2011-01-13

ස්වභාවික ව්‍යසනවලට පාලකයන් වග කිව යුතු ආකාරය භෞතිකවාදී ඇසකින්

(2011 ජනවාරි 13, W3Lanka) "දෙවො වස්‌සතු කාලෙන - සස්‌ස සම්පත්ති හේතුච
පීතො භවතු ලොකොච - රාජා භවතු ධම්මිකෝ"


කලට වැසි වසීවා, කෙත් වතු සාර වේවා, ලෝ වැසියන් ප්‍රීතිමත් වේවා, රජතුමා ධාර්මික වේවා!


රජුන් ධාර්මික නො වුණහොත් කලට වැසි නො වසින බව ඉහත ගාථාවෙන් ව්‍යංගයෙන් කියැවේ. ඇති වී තිබෙන අයහපත් කාලගුණයට පාලකයන් වග කිව යුතු බව අප පවසන්නේ අතිශය භෞතිකවාදී පදනමකිනි.


පාලකයන් යන්නෙන් ලංකාවේ වත්මන් මෙන් ම අතීත පාලකයන් ද, ලෝක හා කලාපීය දේශපාලකයන් ද අදහස් කෙරේ. මේ ස්වාභාවික ව්‍යසන වනාහි වැරදි සංවර්ධන උපාය මාර්ගයක අනිවාර්ය ප්‍රතිඵලයි.


මිහිතලය උණුසුම් වීමත් සමග ‍මෙවැනි මහා ගංවතුර උවදුරු මෙන් ම නියඟ ද නිතර අත්දැකීමට ලෝකයට සිදු වනු ඇත.


බලවත් රටවල් විසින් ප්‍රවර්ධනය කරනු ලබන, ලංකාවේ වත්මන් පාලකයන් විසින් දොහොත් මුදුන් දී වැළඳගෙන තිබෙන සංවර්ධන උපාය මාර්ගය සොබා දහමත්, මිනිසාත් සූරා කන, එහෙයින් මානවයාගේ හා සත්ව සන්තතියේ පැවැත්මට අහිතකර එකකි.


වසර 250,000ක ඉතිහාසයක් ඇති මානව වර්ගය කෘෂිකර්මාන්තය පනේ ගත්තේ වසර 10,000කට පෙර ය. වසර 240,000ක් ම මානවයා කිසිදු කෘෂිකර්මාන්තයකින් තොර ව පැවතී ඇත. සොබා දහමෙන් නො මිළේ සපයන ලද දෙයින් අවශ්‍යතාවන් සපුරා ගත් ඔවුහු කිසිදු නිෂ්පාදනයක් නො කළ හ.


කෘෂිකර්මාන්තයේ ද ප‍්‍රධාන ම වෙනස පටන් ගැනුණේ සියවස් කීපයකට පෙර වෙළඳාම පිණිස භෝග වගාව ආරම්භ වීමත් සමගයි. එමගින් විශාල ඒක භෝග වගාවන් වෙත කෘෂිකර්මාතයේ යොමු වීමක් සිදු විය. බොහෝ රටවල වන ආවරණ කපා හෙළා එක භෝගයක් විශාල භූමි ප‍්‍රදේශයක වවන ලදී. බොහෝ රටවල මේ සඳහා වහල් ශ‍්‍රමය ද යොදා ගන්නා ලදී. බොහෝ රටවල් භෝගයක් දෙකක් මත රඳා පැවතුණ අතර, අද අප කෘෂිකර්මයේදී මුහුණ දෙන මහා පරිමාණ වන සංහාරය, ජෛව විවිධත්වය නැති වීම, පස නිසරු වීම, පලිබෝධ උවදුරු හා අස්වනු පාළු ආදියේ මුල් හේතු ඇත්තේ මෙම ඒක භෝග වගාවට හුරු වීම තුළ ය.


2004දී ලෝක වන ජීවී අරමුදලේ ආචාර්ය ජේසන් ක්ලේ විසින් පළ කරන ලද අධ්‍යයනයක ඔහු පවසන්නේ කෘෂිකර්මාන්තය ලෝකයේ ලෝකු ම පාරිසරික තර්ජනය බවයි. බිලියන 1.3ක් ජනයා රැුකියාවේ යෙදී සිටින වාර්ෂිකව ඩොලර් ටි‍්‍රලියන 1.3ක් වටිනා නිෂ්පාදන කරන කෘෂිකර්මාන්තය වගා නො කළ යුතු බිම් ද ඇතුළුව පෘථිවියේ ජීවය පැවතිය හැකි ප‍්‍රදේශවලින් අඩක් පරිහරණය කරන බව ද, වාර්ෂිකව වර්ග සැතපුම් 100,000ක් වනාන්තර විනාශ කර දමන බව ද ඔහු පෙන්වා දෙයි.


ඔහු පවසන පරිදි කෘෂිකර්මාන්තය සෑම වසරක ම දැනටමත් භාවිතා කළ හැකි උපරිමයට ආසන්නයෙන් භාවිතා කරන ජල සම්පතින් 60%ක් අපතේ යවයි.


