2010-09-30

හාමුදුරුවොත් කරෙන් බිමට - ජය වේවා රජුනි ඔබට

(2010 එක්තෝබර් 01, W3Lankaහිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රට වෙනුවෙන් කර ඇති ශ්‍රේෂ්ඨ මෙහෙවර පිළිබදව සලකා ඔහු නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ත්‍රෛ නිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා පැය විසි හතරක් ගත වන්නත් මත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙවන යුද අධිකරණය විසින් හමුදාපති සරත් ෆොන්සේකාට නියම කරන ලද වසර දෙකහමාරක සිර දඬුවම අනුමත කළේ ය.


සරත් ෆොන්සේකාට දුන් දඬුවම අප අනුමත නො කරනමුත් අති උත්තම මහ නායක හිමිවරුන්ට දැක්වූ ප්‍රතිචාරය නම් පංකාදු ය: මල් හත ය.


ලංකාවේ බොහෝ පාලකයන් විසින් සිහින මවන ලද, ජනතාව විසින් ද තිබුණා නම් මරේ මරු යයි සිතනු ලබන නියම ඒකාධිපතිත්වයක් සඳහා පළමු කොන්දේසිය වන්නේ ලංකාවේ ඊනියා භික්ෂු බලය නො තකා හැරීමයි. මීට පෙර සිටි නායකයන්ට මේ ටික විධිමත් ලෙස කරන්නට බැරි විය. 


ජේ.ආර්. ජයවර්ධන ජනාධිති වරක් මහ නායක හිමිවරුන්ට කීවේ දේශපාලනයට ඇඟිලි නො ගසා පන්සල්වලට වී පඩික්කම් පුරවමින් පාඩුවේ ඉන්නා ලෙසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ දුන් පණිවුඩයේ එවැනි කැත වචන නැත. එහෙත් නියම නිලයට ම වදියි.


ඇත්තම කීවොත්, ලංකාවේ භික්ෂු බලවේගයක් නැත. බලවේගයක් හදන්නට තරම් ප්‍රමාණාත්මකකමක් හෝ ගුණාත්මකකමක් වත්මන් භික්ෂු සංඝයේ නැත. අද වන විට පන්සල ආගමික ව්‍යාපාර මධ්‍යස්ථානයක තත්වයට පල්ලම් බසිමින් සිටියි. පන්සල්වල බුදුන්ගේ දහම හැර දේවාල, ජ්‍යෝතිෂ කාර්යාල, ටියුෂන් පංති, කාර් පාක් ආදී හැමෙකක් ම තිබේ. භික්ෂූන් හා දායකයන් අතර සම්බන්ධය ද ගනුදෙනු ස්වරූපී තත්වයකට පත් වෙමින් තිබේ. ජනප්‍රිය ධර්ම කථිකයන් බණට වඩින්නේ ගායකයන් සංගීත සංදර්ශනවල සිංදු කියන්නට එන ආකාරයටයි. එහෙව් එකේ භික්ෂූන්ට මේ රටේ ජනතාවට නායකත්වය දීමේ හැකියාවක් දැන් නැත.


භික්ෂු සංඝයට තිබුණු යම් කිසි වටිනාකමක් වී නම් හෙළ උරුමය එය විකුණා පාර්ලිමේන්තු මන්ත්‍රීකම් කීපයක් මිළ දී ගෙන තිබේ. ඒ අතින් ඒ ඇත්තන් ද කර තිබෙන්නේ මාර ම ප්‍රගතිශීලී කාර්යයකි.


භික්ෂු සංඝය මෑත ඉතිහාසය පුරා ම කළේ එක, එක දේශපාලන ව්‍යාපෘතිවලට කඩේ යාමයි. ජවිපෙ හා හෙළ උරුමය වෙනුවෙන් හාමුදුරුවන් කඩේ යැවූ අය දැන් ඉන්නේ ආණ්ඩුවේ බැවින් දැන් කඩේ යන්න පාර පෙන්නන්න කවුරුවත් නැති බැවින් දැන් ඉතින් හත්වළාමෙ වෙච්ච දේට මක් කොරන්නදැයි කියා අසන්නට අපට සිදු වී තිබේ.


ලංකාවේ පසුගාමී භික්ෂු සංඝය වැනි වැඩවසම් පෙට්ටගම් කර ගසාගෙන ආඥාදායකත්වය හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ මොකක් හෝ අනාගතවාදී දිසාවකට නම් යන්නට බැරි ය. යන්න පුළුවන් අතීතයට පමණි.


එහෙයින් මේ දෙන එඩිතර ගේමට නම් කමෝන් ජනාධිපතිතුමනි කියා නො කියා නො හැකි ය.


සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා
සැරියුත් මහ මුගලන් පිළිවෙළිනා
පිළිවෙත් සරු මහ සඟ ගණ සොබනා සිටිත් නම්
මුදුනත් දී බැති පෙමිනා නමදිමින් අපි මෙසේ කියමු.


පළමුව මේ භික්ෂු සංඝය බුද්ධිමත්, සිල්වත්, ප්‍රගතිශීලී සංස්ථාවක් බවට පත් කරගැනීම සඳහා කටයුතු කර වදාරන්න. ඔබට යළි බලවේගයක් විය හැක්කේ චම්පික රණවකලාගේ පාර පස්සේ ගොස් නො ව බුදුන්ගේ මග යළි සොයාගෙන, සුපටිපන්න, උජුපටිපන්න ආදී ගුණයන් වඩවාගෙන, ඒ අනුව ගියොත් පමණි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

14 හැවිරිදි දැරියක දරුවකු ප්‍රසූත කිරීම නිසා ළමාරක්ෂක අධිකාරියේ සභාපතිට මල් කළඹක්

සිද්ධිය පිළිබඳව ළමා ආරක්ෂක අධිකාරියට තොරතුරු ලබාදුන් කොළඹ කාසල් රෝහලේ වෛද්‍ය ශ්‍රියානි ලියනගේ මහත්මිය ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය මල් කළඹක් දී පිළිගත් අයුරු. නියෝජ්‍ය ඇමැති එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා සහ කාසල් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රානි ප්‍රනාන්දු මහත්මියද මෙහි වෙති. (ඡායාරූපය හා විස්තරය දිනමිණ පුවත්පතෙනි.) 

 (2010 සැප්තැම්බර් 30, W3Lanka) ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක හිත හොඳ අම්මන්ඩි කෙනෙකු බව දිනමිණ පවසයි.


හිත හොඳ අම්මන්ඩි නමින් සුගතපාල ද සිල්වා පරිවර්තනය කර  නිෂ්පාදනය කළේ බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ Good Woman of Setzuan බව අසා තිබේ. බ්‍රෙෂ්ට්ගේ එම නාට්‍යයේ ප්‍රධාන චරිතය පිරිමින්ගේ චාටු බස්වලට දිගින් දිගට ම රැවටෙන හිත හොඳ ගැහැනියකි.


අනෝමා නෝනා පිරිමි ගැන හරි හැටි දන්නේ නැත. පිරිමි ළාමක, සුදු, පුංචි, ලස්සන, අහිංසක කෙල්ලන්ට නම් වරදට සමාව දෙන්නට වුණත් කැමති ය. කන්‍යාභාවය සිඳ ගැනීම හෝ කුමරිච්ඡදය උපතින් නො පිහිටීම යන වරද වෙනුවෙන් දෙන සමාවට හිලව් ලෙස මෙම ගැහැනිය ඉන් පසු බොහෝ විට සිය සැමියාගේ වහලියක විය යුතු ය. හොස්ස ළඟින් මැස්සා ගිය විට සමාව දුන් වරද ගැන නැවත සිහිපත් කර දෙනු ලැබේ.


එහෙම නො කරන පිරිමි නැති ය කියා අප කියන්නේ නැත. ඒ වුණාට පිරිමි ගැට ගැන අනෝමා නෝනා නො දන්නා බව පෙනේ. එපමණක් නො ව රටේ ජනමතය හසුරුවන ජනමාධ්‍ය 'වේදීන්' සිටින දිනමිණේ මේ උද්වේගකර කතා ලියන බුද්ධිකා ඉඹුලාන බබා ද ඒවා දන්නේ නැත. පිරිමියකු වන මෙම ලේඛකයා කියන්නේ ඔවුන් පරිස්සම් විය යුතු බවයි.


රැවටීමකට හා දූෂණයකට ලක්ව 14හැවිරිදි වී සිටියදී දරුවකු ප්‍රසූත කළ දැරියක ගැන දිනමිණේ පළ වන වාර්තාවක මෙසේ කියැවේ.


"පියකු නොමැතිව දරුවකු බිහිකරන්නට කඳුළු හෙළන මේ දැරිය පිළිබඳව කරුණාබරිත වූ දැරියගේ මස්සිනාගේ මිතුරකු ඇයට පිහිට වන බවට ප්‍රතිඥා දුන්නේ එයින් පසුවය.


"එහෙත් පෙරේදා (28) උපන් මේ බිළිඳාට රැකවරණය සපයන්නට ඔහුට නීතිය හරස් වී ඇත්තේය. දැරිය අඩුවයසේ පසුවන බැවින් ඔහුට ඇය හා විවාහවීමට නොහැකිය. එහෙත් ඇයටත් බිළිඳු පුතුටත් තෑගි රැගෙන ඊයේ (29) ඔහු කාසල් රෝහලට පැමිණ සිටිනු දක්නා ලදී.


