2010-12-31

එකයි එකයි එකොළහයි - සුබ අලුත් අවුරුද්දත් වේවා!

එකයි එකයි එකොළහයි
තව ටික වෙලාවකින් 2011 ජනවාරි 01දා උදා වෙයි. 

හැමෝ ම එකිනෙකාට සුබ අලුත් අවුරුද්දක් පතනු ඇත. 
එසේ පතන ගමන් ම ආණ්ඩුව සමග හෝ ධනවාදය සමග හෝ ඇති තරහට මේ අවුරුද්දේ රටට කෙළ වේවා යි ද පතන්නට ඉඩ ඇත.

රටට කෙළ වූ විට මහජනතාව වීදි බැස ආණ්ඩුව පන්නනු ඇතැයි අපි සිතමු. නැතිනම් බලාපොරොත්තු වෙමු. 

රටට කෙළ වුණාට ආණ්ඩු පන්නන මිනිස්සු මේ රටේ නැත. හිටියා නම්, දැන් දේශපාලනය කරන එකෙක්වත් මේ දූපතේ සිටිය නො හැකි ය.

වඩා දූෂිත ආණ්ඩුව ද, දේශපාලන පක්ෂ ද, මහජනයා ද යන්න තීරණය කිරීම අසීරු තරමට මේ තුන් කට්ටුව ම දූෂිත ය. 

අප්පලා, බාප්පලා එකතු වී රටට කෙළෙව්වත්, පුතාලාගේ අනාගතයට කෙළ වෙන්නේ නැත. කෙළ වෙන්නේ අපේ දූ දරුවන්ගේ අනාගතයට පමණි. 

ධනවාදය කුණු වී ඕජස් ගැලුවත්, සමාජවාදය ඉබේ හැදෙන්නේ නැත. 
සමාජවාදය ගොඩනැඟිය හැක්කේ හුදෙක් ධනවාදයට කඩාකප්පල්කාරී ලෙස වෛර කිරීමෙන් නො ව, සමාජවාදය පිළිබඳ උත්තර සංවාදයක් සඳහා සමාජ අරගලයකිනි. 

කෙටියෙන් ම කීවොත්, ලාභය විසින් දුවවනු ලබන අමානුෂික ධනවාදය වෙනුවට, අප සමාජවාදය නැවත සොයා ගත යුතු ය.

සමාජවාදය සකලවිධ ස්වෝත්තමවාදී පසුගාමීන්ගේ ප්‍රලාපයක් නොව පෙරටුගාමී දියුණු මිනිසුන්ගේ සටන් පාඨයකි.

W3Lanka අරගල අවකාශය එතැන ය.

ශාස්තෲවරුන් සොයා සැරිසරන මිනිසුනි, ශක්තිය ඇත්තේ අනෙකෙකු ළඟ නො ව ඔබ ළඟ ම බව මතක් කර දෙන්නට අපි 2011දීත් වෙර දරමු. 

අපට වෛර කරන ඔබට ආදරය කරන්නට අපි උත්සාහ කරන්නෙමු.  

Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-12-30

ජනවාරි 01දා යළි හමු වෙමු

කාලය අවුරුද්ද නො දනී
අවුරුද්ද හදා ගත්තේ අප ය
කාලය නො වේ


අවුරුද්ද හොඳ ය
අලුත් ඇරඹුමකට 


නැවුම් හුස්මකට පසු 
ගන්නේ ද පෙර වැනි ම හුස්ම ය


කමක් නැහැ
අලුත් අවුරුද්ද හොඳයි
අලුත් යයි සිතා ගන්නට


2011 ජනවාරි 01දා යළි හමු වෙමු

Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-12-28

හයවන ශ්‍රේණියේ සිට පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය දීමේ යෝජනාවක් | A proposal to give sex education to the Sri Lankan school children above Grade 6

(2010 දෙසැම්බර් 28, W3Lanka) පාසල්වල හය වසරෙන් ඉහළ දරුවන්ට ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුමක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය කර ඇති යෝජනාව අපි අගයමු.


සෞඛ්‍ය අමාත්‍යංශය මෙම යෝජනාව කරන්නේ වයස අවුරුදු 16 ට අඩු ගැබිනි මවුවරුන් 3000 ක් පමණ සංඛ්‍යාවක් වාර්ෂිකව වාර්තා වන බව නවතම සමීක්ෂණ වාර්තාවලින් හෙළිදරව් වීමත් සමගයි.


ශ්‍රී ලංකාවේ ගැබිනි මවුවරුන් 385,000 ක ප්‍රමාණයක් වාර්ෂිකව වාර්තා  වන බව ද ඉන් සියයට 6 ත් 7 ත් අතර ප්‍රමාණයක් අවුරුදු 20 ට අඩු මවුවරු බව ද. ඒ අතරින් සියයට 10 ක් අවුරුදු 16 ට අඩු ගැබිනි මවුවරුන් බව ද සමීක්ෂණයෙන් සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මාතෘත්වය හමුවේ මතුවන අභියෝග යන මැයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ හමුවකදී  අනාවරණය කළේය. 


අඩු වයසින් ගැබ් ගැනීම ඔහු කියන අන්දමට නම් 'වක්‍රාකාරයෙන් අධ්‍යාපනය හා සම්බන්ධව පවතී. එනම් අධ්‍යාපනය වයස අවුරුදු 16 ට අඩුවෙන් නවතා දැමීමෙන් ඒ දරුවාට කළයුතු වැදගත් කාර්යයක් නොමැතිවීම නිසා ඇය ලිංගික ක්‍රියාකාරකම්වලට යොමුවීම සිදුවේ. එහිදී අඩු වයසින් ගැබ් ගැනීම සිදු වේ.'


වෛද්‍ය මහීපාල කී බවට දිනමිණේ පළ වී ඇති මෙම ප්‍රකාශය නම් නො ගැඹුරු එකකි. අඩු වයසින් ගැබ් ගැනීම ඍජුව ම අධ්‍යාපනය හා සම්බන්ධ ය. නව යොවුන් වියේ ශාරීරික හා මානසික වෙනස්කම් පිළිබඳ නිසි අවබෝධයක් හා ජීවිතය පාලනය කර ගැනීමේ ශික්ෂණයක් අධ්‍යාපනය තුළින් දරුවන්ට ලැබෙන්නේ නැත. 


එපමණක් නො ව, අධ්‍යාපනය තුළින් ද සමාජයේ ලිංගිකත්වය පිළිබඳ පවතින දුර්මත හා ගතානුගතික ආකල්ප තහවුරු කරනු ලබන අතර, විශේෂයෙන් ම ගැහැනු දරුවන්ගේ සමස්ත ජීවිතය ම අන්ධකාර කරන තත්වයන් නිර්මානය කරයි. 


නිදසුනක් ලෙස කිසියම් පුද්ගලයකුගේ අපයෝජනයට ලක් වී, සමාජයේ ගර්හාවට පත් දැරියන් කී දෙනෙකුට වාර්ෂිකව අධ්‍යාපනය අහිමි වනවාද කියා සොයා බැලීම වැදගත් ය. 


සාමාන්‍යයෙන් නම්, ලංකාවේ පාසල්වලින් සිදු වන්නේ මෙවැනි දැරියන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි කර දැමීමයි. ඔවුන් වෙනුවෙන් කිසිදු විධිමත් විකල්ප වැඩපිළිවෙලක් ද නැත. 


එවැනි ප්‍රශ්නවලදී මැදිහත් වීම සඳහා මහජන මුදලින් පවත්වාගෙන යන ජාතික ළමාරක්ෂක අධිකාරිය වැනි ආයතන කරන්නේ කුමක් ද? 


දැන් සෞඛ්‍ය අමාත්‍යංශය හයවන ශ්‍රේණියේ සිට ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බව යෝජනා කරයි. එහෙත්, පසුගිය දිනවල ළමාරක්ෂක අධිකාරියේ සභාපති නෝනා මාධ්‍ය සමග එකතුව හයවන ශ්‍රේණියට ලිංගික අධ්‍යාපනික පෙළ පොතක් හඳුන්වා දී තිබුණු ජාත්‍යන්තර පාසලකට එරෙහිව ජෝගියක් නැටුවේ ය. විස්තරය මෙතැනින් කියවන්න. ඇත්තෙන් ම කිව්වොත් මාධ්‍ය සංදර්ශනයෙන් පසු ඒ පිළිබඳ කරන බව කී පරීක්ෂණ ද ඉවර ය. 

බාලවයස්කාර දරුවන් නොමඟ යවන ආකාරයේ ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන ජාත්‍යන්තර පාසල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන ඒ දිනවල කීවේ ය.

අධ්‍යාපන ඇමතිවරයා ලිංගික අධ්‍යාපනය යන්නෙන් අදහස් කරන්නේ ළමයින්ට නුසුදුසු කිසියම් වලත්ත දෙයක් බව පෙනේ. එහෙත්, අධ්‍යාපන ඇමතිවරයා ටියුෂන් කළ කාලයේ එම පංතිවලට ගිය ඇතැම් දරුවන් එම පංතිවලින් ආර්ථික විද්‍යාවට අමතරව ලිංගික අධ්‍යාපනයට අදාළ ඇතැම් දේ ද ඉගෙන ගත් බව පවසන්නේ ඔහුට ‍ගෞරවයෙනි.

ලිංගික අධ්‍යාපනය වලත්ත දෙයක් නො වේ. ඈත අතීතයේ සිට ම ළමා අපචාරකාර වැඩිහිටියන්ගෙන් ළමයින් ඉගෙන ගත් පාඩම් ය. ඒවා ලිංගික අධ්‍යාපනය නො වේ. අයෝග්‍ය ලිංගික අත්දැකීම් ය.

