2010-10-31

රෝහල්වල බාහිර රෝගී අංශ සවස හත වන තුරු විවෘත කිරීම දිළින්දන්ට සහනයකි

(2010 ඔක්තෝබර් 30, W3Lankaනොවැම්බර් 15 දින සිට, දිවයින පුරා ප්‍රධාන රෝහල්වල බාහිර රෝගී අංශ සවස හත දක්වා විවෘත කර තැබීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගනු ලබන බව නිවේදනය කර තිබේ. 


අති විශාල වශයෙන් බදු ගෙවන ලංකාවේ බහුතරයක් දිළිඳු ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාව හැරුණු විට ලෙඩකදී, දුකකදී අන් පිළිසරණක් නැත. පෞද්ගලික වෛද්‍ය සේවා සාමාන්‍ය ජනයාට ඔරොත්තු නො දෙන තරම් මිළ අධික ය. 


දැනට පවතින තත්වය තුළ වැඩ කරන මිනිසෙක් තමන්ට හෝ තම පවුලේ අයෙකුට රෝහලක බාහිර රෝගී අංශයෙන් යම් වෛද්‍ය සේවාවක් ලබා ගැනීමට නම්  එදා දවස නිවාඩු දමා පෝලිම්වල ලැගීමට සිදු වේ. 


නැතිනම්, වැඩ ඇරී ගෙදර පැමිණ සවස වෛද්‍ය කඩයකට යා යුතු ය. ඒවායේ ද පෝලිම් නැතුවා නො වේ. පෝලිම්වලට අමතරව ඒවා අධික මිළක් ද අය කරයි. 


පැය විසි හතර ම බාහිර රෝගී අංශ විවෘත කර තැබීමට ජනාධිපතිතුමා කළ යෝජනාව ප්‍රායෝගික කර ගැනීම දුෂ්කර ය. එහෙත්, සවස හත දක්වා හෝ බාහිර රෝගී අංශ විවෘත කර තැබීම දිළිඳු ජනයා පැත්තෙන් පැසසිය යුතු පියවරකි. 


 Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-10-30

පත්තර විකුණන අලුත් ම උපාය: පාසල්වල බ්ලැක් ලයන් මාෆියා ඇති බව කීම | Black Lions: the latest sales gimmick of newspaper industry of Sri Lanka

ලංකාවේ ඡායාරූපයක් නො වේ.
(2010 ඔක්තෝබර් 30, W3Lankaපාසලක ක්‍රියාත්මක වන බව කියන බ්ලැක් ලයන් නම් කල්ලියක් පිළිබඳ දැවැන්ත ප්‍රචාරයක් ප්‍රධාන ධාරාවේ පුවත්පත් කීපයක් විසින් ආරම්භ කර තිබේ.


මෙම ජනමාධ්‍ය විසින් කරමින් තිබෙන්නේ ඉතා සුළු තොරතුරක් හෝ ප්‍රබන්ධයක් හෝ අතිශයෝක්තියට නඟා ප්‍රචාරය කරමින් භීතිකාවක් නිර්මානය කිරීමයි.


බ්ලැක් ලයන් කල්ලිය පිළිබඳ ලිපියක් මුලින් ම ගිය සතියේ ඉරිදා ලංකාදීප පුවත්පතේ දක්නට ලැබුණු අතර, එය ජනප්‍රිය වීමත් සමග මේ සතියේ දිවයින පුවත්පත ද බ්ලැක් ලයන් වලිගය අල්ලාගෙන තිබේ.


දිවයිනේ ලිපියට සබඳතා පුරුක මෙන්න.


මෙවැනි කල්ලියක් පාසලක තිබෙන බව දන්නේ නම් මුලින් ම කළ යුතුව තිබෙන්නේ ඒ පිළිබඳව පාසලේ පරිපාලන හා විනය අංශ වෙත ඒ පිළිබඳව සොයා බලන ලෙස දැන්වීමයි. නැතිනම් පොලිසියට පැමිණිලි කිරීමයි. අවශ්‍ය නම්, රහස් පොලිසිය හෝ යොදවා පරීක්ෂණයක් පැවැත්විය හැකි ය. පත්තරකාරයන් කියන හැටියට එතරම් රහසිගත සංවිධානයක ස්වරූපයක් දක්නට නැති මෙම සංවිධානය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට පොලිසියට පැයක්වත් ගත විය නො හැක.


එහෙත්, මෙම සංවිධානය ගැන දන්නා බව කියන පුද්ගලයෝ පිරිසක් එසේ නො කර ජනමාධ්‍ය වෙත ගොස් තමන් දන්නා ඕපාදූප ටිකට අතින් පයින් ද තවත් දේ දමා පත්තර පිටු පුරවති. ඇතැම් විට කිසිදු සම්බන්ධයක් නැති ඡායාරූප පවා ඒ සමග පළ කරනු දක්නට ලැබේ. නිදසුන් සඳහා පසුගිය සතියේ ඉරිදා ලංකාදීප බලන්න.


මේ වනාහි නිවේදකයන් පත්තරය තමන්ට ඕනෑ හැටියට රූපවාහිනියෙන් කියවන යුද්ධයක් නැති අලුත් ශ්‍රී ලංකාවේ ලාභ අඩු වී තිබෙන පුවත්පත් සිය අලෙවිය වැඩි කර ගැනීම සඳහා යොදා ඇති අලුත් ම උප්පරවැට්ටිය බව අපි යෝජනා කරමු. දැන් ඉස්සර මෙන් පුනරුත්පත්ති කතා එතරම් හොඳින් අලෙවි නො වන නිසා මොවුන්ට නව ක්‍රම සොයා ගැනීමට සිදු වී ඇත. 


ඔවුන් විසින් අල්ලා තිබෙන්නේ හොඳ නාඩියකි. ලංකාවේ පාසල් වියේ දරුවන් ජීවත් වන අනාරක්ෂිත වටපිටාව තුළ ආතතියෙන් දවස ගෙවන දෙමව්පියන් බිය වැද්දීමට මෙය ඉතා හොඳ උපායකි. 


මේ ප්‍රචාරය හේතුවෙන් හෙට අනිද්දා වන විට ලංකාවේ පාසල්වල බ්ලැක් ලයන්ලා, බ්ලැක් ටයිගර්ලා ආදී විවිධ කල්ලි බිහි වන්නට හෝ බිහි වී ඇති බවට කටකතා පැතිරෙන්නට ඉඩ තිබේ. මේ පුවත්පත් කියවන ගැටවර වියේ නිර්මානාත්මක හා නිර්භීත ළමුන් ඇත්තෙන් ම මෙවැනි කල්ලි අත්හදා බලන්නට ඉඩ තිබේ. 


පාසල් වියේ දරුවන් අතර හැමදාමත් සම වයස් කණ්ඩායම් ගැසීම් තිබිණි. මේ පුවත්පත් විසින් ඒවාට නව ප්‍රචණ්ඩ හැඩරුවක් හඳුන්වා දී ඇත. ලංකාවේ පවතින, නීතියේ පාලනයෙන් තොර තත්වය හා පාලනයේ තිබෙන මාෆියා ස්වරූපය හමුවේ මෙම ආකෘතිය විශේෂයෙන් ම නව යොවුන් වියේ දරුවන් අතර ජනප්‍රිය වන්නට ඉඩ තිබේ. 


ජනමාධ්‍යවලට හොද්ද බොර කර ගැනීමට මෙය හොඳ මාර්ගයකි. පාසල්වල සිසුන් අතින් එදත් සිදු වූ, අදත් සිදු වන වැරදි හෙට සිට මාෆියා කල්ලි විසින් සිදු කරන අපරාධ ලෙස හදුන්වා ප්‍රවෘත්ති නිර්මානය කළ හැකි ය. 


මොවුන් මේ සෙල්ලම් කරනුයේ අනාගත පරම්පරාවල ජීවිත මතිනි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-10-29

අන්තරේට ඇඩ්‍රස් නැති වෙන්න දෙන්න මෙන්න පාර! | A method to chase Inter University Students' Federation away from Sri Lanka's universities

(2010 ඔක්තෝබර් 29, W3Lanka) පසුගිය මැතිවරණ කිසිවකදී මේ රටේ ජනතාව ජවිපෙ කියන දෙයක් අසන බව ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට පක්ෂපාතී මාධ්‍ය කීවේ නැත.


