2011-01-16

ධනවාදයට එරෙහි විවේචන ගැන සංවාදය

(2011 ජනවාරි 16, W3Lanka අප ධනවාදය විවේචනය කරමින් නව සමාජවාදයක් සඳහා වූ ලෝක සංවාදය හා සමග සම්බන්ධ වන්නට උත්සාහ කරන්නෙමු. අපගේ පාඨකයන් අපගේ අදහස් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර මෙම සංවාදය පෝෂණය කිරීමෙහි ලා මහෝපකාරී වේ. අප පහත පළ කරන්නේ එම සංවාදයේ වැදගත් අදහස් දැක්වීම් දෙකකි. මෙම සංවාදයට සම්බන්ධ වන ලෙස අපි සමාජ ක්‍රියාධරයන්ට සහෝදරත්වයෙන් ආරාධනා කරන්නෙමු. ඔබේ අදහස් ඊමේල් මගින් ද එවිය හැකි ය. ලිපිනය ඩබ්ලිව්ත්‍රීලංකාඇට්ජීමේල්ඩොට්කොම් ය. නැතිනම් ඔබගේ බ්ලොග් සටහන්වල සබඳතා පුරුක් දන්වා එවන්න. 


සුජීව කොකාවිල මෙසේ පවසයි. 

- බල්ලන් මරා හෝ සල්ලි හොයන "ධනවාදයේ" අප හිරවී සිටියදී ඉතාමත් ඉහල ජිවන තත්වයකට ලොව බොහෝ "ධනවාදී" රටවල් පැමිණ ඇත්තේ කෙසේද?

- ධනවාදයේ අර්ථ දැක්වීම [ඔබට අනුව] සමාජවාදී නොවන වෙනත් ඕනෑම ක්‍රමයක් යන්න ද?

- ධනවාදී නොවන [ඔබට අනුව] වෙනත් ක්‍රමයකින් පාලනය වන/වූ [මෑත ඉතිහාසයේ] රටකට උදාහරණයක් දෙන්න.

- මේකට හේතුව ධනවාදී ත් නොවන සමාජවාදිත් නොවන පක්ෂග්‍රාහී බඩගෝස්තර වාදයක් ලංකාවේ ක්‍රියාත්මක වීම නොවේද?

මා මෙහෙම ලිව්වේ අහවල් වාදයකටවත් මට ඇති කැක්කුමක් නිසා නොවේ. හරියට මාකට් ඉකොනොමියක් වත් නැති ලංකාවේ අහවල් ධනවාදයක් තියේදැයි මා දන්නේ නැත. සමාජවාදී කියාගන්න බොහෝ රටවලට වඩා සමාජවාදී පිළිවෙත් කැනඩාව ඔස්ට්‍රේලියාව නෝර්වේ වැනි රටවල දැකිය හැක.

එහෙත් හැමදාමත් ඉන්ද්‍රජාලික සමාජවාදයක් ගැන විකාර සිහින මවමින් මේ ගොල්ලන් මේ ලියන බහුබූත වලටත් පාලු ගෙයි වලං බිඳීමටත් රටේ අටානුවක් රෝග වලට අතට අහුවෙන මුව හමට තලන එකටත් යම සීමාවක් තිබිය යුතුය.

නැත්නම් මේ බොරු ගොබල් වීමට ඉඩ ඇත.

ඉහත ප්‍රතිචාරයට පිළිතුරු ලෙස මෙවැනි අදහසක් නිර්නාමික අදහස් පළ කරන්නකු විසින් දක්වා තිබිණි. ඒ මෙසේ ය:

//හරියට මාකට් ඉකොනොමියක් වත් නැති ලංකාවේ අහවල් ධනවාදයක් තියේදැයි මා දන්නේ නැත.//
ලංකාව ඔබ හදුනගන්නේ එහෙනම් කවර සමාජ ක්‍රමයක් තියෙන රටක් විදිහටද?නිශ්චිතව කියන්න.

//- බල්ලන් මරා හෝ සල්ලි හොයන "ධනවාදයේ" අප හිරවී සිටියදී ඉතාමත් ඉහල ජිවන තත්වයකට ලොව බොහෝ "ධනවාදී" රටවල් පැමිණ ඇත්තේ කෙසේද?//

එහෙම ඉහල ජීවන තත්වයක් කියා කියන දේ ලබාගෙන ඇති රටවල් මොනවාද?නම්කරන්න.