හයවන ශ්‍රේණියේ සිටින නව යොවුන් වියට එළඹීමට ආසන්න දරුවකු සිය සිරුරේ සිදු වන්නට ඉඩ ඇති වෙනස්කම් පිළිබඳ විධිමත් අන්දමින් ඉගෙනීම අත්‍යවශ්‍ය ලිංගික අධ්‍යාපනයකි. විශේෂයෙන් ම, මල්වර වීමට ආසන්න ගැහැනු ළමුන් හට ඒ පිළිබඳවත්, ලිංගික වගකීම් හා සබඳතා පිළිබඳවත් වයසට යෝග්‍ය අධ්‍යාපනයක් අවශ්‍ය ය. එහෙයින් හයවන ශ්‍රේණිය ඇත්තෙන් ම ලිංගික අධ්‍යාපනය සඳහා සුදුසු වයසකි.

ගැහැනු ළමයින් හා පිරිමි ළමයින් අතර ශාරීරික වෙනස්කම්, ගැබ් ගැනීම, ගර්භනී අවධියේ අවස්ථා, දරුවන් ඉපදීම, පවුල් ව්‍යූහය මෙන් ම සුදුසු හා නුසුදුසු ස්පර්ශයන් මොනවාද වැනි කරුණු ළමයි ඉගෙන ගත යුතු ය. මක් නිසා ද, තමන් ආවේ කොහෙන් ද යන ප්‍රශ්නයට කුරුල්ලෙකු විසින් ගෙනත් දමනු ලැබුවා ය යන පිළිතුර හැමදාට ම වලංගු නැති බැවිනි.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-12-27

නෞකා, එන්නකෝ නෞකා, මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා (හම්බන්තොට ගීතය)

(2010 දෙසැම්බර් 27, W3Lanka) පහත සඳහන් ගීය සුනිල් ආරියරත්න විසින් ලියන ලද, වික්ටර් රත්නායක විසින් සංගීතවත් කර අබේවර්ධන බාලසූරිය විසින් ගායනා කරන ලද 'ගංගා එන්නකෝ ගංගා' ගීතයේ තනුව අනුව මෙගා සබ් ස්ටාර් දයාසිරි ජයසේකර ගායක මන්ත්‍රී වෙනුවෙන් W3Lanka විසින් ලියන ලද්දකි.  


නෞකා
එන්නකෝ නෞකා
මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා


කෙරූ විවුර්තෙට බර වියදම් කොට
චීනුන් දුන් ණය බර ඔසවාගෙන
පොළී ගෙවද්දී මා
අහක බලාගෙන යන්න ගියා ඔබ
ඇයි එහෙම ඉතින් ඔබ
අහක බලන් යන්නේ


නෞකා 
එන්නකෝ නෞකා
මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා


ජීවන වියදම අහස උසට නැඟ
නැවකුදු රහිතව බකන් නිලාගෙන
පාළු කපද්දී මා
පෙනෙන ඉසව්වෙන් මූදෙ ගියා ඔබ
ඇයි එහෙම ඉතින් ඔබ
අහක බලන් යන්නේ


නෞකා 
එන්නකෝ නෞකා
මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා


මෙම ගීතය රචනා කරන්නට හේතු වූයේ දයාසිරි ජයසේකර විසින් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයකි. උපුටා ගැනීම දිවයිනෙනි. 


හම්බන්තොට වරායට නැව් නොපැමිණෙන්නේ එම වරාය භාවිත කිරීමට සුදුසු බවට අවශ්‍ය සහතික කිරීම් තවමත් කර නොමැති නිසා බව එක්‌සත් ජාතික පක්‍ෂයේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.


ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය 24 වැනිදා කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.


එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය.


ජනාධිපතිවරයා සිය නව ධුරය කාලය සඳහා දිවුරුම් දීමත් සමගම පසුගිය නොවැම්බර් 18 වැනිදා හම්බන්තොට වරාය විවෘත කෙරුණා. එසේ විවෘත කර අද වන විට මාසයකුත් දින ගණනක්‌ ගෙවී ගොස්‌ තිබෙනවා. ඒ වරාය විවෘත කරන දිනවල විමල් වීරවංශ ඇමැතිවරයා කීවේ දිනකට නැව් 400 ක්‌ හම්බන්තොට පසු කර ගමන් කරන බවයි. ඒ නැව්වලින් යටත් පිරිසෙයින් නැව් 2 - 3 ක්‌ වත් දිනකට මෙම වරාය වෙත ගෙන්වා ගැනීමේ හැකියාව අප සතු විය යුතුයි.


මේ වරායට මුලින්ම පැමිණියේ ශාන්ත ගෝමස්‌ මහතාට අයත් "සේරුවිල" නම් නමැති නැවයි. එදිනම එහි පැමිණි දෙවැනි නැව වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් "ජෙට්‌ ලයිනර්" නෞකාවයි. තුන්වැනියට එහි පැමිණියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් "ප්‍රදීපා" නමැති අලියා බෝට්‌ටුවයි. ඉන් අනතුරුව මේ වන තෙක්‌ කිසිම නැවක්‌ මේ වරායට පැමිණ නැහැ. මේ වරාය කලින් "මාගම්පුර වරාය" නමින් හැඳින්වූවත් පසුව එය මහින්ද රාජපක්‍ෂ වරාය ලෙස නම් කොට තිබෙනවා. පසුගිය සතියේ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා කළ ප්‍රකාශයක්‌ උපුටා දක්‌වමින් ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ චීනයේ සිට පොහොර රැගත් නෞකාවක්‌ මෙම වරාය වෙත පැමිණෙන බවයි. අප දන්නා පරිදි වියට්‌නාමයේ හයිපොං වරායේ සිට පොහොර ටොන් 12,000 කට වැඩි ප්‍රමාණයක්‌ පටවාගත් නැවක්‌ ඒ වන විට ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබුණා. මේ අතර මෙරටට රැගෙන එන සියලු පොහොර තොග රැගත් නැව් හම්බන්තොට වරාය වෙත යොමු කළ යුතු බවට රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ තිබුණා.


එහෙත් හම්බන්තොට වරාය තුළ පවතින ප්‍රශ්න ගණනාවක්‌ නිසා මෙරටට පොහොර රැගෙන එන නෞකා අයිති සමාගම් සහ එම වෙළෙඳ සමාගම් එකී පොහොර තොග හම්බන්තොට වරාය වෙත රැගෙන යැමට කැමැත්තක්‌ දක්‌වන්නේ නැහැ.


කලින් සඳහන් කළ පොහොර නෞකාව ද හම්බන්තොට වරාය වෙත පැමිණියේ නැහැ. එම නැවට පටවා තිබූ පොහොර ටොන් 12000 සමග නැව හම්බන්තොට වරායට ඇතුළු කිරීමේ හැකියාවක්‌ නොමැති බව රජය දැන සිටි නිසා ඔවුන් තීරණය කළේ පොහොර තොගයෙන් 3/4 ක්‌ කොළඹ වරායට ගොඩබා ඉතිරි පොහොර ප්‍රමාණය පමණක්‌ රැගෙන නැව හම්බන්තොට වරාය වෙත යොමු කිරීමටයි. ඒ මගින් මාධ්‍ය සංදර්ශනයක්‌ පවත්වා ජනතාව නොමඟ යෑවීමට ආණ්‌ඩුව සූදානමින් සිටියා. එහෙත් නැව හිමි සමාගම එම අඩු පොහොර ප්‍රමාණය සමග හෝ නැව හම්බන්තොට වරායට යොමු කිරීම ප්‍රතික්‍ෂේප කළා. ඒ අනුව 22 වැනිදා රාත්‍රිය වන විට ඉතිරි පොහොර ප්‍රමාණයත් කොළඹ වරායේ බණ්‌ඩාරනායක පර්යන්තයටම ගොඩබා නැව ආපසු යන්නට ගියා.


ඒ අනුව හම්බන්තොට වරායට එන බව කී තුන්වන නෞකාවත් එහි පැමිණියේ නැහැ. හම්බන්තොට වරායේ පළමු වැනි අදියර සඳහා වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 361 ක මුදල ආණ්‌ඩුව චීනයෙන් ලබාගත්තේ 6.3% ක අධික පොලී අනුපාතයක්‌ යටතේයි.


ඊට හේතුවූ ප්‍රධාන හේතුව නම් භාවිතයට සුදුසු තත්ත්වයේ පවතින ලෝකයේ සියලු වරායන් සඳහා නිකුත් කරන "බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි" සහතිකය මෙතෙක්‌ හම්බන්තොට වරාය වෙත නිකුත් නොකිරීමයි. ඒ සහතිකය සමග නිකුත් කරන විට අදාළ වරායේ සිතියම නැව් කපිතාන්වරයා සතුව තිබිය යුතුයි. "බ්‍රිටි්‍රෂ් ඇඩ්මිරල්ටි" සහතිකය නිකුත් කරනු ලබන්නේ අදාළ රටේ නාවුක බලධාරීන් විසින් නිසි මැනුම් කටයුතු නිම කර වරායේ යෝග්‍යතාව සහතික කිරීමෙන් පසුවයි. මෙම බ්‍රිතාන්‍ය සහතිකය හා සිතියම වෙනුවට හම්බන්තොට වරාය වෙනුවෙන් තවමත් සකස්‌ කර ඇත්තේ එහි පළමු අදියරේ ඉදිකිරීම්වලට අදාළ අසම්පූර්ණ සිතියමක්‌ පමණයි. "බ්‍රිටි්‍රෂ් ඇඩ්මිරල්ටි" ආයතනය සතු වෙබ්අඩවිය පරීක්‍ෂා කර බැලුවහොත් එහි ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය තවමත් දක්‌වා ඇත්තේ ඉදිවෙමින් පවතින වරායක්‌ ලෙසටයි.


ලබන ජනවාරි 23 වැනිදා මෙරටට පැමිණීමට නියමිත මීළඟ පොහොර නෞකාවත් හම්බන්තොට වරායට පැමිණීමේ අවකාශයක්‌ නැහැ. දවසට නැව් 400 ක්‌ මේ වරාය බල බලා ගියත් ඒ එකම නැවක්‌වත් පවතින තත්ත්වය යටතේ එහි ගෙන්වා ගැනීමේ හැකියාවක්‌ නැහැ.


