙබවූ පුද්ගලයන් එකොළොස් දෙනා අතරින් දෙදෙනෙක් කාන්තාවෝ් ය. ඒ සිරිමා බංඩාරනායක සහ ඇගේ දියණියක වන චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග ය. ඔවුනට බලයට පැමිණීමට පසුබිම සැකසෙන්නේ දේශපාලන නායකයන් වූ තම ස්වාමිපුරුෂයන් ඝාතනයට ලක් වීම ඔස්සේ ය. කෙසේ වෙතත්, ඔවුහු රාජ්‍ය බලය හෙබවූ සමයෙහිදී අතිශය බලවත් තත්වයක පසු වූ හ.


බලය අයථා ලෙස පාවිච්චි කිරීම සහ අඩු වැඩි මට්ටමින් දූෂණ ක්‍රියාවන්හි යෙදීම මෙම රාජ්‍ය නායකයන් එකොළොස්දෙනා තුළ ම දැකිය හැකි ය. එහෙත්, වත්මන් ජනාධිපතිවරයා සහ බලයේ සිටියදී ම ඝාතනයට ලක් වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බංඩාරනායක, ආර්. ප්‍රේමදාස යන රාජ්‍ය නායකයන් දෙදෙනා අත් හළ විට, සෙසු පිරිමි රාජ්‍ය නායකයන් හය දෙනා බලයෙන් පහ වූ පසු අත් නොවිඳි සුවිශේෂ තත්වයන්ට ස්ත්‍රී රාජ්‍ය නායිකාවන් මුහුණ දීම මෙහිදී අප විග්‍රහ කරන්නේ කෙසේ ද?


1977 න් පසු හිටපු අගමැති සිරිමා බංඩාරනායකගේ ප්‍රජා අයිතිය පවා අහෝසි කරන ලදී. 2006දී චන්ද්‍රිකා බංඩාරනායක බලයෙන් ඉවත් කෙරුන පසු මුහුණ දෙන තත්වයන් පිළිබඳ නැවත ලිවීම අවශ්‍ය යයි නොසිතමු. මෙහිදී ඇය වටා නිර්මානය වූ ප්‍රබන්ධ හා යම් යම් යථාර්ථයන් ඒකරාශී කර වික්ටර් අයිවන් විසින් ලියා ප්‍රකාශයට පත් කරන ලද ‛චෞර රැජින‛ කෘතිය මෙරට ඉතිහාසයේ හොඳම අලෙවියක් තිබූ පොත් ගොන්නට එක් වීම ද අපගේ අවධානයට ලක් විය යුතු කරුණකි.


අප මතු කරන ප්‍රශ්නය වන්නේ ලංකාව දැඩි විපර්යාසකරණයකට ලක් කළ ජේ. ආර් ජයවර්ධන ඇතුළු සෙසු කිසිදු පුරුෂ රාජ්‍ය නායකයෙකු මෙවැනි තත්වයකට මුහුණ නොදුන්නේ ඇයි ද යන්නයි. ස්ත්‍රී බලයට ලාංකීය සමාජය බිය ද?


(2008 ජනවාරි මස පළ කරන ලද ලිපියකි.) 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-08-23

සිංහල, දෙමළ සමාජයන් අතර බර්ලින් ප්‍රකාරය බිඳීම හා මොහොමඩ් රාසුක්ගේ පරිවර්තන

(2010 අගෝස්තු 23, W3Lanka) මොහොමඩ් රාසුක් බොහෝ සිංහලයන්ට වඩා හොඳින් සිංහල බස දත් මුස්ලිම් මිනිසෙකි.


කෑගලු දිස්ත්‍රික්කයේ දෙමළ බස කතා කරන මුස්ලිම් ගම්වැසියකු වූ හේ සිංහල බස ඉගෙන ගත්තේ තනිවම ය. ඔහු පරිවර්තන කලාවට එක් වූයේ මීට දශක ගණනාවකට පෙරයි. වින්සන්ට් කුරුඹාපිටිය සංස්කරණය කළ විවරණ සඟරාවේ ඔහුගේ මුල් සාහිත්‍ය පරිවර්තන පළ විය. මුල් යුගයේ ඔහු දෙමළ සාහිත්‍යය  පරිවර්තනය කළේ අබේවංශ දේවප්‍රිය සමග එක්වයි. දැන් ඔහු මේ දෙබස අතර පරිවර්තනයේ හසළයෙකි. 


