2011-02-05

ඔය තරම් ම සමරන්නට තරම් දෙයක් ඇත්තට ම මේ නිදහසින් ලැබුණා ද?

(2011 පෙබරවාරි 05, W3Lanka) 1815දී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් නො වුණා නම්,මේ රටට කුමක් සිදු විය හැකිව තිබුණි ද යන්න කීමට අපි නො දන්නෙමු.


එහෙත්, අපි එක දෙයක් දන්නෙමු. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වීම නිසා ලංකාව දැවැන්ත විපර්යාසයකට නම් ලක් විය.එම විපර්යාසය නූතන සංකල්ප අනුව නම් වේගවත් සංවර්ධනයකි. එම සංවර්ධන ක්‍රියාවලියට බඳුන් නො වූවා නම් ලංකාව ද භූතානය සේ නූතන අර්ථයෙන් පසුගාමී රටක් වන්නට ඉඩ තිබිණි. එහෙත්, ලංකාව භූතානයක් වන්නට බැරි ය. මක් නිසා ද යත්, මේ දිවයින පිහිටා ඇත්තේ ආරක්ෂක හා වෙළඳ උපායික මර්මස්ථානයක වන හෙයිනි. 


බ්‍රිතාන්‍ය ජාතිකයෝ ලංකාව නම් දූපත එක් මධ්‍යගත රාජ්‍ය පාලනයක් යටතට ගත් හ. ඊට පෙර ලංකාවේ දේශපාලනයේ තිබුණේ ඒකීය රාජ්‍යයක ලක්ෂණ යැයි අප අද හඳුනා ගන්නා ලක්ෂණ නො වේ. පෘතුගීසීන් ලංකාව ආක්‍රමණය කරන විට අඩු තරමේ වෙන වෙන ම රාජ්‍යයන් පහක්වත් ලංකා දිවයිනේ තිබුණ බව පෙනේ. 


මේ ඒකීය රාජ්‍ය පාලනය චිරස්ථායී කිරීම සඳහා මුළු රට ම එක් මධ්‍යස්ථානයකට ඈඳන මාර්ග ජාලයක් අවශ්‍ය වූ අතර ඉංග්‍රීසීහු ඒ වෙනුවෙන් මහාමාර්ග හා දුම්රිය මාර්ග ජාලයක් ඇති කළ හ. එසේ ම, රටේ පරිපාලන හා ආර්ථික මධ්‍යස්ථානය ලෙස කොළඹ නගරය ගොඩනැඟූ හ.  ඒ වෙනුවෙන් ඔවුහු රටින් සූරා කන ලද ධනයෙන් සැලකිය යුතු පංගුවක් වැය කළ හ.

ඍජු යටත් විජිතවාදය තුළ තිබූ පාලිත රට පිළිබඳ යටත් විජිතවාදීන්ගේ වගකීම් නව යටත් විජිතවාදය තුළ අහෝසි වී ගියේ ය. නමට නිදහස් වූ රටවල් වෙළඳපොල හරහා කිසිදු වගකීමකින් තොරව නිදහසේ සූරාකෑමට බලවත් රටවලට මෙකී ඊනියා නිදහසින් පසු අවස්ථාව ලැබිණි. 


එක් විධිමත් නීති පද්ධතියක් ද ලංකාව වෙනුවෙන් හඳුන්වා දෙන ලදී. පසුකාලීනව ව්‍යවස්ථාදායකයක්, ප්‍රජාතන්ත්‍රවාදය හා නවීන රාජ්‍ය පාලනය ද ඉංග්‍රීසීන් විසින් ලංකාවට හඳුන්වා දෙන ලදී. 

යටත් විජිත යුගයේ අග භාගයේ ලංකාවේ ජන නායකයන් වී සිටි මිනිසුන් මේ දේවල් සුබවාදී ලෙස හා ධනාත්මක විවේචනයකින් යුක්තව භාර ගත් බව පෙනේ.

කෙසේ හෝ වේවා නිදහස හෙවත් පාලන බලය ස්වදේශික නායකයන් අතට මාරු වීම සිදු වූ වකවානුව වන විට ලංකාව දියුණු ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් තිබුණු දේශයක් වූ අතර ජනවාර්ගික ප්‍රශ්න විසඳා ගනිමින් ලාංකික ජාතියක් දක්වා දියුණු වීමේ හැකියාවක් එයට තිබිණි.  


එහෙත්, නිදහසින් පසු බලය ලබා ගත් නායකයෝ ඡන්දය වෙනුවෙන් නූගත් ගැමියන්ගේ පාලනයට නතු වූ අතර එදා පටන් ම කළේ රට ආපස්සට හැරවෙන ක්‍රියාමාර්ග ගැනීමයි. නිදසුනක් ලෙස, සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සුළුතර ජනවර්ගයන්ට හානිකර නීති සම්පාදනය කිරීම වැළැක්වීම පිණිස පනවා තිබූ විධිවිධාන නො තකා හරිමින් ඉන්දීය සම්භවයක් සහිත දෙමළ වතු කම්කරුවන්ගේ ඡන්ද බලය පැහැර ගැනීම සඳහා ස්වදේශික සම්භවයක් සහිත සිංහල, දෙමළ නායකයෝ පියවර ගත් හ. 

මෙම පියවරට සහයෝගය දුන් දෙමළ නායකයන්ට එහි ආදීනව භුක්ති විඳීමට වැඩි කාලයක් ගත වූයේ නැත. 1956දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කර ස්වදේශික දෙමළ ජනයා ද දෙවන පෙළට ඇද දමන ලදී. 62 වසරක් තිස්සේ තවමත් නො විසඳුණු ජාතීන්ගේ හෝ ජනවර්ගයන්ගේ ප්‍රශ්නය ලාංකීය සමාජයේ ඉදිරි ගමන වළක්වන ප්‍රධාන ම සාධකයයි.


බාගෙට තීන්ත ගෑ ඡන්ද පෝස්ටර් ඇලවූ ලයිට් කණු සහිත දූලි වැකුණු පාරක අඩ්ඩඩ්ඩාවට ඊයේ සැමරූ නිදහස යනු ඇත්තෙන්ම කුමක් ද? 

ඔය තරම් ම සමරන්නට තරම් දෙයක් ඇත්තට ම මේ නිදහසින් ලැබුණා ද? 


ඔය කියන තරම් ම නරකක් යටත් විජිත පාලනය තුළ තිබුණා ද? නරක ම යයි කියමු. ඒත්, ඒ නරකට සාපේක්ෂව පසුගිය 62 වසරේ දක්නට ලැබුණු හොඳ කුමක් ද? 


සූරාකෑමේ හා මර්දනයේ කෲරත්වය අතින් අපේ යයි කියන මේ පාලක පංතීන් යටත් විජිතවාදීන්ට වඩා හොඳ වන්නේ කෙසේ ද? 


දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2 comments:

  1. Oya prasneta uththara denna konda pana ethi sinhalayeek nam kawadawath issarahata enne nae.

    ReplyDelete
  2. ඇත්තටම සිදු වූ කිසිම හොදක් නැත. සුද්දා රට කලා නම් මීට වඩා හොදය එසේ වූවානම් අද ශ්‍රී ලංකාව එංගලන්තය මෙන් සෞභාග්‍යමත් රටකි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.