2010-11-30

මතුගම පොලිසියේ වික්‍රමයක් | How Sri Lanka police tortured an elderly man

(2010 නොවැම්බර් 30, W3Lankaමේ කතාව ඔබ සමහර විට අසා ඇති. අප එය නැවත පළ කරන්නේ මෙම යූටියුබ් වීඩියෝවේ සිටින වැඩිහිටි පුද්ගලයා විසින් විස්තර කරනු ලබන අත්දැකීමට පූර්විකාවක් ලෙසයි.


ඔන්න ලෝකේ හොඳම පොලීසිය තෝරන තරෙඟ පැවැත්වුණලූ. මේක පැවැත්වුනේ පුංචි කැලෑරොදක. තරෙඟදී කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද? ඔන්න තරඟ සංවිධායකයෝ හාවෙකුව කැලෑරොදට නිදහස් කරනවලූ මේ හාවාව අල්ලන එක තමයි තරඟකාරි කණ්ඩායම් වලට කරන්න තියෙන්නේ. ඉක්මනට හාවා අල්ලන අය තමයි ජයග‍්‍රාහකයෝ.


අවසාන තරෙඟට ඉදිරිපත් වුනේ ඇමෙරිකාවයි. එංගලන්තයයි. ලංකාවයි. ඉස්සෙල්ලාම ආවේ එංගලන්තේ වාරෙ. ඔන්න ඉතින් පොලිස් කණ්ඩායමක් නවීන තාක්‍ෂණික උපකරණ අරගෙන කැලේට ගියාලූ. ඒ ගොල්ල ගස් වැල් වලින්, ගල්මුල්වලින් පවා ප‍්‍රකාශ සටහන් කරගත්තලූ. සියුම් උපකරණ භාවිතා කරලා හාවාගේ සලකුණු හඹා ගියාලූ. හැබැයි හාවා අල්ලන්න බැරි වුණාලූ.


ඊළඟ වාරේ ඇමෙරිකානුවන්ගේ. ඒගොල්ලෝ හෙලිකොප්ටර් වලින් බෝම්බ දාලා රසායනික අවි පවා භාවිතා කරලා අන්තිමේ වාර්තාවක් ඉදිරිපත් කළාලූ හාවා අතුරුදහන් කියලා.


ඊළඟට වැඬේට බැස්සේ අපේ කට්ටියලූ. වැඩි සද්ද නැතුව බැටන් පොලූ දෙක තුනක් අරගෙන කැලෑ රොදට ඇතුල් වුණාලූ. ඔන්න පැය බාගෙකට විතර පස්සේ තඩි වලහෙක් නාහෙන් කටින් ලේ පෙරාගෙන විනිශ්චය මණ්ඩලය ළඟට ඇවිත් කියනවලූ "හරි, හරි මං තමයි හාවා" කියලා.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

ශාස්තෲ නවකතාව ගැන කතා කරන්න බ්ලොග් අඩවියක්

(2010 නොවැම්බර් 30, W3Lankaනවකතාව යනු සමාජ දේශපාලන සංවාදයේ උත්තර සංවාදයයි - ගුණදාස අමරසේකර


"මේ වනාහි දේශපාලන ව්‍යායාමයකි. තේරෙන කාලයේ හට ගත් තරුණ කැරැලි දෙකක් හරහා එක්ව යමින් සමාජවාදී විප්ලවයක සිහින දැක පැරදුණ මගේ පරපුරේ මිනිසුන් සමග තුවාල ලෙව කන්නටත්, පය ලූහුටා ගිය තැන් සිතියම්ගත කරන්නටත්, ජීවිතය නැවත කියවන්නටත් අරගල පිළිබඳ ප‍්‍රබන්ධ සාහිත්‍යයක් අවැසිව ඇතැයි සිතමි. සමාජවාදී සමාජයක් පිළිබඳ සියලූ සිහින බිඳ වැටුණු පසුවත් ඒ බලාපොරොත්තුව ජීවිතාශාව වඩවයි. ලියන්නට ඇති කතා බොහෝ ය......."
- ශාස්තෲ නවකතාවේ පෙරවදනින්


අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද ශාස්තෲ නවකතාව ලංකාවේ මෑතකාලීන රැඩිකල් දේශපාලනය පසුබිම් කර ගත් එකකි.


නවකතාව ආශ්‍රිත තොරතුරු පළ කිරීමටත් එය කියවන ඔබට අදහස් දැක්වීම සඳහාත් මෙම බ්ලොග් අඩවිය වෙන් කර ඇත.
පිවිසෙන්න




Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

මීගමුවේ මුහුදු ගුවන් යානා ප්‍රශ්නය ගැන ධීවර ඇසින් | The view of the fisher community on the sea plane issue of Negambo lagoon

(2010 නොවැම්බර් 30, W3Lankaමීගමුව කලපුවේ ධීවර කර්මාන්තය ඇරඹුණේ රජය නම් ප්‍රපංචය ඇරඹෙන්නට බොහෝ පෙර යයි අනුමාන කළ හැකි ය. රජය බිහි වී කලපුව හෝ වෙනත් ස්වාභාවික පරිසර පද්ධතියක් සිය දේපලක් යයි ප්‍රකාශයට පත් කළ පළියට එය මුළුමනින් ම එහි ගහ කොළවලට, සතුන්ට හා ඒ ආශ්‍රිතව ජීවත් වන දියුණු සත්ව විශේෂයක් වන මිනිසුන්ට අහිමි කරන්න රජයට තිබෙන සදාචාර අයිතිය කුමක් ද? එසේ අහිමි කිරීම නිසා ඇති වන ප්‍රති විපාක සොබාදහමේ තුලනයට බල පාන්නේ කෙසේ ද? 


ලංකාව මහා සංවර්ධන ව්‍යාපෘති දියත් කරන්නේ ලෝකයේ දියුණු රටවල් එවැනි දේ ක්‍රියාත්මක කර සියවස් ගණනක අත්දැකීම් ලබා ගත් පසුයි. අපට වුණත්, මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ කඩිනමින් සිදු වූ අනර්ථකාරිත්වය පිළිබඳ අත්දැකීම් තිබෙනවා. 


මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නූතන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ ඒ අතීත අත්දැකීම් වළලා දමමින්. 


සොබාදහම විසින් වසර මිලියන ගණනක් තිස්සේ ගොඩනැඟූ දේ මිනිසා විනාශ කරන ආකාරය දුටු විට මතක් වන ප්‍රස්ථාව පිරුළක් වන්නේ 'වළංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයාට පැයකින් අවසන් කළ හැකි ය' යන්නයි. 


සොබා දහම, පරිසරය, මිනිසුන් අමතක කර දමා කරන සංවර්ධනය කාට ද? 


අප දිගින් දිගට ම මතු කරමින් සිටින මෙම ප්‍රශ්නය මතු කරන බිම් මට්ටමේ උද්ඝෝෂණයක් දැන් මීගමු කලපුව ආශ්‍රිතව සිදු වනවා. මේ ඒ හා සම්බන්ධ පත්‍රිකාවකින් උපුටා ගත් කොටස් කීපයක්. 


1. මොකක්ද මේ sea plane ගැන කියන කථාව?


මීගමුව කලපුව, ශී‍්‍ර ලංකාවේ පිහිටි මුහුදු තෘණ ඛ්ම් හා කඩොලාන පරිසර පද්ධති මගින් මසුන් හා කකුළුවන් ඇතුළු ජලජ සත්ව විශේෂ රාශියකට පෝෂණය හා රැකවරණය ලබාදෙන, ඉතා වැදගත් ජෛව විවිධත්වයක් ඇති, හෙක්ටයාර් 3068ක පමන වගුරු ප‍්‍රදේශයකින් වටවූ, හෙක්ටයාර් 3164 ක් පමන වන ඡුල ප‍්‍රදේශයක් සහිත ඵලදායී පරිසර පද්ධතියක්. එය ධීවරයන් 3500කට පමන සෘඡුවම රැකියා සපයමින්, ධීවර යාත‍්‍රා 2500කට පමන නැංගුරම් පහසුකම් සපයයි. එබැවින් මීගමුවේ ධීවර පවුල් 15,000 කට පමන ජීවත් වීම සදහා සුදුසු පරිසරයක් ලබාදේ. එහි මත්ස්‍ය හා ඉස්සන් අස්වනු හෙක්ටයාර 01 කට කිලෝ ග‍්‍රෑම් 150ක පමන වාර්ෂික නිෂ්පාදන ධාරිතාවයක් තිබීම හා වර්ෂයකට රුපියල් මිලියන 150ක පමන මත්ස්‍ය අස්වැන්නක් ලබාදීමත් ආර්ථිකමයව වැදගත්. නමුත් සංචාරක ධනකුවේරයන් මීගමුව ප‍්‍රදේශයට ගෙන්වා ගැනීමේ අරමුනෙන් වඩාත් ධනවත් සංචාරකයින්ට අවශ්‍ය ඉහල පහසුකම් සපයාදෙමින් මාලදිවයින වැනි රටවල ඇති සංචාරක කර්මාන්තයට නොදෙවෙනිව ජලය මත පාවෙන හා ඒ මත ගමන් කල හැකි සැහැල්ලු ගුවන් යානා මීගමුව කලපුවටද හදුන්වාදීමට රජයේ සැලසුමක් ඇත. මීගමු කලපුවේ අතිශය වැදගත් මත්ස්‍ය බෝවන ප‍්‍රදේශයක් වන මඩබොක්ක ආශ‍්‍රිත ප‍්‍රදේශයේ කිලෝ මීටරයක් දුරකට විහිදෙන පරිදි හා මීටර් 100 ක් පළලින් යුතුව ධාවන පථයක් නිර්මාණය කිරීමට යෝජනා වී ඇත.




2 මෙම ව්‍යාපෘතිය දියත් කිරීම නිසා ධීවරයාට හා කර්මාන්තයට සිදු විය හැකි බලපෑම කුමක් විය හැකිද ?