නැව්වලට තෙල් සපයන වරායක්‌ ලෙස හම්බන්තොට වරාය පාවිච්චි කිරීමට ආණ්‌ඩුව බලාපොරොත්තු වුණත් එය ද සාර්ථක විය නොහැක්‌කේ සාමාන්‍යයෙන් මෙවැනි මුහුදු මාර්ගයක්‌ අතරමැදින් තෙල් පුරවා ගැනීමේ අදහසින් අදාළ ගමනාන්තය දක්‌වා නැව් පිටත්ව නොයන නිසයි. ඇත්ත තත්ත්වය වසන් කර ගිනි පොලියට ගත් විශාල මුදල් සම්භාරයක්‌ යටකර මෙම වරාය ඉදිකර අනතුරුව මහජන මුදල් කාබාසිනියා කරමින් නැටුම් සංදර්ශන පවත්වා මෙම වරාය විවෘත කළා. වරාය ඇතුළත පවතින විශාල ගල්පරය කඩා දැමිය යුතු බව අප දිගින් දිගටම පෙන්වා දුන් කරුණක්‌.


අදාළ බලපත්‍රය නොමැති තත්ත්වය යටතේ හම්බන්තොට වරාය වෙත නැව් එවීමට කිසිදු නැව් සමාගමක්‌ පෙළෙඹෙන්නේ නැහැ.


මේ හැර ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 350 ක්‌ ආයෝජනය කරමින් කොළඹ දකුණ වරාය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භකොට තිබෙනවා. මේ මුළු මුදලම යෙදවෙන්නේ එහි දියකඩනය ඉදිකොට යටිතල පහසුකම් සැපයීම සඳහා පමණයි.


එම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිවන නව පර්යන්ත චීන සමාගමකට පවරා දීමට ආණ්‌ඩුව පියවර ගෙන ඇති නිසා එහි ආදායමත් මෙරටට අහිමි වනවා. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය හරහා ශ්‍රී ලංකාවට ලබාගත හැකිව තිබූ විශාල ආදායමක්‌ මෙරටට අහිමි වෙමින් පවතිනවා. ඒ අනුව ආදායමින් සියයට 70 ක්‌ නැවතත් බැර වන්නේ පිටරට සමාගම්වල ගිණුම්වලටයි.


මේ ලිපිත් කියවන්න. 

සෝම හිමියන්ගේ 'අපවත් කිරීමෙන්' සත් වසරකට පසු

(2010 දෙසැම්බර් 27, W3Lankaගංගොඩවිල සෝම හිමියන් අපවත් කර දෙසැම්බර් 12දාට සත් වසරකි. අපවත් කිරීම යන නව යෙදුම සිංහල වාග් කෝෂයට එකතු වුණේ එහිමියන්ගේ අභාවයත් සමගයි. 


දැඩි ලෙස රෝගාතුරව සිටි සෝම හිමියන් ශීත ඍතුවේ රුසියාවට යන්නේ ශාන්ත පීටර්ස්බර්ග් සරසවියෙන් ආචාර්ය උපාධියක් ලබා ගන්න‍ටයි. 


සෝම හිමියන් අපවත් කිරීම පිණිස එරටට ගෙන්වා ගැනීමට මෙම ආචාර්ය උපාධිය (ඇමක් ලෙස) පාවිච්චි කරන ලද බවට එදා සිහල උරුමය විසින් චෝදනා කරන ලදී. 


මරණය පිලිබදව තොරතුරු අනාවරණය කිරීම සදහා කොමිෂමක් පත් කරන ලදී.මෙම කොමිෂම මගින් පරීක්ෂණ දෙකක් පවත්වනු ලැබූ අතර මෙම කොම්ෂමේ සාමාජිකයන් තිදෙනෙකුගේ අවසන් නිගමනය වුයේ එම මරණය ඕනෑකමින් කරන ලද්දක් බවයි. එක් කොමිෂන් සාමාජිකයකු පවසුවේ ඒ සදහා සාක්ෂි නොමැති බවයි.


සෝම හිමියන් අපවත් කිරීමෙන් සය වසරකට පසු පොලිස්පති මහින්ද බාලසූරිය ද එම විශ්ව විද්‍යාලයට යන්නේ ය. ඒ පරීක්ෂණයක් පැවැත්වීමට නොව ආචාර්ය උපාධියක් ලබා ගැනීමටයි. එහෙත්, ඔහු ඝාතනය කිරීමක් නම් සිදු වූයේ නැත. 


ආචාර්ය උපාධි පිරිනැමීම සඳහා ඒ ඒ විශ්ව විද්‍යාලවලට අනන්‍ය වූ ක්‍රමවේද තිබේ. ආචාර්ය නාමය නම ඉදිරිපිටින් ඈඳා ගත් පමණින් කෙනෙකු පිළිගත් විද්‍යාර්ථියකු වන්නේ නැත. එසේ වන්නේ අදාළ පුද්ගලයා විසින් කරන ලද ශාස්ත්‍රීය කාර්ය භාරය මත ය. 


සෝම හිමියන්ගේ ජීවත් වීම රුසියාවට හෝ රුසියාවේ ඕතොඩොක්ස් පල්ලියට හෝ ශාන්ත පීටර්ස්බර්ග් විශ්ව විද්‍යාලයට කෙසේ කරදරයක් වන්නට ඇද්දැයි මෙම ලේඛකයාට නො තේරේ. සෝම හිමියන්ගේ දෙසුම්වල යම් සමාජ විවේචනයක් ගැබ් වූ මුත්, ලෝක ව්‍යාප්ත කිතු දහමට හෝ ක්‍රිස්තියානි මූලධර්මවාදයන්ට අභියෝග  කරන විද්‍යාත්මක හෝ මූලධර්මවාදී හෝ ගැඹුරක් එහි නො තිබිණි. 


එහෙත්, එහිමියන්ගේ අපවත් වීම සිහල උරුමය නම් දේශපාලන ව්‍යාපාරයට නම් නව මාවතක් විවෘත කළේ ය. 


2001 මහ මැතිවරණයේදී ලේඛකයා අනුරාධපුර රජරට සේවය ඉදිරිපිට කඩ පනහ අසල වේදිකාවේ පැවති සිහල උරුමයේ රැස්වීමක් දුටුවේ ය. ඔබ විශ්වාස කරනවා ද? එම රැස්වීම බලන්නට සිටියේ එක ම එක් ප්‍රේක්ෂකයකු පමණි. 


අමාරුවෙන් ලබා ගත් එක ම එක පාර්ලිමේන්තු අසුනට එස්.එල්. ගුණසේකර සමග රණ්ඩු වී 2001 මැතිවරණයේදී එම නියෝජනය ද අහිමිව නන්නත්තාර මට්ටමක සිටි චම්පික-රතන දේශපාලන ව්‍යාපෘතිය සෝම හිමියන්ගේ මරණයෙන් පසු සඟුන්ට පිදූ ජාතික හෙළ උරුමය නම් දේශපාලන පක්ෂයක් බවට පත් කරන ලදී. සෝම හිමි අඩි පාරේ ගිය ජනප්‍රිය ධර්ම කථික හිමිවරුන් පිරිසක් පෙරටු කො‍ටගෙන 2004 අප්‍රේල් මහ මැතිවරණයට තරග කළ ජාතික හෙළ උරුමය සැලකිය යුතු ජයග්‍රහණයක් අත් පත් කර ගත්තේ ය. 


2005 ජනාධිපතිවරණයේ සිට ජාතික හෙළ උරුමය ආණ්ඩුවට සම්බන්ධ වී සිටින අතර දෙමළ විමුක්ති අරගලය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා එය විසින් රාජපක්ෂ ආණ්ඩුවට ලබා දෙන ලද ශක්තිය මෙම දේශපාලන ව්‍යාපෘතියේ වැදගත් ම සාධකයයි. ‍එසේ ම, දෙමළ ජාතිකවාදී බල ව්‍යාපෘතියේ තීරණාත්මක පරාජය මෙම ඊනියා සිංහල ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියේ අවසානය ද සලකුණු කළේ ය. 


සෝම හිමියන්ගේ මරණයෙන් සත් වසරකට පසු ආපසු ජාතික හෙළ උරුමය දෙස බලන්න. සංඝයාට පුදන ලද පක්ෂය දැන් නැවතත් එහි උරුමකරුවන් වූ චම්පික-රතන-ගම්මන්පිල ත්‍රිත්වයෙන් නියෝජනය කරන පිරිස අතට පත් වී තිබේ. 2004දී කතානායක තේරීම පිණිස පැවති ඡන්දයේදී කොළොන්නාවේ සුමංගල හිමියන්ගේ වෘෂණ කෝෂ අඹරා අපවත් කිරීමට තැත් කළ ආචාර්යවරයාත් චම්පික රණවකත් එක කැබිනට් මණ්ඩලයේ අසුන් ගනිති. 


ජාතික හෙළ උරුමයේ නායකයෝ දැන් ධර්ම රාජ්‍ය හෝ දස රාජ ධර්ම ගැන කතා නො කරති. එපමණක් නො ව හරිත සමාජය හා ධරණීය සංවර්ධනය ගැන කියූ දේ ද ඔවුන්ට අමතක ය. ආණ්ඩුව අනුගමනය කරන යල් පැන ගිය නව ලිබරල්වාදී (ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර) සංවර්ධන මූලෝපාය ආරක්ෂා කිරීම සඳහා න්‍යාය සම්පාදනය කිරීමේ කණගාටුදායක කොන්ත්‍රාත්තුවට  දැන් ඔවුහු කර ගසා සිටිති. 


නවීන, සුඛෝපභෝගී යාන වාහනවලින් ආරක්ෂකයන් පිරිවරාගෙන ගමන් බිමන් යාම, මහජන මුදලින් ක්ෂණික ධනවතුන් බවට පත් වීම වැනි දේශපාලනික වශයෙන් නො වැදගත් සාධක කීපයකින් නම් ඔවුන් සාර්ථක වී තිබේ. 