"ඇයට සෙනෙහෙබර සැමියකු වීමට තමන් කැමති බවත්, මේ දක්වා ඇයව ආදරයෙන් රැකබලා ගත් බවත් ඔහු ළමා අරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරිනියනට පැවැසුවේය."


ජීවිතය හින්දි චිත්‍රපටයක් වූවා නම් මෙසේ සිදු වනු ඇත. අනෝමා නෝනා ඒ පුද්ගලයා වැළඳ ගනියි. ඔහුගේ උතුම්කම හේතුවෙන් ඇගේ නෙතට කඳුළක් උනයි. "කමක් නැහැ අක්කා, මේ නංගි වෙනුවෙන් මම එයාට දහ අට පිරෙනකල් ඉන්නම්," යි කියද්දී බුද්ධිකා ඉඹුලාන බබාට ද ඇ‍‍ඬෙයි. සමහර විට දූෂණය කළ එකා ඇවිත් දැරියගේ හා කොල්ලාගේ අත් එකට තබා "මල්ලී දැන් ඉතින් මේ කෙල්ල ඔයාට භාරයි" කියා අනෝමා නෝනාගේ දෙපා වැඳ මිලිමීටර් නමයේ රිවෝල්වරයකින් හිසට වෙඩි තබා ගනියි. මේ සියල්ල සිදු වන්නේ ධාරානිපාත වරුසාවක කට්ට කළුවරේ නිල් පාට ලයිට් එකක් යට නම් තව හොඳ ය. අන්තිමට සියල්ලෝ ම 'ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා' වැනි ගීතයක් ගයමින් වැස්සේ නටනු ඇත. 


එහෙත් යථාර්ථය හින්දි චිත්‍රපටවලට වඩා කටුක ය. මේ වාර්තාවේ නැති කාරණා කීපයකි. මේ මනමාලයාගේ වයස කීය ද? පෙනුම කෙබඳු ද? ඔහුට රැකියාවක් තිබේ ද? කලින් විවාහක ද? දික්කසාද වූවා නම් ඇයි? ඔහුට මේ ළාබාල මව සහ දරුවා ගැන මේ කරුණාව පහළ වීමට පෙර වෙනත් කරුණාව පහළ වූ අවස්ථා තිබේ ද? ඒ මොනවා ද? 


උතුම් අරමුණක් හෑල්ලුවට ලක් කරනවා යයි කෙනෙකු අපට බැන වදින්නට පුළුවන. එහෙත්, අප දකින පරිදි නම් ලංකාවේ පවුල්වල සාමාන්‍යයෙන් සිදු වන පරිදි ගැහැනිය ගෘහස්ථ ශ්‍රම හා ලිංගික වහලියක කර ගැනීම තුළ කිසි ම උතුම්කමක් නැත. එය උතුම්කමක් ලෙස පෙනෙන්නේ පිරිමිකම වන්දනා කරන මේ සමාජයේ පහත්කම හා ගැහැනුන්ගේ මෝඩකම නිසා ය. 


එහෙත්, ළමාරක්ෂක අධිකාරිය වැනි ආයතනයක කාර්යය විය යුත්තේ මේවා සොයා බලා මෙම දැරිය කාට හෝ කසාද බන්දා දීම නො වේ. මෙම සිද්ධිය හේතුවෙන් කඩාකප්පල් වූ ඇගේ අධ්‍යාපනය හෝ යම් වෘත්තීය පුහුණුවක් හෝ ඇයට ලබා දෙන්නේ කෙසේ ද? මෙවන් අසාධාරණ, අනාරක්ෂිත ගැබ් ගැනීමකදී දිනකට දහස් ගණනක් ගබ්සා කෙරෙන මේ රටේ ආරක්ෂිතව ගබ්සාවක් කර ගැනීමට මෙවැනි දැරියන්ට පහසුකම් සපයා දෙන්නේ කෙසේ ද? නීතිය ඉදිරියේ දූෂණ ලෙස අර්ථ දැක්වෙන, එහෙත් බොහෝ විට කැමැත්තෙන් සිදු වන ලිංගික සම්බන්ධතාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අගතිය තවත් තීව්‍ර නො කර ඉන්නේ කෙසේ ද? 


මෙවැනි මව්වරුන් සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් විසින් කළ යුතුව තිබෙන්නේ ඔවුන් කාගේ හෝ කරේ එල්ලීම නො වේ. එවැනි මව්වරුන්ට හා දරුවන්ට සමාජයේ සුරක්ෂිතතාව හා සමානාත්මතාව තහවුරු කර දීමයි. විවාහ වන්නේ ද, නැද්ද යන්න එම ස්ත්‍රියගේ පෞද්ගලික තීරණයක් මිස ප්‍රශ්නයට විසඳුමක් නො වේ.


ගැඹුරු සමාජ විද්‍යාත්මක ඥානයක් නොමැති අය ස්ත්‍රීන් සහ ළමයින් සම්බන්ධ ආයතනවල වගකීම්වලට පත් නො කළ යුතු ය. එසේ පත් කළ විට සිදු වන්නේ ඔවුන් ද සාමාන්‍ය ජනතාව සේ ජනප්‍රිය දේවල් කිරීමයි. දිනමිණේ මෙම වාර්තාව සමග ඡායාරූපයක් ද පළ වී තිබිණි. එයට පහළින් ඇති වාක්‍ය‍ය කියවන්න. මල් කළඹ දෙන්නේ කවුරු ද, ගන්නේ කවුරු ද යන්න තේරෙන්නේ නැත. එහෙත්, අපට තිබෙන ප්‍රශ්නය කොළඹ මල් කඩයකින් ඉහළ මිළක් ගෙවා ලබා ගන්නා මේ මල් කළඹ හුවමාරු කර ගන්නට හා එය මේ අන්දමින් පත්තරේ පළ කරන්නට හේතුව කුමක් ද යන්නයි. 


හේතුව වයස අවුරුදු 14ක දැරියක දරුවකු ප්‍රසූත කිරීම නම් ලංකාවේ ළමයින්ටත්, ගැහැනුන්ටත් අබ සරණ ය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

සොරි තමා අපේ හාමුදුරුවනේ: ෆොන්සේකාට ගහන්නේ ගොන් සේනාවට රිදෙන්න

(2010 සැප්තැම්බර් 30, W3Lankaහිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රට වෙනුවෙන් කර ඇති ශ්‍රේෂ්ඨ මෙහෙවර පිළිබදව සලකා ඔහු නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ත්‍රෛ නිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ.


ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, හා අස්ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක දවුල්දෙන ඤාණීස්සර සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක වේවැල්දෙනියේ මේධාලංකාර යන නාහිමිවරු ජනාධිපතිවරයාට ලිපියක් යවමින් එම ඉල්ලීම කර ඇත.


මහ නායක හිමිවරුන් විසින් දැන ගත යුතුව තිබෙන කාරණයක් තිබේ. එනම්, ෆොන්සේකාට රාජපක්ෂ පවුල මෙසේ නඩු පිට නඩු දමමින් වධ දෙන්නේ මන්ද යන්නයි. 


ෆොන්සේකා කෙතරම් නිර්භීත සටන්කරුවකු වුණත්, දේශපාලන අපරිණතකම හා ලංකාවේ විපක්ෂයේ කුහකකම් නිසා ඔහු මේ වන විට අවලංගු කාසියක් වී හමාර ය. ලංකාවේ විපක්ෂයේ නායකත්ව භූමිකාවක රික්තයක් තිබෙන මුත් ෆොන්සේකාට එතැනට ආදේශ වීම පහසු නැත. ඔහුගේ ගිනිපුක් චරිත ලක්ෂණ මාධ්‍ය ඉදිරියේ සඟවා ගැනීමට ඔහු අසමත් වීම එයට එක් හේතුවකි. අනෙක් පැත්තෙන්, ලංකාවේ දේශපාලන අවකාශයේ හිඩැසක් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමියකුට හෙයින් ෆොන්සේකා ඒ සඳහා තම සුදුසුකම් ප්‍රදර්ශනය කළ යුතු ය. 


ඔහු දේශපාලනයේදී දක්ෂයකු බව ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේදී ඔහු ප්‍රදර්ශනය කළේ ය. එසේ ම ඔහු අත්අඩංගුවේදී සිය අදීන දේශපාලන පෞරුෂය ප්‍රදර්ශනය කළේ ය. හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා එස්.බී. දිසානායක හිරේ යැවූ කල ඒ සුමනසිරි බංඩා දීන වූ අන්දමට හාත්පසින් වෙනස් ආකාරයකට ෆොන්සේකා කටයුතු කළේ ය. 


කොහොම වුණත්, ෆොන්සේකා මේ මොහොතේ නම් රාජපක්ෂ පවුලේ ආධිපත්‍යයට තර්ජනයක් නො වේ. අනාගතය සඳහා අවශ්‍ය නායකත්වය සැපයීමට ඔහු ඉවසිලිමත් දුර ගමනක් යා යුතු ය. ඒ සඳහා පළමු කොන්දේසිය බෙල්ල කඩා නො ගෙන සම්මුති විරහිතව සටන් කිරීමයි. 


රාජපක්ෂ පවුල ෆොන්සේකාට ගහන්නේ තව දුරටත් ඔහුට රිදවීමට නො වේ. මන්ද, ෆොන්සේකාට ගහන ගැහිල්ල මේ සමාජයට ඉවසා සිටිය හැකි සීමාව දැන් ඉක්මවමින් තිබේ. මහ නායක හිමිවරුන්ට මෙවැනි නිවේදනයක් නිකුත් කරන්නට සිදු වී තිබෙන්නේ එහෙයිනි. 