  1. මීගමු කලපුවේ රැකියාවෙන් යැපෙන පවුල් 15000කගේ පමණ රැකියාවට බාධා ගෙන දේ.
  2. සී ප්ලේන් කලපුවට ගොඩබාන හා කලපුවෙන් ගුවන් ගත වන කාලය තුළ ධීවරයින් එම ප‍්‍රදේශයෙන් ඉවත් විය යුතුය. අනාගතයේ කොපමණ සී ප්ලේන් සංඛ්‍යාවක් භාවිතයට ගනීදැයි දැන් අපට කිව නොහැක. එවිට එම ප‍්‍රදේශයෙන් ධීවරයන්ට සම්පූර්ණයෙන්ම ඉවත්වීමට සිදුවේ.
  3. කලපුව ආශ‍්‍රිතව අධි ආරක්‍ෂිත කලාපයක් නම්කර, සංචාරකයින්ට හා යානාවලට ආරක්‍ෂාව සැපයීම සිදුවිය හැක. ඒ හේතුව නිසා ධීවර රැකියාවේ නිරත පිරිසට බාධා පැමිණෙනු ඇත.
  4. සී ප්ලේන් ව්‍යාපෘතියෙන් රැකියා ලැබෙනවා කීවද ඒ ප‍්‍රමාණය කිසිසේත් දැනට කලපුවෙන් යැපෙන ගනියා ප‍්‍රමාණයට නොසෑහේ. ලැබෙන රැකියා ටික වූවත් ලැබෙන්නේ දුප්පත් අසරණ ධීවරයින්ට නොවේ. මෙයින් ප‍්‍රතිලාභ ලැබෙන්නේ ව්‍යාපාරිකයින් සුළු ප‍්‍රමාණයකට පමණී.
  5. සංචාරක ව්‍යාපාරයේ ක‍්‍රියාකාරීත්වය නිසා, ධීවර රැකියාව නිදහසේ සිදු කිරීමට බාධක මතුවෙනු ඇත.
  6. ආරම්භය සී ප්ලේන් හරහා සිදුවූවත් මීගමු කලපුව ආශ‍්‍රිත දූපත්ද සංචාරක නිකේතන සඳහා අත්පත් කර ගැනීම සිදුවනු ඇත.
  7. කඩොලාන පද්ධතිය විනාශකර වැලි ගොඩ දැමීම දැනටමත් සිදුකර ඇත. අධිවේගී මාර්ගය සඳහාද කලපුවේ සෑහෙන ප‍්‍රමාණයක් අත්පත් කර ගන්නා ලදී.
  8. මේ පිළිබඳව දැනටමත් කලපුව අවට ඉඩම් පර්චසය රු 75000 බැගින් විකිණීමට පුවත්පත් දැන්වීම් පලකර ඇත. (2010 අගෝස්තු 15 ඉරිදා දින  Sunday Times පුවත්පත් අතිරේකයේ දැන්වීම් පලකර ඇත.)
  9. මීගමු කලපුවේ දූපත් විකිණීම සදහා දැනටමත් පුවත් පත් දැන්වීමි පල කර ඇති අතර එය මගින් ධීවරයාට ඇති රැකියා කිරීමේ නිදහස අහුරා දමනු ඇත.
  10. මීගමු කලපුව ආශ‍්‍රිතව කුටිටිකාඩු දූපත [KINGS ISLAND] පසුගිය කාලයේදී සංචාරක හෝටලයක් තැනීමට උත්සාහ කල ව්‍යාපාරිකයෙකුගෙන් මුදවා ගැනීමට සිදුවූබව අමතක කල යුතු නැත.
  11. කලපුවේ මඩ බොක්ක ආශ‍්‍රිතව දැනට යෝජිත   ධාවන පථය නම්කර ඇති බව දැනගන්නට ඇත. එබැවින් ඉස්සන් බෝවීමට බාධා පැමිණීමෙන්, ධීවර රැකියාව තවදුරටත් සිදු කිරීම ඵලදායක නොවනු ඇත.
  12. මීගමු කලපුව ආශ‍්‍රිත මුතුරාජවෙල වගුරුබ්ම, ආසියාවේ වැදගත් රම්සා තෙත් බ්මක් ලෙස නම් කර ඇති අතර, එහි පරිසරයට හා එහි ජෛව විවිධත්වයට විශාල තර්ජනයක් එල්ල වනු ඇත. මීගමු කලපුව ලෝක උරුම පරිසර පද්ධතියන් තරමට වැදගත්වන සංවේදී පරිසර පද්ධතියකි.
  13. ධීවර ජනයාගේ ආදායම් බිඳවැටීමෙන් තම රැකියා අතහැරීමට ධීවරයාට සිදුවනු ඇත. එය විවිධ සමාජ විරෝධි ක‍්‍රියාකාරීත්වයන් වර්ධනයට හේතුවනු ඇත.
  14. සංචාරක කර්මාන්තය ආශ‍්‍රිතව වර්ධනය වන විවිධ සමාජ හා සංස්කෘතික ගැටළු තවදුරටත් පැතිරී යා හැක. සංවර්ධනය, අපේ සාරධර්ම හා ආගමීක සංස්කෘතික අනන්‍යතා අකාමකා දැමෙන ලෙස සිදුවිය යුතු නැත.
  15. මුහුදු ගුවන්යානා අනතුරු වලදී :(වාර්ෂිකව මෙවැනි ඵක් අනතුරක් හෝ වාර්තාවීම මෙවන් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන වෙනත් රටවල අත් දැකීමයි) දැවිතෙල් හා වෙනත් අපද්‍රව්‍ය කලපුවට එකතුවීම තුල ජලයේ අපවිත‍්‍රතාවය හා PH අගය වෙනස් වීම මත්ස්‍ය ගහන බෝවීම අඩුකරලයි.

3. සංචාරක කර්මාන්තයෙන් රට දියුණු වෙනවා නම් අපි එයට සහය දැක්වීම අපගේ වගකීමක් නේද? සංවර්ධනයට අපි විරුද්ධ විය යුතු ද?


රට දියුණු වීම හා සංවර්ධනය යනු කුමක්ද? අපි ප‍්‍රශ්ණ කරගත යුතුයි. සංවර්ධනයේ කේන්ද‍්‍ර‍්‍රය රටේ ජනතාවගේ ජීවන තත්වය උසස්වීම විය යුතුයි. එහි ප‍්‍රතිලාභ රටේ ජනතාව සතුවිය යුතු අතර, සාධාරණව බෙදී යායුතුයි. තිරසාර සංවර්ධන මූලධර්ම පිළිබඳව මුළු ලෝකයම කථා කරනවා, නමුත් අපි අපේ රැකියා, මීගමුව කලපුව, කල්පිටිය දූපත්, නිලාවේලී වෙරළ තීරය, පානම, ශාස්ත‍්‍රවේලී, ආරුගම්බේ ධීවර හා ගොවි බ්ම් අහිමි කරගෙන රටේ මිනිස්සු අවතැන් කරගෙන කරන්නේ සංවර්ධනයක්ද? අපි මේක සංවර්ධනයක් ලෙස කිසිසේත්ම පිළිගන්නේ නැහැ. මේක මහ මුහුද කොල්ලකෑමක්. ඉඩම් කොල්ලයේම තවත් පියවරක් ඉදිරියට තැබීමක්. සංචාරක කර්මාන්තය රටට යම් ආදායමක් ගෙන ආවත් රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට, ගොවියාට, ධීවරයාට අහිතකර බලපෑමක් කරනවානම්, ඔවුන්ව දරිද්‍රතාවයේ පතුලටම ඇද දමනවානම්, එහි සංවර්ධනයක් තිබිය නොහැකියි. නමුත් මෙයින් ප‍්‍රතිලාභ ලබන සුළු පිරිසක් සිටින බව නම් පැහැදිළියි. පාරිසරික, ආර්ථීක, සාමාජීය වශයෙන් සමාජය තුල විශාල හානිගෙන දෙමින් සිදු කරන ක‍්‍රියාවක් රටේ සමස්ථ ජනතාවගේ ජීවන තත්වය උසස් මට්ටමකට ගෙන ඒමට කිසිසේත් දායකත්වයක් නොදක්වයි. ඒ හේතුව නිසයි අපි මෙයට විරුද්ධ වෙන්නේ,


"මීගමුව කලපුව කළපු ධීවර අපගේ ප‍්‍රධානම ජීවන මාර්ගයයි. එහි ජෛව විවිධත්වය ලෝක උරුමයකි. එය රැකගැනීමට අපි සැම පෙරමුණ ගනිමු.”


- කොච්චිකඬේ, පලඟතුරේ අංක 86ක්‍ හී මීගමු කලපුව සුරැකීමේ සන්ධානය විසින් පළ කරන ලද පත්‍රිකාවකින් උපුටා ගන්නා ලදී. 




Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-11-29

ශාස්තෲ දොරට වඩින දා එන්න ඔබටත් ආරාධනා!

ප්‍රිය සහෘදය,


මා විසින් ලියන ලද ශාස්තෲ නවකතාව නොවැම්බර් 30දා අඟහරුවාදා සවස තුනට කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළි දකී.


නවකතාව පාදක කරගෙන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන හා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ලංකාවේ කැරැලි හා සාහිත්‍යය තේමා කරගෙන කතා කරති.


අග්නීමා සංගීත කණ්ඩායම සමග අප නිර්මානය කළ ගී කීපයක් ද ගැයේ.


සුපුන් පොගේ පිටු කීපයක් කියවනු ඇත. සුරේඛා වැඩසටහන මෙහෙයවන්නී ය.


මෙදිනට ශාස්තෲ නවකතාව 20%ක් මිළ අඩුවෙන් රු. 200කට මිළ දී ගත හැකි ය. පොතේ මිළ රු. 250කි.


පැමිණිය නො හැකි ඔබ වෙනුවෙන් දෙසුම් ලියා පළ කරන්නට අදහස් කරන්නෙමු.