එසේ ම, ජනතාව ජවිපෙට රැවටෙන්නේ නැති තරමට බුද්ධිමත් බව ද කියන ලදී. එහෙත්, දැන් හදිසියේ ම ජවිපෙට හා ජවිපෙ විසින් මෙහෙයවනු ලබන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට රැවටුණ ශිෂ්‍ය පිරිසක් විශ්වවිද්‍යාලවලින් බිහි වී ඇත. ගෝඨාභය රාජපක්ෂට වඩා ජවිපෙට කවුරුවත් බිය විය යුතු නැති වුවත්, ආණ්ඩුවේ ජනමාධ්‍ය කියන පරිදි සරසවි සිසුවෝ පමණක් අන්තරේට බියේ පෙළපාලි යති. බියේ යන පෙළපාලි අතරමැද හතර වටෙන් ආරක්ෂාවට සිටින පොලිසිය වෙත දිව ගොස් භාර විය හැකි මුත් ඔවුහු එසේ නො කරති. ඒ ඇයි?


අප සිතන පරිදි නම්, සරසවි සිසුන් වීදි බස්සන්නට අන්තරේට හැකි වී තිබෙන්නේ ඔවුන්ට තිබෙන ගැටලු නිසා ය. ඒ ගැටලුවලට විසඳුම් දුන්නා නම් අන්තරේට ඇඩ්‍රස් නැති වනු ඇත.


විශ්ව විද්‍යාලයේ අන්තරේට විකල්ප 'ශක්තිමත්' සංවිධාන හිමි කරගෙන සිටින බව කියන විමල් වීරවංශ වැනි ඇමතිවරු විශ්ව විද්‍යාල තුළ ඇති ප්‍රශ්න හොඳින් දන්නවා ඇත.


පහත පළ වන්නේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දන්නා දේ කීපයකි. උපුටා ගත්තේ ජවිපෙට සම්බන්ධ ලංකා ටෲත් වෙබ් අඩවයෙන් හා දිවයින පුවත්පතෙනි.




  • මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ විෂය නිර්දේශ අලුත් වී නෑ. විෂය නිර්දේශ අලුත් කිරීම සදහා කිසිදු වැඩපිළිවෙලක් ආණ්ඩුවට නෑ.
  • ඒ වගේමයි විශ්වවිද්‍යාල පද්ධතියේම විශාල ගුරුවරු හා උපකරණ හිඟයක් පවතිනවා. රුහුණ සරසවියේ සිසුන් 1602කට දේශන ශාලා තිබෙන්නේ 03යි පුටු තිබෙන්නේ 400යි. එක් ළමයෙක් දේශනයේ ඉන්න විට දෙදෙනෙක් එළියේ ඉන්න සිදුවෙලා තිබෙනවා.
  • ලංකාවේ ක‍්‍රිඩා උපාධියක් දෙන එකම සරසවිය සබරගමුව සරසවියයි. නමුත් ක‍්‍රිඩා පිට්ටනියක් නෑ.
  • කැළණිය සරසවියේ සිසුන් 8200ක් ඉන්නවා. පුස්තකාලයේ පහසුකම් තිබෙන්නේ 800 කට පමණයි.
  • රජරට සරසවියේ වෛද්‍ය පීඨයක් ආරම්භ කළා. ඔවුන්ට අවශ්‍ය කිසිදු පහසුකමක් එහි නැහැ. ඔවුන් දැන් අවසන් වසරට පැමිණ තිබෙනවා අවසන් වසරේදී ක්ෂේත‍්‍ර පහක් යටතේ මහාචාර්යවරු 05 දෙනෙක් යටතේ හැදෑරීම් කළ යුතුයි නමුත් එකදු මහාචාර්යවරයෙක් වත් එහි නෑ.
  • කැළණිය සරසවියේ ලලිත කලා හා නැටුම් පීඨයේ සිසුන් 200ක් ඉන්නවා නමුත් එහි එකදු ආචාර්යවරයෙක්වත් නැහැ. සියලු දෙනා තාවකාලිකව පිටතින් එන්නන්.
  • සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ සිසුන් 1300 ක්‌ ඉන්නවා. ඒත් ඒ සියලුම දෙනාට පාවිච්චි කරන්න තියෙන්නේ බට නළා පහයි, සිතාර් අටයි, වයලීන හයයි.
  • කැලණියේ සිසුන් 8200 ක්‌ හිටියත් නේවාසිකාගාර පහසුකම් තිබෙන්නේ සිසුන් 2300 කට විතරයි. කාන්තා නේවාසිකාගාරයේ සිට සරසවියට පැමිණිය යුත්තේ කිලෝ මීටර් අටක්‌ දුර ගෙවා ගෙන. ඒ සිසුවියන් ප්‍රවාහනය සඳහා දුන් බස්‌ රථයත් අද නතර කරලා.
  • ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීම් සිදුකරන්නේ නෑ.


"ආණ්ඩුව මෙයට විකල්පයක් වශයෙන් ගෙනෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමයි. මේ රටේ දුප්පත් දුවා දරුවන් සරසවි අධ්‍යාපන හැදෑරීමට සුදුසුකම් ලබන්නේ නිදහස් අධ්‍යාපනය හේතුවෙනුයි. පොරමඩුල්ලේ විදුහලේ ඉගෙන ගත් එස්.බී.දිසානායක අධ්‍යාපන ඇමැති දක්වා පැමිණෙන්නේ නිදහස් අධ්‍යාපන අයිතිය තිබුන නිසයි." - අනුර කුමාර දිසානායක


නිදහස් ය කියන කිසි දෙයක් නිදහස් නැත. ඒ වෙනුවෙන් ජනතාව බදු ගෙවති. එදාත්, අදත් එය එසේ ම ය. උසස් අධ්‍යාපනය රජය විසින් නො මිළේ ලබා දිය යුතු ව ඇතැයි අපි නො කියමු. ඒ වෙනුවට, සිදු විය යුතුව තිබෙන්නේ ජනතාවට පහසුවෙන් ලබා ගත හැකි අන්දමට උසස් අධ්‍යාපනය පුළුල් වීමයි. 2011 වසරේදී ආරක්ෂාව සඳහා රු. බිලියන 215ක් වැය කිරීමට ඇස්තමේන්තු කර තිබෙන ආණ්ඩුව උසස් අධ්‍යාපනයට වෙන් කර ඇත්තේ එයින් දහයෙන් පංගුවක් වන බිලියන 21ක් පමණි.


විශ්ව විද්‍යාල මුදා ගැනීමේ මෙහෙයුමක අවශ්‍යතාව ගැන කතා කරන ආණ්ඩුවට කළ හැකි දෙයක් නම් ආරක්ෂාවට හෙවත් ඉහත කී ආකාරයේ මෙහෙයුම් සඳහා වෙන් කර ඇති මුදලින් තව දහයෙන් එකක්වත් වෙන් කර සරසවිවල මූලික ප්‍රශ්න විසඳීමයි. එවිට සරසවි සිසුන් දහස් ගණන් අත්අඩංගුවට ගෙන ආණ්ඩුවේ බෝඩිමෙන් කන්නට දෙන්න හෝ අන්තරේට එරෙහි මෙහෙයුම් දියත් කර සරසවි වන්නියක් බවට පත් කරන්න‍ට හෝ උදුල් ප්‍රේමරත්නගේ වෙල්ලමුල්ලිවයික්කාල් නිර්මානය කරන්නට හෝ කරදර වන්නට සිදු නො වනු ඇත.


ජනතාවගෙන් අසීමිතව සූරා කන බදු ආදායමින් එසේ නො කරන ආණ්ඩුවක් විශ්ව විද්‍යාල පෞද්ගලීකරණය පිළිබඳ කතා කිරමේ සාධාරණත්වයක් නැත. අප ජවිපෙ සමග බොහෝ කාරනාවලදී එකඟ නො වන මුත් අනුර කුමාර දිසානායක කියන පහත කරුණ ප්‍රතික්ෂේප කිරීමට හේතු වන තරමේ සාධාරණත්වයක් ආණ්ඩුවේ ක්‍රියා තුළ නැත.


"මෙම පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ සුපිරි පවුල්වල කීපදෙනකු අරමුණු කරගෙනයි. මේ රටේ ජනතාවගෙන් 41% ගේ දවසේ ආදායම රුපියල් 200ට වඩා අඩුයි. මෙසේ වන ජීවන තත්ත්වයක් උඩ කොහොමද මේ රටේ දුප්පත් අම්මලගේ තාත්තලගේ දරුවන් මේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවන්නේ. මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ලක්‍ෂ 80යි මාසෙක වියදම රු.135,000යි. එසේම, අනෙක් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සාමාන්‍ය උපාධියක් ලක්‍ෂ 38ක් වෙනවා. මාසෙකට වියදම 106,,000 යි මෙවැනි වියදමක් දරා තමන්ගේ දරුවන්ට ඉගැන්විය හැක්කේ කීයෙක් කී දෙනාටද? ඒ නිසා මේ සිදුකරන්නේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සාම්ප‍්‍රදායික විශ්වවිද්‍යාල බවට පත් කර සුපිරි පිරිසක් අතට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමයි. ඒ නිසා මෙවායින් පෙනී යන්නේ ආණ්ඩුවට අධ්‍යාපනය සදහා මුදල් වෙන් කිරීමේ අදහසක් නෑ වෙන්කරනවා කියූ මුදල් වෙන් කරන්නේ අඩුවෙන් වෙන් කරන මුදලින්ද ඇමැතිවරයා කෝටි දෙකහමාරක් යොදවා වාහන ගන්නවා."