සෝම හිමියන්ගේ මරණය පමණක් නො ව සංඝ සමාජය ද පටු අරමුණු වෙනුවෙන් පාවිච්චි විය. බල දේශපාලනයට ඍජුව යොමු වීම නිසා සංඝ සමාජය අන්තයට ම පිරිහිණි. අද වන විට මහ නායක හිමිවරුන් කියන දෙයක්වත් පාලකයන් කණකට නො ගන්නා තත්වයට සංඝ සමාජය පිරිහෙළී ඇත. 

සිංහල බෞද්ධ සාරධර්ම ආරක්ෂා කිරීම මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපෘතියක් පමණක් බවට පත් වී ඇති අතර, ඒ හා සම්බන්ධ ප්‍රකාශන හැර මාධ්‍යයන්ගේ සෙසු අවකාශයත්, සමස්ත සමාජයත් පිරී ඇත්තේ බෞද්ධකමට නො ගැලපෙන අපරාධ, දූෂණ හා අවකල්ක්‍රියාවලිනි. 



සෝම හිමියන්ගේ අපවත් කිරීම ඔස්සේ පෙරට ගන්නා ලද දේශපාලන ව්‍යාපෘතියේ එක ම ජයග්‍රාහකයන් වී ඇත්තේ රාජපක්ෂ පවුලයි. අන් සියල්ලෝ ම පරාජය වී ඇත. පිළි ගන්නට ලජ්ජා වුණත් ඇත්ත එයයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-12-26

ලෙස්ලි ගුණවර්ධන - කේ.එන්.ඕ. ධර්මදාස විවාදය හා ගාමිනී සුමනසේකරගේ පුවත්පත් කලාව

මහාචාර්ය ලෙස්ලි රණවීර ගුණවර්ධන

(2010 දෙසැම්බර් 26, W3Lankaඉරිදා දිවයිනෙහි කලා සටහන් තීරු ලිපියෙහි ගාමිනී සුමනසේකර මෙවර සටහනක් තබන්නේ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස පිළිබඳවයි. බොහෝ අවස්ථාවල ජාතිවාදී හෙවත් ජාතික ස්වෝත්තමවාදී අන්තයන්ට තල්ලු වී තිබෙන සිංහල ජාතිකවාදී පුවත්පතක කතුවරයකු වෘත්තීය විද්‍යාර්ථීන්ගේ ශාස්ත්‍රීය ලෝකය දෙස හෙළන බැල්ම එම ලිපියෙන් උපුට‍ගෙත් පහත සඳහන් කොටසෙහි රතු අකුරින් අප විසින් මතු කර දක්වන කොටස් දෙස අවධානය යොමු කරමින් අධ්‍යයනය කරන්න.


''සිංහල අනන්‍යතාව හා සිංහල ලකුණ වනසා දැමීම සඳහා ගොඩනැඟුණු ව්‍යාජ ඉතිහාස මැවුම්වලට ධර්මදාසයන්ගෙන් එල්ල වූයේ නිර්දය ප්‍රහාරයකි. බෙදුම්වාදී චින්තන ඉතිහාසය උඩු යටිකුරු කරමින් ඔහු ලියූ ලිපි මාලාව "දිවයින ඉරිදා සංග්‍රහයෙහි" පළවූ අයුරු මගේ මතකයට නැගෙයි. එහිලා ඔහු සිය සමකාලීන විද්වතකු වූ මහාචාර්ය ලෙස්‌ලි ගුණවර්ධනයන් සමග විවාදයක පැටලුණි. ශ්‍රී ලංකාවේ විසූ අග්‍ර ගණයේ විද්වතුන් දෙපළකගේ මෙම සංවාදය ලංකාවෙන් එපිටට පවා ඇදී ගියේය. ඉංග්‍රිසියෙන් ඇවිලී ගිය එම විවාදය ඇතැම් බටහිර විශ්වවිද්‍යාල වියතුන්ගේද අවධානයට ලක්‌විය.
මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස


මහාචාර්ය ලෙස්‌ලි ගුණවර්ධනයන්ගේ මතවාද එකල ඊළාම්වාදීන්ට ආ වැඩූ අයට ආශිර්වාදයක්‌ වී තිබුණත් මහාචාර්ය ධර්මදාසයෝ ඓතිහාසික මූලාශ්‍රද ඇසුරින් ඒ සියලු මත ඛණ්‌ඩනය කිරීමට සමත් වූහ. අපගේ ජාතික හා සංස්‌කෘතික උරුමය දැක දැකත් එයට පිටු පෑ පණ්‌ඩිතයන්ට ධර්මදාසයන්ගේ මැදිහත් වීම් නොරිසි වූ වගද මම ඉඳුරා දනිමි.


ජාතිකත්වය හා ජාත්‍යනුරාගය අරභයා වැඩුණු දුර්මත දුරලමින් නැගුණු තෙද හිරු මඬලක්‌ සේ මහාචාර්ය ධර්මදාසයන් විසින් කරන ලද ඒ මෙහෙවර ජාතියේම ප්‍රණාමයට පාත්‍ර විය යුතු යෑයි මම සිතමි. සැබැවින්ම ගොදුරු ලොබ දුරලමින් එබඳු කටයුතු සඳහා උරදෙන ශාස්‌ත්‍රඥයෝ අතිශය විරලයහ. මෙහිලා ධර්මදාසයන් සතු සුවිශේෂ ගුණයක්‌ද මට සිහිවෙයි. ඒ එකල තමන් සමග මහත් විවාදයකට එළඹි මහාචාර්ය ලෙස්‌ලි ගුණවර්ධනයන් අභාවප්‍රාප්ත වූ කල්හි අනලස්‌ව ඉදිරිපත් වෙමින් ඔහුගේ ශාස්‌ත්‍රීය මෙහෙවරද අගැයීමය. එබඳු සද් ක්‍රියාවක්‌ කළ හැක්‌කේ සත්පුරුෂයන්ටම නොවන්නේද? එබඳු උතුම් මානව ගුණ කෙතරම් විරල යුගයක්‌ද මේ?'' (සම්පූර්ණ ලිපිය මෙතැනින් බලන්න)


මෙම සටහන කියවන යමෙකු තුළ සුමනසේකර විසින් ම ශ්‍රී ලංකාවේ විසූ අග්‍ර ගණයේ විද්වතකු ලෙස හඳුන්වන මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන පිළිබඳ ඇති කරන චිත්‍රය මෙබඳු එකක් විය හැක. ඔහු අග්‍ර ගණයේ විද්වතකු වුව ද, මුදලට හා බටහිර රටවල වියතුන් අතර කීර්තියට ලොබ බැඳ සිංහල ජාතියට අනර්ථකාරී ශාස්ත්‍රීය මැදිහත්වීමක් කළේ ය. පසුව හේ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස අතින් පරාජයට පත් විය. ඔහු මහාචාර්ය ‍කේ.එන්.ඕ. ධර්මදාසයන් වැනි උත්තම ගතිගුණ ඇත්තෙක් නො වේ.


එසේ ම, මෙම විද්වතුන් අතර ඇති වූ සංවාදය පිළිබඳ සාධාරණ විග්‍රහයක් කිරීමේ උවමනාවක් සුමනසේකරට නැත.


දිවයිනෙන් නො මඟ යවනු ලබන කිසියම් පාඨකයකුට මෙම සංවාදය පිළිබඳ යම් සාධාරණ විග්‍රහයක් කියවීමට මෙතැනින් පුළුවන. එය ලියා ඇත්තේ ද සිංහල ජාතිකවාදී විද්වතකු වන සඳගෝමී කෝපරහේවා විසිනි. ඔහු විසින් විෂධ කරනු ලබන්නේ ජාතිකවාදී පුවත්පත් කතුවරයකු හා ජාතිකවාදී විද්‍යාර්ථියකු අතර ඇති ශික්ෂණයේ වෙනසයි.


එහෙත්, ඉතිහාසය අයිති අතීතයට (හෝ ඉතිහාසඥයන්ට පමණක්) නොව ප්‍රජාවට නිසා 'ඕවා කතා කරන්න ඕගොල්ලන් දන්නෙ නැහැ. අපි කතා කරනකල් ඉන්න,' යි කියන්නට ඉතිහාසඥයන් කලබල විය යුතු නැත. 


ලේඛකයාගේ අවබෝධය අනුව මෙබඳු විවාද පාඨශාලාන්තර විවාද තරග වැනි ඒවා නො ව සංවාද වේ. ඒවා කිසිවකුගේ ජයග්‍රහණයකින් අවසන් වීමක් අවශ්‍ය නැත. විවෘත අවසානයක් සහිත මෙවැනි සංවාද තව දුරටත් ඉදිරියට ගෙන යා හැකි ය.


සංවාදය දෙස තුලනාත්මකව බලන්නට උත්සාහ කිරීම තම ආස්ථානයන් හා සමාජ, දේශපාලන ව්‍යාපෘතිවලට අනුව වීරයා වන පුද්ගලයට හුරේ දැමීමට වඩා යථාවබෝධය ඇති කිරීමේ ලා ඉවහල් වේ.


ප‍්‍රවීණ ඉතිහාසඥයකු සේ ම නූතන සමාජීය විද්‍යා අධ්‍යයන ප‍්‍රවණතාවන් පිළිබඳ ව ප‍්‍රාමාණික විද්වතකු ද වන ලෙස්ලි ගුණවර්ධනගේ මූලික ඉදිරිපත් කිරීම සඳගෝමී කෝපරහේවා සන්න හෙවත් paraphrase කරන්නේ මෙසේ ය:


“'සිංහල' යනුවෙන් ජනතාවක ගේ අනන්‍යතාව දැක්වෙන නම අද භාවිත වෙතත් ඒ නාමය මුලින් භාවිත වූයේ රජ පවුල සඳහා පමණි.


"මේ රටේ රජ කළ රාජවංශය එම නාමයෙන් හඳුන්වන ලද හෙයින් සිංහල අනන්‍යතාව යනු රජ පවුලේ උදවිය ගේ අනන්‍යතාව විය. මේ තත්ත්වය සිංහල රාජ්‍යය පිහිටුවන ලද කි‍්‍ර.පූ. 6 වන සියවසේ පමණ සිට කි‍්‍ර.ව. 12 වන සියවස පමණ කාලය පුරා ම පැවතුණි.