එතනින් එහාට මේ සංවාදය කරගෙන යමු.දැනට ආරම්භයක් විදිහට මේක කියන්නම්.ධනවාදය කියන්නේ සියවස් හතරක් විතර ඉතිහාසයක් තියෙන ලෝක ක්‍රමයක්.හරියටම කියනවා නම් දේශසීමා ඉක්මවා ගිහින් ක්‍රියාත්මක වන ගෝලීය සිස්ටම් එකක්.මේ සිස්ටම් එකේ කේන්ද්‍රයේ බලය අල්ලගත්ත බලසම්පන්න සුපිරි රටවල් කිහිපයක් තියෙනවා.අනෙත් සියලු රටවල් පරිධියේ සිට කේන්ද්‍රය වෙත අමුද්‍රව්‍ය සපයමින් සිටිනවා.කේන්ද්‍රය විසින් භුක්ති විදින අතිරික්ත ප්‍රමෝදය කියන්නෙ පරිධියේ රටවල් මත ඔවුන් විසින් පවත්වාගෙන යන අධිකාරිය හරහා සූරාකනු ලැබූ දෙයක්.ගෝලීය ධනවාදය ඇතුලෙ පරිධිය කියන්නෙ කේන්ද්‍රයට අමුද්‍රව්‍ය සපයන දඩයම්බිමි විතරක් වෙන නිසා කේන්ද්‍රයේ රටවල්වල සිද්දවෙලා තියෙන මට්ටමේ ධනේශ්වර සංවර්ධනයක්වත් මේ රටවල්වල සිද්දවෙන්නේ නැහැ.වෙන වචනවලින් කියනවා නම් කේන්ද්‍රයේ ධනවාදය සිවිල් හා එක්තරා අන්දමක ශිෂ්ට ධනවාදයක් වෙද්දි පරිධියේ ධනවාදය වනචාරී හා නන්නත්තාර ධනවාදයක් වෙලා තියෙන්නේ ධනවාදය එහි ස්වභාවයෙන්ම ගෝලීය බලහත්කාරය උඩ පදනම් වෙලා තියෙන ආකාරය අනුව.කේන්ද්‍රයේ රටවල ඇඩ්වාන්ස් ධනවාදය ඇතුලෙත් අපමන ප්‍රශ්න හා මානව විරෝධී ව්‍යසනයන් තියෙනවා.ඒවා අත්හැරියත් හුදෙක් කේන්ද්‍රයේ රටවල් වල ඇතිවෙලා තියෙන ශිෂ්ටසම්පන්නභාවය දිහා විතරක් මතුපිටින් බලල අතේ ගහන එක වෙනුවට එවැනි තත්වයක් ගොඩනගා තිබෙන්නේ කෙසේද?ඒ වෙනුවෙන් පරිධිය ගෙවමින් තියෙන මිල මොකක්ද?ඒ ශිෂ්ටත්වයේ ප්‍රතිඵලය විදිහට ලක්ෂ ගනන් සූරාකෑමට ලක්වූ පරිධියේ රටවල මිනිස්සු කාලකන්නි ජීවිත ගතකරන්නේ කොහොමද වගේ විස්තරාත්මක විග්‍රහයක් වෙත යන එක තමයි වඩා සුදුසු වන්නේ.

සුජීව කොකාවිලගේ ප්‍රතිචාරය මෙසේ ය:

කේන්ද්‍රය හා පරිධිය පිලිබඳ ඔබේ මතයට මා එක්තරා දුරකට එකඟයි. වැඩිපුර කිව යුත්තේ පරිධියේ ඇතැම් බලු වැඩ කේන්ද්‍රය විසින් කලාට තවත් බලු වැඩ කරන්නේ පරිධියේ උන්මයි. පරිධියේ ව්‍යාධි තරමකට සුවකර පරිධිය කේන්ද්‍රය දිහාට ගේන්න පරිධියට පුළුවන් [මැලේසියාව සිංගප්පුරුව] කේන්ද්‍රය තව සැපයුම ලැබෙන තුරු පරිධියේ සුබ සිද්දිය වෙනුවෙනුත් පෙනී හිටීවි. ගැටලුව වෙන්නේ පරිධියේ ම ජඩ ගති නිසා උන් ගොඩ නොයාම.


නමුත් පොදු අදහසක් ලෙසට ධනවාදය සාධාරණ වූ ක්‍රමවේදයක් නොවේ.


ප්‍රශ්නය මොකද්ද සාධාරණ වූ ක්‍රමවේදය? දෙවැන්න එය හුදු සිහින පද්ධතියක් පමණ ද?


පරා/ඔබ කියන්නේ එය සමාජවාදය කියලද? එමෙන්ම එය මින් පෙර කවදාවත් භාවිතා නොවූ සමාජවාදයක් කියලද?


මෙතැනයි ගැටලුව. මින් පෙර නොකළ දෙයක ගුණාගුණ කියන්න අමාරුයි. හරි හමන් විස්තරයක් ද නැති කළ එය ඉතා අපහසුයි. දෙවනුව ඔබේ සිහින ක්‍රම වේදයන් සැබෑ ලෝක පද්ධති දක්වා ගෙන ඒම ලේසි නැහැ. දෙයක් කරන කොට ප්‍රායෝගික ගැටළු එනවා.