සෞන්දර්ය සිසුන්ට බට නළා නැති මුත් විශ්වවිද්‍යාලවලට උපකරණ ගැනීමට වෙන් කළ මුදලින් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා රුපියල් දෙකෝටි විසිහතර ලක්‍ෂයක්‌ වැය කර ලෑන්ඩ් කෲෂර් රථයක්‌ මිලට ගෙන ඇති බව අනුර කුමාර චෝදනා කරයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

මාධ්‍ය තුළින් ඇහැ ගිනි කණ වට්ටන සංවර්ධනය හා ලාංකිකයන්ගේ ජීවිතවල සංවර්ධනය

(2010 ඔක්තෝබර් 29, W3Lanka) ජනමාධ්‍ය තුළ නම් ලංකාව අධි වේගයෙන් සංවර්ධනය වෙමින් තිබේ. ඒක පුද්ගල ආදායම කිසි කිසි ගා දෙගුණ වෙමින් ඇත. ලංකාවට මේ වසරේ තව ම සංචාරකයන් ලක්ෂ පහක් ආවේ නැති මුත්, සංචාරකයන් ලක්ෂ 25ක් එන ලංකාවක් ගැන මාධ්‍ය කතා කරති. 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා සත්කාරක නගරය තෝරා ගන්නේ 2011 නොවැම්බරයේ මුත්, ලංකාවේ මාධ්‍ය කියන පරිදි හම්බන්තොට ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ගෝල්ඩ් කෝස්ට් නගරය පරදවා ඒ තැන අත් පත් කරගෙන හමාර ය. මාධ්‍යවලින් මැවෙන සිහිනය අනුව, හම්බන්තොට සුර පුරයක් වී හමාර ය. 


ලංකාවේ පරිගණක සාක්ෂරතාව යන්තම් 20% ඉක්මවූවා පමණි. ආණ්ඩුවේ ඊ රාජ්‍යය ඊ ග්‍රාමසේවක දක්වා පැතිරී ඇති බව මාධ්‍යවලින් ප්‍රකාශ කෙරේ. නුදුරු අනාගතයේදී හැම ගෙදරකට ම අන්තර්ජාලය දෙන බව ජනාධිපති කියයි. එහෙත්, ලංකාවේ නිවෙස්වලින් 15%කට විදුලිය නැති බව කියන්නේ ද ඒ ආණ්ඩුව ම ය.


ජනතාව සංවර්ධන වන්දනාවේ යති. වරාය බලන්නට ගිය අයට දැන් මත්තල හැදෙන ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලන්නට යන්නට පුළුවන. ඊළඟට දක්ෂිණ අධිවේගී මාර්ගය බලන්නට යා හැකි ය. ඉන් පසු ගාලු මුවදොර ගොඩ කරන හැටි පෙන්විය හැකි ය.  


ඉහළ යන බඩු මිළ, රහ-ගුණ කෑම නැතිකම, රැකියා නැතිකම, කෘෂි නිෂ්පාදනවලට සාධාරණ මිළක් නො ලැබීම, සුළු කර්මාන්ත බිඳ වැටීම, මහාමාර්ග, විදුලිය වැනි පොදු යටිතල පහසුකම් ගරා වැටීම, ළමයින්ට පාසල් නැති වීම, ලෙඩ රෝග පැතිරීම, ධනවතුන් තවත් ධනවත් වෙද්දී දුප්පතුන් තවත් දුප්පත් වීම, සමාජ අනාරක්ෂාව, අපරාධ වැඩි වීම, මානසික ආබාධ, ලිංගික අසහනය වැනි දෛනික ජීවිතය සමග හැලහැප්පෙන ප්‍රශ්න තාවකාලිකව අමතක කරවන ඇස් ගිනි කණ වැටෙන එළියක් මෙම සංවර්ධන ව්‍යාපෘතිවලින් ලබා ගත හැකි ය.


තමන්ට අධ්‍යාපන චාරිකා සඳහා ස්ථාන පමණක් වන වරායවලින්, ගුවන් තොටවලින් හා අධිවේගී මාර්ග ආදියෙන් ගලා එන සංවර්ධනය තම තමන්ගේ පෞද්ගලික ජීවිතවලට කාන්දු වන ආකාරය පිළිබඳ තේරුමක් නැති මුත් මේවා බලා මිනිසුන්ට රූපවාහිනිය බලා සතුටු වන්නා සේ සතුටු විය හැකි ය.


මේ ප්‍රමෝදය පිළිබඳ විකල්ප අදහස් ලියන්නන් ඇතැමුන්ට පෙනෙන්නේ ඉරිසියාකාරයන් ලෙසයි. එහෙත්, සමාජවාදීන්, වාමාංශිකයන්, ජනතාවාදීන් අද පමණක‍් නො ව හැමදාමත් සංවර්ධනය ලෙස හඳුනා ගන්නේ දැවැන්ත ඉදි කිරීම් නො ව ජන ජීවිතයේ සිදු වන දියුණුවයි. මෙය කියවන හා නො කියවන ඔබ අප සැමට සෞඛ්‍යාරක්ෂිත, පෝෂණ ගුණයෙන් යුතු ආහාර වේලක් සකසා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය පහසු මිළකට ළඟ ම ඇති කඩයෙන් ලබා ගත හැකි නම්, ඔබේ දරුවාට පහසුකම් සහිත පාසලකින් හොඳ අධ්‍යාපනයක් ලබා දිය හැකි බව සහතික නම්, ලෙඩට, දුකට ළඟ ම රෝහලෙන් පහසු මිළකට ගුණාත්මක වෛද්‍ය සේවාවන් ලබා ගත හැකි නම්, රැකියාවෙන් ලැබෙන වැටුප හෝ ආදායම් මාර්ගය හෝ ඔබේ සාමාන්‍ය අවශ්‍යතාවන් සපුරා ගැනීමට ප්‍රමාණවත් නම්, ඔබේ නිවසට ආසන්න ප්‍රධාන මාර්ගයවත් හොඳ තත්වයක තිබේ නම්, හොඳ පොදු ප්‍රවාහන සේවාවක් තිබේ නම්, ඔබට හා ඔබේ දරුවන්ට ජීවත් වීම සඳහා කරන්නට රැකියාවක් හෝ අන් ආදායම් මාර්ගයක් තිබේ නම්, අප අවට බැලූ බැලූ අත දිළිඳුකම දුරීභූත වී තිබේ නම්, අපරාධකරුවන්ගෙන් රට ආරක්ෂිත නම් ආදී වශයෙන් වේ නම් අපි රට සංවර්ධනය වි ඇති බව සිතමු. 


ආතර් සී ක්ලාක් 2001: A Space Odyssey නම් නවකතාව 1968දී පළ කරන විට ඔහු කියූ දේ සැබෑ වූවා නම්, 2000 වන විට හ‍ඳේ ජනාවාස හැදී තිබිය යුතු ය. මාධ්‍ය මගින් මවන සිහින යථාර්ථයන් බවට පත් නො වන්නේ විරුද්ධවාදීන්ගේ ඉරිසියාව නිසා නො වේ.


විද්‍යා ලේඛකයකු වූ ආතර් සී. ක්ලාක් සිය අනාවැකි කීම සඳහා උපයෝගී කර ගත්තේ විද්‍යාත්මක දැනුම පමණි. එහෙත්, ලෝකයේ සංවර්ධනය සිදු වන්නේ විද්‍යාවෙන් පමණක් නො ව, දේශපාලනයේ හා ආර්ථිකයේ ද බලපෑමෙන් යුතුව ය.


ලංකාවේ සංවර්ධනය ද හුදෙක් ම මාධ්‍ය මවා පෑම්වලින් තීරණය කළ නො හැකි ය. එය තීරණය වන්නේ රටේ සාමය චිරස්ථායී වීම, ආර්ථිකය මැනැවින් හැසිරවීම, යහපාලනය, ආයෝජක ආකර්ශනය, දේශීය කර්මාන්ත දියුණු වීම, කෘෂිකර්මාන්තයේ සංවර්ධනය, සංචාරකයන් පැමිණීම, යහපත් දේශගුණය, ස්වාභාවික විපත්වලින් තොර වීම ආදී කාරණා රැසක් ඔස්සේ ය.