ලංකාවේ ඕනෑම තැනකට ශාස්තෲ නවකතාව රු. 250ක මිළකට තැපැල් කරන්නට කටයුතු යොදා ඇත. ගෙවන කාර්යාලය මතුගම ලෙස යොදා රු. 250ක මුදල් ඇණවුමක් එල්. ඒ. පී. ජයසිංහ, මහවත්ත පාර, ඉද්දගොඩ, මතුගම යන ලිපිනයට එවන්න. විදේශ රටවල තැපැල් ගාස්තු පිළිබඳ විස්තර පසුව දැනුම් දෙන්නෙමු.


ඉදිරි සතියේදී ශාස්තෲ ප්‍රධාන පොත් වෙළඳසල්වලට එනු ඇත.


-අජිත් පැරකුම් ජයසිංහ, W3Lanka සංස්කාරක


පහත පළ වන්නේ කෘතියෙන් උපුටා ගත් කොටසකි.


''මෙයා කියනවා මැඩම්, කැරැලිකාරයන් මෙයා හමු වෙලා රංජිත්ගේ මරණයට පළි ගන්න මෙයා එක`ග කර ගත්තාලූ. ඉන් පස්සේ දෑස් බැඳලා උන්ගේ තැනකට මෙයාව එක්කගෙන ගිහින් සිහි නැති කරලා ඇ`ග ඇතුලේ බෝම්බයක් තැන්පත් කළාලූ."


මේ කතාව අසා අන්දුන් කුන්දුන් වූ මට සෙව්වන්දිගේ එකතු කිරීම නිසා හීන් දාඩියත් දැම්මා.


"ඒක දුරස්ථ පාලක බෝම්බයක්. ඒක පුපුරවන්න දන්න කෙනෙක් මගේ පස්සේ කැරකෙනවා. මම ඒගොල්ලන්ගේ ඉලක්කයක් ළ`ගට ගියා ම එයා ඈත ඉඳන් බෝම්බය පුපුරවනවා."


මේ අද්භූත කතාව අහලා මම මහත් සේ බිය පත් වුණා. ඒත්, මොකක්දෝ හේතුවක් නිසා ඒ කතාව ඇත්තක් වෙන්න බැරි ය කියලාත් මට හිතුණා.


"මෙයා ගැන සැක හිතිලා මම කාලයක් මෙයා පසුපස පැන්නුවා. දැන් මෙයා කියනවා අර දුරස්ථ පාලකය තියෙන්නේ මා ළඟලු. මේක මට හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ."


"ඒ කියන්නේ දැන් දඩයක්කාරයාත් උගුලක පැටළිලා කියල ද?" මම ඇසුවා. ඇත්තෙන් ම මට සියුම් සතුටක් ද දැනුණා.


"මේකයි මැඩම්. පිටින් අල්ලලා බැලුවාට එහෙම බෝම්බයක් එයාගේ ඇ`ග ඇතුලේ තිඛෙන බවක් මට දැනුණෙ නැහැ. සෙව්වන්දි කියන්නේ ශල්‍යකර්මයකින් ඒ බෝම්බය එයාගේ සිරුරේ තැන්පත් කළා ය කියලායි. මෙයාව මම දවසක් මගේ කාමරයට එක්ක ගියා. එහෙම කළේ ඔය කියන ශල්‍යකර්මයේ තුවාල කැළල බලන්න. එහෙම එකක් තිබුණෙ නැහැ. එදා පටන් සෙව්වන්දි කියන්නේ මම එහෙම කළේ සංවිධානය එයාට දුන් උපදෙස් අනුව ය කියලායි."


සෙව්වන්දි මගේ දෙපතුල් ළඟ වැඳ වැටුණා.


"මැඩම්, මට මැරෙන්න බැහැ. මට ජීවත් වෙන්න ඕනෑ."


"කවද ඉඳලද සෙව්වන්දිට මැරෙන්න බැහැ කියලා හිතෙන්නෙ?" මම ඇසුවා.


"මෙයා මාව කාමරයට එක්ක ගිය දා ඉඳලා. දැන් මට මැරෙන්න බැහැ. මට ඕනැ මෙයා එක්ක එකට ජීවත් වෙන්න." සෙව්වන්දි කියනවා.


"මැඩම්, මම කසාද බැඳපු, ළමයින් ඉන්න කෙනෙක්. මම සෙව්වන්දිට ආදරෙයි. මම බෝම්බ ගැන, බෝම්බකාරයන් ගැන දන්න දේ අනුව මට මේ කතාව විශ්වාස කරන්න බැහැ." දිල්හාන් කියනවා. "මේ කාලයේ මේ කතාවල ඇත්ත, නැත්ත හොයන්න කවුරුවත් මහන්සි වෙන්නේ නැහැ. මට සෙව්වන්දි ගැන බයයි. කවුරු හරි එයාව මරලා දාවි."


"ඒ 'කවුරුහරි' ඔයා ම වුණත් වෙන්න පුළුවන්. එහෙම නැද්ද?" මම දිල්හාන් කෙරෙහි තිබුණු මගේ අප්‍රසාදය වචනයට නඟා ඔහුට එයින් දමා ගැහුවා.


දිල්හාන් සාවඥ ලෙස හිනා වුණා. "එහෙම නම් මම මැඩම් හමු වෙන්න ඒවිද?"


"ඒකත් ඇත්ත." මම කීවා. මට හිතුණා මේ කාරණේදි ඔහු අවංකයි කියලා.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

උදාරි වර්ණකුලසූරියට මාස හයක දඬුවමක් නම් ඔටාරා ගුණවර්ධනගේ පාර්ශ්වයට මාස කීයක් ද? | Six months RI for shoplifter Udari Warnakulasuriya; what sentence for human rights violator Otara Gunewardene

(2010 නොවැම්බර් 29, W3Lankaසැප්තැම්බර් 24දා ඔඩෙල් සාප්පුවෙන් ඇඳුම් සොරාගෙන අසු වූ උදාරි වර්ණකුලසූරිය නම් නිළිය නොවැම්බර් 09 දින අධිකරණයේදී වරද පිළි ගත්තා ය. ඇයට වසරකට අත්හිටුවන ලද මාස හයක සිර දඬුවමක් නියම විය. ඔඩෙල් සාප්පුවට යුක්තිය ඉටු විය.


එතැනින් සියල්ල අවසන් ද?


සොරකම අසු වූ මොහොතේ ඔඩෙල් සාප්පුවේ කාර්ය මණ්ඩලය මෙම නිළිය බිම දණ ගස්වා සොරකම් කළ රෙදි ඇඟට දමා අවමානයට පත් කර ඡායාරූප ගත්තා පමණක් නො ව එම ඡායාරූප ප්‍රසිද්ධ කළේ ය. එම ඡායාරූප ප්‍රසිද්ධ ඒවා ය. එහෙත් අපි ඒවා පළ නො කරමු.


ලංකාවේ නළු නිළියන් පිටට මොන ෂෝක් එක පෙන්නුවත්, ලස්සනට ඇඳ පැළඳ සිටීමට හා වැඩි දෙනෙකුගේ සිහිනය වන ඉරිදා පත්තරයක අතිරේකයක පළ කළ හැකි අන්දමේ ලස්සන ගෙයක් හදා ගැනීම සඳහා කරන කැප කිරීම් බොහෝ ය. රූපවාහිනියට හෝ සිනමාවට හෝ එන්නට හා පවතින්නට තරුණ නිළියන් බොහෝදෙනෙකුට සිනමාකර අයියලාගේ කෙළි බඩු වන්නට සිදු වේ. බොහෝ දෙනෙකුගේ ඊර්ෂ්‍යාවට ලක් වුණ ද ලංකාවේ නිළියන්ට අනුන්ගේ ඊර්ෂ්‍යාව හැරෙන්න සතුටු වන්නට තරම් අන් දෙයක් ලැබෙන්නේ නැත. 


සාප්පුවලින් භාණ්ඩ සොරකම් කිරීම පසුපස යම් යම් මානසික ගැටළු ද ඇත. 


ලංකාවේ සිදු වන සොරකම්වල හැටියට සාප්පුවකින් රෙද්දක් සොරකම් කිරීම සුළු දෙයකි. මහ හොරකම් ගැන විස්තර කතා නො කරන්නේ මෙම ලේඛකයාගේ ප්‍රාණය නිරුද්ධ ශරීරයේ ඡායාරූපය උදාරි වර්ණකුලසූරියගේ අදාළ ඡායාරූපයටත් වඩා අවමන් සහගත ලෙස පළ වනු දැකීමේ ආශාවක් නැති නිසා ය. අනෙක, ඒවා කවුරුත් දන්නා රහස් ය.


ඔඩෙල් සාප්පුවේ හිමිකාර ඔටාරා ගුණවර්ධන නෝනා Corporate Social Responsibility හෙවත් සමායතන සමාජ වගකීම පිළිබඳ සෑහෙන්න කතා කරන කෙනෙකි. වීදි බල්ලන්ගේ සුබසාධනය සඳහා කටයුතු කරන්නියක වන ඇය වරදක් කර අසු වූ උදාරි වර්ණකුලසූරියට පාරේ යන බැල්ලියකට තරමට හෝ කරුණාවෙන් සලකන්නට විනයක් සිය කාර්ය මණ්ඩලයට ඇති කරන්නට අසමත් වී නැත. 


මෙම නින්දිත ක්‍රියාව පිළිබඳ ඔඩෙල් සාප්පුවට හා එහි කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ඔටාරා ගුණවර්ධනට එරෙහිව ද නිතිය ක්‍රියාත්මක විය යුතු ය.


මහා හොරුන්ට වඳින පුදන ලංකාවේ ජනමාධ්‍ය හා සමාජය පුංචි හොරෙකු අල්ලා ගත් විට රෙදි කරට ගෙන දඟලති. පහත පළ වන්නේ තවත් එවැනි සිද්ධියක් පිළිබඳ අප තැබූ සටහනකි. 