අනික තියරියක් ලෙසට ඕන එකක් හරි. ධනවාදයේත් තියරි මුහුණේ කිසි දුර්වලතාවයක් නැහැ. කරන්න ගියාමයි කෙල වෙන්නේ.


දැන් සමාජවාදය කරන්න ගොඩක් අය උත්සාහ කළා නේ. ඒ හැම තැන ම උනේ මිනිස් ගති ගුණ දුර්වලතා මත එය ක්‍රමයෙන් වැඩවසම් වීම. රුසියාව, චීනය [මුල කාලේ], කියුබාව, උතුරු කොරියාව විඳපු/විඳින දුක ඔබ දැක ඇති. ඔයිටත් වඩා සුන්දර වූ සිහින ක්‍රම වේදයක් තමයි පොල්පොට් ගෙනාවේ. ඔහුගේ සුන්දර සිහිනය මහා පොළොවේ හිට ගත්තේ වියරු උමතුවක් හැටියට.


අනික සමාජවාදය ඔය තරම් සාධාරණ හා ප්‍රගතිශීලි නැහැ. එහි ධනවතුන්ට කරන කෙනෙහිලි නො අඩුව තියෙනවා. එහි සමාජය [ආර්ථික] නෂ්ටකාමි කරනවා. මිනිසුන් කෝටා වල සිරකරුවන් කරනවා. පෝලිම ඇති වෙනවා. එය හැම තැනම ක්‍රියාකළේ පවුල වෙනුවට පක්ෂය ආදේශ වූ වැඩවසම් ක්‍රමයක් ලෙස.


අනික කොයි රටකවත් එක ක්‍රමවේදයක් විතරක් යොදාගෙන නැහැ. හැම රටක ම අඩු වැඩියෙන ඔය සංකල්ප වල සම්මිශ්‍රණයක් යොදා ගන්නවා. හරි දෙය හරි තැනට දාපු එවුන් ගොඩ [ඔබ ඔවුන්ට කේන්ද්‍රය කියා කියනවා]. දා ගන්න බැරි වෙච්ච එවුන් වලේ [ඔබ පරිධිය කියා කියනවා]


ලාභය නිසා යහපත් ලෙස පෙර ගමන් කරන ක්ෂේත්‍ර තියෙනවා. හැබැයි රේගියුලේට් කලොත් හරි ක්‍රමයට. ලාභය හැම මගුලටම දැම්මොත් චාටර්.


මා ඕස්ට්‍රේලියානු උදාහරණය ගන්නම්. ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදන පුද්ගලිකයි. එහෙත් පරිසර නීති වල කනෙන් රිංගන්න ලංකාවේදී වගේ බැහැ. මිනිසුන්ට අවම වැටුපක් නිකම් දෙනවා. අධ්‍යාපනය ඒ රටේ අයට නිකම් - හම්බු කලොත් විතරක් එය ණයක්. මහපොළ වගේ එකකුත් දෙනවා. ප්‍රවාහනය හා සෞඛ්‍යය රාජ්‍ය සමාගම් මුලික ව කරන්නේ. මේ දේවල හරය ගත්තොත් එය ධනවාදයේ හා සමාජවාදයේ මිශ්‍රණයක්.


[ඔස්ට්‍රේලියාව සියල්ල හරි රටක් නොවේ. හරිතාගාර වායු මුදාහැරීම අධික ලෙස කණිජ ද්‍රව්‍ය හැරීම අනුන්ගේ රටක් කොල්ල කෑම වැනි බලු වැඩ කළා/කරනවා - මා කිව්වේ හොඳ කොටස]


චීනය වෙළඳපොල මත පදනමවූ නිෂ්පාදන ආර්ථිකයට සෙට් වෙන්නේ රට තුල සමාජවාදය මුලික වූ ක්‍රමයක් තියෙද්දී. නොර්වේ කියන රජෙක් ඉන්න ධනවාදී [පුරාණයේ නරුමයන් හිටි] රටේ තෙල් සම්පත ජනසතු කරලා තියෙන්නේ රටට අයිති අරමුදලක් ලෙස. මේක අයවැය පියවන්නත් ගන්න බැරි විදිහට බේරලා තියෙන්නේ මහින්දලා එහෙ බිහි නොවන්න.


කෙටි කලොත්.


- මගේ තර්කය ධනවාදය හොඳයි කියන එක නොවේ. එහෙත් එය වඩාත් ප්‍රායෝගිකයි.