ෆොන්සේකාට ගහන්නේ ආණ්ඩුවේ සිටින සිරිසේනලාගේ, සිරිපාලලාගේ සිට ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ  හා වාසුදේව නානායක්කාර දක්වා සියල්ලන්ට පාඩමක් උගන්නන්නට ය. එය කොතරම් තිත්ත කසායක් ද යන්න තමන්ට තේරෙන බව තිස් දෙවසරක් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව සටන් කළ වාසුදේව නානායක්කාර 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය දීමෙන් පෙන්නුම් කර තිබේ. ආරංචි හැටියට රජතුමා මේ විප්ලවකාරයන්ට කියා ඇත්තේ 'තමුසෙලට ඕනැ නම් විරුද්ධව ඡන්දෙ දෙනවා. මට දිනන්න තමුසෙලගෙ ඡන්ද ඕනැ නැහැ,' යි කියා ය. 


කලක් එක පතේ කෑ එවුන්ට විරුද්ධ වෙන්නට අවස්ථාවක් නො දීම  ඕනෑ ම මාෆියාවක සාමාන්‍ය ලක්ෂණයකි. ආඥාදායකත්වය ද මාෆියාවකි. එහි නීතිය අනුව ද එකට සිටි එවුන්ට විරුද්ධ වී පණ පිටින් සිටිය නො හැකි ය. ෆොන්සේකා නො මරා මරන්නේ අනෙක් ගොන් සේනාවට මේ පාඩම කියා දීමටයි. 


ඒ නිසා අපේ හාමුදුරුවනේ හදවත තෙත් කරගෙන නම් රජතුමාට ටාගට් එකට යන්නට බැරි බැවින් ඔබ වහන්සේලාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන එක ෂුවර් නැත. 


ඉලක්ක කරන ඒකාධිපතිත්වයට යාමට නම් ෆොන්සේකාට ගැහීම විතරක් ප්‍රමාණවත් වන්නේ නැත. මහ නායක හිමිවරුන් කියන දේ ගණන් නො ගැනීමෙන් භික්ෂු බලවේගය කියා කියන බංඩාරනායකගේ සිට සියලු රාජ්‍ය නායකයන් දණ ගැස්සූ බලය ද තමන් පඩයකට ගණන් නො ගන්නා බව පෙන්නීම අවශ්‍ය ව තිබේ. මඩකලපුවේ මේ මොහොතේ අම්පිටියේ සුමනරතන හිමියන්ගේ මාරාන්තික උපවාසය හමුවේ මෙම ඔබට භයානක අපට චූන් ඉරණම මේ මොහොතේ සනිටුහන් වෙමින් තිබේ. 


නියම ඒකාධිපතිවාදයකට භික්ෂු සංස්ථාව පමණක් නො ව පවුලේ කැරැලිකරුවන් පවා අනුකම්පා විරහිතව මෙල්ල කිරීමට සිදු වනු ඇත. 


එහෙයින් දැන් ඉතින් ඔබ වහන්සේලාට කළ හැකිව තිබෙන වැඩක් ඇති දෙයක් වන්නේ ගිය නුවණ යළි අද්දවා ගැනීම ගැන හෝ වවුලාගේ මඟුල් ගෙදර ගියා නම් එල්ලී සිටීමේ වැදගත්කම ගැන හෝ ඔබ වහන්සේලාට දානය දෙන පිංවතුන්ට බණ‍ දෙසීමයි. 


මේ නිවේදනය ගැන අපට තේරෙන හැටියට නම් සොරි ය. එහෙම නො වේ නම් එවැන්නකට දේශපාලන භාෂාවේ කියන්නේ ව්‍යතිරේඛයක් කියා ය. 


ජේ.ආර්.ගේ ඒකාධිපති සිහිනය බොඳ වුණේ ඔය ව්‍යතිරේඛ නිසා බැවින් උන්නැහේගේ අප්පුච්චා අත පුච්චා ගනු ඇතැයි අපි නම් නො සිතමු. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-09-29

ගැහැනුන් අරාබින්ට විකුණාගෙන කන ලංකාවේ සියලු පිරිමි මේ මියගිය දැරියගෙන් සමාව ගත යුතු ය

(2010 සැප්තැම්බර් 29, W3Lankaලංකාවේ ජාතික වීරයන් මොන ලොකු ටෝක් දැම්මත්, මුළු ලංකාව ම විලි ලැජ්ජා නැතිව ජීවත් වන්නේ මැද පෙරදිග තෙල් සල්ලිකාරයන්ගේ ගෙවල්වල පර වැඩ කිරීමට ‍මේ ලෝකෙන් ම උතුම් ය කියන රටේ ගැහැනුන් අපනයනය කිරීමෙනි. මේ නීච ක්‍රියාව කෙබඳු ද යත් අරාබිකාරයන් ශ්‍රී ලංකන් එකක් කියන්නේ වැඩකාර ගැහැනියකටයි. 


මේ වන විට ලංකාවේ ප්‍රධාන ම විදේශ විනිමය උත්පාදන මාර්ගය මැද පෙරදිගට ගැහැනුන් අපනයනය කිරීමයි. හත්මුතු පරම්පරා උගස් කර ණය ගෙන, අත දිග හැර වියදම් කරමින් කොමිස් ගහන ඩොලරුත්, අල්පෙනෙත්තේ සිට ගුවන් යානය දක්වා බඩු රටින් ගෙන්නීම සඳහා යන මුදලුත් ආවරණය කර ගන්නේ මේ දිළිඳු ගැහැනුන්ගේ රීරි මාංසයෙනි.


පසළොස් පක්ෂයකට අධික වන ලංකාවේ විදේශ ශ්‍රම බලකායෙන් දස ලක්ෂයකටත් වඩා වන අති බහුතරය නුපුහුණු ගෘහ සේවිකාවෝ ය.


පසුගිය කාලයේ ආණ්ඩුවේ ලොකු ලොක්කන් දැමූ එක් පොර ටෝකක් වන්නේ ලංකාව ගෘහ සේවිකාවන් වැනි නුපුහුණු ශ්‍රමිකයන් රට යැවීම නතර කරන බවයි. එහෙත්, ඇත්ත කාරණය වන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ රැකියාවලට යාම වැළැක්වීම සඳහා ගත් කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමේ හෝ උනන්දුවක් හෝ කොන්දක් හෝ මේ උත්තමයන්ට නැති වීමයි. මේ අසරණ ගෑනු අරාබිකාරයන්ට කැඹුරුවේ නැතිනම් දේශපාලක උන්දැලා රජ සැප විඳලා හමාර ය.


පසුගිය කාලයේ රජය දැමූ තවත් ලොකු ටෝකක් වන්නේ මැද පෙරදිග ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඇමරිකන් ඩොලර් 250 කරන බවයි. ඒත්, එහෙම වුණොත් අරාබි කුණු පෙරේතයන් ඒ ගානට වැඩකාර ගෑනුන් නො ගන්නා නිසා ලංකාවේ ගැහැනුන් රට පටවන්න බැරි වන බව ඒජන්සිකාරයන් පෙන්වා දුන් වහා ම මුන්දැලා ඒ තීරණය ද හකුළාගෙන වදාළ හ. තාම ලංකාවේ ගැහැනු අරාබි යන්නේ රු. දහදාහේ පහළොස්දාහේ පඩියටයි.


ලංකාවේ ඡන්දදායකයන්ගෙන් 12%ක් ඉන්නේ විදේශ රැකියාවලයි. ඔවුන්ගේ ඡන්දය මංකොල්ලකෑමට හෝ වැඩ පිළිවෙලක් සකස් කිරීමේ උවමනාවක් ආණ්ඩුවට නැත. ඒ සඳහා කරදර වෙන්නට උවමනා නැති මේ බොහෝ ගැහැනුන්ගේ ස්වාමි පුරුෂයන් ගැහැනු එවන මුදලින් කසිප්පු බී, පිස්සු නටමින් ඉඳ ඡන්දෙ දවසේ උදෙන් ගොස් පාලකයන්ට පරමාධිපත්‍යය දන් දී එන නිසා ය.


මේ සමහර පිරිමි ගැහැනුන් නැති ගෙවල් ඇතුළේ සිය මෝල් කලන්තය හොඳ කර ගන්නේ දියණියන්ගෙන් බව ලෝක ප්‍රසිද්ධ ය.


රජයක් නඩත්තු කරන්නත්, බඩ වියත රැක ගන්නත් මැද පෙරදිග කඹුරන්නට යන අම්මලා නිසා අනාගත පරම්පරාවක් අනාථ ය.


පහත පළ වන්නේ ආණ්ඩුවේ දිනමිණ හොරණෑව ලේක්හවුසියේ ඉන්න ආණ්ඩු ගැති නිකමුන් නඩත්තු කිරීම සඳහා විලි ලැජ්ජා නැතිව විකුණන් කන අපරාධ ප්‍රවෘත්තියකි.


මේ මරා දමා ඇති අට හැවිරිදි දියණියගෙන් ජාතියේ ආඩම්බරකාර තාත්තාගේ සිට සමස්ත ජාතිය ම සමාව ගත යුතු ය.


මේ තාත්තා දියණියට පහර දුන් පොල්ල පෙන්නන්නට ගොස් පළා යන්නට තැත් කරද්දී, පොලිසිය දනෙන් පහළට වෙඩි තබද්දී ඔලුවෙන් හිට ගත් බවට වාර්තාවක් සපයා ගැහැනුන් විකුණා කන ලංකාවේ පිරිමි අපරාධකාරයන් සතුටු කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත.