"ඒ අනුව, රට වැසි අන්‍යයෝ එම අනන්‍යතාවෙන් බැහැර පිරිසක් වූහ. මහාවංසය, එහි ටීකාව වන වංසත්ථප්පකාසිනිය මෙන් ම විවිධ ශිලා ලේඛන ද ගුණවර්ධනයෝ තම තර්කය ඔප්පු කරනු පිණිස උපුටා දක්වති.


"ඔහු 12 වන සියවසේ රචිත ධර්ම ප‍්‍රදීපිකාව කෘතියෙහි එන ඡේදයක් උපුටා දක්වමින් ඒ වන විට නම් විවිධ සේවක කුල ආදියෙන් සමන්විත පොදු මහත් දීපවාසීන් “සිංහල” නාමයෙන් හඳුන්වන්නට පටන්ගෙන තිබුණු බව දක්වා තිබේ."


මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස තර්ක ඉදිරිපත් කළේ මෙම මතය බිඳ හෙළන්නටයි. එහෙත්, ලේඛකයා දකින අන්දමට ලෙස්ලි ගුණවර්ධනගේ වැදගත් ම ප්‍රවාදය එය නො වේ. එය මෙසේ ය:


"දැන් පවත්නා සිංහල ජාතික අනන්‍යතාව සැබැවින් ම 19 වන සියවසේ සිට මෙරට සිංහල විද්වතුන් විසින් බටහිර මතිමතාන්තර ද උපයෝගී කරගෙන වුවමනාවෙන් ම දෙමළ අනන්‍යතාවට එරෙහි අනන්‍යතාවක් ලෙස ගොඩනඟන ලද්දක් බව ද ගුණවර්ධනයන් විසින් පෙන්වා දෙනු ලැබ තිබිණි. ශී‍්‍ර ලංකාවේ ජාතික අර්බුදය මේ නිසා අනවශ්‍ය ලෙස දුෂ්කර වී ඇතැ යි ද ඔහු පෙන්වා දුන්නේ ය."


මෙහි 'දැන් පවත්නා' යන වචන දෙක අතිශය වැදගත් ය. මන්ද, ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි දායක වන්නේ ප්‍රධාන වශයෙන් ම දැන් පවත්නා අනන්‍යතාවන් වීමයි.


නූතන සිංහල ජාතිකවාදී අනන්‍යතාව මෙන් ම ලාංකීය දෙමළ ජාතිකවාදී අනන්‍යතාව ද 19වන සියසින් මෙපිට මෑත කාලීන ‍ගොඩනැඟීම් වේ. සිංහල ජාතිකවාදය මෙන් ම දෙමළ ජාතිකවාදය ද ගොඩනැ‍ඟෙන්නේ ප්‍රතිවාදී ජාතිය අනෙකා (Other) තැනෙහි තබාගෙනයි. එහෙයින් මේ ජාතිකවාදයන් දෙක එකිනෙකාට එදිරි වෙමින් ම එකිනෙකා පෝෂණය කර තිබේ. අනෙකා කෙරෙහි පැවති බිය නො වී නම් මේ ජාතිකවාදී අනන්‍යතා මෙතරම් දුරට ගොඩනැ‍ඟෙන්නට ඉඩක් නො තිබිණි.


ඒ අනුව බලන කල මෙම ජාතික ගැටුමෙහි යම් සාධනීයභාවයක් ද තිබේ. එහෙත් ගැටලුව මතු වන්නේ වඩා පුළුල් අනන්‍යතාවක හෙවත් ලාංකික අනන්‍යතාවක අවශ්‍යතාව මතු වන විට එම තත්වයට හැඩගැසීමට මෙම දෙජාතීන් අසමත් වීමයි. මෙම අසමත්කම මුලින් ම ප්‍රදර්ශනය කරන්නේ සිංහල ජාතියයි. දෙමළ ජාතිකවාදීන් සිංහලයන් සමග බලය බෙදා ගැනීමේ ව්‍යූහයකට සූදානමින් සිටි පූර්ව එල්.ටී.ටී.ඊ. සමයේ සිංහල ජාතිකවාදීහු ඒ සඳහා අවස්ථාව ලබා නො ගත්තේ සිංහල ස්වෝත්තමවාදී පදනමකින් ලාංකීය අනන්‍යතාව තහවුරු කර ගන්නට යාම නිසා ය.


පශ්චාත් යුද සමය නැවතත් ලාංකීය ජාතිය ගොඩනැඟීම පිළිබඳ සාධාරණ ලෙස සිතන්නට අවස්ථාවක් උදා කර දී තිබේ. ලංකාවෙහි ශක්තිමත් දෙමළ අනෙකෙකු නැති සංදර්භය තුළ ඩයස්පෝරාවෙන් හෝ තමිල්නාඩුවෙන් ඒ අනෙකා සෙවීමේ පැරණි ව්‍යාපෘතියක දිවයින පුවත්පත තවමත් යෙදී සිටියි. දෙමළ විමුක්ති අරගලය පරාජය කළ සිංහලයන්ට බිය වීම සඳහා තව දුරටත් දෙමළ අනෙකෙකු ම අවශ්‍ය වීම සමාජ මනෝ ප්‍රශ්නයකි.


දෙමළ ජනයා සමිබන්ධයෙන් ගත් කල නම් සිදු වී ඇත්තේ නිදන්ගත භීතිය තහවුරු වීමයි. එහෙත්,  එකී භීතිය ම පදනම් කරගෙන අනාගත දේශපාලන ව්‍යාපෘති සැලසුම් කරන්නට ගියහොත් දෙමළ ජාතියට ද අනාගතයක් නැත. දෙමළ ජාතියට අවශ්‍ය වන්නේ බියෙන් අත්මිදීමේ මෙහෙයුමකි.


සිංහල ජාතික ව්‍යාපෘතිය ලද ජයග්‍රශණය තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් කළ යුතුව තිබෙන්නේ ජයග්‍රාහී මානසිකත්වය පාගා දමා සමානාත්මතාව හා ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගෙන ජාතික සහජීවනය ඔස්සේ ලාංකීය ජාතිය ගොඩනැඟීමේ ව්‍යාපෘතිය  පෙරට ගැනීමයි.


අතීතය ගැන ලියන ඉතිහාසඥයන් හැම විට ම වර්තමානයේ බලපෑමට ලක්ව ඇති බව ඉතිහාසඥ ඊ.එච්. කාර් පෙන්වා දුන්නේ ය. මහාචාර්ය ධර්මදාසට මෙන් ම ගුණවර්ධනට ද මෙම තත්වය පොදු ය.


භාෂා විෂයක සමාජ විද්‍යාවේ (Sociology of language)ශාස්තී‍්‍රය ශික්ෂණයක් ලැබූ විද්වතකු වූ ධර්මාදාසට සිංහල ජාතිකවාදී ඉතිහාසයක් ගොඩනැඟීමේ උවමනාවක් තිබූ බව ද, ලෙස්ලි ගුණවර්ධනයන් ඉන් ඔබ්බට ගිය ලාංකීය අනන්‍යතාවක් පාදක කරගෙන ඉතිහාසය ලියූ බව ද ලේඛකයාගේ අදහසයි. දෙමළ ජාතිකවාදීන්ට ඔහුගේ ඉදිරිපත් කිරීම් පාවිච්චි කරන්නට හැකි වූයේ සිංහලයා ලාංකික ජාතිය ගොඩනැඟීම කෙරෙහි දැක්වූ උදාසීනත්වය නිසා ය. 


ලාංකීය නූතන දෙමළ ජාතිකවාදී අනන්‍යතාව මෑත කාලීන එකක් බව ඔප්පු කිරීම වඩා පහසු ය. යාපනය, ත්‍රිකුණාමලය, වන්නි, මඩකලපුව, මන්නාරම වැනි සමාන හා වෙනස් සංස්කෘතික අනන්‍යතාවන් ප්‍රකාශ කළ ප්‍රාදේශීය ප්‍රජාවන් දෙමළ බස කතා කරන පදනමින් එක් කොට ජදමළ ජාතිකවාදී අනන්‍යතාව ගොඩනැඟූ ආකාරය පිළිබඳ ලිපියක් ජේ.එස්. තිස්සනායගම් විසින් සංස්කරණය කරන ලද North Eastern Herald සඟරාවක පළ වී තිබුණා ලේඛකයාට මතක ය. 


දිවයින කර්තෘ ගාමිනී සුමනසේකරගේ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාසට හුරේ දැමීම අප සිතන අන්දමින් නම් පිළුණු බත් රස කර කර කෑමකි. සිංහලයන්ට දැන් අවශ්‍ය වන්නේ අනාගතයට පාර පෙන්වන මාධ්‍ය කලාවකි.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-12-25

කේරළෙන් පොල් - පොල්ලෙන් රෝග

(2010 දෙසැම්බර් 25, W3Lankaපුංචි කාලයේ බොහෝ දෙනෙකු ලියූ රචනාවක් පටන් ගැනුණේ 'පොල් ගස වනාහි තාල වර්ගයට අයත් ගසකි' යනුවෙනි. 


එහෙක්, පොල් ප්‍රශ්නය වනාහි එලොව පොල් පෙන්වන එකකි. පොල් කිරට, පොල් තෙලට, පොල් සම්බෝලයට, මැල්ලුමට හුරු පුරුදු ලාංකීය කටවලට පොල් නැතිව රස නො දැනේ. 


පොල් ඉඩම් කට්ටි කර නිවාස ඉදි කිරීම පිණිස වෙන්දේසි කිරීමේ විශේෂඥයකු වූ ජානක බෝගොල්ලාගමගේ සහෝදර රෝහිත බෝගොල්ලාගම පසුගිය කාලයේ මේ ආණ්ඩුවේ විදේශ ඇමති විය. 


