2011-01-08

ලෙස්ටර් ජේම්ස් පීරිස්ට කළ හැකි හොඳම උපහාරය කුමක්ද? | How we can honour Lester James Pieris?

ලෙස්ටර් හා විලී බ්ලේක් එදා
(2011 ජනවාරි 08, W3Lankaලෙස්‌ටර් සුමිත්‍රා පදනම සංස්‌ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් නිළි මන්ත්‍රිනී මාලිනී ෆොන්සේකා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. එයට සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබිණි. මාලිනී මන්ත්‍රීවරියගේ යෝජනාව ස්‌ථිර කරන්නට මන්ත්‍රීවරුන් දෙදෙනෙක්‌ පොර කෑහ. අන්තිමට එය ස්ථිර කළේ ජේ.ආර්.පී. සූරියප්පෙරුම ය.


සූරියප්පෙරුම වනාහි රූපවාහිනී මාධ්‍යයෙන් ලෝකෙන් උතුම් ම යයි ඔහු කියන සිංහලකම ගැන, ගැමිකම ගැන දේශන පවත්වමින්, කලින් කලට දේශපාලන වශයෙන් බලවත් වන පුද්ගලයන් එකී සිංහල පරමාදර්ශ තුළ අරුත් ගන්වා ඔවුන්ගේ සිත් දිනාගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවි දානයක් ලැබූ පුද්ගලයෙකි. අපි කිසි සේත් ම සිංහල ජාතියට විරුද්ධ පිරිසක් නො වන බව මෙහිදී අවධාරණය කළ යුතු ය. අපි සිංහල ජාතියට ආදරය කරන මුත්, එය ලෝකෙන් උතුම් ම ජාතිය යයි බොරු කියමින් කවුරුන් හෝ අන්දවනවාට විරුද්ධ ය.


කෙසේ වෙතත්, සූරියප්පෙරුමගේ පරම්පරාවේ ජාතික ස්වෝත්තමවාදීන් පිරිසක් විසින් කරන ලද නරුමකමක් නිවැරදි කිරීම පිණිස මැදිහත් වී සිංහල ජාතියේ අභිමානය සැබැවින් ම ඉහළ නංවන්නට ඔහුට හා දේශපාලන බලය හිමි නිළි ම්න්ත්‍රී, මන්ත්‍රිනී පිරිස්වලට හැකියාව තිබේ. ඒ මෙසේ ය:


මෙම ලේඛකයා කුඩා පාසල් සිසුවකු සමයේ ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ සංදේශය චිත්‍රපටය බලා ඇත. එහෙත්, රස විඳින්නට තරම් ඔහු ඒ වන විට වයසින් මුහුකුරා ගොස් නො තිබිණි. එහෙත්, එය දැවැන්ත නිෂ්පාදනයක් බව නම් ආපසු බලන විට ලේඛකයාට සිතේ.


සංදේශය නැරඹීමේ අවස්‌ථාව පරම්පරා කිහිපයකටම අහිමි විය. අනාගත පරපුරට ද ඒ සඳහා අවස්‌ථාව උදා නොවනු ඇත. සිංහල ජාතිවාදීන් විසින් 1983දී කේ. ගුණරත්නම්ට හිමිව තිබුණු සිනමාස්‌ සමාගමට ගිනි තැබීම නිසා සංදේශය පමණක් නො ව, තවත් සිංහල චිත්‍රපට රැසක් දැයට අහිමි විය.


සංදේශය චිත්‍රපටයේ පිටපතක්‌ විදේශ රටක ඇතැයිද, එය පිටපත් කරගෙන ශ්‍රී ලංකාවට ගෙන ආ යුතු යෑයි ද වරෙක ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ සිනමාකරුවා පවසා තිබුණා අපට ද මතකය. රාජ්‍ය තාන්ත්‍රික මට්‌ටමින් සිදුවිය යුතු එකී කටයුතුතට මැදිහත් වීමට දැන් මෙකී දේශපාලන කලාකරුවන්ට පුළුවන.


ආනන්ද ජයරත්න, කාන්ති ගුණතුංග, ගාමිණී ෆොන්සේකා, අයිරාංගනී සේරසිංහ, වින්සන්ට් වාස් ඇතුළු රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් දායක වූ සංදේශය ගාමිණී ෆොන්සේකා රසික රසිකාවියන් අතර ජනප්‍රිය වීමට ඉවහල් වූ මුල් කාලීන චිත්‍රපටයක් විය.


සුනිල් ශාන්ත ගී තනු නිර්මාණයෙන් ද, ආර්. මුත්තුසාමි පසුබිම් සංගීතයෙන් ද දායක වූ සංදේශයේ 'කටේ කිරි සුව යන්නට පවා බැරි වුණා', 'රැජින මමයි අපේ රාජ්ජේ', 'පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා' වැනි ගීත රචනා කළේ අරිසෙන් අහුබුදු ය.


ප්‍රවීණ මූර්ති ශිල්පී ආරියසේන වීරක්කොඩි සංදේශය චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වූයේ ය.