ලංකාවේ පිරිමිනි, තොපට පුරුෂ ලිඟු ඇත්නම් ගැහැනුන් අරාබින්ගේ ඉඳුල් හෝදන්න යවනවාට විරුද්ධ විය යුතු ය.


වයස අවුරුදු අටක් වන තම දියණිය නිවසේ වැඩපල කර නොමැති බව පවසමින් කඩුගන්නාව බඹරයාය ප්‍රදේශයේ පුද්ගලයකු බීමතින් පැමිණ පොල්ලකින් පහර දී සිය දියණිය ඝාතනය කැර තිබේ.


මිය ගිය දරුවා පවුලේ දෙවැනියා වන අතර ඇයගේ මව මෙයට වසර දෙකකට පමණ පෙර විදේශ ගතව ඇතැයි පොලිසිය පවසයි.


දිනපතා බීමත්ව පැමිණෙන මෙම පියා ගැහැණු දරුවන් දෙදෙනාත් පිරිමි දරුවාත් සමඟ නිවසේ වෙසෙන අතර, සෑම දිනකම රාත්‍රියේ බීමත්ව පැමිණ දරුවන් තිදෙනාට බැන වදින බවත් බොහෝ අවස්ථාවල ඔවුනට පහර දී ඇති බවත් පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය පවසයි.


මෙම සිද්ධිය වූ දිනයේ ද රාත්‍රියේ මෙම පියා බීමතින් පැමිණ ඇති අතර අලුයම දෙක පමණ වන තෙක් සිය දරුවන්ට බැන වැදී ඇත. ඒ අවස්ථාවේ ඔහු සිය දෙවැනි දියණියට නිවසේ තිබූ පොල්ලකින් පහර දී තිබේ.


පහර කෑමෙන් බිම ඇද වැටුණු තම නංගී උදෑසන වන තෙක් අවදි නොවූ බව වැඩිමල් දරුවා පොලිසියට ප්‍රකාශ කැර තිබේ.


මියගිය දරුවාගේ මෘත දේහය ගම්පොළ මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂණවලින් පසුව ගම්පොල රෝහලේ තැන්පත් කැර තිබේ. කඩුගන්නාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-09-28

උතුරු කොරියානු පරමාදර්ශයේ පවුල් පාලනය තුන්වන පරම්පරාවට | North Korea's family rule moves to third generation

(2010 සැප්තැම්බර් 29, W3Lanka) ලංකාවේ පාලක පවුලට ආදර්ශයක් විය හැකි අන්දමින් උතුරු කොරියාව කටයුතු කරමින් සිටියි. ඒ මෙසේ ය:


උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුන්ගෙන් පසු ජනාධිපති පදවියට පත් වූයේ ඔහුගේ පුතු කිම් ඉල් ‍ජොන් ය. 


දැන් කිම් ඉල් ජොන්ට වයස අවුරුදු 68කි. දියවැඩියවෛන් පෙළෙන ඔහු දී හෘදයාබාධයකට ද ලක් වූයේ ය. දැන් ඔහුට ද නික්ම යාමට කාලය හරි වගේ ය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වනු ඇත්තේ කවුරු ද?


වෙන කවුරු ද? ඒ ඔහුගේ පුතුන් තිදෙනාගෙන් ඔහුගේ තේරීම වන කිම් ඉල් උන් නම් බාල පුතා ය. 


බාල පුතාගේ අනාගතය පිළිබඳ සහතිකයක් ලෙස සැලකිය හැකි පියවරක් කිම් ඉල් ජොන් ගෙන ඇත. ඒ මෙම 27 හෝ 28 හැවිරිදි, ස්විට්සර්ලන්තයේ හා පියොංයැංහි කිම් ඉල් සුං යුද සරසවියේ අධ්‍යාපනය ලද අප්‍රකට තරුණයා තරු හතරේ ජනරාල් තනතුරකට පත් කිරීමයි. ළඟදී ම ඔහු න්‍යෂ්ටික බලය සහිත රාජ්‍යයක් වන උතුරු කොරියාවේ දොළොස් ලක්ෂයක හමුදාවේ ප්‍රධානී තනතුර භාර ගනු ඇත. 


කිම් ඉල් ජොන්ගේ සහෝදරිය වන කිම් කියොං හුයි ද තරු හතරේ ජනරාල් පදවියට උසස් කර තිබේ. මස්සිනා ද උතුරු කොරියාවේ ජාතික ආරක්ෂක කොමිෂමේ සභාපති ය. බාල පුතාට බලය මාරු වන ආකාරය නංගීත්, මස්සිනාත් ඔහුගේ උපදේශකයන් ලෙස බලා කියා ගන්නවා ඇත. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

අරාබියේ මෙන් ලංකාවේත් බ්ලොග් ආණ්ඩුවේ ලියාපදිංචි කරන්න යෝජනා එයි ද? | Will Sri Lanka propose registration of blogs?

(2010 සැප්තැම්බර් 28, W3Lanka) සවුදි අරාබියේ සංස්කෘතික හා තොරතුරු ඇමතිවරයා පසුගිය දිනෙක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සියලු සවුදි අරාබියානු අන්තර්ජාල ප්‍රකාශකයන් සහ ඔන්ලයින් ජනමාධ්‍ය ලියාපදිංචි විය යුතු බවයි. ලියාපදිංචිය අවශ්‍ය ඒවා අතරට බ්ලොග් සහ සංසද හෙවත් ෆෝරම් ද අයත් වුණා. 


මේක ලංකාවේ ලොකු ලොක්කන්ට ආරංචි වුණ හැටියේ අපටත් මේක හොඳ නැද්ද කියා සාකච්ඡා කරන්න ඇති. ලංකා‍ව ඉතින් ලෝකෙ ඕනැ තැනකින් එන ඕනෑම නරක දෙයක් භාර ගන්න සූදානම් නේ. හිතන්න බැරි විහිළු පවා මෙහි ඇත්ත වෙලා තියෙනවා‍ නේ. 


ඉතින් ලංකාවේ මෙහෙම නිවේදනයක් නිකුත් වුණා නම්, පසුවදා සිට ප්‍රධාන ජනමාධ්‍ය පෙන්වා දෙන්න පටන් ගන්නේ මෙම පියවරේ හොඳ ම තමයි. ලංකාවේ බහුතරයක් ජනමාධ්‍යකරුවන් කියන්නේ රජ පවුල රෙද්ද පෙන්නුවා ම කපලා, මහලා, රජ පවුලේ ඉස්ටැයිල් එක නිසා අඳින්න ලෝබ වෙලා, හොඳට පේන්න කෝටුවක අමුණාගෙන ලස්සනට ඔලුවට ඉහළින් අල්ලාගෙන සුපුරුදු පරිදි හෙලුවෙන් පාරේ යන කට්ටියක් නේ. 


බ්ලොග් පවත්වන් යන්නේ කොටින් විසින් ය කියාත්, මේ බ්ලොග්වල අසභ්‍ය ලිංගික දර්ශන තිබෙන බවත් කියන්න පටන් ගන්නවා. ඊට පස්සෙ ලංකාවෙ මිනිස්සුන්ගෙන් මළ කරදරේ බ්ලොග් එකක් පෙන්නන්න කියලා. මේ සන්තෑසිය පසුගිය දිනවල ෆේස්බුක් ගැන ලංකාවේ පත්තරවල ගිය වාර්තා නිසා සිදු වුණා. ලංකාවේ සමහර පිරිමි හිතාගෙන ඉන්නෙ ෆේස්බුක් කියන්නේ සංසර්ගය සඳහා ගෑනු සෙට් කර ගන්න ම තියෙන එකක් කියලා. 


ගෑනුන්ට ගල් ගහලා මරන රටක් වුණත් අරාබියේ රජයේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරට එරෙහිව දැඩි විරෝධයක් මතු වුණා, සවුදි අරාබියෙන් වගේ ම පිටිනුත්. ඒ විරෝධය නිසා පසුවදා ම නිවේදනය වෙනස් කරන්න ආණ්ඩුවට සිදු වුණා. 


මෙම විරෝධය නිසා අරාබි රජය පසුවදා ම නිවේදනය කළා, මෙම ලියාපදිංචිය බ්ලොග් සහ සංසදවලට අදා නැති බව හා අදාළ වන්නේ විද්‍යුත් පුවත්පත්වලට පමණක් බව. 


ලංකාවේ නම් කියයි, ප්‍රකාශනයේ නිදහස, ප්‍රජාචන්ත්‍රවාදය කියන්නේ බටහිර, එන්ජීඕ සංකල්පයක් ය කියලා. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-09-27

මානුෂීය මෙහෙයුමේදී අවතැන් වූවන්ගේ රන් සොරකම් කළ සෙබළු | Soldiers that stole gold from the IDPs of Sri Lanka

(2010 සැප්තැම්බර් 27, W3Lankaමානුෂීය මෙ‍හෙයුම් සමයේ ශ්‍රී ලංකා හමුදාවේ ඇතැම් සෙබලුන් සිවිල් වැසියන්ගේ දේපල සොරකම් කළ බව ඔප්පු වන සිද්ධියක් පිළිබඳ අද දිවයින පුවත්පත වාර්තා කරයි.