- ලාභය වැදගත් වන තැනුත් තියෙනවා. ලාභයට නරුම සිමා දැම්මොත් ඒ තැන් වල ප්‍රගමනය නවතිනවා


- කේන්ද්‍රය හා පරිධිය වැටකින් වෙන්කර නැහැ. දෙපැත්තට ම ගමන කරන රටවල් තියෙනවා. හරියට කලොත් පරිධියෙන් කේන්ද්‍රය දිහාට යන්න පුළුවන්. මුලික ප්‍රශ්නය කේන්ද්‍රයේ බලපෑම නොවේ, පරිධියේ දුර්වලතා.


- සමාජවාදය සාධාරණ නැහැ.


- ධනවාදයේ ලොකුම බිල පරිසරයයි. ඔබ දෙදෙනා හරියට හරි. හැබැයි වැඩේ කෙල වෙනකොට දැන් ධනවාදය එයට විසඳුම් හොයා ගනිමින් ඉන්නේ.


- හැබැයි සමාජවාදය පරිසරයට ඊටත් වඩා වීන කළා. කොටින්ම සමාජවාදයේ පරිසර හිතකාමිත්වයක් ඇත්තෙම නැහැ.


- ලෝකය ම සාධාරණ කරන ක්‍රමවේදයක් කවදාවත් හදන්න බැහැ. විෂමතාවය අඩු කිරීමයි වැදගත්. පහුගිය දශකයේ, විශේෂයෙන් චීනයේ නැගිටීමත් එක්ක විෂමතා අඩුවෙන දිහාවකට අප යොමු වෙමින් ඉන්නේ. අද ලෝක ආර්ථික පාලනය එක පැත්තක බුදලයක් නොවේ.


- හොඳම දෙය මේ සියලු මතවල සම්මිශ්‍රණයක්. එය කළ යුත්තේ මොලෙන් මිස හදවතින් නොවේ.


- මාක්ස්ටයි ලෙනින්ටයි මල් තියා වැඳීමෙන් ආගමික තෘප්තියක් මිස මේ වගේ වැඩ කරන්න බැහැ.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

4 comments:

  1. සුජීව කොකාවල වටේ ගියාට නිශ්චිතව අහපු දෙයට පිලිතුරු දීල නැහැ.ලංකාවේ තියෙන්නේ මොන ක්‍රමයද?ඒ ප්‍රශ්නය විවෘතව තබමින් ඊලග කරුනු වෙත මම එන්නම්.

    - කොකාවලගේ පරමාදර්ශී ඔස්ට්‍රේලියාව ගනිමු.ඒ රටේ හොද අවම වැටුපක් දෙනවලු.අරක තියෙනවලු.මේක තියෙනවලු.දැන් අපේ රටවල එහෙම අවම වැටුප "හොද" කරගන්න බැරි ඇයි?කේන්ද්‍රයේ තියෙන සනීප ඔස්ට්‍රේලියාව වගේ රටවල් තමන්ගේ කර්මාන්ත බොහොමයක් පරිදියේ ස්ථානගත කරන්නෙ ඇයි?දැන් අමෙරිකානු සමාගම් වලට මෙහෙ එන්නෙ නැතිව ඒ රටේ ශ්‍රමිකයන් කිහිප දෙනෙක් හයර් කරගෙන ඇගලුම් කම්හලක් දාගන්න බැරිද?ඒ උදවිය මෙහෙට එන්නෙ මෙහෙ ලාභ ශ්‍රමය නිසා.මෙහෙ ගාමන්ට් කෙල්ලොන්ට අවම වැටුප කියල ලොකු ගානක් දෙන්න ගියොත් උන් අකුලගෙන යනව.මේක ලංකාවේ විතරක් නෙමෙයි ගෝලීයව වෙන දෙයක්.අඩු පඩියට පරිධියේ ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සුරාගෙන කාල කේන්ද්‍රයේ රටවල ධනපති පංතිය ඒ රටවලට ඒ සල්ලි ගන්නව.ඔස්ට්‍රේලියාවේ අයට අවම වැටුප් ද අරවද මේවද එක්ක සැප ජීවිත ගතකරන්න පුලුවන් වෙලා තියෙන්නෙ එහෙම ගොඩගහගත්ත සමෘද්ධියට පින්සිද්ද වෙන්න.කොච්චර සම්පත් තිබුනත් පරිධිය දුප්පත් වෙන්නේ මේ ක්‍රමය හැඩගැහිලා තියෙන ආකාරය අනුවයි කියන එක පැහැදිලියි නේද?පරිධියේ මිනිස්සුන්ගේ "ජඩකම" ඒ දරිද්‍රතාවය එක්ක සම්බන්ධයි.විෂයමූල පරිසරයේ දරිද්‍රතාවය අයින් කරල මිනිස් හැසිරීම් විග්‍රහ කරන්න බැහැ.
    එහෙනම් මම සරල පරීක්ෂනයක් යෝජනා කරන්නද?මොහොතකට තුන්වෙනි ලෝකයේ සම්පත් මත කේන්ද්‍රයට තියෙන අයිතිය අත්හරින්න කියමු‍.මැදපෙරදිග තෙල්වලින්,අප්‍රිකාවේ ඛනිජ වලින්,දකුනු අමෙරිකාවේ ලෝහ සම්පත් වලින් බහුජාතික සමාගම් වලට අයින් වෙලා ඒ ඒ සම්පත් නිෂ්පාදනයට යොදාගන්න එක ඒ ඒ රටවලට භාර දෙන්න කියල කියමුකො.මේකට කේන්ද්‍රය කැමති වෙයිද?එහෙම වුනොත් කේන්ද්‍රයේ අද තියෙන ආතල් එක තියෙයිද?චිලි වල තඹ නිධි ජනසතු කලාම ශිෂ්ට ධනවාදී අමෙරිකාව අයියන්දේගේ ආන්ඩුව හමුදා කුමන්ත්‍රනයකින් පෙරලුවේ ඇයි?සූවස් ඇල ජනසතු උනාම බ්‍රිතාන්‍යයේ අධොමුඛය ගිනිගත්තේ ඇයි?කැස්ත්‍රෝට ඇයි අමෙරිකාව මෙච්චර විරුද්ධ?චාවෙස් එක්ක මෙච්චර තියෙන ඇරියස් එක මොකක්ද?ඒ අය කරන්නේ ඒ රටවල සම්පත් සමාගම් වල අයිතියෙන් මුදවගෙන තමුන්ගේ රටේ මිනිස්සු වෙනුවෙන් යොදවන එක නේද?ඒක කරන්න ගෝලීය ධනවාදය ඉඩ නොදෙන්නේ ඇයි?නෝර්වේ වල තෙල් ජනසතුයි කියල කොකාවල කියනවනෙ.නෝර්වේ කියන සැප රටේ කරන්න පුලුවන් ඒක තුන්වෙනි ලෝකයේ කවුරු හරි කරන්න ගියාම ඒ වගේ ආන්ඩු දෙපාරක් නොහිතා පෙරලන්න කේන්ද්‍රය කැස කවන්නෙ ඇයි?