මහ හොරුන්ට ගරු කරන නිසා මේ පුංචි හොරාට අනුකම්පා කරමු | Let us be compassionate to this petty thief since we respect the big thieves

 (2010 අප්‍රේල් 20 - W3Lanka ) මෙහි පළ වන ඡායාරූප දෙක සමග ලංකාදීප වෙබ් අඩවියේ 'හොරාට ඉබේට දඬුවම ලැබේ' යන සිරස යටතේ මෙසේ පළ වී තිබිණි. 


'මරදානේ ඇල්ෆින්ස්ටන් සිනමා හල අසල කඩයක් කඩා බඩු පොදි බැඳගෙන එළියට එමින් සිටි හොරකු කඬේ ලෑලි දොරට හිරවී මැරී සිටි බව මරදාන පොලිසිය කියයි. හිස එළියට දමා කඩෙන් පනින්නට තැත් කරද්දී ඔහු මැරී ඇත.'


පුංචි හොරෙකුට දෙවියන් විසින් හෝ වෙන් යම් ප්‍රපංචයක් විසින් දී තිබෙන මේ ලොකු දඬුවම ගැන ලංකාවේ මිනිසුන් බෙහෙවින් සතුටු වනු ඇති බව අපි දනිමු. 


රෑ පානේ ගෙවල් බිඳින කුඩා හොරුන්ට මෙසේ සිදු වුවත්, මහ දවල් මං පහරන මහ හොරු නම් පාර්ලිමේන්තු යති. ඔවුන් පාර්ලිමේන්තුවට පත් කර යවන්නේ ඔවුන් අතින් සාක්කු සුද්ද කිරීමට ලක් වූ මහජනයා විසින් ම වීම සුවිශේෂ ය. 




Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-11-28

ඔබේ ගෙදරත් මාසික ආදායම රු. ලක්ෂයක් ද?

(2010 නොවැම්බර් 28, W3Lankaකොළඹ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු ලෙස ආණ්‌ඩු පක්‌ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (26 දා) පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛනයක සඳහන් වන පරිදි 2009 වසරේ ලංකාවේ ඒකපුද්ගල ආදායම රුපියල් දෙලක්‌ෂ තිස්‌ පන්දහස්‌ නවසිය හතලිස්‌ පහක්‌ (235,945) බව ද ඒකපුද්ගල ණය බර රුපියල් එක්‌ලක්‌ෂ අනූදෙදහස්‌ නවසිය හතළිස්‌ දෙකක්‌ (192,942) ද වේ.


2016 වන විට රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ට හෙවත් රු. 448,000 දක්වා ඉහළ නංවන බව රජය පවසයි. 2016 වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වුණොත් මේ ඉලක්කය තවත් අසීරු වනු ඇත. දැනට එය පවතින්නේ රු. 235,945ක මට්ටමේ ය. 


ඒක පුද්ගල ආදායම විසින් රටේ ආර්ථික හා සමාජ සංවර්ධනය නිවැරදිව ප්‍රකාශ වන්නේ නැත. එයට හේතුව ආදායම් විෂමතාවයි. දැනට පවතින තත්වය අනුව පස්දෙනෙකුගෙන් සැදුම්ලත් සාමාන්‍ය පවුලක වසරේ ආදායම රු. 1,179,725ක් හෙවත් මාසික ආදායම රු. ලක්ෂයක් පමණ විය යුතු මුත් එසේ වන්නේ ලංකාවේ පවුල් කීයක ද?


සෙනසුරාදා දිනමිණ කතුවැකියෙහි අපූරු රචනාවක් තිබිණි. එහි මාතාකාව 'ඔබට ඩොලර් හාරදහසක් ලැබුණොත්' යනු ය. එහි ද සඳහන් වන පරිදි ඒක පුද්ගල ආදායම යනු රටක ආර්ථික සංවර්ධනය හා සමෘද්ධිමත් භාවය මනින එක් දර්ශකයක් පමණි. අප කියන්නේ එය හොඳ දර්ශකයක් නො වන බවයි.


අපගේ තර්කය දිනමිණ කතුවැකියේ එක් වාක්‍යයකින් ඔප්පු කළ හැකි ය. එම වාක්‍යය නම් 'රටක් සංවර්ධනය කිරීම යනු ශ්‍රම හමුදාව සඳහා වැඩි පඩි ලබාදීම නො වේ' යන්නයි.


ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීම සංවර්ධනයේ මිනුම් දණ්ඩක් ලෙස හිස් මුදුනින් පිළි ගන්නා අය රටේ බහුතරයක් ජනයා හිඟා නො කා හිඟා කෑවත් ඒක පුද්ගල ආදායම ඉහළ මට්ටමක පවතී නම් රට සමෘද්ධිමත් බව කියති.


"National Income is the money value of all goods and services produced in a country during a year"
-J.M.Keynes

රටක ජාතික ආදායම ගණනය කරන ක්‍රමවේදය අනුව, යුද්ධය, මර්දනය, මත්පැන්, දුම්වැටි, නාස්තිය, දූෂණය සඳහා යන වියදම් පවා එයට එකතු වේ. ඒක පුද්ගල ආදායම ගණනය කරනු ලබන්නේ මෙම අගය ජනගහණයේ සංඛ්‍යාවෙන් බෙදා ය. 


ඉලක්කම් විජ්ජාවලින් පෙන්වන්නට යන ආර්ථික වර්ධනය ගෙයින් ගෙට නො දැනේ නම් එය සැබෑ සංවර්ධනයක් නො වේ. ආදායම් විෂමතා නැති කිරීම අත්‍යවශ්‍ය ය. ලංකාව විසින් අනුගමනය කරනු ලබමින් ඇති රට වන චීනය පවා දැන් ක්‍රියාත්මක පස් අවුරුදු සැලැස්ම යටතේ වැඩියෙන් ම අවධානය යොමු කර ඇත්තේ ආදායම් විෂමතා නැති කිරීමටයි. 


බිම් මට්ටමේ ශ්‍රම ඵලදායිතාව හා ආදායම් නැංවීම කෙරෙහි අවධානය යොමු නො කර අත් පත් කර ගත හැකි ආර්ථික සංවර්ධනයක් නැත. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-11-27

මෙතරම් ණය බරකට කර ගැසීමේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මහජනතාව සම්බන්ධ වූ ආකාරය පැහැදිලි කළ හැකි අයෙකු සිටී නම් ඉදිරිපත් වන්න

(2010 නොවැම්බර් 27, W3Lankaකොළඹ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු ලෙස ආණ්‌ඩු පක්‌ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (26 දා) පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛනයක සඳහන් වන පරිදි ශ්‍රී ලංකාව 2011 වසරේ මුල් මාස හත තුළ දේශීය සහ විදේශීය වශයෙන් රුපියල් කෝටි හාරලක්‌ෂ තිස්‌ හතර දහස්‌ හත්සිය පනහක්‌ ණය වශයෙන් ලබාගෙන තිබේ.


මෙය කෙතරම් වැදගත් ප්‍රවෘත්තියක් වන්නේ ද යත් අද උදෑසන දිනමිණ වෙබ් අඩවිය බැලූ විට ඒ පිළිබඳ හාංකවිසියක් හෝ එහි නැත. ඒ වෙනුවට එහි කතුවැකියේ අපූරු රචනාවක් තිබිණි. එහි මාතාකාව 'ඔබට ඩොලර් හාරදහසක් ලැබුණොත්' යනු ය. 


රජයේ නිල ලේඛන අනුව, මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජුලි දක්‌වා ශ්‍රී ලංකාව දේශීය වශයෙන් රුපියල් කෝටි දෙලක්‌ෂ පනස්‌ හතර දහස්‌ හාරසිය විස්‌සක්‌ ද (254,420) විදේශීය වශයෙන් රුපියල් කෝටි එක්‌ලක්‌ෂ අනූදහස්‌ තුන්සිය තිහක්‌ ද (180,330) ණය ලෙස ලබාගෙන තිබේ.


මේ වනාහි රු. 4,347,500,000,000 ඉක්මවන ප්‍රමාණයකි. ලංකාවේ ජනගහණය කෝටි දෙකක් ලෙස සැලකූ කල රටේ ලොකු කුඩා සෑම පුරවැසියකු ම මේ මාස හත තුළ රු. 217, 375ක් ණය වී ඇත. සතරදෙනෙකුගෙන් සැදුම්ලත් රත්තරං පුංචි පවුලක ණය බර රු. 869,500කි.


මීට අමතරව එම මාස හත තුළ ශ්‍රී ලංකාව ආපසු ගෙවූ ණය ප්‍රමාණය රුපියල් කෝටි හතළිස්‌ හත්දහස්‌ දෙසිය පනස්‌ හයක්‌ (47,256) බවද ඊට අයත්වූ පොලී ප්‍රමාණය රුපියල් කෝටි විසි එක්‌දහස්‌ හත්සිය අසූතුනක්‌ (21,783) බවද එම ලේඛනයේ දැක්‌වේ.


අතීතයේත් ලංකාව විශාල වශයෙන් ණය ගත්තේ ය. අද වන විට කලින් ගත් ණය ගෙවීම හා අලුතින් ණය ගැනීම අතර ඇති පරතරය විසින් ම ලංකාව පැටලෙමින් තිබෙන ණය උගුලේ දිග පළල පෙන්නුම් කෙරේ.


මුල් මාස හත සම්බන්ධයෙන් තත්වය මෙබඳු නම් වසර අවසන් වන විට තත්වය කෙසේ වනු ඇද්ද?


රජය සැබැවින් ම මහජන ආයතනයක් නම්, මෙතරම් ණය බරකට මේ රටේ ජනයා ඇද දැමීම පිණිස ජනතාවගෙන් ලබා ගත් අවසරයක් තිබිය යුතු ය. එවැනි අවසරයක් ඉල්ලා සිටියේ රජයේ කුමන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ද? ජනතාව එවැනි අවසරයක් ප්‍රදානය කළේ කුමන මැතිවරණයෙන් ද?