දැන් ආණ්ඩුව පොල් සංවර්ධන මණ්ඩලයේ අවසරයෙන් තොරව පොල් ගස් කැපීම තහනම් කර ඇත.. පසුගිය දිනෙක අප මිතුරියකගේ නිවසට ගිය විට ඇගේ සැමියා මහත් ආඩම්බරයෙන් කීවේ තවමත් ඉදි කරමින් තිබූ ඒ නිවසේ වහල සම්පූර්ණයෙන් ම පොලිෂ් කළ පොල් ලී බවයි. 'ඉතින් ඒක බලන්න ඉනිමඟක් තියලා වහලට නඟින්න එපායැ'යි මගේ බිරිඳ එන අතර කීවා ය. තව ටික කලක් යන විට අර වහල ද සෑහෙන වටිනා කියන එකක් වනු ඇත. 


පොල් ගෙඩිය නැග්ග නැඟිල්ලේ තරම කෙතරම් ද යත්, ආණ්ඩුවට පොල් කඩන්නට ගස් බඩ ගාන්නට හා පොල් විකුණන්නට ද සිදු වී ඇත. ආණ්ඩුවේ පොල් ලොරිය එනකල් කොළඹ මිනිස්සු බලා ඉන්නේ 1970-77 කාලයේ සමුපෙට චීත්ත එනකල් බලා සිටියා සේ ය. 


එක් කලෙක පොල් ලංකාවේ තුන්වන ප්‍රධාන අපනයනයයි. දැන් කේර‍ළෙන් ලංකාවට පොල් ආනයනය කෙරෙන තත්වයට පොල් සංවර්ධන මණ්ඩලය පොල් වගාව සංවර්ධනය කර ඇත. දැන් පොල් සංවර්ධනය කරන සභාපති සරත් කීර්තිරත්න වනාහි විශ්වකර්ම බැසිල් රාජපක්ෂගේ කකුලකි. ඒ නිසා බය වෙන්නට දෙයක් නැත. 


පොල් ත්‍රිකෝණයේ එක් කෝණයක් වන කුරුණෑගල නියෝජනය කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමති පොල් ආනයනය කරයි. පොල් සමග පොල් රෝග ද ආනයනය වනු ඇතැයි කෘෂි විද්‍යාඥයෝ බිය වී සිටිති. 


ලංකාවේ දකුණු පළාතේ දැනටත් දරුණු පොල් රෝගයක් පැතිර යයි. ඒ නිසා බෙන්තර ග‍ඟෙන් මෙහා පැත්තට පොල් අත්තක්වත් ගෙන ඒම තහනම් ය. 


කේරළය වනාහි පොල් රෝග විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති ප්‍රදේශයකි. අපි කේරළෙන් පොල් සමග පොල් රෝග ද ගෙන්වමු. 


එම්. එස්. ප්‍රනාන්දුගේ පැරණි බයිලාවක මෙසේ කියැවේ. 


'පොල් පොල් පෙපොල් පොල් පොපොල් පොල්
ලංකාවෙ වතුවල වැවෙන පොල්'


එන්න අපි බයිලා නටමු. දුර නො බලමු. ළඟ බලමු. ආණ්ඩුවට ඕනැ කුජීතයක් කර ගන්නට දී බලා සිටිමු. 
Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-12-24

රටින් අඩු මිළ බඩු එනකල් නත්තල කල් දැමීමේ තීරණයක්

(2010 දෙසැම්බර් 24, W3Lankaසමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශය විසින් නත්තග් උත්සවය වෙනුවෙන් ඉන්දියාවෙන් ආනයනය කරන ලද අඩු මිළ බිත්තර තවම වෙළඳපොළට පැමිණ නැති නිසා කේක් හැදිය නො හැකි බැවින් ද, අඩු මිළට දෙන  ඉන්දියන් කුකුළු මස් නත්තල් කෑම මේසයට නැති බැවින් ද, පකිස්තානයෙන් ගෙන්වූ අඩු මිළ ළූනු නැති නිසා අච්චාරු දමන්නට බැරි හෙයින් ද, ඉන්දියාවෙන් ගෙන්වූ ලාභ පොල් නැති නිසා හොදි කන්නට බැරි බැවින් ද මෙවර නත්තල කල් දමා ඇත. 


පැරණි ක්‍රමයට නත්තල නැවත පැවැත්වෙන දිනය ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් විමසන්න.


සිංහල බෞද්ධ ක්‍රමයට නත්තල සමරන හැටි අතුරලියේ රතන මන්ත්‍රී හිමියන්ගෙන් විමසා දැනගන්න. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

රණවිරුවන් මංකොල්ලකරුවන් කිරීමේ මාධ්‍ය මෙහෙයුම් හා යුද්ධයේ අතුරු ඵල | Side effects of war and media operations to dehumanize war heroes

(2010 දෙසැම්බර් 24, W3Lankaහමුදා, පොලිස් සේවාවන්වලට සම්බන්ධ අය විසින් කරනු ලබන අපරාධ පිළිබඳ වාර්තා මේ දිනවල නිතිපතා ම මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබේ. මෙම වාර්තාකරණයත් සමග ම, හමුදා, පොලිස් සේවයෙන් ඉවත් ව සිටින ලක්ෂ ගණනක් පිරිස කෙරෙහි සමාජය සැක මුසු වීමේ ප්‍රවණතාවක් ද ඇති වී තිබේ. 


වාර්තා වන මෙම සිද්ධි ඇත්ත ය. වාර්තාකරණය විසින් ඒවා විශේෂයෙන් මතු කර දක්වනවා යයි ද ඍජුවම චෝදනා කළ නො හැක. එහෙත්, ඒවා වාර්තා කරන අය තත්වය වෙනස් කිරීම සඳහා ඉවහල් වන සුබවාදී අදහස් වෙනුවෙන් පෙනී නො සිටීම නිසා එම වාර්තාකරණයෙන් අගතියක් සිදු වේ. 


මෙසේ මාධ්‍ය විසින් වාර්තා කරනු ලබන අපරාධකරුවන් වන ආරක්ෂක අංශ නිලධාරීන් අතරින් ඇතැමෙක් තවමත් සේවයේ යෙදී සිටින අය වෙති. බොහෝ දෙනෙක් හමුදාවෙන් ඉවත් වූ, පළා ගිය අය හා පොලිස් සේවයෙන් ඉවත් කළ අයයි.


ප්‍රධාන සිද්ධි දෙකක් ගතහොත්, එච්.එස්.බී.සී. බැංකුවේ මුදල් රු. කෝටි හතක් මංකොල්ලකෑම හා සම්බන්ධ පිරිස අතර ද වරකාපොල උගස් ආයතනයකින් ලක්ෂ විස්සක් මංකොල්ල කා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද මරා පොලිසිය විසින් ඝාතනය කර දමන ලද අය අතර ද හමුදා, පොලිස් සේවාවල සිටි අය වෙති.


අද දිවයින පුවත්පතේ ඇති වාර්තාවක් මෙසේ ය:


රාගම හෙදියන් පිරිසකට තර්ජනය කළ
හමුදා සෙබළු තිදෙනෙක්‌ අත්අඩංගුවේ


නෝමන් පලිහවඩන


රාගම රෝහලේ හෙදියන් කීපදෙනකුට සහ රෝහල් පොලිසියේ පොලිස්‌ නිලධාරීන් කීපදෙනකුට කෑ කෝ ගසා තර්ජනය කළ හමුදා සෙබළු තිදෙනෙක්‌ රාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. සිවිල් ඇඳුමින් සැරසී සිටි මෙම හමුදා සෙබළුන් තිදෙනා මෙසේ හැසිරී ඇත්තේ ඔවුන්ගෙන් එක්‌ අයකුගේ තුවාලයකට ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වීම නිසා බවද පොලිසිය කියයි. මෙම හමුදා සෙබළු තිදෙනා කොළඹ සහ උතුරේ හමුදා කඳවුරුවල සේවය කරන අය වෙති.


මේ වාර්තාව අද දිනමිණ පුවත්පතෙනි.


තරුණ යුවළකගෙන් කප්පම් ඉල්ලූ ‘පොලිස් අයියලාගේ’ වැඩ තහනම්


මුන්නේශ්වරම සමූහ ඊ.සී.ප්‍රනාන්දු


හලාවත මුහුදු වෙරළෙහි රැඳී සිටි තරුණ යුවළක බිය ගන්වා ඔවුන්ගෙන් රුපියල් දෙදහසක කප්පම් මුදලක් ලබාගැනීමට තැත් කිරීමේ සිද්ධියේ සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන අයුරින් තහනම් කළ බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.


හලාවත සහකාර පොලිස් අධිකාරී එස්.පී.සන්දානයක මහතාගේ නියෝගයෙන් වැඩ තහනම්කර ඇත්තේ හලාවත පොලිසියට අනුයුක්ත ස්ථිර සේවා පොලිස් කොස්තාපල් වෙදගෙදර ඉන්දික අමල් කුමාර 50370 ආධුනික පොලිස් කොස්තාපල් දිලිප එරංග සිරිසේන 83205 නමැති දෙදෙනායි.


මේ දෙදෙනා හලාවත මුහුදු වෙරළට පැමිණ සැදෑ සුව විඳිමින් සිටි තරුණ යුවළක් අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර බිය ගන්වා රුපියල් දෙදහසක කප්පම් මුදලක් ඉල්ලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබුණි. තරුණ යුවළ විවාහ ගිවිසගත් දෙදෙනෙකි.


සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ජනවාරි මස 4වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජගත් ඒ කහඳගම මහතා පෙරේදා (22 දා) නියෝග කළේය. හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරයි.


යන්තම් වසර එහමාරකට ඔබ්බෙන් අතිශය වීරත්වයට නංවන ලද රණවිරුවන් යයි හැඳින්වුණ පිරිස පිළිබඳ අද මාධ්‍යවල වාර්තා වන්නේ මෙවැනි දේ ය. ඒවා ලියන්නේ ද ඒ දිනවල රණවිරුවන් උත්කර්ෂයට නැඟූ මාධ්‍යකරුවෝ ම ය. 