    ReplyDelete
  2. - මැලේසියාවෙයි සිංගප්පූරුවෙයි එල්ලෙන එක තමයි ධනවාදය ගැන අහපු ගමන් වෙන ඕනෙ කෙරුමෙක් කොරනව වගේ කොකාවලත් කරන්නෙ.දර්ශනය දන්න අය දන්නව ඕනෑම පද්ධතියක "සාමාන්‍යය" සහ "සුවිශේෂය" කියල දෙකක් තියෙනව.පද්ධතියේ ස්වරූපය වටහා ගන්න නම් අපි යන්න ඕනෙ සාමාන්‍යයට මිස සුවිශේෂයට එක්සෙප්ෂන් එකට නෙමෙයි.ඔය වගේ විරල නිදසුන් දෙකක් ( සිංගප්පූරුවේ දියුනුවට බලපෑ සුවිශේෂී හේතු තියෙනව.ඒක වෙනම විග්‍රහ කරගන්න පුලුවනි) හැර සමස්තය දිහා බැලුවම පේන කතන්දරය මොකක්ද?අනිත් රටවල් කන්දරාව දිහා බැලුවම මොකද කියන්න තියෙන්නෙ?"ජඩ" නැති "හොද" පාලකයෙක් ආවම තුන්වන ලෝකයට ධනවාදයෙන් උනත් ගොඩ යන්න පුලුවන් කියලද කියන්නෙ?එතකොට තුන්වෙනි ලෝකයේ රටවල් එකසිය ගානක පහුගිය අවුරුදු 70 80 ට පහල වුනේ ජඩ නායකයො කියන එකද ඒ අටවල අසංවර්ධනයට ඔබ දෙන පිලිතුර?ඒ ජඩ නැති හොද නායකයා කොහෙද ඉන්නෙ?ඒ ගැලවුම්කරුවා එනකම්ම අපි මෙහෙම ඉන්න ඕනෙද?කොකාවල ගෝලීය ධනවාදයේ ආකෘතියට හිරවෙලා ඉන්න කම් තුන්වෙනි ලෝකයට නැගිටින්න බැහැ.නැගිටින්න නම් මේ රටවල සීඝ්‍ර කාර්මිකකරනයක් වෙන්න ඕනෙ.නිෂ්පාදන ආර්ථිකයක් හැදෙන්න ඕනෙ.ඒවට කේන්ද්‍රය ඉඩ දෙන්නෙ නැහැ.චාවෙස් ඒ රටේ තෙල් ටික සමාගම් වලින් අරගෙන තමන්ගෙ රටේ දියුනුවට ගත්ත විතරයි ගැහුව.මේ තත්වය අබිබවන්න පුලුවන් ගෝලීය ධනේශ්වර ආකෘතියට එරෙහිව පැන නගින තුන්වෙනි ලෝකයේ ජාතික විමුක්ති විප්ලව රැල්ලකින් විතරයි.දකුනු අමෙරිකාවෙ අද වෙන්නෙ ඒක.සමාජවාදය කපොතියි කියල දශක දෙකක් යන්න ඉස්සර දකුනු අමෙරිකාවෙ මිනිස්සු ගිහින් සමාජවාදී නායකයන්ටම ආයෙත් චන්දය දෙන්නෙ ඇයි?පරන සෝවියට් සමූහාන්ඩු වල එ‍දා තත්වය කොහොමද?අද තත්වය කොහොමද?