ලංකාවේ රජය යනු මහජනතාව මත බලෙන් පටවන ලද සමාගම් බූවල්ලෙකු බව අප කියන්නේ මෙවැනි හේතු නිසා ය. මේ සමාගම මහජන සමාගමක් නම් ජනතාව එහි කොටස්කරුවන් විය යුතු ය. එහි තීරණ ගැනීමේ ක්‍රියාවලිය හා කොටස්කරුවන් අතර ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයක් තිබිය යුතු ය. මෙවැනි ණය බරකට කර ගැසීම සඳහා වූ බැරූරුම් තීරණ ගැනීමේ ක්‍රියාවලියට මහජනතාව සම්බන්ධ වූ ආකාරය පැහැදිලි කළ හැකි අයෙකු සිටී නම් ඉදිරිපත් වන්න.


ප්‍රජාතන්ත්‍රවාදය නො හඳුනන වංචනිකයන් පිරිසක් රජය සිය ග්‍රහණයට ගෙන පෞද්ගලික සමාගමක් බවට පත් කරගෙන ඇත. එම සමාගම වැරදි ලෙස කළමනාකරණය කරන ඔවුහු ඒ වැරදි කළමනාකරණය වෙනුවෙන් විශාල වේතන හා දීමනා ලබා ගනිති. ඒවා ගණනය කිරීමේ ක්‍රියාවලිය සමග ද මහජනතාවගේ සම්බන්ධයක් නැත.


අවසානයේ පාඩු හා ණය බර මහජනයා පිට පටවති.


රජය නමැති සමාගම් බූවල්ලා ලංකාවේ ජනයා පෙළන ප්‍රධාන සතුරා ය. රජය ජනසතු කළ යුතු ය යන්නෙන් අප අදහස් කරන්නේ රජය කළමනාකරණය කරන මෙම ක්‍රමය වෙනස් කළ යුතු ය යන්නයි. එනම්, ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයක් අවශ්‍ය බවයි.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-11-26

ඇමරිකාව ගැන කේරළයෙන් බිහි වූ විකට ගීතය ඔබත් දුටුවා ද?

කේ.පී. සසි
(2010 නොවැම්බර් 26, W3Lanka) මීට වසර කීපයකට පෙර ලෝක සමාජ සමුළුව නම් ගෝලීය ධනවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජ ව්‍යාපාරය දියත් වූ සමයේ ඉන්දියාවේ කේරළයෙන් එළි දුටු මෙම ගීතය එකල අරගල බිමේ මහත් සේ ජනප්‍රිය විය.


ලංකාවේ ද සමාජ සමුළුවලදී වාදනය වූ මෙම ජනප්‍රිය වීඩියෝව නිර්මානය කළ කේ.පී. සසී මීට වසර කීපයකට පෙර මෙම ලේඛකයාට සිනමා වැඩමුළුවකදී පහසුකම් සපයන්නකු ලෙස හමු විය. ඔහු සිනමාකරුවකු මෙන් ම සමාජ ක්‍රියාකාරිකයෙකි. සොඳුරු මිනිසෙකි. ඔහුගේ සිනමාකරණය ඉන්දීය සිනමාවේ ප්‍රධාන ධාරාවෙන් බැහැරව සමාජ අරගල භූමිවල පවතින්නකි. ඔහු සිය සිනමා නිර්මානවල සංගත තැටිත් අරගෙන තැනින් තැන යන සැරිසරන්නෙකි. 


ඔහුගේ අදහස් හා නිර්මාන පිළිබඳ විස්තර සදහා මෙම පිටුව බලන්න. 


මෙම ගීතයේ ඉංග්‍රීසි උච්චාරණය මලයාලි ඌරුවට සිදු වන නිසා ඒ ඉංග්‍රීසි ඉංග්‍රීසියෙන් ම උප සිරැසි කර ඇත.


ගීතයේ තනුව පිළිබඳ ලේඛකයා සසිගෙන් විමසූ විට එය ලංකාවේ ගීයක තනුවක් බව හේ පැවසී ය. සුරංගනීට මාළු ගෙනාවා ගීය දකුණු ඉන්දියාවේ ජනප්‍රිය වන්නට ඇත්තේ එය ගායනා කළ ගෝල්ඩන් චයිම්ස් ගායක මනෝහරන් 83 ජුලි කලබලවලින් පසුව කලක් දකුණු ඉන්දියාවේ ජීවත් වූ නිසා විය හැකි ය.


මෙන්න ගීය යූටයුබ් ඔස්සේ


මෙම ගීය අපට නැවත මතක් කර දුන්නේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනට ස්තුතියි.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

ලෝකෙට ම එකයි! පාඩුව මහජනයා මත පටවන රජය නම් අපූරු සමාගම ජන සතු කළ යුතු ය






මූලාශ්‍රය: ලංකාදීප (කරු ජයසූරිය මන්ත්‍රීතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දකි.)
(2010 නොවැම්බර් 26, W3Lankaලංකාවේ විශාලතම ව්‍යාපාරික සාමූහිකය රජයයි. එසේ ම, වැඩියෙන් ම පාඩු ලබන සමාගම් ටික අයත් වන්නේ ද මෙම දැවැත්ත කොම්පැනියටයි. 


එහෙත්, මෙම සමාගම සුවිශේෂ එකකි. ලෝකයේ අන් කිසිම සමාගමක සිදු නො වන ආකාරයට ලාභ, පාඩු පිළිබඳ නො සලකා බිස්නස් කිරීමේ නිදහස මෙම සමාගම් කළමනාකරුවන් වන ආණ්ඩුවේ හිතවතුන්ට ඇත.


මෙම සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවල හා කළමනාකරණයේ ඉන්නේ පරාජිත මැතිවරණ අපේක්ෂකයෝ, ඇමතිවරුන්ගේ පවුල්වල සාමාජිකයෝ, ඡන්දෙට කඩේ ගිය ඇම්බැට්ටයෝ, ගජමිතුරු ව්‍යාපාරිකයෝ හා රජ පවුලේ අන්තේවාසිකයෝ ය. මේ කළමනාකරුවෝ කළ මනා දේ හැර අන් හැම දෙයක් ම කරති. 


පාඩු ලැබුවා ය කියා මෙම ආයතනවල කළමනාකරුවන්ට කිසිදු ප්‍රශ්නයක් නැත. පාඩුව පියවීම සඳහා මහජනයාගෙන් තව තවත් බදු අය කරනු ලැබේ.


පහත සඳහන් ලැයිස්තුව බලන්න. රජය නම් සමාගමට තේ කඩයකින්වත් ලාභ ලබන්නට බැරි බව එම ලැයිස්තුවේ පාඩු ලබන සමාගම්වල නම් කියැවූ විට වැටහෙනු ඇත.


ලංකාවේ කිසිදු සුළු පරිමාණ බස් හිමියෙක් පාඩු ලබන්නේ නැත. එහෙත් බස් දහස් ගණනක් හිමි, රජයට බදු නො ගෙවන, පොලිසියට දඩ නො ගෙවන, එක ම බස් ගාස්තුව අය කරන ලංගම 2009දී රු. කෝටි 382ක් පාඩු ලබා ඇත. 2009දී ලංගමය සතුව පැවති බස් රථ සංඛ්‍යාව 4500ක් ලෙස සැලකුවහොත් එක් බසයකින් ලබා ඇති පාඩුව ද රු. 850,000ක් පමණ වේ.


ලංකාවේ කිසිදු රූපවාහිනී, ගුවන් විදුලි, වෙළඳ ප්‍රචාරණ සමාගමක් පාඩු නො ලබන මුත් මහජන සේවා ආයතන නො වන, රූපවාහිනිය, ගුවන් විදුලි සංස්ථාව, වින්ක් ඇඩ්වටයිසිං වැනි ආයතන පවා පාඩු ලබයි.


ඛනිජවැලි සංස්ථාව ඛනිජ වැලි හදන්නේ හෝ කහටගහ ග්‍රැෆයිට් සමාගම මිනිරන් හදන්නේ හෝ නැත. කරන්නේ පොළවේ තිබෙන ඒවා විකිණීමයි. එහෙත්, පාඩු ලබති.


කොටස් වෙළඳපල හා සම්බන්ධ සිකියුරිටීස් ඇන්ඩ් එක්ස්චේන්ජ් කොමිසම ද පාඩු ලබයි.


ආණ්ඩුවට වෙබ් අඩවි නිර්මානය කර දෙන ICTA තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය ද පාඩු ලබන ආයතනයකි.


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකරණය රජයට පවරා ගත්තේ මිහින් ලංකා බිම දමා පළපුරුදු ආණ්ඩුවකි.


ලබන අවුරුද්දේ සිට මේ ලැයිස්තුවට ලිට්‍රෝ ගෑස් කොම්පැනියත් එක් නො වුණොත් පුදුමයකි.


ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩු පියවීම සඳහා විදුලි බිලට අමතරව ලංකාවේ සෑම පුරවැසියෙක් ම තවත් රු. 840ක් ගෙවිය යුතු ය. 


රජයේ දේපල මහජන දේපල හෝ පොදු දේපල ලෙස සලකන පැරණි ආකල්පය වෙනස් කිරීමට දැන් සිදු වී තිබේ. පාඩු පියවීම සඳහා අධික ලෙස බදු බර පටවමින් ජන ජීවිතය අවුල් කරන රජය නම් මෙම දැවැන්ත ව්‍යාපාරික බූවල්ලා ලංකාවේ පීඩිතයන්ගේ අංක එකේ සතුරා ය. 


රජය ආණ්ඩුවේ ග්‍රහණයෙන් මුදවාගෙන ජන සතු කළ යුතු ය. 


මෙම ලිපියත් කියවන්න.

ලංකාවේ ජනයා සූරා කන ප්‍රධාන ම ධනේශ්වර ව්‍යාපාරික බූවල්ලා රජය නමැති සමාගමයි




Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-11-25

ලංකාවේ ජනයා සූරා කන ප්‍රධාන ම ධනේශ්වර ව්‍යාපාරික බූවල්ලා රජය නමැති සමාගමයි

(2010 නොවැම්බර් 25, W3Lankaඅයවැය යෝජනාවලට අනුව නව විශ්‍රාම වැටුප් අරමුදල් දෙකක්‌ අලුතින් පිහිටුවීමට නියමිත බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසූ බව අද "දිවයින" වාර්තා කරයි.