පසුගිය කාලයේදී යුද පුවත් වාරණයේ යෙදුණු එක් මාධ්‍යවේදියකු කලින් කැරැලිකරුවන්ගේ පාලන ප්‍රදේශවල තිබුණු පරිගණක හා කැමරා තොගයක් හොරෙන් රැගෙන එමින් සිටියදී මැදවච්චිය මුරපොළේදී අත්අඩංගුවට පත් වී පසුව ආණ්ඩුවේ ඉහළ පෙළේ මැදිහත් වීමකින් බේරුණ බව මාධ්‍ය වාර්තා කළේ ය. ඒවා කොටින්ගේ ඒවා යයි කියන නිසා කොටින්ට කෙළවන්නත් එක්ක අරන් අවා ය කියමුකෝ.


එහෙත්, දිවයින පුවත්පතේ වාර්තාව අනුව සොරකම් කර තිබෙන්නේ සිවිල් වැසියන්ගේ රන් බඩු ය. කවුරු හෝ වේවා මේ සොරකම් කර ඇත්තේ ඇඳි වත පමණක් රැගෙන අවතැන් ව පළා ආ, දැන් යළි ජීවිය ගොඩනඟා ගැනීමට අපරිමිත වෙහෙසක් දරන, මේ රටේ ම ජීවත් වන අසරණ සහෝදර ජනතාවකගේ දේපල බව අප සිහි තබා ගත යුතු ය.


මාස දෙකහමාරක පමණ කාලයක්‌ අභිරහසක්‌ව පැවති මැදවච්චිය, රම්බකුලම වැව් පිටියේදී කැඩූ බෝතලයකින් ගෙලට ඇන යුද හමුදා සෙබළකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස්‌ දෙනෙක්‌ මැදවච්චිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.


යුද්ධය පැවති සමයේ උතුරේ සිවිල් වැසියන්ගෙන් පැහැර ගන්නා ලද බව කියන රන් ආභරණ තොගයක්‌ බෙදා ගැනීමට යැමේදී ඇති වූ ගැටුමක්‌ දුරදිගයැමෙන් පසු මෙම ඝාතනය සිදු කොට ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී හෙළිවී තිබේ.


මෙම අභිරහස්‌ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අතර යුද හමුදා සෙබළු දෙදෙනෙක්‌, මැදවච්චිය පොලිස්‌ ස්‌ථානයේම සේවයේ නියුතු කොස්‌තාපල්වරයෙක්‌, ත්‍රිරෝද රථ රියෑදුරෙක්‌ සහ තවත් පුද්ගලයෙක්‌ මෙලෙස අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසයි.


මන්නාරම, තල්අඩි යුද හමුදා කඳවුරේ සේවය කළ කැබිතිගොල්ලෑව, විහාර හල්මිල්ලෑවේ පදිංචිව සිටි විසිතුන් හැවිරිදි සිරිසේනගේ පාලිත දිමුතු ප්‍රියදර්ශන නමැති අයකු මෙම සැකකරුවන් විසින් ඉකුත් ජුනි මස 30 වැනිදා මැදවච්චිය, රම්බකුලම වැව් පිටියේදී අභිරහස්‌ ලෙස ඝාතනය කොට තිබිණි.


පසුව ලද තොරතුරකට අනුව මැදවච්ච්ය පොලිසිය විසින් ඝාතනයට ලක්‌ වූ සෙබළාගේ සිරුර සොයා ගන්නා ලදී.


ඝාතනයට ලක්‌ වූ සෙබළා කලක්‌ පැවිදිව සිට පසුව උපැවිදි වී යුද හමුදා සේවයට බැඳුණු අයකු බවටද පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබිණි.


පසුව මැදවච්චිය පොලිසිය මගින් මෙම අභිරහස්‌ ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අතරතුර, පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ගිහාන් අමරසූරිය මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන්ට ඝාතනයට ලක්‌වූ සෙබළාගේ ජංගම දුරකථනයේ සිම් අංකය සොයා ගැනීමට හැකි වී තිබේ.


එම අංකය ඔස්‌සේ පරීක්‍ෂණ මෙහෙයවූ පොලිසියට යුද හමුදා සෙබළු දෙදෙනා සහ පොලිස්‌ කොස්‌තාපල්වරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.


ඝාතනයට ලක්‌වූ සෙබළා සහ අත්අඩංගුවට පත්ව සිටින සැකකාර සෙබළු දෙදෙනා යුද්ධය පැවැති සමයේ උතුරේ සිවිල් වැසියන්ගෙන් පැහැර ගන්නා ලද බව කියන ග්‍රෑම් පන්සියයකට වැඩි බරින් යුත් ස්‌වර්ණාභරණ තොගයක්‌ බෙදා ගැනීමට ඝාතනයට ලක්‌වූ සෙබළාත්, සැකකාර සෙබළු දෙදෙනා සහ සෙසු සැකකරුවනුත් මැදවච්චිය රම්බකුලම වැවි පිටියට ගොස්‌ මත්පැන් පානය කොට, පසුව ස්‌වර්ණාභරණ තොගය බෙදා ගැනීමට යැමේදී ඔවුනොවුන් අතර ගැටුමක්‌ හටගෙන ඇත.


එම අවස්‌ථාවේ සැකකාර සෙබළු දෙදෙනාගෙන් අයකු මත්පැන් බෝතලයක්‌ කඩා පසුව ඉන් ඝාතනයට ලක්‌ වූ සෙබළාගේ ගෙලට ඇන තිබේ.


අනතුරුව ඔවුන් ත්‍රිරෝද රථ රියෑදුරාට රුපියල් තුන්දහසක මුදලක්‌ දී මෙම ඝාතන සිද්ධිය රහසක්‌ ලෙස තබා ගන්නා ලෙස දැනුම් දී ස්‌වර්ණාභරණ තොගය බෙදා ගෙන තිබේ.


මෙම ඝාතන සිද්ධියෙන් පසු රම්බකුලම වැව්පිටියේ මළ සිරුරක්‌ ඇති බවට මැදවච්චිය පොලිසිය වෙත දැනුම් දී ඇත්තේද මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කොස්‌තාපල්වරයා විසිනි.


අනතුරුව ඔහු ඝාතන සිද්ධියේ පරීක්‍ෂණවලටද මැදිහත් වී, ඒ පිළිබඳ පැවැත්වූ පරීක්‍ෂණ කටයුතු නොමඟ යෑවීමටද දැඩි උත්සාහයක නිරතව ඇති බවද මැදවච්චිය පොලිසිය පවසයි.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-09-26

ධනපති පංතියට ඇඩ්‍රස් නැති වීම හා ධනවත් පංතිය ජය කෙහෙළි නැංවීම | The decay of the capitalist class and the rise of the wealthy class in Sri Lanka

(2010 සැප්තැම්බර් 26, W3Lanka, අජිත් පැරකුම් ජයසිංහධනපති පංතිය එක්සත් ජාතික පක්ෂය කෙරෙහි විශ්වාසය අහිමි කරගෙන ඇති බව ද, එජාපය මුහුණ දී සිටින්නේ පංති අර්බුදයකට බව ද ඇමති රාජිත සේනාරත්න The Observer පුවත්පතට පවසයි. 


ධනපති පංතිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග ඉතා සමීපව කටයුතු කරමින් සිටින බව ද ‍රාජිත සේනාරත්න පවසයි. එය එසේ විය යුතු ය. ධනපති පංතිය කරන්නේ ව්‍යාපාරයි. නූතන සංදර්භය තුළ දේශපාලකයන්ට සන්තෝසම් නො දී, ඔවුන්ගේ ආශිර්වාද ලබා නො ගෙන පෙට්ටි කඩයක්වත් ඇරිය නො හැකි තත්වයක් රටේ තිබේ. එහෙයින් ධනපති පංතිය සාමාන්‍යයෙන් කවදත් කළ පරිදි, පවතින සංදර්භයන් සමග හැඩ ගැසී සිය ව්‍යාපාර කරගෙන යයි.  ඒ නිසා ඒ ගැන නම් පුදුම විය යුතු නැත. 


ධනපති පංතිය කියා අප සාමාන්‍යයෙන් පරිවර්තනය කරන capitalist class යන වචනයෙන් අදහස් වන්නේ ධනවත් පංතිය යන්න නො වේ. ධනපති පංතියට ඉංග්‍රීසියෙන්  කියන පරිදි ඔවුහු ප්‍රාග්ධනය ගොඩ ගසන, ආයෝජන කරන, ව්‍යාපාර පවත්වාගෙන යන පංතියකි. ඔවුන් රජයෙන් ස්වායත්ත පිරිසකි. ඔවුහු පංතියක් ලෙස රජයෙන් බලාපොරොත්තු වන්නේ සිය කටයුතු නිදහසේ කරගෙන යා හැකි තරමට ආර්ථික සාමයක් ඇති, නිදහස් තරගකාරිත්වයට ඉඩ සලසන මට්ටමට ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ලබා දෙන පාලනයකි. ඊට වඩා හෝ ඊට අඩුවෙන් දෙයක් ඔවුන්ට අවශ්‍ය නැත. 


එසේ ම, කැරැලි නො ගසන තරමට තෘප්තිමත් හෝ විනයගත කරන ලද හෝ අඩු මිළ ශ්‍රම බලකායක් හෙවත් ප්‍රධාන වශයෙන් කම්කරු පංතියක් පවත්වා ගැනීම ඔවුන්ට අවශ්‍ය ය. 