යුද්ධයට .තම දරුවන් නො යවමින්, දිළිඳු පවුල්වල තරුණයන් යුද්ධ කරන ආකාරය රූපවාහිනී තිරයෙන් බලමින් කකා, බිබී හුරේ දමමින්, මළ මිනී ගණන් කරමින් සිටි මධ්‍යම පංතිකයන්ට දැන් ඒ රණවිරුවා අමතක ය. දැන් රණවිරු උපහාර නැත. තෑගි බෝග නැත. සිංදු නැත. ජාතික රූපවාහිනියේ රණවිරු තරු වැඩසටහන බලන්නේ ද නැත. 


(මෙම තත්වය කොටි සටන්කරුවන් සම්බන්ධයෙන් දෙමළ මධ්‍යම පංතිය තුළ ද දැකිය හැකි ය.)


රණවිරු වසන්තය ඉවර ය. දැන් ඉන්නේ හමුදාකාරයෝ හා පොලිස්කාරයෝ ය. මධ්‍යම පංතිකයන් දැන් මේ අය ගණන් ගන්නේ නැති තත්වයක් ඇති වී තිබේ. දැන් ඉස්සර මෙන් රාජකාරි ගිනි අවිය ලෙළවමින් සංදර්ශන පෙන්වන්නට බැරි බව නොච්චියාගම අපරාධ ස්ථානාධිපතිගේ වැඩ තහනම් වූ සිද්ධියෙන් ඔප්පු වේ. 


මෙම ප්‍රශ්නයේ පැති කීපයක් ඇත. යුද්ධ කාලයේදී හමුදා, පොලිස් නිලධාරීන්ට නිතැතින් ම හිමි වූ ගෞරවය, බිය හා බලය දිගින් දිගට ම ඒ අන්දමින් පවතින්නට යුද්ධයෙන් පසු හැකියාවක් නැත. යුද්ධයෙන් පසු අවශ්‍ය වන්නේ වඩා විනය ගරුක, වෘත්තිකමය ‍පොලිසියක් හා හමුදා ය. යුද්ධ කාලයේ පෝලිමේ බඳවා ගනු ලැබූ බොහෝ දෙනාට නව තත්වයන්ට හැඩගැසීමේ ගැටලු ඇත. ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් අවශ්‍ය ය. 


අනෙක් ප්‍රශ්නය වන්නේ යුද පුහුණුව ලැබ, සේවයෙන් ඉවත් වූ, ඉවත් කරන ලද, පළා ගිය හා එපමණක් නොව තවමත් සේවයේ යෙදී සිටින අපරාධ නැඹුරුවක් ඇති විශාල පිරිසක් සමාජයේ  සිටීමයි. යුද පුහුණුව ලැබ සිටීම ඔවුන් සම්බන්ධයෙන් ඇති විශේෂ ම ප්‍රශ්නයයි. නීතියේ ආධිපත්‍යය වෙනුවට මුදලේ හා බලයේ ආධිපත්‍යය වැදගත් වී ඇති වර්තමාන තත්වය තුළ මෙබඳු පිරිස් බල්ලන් මරා හෝ සල්ලි සොයා ගන්නා මානසිකත්වයකට ලෙහෙසියෙන් තල්ලු විය හැකි ය. වරකාපොළ සිද්ධියේදී මිය ගිය එක් හිටපු හමුදා භටයෙකු යුද්ධය අවසන් වන තුරු ම විශේෂ බලකායේ සිට පසුව පළා ආ අයකු බව මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.


අනෙක් පැත්තෙන් අප ඉහත සඳහන් කළ මධ්‍යම පංතික ආකල්ප හා ඒ මත පදනම්ව කටයුතු කරන මාධ්‍යකරුවන්ගේ ආකල්ප ද මේ  සමාජ තීරය කෙරෙහි අවමන් සහගත තත්වයක් නිර්මානය කිරීමට හේතු වී ඇත. 


රටේ සාමය ස්ථිර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, නීතියේ ආධිපත්‍යය පිහිටුවීම, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම හා ආර්ථික සංවර්ධනය ඇති කිරීම හැර මෙබඳු වූ යුද්ධයේ අතුරු ඵලවලට වෙනත් කෙටි කාලීන විසඳුම් නැත. 


ඒ වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම නො කර, කලක් තමන් විසින් ම රණවිරුවන් ලෙස උත්කර්ෂයට නංවන ලද සමාජ තීරයට අවමන් කිරීම සඳහා දැන් පෑන මෙහෙයවන ලියන අප්පුලා ගැන සමාජය ගැඹුරින් තේරුම් ගත යුතු ය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  
www.w3lanka.com

2010-12-23

අධ්‍යාපන දෙපාර්තමේන්තුව නො දන්නා ඉංග්‍රීසි මාධ්‍යයට ගොස් වරිගෙ නහ ගන්න හැටි | The counter productivity of the English medium education of government schools of Sri Lanka

(2010 දෙසැම්බර් 23, W3Lankaරජයේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් කීපයක් උගැන්වීම වසර කීපයකට පෙර ඇරඹිණි. සිසුවෝ පන්තියෙන් පන්තියට උසස්ව ගොස් සාමාන්‍ය පෙළ සමත් වූ හ. උසස් පෙළට ගිය විට බොහෝ පාසල්වල විශේෂයෙන් ම උසස් පෙළ විද්‍යා විෂයයන් ඉංග්‍රීසි බසින් උගැන්වීමට ගුරුවරු නොමැති වූ හ. 


මෙම ගුරු හිඟයට පිළියම් ලෙස ගුරුවරුන් බඳවා ගැනීමට උපාධිධාරීන් සඳහා තරග විභාගයක් පවත්වන ලදී. එයට 8000ක් පෙනී සිටි අතර, 4000ක් සමත් වූ අතර 554ක් සම්මුඛ පරීක්ෂණයෙන් පසු බඳවා ගන්නා ලදී. 


මෙම ගුරුවරුන්ගෙන් බොහෝ දෙනකුට ඉංගී‍්‍රසි භාෂාවෙන් ඉගැන්විය නොහැකි බවට සිසුන් හා විදුහල්පතින්ගෙන් ලද පැමිණිලි හා මැසිවිලි නිසා ගුරු සේවයට මින් ඉදිරියට බඳවා ගන්නා සියලු දෙනාම වසරක ඉගැන්වීම් පුහුණුවකින් තොරව පාසලේ සේවයට නොයොදවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන පවසයි. ඔවුන්ගෙන් බොහෝ දෙනා ඉගැන්විය නොහැකි බව පවසා පත්වීම් ලිපි ආපසු බාර දුන් බවත් හේ සඳහන් කළේ ය.


සම්මුඛ පරීක්ෂණ පවත්වා මෙම පිරිස තෝරා ගත්තේ ද අධ්‍යාපන අමාත්‍යංශයේ ම නිලධාරීන් විසිනි. 


විද්‍යා උපාධි හිමි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට සැබැවින් ම හැකියාව ඇති අය රු. 12,000ක පමණ ආරම්භක මූලික වැටුපකට ගුරු වෘත්තියට ආකර්ශනය නො වීම ගැන පුදුම විය යුතු නැත.  


දැන් ඇතැම් පාසල්වල පළමු ශ්‍රේණියේ සිට ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ කර තිබේ. එහෙත්, ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟයට විසඳුමක් නම් නැත.රජයේ විෂයමාලාවන්හි ඉංග්‍රීසි ඉගැන්වීම සාර්ථක මට්ටමක නැත. විශේෂයෙන් ම, සාමාන්‍ය පෙළ විභාගයේදී මෙය ප්‍රදර්ශනය වේ. සාමාන්‍යයෙන් සිසුන්ගෙන් 50%ක් හෝ ඊට වඩා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය අසමත් වීම බැරෑරුම් ම ප්‍රශ්නයයි. 


ගුරු හිඟය, සැබැවින් ම නම්, ඵලදායී ගුරුවරුන්ගේ හිඟය මෙයට එක් ප්‍රධාන හේතුවකි. ලංකාවේ ගුරු වෘත්තියට ඇදී එන්නේ විභාගවලදී දක්ෂ ම මට්ටමේ සිටි සිසුන් නො වේ. ඉංග්‍රීසි ගුරුවරුන් නිපදවන ප්‍රධාන ම ක්‍රමවේදය වන පස්දුන්රට විද්‍යා පීඨයට සිසුන් බඳවා ගැනීමේ තරග විභාගය සමත් කරවන ලකුණු මට්ටම ලජ්ජා සහගත තරම් පහත් ය. ඇතැම් අවස්ථාවලදී මෙය 13% පමණ වන බව Daily News පුවත්පතේ ලිපියක කියවා ඇත්තෙමි. ගුරු අධ්‍යාපනයේ පවතින දිළිඳු මට්ටම හේතුවෙන් මෙසේ බඳවා ගනු ලබන සිසුන් දක්ෂ ගුරුවරුන් බවට පත් වන්නේ ද නැත. 


වරක් එක් ගුරු උපදේශකවරයකු ගුරුවරයකුගෙන් ඔබ රෝමියෝ සහ ජුලියට් කියවා තිබේදැයි ඇසූ කල තමා රොමියෝ කියවා ඇති බව ද ජුලියට් තව ම කියවා නැති බව ද කී බවට විහිළු කතාවක් ඉහත කී පුවත්පත් ලිපියෙහි ම ඇත. . 
  
ලංකාවේ ගුරුවරුන් බහුතරයක් දැනුම් වෘත්තිකයන් හෙවත් knowledge workers මට්ටමෙහි නොමැති ඉහළින් කියන දේ පමණක් කරන්නට උත්සාහ කරන අදක්ෂයෝ ය. නැතිනම් එලකියුෂන් වැනි බාල වෙළඳ භාණ්ඩ මැජික් ලෙස පෙන්වන වෙළෙන්දෝ ය. අතළොස්සක් වන දක්ෂ ඉංග්‍රීසි ගුරුවරුන්ට මෙයින් අපහාසයක් ‍නො වේ යයි බලාපොරාත්තු වෙමු. 