මේ අනුව ඉදිරියේදී දැනට සේවක අර්ථසාධක අරමුදල් ගිණුම් තිබෙන විධිමත් අංශයේ සේවකයන් සඳහා එක්‌ විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ සහ සේවක අර්ථසාධක අරමුදල් ගිණුම් නැති විදේශ ශ්‍රමිකයන් වැනි අවිධිමත් අංශයේ සේවකයන් සඳහා තවත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ද ආරම්භ වන බව වාර්තා වේ. දෙවනුව කියන ලද අරමුදලට විදේශ ශ්‍රමිකයන්ගෙන් අවම වශයෙන් මසකට රු. දහස බැගින් අය කර ගැනීමට නියමිත ය.


2011 ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට අපේක්‌ෂා කරන  මේ අරමුදල් දෙකම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් කළමනාකරණය කරන බව ද මහ බැංකු අධිපතිවරයා කියයි.


දැනට ඊ.පී.එෆ්. ගිණුම් තිබෙන විධිමත් අංශයේ සේවකයන් නව විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වීම අනිවාර්ය වනු ඇතැයි අපේක්‌ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා කියයි. අයවැය යෝජනාවේ සඳහන් පරිදි සේවකයන්ගෙන් සියයට දෙකකුත් සේවා යෝජකයාගෙන් සියයට දෙකකුත් දායක මුදල් වශයෙන් මෙම අරමුදලට ලබාගැනේ. එසේම මේ අරමුදල සඳහා සේවා නියුක්‌තිකයාගේ සම්පූර්ණ විශ්‍රාම පාරිතෝෂිකය (ග්‍රැටිවිටි) මෙම අරමුදලට බැර කළ යුතු අතර එම සේවා නියුක්‌තිකයින් විශ්‍රාම යැමේදී ලබාගන්නා අර්ථසාධක අරමුදල් ශේෂයෙන් සියයට දෙකක්‌ ද ඔවුන්ගේ අනාගත විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ වෙනුවෙන් මෙම අරමුදලට දායක කළ යුතු වෙයි.


විශ්‍රාම වැටුපක් ලබා දීම බැලූ බැල්මට හොඳ දෙයක් ලෙස පෙනේ. ලංකාවේ වයස්ගත ජනගහණය වැඩි වෙමින් පවතින නිසා එය කිසියම් ආකාරයක සමාජ ආරක්ෂණයක් ලෙස ද පෙනේ. එහෙත්, සත්තකින් ම එය එසේ ද?


දැනට රජයේ සේවකයන්ට විශ්‍රාම යන වියේ ලැබූ මූලික වැටුපෙන් 85%ක් විශ්‍රාම වැටුප ලෙස ගෙවනු ලැබේ. විශ්‍රාමිකයන් ද බඩු මිළ දී ගන්නේ සෙසු අය මිළ දී ගන්නා තැන්වලින් ඒ මිළටම ය. එහෙත්, රජයේ සේවකයන්ගේ පඩි වැඩි වන අකාරයටවත් විශ්‍රාමිකය න්ගේ වැටුප වැඩි වන්නේ නැත. මෙවර අයවැය යෝජනාවලින් පවා මෙම කරුණ ඔප්පු වේ. විශ්‍රාමිකයකු අඩු වයසින් මිය ගියහොත් රජයට ලාභයකි. වයස්ගත වන කල් ජීවත් වන විශ්‍රාමිකයන්ගේ ජීවිතයේ අවසාන වසරවලදී ඔවුන් දිළින්දන් මට්ටමට වැටෙන තෙක් විශ්‍රාම වැටුපේ මූර්ත වටිනාකම අඩු වේ. 


රජය පසුගිය කාලයේ ආරම්භ කළ ගොවි විශ්‍රාම වැටුප් ආදියෙහි බොහෝ විශ්‍රාම වැටුප් මසකට රුපියල් දාහට අඩු ය. මෙවැනි පිං පඩිවලට විශ්‍රාම වැටුප් කියා නම තැබීම විහිළුවකි. 


දෙවසරක සේවා ගිවිසුමක් අනුව විදේශගත වන ගෘහ සේවිකාවක් වසර දෙකකදී රු. 24,000ක් පමණ ‍විශ්‍රාම වැටුපකට ගෙවනු ඇත. ඇය මහළු වියට එළඹෙන විට ඇය අතට ලැබෙන විශ්‍රාම වැටුප ඇයට ජීවත් වීමට ප්‍රමාණවත් එකක් බවට රජයට වග කිව හැකි ද? 


ලංකාවේ ආණ්ඩුව තව දුරටත් සුබසාධනවාදී රාජ්‍යයක් මෙහෙයවන ආයතනයක් නො වේ. එය කරන්නේ පවත්නා සමාජ අනාරකිෂිතභාවය තුළ භීතිය විකුණමින් ලාභ ගරා ගැනීමයි. භිතිය විකිණීම හා ඩැනියෙල් කැහ්නමන්ගේ ආර්ථික විද්‍යා න්‍යාය පිළිබඳ අප විසින් ලියන ලද ලිපියක් වෙත මෙතැනින් පිවිසිය හැකි ය. 


මෙහිදී ආණ්ඩුව රක්ෂණ සමාගම්වලටත් වඩා සටකපට හා කෲර අන්දමින් ක්‍රියා කරයි. විශ්‍රාම යන පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මතය කිසිදු ආකාරයකින් විමසන්නේ නැතිව, කිසිදු මැතිවරණ හෝ වෙනත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක කියන්නේ ද නැතිව, පෞද්ගලික අංශයේ ශ්‍රමිකයන්ගේ ග්‍රැටිවිටි එකට කෙළින්නට යන ආකාරය මෙම කෲරත්වයට නිදසුනකි. 


රැකියා කරන්නන්ගෙන් මාසිකව විශාල මුදලක් බැර වන දැවැන්ත අරමුදල් ගණනාවක් ම දැන් රජය සතු ය. සේවක අර්ථසාධක අරමුදල, සේවානියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, විශ්‍රාම වැටුප් භාරය, වැන්දඹු හා අනත් දරු අරමුදල, රජයේ සේවකයන්ගේ අග්‍රහාර රක්ෂණ අරමුදල ආදී අරමුදල්වලට දැන් මෙම නව අරමුදල් ද එකතු වේ.  මෙවැනි අරමුදල් භාර රජය කරන්නේ ඒවා ආණ්ඩුවට ඕනෑ පරිදි ආයෝජනය හෝ වියදම් කිරීමයි.


මේ අරමුදල් උපයන ලාභයෙන් සාධාරණ කොටසක් සඳහා හිමිකම් කීමට ඒවායේ සාමාජිකයන්ට අයිතියක් ඇත. සාධාරණත්වය ඉටු කිරීමට මඟක් ඇත. එනම් ජීවන වියදම හමුවේ විශ්‍රාමිකයන්ගේ මූර්ත විශ්‍රාම වැටුප අඩු වී නො යන ක්‍රමවේදයක් සැකසීමයි. 


රජය එසේ නො කරන්නේ නම්, එය අතිශය කෲර සූරාකෑමකි. 


ආණ්ඩුවට හා ආණ්ඩුවේ අතවැස්සන්ට අමතරව, මිහින් ලංකා හා ඇතැම් සංවර්ධන ව්‍යාපෘති වැනි සුදු අලින් ද නඩත්තු වන්නේ ඍජුව හෝ වක්‍රව මේ අරමුදල්වල පිහිටෙනි. සුදු අලි ලැයිස්තුවක් මෙතැන ඇත. 


ලංකාවේ රජය දැන් ක්‍රියාත්මක වන්නේ බහු ජාතික සමාගමකට නො දෙවෙනි කොල්ලකාරී කොම්පැනියක ස්වරූපයෙනි. නිර්දය අන්දමින් මහජනයා සූරා කන මේ කොම්පැනිය ආණ්ඩුවේ ඉහළ ස්ථරයට හා දේශපාලකයන් සමග සමීප ව්‍යාපාරික පැළැන්තියකට සැප සම්පත් සාදා දෙයි. 


ලංකාවේ ජනයා සූරා කන ප්‍රධාන ම ධනේශ්වර ව්‍යාපාරික බූවල්ලා රජය නමැති සමාගමයි. 


ලංකාවේ පීඩිතයන්ගේ අරගලය මෙම නව සංදර්භය තුළ ප්‍රතිව්‍යූහගත විය යුතු ය. 




Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

විදුලි බල මණ්ඩල මූලස්ථාන ඉදිරිපිටදී ආණ්ඩුවට කඩේ ගිය අහිංසකයන්ට ඇමති චම්පික පොලිසිය ලවා කළ දේ

(2010 නොවැම්බර් 25, W3Lankaලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් උපුටා ගනු ලැබූ මෙම ඡායාරූපයේ සිටින පිරිස නොවැම්බර් 23දා උදේ කොළඹ කොටුවේ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිට රැස් වුණේ තම සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා අඛන්ඩ උද්ඝෝෂණයක් කිරීමටයි. 


බහුතරයක් තරුණයන් වූ මෙම පිරිස වෙනත් සමාගම් දෙකක් හරහා විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනමින් සේවය කළ 4000ක පිරිසක් නියෝජනය කළ හ. 


පසුගිය මැතිවරණවලට පෙර අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මෙම පිරිස කොළඹට ගෙන්වාං, ඔවුන් ස්ථිර කරන බවට පො‍රොන්දුවක් දී, ඔවුන්ට ඡන්දයට වැඩ කරන ලෙස දැනුම් දෙන ලදී. ඔවුන් 4000ට දෙන ලද ඉලක්කය වන්නේ ඡන්ද ලක්ෂ හතරකි. රස්සාව ස්ථිර කර ගැනීම පිණිස ඔවුහු සිය පවුල් සාමාජියන් හා ඥාතීන් ආදීන් ද ආණ්ඩුවට ඡන්දය දීමට පෙළඹවූ හ. 