ඔවුන්ට මධ්‍යම පංතිය යනු අත්‍යවශ්‍යයෙන් ම වැදගත් සමාජ බලවේගයක් නො වේ. එය බොහෝ විට නිලධාරීන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා පූර්ව ධනේශ්වර ඉතුරු බිතුරුවලින් සැදුම් ලත් සමාජ ස්ථරයකි. මධ්‍යම පංතිය වැදගත් කාර්යයක් ඉටු කළේ ආර්ථික පෙරමුණේ නො ව බුර්ෂුවා සංස්කෘතික අවකාශයෙහි ය. 


එක්සත් ජාතික පක්ෂය එක් යුගයකදී, විශේෂයෙන් ම සේනානායක පිය-පුතු දෙදෙනාගේ හා ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වය යටතේ මෙම ප්‍රධාන පංති බලවේග  දෙක ඉතා මැනැවින් කළමනාකරණය කර ගත්තේ ය. එපමණක් නො ව ප්‍රමාණාත්මකව සුවිසල් වූ ගැමි හා ගොවි ජනතාව අතර ද ශක්තිමත් පදනමක් ගොඩනඟාගෙන සිටියේ ය. එජාපය ධනපති පංතියට අවශ්‍ය ආකාරයේ පක්ෂයක් වූයේ එසේ ය. එජාපය දැන් එසේ නැද්ද? 


එජාපය අදත් ධනපති පංතියේ අවශ්‍යතා වෙනුවෙන් ඍජුව, නිර්භීත ලෙස හා නිරවුල් අන්දමින් පෙනී සිටියි. එහෙත්, එජාපයේ අර්බුදය වන්නේ එයට පෙර මෙන් කම්කරු පංතිය හා ගැමි-ගොවි පංතිය කළමනාකරණය කර ගැනීමට බැරි වීමයි. එජාපය අතින් රැහැන් ගිලිහී ගිය මෙම සමාජ පංති මහින්ද රාජපක්ෂ පාලනයේ ග්‍රහණයට හසු වී තිබේ. එසේ වූයේ එක්සත් ජාතික පක්ෂය සිය මුල් සිඳ ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසයි. එය නායකත්වයේ දෝෂයක් ලෙස සරළ ලෙස පෙන්වා දිය හැකිමුත්, විකල්පය කුමක්දැයි පෙන්වා දීමට නො හැකි තරමට එජාපය නායකත්ව අර්බුදයක ගිලී ඇත. 


සත්තකින් ම එය පැහැදිලි පංති අර්බුදයකි. කම්කරු පංතියේ නායකත්ව අර්බුදය ද මේ හා සමගාමී වේ. පශ්චාත් යටත් විජිත ලාංකීය සමාජ ක්‍රමය විසින් එහි පරිණාමයෙන් ම උරුම කර ගන්නා ලද තත්වයන් මෙම ප්‍රතිඵලයට හේතු වී තිබේ. 


මහින්ද රාජපක්ෂ පාලනය ධනපති පංතියේ විශ්වාසය දිනාගෙන ඇතැයි කිව නො හැකි ය. ඇත්ත ම කීවොත්, අප උපුටා දැක්වූ ප්‍රකාශයෙහි ඇමති රාජිත සේනාරත්න හෝ එසේ නො පවසයි. එයට හේතුව එය ධනපති පංතිය වෙනුවට ප්‍රමුඛත්වය දෙන්නේ ධනවත් අතරමැදි පංතියකට වීමයි. 


කවුරුද මේ ධනවත් අතරමැදි පංතිය? මේ වනාහි රජය අය කරන බදු, ලබා ගන්නා දෙස්-විදෙස් ණය හා රජය බොහෝ විට පාඩු පිට කරන ව්‍යාපාර ආදියෙන් වැටුප්, දීමනා, වරප්‍රසාද, කොන්ත්‍රාත්, කොමිස් හා අයථා මාර්ගවලින් මඩිය තර කර ගන්නා පංතියකි. 


ඔවුහු ධනවත් පංතියක් වන මුත් වෙහෙස මහන්සි වී ව්‍යාපාර කරන පිරිසක් නොවෙති. ආණ්ඩු සහයෝගය නැතිනම් ඔවුන්ගේ ලාභයට පැවතිය නො හැකි ය. සදාචාර විරෝධී අන්දමින් හරි හම්බ කර ගන්නා සිය මුදල් අපුල්ලා ගැනීම පිණිස රටින් පිට පන්නන්නේ නැතිනම් ඔවුන් ඒවා වැඩි වශයෙන් ආයෝජනය කරන්නේ රජයට ම ආපසු ඒ මුදල් ණයට දෙන භාණ්ඩාගාර බිල්පත් ආදියෙහි ය. 


මෙබඳු සමාජ ස්ථරයක් සැමදා පැවති අතර එය ධනපති පංතිය හා මධ්‍යම පංතිය අතර බෙදුම් රේඛාව ආශ්‍රිතව දෙපැත්තට ම අයිති වෙමින් පැවතුණ හ. එහෙත්, මෑත භාගයේදී සිදු වූ දෙයක් වන්නේ මෙම පංතිය අතිශය බලවත් වීමයි. කම්කරු පංතියේ දෘෂ්ටිවාදීමය හා නායකත්ව අර්බුදය හේතුවෙන් පහළ සමාජ පංතීන් අතර පැතිර ගිය ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය, පුරුෂෝත්තමවාදය වැනි ස්වෝත්තමවාදී පසුගාමිත්වයන්ගේ අවසන් ප්‍රතිඵලය නෙළා ගත්තේ මෙම සමාජ ස්ථරය විසිනි. 


මහින්ද රාජපක්ෂ පාලනය අයත් වන්නේ මෙම ධනවත් පංතියටයි. එය වැඩ කරන්නේ ද එම පංතියේ උන්නතිය පිණිස ය. මෙම සංසිද්ධිය ඔප්පු කරන සාධක ඕනෑ තරම් තිබේ. එක් නිදසුනක් වන්නේ, එක් පැත්තකින් ඍජු විදේශ ආයෝජන නොමැතිව ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට මගක් නැතිව, රාජපක්ෂ පවුලේ බැසිල් සහෝදරයාව ඍජු විදේශ ආයෝජන සංවර්ධනය කිරීමේ නව වගකීමට පත් කරන රජය අනෙක් පැත්තෙන් ලංකාවේ සිටින ප්‍රධාන විදේශ ආයෝජකයන් පළවා හරිමින් සිටින ආකාරයයි. 


යුද්ධය නිමා වීමෙන් පසු ගත වූ කාලය තුළ කිසිදු කීර්තිමත් විදේශ ආයෝජකයකු ලංකාවේ සුවිශේෂ ආයෝජනයක් කර නැත. ධනවාදී ආර්ථික විද්‍යාව අනුව නම් අවශ්‍ය වන්නේ එවැනි ආයෝජකයන්ට මෙහි පැමිණීමට දිරි ගැන්වීමයි. එහෙත්, රජය කරමින් සිටින්නේ ඉන්න එකාවත් පන්නා ගැනීමයි. ඇපලෝ රෝහල මිළ දී ගෙන, ශ්‍රී ලංකන් ගුවන්‍ සේවයේ එමිරේට්ස් කළමනාකරණය සියතට ගත් මහින්ද රාජපක්ෂ පාලනය දැන් ෂෙල් සමාගම  සතු කොටස් ද මිළ දී ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටියි. ප්‍රීමා සමාගම සමග ද නිරන්තර ගැටුම් ය. ධනේශ්වර ආර්ථික විද්‍යාවට මේ කුණුහරුපය තේරුම් ගත නො හැකි ය. එහෙයින් ඔවුහු ආර්ථික කළමනාකරයේ දුර්වලකම් ගැන මළ විකාර දොඩවති. මෙම තත්වය තේරුම් ගත හැක්කේ අප ඉහත දැක්වූ පංති පදනම අනුවයි. 


රජය යනු මෙම පාලක කණ්ඩායම විසින් නියෝජනය කරනු ලබන ධනවත් පංතියට රන් බිජු දමන කිකිළියක වැනි මහජන මුදලින් පාඩු පියවිය හැකි මාර ම සමාගමකි. ඔවුන් රජය ශක්තිමත් කරන්නේ හා පුළුල් කරන්නේ එහෙයිනි. ඔවුන්ට අවශ්‍ය ධනපති පංතිය හෙවත් පෞද්ගලික අංශය බලසතු කිරීමට නො ව තමන්ගේ සමාගම වූ රජය අතට තව තවත් ආර්ථික හා දේශපාලන බලය ලබා ගැනීමයි. 


රාජ්‍ය ව්‍යවසාය පාඩු ලැබුවා ම මොකද? මහජනයා ඒ වෙනුවෙන් ගෙවති. ඔවුහු සංවර්ධන ව්‍යාපෘතිවලින් ඇස් ගිනි කණ වැටී සිටිති. නැව් නාවත් හම්බන්තොට ලොකු වැඩකි. තමන් නො ගියත්, හිස උඩින් ඇති අධිවේගී මාර්ග නෙතට උළෙලකි. 


ධනවත් පංතියේ අවශ්‍යතා සහ ධනපති පංතියේ උවමනාවන් අතර ගැඹුරු වෙනස්කම් තිබේ. අද ධනපති පංතියට සිදු වී තිබෙන්නේ මෙම ධනවත් අතරමැදියන් විසින් ගසා කනු ලබන මහජන මුදල්වලින් කොටසක් හෝ කොටස් වෙළඳපල හරහා ආයෝජන ක්ෂේත්‍රය වෙත ගෙන්වා ගැනීමට උත්සාහ කිරීමටයි. 