මහාචාර්ය සුචරිත ගම්ලත්ට අනුව නම් ඔහු ද මෙවලම් පරිවර්තකයෙකු විය හැකි ය. මක් නිසා ද යත්, සුචරිත ගම්ලත් ශූරීන්ට අනුව ලංකාවේ සිටින්නේ පරිවර්තකයන් දෙදෙනෙකු පමණක් වන බැවිනි. ඒ දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ බැද්දේගම සිංහලට නැඟූ ඒ.පී. ගුණරත්නයි. ඔහුට අනුව, අනෙක් උතුමා නම් 'සුචරිත ගම්ලත් වන මේ මම ම ය.'


කෙසේ වෙතත්, සිංහල හා දෙමළ භාෂාන්තර පරිවර්තනය සඳහා අද වන විට මෙවලම් පරිවර්තකයින් හෝ අවශ්‍යව තිබේ. මක් නිසා ද යත්, සිංහලයාගේ ජාත්‍යන්තරවාදයේ ආරම්භක ලක්ෂ්‍යය විය යුත්තේ ලංකාවේ දෙමළ කතා කරන මිනිසුන්ගේ හදවත් හඳුනා ගැනීම වන හෙයිනි.  


දෙමළ කෙටි කතා රැසක් සිංහලට පරිවර්තනය කර ඇති රාසුක් 'නොපෙනෙන පැති' හා 'කැළෑව ලස්සනයි' නමින් දෙමළ කෙටිකතා එකතූන් දෙකක් ප්‍රකාශයට පත් කර ඇත. පළමු කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද හිමි විය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි වීමෙහි එතරම් වැදගත්කමක් අපට නො පෙනේ. එහෙත්, අප දන්නා තරමින් රාසුක් යනු සිය කාර්යය සම්බන්ධයෙන් බැරූරුම්ව හා දේශපාලනිකව සිතන කෙනෙකි. ඔහු වැනි පරිවර්තකයින් අද සමාජයට අත්‍යවශ්‍යව තිබේ. 


ඔහු පරිවර්තනය කළ කෙටි කතා හා අහම්බෙන් හමු වන ලංකාවේ දෙමළ කෙටි කතාවක, කවියක සිංහල හෝ ඉංග්‍රීසි හෝ පරිවර්තනයක් කියවන විට සිතෙන දෙයක් වන්නේ ලාංකීය දෙමළ සාහිත්‍යය ජීවිතයේ ගැඹුර ස්පර්ශ කිරීමේ පාර්ශ්වයෙන් යම් ඉදිරි ගමනක් ගොස් ඇති බවයි. 


එසේ වීම තේරුම් ගත හැකි තත්වයකි. සියවසක පමණ කාලයක් මුළුල්ලේ ලංකාවේ දෙමළ බස කතා කරන ජනයා මුහුණ දුන් භාෂාමය, ජනවාර්ගික හා ජාතික පීඩනය, යුද්ධය, ත්‍රස්තවාදය, අවතැන් වීම, සංහාර වැනි සිදුවීම් සාහිත්‍යයෙන් ප්‍රකාශයට පත් වීම වැළැක්විය නො හැකි ය. 


කලක් තුවක්කුවෙන් ප්‍රකාශයට පත් වූ අදහස්වලට ද දැන් ප්‍රකාශයට පත් වන්නට සිදු වී තිබෙන්නේ සාහිත්‍යයෙන්, කලාවෙන් පමණක් ම ය. එහෙත්, එවැනි ප්‍රමාණාත්මක ප්‍රකාශනයක් දෙමළ සාහිත්‍යය තුළ වුව ඇතැයි නො පෙනේ. තුවක්කුව ප්‍රවර්ධනය කළ අය අතින් ම පෑන ඔසවා තැබේ යයි අපේක්ෂා කිරීම මුග්ධකමකි. 