මේ අතරින් සෑහෙන පිරිසක් සිංහලයෝ වෙති. සිංහලයන් විසින් මෙවැනි උද්ඝෝෂණ සෑහෙන සංඛ්‍යාවක් කර බලයට ඔසවා තබන ලද වර්තමාන විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක දැන් මෙම පිරිස අමතක කර තම උවමනාව පරිදි 1500ක පිරිසක් විදුලි බල මණ්ඩලයට බඳවා ගන්නට යන නිසා මෙම පිරිස සිය සේවය ස්ථිර කර ගැනීම පිණිස මෙම උද්ඝෝෂණය ආරම්භ කළ හ. 


පිළි ගන්න. තනිකර ම, මහජනතාවගේ කර පිටින් ම බලයට ආ මේ ඇමති මෙම පිරිස සමග කිසිදු සාකච්ඡාවකට සූදානම් නැත. එපමණක් නොව, මේ නව නට්සිවාදීහු අඩු තරමේ උද්ඝෝෂණයකට හෝ ඉඩක් නො තබති. 


පොලිසිය හා හමුදාව මෙම පිරිස විසුරුවා හැරිය අන්ද ඔබ දන්නවා ද? රාත්‍රී දහයට පමණ බස් රථ කීපයකින් විදුලි බල මණ්ඩලය අභියසට පැමිණී පොලිසිය හා හමුදාව වහා එතැනින් ඉවත් නො වුවහොත් පහර දෙන බවට තර්ජනය ක‍ළ හ. උද්ඝෝෂකයන්ට කතා කිරීමටවත් ඉඩක් නො දුන් මේ නීතිය හා සාමය රකින්නෝ වහා පිට වී නො ගියහොත් සියලු දෙනාට පහර දෙන බවට කෲර ලෙස තර්ජනය කළ හ. 


සිය උද්ඝෝෂණය නතර කර සාමකාමීව විසිර යන්නට තීරණය කළ මෙම පිරිසට පොලිසිය කොළඹ කොටුව දෙසට යාමට හෝ ඉඩ නො දුන් හ. මීටර් 300ක් පමණ ඉදිරියෙන් තිබූ කොටුව දුම්රියපොළ දෙසට යන්නට ඔවුන්ට ඉඩ නො දුන් පොලිසිය ඔවුන් ඩී.ආර්. විජේවර්ධන මාවත දෙසට පළවා හැරිය හ. කොළඹට බැහැරින් පැමිණ සිටි විශාල පිරිසක් ද ඇතුළත් වූ රැකියා අපේක්ෂිත මේ තරුණයෝ ඒ රාත්‍රියේ ඒ පාළු වීදිය දිගේ කිලෝමීටර ගණනාවක් පයින් මරදානට ගොස්, එතැනින් බස්වල නැඟී හෝ පයින් ම කොළඹ කොටුවට පැමිණ, රෑ අගුපිල්වල, බස්වල ගෙවා බලාපොරොත්තු සුන්ව ගෙදර යන්නට ඇත. 


මැතිවරණ සමයේ මවන ලද දෘෂ්ටි මායාව මැකී යමින් පවතී. මේ වනාහි යථාවබෝධය පහළ වන සමයයි. හෙට.......?


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-11-24

අසභ්‍ය දර්ශනවලට පෙනී සිටි තරුණියන් පිරිසකගේ රූප

අපට ලැබුණු ඊමේල් ලිපියකි. නිර්මානාත්මක ය.



Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

සයිබර් ජාතිවාදියෝ, පොන්නයෝ හා W3Lanka

(2010 නොවැම්බර් 24, W3Lankaඅප ආණ්ඩුවේ කිසි ම හොඳක් දකින්නේ නැති බව කියමින් සමහරු අප සුදු වෑන්වලින් ඉස්සිය යුතු බව හා හිරේ ඇරිය යුතු බව කියති.


ඇත්තෙන් ම අපි ආණ්ඩුවේ විශේෂ හොඳක් ඇති නම් අනිවාර්යයෙන් ම කියන්නෙමු. උදාහරණයක් මෙසේ ය:




සමහරුන්ට ඒ අගය කිරීම් ද තිත්ත ය.


ජනතාව ආණ්ඩුව පත් කරන්නේ හා දුවා දරුවන්ට කන්න දෙන්න දුක සේ හරි හම්බ කරන මුදලින් බදු ගෙවා, ඇමතිලාට හා නිලධාරීන්ට සැප දෙන්නේ හොඳ වැඩ කරන්නට මිස නරක සඳහා නො වේ.


ආණ්ඩුවේ හොඳ වැඩ වර්ණනා කරන්නට ලේක්හවුස්, රූපවාහිනී, අයි.ටී.එන්, ගුවන් විදුලි සංස්ථාව වැනි රජයේ ආයතන රැසක් ද ජනතා බදු මුදලින් හෝ ජනතා බදු මුදලින් ආණ්ඩුව දෙන දැන්වීම්වලින් හෝ නඩත්තු වේ.


එහෙව් එකේ, මේ (කක්කි, ගූ, මිනිසුන් නො කියවන, සමාජ විරෝධී ආදී) විශේෂණ රැසකින් හැදින්වෙන මෙම බ්ලොගය ද ආණ්ඩුව වර්ණනා කිරීම සඳහා වෙන් විය යුතු යයි අපි නො සිතමු. එහෙම කරන්නට ගියොත්, සමහරුන් යෝජනා කරන පරිදි අප සුදු වෑන්වලින් රැගෙන ගියහොත් ආණ්ඩුවට තමන් දිහා බලා ගන්නට මෙවැනි සයිඩ් කණ්ණාඩියක්වත් නැති වනු ඇත.


සයිබර් අවකාශයේ සිටින නිර්නාමිකව තර්ජන නිකුත් කරන බියසුල්ලන් නො දන්නා මෙම අවබෝධය ආණ්ඩුව කරවන ලොක්කන්ට ඇත. අප මාධ්‍ය භාවිතාවේ යෙදෙන්නේ එහි ව්‍යවහාරික දිග පළල හොඳින් දැනගෙන ය. ආණ්ඩු පෙරළන දේශපාලන ව්‍යාපෘතිවලට අප කඩේ නො යන්නේ එහෙයිනි. අපට තිබෙන්නේ ආණ්ඩු පෙරළීමේ හදිසියක් නො ව සමාජවාදය පිළිබඳ මහජන කතිකාවක් ගොඩනැඟීමේ උවමනාවක් පමණි..


එසේ ම අපි වනාහි සියලු ප්‍රශ්නවලට විසඳුම සමාජවාදය බව කියමින් ප්‍රශ්න මගහරින්නෝ ද නො වෙමු. පවත්නා තත්වයන් තුළ යම් ගැටලුවකට විසඳුමක් ලෙස අප දකින යම් දෙයක් වේ ද අපි එය යෝජනා කරන්නෙමු.


අප වනාහි විදේශ රටවල දේශපාලන රැකවරණ ලබා ගැනීමට හෝ රාජ්‍ය නො වන ව්‍යාපෘතිවලින් හෝ යූඇන්පියෙන් මුදල් ගැනීමට මාධ්‍යකරණයේ නො යෙදෙන පිරිසක් බව කවුරුත් දනිති. ‍


අප කමෙන්ටු පාලනය කිරීමෙන් බොහෝ දුරට වළකින්නේ ලාංකීය බ්ලොග් අවකාශයේ සැරිසරන ඔබගේ අදහස් විවෘතව ප්‍රදර්ශනය කිරීමට ඔබට ද අවස්ථාවක් ලබා දෙන්නට ය. එසේම, කාලීන ප්‍රශ්න පිළිබඳ යම් සංවාදයක් ‍ගොඩනැඟීම ද අපේ අරමුණකි. ‍අපගේ පාඨකයන් බොහෝදෙනෙක් ඒ බැව් අවබෝධ කරගෙන කටයුතු කරන බව ප්‍රශංසාත්මකව පැවසිය යුතු ය.


එහෙත්, සිංහල ජාතියේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටින කිහිප දෙනෙක් කරන කටයුතු නිසා ඇත්තෙන් ම සිදු වන්නේ සිංහල ජාතිය අවමානයට ලක් වීමයි.


තිස්සමහාරාමයෙන් හමු වූ වළං කටු කැබැල්ලක ඇති අක්ෂර දෙමළ ලෙස හඳුනා ගැනීමෙන් පසු ඒ ඔස්සේ සිදු වන දෙමළ ජාතිවාදී මත ගොඩනැඟීමකට හා ඒ හා සමාන ම වූ සිංහල මත ගොඩනැඟීමකටත්, ඉතිහාසය හා සම්බන්ධ මෙම ගැටලුව පිළිබඳවත් අප විසින් ලියන ලද ලිපිය නො කියවූ එක් සිංහල භූමි පුත්‍රයෙක් දිගින් දිගට ම පළ කළ අදහස් ‍පහත දැක්වේ.


"වලං කට්ටෙන් ඔබ කියන්නේ මේක දෙමලුන්ට අයිති බවයි...


රජය රුපියල් කෝටි 58,300ක් වැයකරල LTTE ත්‍රස්තවාදය නැතිකරාම, ඒක නොකල යුත්තක්...


එත‍කොට මේ හම්බ වුන වෙහෙර විහාර ඔක්‍කෝම හ සියවසට පස්සේ හදපුව වෙන්න ඇති නේද?


වසර 2500 ඉතිහාසයක් අපට තියෙනවා කිව්වොත් ඒක අපි නිර්මාණය කරපු බොරුවක් !! හා හා...


වලං කට්ට හම්බ වුනාම ඒකට දෙමල වේස බල්ලෙක් කෑගැහුවම ඒක ඇත්ත...


ඒ වලං කට්ටෙන්ද තෝ ඉපදුනේ???