මේ වනාහි ධනවත් සුළු ධනේශ්වරය ජය කෙහෙළි නංවා සිටින පෙර නො වූ විරූ අන්දමේ විකෘති සමාජ සංවර්ධන අවධියකි. එක්සත් ජාතික පක්ෂයෙන් කරණම් ගැසූ රාජිත සේනාරත්නගේ සිට මනුෂ නානායක්කාර දක්වා පුද්ගලයන් අයත් මෙම පංතියේ අයට විපක්ෂ අසුනක වාඩි වී සිටීමට බැරි තරමට පසුස රත් වන්නේ මේ සිදු වන  අලකලංචිය දරා ගැනීමට බැරිවයි. 


මහින්ද රාජපක්ෂ පාලනයේ දක්ෂතාව සලකුණු වන තවත් ස්ථානයක් වන්නේ අතරමැදි පංතියේ පහළ ස්ථර කළමනාකරණය කරගන්නට සමත් වීමයි. ඒ සඳහා ඔවුන්ගේ උපාය මාර්ගය වන්නේ නිකම් සිට පුංචි පඩි ගන්නා කාලකන්නින්ගෙන් සහ වෙනත් ව්‍යාපාර කරන පාට් ටයිම්කාරයන්ගෙන් පිරි දැවැන්ත රාජ්‍ය සේවයක් හැදීමයි. එයිනුත් ඉවතට විසි වන ගැමි-ගොවියන්ට පෙහොර සහනාධාර ආදී වෙනත් කටු ලෙවකන්නට දී තිබේ. 


අයවැය යන්තම් ගැට ගසා ගන්නේ ඇ‍ඟේ යකඩ ඇණ ගැසුණු ආරියවතීලා වැනි දිළිඳු ගැහැනු වහල් සේවයේ යෙදී මෙරටට එවන ධනයෙනි. එය මදි වන තැනට එන විට සංචාරක කර්මාන්තයවත් දියුණු කර ගත්තොත් අපේ පරිසරය, කළු කෙල්ලන්, කොල්ලන් හා ළමයින් සුද්දන්ට විකුණා හෝ රජය නම් පෞද්ගලික සමාගම ආරක්ෂා කර ගත හැකි වනු ඇත. 


Read this article in English


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-09-25

පියසීලී (වාසුට සහනයක් වූ පියසීලීගේ මරණය) | Death of Piyaseeli; a breath of relief to Vasudeva

මගේ ස්ථාවරය වුණේ කලාව යථාර්ථය ජය ගැනීමේ භාවිතයක් කියන එකයි. මිනිසා, මානව සමාජය ඇතුළු සොබාදහම ජය ගැනීම සඳහා කරන විප්ලවීය මැදිහත්වීමෙන් තමා කලාව ඇතුළු අධ්‍යාත්මික සංස්කෘතික උරුමය ගොඩනැඟෙන්නෙ. මහාචාර්ය ගම්ලත් ඊට එරෙහි ව කියා සිටියේ කලාවෙන් යථාර්ථය ජයගන්න බැරි බවයි..
එය ජයගත හැක්කේ විප්ලවයෙන් හා යථාර්ථය වෙනස් කිරීමේ භාවිතයෙන් බවත් ඔහු කියා සිටියා. ඒක අපෝහක භෞතිකවාදයට ප්‍රතිපක්ෂ යාන්ත්‍රික භෞතිකවාදී ආස්ථානයක් හැටියටයි මා දකින්නේ. කොහොම වුණත් අදටත් අපි දෙන්නාගේ ස්ථාවරවල වෙනසක් සිදු වී නැති බවයි පෙනෙන්නේ.
මහාචාර්ය පියසීලි විජේගුණසිංහ
(සිළුමිණ 2009-08-30)


(2010 සැප්තැම්බර් 25, W3Lankaප‍්‍රදීප් ජයරත්න) දහ අට සන්නිය නටා පේ වීමට මත්තෙන් පියසීලී මෙලොවින් සමුගෙන තිබිණි. වාසුට එලෝ මෙලෝ නැති ස්ථාවරයක් ගැනීමට ධෛර්යය ලැබුණේ ඒ නිසාදෝයි මට නොයෙක් වර සිතුණි. ලාංකීය දේශපාලනයේ හෘදය සාක්ෂිය ලෙස, වරක් නිර්මාල් විසින් වාසුව හඳුන්වා දෙන විට එම අදහස සමඟ යහමින් එකඟ වීමට එවකට මට හේතු ගණනාවක්ම තිබුණේය. දේශපාලන වේදිකාව අත් නොහැර සතුරු- මිතුරු කඳවුර අතර බෙදීම දිය කරමින් නව බෙදීම් නිර්මාණය කරමින් හැම විටම ඊනියා පොදු ජනයාගේ පැත්ත ගැනීමට අනේක විධ බැනුම් අසමින් කටයුතු කිරීම ඉන් ප‍්‍රධානම කාරණයකි. මේ මගින් මගේ සිත තුල තෙරපෙමින් තිබුණ ඉතාම බරපතල ප‍්‍රශ්නයකට පිළිතුරු ගොනු කරගැනීමේදී තරමක් පහසුකාරී විය. එනම් ලාංකීය දේශපාලනය තුල පියසීලී සහ විජේ ඩයස් ස්ථානගත වන්නේ කොතැනද යන ප‍්‍රශ්නයයි. ඔවුන් එන්න එන්නම පොදු ජන අවකාශයෙන් වියෝ වීම තුල මගේ අදහස වඩ වඩාත් තහවුරු වුණේය. ඔවුන්ගේ දේශපාලනය වෙබ් අඩවියකට සීමා වන විට අපගේ දේශපාලනයට වෙබ් අඩවියක් තබා පතල් වාඩියක් වත් නොමැති වීම ගැන මා එතරම් සැලකිලිමත් වුයේ නැත. කොටින්ම සැලූනේම නැත. එහෙත් පියසීලී යමක් උගන්වා සමුගෙන ගොස් ඇති බව දහ අට සන්නියෙන් පසුව මගේ හිසට වද දෙන්නට පටන් ගත්තේ කුමක් නිසාදෝයි තවමත් හරිහැටි නොවැටහෙන්නේය. ඒ පිළිබඳව ඉතාම තදින් කල්පනා කල යුතු බව පමණක් දැනට වරින් වර සිහියට නැගෙම්න් තිබේ.


එහෙත් නිර්මාල් ට එකක් පැවසිය යුතුය. නැවතත් ලාංකීය දේශපාලනයේ හෘදය සාක්ෂිය තේරීමේ තරගයකදී වාසුවම තෝරා ගැනීමට පෙළඹුනහොත්, මාක්ස් වාදයේ දෘඩතර ද්‍රව්‍යවාදී ස්ථාවරයන්ට එරෙහිව යමින් පියසීලීගේ ආත්මය පැමිණ ඔබේ කට මිරිකා කණ පලනු නියතය. එතැනදී වටේ ගැවසෙන්නන්ද ප‍්‍රවේශම් විය යුතු බව මගේ අදහසයි.
මම පියසීලී ගැන බොහෝ දේ නොදනිමි. එහෙත් ඇගේ ලිපි ලේඛන විශාල ප‍්‍රමාණයක් කියවා ඇත. ඒ ප‍්‍රමාණය ඇය ලියා ඇති සියල්ලෙන් සොච්චමක් බව හොඳාකාරවම දනිමි. ඇගේ ලිපියක් මුලින්ම කියවූයේ පාසල් යන අවදියේදීමය. ඒ මහාචාර්ය ගම්ලත් සමඟ කළ වාදය අරබයා දිවයිනට ලියූ ලිපියකි. මා ඒ ලිපි කියවුවාට වැටහුණු කිසිවක් නැත. එහෙත් කියවීම අත් නොහැරීමි. (සැබැවින්ම පසුවත් කිසිවක් වැටහුනේ නැත. වෙනත් අය පවසන දෙයින්ම අදහස් සම්පාදනය කර ගතිමි.) මා අවසානයට කියවූ ඇගේ කෘතිය අරුන්දතී රෝයිගේ නවකතාව අරබයා ඇය විසින් සම්පාදනය කල විචාර ග‍්‍රන්ථයයි. ඒ වන විට මා එම අදහස් තරමක් හොඳින් වැටහෙන අවධියක පසු වුවත් ඒ එම සෑම අදහසක් කෙරෙහිම පාහේ තදබල විවේචනයක්ද සහිතවය. සමහරවිට ඇගේ ලේඛන වැටහීම ආරමිභ වූයේම ඒවා කෙරෙහි විවේචනයක් සමිපාදනය වීමත් සමග යැයි සිතමි. (මෙය වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ද වඩාත් සමබර සත්‍යයකි.)