ලංකාවේ ආණ්ඩුව මේ වන විට අති විශාල වශයෙන් දේශීය හා විදේශීය වශයෙන් ණය ගනිමින් සිටියි. ණය ගන්නට පුළුවන්කම ආර්ථික ශක්තියක ප්‍රකාශනයක් වන මුත්, ගන්න පුළුවන් කාලයේ ලවක්, දෙවක් නැතිව ණය අරගෙන මුදල් නාස්ති කිරීමෙන් මහා විනාශයක් නිර්මානය වීමට ඉඩ තිබෙන බව මොළය ඇති ඕනෑ ම මිනිසකුට වැටහිය යුතු ය.


ණය බර වැඩි වන විට ණය වාරික හා පොළිය ද වැඩි වේ. දැනටත්, රජයේ වාර්ෂික ආදායමෙන් 90%ක් පමණ වැය වන්නේ දේශීය හා විදේශීය ණය සඳහා ය. විදේශ ණය ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 40%ක් පමණ වේ.


ලංකාව විවෘත මුල්‍ය වෙළඳපොළෙන් දිගින් දිගට ම ණය ලබා ගන්නට සමත් වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දෙන ලද ණය මුදල ඇමරිකාවේ බැංකුවල තැන්පත් තර විදේශ සංචිත ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකි වී තිබීම නිසා ය.


ඒ අතින් බැලූ කල ලංකාවේ විදේශ විනිමය සංචිතය ද විදේශ ණය සංචිතයකි. බංකොලොත් මට්ටමේ ඇති ආර්ථිකයක් වන ලංකාවට ණය ලබා ගැනීමට හැකි වන පරිදි කෘත්‍රිමව විදේශ විනිමය සංචිතයක් නිර්මානය කිරීමණය ගත් ඉඩමක් ඇපයට තබා තවත් ණය ගැනීම වැනි ය.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-10-28

සරසවි සිසුන්ගේ ලුම්පන් අම්මලාගේ නාසි සංදර්ශන, ගොබෙල්ස් මීඩියා හා සරසවිය මුදා ගැනීමේ මෙහෙයුම

ලු(2010 ඔක්තෝබර් 28, W3Lanka) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය කෙරෙහි දැඩි විරෝධය පළ කරමින් සරසවි සිසුන්ගේ මවුපියන් ප්‍රමුඛ කැලණිය ප්‍රදේශවාසීහු කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (27) උද්ඝෝෂණයක නිරත වූ බව අද දිනමිණ වාර්තා කර තිබේ.


මේ මවුපියන් ප්‍රමුඛ කැලණිය ප්‍රදේශවාසීන්ගේ හැසිරීම දැක බලා ගන්නට අවශ්‍ය නම් ඩේලි මිරර් පුවත්පතේ මෙම වීඩියෝව බලන්න.


ඔවුන් අම්මලා, තාත්තලා වන්නට පුළුවන. එහෙත්, ඔවුන් කී දෙනෙකු සරසවි සිසුන්ගේ අම්මලා, තාත්තලා ද යන්න සොයා බැලිය යුතු ය. 'කාගෙ ද මේ බලවේගේ - මර්වින්ගේ බලවේගේ' යන සුපුරුදු සටන් පාඨය කටින් පිට වීම වළක්වා ගත නො හැකි මෙම බීමත් මැරවර පිරිස සරසවි සිසුවකුට අඩන්තේට්ටම් කරන ආකාරය අද පුවත්පත් රැසක පළ වූ ඡායාරූපවලින් පෙනේ.


මෙම උද්ඝෝෂණයේදී ගැහැනුන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන ආකාරය හා සරසවි සිසුවකුට අඩන්තේට්ටම් කරන ආකාරය දැක ගත හැකි ය. ඒ අතරින් එක් ගැහැනියක වන්නේ දිනමිණට අනුව 'එම අවස්ථාවට සහභාගි වූ බියගම කාන්තා සංවිධානයේ සාමාජිකා බිමල්කා පොත්තෙවෙලයි.'


දිනමිණ කියන අන්දමින් නම් 'ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව සිටි අතර උද්ඝෝෂණයෙන් අනතුරුව ඔවුහු සාමකාමීව විසිර ගියහ.' සරසවි සිසුවකුට පහර දීමක් පිළිබඳව කිසිවක් එහි සඳහන් වන්නේ නැත.


දිවයින පුවත්පතේ මුල පිටුවේ ම මැරවරයන්ගෙන් බේරී දුවන සරසවි සිසුවාගේ ඡායාරූපයක් පළ කර ඇති අතර, 'උද්ඝෝෂකයින් අතරට පත්වූ සරසවි සිසුවා ජංගම දුරකථනයෙන් එම ස්‌ථානයේ සිට ඔත්තු සැපයූ බවට තොරතුරු ලැබී ඇති අතර ඔහු උද්ඝෝෂකයින් දෙසට ගලකින් පහරදුන් බවට තොරතුරුත් ලැබුණු බවද විශ්වවිද්‍යාලයීය ආරංචි මාර්ග' කියන බව දිවයින කියයි.


එය සැබෑ නම්, මූ නම් මාර කොල්ලෙකි. මර්වින්ගේ උද්ඝෝෂණයක් ළඟට තනියෙන් ගොස් ගලක් ගසන්නට බය නැති මද්දුම බංඩාර වැනි වීරයෙකි. නැතිනම් දිවයිනට මෙම වාර්තාව ලියූ නිලන්ත මදුරාවල සහ නෝමන් පලිහවඩන මාර ම වීරයන් දෙදෙනෙකි. කෙහොමද රටේ ප්‍රධාන පෙළේ පුවත්පතක මුල පිටුවේ පළ වන පුවතක මූලාශ්‍ර! විශ්වවිද්‍යාලයීය ආරංචි මාර්ග!


සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් යක්ෂාරෝපණය කිරීම පිණිස ඇමති එස්.බී. දිසානායක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහනකදී මෙසේ කියයි.


"එක් දවසක් සරසවියක පැවැති උත්සවයකදී එක් ශිෂ්‍යාවක් මට ලිපියක් භාර දුන්නා. අන්තරේ අයියලාගේ තරම එම ලිපියෙන් පැහැදිලි වුණා යැයි කී උසස් අධ්‍යාපන ඇමැතිවරයා එම ශිෂ්‍යාව කී කතාව සිහිපත් කෙළේය. 'මා ඇතුළු ශිෂ්‍යාවන් පිරිසක් කැට ව්‍යාපාරයකට එක්කගෙන ගියා. අපට දවල් ආහාරය ගෙනැවිත් දුන්නා. ආහාර ගත්තට පස්සේ සිහිය නැතිවුණා. පසුවදා ඇහැරිලා බලනකොට අපි ඉන්නේ ලොකු අයියලාගේ ඇඳන්වල' ලිපියේ සඳහන් විය."


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට එරෙහි මෙහෙයුම අද වන විට ළඟා වී තිබෙන මට්ටම මෙවැනි ය. පැහැදිලි මූලාශ්‍ර නොමැති මෙම ඕපාදූප කතාවලින් ප්‍රධාන වශයෙන් ම ප්‍රකාශ වන්නේ එම කතා පතුරුවන්නන්ගේ යටපත් කර ගත් කාමාශාවන් වන මුත්, මේ කතා ජනමාධ්‍ය විසින් ජන මනස තුළ පැළ කරමින් තිබේ.


මෙවැනි මාධ්‍ය මෙහෙයුම් වන්නියට පහර දීමට පෙර ද දියත් විය. ඒ කාලයේ ඒවා ගිල්ල හා පැතිරූ ප්‍රධාන බලවේගයක් වූයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා එයට නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණයි.


දැන් පතුරුවන අදහස අනුව, සරසවි සිසුන් වනාහි අන්තරේ කියන, කියන අන්දමට නටන බියපත් පඹයන් පිරිසකි. ඔවුන් උද්ඝෝෂණ කරන්නේ ඔවුන්ට මුහුණ දීමට සිදු වී තිබෙන ප්‍රශ්න නිසා නො ව, ජවිපෙ දේශපාලන න්‍යාය පත්‍රය නිසා ය. මීට පෙර, දෙමළ ජනයා ගැන දකුණට කියුවේ ද එසේ ම ය.  


හිට්ලර්ගේ නාසි ජර්මනියේ තිබුණු බලවේගයන් හා සමාන  'ජනතාව හෝ මව්පියන්' හෝ ලෙස තමන් හඳුන්වා ගනිමින්, සරසවි සිසුන් දුටු කල පැහැරගෙන, අඩන්තේට්ටම් කරන බලවේගයක් ද ආණ්ඩුව විසින් බලමුළුගන්වා ඇත.  


ගොබෙල්ස්ගේ ප්‍රචාරක යාන්ත්‍රණය සදිසි මෙහෙයවීමකින් ක්‍රියා කරන ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් පමණක් නො ව සරසවි සිසුන් ද යක්ෂාරෝපණය කර තිබේ. 