යුද්ධය මැද ජන ජීවිතයේ ගැඹුරු ඛෙදවාචකය ස්පර්ශ කිරීම අතින් සිංහල සාහිත්‍යය ඉන්නේ බොහෝ පිටුපසිනි. නිදසුනක් ලෙස ගතහොත්, සිංහල සාහිත්‍යයට 1983 ජුලි කලබලය යනු දෙමළ මිනිසුන් කුස්සිවල, කාමරවල සඟවාගෙන සිටි සිංහල, දෙමළ සමගියේ හා මානව දයාවේ සොඳුරු සමයකි. දෙමළුන් මරා ඇත්තේ සිංහලයන් නො ව, පිටසක්වළින් පැමිණි ජීවීන් විශේෂයකැයි එම සිද්ධිය අළලා සිංහලෙන් කර තිබෙන නිර්මාන දෙස බැලූ විට සිතේ. 


වාර්ගික ගැටුම විසින් ලාංකික සමාජයේ සිදු කරන ලද ‍මිනිසුන් මිනිසුන්ගෙන් ඈත් කිරීම හඳුනා ගත හැක්කේ සාහිත්‍යයට ම පමණි. ඈත් වූ මිනිසුන් යළි ළං කිරීමට ද සාහිත්‍යයට මහඟු කාර්යයක් කළ හැකි ය. 


සිංහල දෙමළ ලේඛක එකමුතුව විසින් ලබන සැප්තැම්බර් මාසයේදී කොළඹදී සිංහල දෙමළ හා මුස්‌ලිම් ලේඛක හමුවක් සංවිධානය කර තිබේ. ඔවුන් පසුගියදා අරලියගහමන්දිරයට ගොස් ලංකාවේ අග්‍ර සාහිත්‍යකරුවා ද හමු විය. රාජ්‍ය අනුග්‍රහය අපේක්ෂාවෙන් කරන මෙවැනි කාර්යයන්වලින් එතරම් සේවයක් සිදු වේ යයි අපේක්ෂා කළ නො හැකි මුත් නරක නැත. 


එහෙත්, සැබෑ සාහිත්‍යය ඇත්තේ මේවාට අරක් ගත් සාහිත්‍යකරුවන් යයි ලේබල් ගසාගෙන, එම ලේබල ඔප දමා ගැනීම සඳහා පමණක් සාහිත්‍යකරණයේ යෙදෙන සාහිත්‍ය බාප්පලාගේ දෙපතුල් යටයි. 


ලෝකය වෙත ගෙන යාමට තරම් සුවිශේෂ සාහිත්‍යයක් පසුගිය සමයේ සිංහල බසින් නිර්මානය වී ද යන්න පැවසීම උගහට ය. ලංකාවේ ලොකු ම සාහිත්‍ය සම්මානය ලෙස සැලකිය හැකි ස්වර්ණ පුස්තක සම්මානය හිමි වී ඇති සමර විජේසිංහගේ 'ස්වයංජාත' වැනි ආධුනික නිර්මාන දෙස බලන විට ඒ බව පසක් වේ. එහෙත්, සිංහල සාහිත්‍යය දෙමළ ජනයා වෙත ගෙන යාම හා දෙමළ සාහිත්‍යය සිංහල සාහිත්‍යය වෙත ගෙන ඒම මේ සමාජයන් අතර නිර්මානය වී තිබෙන බර්ලින් ප්‍රාකාරය බිඳීම සඳහා මහෝපකාරී වේ. 


මොහොමඩ් රාසුක් විසින් පරිවර්තනය කරන ලද දෙමළ කෙටිකතාවක් වන තෙහෙට්ටුව කියවන්න. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-08-22

වැඳිල්ල කිච වුණ හැටි

(2010 අගෝස්තු 22, W3Lanka) පහත පළ වන්නේ ලංකාවේ සරසවි ආචාර්යවරයකු විසින් කරන ලද ප්‍රකාශයකි. බොහෝ ධනාත්මක චින්තන කතාවල මෙන් මේ කතාවේ ද අදාළ පුද්ගලාගේ නම හෝ සිද්ධිය වූ වකවානුව ද සිද්ධියේ අග මුල ද සඳහන් වන්නේ නැත. 