මාක්ස්වාදී සාහිත්‍යයට ඇලුම් කිරීම සඳහා, පියසීලී - ගම්ලත් විවාදය රුකුල් දුන්නා සේම, මාක්ස්වාදී විශලේෂණ කියවීම එපා කරවීම සඳහා ද ඇයද ඇතුලත් වූ සමාජවාදී සමානාත්මතා පක්ෂය (ස. ස. ප.) විසින් සම්පාදනය කළ ලේඛන හේතු විය. ඔවුන්ගේ බරපතලම සුගුණ හා දුගුණ යන දෙකම මේ යැයි සිතේ. පශ්චාත් නූතන ව්‍යාධියකට ගොදුරු ව සිටි නිසාදෝ, එවකදී නොවැටහුනත් X කණ්ඩායම සිරවී සිටි උගුලද මීට ආසන්න බව මෙකලදී සිතෙයි. එහෙයින් අප පියසීලීගෙන් සමුගන්නා ගමන්ම මෙම අභියෝගයන් පිළිබඳව පොහොසත් සාකච්ඡාවකට එළඹෙන්නේ නම් ඒ යහපතකි. එමෙන්ම එය දේශපාලන අධිෂ්ඨානය අවුළුවාලන වඩාත් ස්ථිරසාර දේශපාලන ජීවිතයකට පණ දුන් පියසීලීට කරන මහත් වූ ගෞරවයක් ද වනු ඇත.


මා පියසීලී පොතින් පතින් හැරෙන්නට වෙනත් කිසිදු ආකාරයකට ඇසුරු කර නැතත් මම ඇයව වතාවත් ගණනාවකදීම දුර සිට දැක ඇත්තෙමි. එතරම් වූ සුන්දර ගැහැණියක් මේ තරමටම බර අඩි තබමින් දේශපාලන ලෝකය තුල සක්මන් කිරීම මහත් වූ පුදුමයක් උපදවීමට සමත් විය. මා මජරමය පුරුෂාධිපත්‍ය චින්තනයක් තුල ගිලී ඇතැයි යන අවලාදයට කෙතරම් ලක්වුවද පියසීලී වැනි සුන්දර ගැහැණියක්, ඒ සැහැල්ලූ සළු පිළි අතර වූ බරසාර චින්තනය සහිතවම නැවතත් දේශපාලන ජීවිතය තුළ දැක ගැනීමට තදින් ඇලුම් කරන්නෙමි.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

බෙහෙත් මිළ ප්‍රදර්ශනය කරන තැන්වල රෙද්ද කඩාගෙනත් පෙන්නුවොත් නරක ද?

(2010 සැප්තැම්බර් 25, W3Lankaලබන ජනවාරි මස පළමු වැනිදා සිට දිවයිනේ රජයේ රෝහල් ඉදිරිපිට අත්‍යවශ්‍ය ප්‍රධාන බෙහෙත් වර්ගවල මිල ගණන් ප්‍රදර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.


හරි ෂෝක් ය. එවිට, අප කසිප්පු ගසා, බීඩි බී හෝ නො කා නො බී ඉඳ හෝ කඩවලින් කුණු ජරාව කා හෝ මදුරුවන්, බල්ලන් විසින් සපා කනු ලැබ හෝ, පොලිසියෙන් ගුටි කා හෝ අහේතුව හෝ ලෙඩ වූ විට අපේ ආදරණීය, ප්‍රනීත, විනීත ආණ්ඩුව අප වෙනුවෙන් අත දිග හැර කරන වියදම අපට දැන ගත හැකි වනු ඇත.


ලෙඩ වුණේ කසිප්පු ගසා නම් ඒ අනුව ගණන් හදා දොස්තර බිල දුන් විට එය ගෙවිය යුතු ය. නැතිනම් මහ උළු ගෙදර ගොස් ආණ්ඩුව ගානේ බතුත් කෑ හැකි ය.


මේ රෙද්දවල් පෙන්නන එක හොඳ ය. එහෙත්, මේ වියදම් කරන්නේ ඒ ගැන හූල්ලන ආණ්ඩු පාණ්ඩුවේ උන්නැහේලාගේ බූදලෙන් නො ව අපේ ම බදු සල්ලි හා අපේ හත්මුතු පරම්පරා උගස් තබා ගත් ණය නිසා ඒවා ඇත්ත ම කීවොත් 'මයි කාර් - මයි පෙට්‍රල්' නිසා කාටවත් වැඩක් ද නැත.


අනෙක, ලෙඩ වූ මිනිසුන් වෙනුවෙන් නො මිළේ සපයන සෞඛ්‍ය පහසුකම් කප්පාදු කරන්නැයි මේ රටේ ජනතාව ඉල්ලා සිටින බවක් අප නම් දන්නේ නැත. 


එහෙත්, මේ රෙද්දවල් පෙන්නන ගමන් අපි නො දන්න අනෙක් රෙද්දවල් ද ඉස්පිරිතාල, කාර්යාල, සභා, පාර්ලිමේන්තු ආදිය ඉදිරිපිට පත පුවරු ගසා පෙන්නනවා නම් හොඳ ය.


ඒ මෙවැනි ඒවා ය.


මහජන මුදලින් නඩත්තු වන ඇමති, මැති, නිලධාරි පිංබතාලා බෙහෙත් ගෙන්වීම, ලෙඩ්ඩුන්ට කන්නට දීම, ගොඩනැගිලි හැදීම, කක්කුස්සි හේදීම හෙවත් ක්ලීනිං සර්විස් ආදියෙන් කීයක් කොමිස් ගසනවා ද?


පලක්, ප්‍රයෝජනයක් ඇති වැඩක් නො කර, අතන, මෙතන පීත්ත පටි කපමින් රස්තියාදු වන මෙම පිංබතාලා මහජන මුදලින් කීයක් පඩි කනවා ද?


උන් වටේ, පසුපස, උඩින් හා යටින් කැරකෙන ආරක්ෂක, අරක-මේක නිලධාරීන් කීයක් පඩි කනවා ද? 


ඔවුන් වෙනුවෙන් යාන, වාහන, දුරකථන, කාර්යාල, ගොදුරු ආදිය වෙනුවෙන් කීයක් වැය කරනවා ද?


බදුවලින් නිදහස් මොවුන්ගේ ආදායම්  වෙනුවෙන් බදු ගෙවිය යුතුව තිබේ නම් ඒ කොපමණ මුදලක් ද? 


මේවාත් ප්‍රදර්ශනය කළ යුතු ය. ලොකු ලොක්කන්ගේ වත්කම් ප්‍රකාශ ද ප්‍රදර්ශනය කළ යුතු ය. පෙන්නන්න බැරි නම්, ඒගොල්ලන් ඇවිත් රෙද්ද කඩාගෙන ප්‍රදර්ශනය කළත් කම් නැත. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

ලංකාවේ ‘‘තෙවන ලොව මිතුරෝ’’ බුරුමයේ කහ සිවුරේ අරගලය සමරති | Sri Lankans commemorate Saffron Struggle of Burma

(2010 සැප්තැම්බර් 25, W3Lanka1990 මැයි 27 වනදා බුරුමයේ පැවති මහ මැතිවරණයෙන් අවුන් සාන් සුකීගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන ජාතික ලීගය 90‍% කටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් දිනාගනිමින් ජය හිමි කර ගත්ත ද බුරුම හමුදා ජුන්ටා පාලනය විසින් සුකී ඇතුලු ඡන්දයෙන් තේරී පත්වූ ආණ්ඩුව සිරගත කරමින් මේ දක්වා විසි වසකට ආසන්න කාලයක් ඉතාමත් කෲරතර පාලනයක් ගෙන යමින් සිටිති.


විවිධ අවස්ථාවලදී හමුදා පාලනයට එරෙහිව මතුව ආ ජනතා විරෝධයන් අති නිහින ලෙස මර්ධන කළ ජුන්ටාව 2007 සැප්තැම්බර් මස එරට භික්ෂුන් විසින් ආරම්භ කරන ලද අවිහිංසාවාදී ප‍්‍රබල විරෝධතාව ද මැඩපවත්වන ලද්දේ සියගණනක් ඝාතනය කරමින් සහ සිර අඩස්සියට පත්කරමිනි.


විශේෂයෙන්ම මෑත භාගය තුළ බුරුම හමුදා පාලනය සහ ශී‍්‍ර ලංකා රජයත් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් ගොඩනැගී ඇති අයුරු අපි දකිමු. මේ පාලකයෝ එහි යති එති.


වෙනත් අසැල්වැසි රටවලට පවා නොයන බුරුම හමුදා නිලධාරීන්ට ද
සංචාර සඳහා ඇරයුම් ලැබෙන්නේ ශී‍්‍ර ලංකාවෙනි.


සිය ගණනක් භික්ෂුන් ඝාතනය කළ බුරුම හමුදා නායකයා 2009 නොවැම්බර් 12 වනදා මෙරට පැමිණ රතුපලස මතින් පිළිගෙන දළදාව
වදින්නට රැගෙන යන්නට යන්නට මෙරට පාලකයෝ කටයුතු
කළ හ.


2010 සැප් 27 වන දිනට තෙවසරක් පිරෙන බුරුම බෞද්ධ භික්ෂුන් දහස් ගණනින් වීදි බැස දියත් කළ ලෝ ප‍්‍රකට සප්රොන් අරගලය සමරමින් ලෝකය පුරා සිදුකරන සහයෝගිතා අරගලවලට එක්වෙන විරෝධතාවක් 2010.සැප් 27 දින ලංකාවේ බුරුම තානාපති කාර්යාලය අසල (නො.04, රොස්මිඞ් පාර, කොළඹ 07) දහවල් 12.30ට පැවැත්වේ. 



බුරුමයේ මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අර්බුදයට ලක්ව ඇති අන් රටවල ද අරගල වලට සහය පළ කිරීම අපේ වගකීමක් ලෙස දකිමින් බුරුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයට සහය දැක්වීමට මේ විරෝධතාවයට එක්වන ලෙස සංවිධායකයන් වන ‘‘තෙවන ලොව මිතුරෝ’’ සහෝදරත්වයෙන් ඉල්ලා සිටිති. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com