සරසවි සිසුන්ට එරෙහි මේ මහා බලය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ පවා අසරණ වී ඇත.  එහෙත්, මේ වනාහි මේ ආකාරයේ පළමු මෙහෙයුම නො වේ. මීට පෙර, දෙමළ අරගලය පොඩි පට්ටම් කිරීම පිණිස මෙහෙයුම දියත් වූයේ ද මේ ආකාරයෙන් ම ය. එකල, වර්තමාන පීඩිතයන් වන අන්තරේ හා ජවිපෙ සිටියේ පීඩක පාර්ශ්වයේ ය. 


අද අන්තරේ පසුපස හඹා එන්නා සේ ම හෙට ජවිපෙ පසුපස ද අනිද්දා සිට සෙසු අය පසුපස ද පරිද්දෙන් වර්තමාන ව්‍යසනයේ නිර්මාතෘන් සියලු දෙනා පසුපස මෙම වියරුව හඹා එනු ඇත. 


තමන් අසු වී සිටින්නේ කුමන විෂම චක්‍රයකටදැයි වටහා ගැනීමට සිදු වන දේ ඉවහල් කර ගැනීමට මේ රටේ බුද්ධිමත් මිනිසුන් සමත් විය යුතු ය. අද සරසවි සිසුන් මත මුදා හැර තිබෙන මේ කෲර මර්දනය වැළැක්වීමට ජනතාව ඉදිරියට ආ යුතු ය.


මේ පාර කපමින් තිබෙන්නේ තවත් මහා ව්‍යසනයකටයි. රැකියා නැතිකමින්, සමාජ අනාරක්ෂිතභාවයෙන් හා අපේක්ෂා භංගත්වයෙන් අසහනයට පත් වූ තවත් තරුණ  පරපුරක් බිලි ගැනීම සඳහා  පිඹුරුපත් දැන් සැකසෙමින් තිබේ. පාලකයන්ගේ පැවැත්ම ඇත්තේ ජනතාවට එරෙහි යුද්ධ මතයි. ඒ සඳහා, එක් පෙරමුණක යුද්ධයක් අවසන් වන විට තවත් පෙරමුණක යුද්ධයක් ආරම්භ කළ යුතු ව තිබේ. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-10-27

ආණ්ඩුවේ අලුත් සතුරෝ: උදුල් ප්‍රභාකරන්, අන්තරේ කොටි හා සරසවි දෙමළු

(2010 ඔක්තෝබර් 27, W3Lankaකොටින්ගේ පරාජයෙන් පසු ආණ්ඩුවට ශක්තිමත් සතුරකු ඕනෑ වී තිබිණි.


දෙමළ ඩයස්පෝරාව කලක් සතුරාගේ භූමිකාව රඟ දක්වමින් සිටියේ ය. එහෙත් ශක්තිමත් සතුරකු නො වූ හෙයින් ආණ්ඩුවට පහසුවෙන් එය පසුබැස්විය හැකි විය. 


එක්සත් ජාතික පක්ෂය පමණක් නො ව ජනතා විමුක්ති පෙරමුණ පවා ශක්තිමත් සතුරකු සැපයීමට අසමත් ය. 


සතුරකු නැතිව පැවතිය නො හැකි ය. ආණ්ඩුව තම පාක්ෂික බලවේගය හැම විට ම නඩත්තු කළේ සතුරකුට එදිරිව සටන් කිරීමටයි. එසේ ම, සිය සියලු නො හැකියාවන් වසා ගත්තේ ද සතුරා පෙන්වමිනි. 


බඩු මිළ ඉහළ යාම, ණය බර වැඩි වීම, පොරොන්දු කඩ කිරීම මධ්‍යයේ විරැකියාව, ජීවන වියදම ඉහළ යාම වැනි තත්වයන් හමුවේ මහජන අසහනය වැඩි වීම නිසා දැන් සතුරාගේ පුරප්පාඩුව ආණ්ඩුවට තද බල ලෙස දැනේ. 


ඔන්න දැන් සතුරා සොයාගෙන ඇත. 


ආදේශ වීම මෙසේ ය:


දෙමළා සරසවි සිසුවා ය. 


කොටි අන්තරේ ය.


ප්‍රභාකරන් උදුල් ප්‍රේමරත්න ය.


වන්නිය සරසවි ය.


මුදා ගැනීමේ මෙහෙයුම සඳහා සරත් ෆොන්සේකා එස්.බී. දිසානායකයි.


මුදා ගැනීමේ මෙහෙයුම ඉක්මණින් සිදු නො වනු ඇත. මාධ්‍ය මෙහෙයුම දැනටමත් ජයට ම සිදු වේ. සිසුන්ට එරෙහිව මාපියන් කරන උද්ඝෝෂණ වැනි විකෘති සංදර්ශන ද ආරම්භ කර තිබේ. 


මානුෂික මෙහෙයුමට පෙර අවුරුද්දක්වත් කල් අල්ලනු ඇත. ඒකාලය තුළ අධ්‍යාපනය කඩාකප්පල් කර සරසවි සිසුන්අධ්‍යාපනයෙන් හාමත් කර රජයේ සරසවි පද්ධතියෙන් පළා යාමේ අවශ්‍යතාව ඇති කළ හැකි ය.


ඒ අතර සරසවි කොටි විභාග ලියන සිසුවියන්ට ගූ ගැසීම වැනි මෙහෙයුම් ඔස්සේ සිය වල සියතින් ම කපා ගන්නවා ඇත. 


මානුෂික මෙහෙයුම අවසන් වන විට අන්තරේ ද ඩයස්පෝරාවක් වනු ඇත. සරසවිය ද වන්නිය මෙන් සංවර්ධනයට හෙවත් පෞද්ගලීකරණයට විවෘත වනු ඇත. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-10-26

මංජු වන්නිආරච්චිලාගේ රත්තරං රැක ගත හැක්කේ කෙසේ ද?

(2010 ඔක්තෝබර් 26, W3Lanka)පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙලේ බොක්සිං රන් පදක්කම්ලාභී මංජු වන්නිආරච්චි නැන්ඩ්‍රලෝන් නම් තහනම් උත්තේජකය පාවිච්චි කර ඇතැයි නැඟුණ චෝදනාවෙන් පසු, යමකු මලල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් ලබා ගන්නේ නම්, එය තම ජනප්‍රියත්වයට ඉවහල් කර ගැනීම සඳහා ජනාධිපතිතුමා එම පුද්ගලයාට දුරකථන ඇමතුම් දීම වැනි කාර්යයන් කිරීම ක්‍රීඩකයාගේ මුත්‍රා සාම්පල වාර්තාව එන තෙක් ප්‍රමාද කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය.


වාසනාවට කලින් වතාවේ සුසන්තිකා සම්බන්ධයෙන් ලංකාව කටයුතු කළ අන්දමින්, මේ වනාහි අප වැනි පුංචි රටක ක්‍රීඩකයකුගේ නැඟීමට ඉරිසියා කරන මහ බලවතුන් විසින් කරනු ලබන කුමන්ත්‍රණයකැයි කියමින් රට තුළ බාල දේශප්‍රේමය අවුළුවා සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රය ම අවුල් කරන ස්වභාවයක් නම් තවම දක්නට නැත. 


2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීම සඳහා සිහිනයක් ද නිර්මානය කෙරෙමින් තිබේ. 


ප්‍රධාන ක්‍රීඩා උලෙලක් කිසියම් නගරයක පැවැත්වීම ක්‍රීඩාවට එහි ගිය ආර්ථික, දේශපාලන තරගයක ප්‍රකාශනයකි. 


ක්‍රීඩා උළෙලක සත්කාරක රට එම උළෙලේදී යම් තරගකාරී මට්ටමක සිටීම අත්‍යවශ්‍ය ය. 2018 පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙල ලංකාවේ පැවැත්වුවත්, ලංකාව එවැනි මට්ටමක සිටීවි ද?


ක්‍රීඩාවෙන් සාර්ථකත්වයක් අත් පත් කර ගැනීම කෙටි කාලීනව කළ නො හැකි ය. ඒ සඳහා මනා දීර්ඝ කාලීන සැලසුම් අවශ්‍ය ය. අඩු තරමේ වසර 2000දී හෝ මේ සඳහා වැඩපිළිවෙලක් යෙදුවේ නම් 2018 වන විට නැන්ඩ්‍රලෝන් වැනි තහනම් උත්තේජක නැතිව පදක්කම් කීපයක් හෝ දිනා ගත හැකි මට්ටමකට ලංකාවට එන්නට තිබිණි. 


දැන් හෝ මුල පුරනවා නම්, 2030දී හෝ යම් සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට හැකි වනු ඇත. එහෙත්, ලංකාවේ ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ කිසිදු විධිමත් සැලැස්මක් තිබේ ද? 


ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය සඳහා ගත හැකි හොඳ ම පියවරක් වන්නේ ආර්ථික හා වෙනත් ලාභ ප්‍රයෝජන පිණිස ක්‍රීඩා සංගම් අරක් ගෙන සිටින දේශපාලන පිශාචයන් පලවා හැරීමයි. 


පහළ අන්තයෙන් ලංකාවේ ක්‍රීඩාව පිළිබඳ සලකා බලන විට බැලිය යුත්තේ පාසල් දෙසයි. පාසල්වල ක්‍රීඩා ඇත. එහෙත් සමස්තයක් ලෙස ළමෝ ක්‍රීඩා කරත් ද? 


නැත. පාසල්වල සිටින්නේ පාන්දර හතරට-පහට අවදිව, වෑන්වල කිරා වැටෙමින් පාසල් පැමිණෙන හෝ හවස ටියුෂන් පංතියට යාම පිණිස සුදු ඇඳුම ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාව දී සිටින හෝ පාතරාසය නො ගැනීම නිසා උදය රැස්වීමේ ක්ලාන්තව වැටෙන හෝ අධික ස්ථුලභාවය, කුරුබව වැනි තත්වයන්ට ලක් වූ හෝ ක්‍රීඩා නො කරන පාසල් දරු පරපුරකි. ඔවුහු සෙල්ලම් කරති. එහෙත් ක්‍රීඩා නො කරති.


පාසල් පද්ධතිය තුළ ක්‍රීඩාව වනාහි අවුරුද්දේ මුල් මාස කීපය තුළ දිගහැරෙන විදුහල්පතිට නම් වැඩ පෙන්වීමේ සංදර්ශනයක් හා සිසුන්ට නම් තවත් එක් ෆන් එකකි. නිවාසාන්තර ක්‍රීඩා උළෙලින් පසු බොහෝ පාසල්වල ක්‍රීඩා හෙවත් පිස්සු කෙළීම අවසන් ය. දැන් ඉතින් වැඩ පටන් ගනිමු යයි ගුරුවරු කියති. නැවත ක්‍රීඩා ලබන අවුරුද්දේ ය. ක්‍රීඩා කියන්නේ මෙහෙම ය. එක දවසක් අයියලා අක්කලා නිකම් රේස් එකක්, දෙකක් තියා, උස පන්නා, දුර පන්නා, කවපෙත්ත දමා ළමයින් තරග සඳහා තෝරා ගනිති. ඊළඟ දවසේ තරග පැවැත්වේ. එතැනින් සියල්ල අවසන් ය. 


ඉහත විස්තරයේ යම් අතිශයෝක්තියක් තිබෙන්නට පුළුවන. එහෙත්, එය බොරුවක් නො වේ. ඉතා ම සීමිත පිරිසක් පමණක් පාසල් ක්‍රීඩා ඔස්සේ ඉදිරියට යති. එය ද සිදු වන්නේ පාසල් ක්‍රීඩා හා පොදුවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරීන් වෙනුවෙන් වැය කරනු ලබන මහජන මුදල් සාධාරණීකරණය සඳහා ඔවුන්ට යම් ප්‍රදර්ශනයක් අවශ්‍ය නිසා ය. 


පාසලෙන් එහාට උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රීඩාව මීටත් අන්ත ය. ඒවායේ ඇත්තේ ගුටි කෙළිය හා රති කෙළිය පමණකැයි කීවොත් වරදක් නැත. 


ගාලු මුවදොරදී ව්‍යායාම කිරීම ක්‍රීඩා ඇඳුම් ඇඳ කරන සෝබනයකි. ගමේදී ව්‍යායාමය පිණිස කෙනෙකු පිට්ටනියකට යාම බොහෝ දෙනෙකුට මළ විකාරයකි. පාරක දිවීම වාහනයකට යට නො වන්නේ නම් බල්ලන් විසින් හපා කෑමට ලක් වන දෙයකි. ව්‍යායාමයට බයිසිකලයක් පැද යන්නේ නම් 'අන්න අරූ (ආර්ථිකව) වැටිලා' යි වරදවා වටහා ගෙන ගමේ මිනිස්සු සතුටු වෙති.  ව්‍යායාම නො කරන නිසා ලංකාවේ වැඩි දෙනෙක් ලෙඩ්ඩු ය. ඔවුන් දන්නා ක්‍රීඩාව රූපවාහිනියෙන් නරඹන ක්‍රිකට් ය.


රටේ ජාතික ක්‍රීඩාව වොලි බෝල් ය. එහෙත් වොලි බෝල් සම්මේලනයේ අනුග්‍රහයෙන් ඉදි කරන ලද වොලි බෝල් පිටිවල පවා වල් බිහි වී ඇත. තරුණයන් කරන එක ම සෙල්ලම ක්‍රිකට් යයි කීම වැරැදි නැත. ක්‍රිකට් ගැසීම යනු බොහෝ දුරට දෙදෙනෙකු ක්‍රීඩා කරද්දී සෙසු අය බලා සිටීමයි. 


රති ක්‍රීඩාව හැර අන් ක්‍රීඩාවක් නො දත් පිරිසක් රට යන්නට, ගරු නම්බුවට හා ගසා කෑමට ක්‍රීඩා සංගම් තනතුරු දරති. තම තත්වය රැක ගැනීම පිණිස නැන්ඩ්‍රලෝන් ගසා හෝ පදක්කමක් දිනා ගැනීමට ක්‍රීඩකයන් පොළඹවති. පාලකයෝ දේශපාලන ගේම් පිණිස ඔවුන්ට දුරකථන ඇමතුම් දෙති. 


ලංකාවේ දේශීය ක්‍රීඩා තරගාවලිවලදී තහනම් උත්තේජක සඳහා පරීක්ෂා නො කෙරෙන තරම් ය. එහෙයින් තහනම් උත්තේජක භාවිතය මලල ක්‍රීඩා පමණක් නො ව රගර් වැනි ක්‍රීඩාවලට ද පැතිර ඇති බව ක්‍රීඩා  ව ක්ෂේත්‍රයෙන් සැළ වේ. එපමණක් නොව වෛද්‍ය නිර්දේශ නැතිව තහනම් අත්තේජක පහසුවෙන් මිළ දී ගැනීමට ද හැකි බව වාර්තා වේ. බොහෝ ක්‍රීඩකයන් දේශීය මට්ටමෙන් දක්වන දස්කම් ජාත්‍යන්තර තරගවලදී දක්නට නො ලැබෙන්නේ එහෙයිනි. 


ලංකාව වටේ මුහුද තිබීම නිසා රට යාම වියදම් අධික වැඩක් වි ඇත. රට යන්නෝ රට යාමෙන් සමාජයේ කැපී පෙනෙති. ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ අය ද පදක්කම් නැතත් රට යන්නට ලැබීම ගැන සතුටු වෙති. 


දත් කැකුළු පාලා
සුරතල් සිනා සීලා
බොළඳ බස් දීලා 
කෙළී සියොළඟ දූලි ගාලා


මෙම කවියේ 'කෙළී' යන වචනයේ තේරුම කුමක්දැයි වරක් ප්‍රශ්න විචාරක තරගයක අසනු දක්නට ලැබිණි. පිළිතුර ලෙස ලැබුණේ 'ගැහැනු ළමයා' කියා ය.  


මළ කෙළියයි, මහරජ!


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-10-25

හයවන ශ්‍රේණියේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම නරක ද? | Is sex education bad for Grade Six?

චීනයේ පළමු ශ්‍රේණියේ ළමුන්ගේ
ලිංගික අධ්‍යාපන පෙළ පොතකින් පිටුවක්
(2010 ඔක්තෝබර් 25, W3Lankaකොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School) හයවෙනි ශ්‍රේණියේ විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය එකතු කිරීම ගැන ළමා ආරක්ෂක අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අද දිනමිණ පුවත්පත වාර්තා කරයි.


බාලවයස්කාර දරුවන් නොමඟ යවන ආකාරයේ ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන ජාත්‍යන්තර පාසල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන පැවසූ බව ද එම වාර්තාවේ සඳහන් වේ.


අධ්‍යාපන ඇමතිවරයා ලිංගික අධ්‍යාපනය යන්නෙන් අදහස් කරන්නේ ළමයින්ට නුසුදුසු කිසියම් වලත්ත දෙයක් බව පෙනේ.


එහෙත්, ලිංගික 'අධ්‍යාපනය' නම් එහෙම දෙයක් නො වේ. වලත්ත දේ වන්නේ ඈත අතීතයේ සිට ම ළමා අපචාරකාර වැඩිහිටියන්ගෙන් ළමයින් ඉගෙන ගත් පාඩම් ය. ඒවා ලිංගික අධ්‍යාපනය නො වේ. අයෝග්‍ය ලිංගික අත්දැකීම් ය.