    ReplyDelete
  3. - සමාජවාදය
    සමාජවාදය කියන්නෙ ගලක් වගේ පාෂානිභූත වෙච්ච දෙයක් නෙමෙයි.ධනවාදය අද තියෙන තත්වයට එන්න සියවස් ගානක් ගියා.සමාජවාදී දෘෂ්ටිය කියන්නෙත් එහෙම චලනය වෙමින් ඉදිරියට යන විවෘත ප්‍රවාහයක්.පරන සෝවියට් රුසියාව වනාහි සමාජවාදයේ පරම ස්වරූපයයි කියල එකක් නැහැ.සමාජවාදයේ අදහස තමයි පුද්ගලික අයිතිය වෙනුවට පොදු අයිතිය ආදේශ කරනු කියන එක.දරිදුතාවය ඇති නැති පරතරය නැති කරන්න පුලුවන් එතකොට.මිනිස් සංහතියේ විද්‍යාව වැනි ජයග්‍රහන මිනිසාගේ අභිවෘද්ධියට යොදාගන්න පුලුවන් සමාගම් වල ලාභය සදහා නෙමෙයි මිනිස් අවශ්‍යතාවලට ප්‍රමුඛතාවය දීල නිෂ්පාදනය කරන එහෙම ක්‍රමයක් ආවම.මෙච්චර විද්‍යාව දියුනු වෙලා තියෙන කාලෙක මන්දපෝෂනයවත් තුරන් කරගන්න ගෝලීය ධනාදයට බැරි වෙලා තියෙන්නෙ ඇයි කියල කොකාවල හිතල බැලුවද?ඉතින් අපි පෙනී ඉන්නෙ නූතන සමාජවාදයක් වෙනුවෙන්.පරන රුසියාවෙ තිබුන දේශපාලන අධිකාරිවාදයට අපි එකග නැහැ.නමුත් සෝවියට් ක්‍රමයේ ගොඩක් හොද තිබුන.ඒ හොද එකතු කරගෙන නරකනැතිකරගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියන කතිකාවත විවෘතයි.නේපාලයේ කොමියුනිස්ට් පක්ෂය අද බහුත්වවාදී දේශපාලනය ගැන සලකා බලමින් ඉන්නවා.සහභාගීත්ව ආර්ථිකය වගේ නව සමාජවාදී සංකල්ප ගැන ලෝකය පුරා කතිකාවතක් තියෙනවා.මොන දේ වුනත් තියෙන ක්‍රමය අතිශය අසාධාරනයි.ඒක වඩා සාධාරන විදිහකට වෙනස් කරන්න නම් නිෂ්පාදන මාධ්‍යයන්ගේ අයිතිය වෙනස් කරන්න වෙනවා.ඒක කරන්නේ කොහොමද කියන සාකච්ඡාව උඩට ගැනීම නවීන සමාජවාදය විසින් සිදුකරනවා.ගෝලීය ධනේශ්වර ක්‍රමයේ අර්බුදය එක්ක මේ සාකච්ඡාව කේන්ද්‍රයේ පවා සිදුවෙමින් තිබෙනවා.

    -මෙතනදී ක්‍රමවේද වල මිශ්‍රනය ගැන කොකාවලගේ අදහස තුල ගන්න දෙයක් තියෙනව.ධනේශ්වර කලමනාකරනය වගේ දේවල් වලින් යමක් ඉගෙන ගන්න පුලුවන්.සූරාකෑම පවතින ධනේශ්වර ක්‍රමය ඇතුලෙ සුබසාධන පැලැස්තර ටිකක් දානව වෙනුවට ( ලංකාවෙ අද කරල තියෙන්නෙ නෝර්වේ වල කරා කියන ටික තමයි.වෙනස ලංකාව පරිධියේ නිසා /වෙන රටවල් සූරාකෑමේ ශක්‍යතාවයක් නැති නිසා ලංකාව නෝර්වේ වගේ නොවීමයි) සූරාකෑම රහිත සමාජවාදී ක්‍රමයක් තුල ධනේශ්වර දැනුම් පද්ධතින්වල ගත යුතු දෙයක් යොදාගැනීම හැම අතින්ම සාධාරනයි.ධනවාදය වෙලදපොලට සමාජය යට කල යුතුයි කියල කියද්දී අපි සමාජයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙලදපොල මෙහෙයවිය යුතුයි කියල කියනවා.