තිරනාටකය ලියුවේ කේ.ඒ ඩබ්ලිව්. පෙරේරා, බෙනඩික්ට් දොඩම්පෙගම හා ලෙස්ටර් ය. ප්‍රධාන කැමරා ශිල්පියා වූයේ විලියම් බ්ලේක් ය. සුමිත්‍රා පීරිස් එහි සහාය අධ්‍යක්ෂවරියක වූවා ය.


සංදේශය රූපගත කෙරුණේ බෙලිහුල්ඔය තානායමට මඳක් ඔබ්බෙන් පිහිටි එළිමහන් බිමක ය. මාස 14ක් තිස්සේ ශිල්පීන් 123කගේ සහභාගිත්වයෙන් දළ සේයා පට අඩි 120,000ක් භාවිතා කළ සංදේශයට එදා කේ. ගුණරත්නම්ගේ සිනමාස් සමාගම රු. ලක්ෂ පහක් ආයෝජනය කළේ ය. පසු කලෙක කෙරුණ ගම්පෙරළිය චිත්‍රපටයට ද වැය වූයේ රු. 165,000ක් වීමෙන් එදා සංදේශයට යට කළ මුදලේ විශාලත්වය පෙනේ. සංදේශය වානිජ වශයෙන් ද අති සාර්ථක වූ චිත්‍රපටයකි.


සංදේශය ලංකාවේ මුලින් ම වාරණය වූ චිත්‍රපට අතරට ද එක් වේ. එය රැඟුම් පාලක මණ්ඩලය විසින් වාරණය කරන ලද්දේ සාමාන්‍ය මිනිසුන් එහි භික්ෂු චරිත නිරූපණය කළ නිසා බව කියැවේ. පසුව මෙම වාරණය ඉවත් වුණේ මාපලගම විපුලසාර හිමියන්ගේ මැදිහත් වීමෙන් බව ද වාර්තා වේ. 


අපිරිසිදු ජලය පානය කිරීම හේතුවෙන් සංදේශය නිෂ්පාදන කණ්ඩායමේ කීපදෙනෙකුට පාචනය වැළඳුණ අතර ඇමීබයිසිස් අතුරු ආබාධවලින් ගාමිණී ෆොන්සේකා පසුකාලීනව ද පීඩා විඳි බව කියැවේ.


අවසාන වශයෙන් සිංහල ජාතිකවාදී පුහු සුචරිතවාදීන්ට මනසේ කොටු කොටු දමාගෙන කියැවීම සඳහා මෙය ද ලිවිය යුතු ය. සංදේශය රූගත කළ ස්ථානයේ රජයේ බලපත්‍රයක් මත අරක්කු තැබෑරුමක් පවත්වාගෙන ගිය අතර, ඒ අරක්කු ද සංදේශයේ නිර්මානශීලිත්වයට සෑහෙන්න දායක වන්නට ඇත. ඒ කාලයේ බලයේ සිටි සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළ බංඩාරනායකගේ ආණ්ඩුවේ විජයානන්ද දහනායක අගමැතිගේ පාලනය සිනමාවට අතහිත දී තිබෙන්නේ එහෙම ය.


සංදේශය මුල් වරට තිරගත කර 2010ට වසර පනහක් පිරුණි.


(සංදේශය ගැන ඔබ දන්නා තොරතුරු තිබේ නම් සටහන් කරන්න.) 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

3 comments:

  1. ශ්‍රී ලාංකීය බ්ලොග් කරුවන්ගේ සින්ඩිය "සින්ඩි ලංකා" සමග එක් වන්න.
    ඔබේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" හි ඉහලින්ම ස්ථාන ගත කරගන්න.
    අදම එක් වන්න.

    ReplyDelete
  2. මම සංදේශය බලනකොට පොඞි එකෙක් දැන් 57 පැනල.ලබන මැයි 19 වෙනිදට මට 58 යි.

    'කටේ කිරි සුව යන්නට පවා බැරි වුණා', 'රැජින මමයි අපේ රාජ්ජේ', 'පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා'කොහොමද සිංදු ටික විතරක් අදටත් නැගල යනව නේද?

    "ප්‍රවීණ මූර්ති ශිල්පී ආරියසේන වීරක්කොඩි සංදේශය චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වූයේ ය."


    "තිරනාටකය ලියුවේ කේ.ඒ ඩබ්ලිව්. පෙරේරා, බෙනඩික්ට් දොඩම්පෙගම හා ලෙස්ටර් ය. ප්‍රධාන කැමරා ශිල්පියා වූයේ විලියම් බ්ලේක් ය. සුමිත්‍රා පීරිස් එහි සහාය අධ්‍යක්ෂවරියක වූවා ය"

    ඔය හරිය මං දැනගෙන හිටිය නැති දේවල්.

    බුදු අම්මෝ ඒ කාලෙ ලක්ෂ පහක්, මට නම් හිතා ගන්නවත් බැහැ කව්ද නිශ්පාදක කියල.

    Is there any chance to see this film again for a old clodger like me?

    ReplyDelete
  3. කල අධ්‍යක්ෂණය ආරියවංශ වීරක්කොඩි

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.