ඉංග්‍රීසි අධ්‍යාපනයේ මට්ටම මෙසේ වෙද්දී තෝරා ගත් සුපිරි ය, ජාතික ය කියා ගන්නා පාසල් අතළොස්සක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ කිරීම මව් බස හරි හැටි නො දත්, ඉංග්‍රීසිය ද නො දත් මුල් ඉදිරුණු, සෝබනකාර පරපුරක්, මධ්‍යම පංතියෙන් බිහි කරන්නට පමණක් හේතු වන පියවරකි. මෙම ඊනියා ඉංග්‍රීසි අධ්‍යාපනයේ හිස්කම ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළට උගන්වන්නට බඳවා ගත් ගුරුවරුන් පිළිබඳ ඉහත නිදසුනින් හොඳින් පැහැදිලි වේ. 


රටේ සියලු පාසල් දරුවන්ට සිංහල, දෙමළ මව්බසත්, ඉංග්‍රීසි දෙවන බසත්, තුන්වන බසක් ලෙස දෙමළ හෝ සිංහල හෝ ද හරියට උගන්වනවා වෙනුවට නිදහස් අධ්‍යාපනය සපයන නාගරික පාසල් අතළොස්සක, ඒ පාසල්වලට යන්නට ශක්තිය ඇති මව්පියන්ගේ දරුවන් කොටසකට පමණක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම නිදහස් අධ්‍යාපනයේ විෂමතා වර්ධනය කරන ප්‍රතිගාමී පියවරකි. 


අධ්‍යාපන බලධාරීන්ට අඩු තරමේ එම කාර්යය හෝ හරි හැටි කරන්නට බැරි වී තිබීම කණගාටුදායක ය. ඉංග්‍රීසිය වන්දනා කරන්නට ගිය දෙමාපියන්ගේ දක්ෂ දරුවන් පිරිසක් මෙයින් අසරණ වී තිබේ. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-12-22

ළමයින් මහණ කිරීම ගැන නැවත හිතුවොත් නරක ද? | Let us re-consider ordaining children

(2010 දෙසැම්බර් 22, W3Lankaපහත සඳහන් වන පුවත ප්‍රචාරය වුණේ ‍නෙත් ගුවන් විදුලියේ ය. 


"ළමයින් 13දෙනෙකු අපයෝජනය කළ බවට සැකපිට භික්‍ෂු වෙස් ගත්තෙකු අනුරාධපුර ජනකපුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. අපයෝජනයට ලක්වූ බව කියන සියලූ දෙනා පිරිමි ළමයින්. 


මළ පහ කිරීමේ අපහසුතාවක් නිසා රෝහල් ගත කෙරුණු වයස අවුරුදු 14ක පිරිමි ළමයකුගෙන් කරුණු අනාවරණ වුණා. අපයෝජනයට ලක්වූ බව කියන අනෙක් පිරිමි ළමුන් සියලූ දෙනා වයස අවුරුදු 14ට අඩු අයයි. 


අත්අඩංගුවට ගැනුණු භික්‍ෂු වෙස් ගත් පුද්ගලයා වයස අවුරුදු 35ක පමණ තැනැත්තෙකු වනවා. ගම්පහ ප‍්‍රදේශයේ විහාරස්ථානයක සිට මොහු ජනකපුරයට පැමිණ ඇත්තේ මීට නොබෝ කලකට පෙරයි. පිරිමි ළමයින් අපයෝජනයට පොළඹවාගෙන ඇත්තේ අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා බව අනාවරණ වී තිබෙනවා. එලෙස අපයෝජනයට ලක්වූ බව කියන පිරිමි ළමයින් හඳුනාගෙන ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණවලට භාජනය කිරීමටයි පොලීසිය අදහස් කරන්නේ."


භික්ෂූන් යම් යම් වැරදි කර හෙළිදරව් වූ කල ලංකාවේ ජනමාධ්‍ය ඔවුන් හඳුන්වන්නේ ඉහත රතු අකුරින් දක්වා ඇති පදවලින්. එහෙත්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නම් මෙම පුද්ගලයන් හඳුනා ගනු ලබන්නේ භික්ෂූන් ලෙසයි.


බුදු හිමියන් විසින් ගොඩනඟන ලද සංඝයට අයත් අය මෙවැනි පාපී ක්‍රියාවල නියැලිය යුතු නො වන හෙයින් බෞද්ධ ජනමාධ්‍යකරුවන් මෙවැනි වැරදි කරන අය  ඉහත ආකාරයෙන් හඳුන්වනවා විය හැකි ය. එහෙත්, එපමණින් සංඝ සමාජයේ ශෝධනයක් ඇති වන්නේ නැත. 


ළමා කාමුකයන් (pedophiles) ඇතුළු ඇතැම් සමාජ අපරාධකරුවන් සිවුරෙන් ආවරණය වී සිටින බව බොරුවක් නො වේ. බෞද්ධ සමාජයේ ඇතැම් ව්‍යවහාරයන් මේ පනින රිලවුන්ට ඉනිමං තබනවා වැනි ය. 


ළමයින් මහණ කිරීම ඈත අතීතයේ සිට ම සිදු වූව ද, නූතන ළමා හිමිකම් සංල්ප අනුව එය බරපතල ලෙස ළමා හිමිකම් උල්ලංඝනය කිරීමකි. එහෙත්, ලංකාවේ ළමා හිමිකම් ඔස්තාද්ලා කිසිවෙක් මෙම වැරදි භාවිතාවට එරෙහිව හඬ නො නඟති. 


2600 වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ද 2600ක් ළමයින් මහණ කිරීමේ වැඩසටහනක් රාජ්‍ය අනුග්‍රහයෙන් දියත් වේ. 


භික්ෂුත්වය යනු වර්තමාන පාරිභෝගික සමාජයේ දුෂ්කර ක්‍රියාවකි. එහෙයින් පුද්ගලයන් භික්ෂුභාවය සඳහා ඉදිරිපත් වන්නේ අඩුවෙනි. සිවුරු දරා සිටින ඇතැමෙක් ද විනයධර භික්ෂූන් වෙනවා වෙනුවට අසපු ලෙස නම් කර තිබෙන මන්දිරවල කාමසුඛල්ලිකානු ජීවිත ගත කරමින් දේශපාලනය වැනි සංඝයා විසින් නො කළ යුතු ක්‍රියාවල යෙදෙති. බෞද්ධයන්ට සේවය කිරීම පිණිස සිල්වත් භික්ෂූන් ඉතා හිඟ ය. 


එහෙත්, ළමයින් මහණ කිරීම මෙයට කිසි සේත් ම විසඳුමක් නො වේ. අද වන විට උගත්, මධ්‍යම පංතික පවුල්වල දරුවන් මහණ කිරීමක් සිදු වන්නේ ම නැති තරම් ය. මහණ කිරීම සඳහා ළමයින් සොයා ගත හැකි වන්නේ අති දුෂ්කර, දිළිඳු ප්‍රදේශවලිනි. 


ළමයින් මහණ කිරීම වෙනුවට බෞද්ධ සමාජය වෙනත් විසඳුම් සොයා ගත යුතුව ඇති බව අපේ අදහසයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2010-12-21

බලු පත්තරයක් වූ මන්ත්‍රී වාහන ආනයන බලපත්‍රය | Duty free vehicle import permits of some MPs of Sri Lanka go to dogs

(2010 දෙසැම්බර් 21, W3Lankaපාර්ලිමේන්තු මන්ත්‍රීන් 65ක් මේ වන විට තමන්ට මහජනතාවට සේවය කිරීම සඳහා ගමන් බිමන් යාමට බදු සහන මත ආනයන මිළ රු. ලක්ෂ 55ක පමණ වටිනාකමක් ඇති වාහනයක් ආනයනය කිරීම සඳහා ලබා දුන් බලපත්‍රය නීති විරෝධී අන්දමින් විකුණා ඇති බව අද The Island පුවත්පත වාර්තා කරයි. 


මෙම මන්ත්‍රීන් අතර කැබිනට් ඇමතිවරු දෙදෙනෙකු ද සිටින බව ද ඉන් එක් අයෙකු සිය බලපත්‍රය විකුණා ඇත්තේ රු. මිලියන 15කට බව ද අනෙකා සිය බලපත්‍රය රු. මිලියන 12.5කට විකුණා ඇති බව The Island පුවත්පත පවසයි. 


මේ වනාහි ලංකාවේ රජයට ලැබිය යුතුව තිබුණු බදු ආදායමක් වංචනික අයුරින් සිය සාක්කුවට දමා ගැනීමේ මහා පොදු දේපල වංචාවකි. 


දූෂණය පිළිබඳ මහ හඬින් කතා කරන ජනතා විමුක්ති පෙරමුණ පවා මෙම කරුණේදී නිහඬව සිටින ආකාරය සැක උපදවයි. 


හවුලේ හොරකම් කිරීම සඳහා ජවිපෙ ද මීට පෙර ආණ්ඩුව සහ එජාපය සමග එකතු වී තිබෙන අවස්ථා තිබේ. බස්නාහිර පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රීවරයකු ද ඇතුළුව මන්ත්‍රීන් පිරිසක් මේ වසර මුලදී මාස තුනක් පළාත් සභා රැස්වීම්වලට සහභාගි ‍නො වීම නිසා මන්ත්‍රී පදවි අහිමි වූ අවස්ථාවේ එය වළක්වා ගැනීම සඳහා නීතියට, සදාචාරයට හා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි යෝජනාවක් සම්මත කර ගැනීමට ජවිපෙ ද හවුල් විය. 


පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225දෙනාගෙන් 198දෙනෙකුට වාහන බලපත්‍ර නිකුත් කර ඇති බව හා ඔවුන්ට වාහන මිළ දී ගැනීම සඳහා රු. ලක්ෂ පනහ බැගින් බැංකු ණය ලබා දී ඇති බව ද පාර්ලිමේන්තු කටයුතු ඇමතිනි සුමේධා ජයසේන පවසයි. 


වාහනයක් ආනයනය කිරීම සඳහා සහන පදනමින් ලබා දෙන බැංකු ණය වෙනත් කාර්යයක් සඳහා යෙදවීම ද නීති විරෝධී ය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  
www.w3lanka.com