    //මාක්ස්ටයි ලෙනින්ටයි මල් තියා වැඳීමෙන් ආගමික තෘප්තියක් මිස මේ වගේ වැඩ කරන්න බැහැ//
    සමාජවාදීන් සමාජවාදී දෘෂ්ටියට දාර්ශනික පදනමක් දීම සම්බන්ධව මාක්ස්ට එංගල්ස්ට ලෙනින්ට ගරු කරනවා.නමුත් ඒක මල් තැබීමක් නෙමෙයි."මාක්ස්වාදියෙක්" වුන ලෙනින් රුසියාවේදී මාක්ස්ව අබිබවා ගියා.අපිට න්‍යාය කියන්නෙ ඇදහිල්ලක් නෙමෙයි.ක්‍රියාවට මග පෙන්වන්නක් විතරයි.යාවත්කාලීන වෙමින්තිබෙන පොහොසත් මාක්ස්වාදී සාහිත්‍යයක් ලෝකයේ තියෙනව.සමාජවාදය ගැන ඔලුවෙ තියෙන ඔය මනස්ගාත අත් හැරල අඩුම තරමින් අපි කියන්නෙ මොකක්ද කියල ඒ හරහා කියවලා බලන්න කියල කොකාවලට මම ආරාධනාකරනවා.

    ReplyDelete
  4. [පෙර කොටසට සම්බන්ධයි]

    [[මොහොතකට තුන්වෙනි ලෝකයේ සම්පත් මත කේන්ද්‍රයට තියෙන අයිතිය අත්හරින්න කියමු‍.මැදපෙරදිග තෙල්වලින්,අප්‍රිකාවේ ඛනිජ වලින්,දකුනු අමෙරිකාවේ ලෝහ සම්පත් වලින් බහුජාතික සමාගම් වලට අයින් වෙලා ඒ ඒ සම්පත් නිෂ්පාදනයට යොදාගන්න එක ඒ ඒ රටවලට භාර දෙන්න කියල කියමුකො.මේකට කේන්ද්‍රය කැමති වෙයිද?එහෙම වුනොත් කේන්ද්‍රයේ අද තියෙන ආතල් එක තියෙයිද?]]

    කේන්ද්‍රය කොහෙත් ම කැමති නැහැ. ඔබ දකිනවා එයට හේතුව. ඔවුන් මුදල මත පදනම වීම. ඔබ කොච්චරවත් හදන්නේ ඔයා හරි නරකයි හොන්දට ඉන්නකෝ වගේ කතාවක් කියන්න. මා පෙර කී ලෙසම මෙය සහජීවනයක් නොවේ. අසාධාරණ ක්‍රමයක්.

    ඒත් කේන්ද්‍රය අත හැරියොත් පරිධිය තනියම ගොඩ යයි ද? පරිධියේ රජ පවුල් විතරක් ගොඩ යයි ද?

    අති පිරිසිඳු සමාජවාදය පුද්ගල පරමාදර්ශය මත රඳා පවතින්නක්. ඉතා පිරිසින්දුවට එය කිරීමට පරමාදර්ශී සුලුතරයක් අත බලය කේන්ද්‍ර විය යුතුයි. නමුත් මෙහෙම අය නෑ. ඔය කතාවත් දියසේනලාගේ කතාවක්. ඉන්න සාමාන්‍ය මිනිහෙක් ඔය තැනට ආවාම නිකම්ම එය අධිකාරිවාදයක් වෙනවා.

    ඊට අමතරව අර මා කියූ ලෙසට ආර්ථික නෂ්ටකාමිත්වය. ගොඩක් ආර්ථික දියුණුවන් ඇති වනේ මුදලට මිනිසා දක්වන කැමැත්ත නිසා. ලාභය එහි තීරණාත්මක කොටස. සමහර ක්ෂේත්‍ර වලට මෙය කිවහැකි නැහැ. උදාහරණ ලෙස ප්‍රවාහනය හා සෞඛ්‍යය. නමුත් වෙනත් බොහෝ නිෂ්පාදන වෙසෙසින් ම නව නිෂ්පාදන බිහිවන්නේ මේ පදනම උඩ නේද?

    සමාජවාදයේ පරිසර බර අති විශාලයි. මේකට හේතුව නම නීති බිඳින තරම් බලය හිමි උඩ තට්ටුව පරමාදර්ශී නොවීම. ධනවාදයේ පරිසර බිලත් අඩු නැහැ. එත එය තුලින් එයට විවේචන මතු වෙනවා. හොඳ කර ගන්න පුළුවන්. නිති රාමු හදා ගන්න පුළුවන්.