එක්‌ වරක, අවසන් වසර සිසුනට ආචාර්ය මණ්‌ඩලය විසින් පැවැත්වුණු භෝජන සංග්‍රහයක්‌ අවසන දී, සිසූහු සිය ගුරුවරුනට වැන්දහ. එතැන සිටි හුදු තර්කඥනය හා බ්‍රෙෂ්ට්‌ වැනි නාට්‍යකරුවකුගේ දෘෂ්ටිය ආගම සේ ඇදහූ ඇදුරෙක්‌ මෙසේ කීය.



"මේ ඉන්නෙ පැරණි තක්‌සලා නුවර දිසාපාමොක්‌ලා නොවෙයි. ඔය වඳින පුරුද්ද නැතිකරගන්ට".


සිසුන් එවිට ඒ ඇදුරාට පමණක්‌ නොවැඳ අනෙක්‌ ඇදුරන්ට වැන්දහ. වසර කීපයක්‌ ගතවිණි. සිසුන් හා ඇදුරන් අතර ඇතිවූ කලබැගෑනියකදී පෙර කී ඇදුරාට සරච්චන්ද්‍ර රංග පීඨයේදී සිසුන් විසින් එල්ල කරන ලද වර්චස්‌ ප්‍රහාරයක්‌ වැදුණි. සංස්‌කෘතියක ආචීර්ණ කල්පිකව ගැබ් වූ සාකල්‍යයෙන් යහපත් වූ හුරු පුරුදු ඉවත් කිරීමට කැස කවන උගතෙකුට නමුත් සොබා දහම නපුරු ලෙස පිළිපදින බවට එය මනා සාධකයකි.


-ආචාර්ය සාලිය කුලරත්න
අංශාධිපති - සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය (දිවයින, අගෝස්තු 22)  


හාමුදුරුවන්ට, මව්පියන්ට, ගුරුවරුන්ට වැඳිල්ල සිංහල සංස්කෘතියේ තිබුණු එකකි. එය ආදරය, ගෞරවය ප්‍රකාශ කරන සිංහල ආකාරයක් විය.


එහෙත්, වැඳිල්ල සිදු වූයේ විශේෂ අවස්ථාවලදී පමණි. නිදසුනක් ලෙස දොට්ට බහින වාරයක් පාසා මව්පියන්ට වැඳීමේ සිල්ලර චාරිත්‍රයක් සිංහල සමාජයේ තිබුණේ නැත. කාල පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට ගුරුවරුන්ට වඳින සම්ප්‍රදායක් සිංහල පාසල්වල ‍මෑතක් වනතුරු ම තිබුණේ නැත. 


වැඳිල්ල කිච කිරීම ආරම්භ කළේ රූපවාහිනී ටෙලි නාට්‍යයි. ඒ කිච කිරිල්ල උපරිම කළේ විචිත්‍ර ධර්ම කථික ගොමරිති උඩ ආ මෑත කාලීන බෞද්ධ උන්මාදය තුළයි. 


දැන් වැඳිල්ල සහ ගෞරවය, ආදරය අතර ඇත්තේ සුළු සම්බන්ධයකි. පාසලේදී හා පවුලේදී අද වැඳිල්ල අධිපිවාදයේ හා පරපීඩකත්වයේ සංකේත වේ. 


දේශපාලනයේදි නම් වැඳිල්ල පීචංකමේ, දීනකමේ, කපටිකමේ හා කුහකකමේ සංකේතයකි. 


'වැඳපිය!' යන වදනට නව අරුත් එක් වන්නේ මෙම සංදර්භය තුළයි. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

2010-08-21

අස්සයා පැන ගිය පසු දි ඉකොනොමිස්ට් සඟරාව වරායේ හිර කිරීම

(2010 අගෝස්තු 21, W3Lankaලෝක ප්‍රකට ආර්ථික සගරාවක් වන 'දි ඉකොනොමිස්ට්' මෙවර කලාපය රේගුවේ රඳවා තබාගෙන ඇති බව එම එම සඟරාව මෙරට බෙදා හරින විජිත යාපා සමාගම පවසයි.