හයවන ශ්‍රේණියේ සිටින නව යොවුන් වියට එළඹීමට ආසන්න දරුවකු සිය සිරුරේ සිදු වන්නට ඉඩ ඇති වෙනස්කම් පිළිබඳ විධිමත් අන්දමින් ඉගෙනීම අත්‍යවශ්‍ය ලිංගික අධ්‍යාපනයකි. විශේෂයෙන් ම, මල්වර වීමට ආසන්න ගැහැනු ළමුන් හට ඒ පිළිබඳවත්, ලිංගික වගකීම් හා සබඳතා පිළිබඳවත් වයසට යෝග්‍ය අධ්‍යාපනයක් අවශ්‍ය ය. එහෙයින් හයවන ශ්‍රේණිය ඇත්තෙන් ම ලිංගික අධ්‍යාපනය සඳහා සුදුසු වයසකි.


ගැහැනු ළමයින් හා පිරිමි ළමයින් අතර ශාරීරික වෙනස්කම්, ගැබ් ගැනීම, ගර්භනී අවධියේ අවස්ථා, දරුවන් ඉපදීම, පවුල් ව්‍යූහය මෙන් ම සුදුසු හා නුසුදුසු ස්පර්ශයන් මොනවාද වැනි කරුණු ළමයි ඉගෙන ගත යුතු ය. මක් නිසා ද, තමන් ආවේ කොහෙන් ද යන ප්‍රශ්නයට කුරුල්ලෙකු විසින් ගෙනත් දමනු ලැබුවා ය යන පිළිතුර හැමදාට ම වලංගු නැති බැවිනි.


ලංකාවේ පාසල් දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා ගැනීමේ මාර්ගයක් නැත. වරක් එක් තරුණ පාසල් ගුරුවරයකු මෙම ලේඛකයාට කී කරුණක් වන්නේ දරුවන් ලැබෙන්නේ අධෝ මාර්ගයෙන් යයි හේ තරුණ වියට ආසන්න වන තෙක් ම සිතා සිටි බවයි. නව යොවුන් වියේ හෝ ඒ ආසන්නයේ ඕනෑ ම ළමයකුට ලිංගික ක්‍රියා හා ප්‍රජනනය ගැන ප්‍රශ්න ඇති වීම ස්වභාවික ය. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ළමයකුට ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගත හැකි විධිමත් ක්‍රමයක් නැත.


නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම නිසා ශාරීරික වෙනස්කම් සමග ඇති වන තුතුහලය හේතුවෙන් කරන්නට ඉඩ ඇති අයෝග්‍ය ක්‍රියා හේතුවෙන් ළමයි අමාරුවේ වැටෙති. විශේෂයෙන් ම, ලංකාවේ ලිංගික අධ්‍යාපනය සිදු වන්නේ සම වයස් ළමයින්ගේ ඇසුරෙනි. මෙය ඉතා අවිධිමත්, අවිද්‍යාත්මක ක්‍රමයකි. නිදසුනක් ලෙස ස්වයං වින්දනය පිළිබද එම වයසේ ළමුන් අතර පැතිර ඇති මිථ්‍යා අදහස් හේතුවෙන් ළමුන් විශාල පිරිසක් ජීවත් වන්නේ මානසික ආතතියකින් ය. එසේ ම, ලිංගික අධ්‍යාපනයේ ගැටලු ළමා අපචාර සඳහා ද ඉවහල් වේ.


ඇමති බන්දුල ගුනවර්ධන ලංකාවේ සිටි ප්‍රධාන පෙළේ ටියුෂන් ව්‍යාපාරිකයෙකි. එසේ ම, හිටපු ජාත්‍යන්තර පාසල් හිමිකරුවෙකි. බොහෝ ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුන් ලෙස අඩු පඩියට වැඩ කරන තරුණියන් ලිංගික අධ්‍යාපනය වැනි බැරෑරුම් විෂයක් ඉගැන්වීමේ සුදුස්සන් නො වන බව ඔහු හොඳින් දන්නවා ඇත. එහෙත්, එය ජාත්‍යන්තර පාසල් ව්‍යාපාරයේ ගැටලුවක් මිස ලිංගික අධ්‍යාපනයේ ගැටලුවක් නො වේ.


ලංකාවේ පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය සඳහා විධිමත් ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය ය. ඒ සඳහා බලධාරීන් පළමුකොට ම ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුවත් විය යුතු ය.


කොළඹ ජාත්‍යන්තර පාසලේ ළමුන්ට බෙදා දුන් පොත් අතර තිබී එක් මවක හෝ පියකු විසින් ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත ඉදිරිපත් කර එහි අධිපතිනිය අවදි කළ මෙම පොත වනාහි ’Introducing Moral Issues’ by Joe Jenkins නම් වේ. 


එහි අන්තර්ගතය පිළිබඳ Sunday Times පුවත්පත පවසන්නේ මෙසේ ය. NCPA Chairman Anoma Dissanayake told the Sunday Times the booklet--’Introducing Moral Issues’ by Joe Jenkins-- explained details of sexual acts, the use of contraceptives, abortion and the methods of making love among a host of other adult material. 


මෙම පොතේ අන්තර්ගතය මෙපමණක් නො වේ. ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනියට මහජනයා කුපිත කළ හැකි ඉහත සඳහන් කරන ලද පරිච්ඡේද කීපය සමග එසේ යොදා ගත නො හැකි පරිච්ඡේද ද ඇතුළත්ව පරිච්ඡේද 46ක් මේ පොතේ ඇතුළත් ය. අනෙක් පැත්තෙන් ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනියගේ ප්‍රකාශයේ සඳහන් අප විසින් රතු පැහැයෙන් දක්වා තිබෙන කොටස් ඇත්තෙන් ම එම මාතෘකාවල නැත. එම වචන එකතු කිරීමෙන් ඇය ඇති කරන්නට යන අදහස පිළිබඳ අප සිතා බැලිය යුතු ය. මෙම පොත පිළිබඳ විස්තරයක් ‍සඳහා මෙම පිටුව බලන්න. 


මේ පොත හයවන ශ්‍රේණියේ දරුවන්ට සුදුසු ද, නැද්ද යන්න හෝ ලංකාවට සුදුසු ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ අධ්‍යාපනය සම්බන්ධ විදුවතුන් විසිනි. 


මෙවැනි ප්‍රශ්නයක් මතු වූ විට ළමයින් ආරක්ෂා කරන සැබෑ නිලධාරීන් නම් කරන්නේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නො‍ වේ. ඉවසිලිවන්තව සිද්ධිය පිළිබඳ පරීක්ෂා කර, විද්වත් අදහස් විමසා සුදුසු පරිදි කටයුතු කිරීමයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-10-24

බලු බද්දෙන් නො විස‍ඳෙන බලු ප්‍රශ්නය | The dog tax of Sri Lanka that will not solve the dog problem

මේ වසරේ ජුනි මස ජලභිතිකාවෙන් මිය ගිය
ත්‍රිකුණාමලයේ ඊච්චිලන්පත්තුවේ
සත් හැවිරිදි
එස්ග ක්‍රිසාන්දනී
ඡායා:
http://vetsforfuture.org/
(2010 ඔක්තෝබර් 24, W3Lankaකළුතර නගර සභා බල ප්‍රදේශයේ ඇතිකරන සෑම බල්ලකුගෙන්ම රුපියල් පහක ලියාපදිංචි ගාස්‌තුවක්‌ 2011 වර්ෂය සඳහා අය කර ගැනීමේ යෝජනාවක් කළුතර නගර සභාවේදී ඒකමතිකව සම්මත වී තිබේ.  


මේ අනුව, මිනිසාගේ පරිණාමයේ මුල් අවධියේදීම ඔහු සමග මිතුරු වී වරිගෙ අනන්‍යතාව නසා ගත් සුනඛයා ලියාපදිංචි කිරීම පිණිස මිනිස් ස්වාමියකු නැතිනම් නීති විරෝධී සත්වයකු බවට අඩු තරමේ කලුතර නගර සභා බල ප්‍රදේශයේදී හෝ පත් වේ. 


කලුතර දඩාවතේ යන කකුල් හතරේ බල්ලන් මේ බව දන්නවාදැයි නො දනිමු. 


කළුතර නගර සභා සභාපති එම්. එස්‌. එම්. මුබාරක්‌ පවසන පරිදි සුනඛ බද්ද වැඩි කළ යුතු මුත් නගර සභා ආඥාපනත යටතේ එය කළ නො හැකි ය. සමහර විට බල්ලන් අයත් වන්නේ පළාත් සභාවලට හෝ මධ්‍යම ආණ්ඩුවට හෝ විය හැකි ය.