    පරිසරය යහපත් කරන සමාජවාදී ක්‍රමවේදයන් ගැන මා දැන ගන්න කැමතියි.

    අද තාක්ෂනය මිනිස් ජිවිත යහපත් කරනවා. ලාභය මත පදනම වූ ක්‍රමයක් තාක්ෂණික ප්‍රගමනයට උචිතයි. මෙය සමාජවාදය ට වරදින තැනක්. රුසියාව වැනි රටවල තාක්ෂණ ප්‍රගමනය වුයේ ජිවිත යහපත් කරන අතට නොවේ. බලන්න චීනය එතැනදී ධනවාදය ට එන හැටි.

    [[අපිට න්‍යාය කියන්නෙ ඇදහිල්ලක් නෙමෙයි.ක්‍රියාවට මග පෙන්වන්නක් විතරයි.යාවත්කාලීන වෙමින්තිබෙන පොහොසත් මාක්ස්වාදී සාහිත්‍යයක් ලෝකයේ තියෙනව]]

    ඔව්. බලන්න යුරෝපය දිහා. සමාජ ප්‍රජාටන්ත්රවාදින් වන මිතරෝන් ශ්රුඩර් වගේ අය නිකම්ම දින්නා. හැබැයි ඔවුන් අනුගත වූ ක්‍රමවේදය කුමක්ද? මිශ්‍රණයක්. ලුලා ද සිල්වා ගන්න. බලන්න ලස්සනට මිශ්‍රණයක් කරන හැටි. බලන්න චාවේස් ගත්තත් ඔහු නිෂ්පාදන කර්මාන්තය කරන්නේ ඇමරිකානු වෙළඳ පොලට. කොටින්ම චීනය යුරෝපය හා දකුණු ඇමරිකාව හමුවේ ඇමරිකාවට ඔවුන්ගේ ම නිදහස් අර්ථ ක්‍රමය පාලනය කරගත නො හැකි වෙලා.

    මැලේසියාවේ මහතීර් සහ දකුණු ඇමරිකාව අතර මා දකින එකම වෙනස නම් මහතීර් එළිපිට ඇමරිකාවට නොබනින එක විතරයි. ඔවුන් කවුරුත් රට විවෘත කරන්නේ සීමිත ව.

    ක්‍රම මිශ්‍රණයක් හොඳයි කිව්වේ මේ පදනමින්. මා පෙර කී උදාහරණ රටවල් ඔක්කොම කරන්නේ ක්‍රම මිශ්‍රණයක්. මා ඔවුන් පරමාදර්ශී ලෙස ගත්ත නොවේ. නමුත් මේ හරි මිශ්‍රණය කරගෙන යන එක ඔවුන් ගෙන් ඉගෙන ගත හැකියි.

    [[මේ තත්වය අබිබවන්න පුලුවන් ගෝලීය ධනේශ්වර ආකෘතියට එරෙහිව පැන නගින තුන්වෙනි ලෝකයේ ජාතික විමුක්ති විප්ලව රැල්ලකින් විතරයි. දකුනු අමෙරිකාවෙ අද වෙන්නෙ ඒක]]

    දකුණු ඇමරිකාවේ වුනේ මහා විප්ලව නොවේ. චන්දය ලබාගත්තේ ජාතිකත්වය හා සමාජවාදය මිශ්‍ර ලෙස ගත ඇමරිකානු විරෝධීන්. ඉතින් ඔය ඔක්කොම සලකා තමයි චන්දෙ දුන්නේ. හරියට නොකලොත් පරණ අය ආයිත් එයි. යුරෝපයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට වුනේ ඕකනේ.

    [[සමාජවාදය කපොතියි කියල දශක දෙකක් යන්න ඉස්සර දකුනු අමෙරිකාවෙ මිනිස්සු ගිහින් සමාජවාදී නායකයන්ටම ආයෙත් චන්දය දෙන්නෙ ඇයි?පරන සෝවියට් සමූහාන්ඩු වල එ‍දා තත්වය කොහොමද?අද තත්වය කොහොමද?]]

    නමුත් සමාජවාදී මග ගත චීනය එළියෙන් ධනවාදී වන්නේ මොකද?

    ඔබ මේ වන විට දැක ඇති මා මේ එක වාදයක් වත් තනිකර අගය නොකරන බව. ප්‍රශ්නය නම එකක් නරකයි කියා ගෙන්න කතා කරන අනික ඊටත් වඩා නරක විමයි.

    ඔබ කැමති දකුණු ඇමරිකාව වගේ ක්‍රමයකට නම අපි ඉන්නේ එක තැනක. අඩුම ගානේ ළඟ ළඟවත්.

    [ඉවරයි]

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.