මෙම සඟරාව අනියමින් රට තුළ තහනම් කර තිබෙන්නේ එහි ලංකාව පිළිබඳ පළ වන ලිපියක් නිසා ය. එහි මාතෘකාව මෙසේ ය:
Sri Lanka's post-war recovery (ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද කාලීන යඝා තත්වයට පත් වීම)
Rebuilding, but at a cost (නැවත ගොඩනැඟීමක් එහෙත් මිළකට)
Sri Lanka is developing again. But not all can celebrate (ලංකාව නැවතත් දියුණු වෙමින් තිබේ. එහෙත් සැමට සතුටු විය නො හැක.)


ත්‍රිකුණාමලයේ සාම්පූර්හි පදිංචිව සිටි 6000ක් ජනතාවට එහි යළි පදිංචි වීමට ඉඩ නො දී එම ඉඩම්වල ඉන්දියාව සමග එක් වී ගල් අගුරු විදුලි බලාගාරයක්, ජැටියක් හා විශේෂ කලාපයක් පිහිටුවීම, සාම්පූර් අවතැන් වූවන්ට සපයන ලද පහසුකම්වල තත්වය, සිදු වන සංවර්ධන ව්‍යාපෘතිවල තත්වය, වෙරළ බිම් කොටස් සංචාරක හෝටල් තැනීම සඳහා රාජපක්ෂ හිතවතුන්ට දෙයි ද යන සැකය, කරුණා අම්මාන්ට සැලියුට් ගසන්නට වූ සොල්දාදුවකුගේ කලකිරීම, යුද්ධය දිනන්නට මුල් වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට සිදු වන දේ, විපක්ෂ මර්දනය ආදිය ගැන එහි සඳහන් වේ. 


එහි ඇත්තේ බාගෙට ඇත්ත ය. ලිපිය වෘත්තිකමයභාවයකින් තොර ය. එහෙත් කරන්නට දෙයක් නැත. පළ වුණේ 'දි ඉකොනොමිස්ට්' හි ය. 


ලංකාවේ ගම් නියම්ගම් සෑම එකක ම 'දි ඉකොනොමිස්ට්' සඟරාව උණු කැවුම් මෙන් පිටපත් ලක්ෂ ගණනක් විකිණෙන්නේ නැත. හැම අප්පුහාමි ම අමුඩ ගසාගෙන 'දි ඉකොනොමිස්ට්' ගන්නට කඩේ දුවන්නේ ද නැත. අන්තර්ජාල යුගයේ මෙය ලංකාවේ මිනිසුන්ට වසන් කිරීමට ද නො හැකි ය. එම සගරාවේ පළ වූ ලිපියෙන් ලංකාවේ ආයෝජනය කරන්නට සිටින අයට බලපෑමක් වූවා නම් දැන් එය වී හමාර ය. 


ලංකාව කටයුතු කළ යුතුව තිබුණේ මෙවැනි නරක බලපෑමක් ඇති කරන ලිපි පළ නො වන තත්වයක් ඇති කර ගැනීමට ය. වරායේ පොලු දැමීමෙන් වන්නේ තව තවත් හෙළුවැල්ල පෙනීමයි. 


මීට ටික කලකට ඉහතදී ඉන්දියාවේ පළ වන ආනන්ද විකටන් සඟරාව ද මෙසේ වාරණය කරන ලදී. එය ආනයනය කරන පූබාලසිංහම් පොත් සාප්පුවේ කළමනාකරු ද අත්අඩංගුවට ගන්නා ලදී. 


අස්සයා පැන ගිය පසු ඉස්තාලය වැසීම ය කියන්නේ මෙවැනි දේ ට ය. 


කෙසේ වෙතත් අදාළ ලිපියට සබඳතාව මෙතැනින් ය.
http://www.economist.com/node/16847146?story_id=16847146&CFID=137565723&CFTOKEN=45060688

Bookmark and Share

You may also like to read our English blog  Lanka Polity