කෙසේ වෙතත් බලු බද්ද වන රුපියල් පහ අය කිරීම සඳහා බිල්පත්, ගිනුම් තැබීම් හා වෙනත් කාර්යයන් වෙනුවෙන් එක බල්ලකුට රු. පහකට වඩා වියදම් වන හෙයින් කලුතර නගර සභාවට බල්ලන් පමණක් නොව බලු බද්ද ද වධයක් වනු ඇත.


ලංකාවේ බල්ලන් විසි ලක්ෂයක් පමණ සිටින බැවින් වසරකට රු. 100 බැගින් බද්දක් අය කරනවා නම් ආණ්ඩුවට වසරකට රු. කෝටි විස්සක පමණ ආදායමක් උපයා ගත හැකි ය. 


එහෙත් ප්‍රශ්නය වන්නේ ස්වේච්ඡාවෙන් ආදායම් බදු නො ගෙවන කකුල් දෙකේ බල්ලන් සිටින රටක කකුල් හතරේ බල්ලන් බදු ගෙවාවි ද යන්නයි.


කලුතර නගර සභාවේ ඇති වූ සංවාදයක් පුවත්පතක වාර්තා වී තිබුණේ මෙසේ ය:


නගර සභික වසන්ත ඩයස්‌ මහතා - කළුතර නගරය පුරාම බල්ලන් හා ගවයන් සිටිනවා. මේ බල්ලන් හා ගවයන් නිසා අනතුරු වැඩිවී තිබෙනවා.


සභාපති එම්. එස්‌. එම්. මුබාරක්‌ මහතා - ගවයන් අල්ලන්න ක්‍රමයක්‌ නැහැ. මෙයට පෙර එක්‌ අයෙක්‌ සිටියා. දැන් ඔහු බැහැ කියනවා.


වසන්ත ඩයස්‌ මහතා - දඩාවතේ යන බල්ලන් විනාශ කරන්න මෙයට පෙර බලුවෑන් එක ඇවිත් බල්ලන් අල්ලන් යනවා. එයට පෙර නගර සභාවෙන් තුවක්‌කුවක්‌ දී අයෙක්‌ පත්කර තිබුණා. දැන් එහෙම බල්ලන් මරන්න තහනම්.


ඔක්තෝබර් 09දා ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියේ පළ වූ වාර්තාවක මාතෘකාව වූයේ "From gassing the dogs to human gassing in Sri Lanka" යන්නයි. කොළඹ සුනඛ ඝාතකයන් තොණ්ඩු දමා සුනඛයන් අල්ලා ගෙන ගොස්, අයිතිකාරයන්ට හිමිකම් කීම සඳහා දින තුනක් නගර සභාවට හිමි තැනක කන්න බොන්න නො දී රඳවා තබාගෙන, ඉන් අනතුරුව ගෑස් කාමරවලට දමා මරා දමන අන්දම ගැන කියන මෙම වෙබ් අඩවිය ලංකාවේ ආරක්ෂක අංශ ද දෙමළ ජනයා සම්බන්ධයෙන් එසේ කටයුතු කරන බව පවසයි. 


අත්අඩංගුවට ගනු ලැබූ දෙමළ මිනිසුන් කීපදෙනෙකු පිළිබඳ තොරතුරු නැති වීම හැර කිසිදු තිරසාර සාක්ෂියක් මිනිසුන්ට ගෑස් ගැසීම පිළිබඳව ඔවුන් ඉදිරිපත් කර නැත. 


මෙම ලිපියට ප්‍රතිචාර දක්වමින් ඩේලි නිව්ස් පුවත්පතට ලියන සත්ව මිත්‍ර සංවිධානයේ සාගරිකා රාජකරුණානායක පෙන්වා දෙන්නේ බල්ලන් මේ අන්දමින් ගෑස් කාමරවල මරා දැමීම 2003 සිට නතර කර ඇති බවයි. එසේ ම ජනාධිපති උපදෙසක් ඔස්සේ 2006 සිට බල්ලන් අල්ලා මැරීම නවතා ඇති බව ද ඒ වෙනුවට ජලභීතිකාව පාලනය කිරීම සඳහා වඩා මානුෂීය අන්දමින් බලු ගහණය පාලනය කිරීමේ වන්ධ්‍යාකරණය පාවිච්චි කරන බව ද ඇය පෙන්වා දෙයි. 


බලු වන්ධ්‍යාකරණය සඳහා ජනාධිපතිතුමා විශාල මුදලක් වෙන් කර ඇති බව ද සත්ව මිත්‍ර සංවිධානයේ සාගරිකා රාජකරුණානායක පවසයි. 


සුනඛ වන්ධ්‍යාකරණය ඔබගේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඔබේ අදහස කුමක් ද? අපේ නිරීක්ෂණය මෙසේ ය:


අද වන විට, කොළඹින් පිට පළාත්වල නම් කිසිදු විධිමත් සුනඛ ගහණ පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවක් දක්නට නැත. අද වන විට රෝහල්, පාසල්, පන්සල් හා වීදි ආදී පොදු ස්ථාන සුනඛ ගහණයේ වැඩි වීම හේතුවෙන් මතු වන ප්‍රශ්න රැසකට මුහුණ දී සිටියි. 


පසුගිය පොසොන් පොහොය නිමිත්තෙන් ගාල්ලේ ප්‍රසිද්ධ ජාතික ක පාසලක පැවති භක්ති ගීත සංදර්ශනයක වීඩියෝවක් පසුගිය දිනෙක දක්නට ලැබුණු අතර භක්ති ගීත ගයන ළමුන් අතර දඩාවතේ යන බල්ලෝ ද නිදහසේ සැරිසැරූ හ. බොහෝ පාසල්වල මෙය සුලබ තත්වයකි. ලංකාවේ පාසල් සිසුන් සිටින්නේ ජලභීතිකා අනතුරු මැද බව අධ්‍යාපන බලධාරීහු පවා නො දනිති. 


සුනඛ වන්ධ්‍යාකරණය භාරගෙන ඇත්තේ රාජ්‍ය නො වන සංවිධාන විසින් බව දැන ගන්නට තිබේ. ඒ සඳහා ජනාධිපතිතුමා විසින් වෙන් කර දෙන ලද අති විශාල ධනස්කන්ධයට සිදු වන දේ දන්නවා ඇත්තේ ඔවුහු ය.

Association of Veterinarians for Humane Management of Animal Population සංවිධානයේ වෙබ් අඩවියේ දැක්වෙන පරිදි "ජලභීතිකා රෝගය ශ්‍රී ලංකාව තුළින් තුරන් කිරීම සඳහා සුනඛයන් වන්ධ්‍යාකරණයට ලක් කරමින් සුනඛ ගහණය පාලනය කිරීම නිසා දීර්ඝ කාලීනව මෙම ගැටළුවට ස්ථිරසාර පිළිතුරක් ලැබේ. නමුත් මෙම ප්‍රතිඵලය අපට දැකීමට තවත් වසර තුනක හෝ හතරක කාලයක් ගත වේ. මෙයට හේතු වන්නේ දැනට වන්ධ්‍යාකරණයට ලක් කරන සතුන් මිය යන තුරු සුනඛයන්ගේ අඩුවීමක් අපට දක්නට නොලැබීමයි. නමුත් මේ වනවිටත් සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සාර්ථකව සිදු කළ දිස්ත්‍රික්ක වල සුනඛ පැටවුන්ගේ ශීඝ්‍ර අඩුවීමක් ඔබට පෙනෙන්නට ඇතැයි සිතමු."

මේ අතර, Joint Association of Veterinarians to Eradicate Rabies සංවිධානය මේ මස මුලදී පැවසුවේ දිවයින පුරා ජලභීතිකා එන්නත් හිඟයක් ඇති බවයි.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය හා සත්ව සේවා අධ්‍යක්ෂ පී.ඒ.එල්. හරිශ්චන්ද්‍ර නිව්ස් ෆස්‍ට් වෙත පැවසුවේ මේ වසර මුල සිට ජලභිතිකා එන්නත් ලක්ෂ අටක් දිවයින පුරා බෙදා හැර තිබුණු බව හා එයින් ලක්ෂ පහක් ඔක්තෝබර් මුල වන විට එන්නත් කර තිබුණු බවයි.

ජලභීතිකා උවදුරේ තරම එයින් මොනවට පැහැදිලි වේ.

බලු ප්‍රශ්නය සරළ ප්‍රශ්නයක් නො වේ. බලු ගහණය පාලනය කිරීම සඳහා ඇති ක්‍රම විධිමත් කිරීමෙන් ජලභීතිකාව පාලනය කළ හැකි ය. මිනිස් ජීවිත බොහෝ ගණනක් බේරා ගැනීමට ද පුළුවන. මුදල් ගැන ම කල්පනා කරන්නේ නම් ජලභීතිකා එන්නත් සඳහා වැය වන මුදල් ඉතිරි කර ගත හැකි ය. එවිට බලු බදු අවශ්‍ය නො වනු ඇත.  



Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com