ඔහු මෙසේ ද පවසයි. ’අන් කිසිදු මානව ක‍්‍රියාකාරිත්වයකටත් වඩා පාරිසරික බලපෑමක් කෘෂිකර්මාන්තයේ ඇත. එය අද අපගේ ආහාර හා කෙඳි ආහාර නිෂ්පාදන පද්ධතියට ම බල පා තිබේ. අලූත් ආකාරයේ කෘෂිකර්මාන්තයකට යොමු වීමෙන් වැඩි වන ජනගහණයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කළ හැකි අතර, වෙනත් ජීවයනට ද ඉඩ දිය හැකි ය.’


රාජ්‍ය සහනාධාර හේතුවෙන් ඒක භෝග වගාවන් තවත් දිරිමත් වන බව ආචාර්ය ක්ලේ සිය කෘතියෙහි පෙන්වා දෙයි. විශේෂයෙන් ම ලෝකයේ ප‍්‍රධාන පරිභෝජන රටවල රජයන් සහනාධාර හා අසාධාරණ තරගකාරිත්වයන් ඇති කරන වෙළඳ සම්බාධක වෙනුවෙන් වැය කරන මුදල් වඩා හොඳ කළමනාකරණ භාවිතාවන්ට යොමු කළ යුතු ය. ඒවා වනාහි ගොවීන් විසින් සපයනු ලබන ජල මූලාශ‍්‍ර ආරක්ෂා කර ගැනීම, පාංශු ඛාදනය වැළැක්වීම, ජලය හා වාතය පිරිසිදු කිරීම වැනි සේවාවන් වෙනුවෙන් ඔවුන්ට ගෙවීමයි.


මෙම පොත විසින් නිර්දේශ කරනු ලබන්නේ රජයන් ගොවීන් හා ආහාර කර්මාන්තය සමග වැඩ කර කාර්යක්ෂමතාව නැංවිය හැකි සහ පාරිසරික හානි අවම කළ හැකි වඩා හොඳ කළමනාකරණ භාවිතාවන් ගොඩනැඟිය යුතු බවයි.


අද වන විට ඇති වී තිබෙන තත්වය කුමක් ද? ලෝකයේ ජනතාවගේ ආහාර සුරක්ෂිතභාවයවත් තහවුරු කරන්නට දියුණු යයි කියන ධනවාදයට හැකි වී තිබේ ද? ස්වභාවික උවදුරු හේතුවෙන් ලබන අප්‍රේල් මාසය වනවිට ලෝකයේ බලවත් රටවල්ද ආහාර අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි ඊයේ පැවසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙන්වා දුන්නේ ආහාර අර්බුදයට මුහුණ දීම සදහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් කඩිනමින් ඇරඹිය යුතු බවය.


මේ වනවිට ශී‍්‍ර ලංකාවේද මතුව ඇති ආපදා තත්ත්වය මත ආහාර සංචිතවලින් 20%ක් පමණ විනාශ වී යා හැකි බව අනුමාන කෙරේ 


මෙම අධ්‍යයනය පිළිබඳ මෙහි සඳහන් කළේ එය ධනේශ්වර සංවර්ධනය පිළිබඳ නව අර්ථකථනයක අවශ්‍යතාව පිළිබඳ අපගේ අදහස්වලට යම් සමානත්වයක් දක්වන නිසා ය.


මානව වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් මිනිසා සමස්ත ජීවිතය පිළිබඳව ම අලුතින් සිතා බැලිය යුතු ව තිබේ. ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන පරිභෝජන රටා සහ එකී පරිභෝජන රටාවන්ට අනුව නිෂ්පානය වැඩි කිරීම අරමුණු කරගත් කර්මාන්තකරණය ද, දිනෙන් දින වැඩි වන 'දිළිඳුකම' නැති කිරීම සඳහා අනුගමනය කරනු ලබන සංවර්ධන උපාය මාර්ග ද යොමු වී ඇත්තේ මානවයාගේ හා ජීවයේ විනාශය දෙසටයි. 


විනාශය දෙසට යොමු වී ඇති මේ වේගවත් ගමන නැවැත්වීමේ විකල්ප යෝජනා කිරීමේ සමත්කමක් ධනවාදයට නැත. මේ වනාහි ධනවාදයේ අසාර්ථකත්වය මොනවට විදහා පාන එක් පැතිකඩකි. එසේ ම, ගතානුගතික සමාජවාදයට ද මෙම කරුණු අරභයා විකල්ප දැක්මක් නැත. 


අද දවසේ සමාජවාදය යනු මේ අභියෝගවලට මුහුණ දිය හැකි මිනිස් අවශ්‍යතාවකි. අරගලයකි. නව සමාජවාදී දැක්ම ගොඩනඟා ගැනීමේදී ධනවාදය විසින් පැවැත්ම අභියෝගයට ලක් කර ඇති ප්‍රජාවන් පැවැත්ම සඳහා කරන අරගල අතිශය වැදගත් වේ. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2 comments:

  1. Kathawanam 100% atha..

    ReplyDelete
  2. What materialism?...This God's curse...Debacle of Asia...

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.