ඉතින් W3 පොන්නයා උම්බ ‍වගේ ‍ජාතියක් ජම්මයක් නැති පොන්න දෙමලුන්ට දීල අත හෝද ගන්න කියන එකනේ !!!


කිව්ව විදියට තොගේ අවජාතක කම ඔප්පු වෙන්නේ!!!!"


"මීට පස්සේ W3 කියන්නේ වලං කටු පොන්නයා.."


"මේ ලිපියේ අන්තර්ගතය විදිහට මම නම් ගත්තේ . . .


"අපි තමයි මේ රටේ වැඩිම ඉතිසාහයක් තියෙන නියම අයිතිකාරයෝ"


කිය කියා මරා ගන්නේ නැතුව, ජාති කුළ මල ආගම් බේද පැත්තක දාලා . . . දැන් සිවිල් යුද්ධයකුත් නැති එකේ . . . අපි හැම දෙනාම එකතු වෙලා . . මේ රට අපේ ඊලඟ පරම්පරාවලට සාමයෙන් සහජීවනයෙන් නිදහසින් ජීවත් වෙන්න පුලුවන් ජාතියේ රටක් බවට පත්කරගත යුතුයි කියන පනිවිඩය දෙන්න උත්සාහ කලා කියන එකයි . . ." යි කියා දුකා පැවසූ පසුවත් මෙම නිර්නාමික අදහස් පළ කරන්නා මෙසේ කීවේ ය.


"වලං කටු පොන්නයා... LOL"


"@ දුකා: මේකේ නම


තිස්සමහාරමයේ වළං කට්ටෙන් නැවත මතු වන ඉතිහාස ගැටලුව. ඒ කියන්නේ


"අපි තමයි මේ රටේ වැඩිම ඉතිසාහයක් තියෙන නියම අයිතිකාරයෝ"


කිය කියා මරා ගන්නේ නැතුව, ජාති කුළ මල ආගම් බේද පැත්තක දාලා . . . දැන් සිවිල් යුද්ධයකුත් නැති එකේ . . . අපි හැම දෙනාම එකතු වෙලා . . මේ රට අපේ ඊලඟ පරම්පරාවලට සාමයෙන් සහජීවනයෙන් නිදහසින් ජීවත් වෙන්න පුලුවන් ජාතියේ රටක් බවට පත්කරගත යුතුයි කියන පනිවිඩය දෙන්න උත්සාහ කලා කියන එකයි . . . "


නෙමේ!!! දවල් හීන දකින්න එපා.. නැගිටින්න. anno 1 බලන්න:




ඒ කියන්නේ toilet දමෙලු ඉස්සර වලං හැදුවා කියලා. නියම ජාතියක් උන් ඒ කියන්නේ ලියන්න දේවල් නැතුව වලං කටු වල ලියල.


ආහ්... w3 වැරදුනා... mr. walan katu pons දැන්වත් ‍‍මේ දෙබිඩි ජීවිතය නවත්වනවද? ඉස්සෙල්ලා උම්බ සිංහලට පක්ෂවද පරම පර දෙමලුට පක්ෂවද කියලා කියනවද?"


බුමුතුරුණු බ්ලොග්කරුවා මැදිහත් වී මෙසේ කියුවේ ය: "ඉතිහාසය කියවන විට හෝ අජිත් පැරකුම්ගේ ලියවිලි දකින විට හෝ යමෙකුගේ ඇගෙහි පළු දමන්නේ නම්, බඩ පපුව දන්නේ නම්, හිසේ කැක්කුම හැදෙන්නේ නම් එය රෝගයක් බව කාරුණිකව තේරුම් ගන්න. ඊට කදිම ප්‍රතිකාර පවතී. ප්‍රතිකාර නොකර කහබිලියා ගෑ වුණ එකාසේ දැගලීමෙන් තමන්ගේ රෙද්ද කඩා වැටෙන බව ද කාරුණිකව තේරුම් ගන්න.


ඉතිහාසය හෝ අජිත් පැරකුම් හෝ ඉවසීමට නොහැකිව ප්‍රසිද්ධ කරන මේ ආක්‍රෝධ පරිභවයන් සිංහල කියවිය හැක අන් ජාතීන් කියවා තේරුම් ගනු ඇත්තේ සමස්ත සිංහලයන්ම මිලේඡයන් පිරිසක් ලෙසිනි.


එවිට සිංහල ජාතියම ඉතිහාස ගත වනු ඇත්තේ තිරිසනුන් පිරිසක් ලෙසිනි.


1978 ආර්ථික පාදඩකරණය නිසා ඇති වූ නපුංසක සමාජ කොටසක් තම වර්ගවාදී මතය පොදු සමාජ මතය බවට පෙරලීමට උත්සාහ ගනිති. එහෙත් සිදුවන්නේ සමාජයක් ලෙසත් ජාතියක් ලෙසත් අපිට ඊට වන්දි ගෙවීමට සිදුවීමයි."


ඉන් අනතුරුව ද ඉහත කී කමෙන්ටුකරුවා සිය කාර්යය නැවැතුවූයේ නැත. "හරි හරි පැරායි ශානුයි තොපි දෙන්න හිතාගෙන ඉන්නෙ ප්‍රභාකරන්ට රට ලියල දුන්න නම් තොපිට කහඹිලිය ගා ගන්නෙ නැතුව ඉන්ඩ පුළුවන් කියලනෙ. අනේ අවජාතකයිනේ තොපි නොදන්න දේ තමයි උඹල ඔය ඔළුව උඩ තියාගෙන ඉන්න ප්‍රභාකරන් ආව නං තොපි දෙන්නට කරන දේ. තොපි දෙන්නව එහෙනං එක ලයිට් කණුවෙ බැඳල ගේම් එක දීල. තොපි වගේ අවජාතකයො බණ කියන්න එන්නෙ අපිට විතරයි. ඇයි තොපි අර ටැමිල් නෙට් එකේ ලියපු එකාට ගිහින් ඔය බණ කියන්නෙ නැත්තෙ. ඌ නෙවෙයිද මේ ගැටුම පටන් ගන්නෙ? තොපි වගේ අවජාතකයින් හින්ද තමයි සිංහල ජාතිය අද බලු වෙලා තියෙන්නෙ. දැන්වත් ඔය පරගැතියාව අත ඇරල නැඟිටපියව්. නැත්නම් තොපෙ දරුවො කවද හරි තොපේ මිනී වලවල් වලට කෙළ ගහයි යකුණේ."


මෙබඳු නර්මාලාප දිගින් දිගට ම නැවත පළ කිරීම තේරුමක් නැති ක්‍රියාවකි.


අවසාන වශයෙන් මෙය සඳහන් කළ යුතු ය.


අපි සිංහලයෝ ය. එහෙත් සිංහල ජාතික ආධිපත්‍යවාදීහු හෝ වර්ගෝත්තමවාදීහු නො වෙමු. අප සිංහල අනන්‍යතාව සලකන්නේ වඩා පුළුල් ලාංකික අනන්‍යතාවකට දෙවෙනි‍කොටයි.


සිංහලයාට දියුණු ජාතියක් බවට පත් විය හැක්කේ ලාංකික ජාතියක් ගොඩනැඟීමෙන් පමණි.


අපි අන්තර්ජාලයේ සිංහල භාවිතය ප්‍රචලිත කරන්නට අපට හැකි දායකත්වයක් සැපයුවේ ද මේ දේශපාලන අභිලාෂයෙන් ම ය.


ඔබ මෙහි ලියන සියලු දේ සිංහල ඊ අන්තර්ගතයන් බවට පත් වන නිසා ජාතියට ඔබ කියන තරම් ආදරේ නම් අඩු තරමේ ශිෂිට බසක් භාවිතා කරන්න.


අප දකින තවත් සුවිශේෂ කරුණක් කෙරෙහි ද අවධානය යොමු කරන්නට කැමැත්තෙමු. එනම්, බොහෝ සිංහල ජාතිවාදීන් සෙස්සන්ට බැනීම පිණිස 'පොන්නයා' යන වචනය භාවිතා කිරීමයි.


පොන්නයා යනුවෙන් සාමාන්‍යයෙන් අපහාසාත්මකව හැඳින්වෙන්නේ පිරිමි ශරීරයක් හා ස්ත්‍රී ලිංගික මනෝභාවයන් ඇති අයයි. එසේ ම, සිංහල සමාජයේදී පිරිමි සමලිංගිකයන් හැඳින්වීමට ද බොහෝ විට මේ පදය යෙදේ. ජාතිවාදීන් ජාතිවාදයට විරුද්ධ පුද්ගලයන්ට බැන වැදීම සඳහා නිතර මෙම වදන භාවිතා කරන්නේ ඇයි?


අප දකින්නේ මෙහි කිසියම් මනෝ ලිංගික ගැටලුවක් ඇති බවයි. අනෙකා පොන්නයකු ලෙස අවධාරණය කරන්නා ඇත්තෙන් ම බලාපොරොත්තු වන්නේ සිය පිරිමිකම හුවා දැක්වීමටයි. පිරිමිකම විශේෂයෙන් හුවා දැක්වීමට අවහ්‍ය වන්නේ පෞරුෂ ගැටලු ඇති අයටයි.


පෞරුෂය යන වචනය ම personality යන ඉංග්‍රීසි වදනේ පුරුෂෝත්තමවාදී වැරදි පරිවර්තනයකි.


ජාතිවාදය බරපතල පෞරුෂ ගැටලුවකි.


ප.ලි: කරුණාකර මෙහි කමෙන්ට් හෙවත් අදහස් පළ කරන අය අයි.පී ඇඩ්‍රස් කියා දෙයක් ඇති බව ද කරුණාවෙන් සලකන්න.


කිසිවකුට මරණ තර්ජන කිරීම ලංකාවේ නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.


තර්ජන කර අදහස් දැක්වූ මහත්වරුන් තමන් ම තමන්ගේ කමෙන්ට් මකා ගන්නවා නම් අපි කැමති ය.




Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com